Neo-Liberalism – නව ලිබරල්වාදය

dec
විමර්ශන – 2011 දෙසැම්බර්
December 5, 2018
alt-right-protesters-clash-with-anti-fascist-demonstrators-in-portland-oregon
ෆැසිස්ට්වාදය….. තව දුරටත්
December 6, 2018
Show all

Neo-Liberalism – නව ලිබරල්වාදය

download

නව ලිබරල්වාදය යනු කුමක් ද?

         නව ලිබරල්වාදය, නව නිදහස්වාදය වැනි විවිධ නම්වලින් හැඳින්වෙන ‘රාජ්‍ය – නිර්බාධී ආර්ථික ප්‍රතිපත්තිය‘ අද වෙන විට ගෝලීය ධනවාදයේ ආර්ථික උපාය මාර්ගය බවට පත්වී තිබේ.

ඉතිහාසය

        17 හා 18 වෙනි සියවස්වල යුරෝපය පුරා පැතිර ගිය ධනේෂ්වර විප්ලව රැල්ලත් සමග එතෙක් පැවති වැඩවසම් සමාජ ක්‍රමය පරාජය කරමින් ධනවාදය කරලියට පැමිණියේ ය. ධනවාදයේ ආරම්භක වකවානුව නිදහස් තරඟයේ අවදියක් විය. රජය ආර්ථිකයට කළ මැදිහත්වීම අවම වූ අතර අරම්භයේ දී  තනි තනි නිෂ්පාදකයන් අතර හා තනි තනි කර්මාන්ත හිමියන් අතර තරඟයක් තිබිණි. මෙය හැඳින්වූයේ ලිබරල්වාදය (Liberalism) නමිනි. තරඟය නිසා සියළු ප්‍රාග්ධන හිමියන් වැඩි ලාභ ලබන ක්ෂේත්‍රවලට කඩා වදින තත්වයක් හට ගත් අතර එහි ප්‍රතිඵලය වූයේ එම ක්ෂේත්‍රවල අධි නිෂ්පාදන අර්බුදයක් හට ගැනීමයි. එවිට ප්‍රාග්ධන හිමියන් වෙනත් ක්ෂේත්‍ර සොයා ගිය අතර ඒවායේ ද අධි නිෂ්පාදන අර්බුද හට ගත්තේ ය. අධි නිෂ්පාදනය නිසා භාණ්ඩවල මිල පහත වැටුණු අතර ලාභ අහිමි වී කර්මාන්ත වැසී ගියේ ය. මෙලෙස නිෂ්පාදන අරාජිකත්වයක් ඇති විය. මෙම අරාජිකත්වය 1837 හා 1857 ආර්ථික අර්බුදයන්ට උපත දුන් අතර 1873 වෙන විට අර්බුදය උග්‍ර විය.
මෙසේ ලිබරල්වාදය අර්බුදයට යාමත් සමග 20 වෙන සියවස ආරම්භයේ දී ධනවාදය ඒකාධිකාරී වකවානුවකට හෙවත් අධිරාජ්‍යවාදී අවධියට පිවිසුණේ ය. ඒ අනුව තනි තනි ප්‍රාග්ධන හිමියන් හා බැංකු හිමියන් අතර පැවති තරඟයට විසඳුම් ලෙස කාටල , සංගත සම්මේලන හා සමාගම් හරහා ඒකාධිකාරයන් (Monopolies) ගොඩ නගන ලදී. අධිරාජ්‍යවාදය තුළ තරඟය පැවතියේ තනි තනි ප්‍රාග්ධන හිහියන් අතර නොව ඒකාධිකාරී සමාගම් අතර ය. ඒකාධිකාර  අතර තරඟය අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝදයක් ඇති කළ අතර එය 1 වන හා 2වන ලෝක යුද්ධවලට මග සැලසුවේ ය. ලෝක යුද්ධ අවසන් වෙන විට ශක්තිමත් සමාජවාදී කඳවුරක් බිහි වී තිබුණු අතර ඒ අතර අධිරාජ්‍යවාදය රාජ්‍ය සුභ සාධනයට මාරු විය. එම මතවාදයේ නිර්මාතෘ ජෝන් මෙනාඩ් කේන්ස්ගේ (John Maynard Keynes) නමින් එය “කේන්සියානු ධනවාදය”  ලෙස ද හැඳින් වේ.
Image result for john maynard keynes
කේන්සියානු ධනවාදය තුල රජය ප්‍රාග්ධන හිමියන්ට හා ව්‍යාපාරිකයින්ට මැදිහත් විය. එපමණක් නොව වෙළඳපොල සක්‍රීයව පවත්වාගෙන යාමට හා මිල දී ගැනීමේ හැකියාව වැඩි කිරීමට පාරිභෝගිකයන්ට සහන ලබා දීමටත් රජය මැදිහත් විය. නමුත් 1973 වෙන විට යළි ලෝක ආර්ථික අර්බුදයක් ඇති වූ අතර රාජ්‍ය සුබසාධනවාදය අතහැර යලි සූරා කෑමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා නව වෙළඳපොල වෙතට පිවිසීමේ අවශ්‍යතාවයක් අධිරාජ්‍යවාදයට ඇති විය.

