සමාජවාදය FAQs

2017_november
Red Power – 2017 November
December 27, 2018
POLITICAL ECONOMY
December 28, 2018
Show all

සමාජවාදය FAQs

faq
1කොමියුනිස්ට් ක‍්‍රමයත් සමාජවාදයත් දෙකක්ද? එකක්ද?

විද්‍යාත්මක මාක්ස්වාදය ගැන හොඳ අවබෝධයක් නැති අය මේ ප‍්‍රශ්නය පටලවාගෙන තිබෙනු දැකිය හැකිය. මානව ඉතිහාසයේ සමාජ ක‍්‍රමවල විකාශනය පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකුට මූලික සමාජ ක‍්‍රම කිහිපයක් හඳුනාගත හැකිය.

  1. ප‍්‍රාථමික සාමූහික සමාජය.
  2. වහල් හිමි සමාජය.
  3. වැඩවසම් සමාජය.
  4. ධනේශ්වර සමාජය.

(ආසියානු රටවලට අදාලව මෙහි වහල් හිමි හා වැඩවසම් සමාජ වෙනුවට ඇත්තේ ආසියාතික සමාජ ක‍්‍රමයයි.)

වත්මන් ධනේශ්වර සමාජයෙන් පසු බිහිවන කොමියුනිස්ට් සමාජය පංති රහිත, සූරාකෑමෙන් තොර සමාජ ක‍්‍රමයකි. එනිසා මීළඟ සමාජ ක‍්‍රමය කොමියුනිස්ට් සමාජ ක‍්‍රමයයි.

මෙහිදී පංති සහිත, සූරාකෑම උපරිම වූ, පෞද්ගලික දේපළ මත පදනම් වූ ධනේශ්වර ක‍්‍රමයේ සිට කොමියුනිස්ට් ක‍්‍රමයට මාරුවීම එක  රැයකින්, දින කීපයකින් සිදුකළ හැකි ද? නැත; කිසිසේත්ම නැත. එය එකවර කළ හැක්කක් නොවේ. එය තේරුම් ගැනීමද එතරම් සංකීර්ණ නොවේ. එකී ධනපති ක‍්‍රමයේ සිට කොමියුනිස්ට් ක‍්‍රමය දක්වා මාරුවීමට යම්  කාලපරිච්ඡේදයක් ගෙවීමට සිදුවේ. එය පරිවර්තනීය  කාලපරිච්ඡේදයක්වීම වැළැක්විය නොහැකිය.

මෙකී අතරමැද පරිවර්තනීය  කාලපරිච්ඡේදය හඳුන්වන්නේ, ‘සමාජවාදය’ ලෙසය. ඒ නිසා සමාජවාදය හා කොමියුනිස්ට් ක‍්‍රමය යනු කිසිසේත්ම සමාන දෙකක් නොවන බව තේරුම්ගත යුතුය. ඒ පිළිබඳව ලෙනින් මෙසේ ප‍්‍රකාශ කරයි.

ධනපති ක‍්‍රමය හා කොමියුනිස්ට් ක‍්‍රමය අතර ඒ දෙකෙහිම අංග ලක්‍ෂණ හා ගතිගුණ ඒකාබද්ධ කරගත් නිශ්චිත පරිවර්තනීය කාලපරිච්ඡේදයක් පවතින බවට න්‍යායික වශයෙන් සැකයක් තිබිය නොහැක. මෙම පරිවර්තන කාලපරිච්ඡේදය අභාවයට යන ධනපති ක‍්‍රමයත් වැඩීගෙන එන ළදරු කොමියුනිස්ට් ක‍්‍රමයත් අතර කෙරෙන අරගලයක කාලය විය යුතුය. නැතහොත් වෙනත් වචනවලින් කියනවා නම් පරාජය කර ඇති, එහෙත් විනාශ කර නැති ධනපති ක‍්‍රමයත් උපත ලබා ඇති එහෙත් තවමත් දුර්වලව පවතින කොමියුනිස්ට් ක‍්‍රමයත් අතර අරගලයක කාලය විය යුතුය.

– ලෙනින් තොරාගත් කෘති 10 වෙළුම – 46 පිටුව.

2සමාජවාදී රාජ්‍යයක් හදුනාගන්නේ කෙසේද?

ශ‍්‍රී ලංකාව සමාජවාදී රටක් දැයි කෙනෙක් විමසුවහොත්, ඊට පිළිතුරු දීමේදී ලංකාව හඳුන්වා දී ඇති ‘‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය’’ යන නාමකරණය අනුව සිතා බලන අයෙකු ලංකාවද සමාජවාදී රාජ්‍යයක් යැයි පැවසීමට ඉඩ තිබේ. මෑත කාලයේ ලතින් ඇමරිකානු හා පෙරදිග යුරෝපා රටවල මැතිවරණවලින් වාමාංශික සමාජවාදී පක්‍ෂ ජයග‍්‍රහණයන් ලබා ආණ්ඩු පිහිටවූ විට ඒ රටවල්ද සමාජවාදී රටවල් ලෙස සමහර විශ්ලේෂකයින් හඳුන්වනු දැකිය හැකිය. නමුත් රටක නමෙහි ‘‘සමාජවාදී’’ තිබූ පමණින් හෝ සමාජවාදී නම් සහිත පක්‍ෂ මැතිවරණ ජයග‍්‍රහණය කළ පමණින් රටක් සමාජවාදී යයි හැදින්විය නොහැකිය.

ලෙනින් මෙසේ කියයි.

සෑම විප්ලවයකදීම ඉතාමත් ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, බලය තිබෙන්නේ කුමන පංතිය අතේද යන්න ය.

– ලෙනින් – තෝරාගත් කෘති – 05 වෙළුම – 271 පිටුව

එනිසා යම් රටක් සමාජවාදීද, නැත්ද යන්න තීරණය වනුයේ, එම රටේ ‘රාජ්‍ය බලය’ හොබවන්නේ කවර පංතියක්ද යන්න මතය. මාක්ස්වාදී විග‍්‍රහයට අනුව රාජ්‍යය යනු හුදු ‘‘ආණ්ඩුව’’ යන අදහස නොවේ. ඒ අනුව ධනේශ්වර රාජ්‍යය යනු පංති පීඩක උපකරණයකි. එය ධනේශ්වර ක‍්‍රමය ආරක්‍ෂා කරන, වැටුප් ලබන අවිගත් ආරක්‍ෂක කණ්ඩායම්, නීති පද්ධති හා උසාවි, සිරගෙවල් ආදියෙන් සමන්විත බලහත්කාරී යාන්ත‍්‍රණයයි.

මේ අර්ථයෙන් වන රාජ්‍ය බලයේ අයිතිය ධනපති පංතිය සතුව පවතී නම්, එම රට ධනවාදී රටක් වන බවත්, එකී බලය නිර්ධන පංතිය විසින් හිමි කරගෙන පිහිටවනු ලබන නිර්ධන පංති රාජ්‍ය බලයක් ක‍්‍රියාත්මක රටක් නම් එය සමාජවාදී පාලනයක් සහිත රටක් බවත් පැහැදිලි කරගත හැකිය.

ලෙනින් වැඩිදුරටත් මෙසේ කියයි.

විප්ලවීය ජනතා නැගිටීම්වලින් බිහිවූ ධනපති රජයන්ගේ හැඩය විවිධාකාරීය. එහෙත් හරය එකකි. එක් විධියකින් හෝ තවත් විධියකින් ඒ හැම රජයක් අවසාන වශයෙන් බලනවිට ධනපති පංතියේ ඒකාධිපතිත්වයකි. ධනපති ක‍්‍රමයේ සිට කොමියුනිස්ට් ක‍්‍රමය දක්වා ඇති පරිවර්තන කාලය තුළ දී බහුල හා විවිධාකාර දේශපාලන හැඩයන් ඇතිවිම වළක්වනු බැරිය. එහෙත් මේ හැම එකකම හරය එකකි. එය නොවැළැක්විය හැකි ලෙසම නිර්ධන පංති ඒකාධිපතිත්වයයි.’

– ලෙනින් – රජය හා විප්ලවය – 40 පිටුව.

ඒ අනුව කියුබාව, චීනය, වියට්නාමය වැනි රටවල් නිශ්චිත ලෙසම සමාජවාදී රාජ්‍යයන් ලෙස හඳුන්වනු ලබයි. ධනවාදී රටවල් හා සමාජවාදී රටවල් අතර අතරමැදි වර්ගයේ රටවල් මේ නිසා පැවතිය නොහැකිය. එහෙත් වෙනිසියුලාව වැනි රටවල මැතිවරණ තුළින් සමාජවාදී වුවමනාවන් සහිත පක්‍ෂ හා නායකයින් බලයට පත් වී, යම් අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම තුළ යම් යම් වෙනස්කම් දැකිය හැකි ප‍්‍රවණතා මතුව තිබේ. එනමුත් හරයෙන් ඒවා සමාජවාදී රාජ්‍යයන් ලෙස සැලකීම නිවැරදි නොවේ.