ආරම්භය

        1957 වන විට රාජ්‍ය සුභසාධන ධනවාදය අතහරිමින් නව උපායමාර්ගයක් කරා ප්‍රවේශ වීමට ගෝලීය ධනවාදයට සිදුවිය. එවකට ලෝක බැංකුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රොබට් මැක්නමාරා මුලින්ම “නිදහස් වෙළඳපොල ආර්ථිකයක්” ගැන අදහස් පළ කළේය. පසුව වෙළඳපොලට රාජ්‍ය මැදිහත්වීම අඩු කිරීම හා වෙළඳපොල බලවේග නිදහස් කිරීම පිළිබඳ සංකල්පය එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් සහ එවකට බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරිය මාග්‍රට් තැචර් විසින් සිදු කරන ලදී.
ඒ අනුව මෙම සංකල්පය රේගන්වාදය හා තැචර්වාදය ලෙස ද හඳුන්වන ලදී. 1991 දී සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමග නව ලිබරල්වාදයට ඉතා වාසිදායක තත්වයක් ඇති වූ අතර එතෙක් තමන්ට අහිමිකර හෝ සීමා කර තිබූ වෙළඳපොලවල්වලට ඇතුල් වීමට අධිරාජ්‍යවාදීන්ට අවස්ථාව ලැබිණි. සූරාකෑම සඳහා නව භූමිභාග විවෘතවීම ද, තාක්ෂණයේ වර්ධනය විසින් සූරාකෑමේ නව ක්‍රමවේදයන් සංවර්ධනය කර තිබීම ද විසින් නව ලිබරල්වාදයේ පැතිරීම හා තීවෘතාවය වේගවත් කරන ලදී.

ලක්ෂණ

       නව ලිබර්ලවාදය පොදුවේ නිර්වචනය කෙරෙනුයේ “වෙළඳපොල ගණුදෙනු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහල දැමීම, තීවෘතාවය වැඩි කිරීම, පුනරාවර්තනය කිරීම හා යළි හැඩ ගැස්වීම හරහා වෙළඳපොල වර්ධනය කරන සහ බලවත් කිරීමේ කැමැත්ත” (Wikipedia නිදහස් විශ්වකෝෂය) ලෙස ය. ප්‍රකාශිත අරමුණ කුමක් වුවත් නව ලිබරල්වාදයේ හරය වනුයේ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය හා වෙළඳ භාණ්ඩ සඳහා ලෝක වෙළඳපොල විවෘත කර ගැනීම ය. ඒ සඳහා ගනු ලබන පියවර ගණනාවක් තිබේ.

  1. රජය විසින් ආර්ථික සීමා පැනවීම අහෝසි කිරීම.
  2. රජය මගින් මිල පාලනයන් සිදු නොකිරීම.
  3. වෙළඳාම සම්බන්ධයෙන් පවතින නීති රීති ලිහිල් කිරීම.
  4. පෞද්ගලික ව්‍යවසායකයින් හට වැඩි සහන හා දිරිදීම් ලබා දීම.
  5. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරමින් රජය ව්‍යාපාරවල නියැලීමෙන් ඉවත්වීම.
  6. ප්‍රාග්ධනය, බදු සහ නීතිවලින් නිදහස් කිරීම.
  7. විදේශීය භාණ්ඩ සහ ප්‍රාග්ධනය සඳහා වෙළඳපොල විවෘත කිරීම.
  8. ජලය අධ්‍යාපනය, සෞඛ්‍ය ඉඩම් ආදිය වෙළඳභාණ්ඩ බවට පත් කිරීම.
  9. වෙළඳපොල කාලය හා අවකාශය පුළුල් කිරීම.
  10. මහජන සුබසාධනය කපා හැරීම.

අර්බුදය

      2008 සැප්තැම්බර් මාසයේ දී ඇරඹුණු ලෝක ආර්ථික අර්බුදයත් සමග නව ලිබරල්වාදයේ අසාර්ථකත්වය ඔප්පු විය. වසර 35කට අධික නව ලිබරල්වාදී උපාය මාර්ග තුල දුප්පතුන් වැඩි වැඩියෙන් දුප්පත් වෙමින්, දුප්පතුන් ගණන සංඛ්‍යාත්මකව ද වැඩිවෙමින්  සමාජ ධනය  සංකේන්ද්‍රණය වීමෙන් අතලොස්සක් ධනවතුන් තව තවත් ධනවත්වීමෙන් අසාධාරණ වූ සමාජයක් නිර්මාණය වූ බැව් පොදුවේ පිළිගැනේ. ලෝක ආර්ථික අර්බුදය කරළිගත වීමත් සමග නව ලිබරල්වාදයේ බිඳ වැටීමක් පිළිබඳව ධනේෂ්වර දෘෂ්ඨීවාදීප් පවා අදහස් දක්වමින් සිටිති.