3සමාජවාදයේදී දේපළ අයිතිය නැති කරනවා ද?

සමාජවාදය ඇති කළ විට මිනිසුන්ගේ සියලූම පුද්ගලික දේපළ සමාජවාදී රජයට පවරාගන්නා බව ඇතම් අය කියති. නැත්නම් එසේ සිතාගෙන සිටිති. සමහර සමාජවාදී පාලනයන් ඇති කළ තැන්වලද පෞද්ගලික දේපළ අහෝසිකර පොදු දේපළ ඇතිකිරීමට යාන්ත‍්‍රිකව උත්සාහ කිරීම නිසා සිදුවූ ගැටලූ ද නැත්තේ නොවේ. සමාජවාදයේ සතුරන්ද ජනතාව බියට පත්කිරීමට, සමාජවාදය ආවොත් ගෙදරක පුටුවක්, මේසයක්, බයිසිකලයක් වැනි කිසිදු දෙයක් තබාගැනීමට ඉඩ නොදෙන බවත් ඒවා රජයට පවරා ගන්නා බවත් කියමින් භීතියක් ඇති කර තිබේ.

සමාජවාදී සෝවියට් දේශයේ එක්තරා ගමක විප්ලවයෙන් පසුව සමාජවාදී ප‍්‍රතිසංස්කරණ සිදුකළ ආකාරය දැක්වෙන මිහයිල් ෂෝලහොව්ගේ ‘පෙරළු නැවුම් පස’ නම් නවකතාවේ මේ පිළිබ`ද අත්දැකීම් අඩංගු වී ඇත. වරෙක එම ගමේ සමූහ ගොවිපොලක් ඇරඹීම සඳහා ගැමියන් සතු කුකුළන්, එළුවන්, ගවයන් එකතු කරන බවට ගමේ ආරංචියක් පැතිර යාමත් සමග මහා කලබැගෑනියක් ඇතිවිය. බොහෝ අය තම සතුන් සමූහ ගොවිපොළට දෙනවාට අකමැති වූ අතර සමහරු සතුන් මරා කෑමට ගත්හ. ෂුකාර් සීයා නමැති සමාජවාදයට පක්‍ෂපාතව කතාකළ වැඩිහිටියා පවා තම ගවයින් සමූහ ගොවිපොළට දීමට අකමැති වූ අතර උන් මරා එක දිගට මස් කරන ලදී. එයින් ඔහුට එක දිගට බඬේ අමාරුව සෑදී අසනීප වූ පුවතක් ද එහි ඇතුළත් වේ.

සැබැවින්ම සමාජවාදයේ දී පෞද්ගලික දේපළ වෙනුවට පොදු දේපළ ක‍්‍රමයක් හඳුන්වා දෙන්නේ කෙසේද යන්න නිරවුල්ව විමසා බැලිය යුතුය. එහිදී මුලින්ම කිවයුතු වන්නේ සමාජවාදී පරිවර්තනය ඉතාමත්ම සැලසුම් සහගතව සිදුකරන්නක් බවයි. ධනවාදයේ දී නිෂ්පාදනයේ අයිතිය පෞද්ගලික ස්වරූපයක් ගන්නා අතර එය ලාභ ඉලක්ක කරගත්තකි. එහෙත් සමාජවාදයේ දී අවශ්‍යතාවය කුමක්ද?, එය කොපමණ ප‍්‍රමාණයක්ද? ඒ අනුව නිපදවිය යුත්තේ මොනවාද? කොපමණ ප‍්‍රමාණවලින්ද?  යන සියලූ ප‍්‍රශ්න සමස්ත මධ්‍යම සැලසුම් මණ්ඩලයක් මගින් සැළසුම් කෙරේ. ධනේශ්වර ක‍්‍රමයේ සිට ක‍්‍රමානුකූලව පොදු දේපළ ක‍්‍රමයක් කරා ගමන් කිරීම ද ඒ අනුව සැලසුම් කර සිදුකරනු ලබයි.

මෙහිදී දේපළ යනුවෙන් අදහස් කරනු ලබනනේ මොනවාදැයි දේශපාලනික අවබෝධයක් අවශ්‍යය. ලංකාවේ විශිෂ්ට මාක්ස්වාදියෙකු වූ රෝහණ විජේවීර 1982 දී ‘රට හදන්න අපේ ප‍්‍රතිපත්ති’ නම් දේශනයේදී මේ ගැන සඳහන් කර තිබුණේ මෙසේය.

පෞද්ගලික දේපළ කියන්නේ මොනවාද? ඔයගොල්ලන්ගේ පුද්ගලික ඇඳුම්- පැලඳුම්, හරක-බාන, ගේදොර? නැහැ. පුද්ගලික දේපළ කියල දේශපාලන විද්‍යාවෙ කියන්නෙ, සූරාකෑම සඳහා පාවිච්චි කරන දේවල්. ඒ කියන්නේ පුද්ගලික කර්මාන්ත ශාලා, ෆැක්ටේරි, නිෂ්පාදන මාධ්‍ය අන්න ඒවා.’’

– රෝහණ විජේවීර – රට හදන්න අපේ ප‍්‍රතිපත්ති – දෙවන මුද්‍රණය – 56 පිටුව

ඒ නිසා දේපළ පවරා ගැනීමේ කතාව, ගෙවල් – දොරවල්, ඇඳුම් -පැලඳුම් හෝ හරකබාන සඳහා අදාල වන්නක් නොවේ. සැබැවින්ම පොදු දේපළ හා නිෂ්පාදන ක‍්‍රමය කාර්යක්‍ෂම හා ප‍්‍රතිඵලදායී ද වන්නේය. ඒ ගැන ඉහත දේශනයේදීම විජේවීර සඳහන් කරන්නේ මෙසේය.

එතකොට … අන්න ඉඩම් පිළිබඳ ප‍්‍රශ්නය. ඉඩම් පොදු වස්තුවක්. අපි රජයේ වගා කරන්න පුළුවන් ඉඩම් ටික සේරම රජයේ ගොවිපළවල් බවට පත්කරලා, එව්වා කෘෂිකාර්මික සංවර්ධනයට සම්පූර්ණ බලය යොදවලා දෙනවා. ඊළඟට පොඩි පොඩි ඉඩම් කෑලි තියෙන අයට අපි ගිහිල්ලා බලෙන් කියන්නේ නැහැ එක්කහු වෙයල්ලා කියලා. ඒක කවදාවත් කරන්න බැහැ. කවුරු හරි කියනවා නම් මට අක්කර කාලයි කියලා ඒක මට විතරක් වගා කරගෙන ඉන්න  ඕන කියලා, ඔව් එයාට විතරක් වගා කරන්න පුලූවන්. නමුත් අපි එයාට තෝරල දෙනවා, ඒ අක්කර කාල වෙනම තියාගෙන හිටියට ට‍්‍රැක්ටර් එකෙන් හාන්න බැහැ. ඉතින් උදැල්ලෙන් කොටන්න  ඕනෑ. ඇයි? අක්කර කාල තනියම හාල තනියෙන් කරන්න යනවට වඩා විශාල ව්‍යාපාර පවත්වාගෙන ගියාම තමයි,  ඕක ඵලදායි වෙන්නෙ. කුඹුරු ලියද්දක් තනියම වගා කරන්න ගියත්, එක වී ජාතියක්, එක එක කන්නෙ, එක එක වියදම නෙමෙයි මුලූ යායක් එකට වගා කරන එක තමයි හැමදාම ඵලදායි කියල කෘෂිකර්මය ඔප්පු කරල තියෙන්නෙ. අපි ඒ ගොල්ලන්ට කියනව, ‘‘කාගෙත් ඉඩම් ටික එක්කහු කරල ඔයගොල්ල කැමති නම් සමුපකාර හදන්න පුද්ගලික ඉඩම්වල, අපි ඒවා රජයට ගන්නේ නැහැ. රජයේ ගොවිපොළවල් කරන්නේ නැහැ. සමුපකාර ගොවිපළවල් රජයේ ගොවිපොළවල්වලට වඩා වෙනස් තත්වයක්. මොකක්ද? ඒ ගොල්ලන් ඉඩම් දාපු ප‍්‍රමාණය අනුව ඒ ගොල්ලන්ට බෙදා ගැනීම වෙනම කරගන්න අයිතිය තියෙනවා. රජයේ ගොවිපොළවල්වල එහෙම නැහැ. ඉඩම් කෑලි කියන එක පොදු වස්තුවක්. වැඩකරන ප‍්‍රමාණය අනුව පඩි ගෙවනවා.

රෝහණ විජේවීර – රට හදන්න අපේ ප‍්‍රතිපත්ති – දෙවන මුද්‍රණය – 47 පිටුව.

4සමාජවාදය කියන්නේ ඇති අයගෙන් නැති අයට දෙන සරදියල් ක්‍රමයක් ද?

සමාජවාදය ගැන සමහරුන් සිතා සිටින්නේ එය ඇති අයගෙන් ලබාගෙන නැති අයට ලබාදෙන ‘‘සරදියල් පන්නයේ’’ ක‍්‍රමයක් බවය. සමාජවාදයේ දී සමානාත්මතාවය ගැන කියවෙන නිසා එය ඇති කරන්නේ, ධනපතියන්ගෙන් උදුරාගෙන දුප්පතුන්ට බෙදාදීමෙන් යැයි මෙසේ සිතන අය වැරදි වැටහීමක සිටී. එතරම් පහසුවෙන් මේ පවතින සමාජය සමානාත්මතා සමාජයක් බවට පත්කළ හැකි නම් එය කෙතරම් අපූරුද? නැත. එය කිසිසේත්ම එතරම් සරල කටයුත්තක් නොවේ. මුළුමහත් සමස්ත සමාජයම විද්‍යාත්මක පදනමකින් එහි ව්‍යුහයේ සිටම සිදුකරන ක‍්‍රමානුකූල කි‍්‍රයාවලියකින් පමණක් එය කළ හැකිය. ධනවාදී සමාජ ව්‍යුහය එලෙසම පවතිද්දී සමානාත්මතාවය ගැන සිතීම පවා විහිලූවකි.

දේපළ සම්බන්ධ කාරණය ධනේශ්වර ක‍්‍රමයේ ආරක්‍ෂයික් විසින් සමාජවාදී මතවාදයට එරෙහි එහි නියම අදහස විකෘති කර යොදා ගත්තේ අද ඊයෙක නොවේ. මාක්ස් හා එංගල්ස්ගේ කාලයේදිද මෙය යොදා ගැනිණි. එනිසාම කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රකාශනය 1848 තරම් කලෙක ඉදිරිපත් කරද්දීම මේ චෝදනාවට නිසි පිළිතුරු දීමටත් කරුණු විද්‍යාත්මකව විග‍්‍රහ කිරීමටත් මාක්ස් හා එංගල්ස්ට සිදුවිය. එහි මෙසේ ප‍්‍රශ්නය දක්වා ඇත.

සියලූ ආකාර පෞද්ගලික නිදහසේ, ක‍්‍රියාකාරිත්වයේ සහ ස්වාධීනත්වයේ පදනම වන දේපොළ, මිනිසෙකුට තම ශ‍්‍රමයේ ඵලයක් වශයෙන් පෞද්ගලිකව අත්පත් කරගත් දේපොළ, අවලංගු කිරීමේ අභිලාෂය කොමියුනිස්ට්වාදීන් වූ අප තුළ ඇතැයි අපට දොස් පවරා ඇත.’’

කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රකාශනය

එයට පිළිතුරු සටහන් කොට ඇත්තේ මෙසේය.

වැඩකොට ලබාගත්, තමා විසින් අත්පත් කරගත්, ස්වකීය ශ‍්‍රමයෙන් දිනාගත් දේපළ ගැනද? ධනවාදී දේපොළ ක‍්‍රමයට පෙර පැවති කුඩා හස්ත කර්මාන්ත ශිල්පියාගේ සහ කුඩා ගොවියාගේ දේපොළ අයිතිය ගැන ද ඔබ කියන්නේ? මෙය අවලංගු කිරීමට අපට අවශ්‍යතාවයක් නැත. කර්මාන්ත සංවර්ධනය විසින් මෙය දැනටමත් විනාශ කර තිබෙන අතර දිනපතා එය විනාශ කරමින් සිටී.

එසේත් නැතිනම් ඔබ අදහස් කරන්නේ නූතන ධනවාදී පෞද්ගලික දේපළ අයිතියද?

එහෙත් වැටුප් ශ‍්‍රමය නිර්ධනයාට කිසියම් දේපළ අයිතියක් ලබාදෙයිද? කොහෙත්ම නැත. එය නිර්මාණය කරන්නේ ප‍්‍රාග්ධනය, එනම්, යලිත් සූරාකෑම සඳහා අභිනව වැටුප් ශ‍්‍රම තොගයක් ලබා ගැනීමේ කොන්දේසිය යටතේ හැර අන් කිසි ලෙසකින් වත් වැඩි වීමට නොහැකි, වැටුප් ශ‍්‍රමය සූරාකන දේපළ ය. ප‍්‍රාග්ධනය සාමූහික ඵලයකි. එය නිර්මාණය කොට ක‍්‍රියාවේ යෙදවිය හැක්කේ, සමාජයේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ එක්සත් ක‍්‍රියාකාරිත්වයෙන් පමණකි. එපමණක් නොව අවසානයේ දී සමාජයේ සියලූ සාමාජිකයින්ගේ එක්සත් ක‍්‍රියාකාරිත්වයෙන් පමණකි.

එබැවින් ප‍්‍රාග්ධනය, පෞද්ගලික නොව සාමාජික ඵලයකි. මේ හේතුව නිසා ප‍්‍රාග්ධනය පොදු දේපොළ බවට, සමාජයේ සියලූ සාමාජිකයින්ගේ දේපොළ බවට පරිවර්තනය කරන විට, එමගින් පෞද්ගලික දේපොළ සමාජයේ දේපොළ බවට පරිවර්තනය නොවේ. එම දේපොළවල සමාජමය ස්වරූපය පමණක් වෙනස් වෙයි. එහි පංතිමය ස්වරූපය පමණක් අහෝසි වෙයි.

කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රකාශනය

ඒ නිසා කොමියුනිස්ට්වාදයේ විශේෂ ලක්‍ෂණය වන්නේ, පෞද්ගලික දේපළ අයිතිය අවලංගු කිරීම නොව ධනවාදී දේපළ අයිතිය අවලංගු කිරීමය. එය පවා සිදුකරනුයේ ඒ ඒ රටවල පවතින සංවර්ධනයේ මට්ටම අනුවය. එබැවින් එය සෑම තැනකම එකාකාර වන්නේද නැත.

5නව තාක්‍ෂණය සමාජවාදයට අකැපද?

සමාජවාදය යනු නවීන තාක්‍ෂණය ප්‍රතික්ෂේපකරන පැරණි සාම්ප‍්‍රදායික දේ මත පදනම් වන ක‍්‍රමයක් බවටද මතයක් පවතී. මාක්ස්වාදය නොදත් එහෙත් මාක්ස්වාදීන් ලෙස පෙනී සිටින සමහරුන් එවැනි මත තහවුරු කොට තිබේ. 1970 – 1977 රට පාලනය කළ සමගි පෙරමුණු ආණ්ඩුවේ පැරණි වමේ පක්‍ෂ ද ඇමතිකම් දරමින් ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිටියහ. ඒ නිසා සමාජවාදී ක‍්‍රමයට කිට්ටු පාලන ක‍්‍රමයක් ලෙස එකී කාලයේ පාලනය සමහරු හඳුන්වා දෙති. ඒ කාලයේ ආණ්ඩුව කළ කී දෑ සමාජවාදී ප‍්‍රතිසංස්කරණ ලෙස සමහරු විශ්වාස කළහ. සමගි පෙරමුණු ආණ්ඩුවට සෝවියට් දේශය උදව් කිරීමද මේ මතය තවත් තහවුරු කරන්නක් විය. මේ කාලයේ ජනතාව ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දුන් කාලයක් විය. 71 මර්දනය, දෙමළ ජනතාවට එරෙහිව පැනවු නීති-රීති, වංචා- දූෂණ, ශිෂ්‍ය ඝාතන, හාල් පොලූ, මිරිස් පොලූ, පෝලිම් ක‍්‍රම ආදිය එවැනි කිහිපයකි. සමාජවාදය එවැනි අප‍්‍රසන්න ක‍්‍රමයකැයි මේ නිසා සමහර සමාජ කොටස් තුළ තහවුරු වී ඇත. එසේම සමාජවාදයට පටහැණි ක‍්‍රියාමාර්ග නිසා පිරිහුණු සමාජවාදී රාජ්‍යයක්ව පැවති පැරණි සෝවියට් දේශයේ නිලධාරිවාදී පාලනය විසින්ද මේ මත තහවුරු කරනු ලැබ තිබේ. උදාහරණ ලෙස සෝවියට් දේශය තුළ පැවති මෝටර් රථ වර්ගය වූ ‘ලාඩා කාර්’ එහි පෙනුම කාලානුරූපව වෙනස් නොකොට පවත්වාගැනීම කරුණ වැනි දේ පෙන්වාදිය හැකිය.