ශ්‍රී ලංකාවේ තත්වය.
1977 මැතිවරණ ජයග්‍රහනයත් සමග එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාවට නැංවූ “විවෘත ආර්ථිකය” නමින් ක්‍රියාවට නැංවූයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියයි. එනැත් සිට මේ දක්වා “ජාතික ආර්ථිකය” නමින් අයිසින් තවරා තිබුණ ද ක්‍රියාත්මක වූයේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තයයි.

  1. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම නිසා රජයට ලැබෙමින් තිබූ විශාල ආදයමක් අහිමි විය.
  2. රාජ්‍ය ව්‍යවසායන් මගින් ලැබෙමින් තිබූ ආදායම අහිමිවීම නිසා  රාජ්‍ය වියදම්වලින් 90%ක්ම බදු ආදායම මත යැපීමට සිදු වී තිබේ.
  3. ආර්ථිකය විවෘත කිරීම නිසා නිෂ්පාදනය කිරීමට වඩා ආනයනය කර විකිණීම ලාභදායක යැයි මතයක් ඇති වීමත්, එයට රාජ්‍ය            අනුග්‍රහය ලැබීමත් නිසා නිෂ්පාදන ආර්ථිකය ක්‍රමයෙන් බිඳ වැටිණි.
  4. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම නිසා උග්‍ර රැකියා හිඟයක් හට ගෙන තිබේ. ජාතික ආර්ථිකයේ වර්ධනයට කිසිදු ධනාත්මක සහායක් නොලැබෙන ත්‍රී රෝද කර්මාන්තය තුල තරුණ ජනගහනයෙන් සැලකිය යුතු ගණනක් සිර වී සිටියි. තවත් සැලකිය යුතු කොටසක් නුපුහුණු කම්කරුවන් ලෙසින් විදේශ රැකියා සොයා යති.
  5. විදේශීය භාණ්ඩ වෙත රාජ්‍ය අනුගහය සහිතව මෙරට වෙළඳපොල විවෘත කිරීමෙන් මෙරට නිෂ්පාදනය කඩා වැටී අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහල ගොස් විනිමය අනුපාත ඉහල යාමත්, එයින් රුපියලෙහි අගය පිරිහීමත් නිසා ඇති වෙන වක්‍ර බලපෑමෙන් ඉහල යන උද්දමනයත් උද්දමනයේ බලපෑමෙන් ජීවන වියදම් ඉහල යාමත් නිසා ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පිරිහෙමින් දුප්පත්වීම වේගවත් විය.
  6. ප්‍රාග්ධනය බද්දෙන් නිදහස් කිරීම සහ බදු පැනවීමෙන් නිදහස් කිරීම නිසා රාජ්‍ය වියදමේ වැඩි පංගුවක් වක්‍ර බදු මත පැටවීමට සිදුවී තිබේ. එහි වැඩි බලපෑම අඩු ආදායම් ලාභී දුප්පත් ස්ථරයට ය. ඉහල දමා තිබෙන වක්‍ර බදු ප්‍රතිශතය නිසා ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය පිරිහී තිබේ.
  7. රාජ්‍ය ව්‍යවසායන් විකුණා දමා ආදායම් අහිමී වී ඇති බැවින් රජයේ අත්‍යාවශ්‍ය වියදම් බදු ආදායම මත යැපේ. එබැවින් යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ණය ලබා ගැනීමට සිදු වී තිබේ. මේ වෙන විට ඒක පුද්ගල ණය රුපියල් පන් ලක්ෂ තිස් දහස ඉක්මවා තිබේ.
  8. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය අධ්‍යාපන ආයතන වෙත ලබා දෙන සම්පත් සීමා කිරීම නිසා  ටියුෂන් පන්ති ක්‍රමයෙන් දෙමාපියන් සූරා කෑම තීවෘවීමත් පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භවීමත් සමග උසස් අධ්‍යාපනය ඇති හැකි අයට සීමාවීමේ අනතුර පැහැදිලිවම දර්ශනය වෙමින් තිබේ.

මේ නිරීක්ෂනය වෙන ප්‍රතිඵල ඇසුරෙන් කිහිපයක් පමණි. මෙරට ආර්ථිකය කඩා වැටෙමින් පවතින අතර ණය ආපසු ගෙවීමේ හැකියාව වැනි ආර්ථික ක්ෂේත්‍රයේ ලෝක ශ්‍රේණිගත කිරීම් තුල මෙරට වසරින් වසර පහල ශ්‍රේණි ලබා ගනී. ශ්‍රී ලංකාව විසින් ලබා ගත් ණය ආපසු ගෙවීම අඩමාන බව ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ නම් එයින් පැහැදිලි වෙන්නේ නව ලිබරල්වාදය විසින් මෙරටට අත්පත් කර දී තිබෙන්නේ ආර්ථික පරිහානියක් පමණක් බවයි.
නියෝ ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව තේරුම් ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වෙමින් පවතින දේ තේරුම් ගැනීම ප්‍රමාණවත් ය.

විමර්ශන