එහෙත් සමාජවාදය යනු කුමක් දැයි විද්‍යාත්මකව තේරුම් ගන්නා අයෙකුට, සමාජ ගතව තිබෙන ුඅදහස් හා සමාජවාදය අහස හා පොළව තරම් වෙනස් බව වටහා ගැනීම අපහසු නොවේ. වත්මන් ධනවාදය තුළ සාපේක්‍ෂව දියුණු සොයා ගැනීම් කර තිබෙන බව සත්‍යයකි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, අභ්‍යවකාශ තාක්‍ෂණය, ක්වොන්ටම් භෞතික විද්‍යාව, ජාන තාක්‍ෂණය ආදී වශයෙන් මේ පිළිබඳ බොහෝ අත්දැකීම් අප සතුය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එම විද්‍යාවේ ජයග‍්‍රහණ මානව සංහතියේ යහපත පිණිස කොතෙක් දුරට යෙදවෙන්නේද යන්නය. අද ලෝකයේ ආහාර නිපදවීමේ තාක්‍ෂණය ඉතා දියුණු වී තිබියදී ධනවාදය අපට උරුම කරදී ඇත්තේ දිනකට ජනතාව 25,000 ක් කුසගින්නේ මියයන ලොවකි. ලෝක ජනගහනයෙන් කෝටි 130 කට පිරිසුදු පානීය ජලය නොමැති අතර, ඒ නිසා ඇති වන රෝගවලින් ලක්‍ෂ 14 ක් වසරකට මිය යති. ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහනය කෝටි 102 කට වැඩිය. ඉරාකයට එරෙහි යුද්ධයේදී ඉරාක ජාතිකයන් 13 ලක්‍ෂයකට අධික පිරිසක් ඝාතනයට ලක්විය. ලොව වැඩිම වියදම් අතර ඉහළින්ම ඇත්තේ මත්ද්‍රව්‍ය වන අතර දෙවනුව ඇත්තේ යුධ වියදම්ය.

සිදුව ඇත්තේ කුමක්ද? විද්‍යාවේත්, තාක්‍ෂණයේත්, නිෂ්පාදනයේත් අයිතිය ධන කුවේරයන් හා ඔවුගේ ලාභ ලබන බහුජාතික සමාගම් වලල්ලක් අත පවතී. වත්මන් ධනවාදයත් අධිරාජ්‍යවාදයත් සිදු කරනුයේ එය ආරක්‍ෂා කිරීමයි. සියලූ විද්‍යා තාක්‍ෂණික ජයග‍්‍රහණයන් ඉතා සුළු පිරිසකගේ මඩි තරකරන, ලාභ උපයන ඉල්ලමක් බවට පත්වී තිබේ.

දියුණු තාක්‍ෂණය භාවිතා කර නිෂ්පාදනය දෙගුණ, තෙගුණ කොට නිකුත් කළ හැකි වුවද එවිට මිල පහත වැටී ලාභ අඩුවන නිසා ධනපති සමාගම් අද සිදුකරනුයේ නිෂ්පාදනයට අඩ තැබීමයි. ඒ නිසා සැබෑව නම්, නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට පවතින ප‍්‍රධාන බාධාව තවදුරටත් ඉදිරියට යා නොහැකි මහලූ ධනවාදී නිෂ්පාදන සබඳතාවයයි. එනම් සූරාකන පංතිය අත නිෂ්පාදනයේ අයිතිය පැවතීමයි. ඒ නිසා නිෂ්පාදන බලවේග විසින් වත්මන් නිෂ්පාදන සබඳතාවයේ අනිවාරණීය වෙනසක් ඉල්ලා සිටී.

එය අන් කිසිවක් නොව නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය පෞද්ගලික හිමිකාරිත්වයෙන් මුදවා පොදු අයිතියට ගැනීමය.  එසේ හිමිකරගත් නිෂ්පාදන කි‍්‍රයාවලිය පොදු මානව යහපත වෙනුවෙන් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යොදවා ගත හැකිය. ඒ නිසා සැබෑ ලෙසම විද්‍යාවට, තාක්‍ෂණයට නිදහසේ වර්ධනය වීමට නම්, එය මානව සංහතියේ යහපතට යෙදවීමට නම් මේ වෙනස සිදුවිය යුතුමය.

එංගල්ස් මේ ගැන මෙසේ පවසයි,

ධනපතියගේ සියලූම සමාජ කාර්යයන් දැන් වැටුප් ලබන සේවකයන් විසින් ඉටුකරනු ලැබේ. ලාභාංශ මඩියේ ලා ගැනීම, කූපන් ඉරීම හා ධනපතියන් එකිනෙකා කොල්ල කා ගැනීමෙහි යෙදෙන ව්‍යාපාර පොළෙහි දූ කෙළියේ යෙදීම හැර ධනපතියාට ඉටු කිරීමට තිබෙන තවත් සමාජමය කාර්යයක් නැත්තේය.

එංගල්ස් – සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට  77 පිටුව

වර්තමානයේ අපේ රටේ කොටස් වෙළඳපොල සූදුවක් බවට පත්කරගෙන සිටින ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ හැසිරීම් ඔබට සිහිපත් නොවන්නේද?

තවදුරටත් එංගල්ස් මෙසේ පවසයි.

මෙම විසදීම සමන්විත වනු ඇත්තේ, නවීන නිෂ්පාදනීය බලවේගයන්ගේ සමාජමය ස්වභාවය පිළිගැනීමෙන්ද, එනිසාම සමාජමය කරන ලද නිෂ්පාදනීය මාධ්‍යයන් හා නිෂ්පාදනය, හිමිකරගැනීම හා හුවමාරුව  පිළිබඳ ක‍්‍රම අතර සංගතියක් ඇති කිරීමෙන් ද පමණකි. එමෙන්ම මෙය සිදුවිය හැක්කේද, මුළු සමාජයම සමස්තයක් වශයෙන් කරන පාලනයක් හැර වෙනත් හැම පාලනයක්ම ඉක්මවා වර්ධනය වී තිබෙන නිෂ්පාදනීය බලවේගයන් විවෘත ලෙසම හා එක එල්ලේම සමාජය විසින් අත්පත් කරගනු ලැබීමෙන් පමණකි. අද නිෂ්පාදනීය මාධ්‍යයන්ගේ හා නිෂ්පාදිතයන්ගේ සමාජමය ස්වභාවය නිෂ්පාදකයන්ට විරුද්ධව ප‍්‍රතික‍්‍රියාකාරී වෙයි. වාරික වශයෙන් සියලූ නිෂ්පාදන හා හුවමාරු කටයුතු කඩාකප්පල් කර දමයි. අන්ධ ලෙස, බලහත්කාර ලෙස හා විනාශකාරී ලෙස කටයුතු කරන නීතියක් වශයෙන් පමණක් ක‍්‍රියාත්මක වෙයි. නමුත් නිශ්පාදනීය බලවේගයන් සමාජය විසින් පවරා ගනු ලැබීමත් සමග නිෂ්පාදන මාධ්‍යයන්ගේ සහ නිෂ්පාදනවල සමාජමය ස්වභාවය නිෂ්පාදකයන් විසින් සම්පූර්ණ වැටහීමෙන් යුතුව උපයෝජනය කරගනු ලැබෙන නිසා, එය අවුල්කාරී සහ වාරික බිඳ වැටීම් ඇති කරන බලවේගයක් වශයෙන් පෙනී සිටිනු වෙනුවට නිෂ්පාදනයේම ඉතාමත් බලවත් ලීවරය බවට පත්වන්නේය.

ෆෙඞ්රික් එංගල්ස් – සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට – 78 පිටුව

රෝහණ විජේවීර ‘රට හදන්න අපේ ප‍්‍රතිපත්ති’ දේශනය පවත්වමින් එදා ඉහත ප‍්‍රකාශය සරල බසින් මෙසේ පැවසුවේය.

සමහරු කියනවා සමාජවාදය යටතේ වෙයි කියල ට‍්‍රැක්ටර් අතහැරල ආයෙ හරකුන්ගෙන් හාන්න. නෑ. අර සර්වෝදය කාරයෝ වගයක් ආව හිර ගෙදරට. අපි හිරගෙදර ඉඳිද්දී. ඒ ගොල්ලො ඇවිල්ල චිත‍්‍රපටියක් පෙන්නුවා. චිත‍්‍රපටිය දැකල අපි උඩගියා. මෙන්න මේ මිනිස්සු මොකක්ද කතා කරන්නෙ? ශතවර්ෂ 15 කට ආපස්සට යන්න. ට‍්‍රැක්ටර් එක හොඳ නැහැල්ලූ. ඒ නිසා හරක්ගෙන් හාන්න  ඕන.

සමාජවාදය කියන්නේ ඒ වගේ දෙයක් නොවෙයි. විද්‍යාත්මක කෘෂිකර්මයේ විද්‍යාත්මක ක‍්‍රම, ශීල්පීය ක‍්‍රම ඔක්කොම උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගන්න ක‍්‍රමයක්.’’

රෝහණ විජේවීර – රට හදන්න අපේ ප‍්‍රතිපත්ති 2 වන මුද්‍රණය 45 පිටුව

6ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහසට සිදුවන්නේ කුමක්ද?

සමාජවාදී පාලනය දැඩි ඒකාධිපති ස්වරූපයක් ගන්නා බවත් මිනිස් නිදහස සීමා කරන බවටත් සමාජය තුළ පවතී. මෙය සත්‍යයක්ද?

වත්මන් ධනවාදය තුළ ජනතාවට නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබේද? කෝටි ගණන් මහජන මුදල් වංචා කළ බවට කෝප් වාර්තාවෙන් හෙළිදරව් කරන ලද කිහිප දෙනෙකුම කිසිදු දඬුවමක් නොලබා ආණ්ඩුවේ ඇමතිකම් හෙබවීමේ සුපිරි නිදහසක් මෙහි ඇත. ප‍්‍රසිද්ධ මිනී මැරීම් චෝදනා තිබියදී නිදහස්ව ආණ්ඩුවේ තනතුරු දැරීමේ නිදහස මෙහි තිබේ. උද්ඝෝෂණය කරන කම්කරුවන්ට, ධීවරයින්ට වෙඩි තබා මරා දැමීමේ නිදහස පොලීසියට, හමුදාවලට තිබේ. සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාමටත් අතුරුදහන් කිරීමටත් මැර කණ්ඩායම්වලට නිදහස තිබේ. ධනය හා බලය තිබෙන අයට මැතිවරණ දිනාගැනීමේ නිදහස තිබේ. කෙතරම් නිදහසක්ද? කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද?

ඒ නිසා ධනවාදය තුළ නිදහස ඇත්තේ ධනපති පාලක පංතියටය. ලෙනින් මෙසේ කියයි.

මධ්‍යතනවාදය සමග සංසන්දනය කරන කල ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් මහා ඓතිහාසික ඉදිරි ගමනක් සලකුණු වන නමුත්, එය කවදත් සීමාකළ, කප්පාදු කළ, ව්‍යාජ හා වංචනික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද ධනපතියන්ට සහ සූරාකනු ලබන්නන්ට පාරාදීසයක්ද, දුප්පතුන්ට උගුලක් හා රැුවටිල්ලක්ද වූයේය.

ලෙනින් – තෝරාගත් කෘති වෙළුම 09 පිටුව 23

ධනපති මැතිවරණ ගැනද ලෙනින්, මාක්ස්ගේ ප‍්‍රකාශයක් උපුටා දක්වයි.

පාර්ලිමේන්තුව තුළ සිටිමින් පීඩිතයන් නියෝජනය සහ මර්දනය කළ යුත්තේ විරුද්ධ පංතියේ කුමන විශේෂ නියෝජිතයන්ද යන්න තීරණය කිරීමට එම පීඩිතයන්ට වසර කීපයකට වරක් ඉඩදෙනු ලැබේ.

ලෙනින් – තෝරාගත් කෘති වෙළුම 06 පිටුව 95

මේ නිසා පොදු ජනතාවට සැබෑ ලෙසම නිදහස හිමිවන්නේ, මෙකී ධනවාදී වියගසෙන් නිදහස් වීමෙන් පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් අදහස් වන්නේ, බහුතරයේ කැමත්තට සිදුවන පාලනය නම් එයද ඉටුවන්නේ ධනපති පීඩනයෙන් නිදහස්ව නිර්ධන පංති පාලනයක් පිහිටුවීමෙන් පමණි. මන්දයත් සාතිශය බහුතරය පීඩිතයන් වන බැවිනි.

මෙහිදී තේරුම් ගැනීමට සිදුවන වැදගත් කරුණක් තිබේ. සමාජවාදී පරිවර්තනය සිදුවූ හා සිදු කිරීමට උත්සාහ කළ අත්දැකීම් විශාල ප‍්‍රමාණයකදී තහවුරු වූ කරුණක් තිබේ. එනම් ධනවාදය තුළ පාලකයින් සේ සිටින ධනපති පංතිය තම බලය අත්හැරීමට කිසිසේත්ම එකඟ නොවීමයි. සමාජවාදය යනු ඔවුන්ගේ සූරාකෑමට විශාලතම බාධාවක් වන නිසා ඔවුන් ඊට කිසිසේත්ම ස්වකැමැත්තෙන් ඉඩ නොදේ. බලයෙන් පහ කළ පසුවද නැවත තමන් සිටි තත්වය දිනා ගැනීමට ධනපති පංතිය කලින්ට වඩා වැඩි ජවයකින් උත්සාහ කරයි. තම බලය රැක ගැනීම වෙනුවෙන් හෝ අහිමි කරන ලද බලය යළි ලබාගැනීම වෙනුවෙන්  ඕනෑම දෙයක් කිරීමට, ලේ සාගරයක් වුව ඇති කිරීමට ඔවුහු පසුබට නොවෙති. චිලිය, ඉතාලිය, මැලේසියාව, ඉන්දුනීසියාව ආදී වශයෙන් ලොව පුරාම ඒ පිළිබඳ උදාහරණ ගෙනහැර දැක්විය හැකිය.

මේ නිසා නිර්ධන පංතියට සමාජවාදී පරිවර්තනය යථාර්ථයක් කිරීම සඳහා මෙකී ධනපති ප‍්‍රතිවිරෝධය යටපත් කිරීමට සිදුවීම අනිවාර්ය කරුණක් වේ. එය වැළැක්විය නොහැකිය. ඒ සඳහා භාවිතා වන්නේ, නිර්ධන පංති රාජ්‍ය බලයයි. එය නිර්ධන පංති ආඥාදායකත්වය ලෙසද හඳුන්වයි. මෙකී නිර්ධනපංති බලය එක් එක් රටවල, එක් එක් අවස්ථාවල භාවිතා වී ඇති ආකාරය විවිධය. ඒ පවතින විවිධ යථාර්ථයන්ට අනුවය. එබැවින්, සමාජවාදී පාලනය ‘දැඩි’ පාලනයක් ලෙස සමහර අවස්ථාවල පෙනී ගොස් තිබේ නම් එහි සැබෑ හේතුව ඉහත කී තත්වයයි.

මේ වඩා සාතිශය බහුතරයකගේ වුවමනාවක් වෙනුවෙන් එම උවමනාවට එරෙහිව බාධා කරන, කුමන්ත‍්‍රණ කරන පිරිස් පාලනය කිරීමට යෙදවෙන බලයක් මිස පොදු ජනතාවට එරෙහිව යෙදවෙන්නක් නොවන්නේය. ඒ පිළිබඳ ජීවමාන උදාහරණ  ඕනෑ තරම් තිබේ. මේ පිළිබඳ කදිම අත්දැකීම් සමාජවාදී කියුබාවෙන්ද ලබාගත හැකිය.

එක්සත් ජනපදයට හෝ ජාත්‍යන්තර ප‍්‍රජාවට කියුබාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කළ නොහැකි ලෙස කියුබාව මානව හිමිකම් රැක තිබේ. කියුබාවට එරෙහිව ත‍්‍රස්තවාදී කටයුතුවල නියැලූනු අය පවා නිදහස් කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදය සේ සිරකරුවන්ට වද දීම් කර නැත. ත‍්‍රස්තවාදී කටයුතු නිසා මිස ‘අදහස්’ නිසා කිසිවෙකු සිරගත කර නැත. විප්ලවයෙන් පසු මේ දක්වා කිසිදු උද්ඝෝෂණයක් මැඩලීමට කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර යොදාගෙන නැත. නිල නොවන මැර කල්ලි, සන්නද්ධ කණ්ඩායම් නැත. විප්ලවයෙන් පසු කිසිවෙකු අතුරුදහන් වී නැත. ඒ ජීවමාන සමාජවාදී උදාහරණයන්ය.

මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රෝහණ විජේවීර කදිම ලෙස පැහැදිලි කරයි.

දැන් මල්ලිමාරච්චි මහත්තයල ලෑස්ති වෙන්නෙ මීලඟ පාර ඇවිත් කියන්න, මොකක්ද? ජේ.වී.පී. එකට ඡන්දෙ දෙන්න එපා. ඇයි? ඒ ගොල්ල බලයට ආවොත් බලෙන් වැඩ ගන්නවා. ඉස්සරහට ඔව්ව කියනව.  පසුගිය කාලෙත් සමහරු කිව්ව. සමාජවාදය යටතේ රුසියාවේ තුවක්කු අල්ලල බලෙන් වැඩ කරවනව කියල. ඇයි? ඒ ගොල්ලන්ගෙ ක‍්‍රමය යටතේ රස්සා නෑ. පෝලිමේ ඉඳගෙන රස්සා දෙන්න, දෙන්න, දෙන්න කිය කියා ඉල්ලනව. අන්න ඒ ගොල්ලන්ට රස්සා දෙනවයි කියල කිව්වම මේ අය කියනව, ‘‘අන්න තුවක්කු අල්ලල උඹලගෙන් වැඩ ගන්නව,’’

අපි අහනව ප‍්‍රශ්නයක්. අද තියෙන්නෙ මිනිස්සුන්ට වැඩ කරන්න බෑ කියන එකද? මිනිස්සුන්ට වැඩ දෙන්න බෑ කියන එකද? අද තියෙන්නෙ වැඩ කරන්න බෑ කියන එක නම්, තර්ක කරත හැකි. ඔන්න, සමාජවාදය යටතේ තුවක්කු අල්ලල වැඩ ගන්නව කියලා.

අද කවුරුවත් කියන්නෙ නෑ, අපිට රස්සා කරන්න බෑ කියලා. කවුරුත් කියන්නේ අපිට රස්සා  ඕන කියලා නේද? රස්සා දෙන්න බැරි එකකුයි තියෙන්නේ. ඉතින් රස්සා දෙන්න බැරි ක‍්‍රමය වෙනුවට රස්සා දෙන්න පුළුවන් ක‍්‍රමයක් ආවම මොකටද තුවක්කු අල්ලන්නෙ? නෑ. සමාජවාදය කියන්නේ තුවක්කු අල්ලන ක‍්‍රමයක් නොවෙයි. සමාජවාදය තුවක්කු අල්ලන්නේ නෑ. රුසියාව? අපොයි නෑ! චීනෙ? අපොයි නෑ!  ඕනනම්  ඕන කෙනෙකුට රස්සාවක් නොකර ගෙදර බඩගින්නේ ඉන්න අයිතිය තියෙනවා. අපි ඒ අයිතිය කාගෙන්වත් උදුරාගන්න යන්නෙ නෑ.

හරි, ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවට පස්සෙ, මල්ලිමාරච්චි මහත්තය කිව්වොත්, ‘මං මෙච්චර කල් රස්සා කළේ නෑ, මහන්සි උනේ නෑ, මට  ඕව කරන්න බෑ කියල’ ඉතිං එහෙනම් බඩගින්නේ හිටපං ගෙදර ගිහිල්ලා. අපේ ප‍්‍රශ්නයක් නෑ. ඒ අයිතිය එයාට තියෙනවා. ඇයි …? අනික් මිනිස්සු සූරාගෙන කාල ඉන්න ඉඩදෙන්න බෑ’’

– රෝහණ විජේවීර – රට හදන්න අපේ ප‍්‍රතිපත්ති 2 වන මුද්‍රණය 45 පිටුව

නිෂ්පාදනය පුළුල්වීම නිසා ධනවාදයේ දී විසඳිය නොහැකි බොහෝ ගැටලූවලට සමාජවාදයේදී විසඳුම් ලබාදිය හැකිය. සැමට රැකියා අවස්ථා ලබාදීම මෙහි ප‍්‍රධාන කටයුත්තකි. දියුණු වන තාක්‍ෂණය ධනවාදයේදී වැඩකරන පිරිසට රැකියා අහිමිවීමට හේතුවක් වුවද, සමාජවාදයේදී එය වැඩකරන පිරිසට විවේකය හා ප‍්‍රතිලාභ සපයන්නක් බවට පත්වේ. පැරණි සමාජවාදී සෝවියට දේශය පුරවැසියන්ගේ විවේකය පිළිබඳ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබුනේය. උදාහරණ ලෙස 1977 සම්මත කළ එහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියෙන් කොටසක් මෙසේය.

කම්කරුවන් හා සෙසු සේවකයන් සඳහා පැය 41 කට නොවැඩි වැඩ සතියක්ද, වෘත්තීන් හා කර්මාන්ත ගණනාවක වඩා කෙටි ශ‍්‍රම දිනයක්ද, රාත‍්‍රී සේවය සඳහා අඩු පැය ගණනක්ද, ස්ථාපිත කිරීම මගින්, පඩි සහිත වාර්ෂික නිවාඩු හා සතියේ විවේක දින සැපයීම මගින්, සංස්කෘතික, අධ්‍යාපනික හා සෞඛ්‍ය නගාසිටුවීමේ ආයතනික පද්ධතිය ව්‍යාප්ත කිරීම සහ ක‍්‍රීඩා, ශාරීරික වර්ධන හා විනෝද කඳවුරු හා සංචාරක කටයුතු බහුජන මට්ටමින් වර්ධනය කිරීම මගින්, නිවැසි ප‍්‍රදේශයේම විවේක කාලය බුද්ධිගෝචර ලෙස උපයෝගි කරගැනීම සඳහා පහසුකම් හා වෙනත් ඉඩ ප‍්‍රස්ථා සැපයීම මගින් මෙම අයිතිය තහවුරු කරනු ලැබේ. සමූහ ගොවිපොළ ගොවීන්ගේ වැඩ කාලය හා විවේක කාලය ඔවුන්ගේ සමූහ ගොවිපොළවල් විසින් තීරණය කරනු ලැබේ.’

ධනවාදයේදී මැතිවරණ කි‍්‍රයාවලිය ද ධනය හා බලය හිමි පිරිස් හා පවුල්වල වරප‍්‍රසාදයකි. එහෙත් සමාජවාදයේදී මැතිවරණවලට ඉදිරිපත් වීමේත් ඡන්දය ප‍්‍රකාශ කිරීමේත් පුරවැසි අයිතිය තහවුරු කරයි.

එසේම ජනතාවගේ නිවාස අයිතිය යන්නද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කෙරෙන්නක් වන අතර සමාජවාදයේදී රජය මගින් සැලැස්මකට අනුව සෑම පවුලක් සඳහාම නිවාස ලබාදීම සහතික කෙරේ.

අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශවලට අදාලවද සුවිශාල අවධානයක් යොමු කෙරේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින්ම ඒවායේ අයිතිය සම්පූර්ණයෙන්ම තහවුරු කෙරෙන අතර ඒවායේ වගකීම සමාජවාදී රාජ්‍යයන් විසින් බාරගනු ලැබේ.

පැරණි සමාජවාදී සෝවියට් දේශයේද, වත්මන් සමාජවාදී රාජ්‍යයන්ගේද ජනතාවගේ අධ්‍යාපනික හා සෞඛ්‍ය තත්වයන් වේගයෙන් ඉහළට එසවුණේ මේ හේතු නිසාය. ක‍්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්‍රවලදී ලොව ඉහළටම තැන්වලට ඒමට සමාජවාදී රටවලට හැකිවී ඇත්තේ මේ නිසාය.

එසේම ධනවාදයේදී කාන්තාව සමාජය තුළ දෙවන පෙළ පුරවැසියකු බවට පත්කර තිබීම හා පුරුෂාධිපත්‍යයට යට වූ වහලියක් වීමේ ඉරණම උරුම කර ඇත්තියකි.

සමාජවාදය තුළ දී සෑම ක්‍ෂේත‍්‍රයකදීම පිරිමින් හා සමාන අයිතීන් කාන්තාවට තහවුරු කෙරෙන අතර එය වර්තමානයේ ප‍්‍රායෝගිකවද ඔප්පුකොට තිබේ. මහජන නියෝජිත ආයතනවලද කාන්තා නියෝජනයේ ප‍්‍රතිශතය සැලකිය යුතු වශයෙන් ඉහළ දැමීමට සමාජවාදී රටවල් සමත් වී තිබේ.

7සමාජවාදයේදී ආගම් තහනම් ද?

කොමියුනිස්ට්වාදීන් දෙවියන් හෝ ආගම් විශ්වාද නොකරන මිත්‍යා දෘෂ්ටිකයන් පිරිසක් බවත් සමාජවාදය බලයට පැමිණියහොත් ආගම් ඇදහීම් තහනම් කෙරෙන බවත් පන්සල් පල්ලි කඩා  බිඳ දමන බවත් ඇතැමුන් පවසන මතයකි.

ධනවාදී ක‍්‍රමය තුළ ආගම් සෑම එකක්ම පාහේ පංතිවලට බෙදී ඇති සමාජයේ පවතින කුරිරු සූරාකෑමත් අසාධාරණයත්, අයුක්තියත් වසන් කිරීමට ධනවාදීන් විසින්ම යොදාගනු ලබන්නක් බවට පත්ව තිබේ. එසේම පීඩිත පංතිය භේදබින්න කර දැමිය හැකි මෙවලමක් ලෙස ද ආගමික වාද භේද භාවිතා කරයි. සාමාන්‍ය ජනතාව ඇදහිලි හා විශ්වාසයන් අන්ධ ලෙස බදා ගැනීමට හේතු වී ඇත්තේ, නූගත්කම හා පීඩනයයි. ඒ නිසා ජනතාව ඉන් මුදාගත් හැක්කේ, මූලිකවම ආර්ථික වහල්භාවයෙන් ඔවුන් මුදවා ගැනීමෙන් පමණි.

ඒ නිසා මේ සම්බන්ධ සමාජවාදයේ ප‍්‍රතිපත්තිය වන්නේ ආගමික අයිතිය පෞද්ගලික අයිතියක් බවට පත්කිරීමයි. කිසිදු ආගමකට රාජ්‍ය මැදිහත්වීමෙන් වැළකීමයි. තම කැමැත්තට අනුව ජනතාවට ඒවා පවත්වාගෙන යාමේ හා නඩත්තු කිරීමේ අයිතිය පිළිගැනීමයි.

එහෙත් මෙය නිවැරදිව වටහා නොගත් ඇතැම් අති වාමාංශික අදහස් දරන පුද්ගලයින් හා ප‍්‍රවණතාවයන් විසින් සිදුකර ඇති හා සිදුකරන වැරදි ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම්වලින් ආගම් සම්බන්ධ ඉහතින් සඳහන් කළ අදහස් සමාජය තුළ තහවුරු කොට තිබේ. චීනය තුළ සංස්කෘතික විප්ලවය නමින් සිදු වූ වැරදි ප‍්‍රවණතාවය මීට කදිම නිදසුනකි. 1976 දී චීන කොමියුනිස්ට් පක්‍ෂය ඒ පිළිබඳ සමාලෝචනයක් සිදුකොට ජනතාව හමුවේ ස්වයං විවේචනයක්ද සිදු කළේය. ලංකාවේද පැරණි වමේ ඇතැම් නායකයින්ගේ ‘‘රුවන්වැලිසෑය ගඩොල් මෝඩයින්ගේ වැඩක්’’ වැනි ප‍්‍රකාශ ද මීට උදාහරණ වේ.

මෙවැනි දේ තුළින් සමාජවාදී ව්‍යාපාරයන්ට සිදු වූ හානි සුළුපටු නොවේ. මාක්ස්වාදය පොතේ ගුරුවාදයක් කරගත් විට මෙවැනි පටලැවිලි සිදුවන්නේය.

එහෙත් වත්මන් සමාජවාදී රටවල්වලත්, පැරණි සෝවියට් දේශය ඇතුළු පැවති සමාජවාදී රාජ්‍යවලත් ආගම් තහනම් නොකෙරුණු අතර අද ද ඒවා අඩු වැඩි වශයෙන් පවතී. චීනයේ ජනගහනයෙන් 20% ක් පමණ බෞද්ධ වේ. වියට්නාමයේ ජනගහනයේ 85% ක් බෞද්ධ වේ. කියුබාවේද ජනගහනයෙන් වැඩි කොටසක් ක‍්‍රිස්තියානි ආගම අදහති. පාප් වහන්සේ එක අවස්ථාවක කියුබාවේ කළ සංචාරය ද සිහිපත් කිරීම මෙහිදී වැදගත් සිදුවීමකි.

ධනවාදයේ සැලසුමක් නැතිකම හා අර්බුදය විසින් ‘‘නාගරීකරණය’’ අතිශය බරපතළ ගැටලූවක් බවට පත් කර තිබේ. වර්තමානයේ ජනප‍්‍රිය පාසල් තරඟය දෙස බැලූවද මෙය පැහැදිලි වේ. ප‍්‍රවාහන අර්බුදය ඇතුළු වෙනත් අතුරු ගැටලූ ගණනාවක්ද මේ නිසා මතුවීම වැළැක්විය නොහැකිය.

එහෙත් මෙවැනි ප්‍රශ්නවලට විසඳුම වන්නේ ගමේ අය නගරයට පැටවීම හෝ නගරයේ අය ගමට පැටවීම වැනි අනුවණ පිළියම් නොවේ. ක‍්‍රමානුකූලව සිදුකරන සමස්ත සැලැස්ම තුළිිිින් අත්පත් කර ගන්නා සමාජ සංවර්ධන‌ෙයේදී  පියවරෙන් පියවර ඉබේම ‌බොහෝ ප්‍රශ්න විසඳෙනුු ඇත.

කාම්බෝජයේ වරෙක සිටි ‘‘පොල්පොට්’’ නම් සමාජවාදය විකෘතියක් බවට පත් කළ පාලකයාගේ කාලයේ දී මෙවැනි යාන්ත‍්‍රික ක‍්‍රියාමාර්ග ගැනීම නිසා සමාජවාදය නම් අති උත්කෘෂ්ඨ ක‍්‍රියාවලිය පිළිබඳ වැරදි අදහස් සමාජය තුළ  තැන්පත් වීමට හේතු විය. 

8සමාජවාදය අප‍්‍රායෝගිකද?

80 දශකයේ අවසානයේ සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රාජ්‍ය පද්ධතියේ බිඳවැටීම විසින් ලෝකය තුළ සමාජවාදය ප‍්‍රායෝගික නොවන බවත්, එය අසාර්ථක බවත් ධනවාදී චින්තකයන් පම්පෝරි ගසනු ලැබීය. මතුපිටින් බැලූ විට එය එසේ පෙනුණත් සත්‍යය එය නොවේ.

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සිදුවනවිට රුසියාවේ පැවැති තත්වය සමග සංසන්දනය කළ හොත් සමාජවාදී පාලනය තුළ ඉතා කෙටි කලකින් සමස්ත සෝවියට් ජනතාව ලබාගත් ජයග‍්‍රහණයන් විශ්මයජනකය. විප්ලවය සිදුවන විට ඉතාම පසුගාමී, වැඩවසම් එමෙන්ම සාර්ගේ ඒකාධිපතිත්වයට ගොදුරු වූ රුසියාව පැවැතියේ අඳුරු අගාධයකය.

පසුව විද්‍යාවේ තාක්‍ෂණයේ අති මහත් ජයග‍්‍රහණයන්ද, ජනතාවගේ ජීවන තත්වය සුවපහසු කිරීමේ දැවැන්ත පියවරයන් තබමින්ද අභ්‍යවකාශය පවා තරණය කරන ලොව ප‍්‍රමඛයා බවට පත්වීමට සමාජවාදී සෝවියට් දේශයට ගතවූයේ කෙටි කලකි.

ඉතාම පසුගාමී තත්වයක සිට සමාජවාදය අරඹන්නට සිදුවීම නිසාත් විශේෂයෙන් ලෙනින්ගේ හදිසි මියයාම නිසාත් පසුකාලීනව වැරදි ප‍්‍රවණතා මතුවී, න්‍යායික ලෙසම සමාජවාදයට පටහැණි වැරදි අන්තයන්ට සෝවියට් පාලනය ගොදුරු විය. ඒ තුළ නිලධාරිවාදය මතුවිය. පිරිහුණු සමාජවාදී රාජ්‍යයක් බවට එය පත්විය. 80 දශකයේ අවසානයේ බිඳ වැටුණේ එකී පිරිහුණු වැරදි ප‍්‍රතිපත්ති සහිත රාජ්‍යයයි.

සෝවියට් දේශය ඇතුළු ඒ අවට සමාජවාදී රාජ්‍යයන්ගේ බිඳ වැටීම බොහෝ ධනවාදී චින්තකයන්ගේ අමන්දානන්දනයට හේතු වූ අතර එය සමාජවාදයේ බිඳ වැටීමක් ලෙස ලෝකය තුළ තහවුරු කිරීමට ද විශාල උත්සාහයක් දරන ලදී. එහෙත් සැබවින්ම සිදු වූයේ සමාජවාදයට පටහැණිව ක‍්‍රියාත්මක් වූ වැරදි ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග නිසා සෝවියට් දේශය බිඳ වැටීමට ඉඩ විවරවීමයි.

එහෙත් වර්තමානයේ ලොව පුරා මතු වී ඇති ධනවාදයේ අර්බුදය ප‍්‍රායෝගිකව ලෝක ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ අන් කවරක් වත් නොව තවදුරටත් මේ මහලූ ධනවාදයට ඉදිරියට යා නොහැකි බවය. එකම විකල්පය සමාජවාදය බවය. ඒ සඳහා වන ලෝක නිර්ධනීන්ගේ පෙළගැස්මක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා අප හමුවේ අවධාරණය කෙරෙමින් පවතින බව සියල්ලන් විසින් වටහාගත යුතුව තිබේ.

9 නිර්ධන පංතිය බිහිවූයේ කෙසේද?

ඉකුත් ශතවර්ශයේ දෙවැනි භාගයේදී එංගලන්තයේ ඇති වූ කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵලයක් වශයෙන් නිර්ධන පංතිය බිහිවිය. පසුව මේ කාර්මික විප්ලවය ලෝකයේ අනිකුත් ශිෂ්ට රටවලට පැතිරුණි. මේ විප්ලවය ඇති වූයේ වාෂ්ප යන්ත‍්‍රය, නූල් කටින යන්ත‍්‍රය, රෙදි වියන යන්ත‍්‍රය සහ තවත් වෙනත් යන්ත‍්‍ර සූත‍්‍ර සොයාගැනීම නිසාය. මේ යන්ත‍්‍ර අධික මිලැති ඒවා වූයෙන්, ඒවා මිළදී ගත හැකි වූයේ මහ ධනවතුනට පමණකි. මේ නිසා එතෙක් පැවති නිෂ්පාදන ක‍්‍රමය වෙනස්විය. කම්කරුවන්ට තම චර්කාවලින් සහ නොදියුණු අත් යන්ත‍්‍ර වලින් නිපදවිය හැකි, දේවලට වඩා හොඳටත්, ලාභයටත් මේ යන්ත‍්‍ර මඟින් නිපදවිය හැකි නිසා පැරණි කම්කරුවන්ට මහ මගට බැසීමට සිදුවිය. මේ හේතුව නිසා මේ යන්ත‍්‍ර විසින් මුළු මහත් කර්මාන්තයම මහා ධනපතීන් අතට පවරන ලදී, කම්කරුවන් සතු ඉතා නොවැදගත් දේපොළ වල (උපකරණ, අත් යන්ත‍්‍ර ආදිය) වටිනාකම එහෙම පිටින්ම නැති කර දමන ලදී. ධනපතීන් ඉක්මණින් හැම දෙයක්ම තමන් සතු කර ගත් නිසා කම්කරුවන්ට කිසිවක් ඉතිරි නොවීය. මේ හේතුවෙන්, රෙදි විවීම කාර්මික මෙහෙයුම් පද්ධතියක් (හෙවත් පැක්ටරි ක‍්‍රමය) මත ආරම්භ විය. – යන්ත‍්‍ර යොදවා කාර්මික මෙහෙයුම් පද්ධතිය මත නිපදවීමේ අදහස ඇති වූ විගසම, කර්මාන්තයේ ඉතිරි සියළු අංශ වලට කාර්මික පද්ධති සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. විශේෂයෙන්ම රෙදි නිපදවීම, පොත් මුද්‍රණය, වලං සෑදීම, ලෝහ භාණ්ඩ සෑදීම ආදි ක්ෂේත‍්‍රවලට එය පැතිරිණි. ශ‍්‍රමය එක් එක් කම්කරුවන් අතර වැඩි වැඩියෙන් බෙදීයාමට පටන් ගති, ඉස්සර කම්කරුවා මුල සිට අග දක්වා සම්පූර්ණයෙන්ම යමක් නිපදවීමට වැඩ කළ නමුදු, දැන් යම් කිසිවක කොටසක් පමණක් නිපදවන්නට විය. මේ ශ‍්‍රම විභජනය නිපදවීම වඩාත් ඉක්මන් කළ අතර එහි මිළද අඩු කළේය. මෙය හැම කම්කරුවෙකුගේම ක‍්‍රියාකාරිත්වය යම් කිසි එක් දෙයකට, ඉතා සරළ, ස්ථාවර ලෙසම නිතර නිතර සිදුවන, පුනරාවර්තන යාන්ත‍්‍රික මෙහෙයුමකට සීමා කළේය. මෙය එතරම්ම සාර්ථක ලෙස නැතිනම්, එයටත් වඩා හොඳින් යන්ත‍්‍රයට කළ හැකි විය. ඉතින් මේ විදිහට කර්මාන්තයේ හැම ක්ෂේත‍්‍රයක්ම එකින් එක වාෂ්ප බලයටද, යන්ත‍්‍රයටද, කාර්මික මෙහෙයුම් පද්ධතියටද යට වූයේ, නූල් කැටීම සහ රෙදි විවීම යාන්ත‍්‍ර කරණයට හසු වූ පරිදිමය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේවා සියල්ල මහා ධනවතුන් සතු විය. ඉස්සර මේ කර්මාන්තවල යෙදී සිටි කම්කරුවන්ට සිය ස්වාධීනත්වයේ අවසාන නටබුන් පවා නැති විණි. ක‍්‍රම ක‍්‍රමයෙන් පැක්ටරි ක‍්‍රමයට, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හස්තෝපක‍්‍රම කර්මාන්ත නිෂ්පාදනය පමණක් නොව, හස්ත කර්මාන්ත අංශ පවා යටවන්නට විය. මහා ධනවතුන් කුඩා හස්ත කර්මාන්ත ශිල්පීන් පන්නා දමා, විශාල කර්මාන්තශාලා සංවිධානය කළහ. මේ නිසා නිපදවීම සඳහා යන වියදම බොහෝ දුරට අඩු වූ අතර සවිස්තරාත්මක ශ‍්‍රම විභජනයක් ඇති විය. ශිෂ්ටාචාර සියළු රටවල ශ‍්‍රමයේ හැම ක්ෂේත‍්‍රයකම පාහේ ෆැක්ටරි නිෂ්පාදනය තහවුරු වූ අතර හැම ක්ෂේත‍්‍රයකට පාහේ හස්ත කර්මාන්තය හා කුඩා නිෂ්පාදන ක‍්‍රමය වෙනුවට විශාල කර්මාන්තය ඇති විය. මෙහි විපාකයක් වශයෙන්, ඉස්සර මැද කොටස, විශේෂයෙන්ම කුඩා හස්ත කර්මාන්ත ශිල්පීහු වඩ වඩාත් ආර්ථික විනාශයට මුහුණ පෑහ. ශිල්පියාට හිමිව තිබූ පැරණි තත්වය එහෙම පිටින්ම වෙනස් විය. අනිකුත් සියලූ කොටස් අභිබවා අළුත් පංතීන් දෙකක් ක‍්‍රම ක‍්‍රමයෙන් බිහිවිය. ඒවා මෙසේය:

  1. මහා ධනවතුන්ගේ පංතිය. සියළු ශිෂ්ටාචාර රටවල වත්මන් අවධියේ සියලූ ජීවන මාධ්‍යයයන්ද, එමෙන්ම නිෂ්පාදනයට අවශ්‍ය දේ වන අමු ද්‍රව්‍යද, උපකරණද (යන්ත‍්‍ර, කම්හල් ආදිය)අයිති මේ එකම පංතියටයි. එය ධනපතීන්ගේ පංතිය හෙවත් ධනපති පංතියයි.
  2. කිසිදු ධනයක් නොමැති පංතිය. මේ හේතුව නිසා තම බඩ වියත රැකගනු වස් ශ‍්‍රමය ධනපති පංතියට විකුණා තම පැවැත්මට අවශ්‍ය දේ ලබා ගැනීමට මොවුන්ට සිදු වී ඇත. මෙය නිර්ධනීන්ගේ පංතිය හෙවත් නිර්ධන පංතිය නමින් හැඳින්වේ.

කොමියුනිස්ට්වාදයේ මූලධර්ම

10

සමාජවාදය තුළ දේපළ ආකාරය සහ ආර්ථික නියාමනය

සමාජවාදී ආර්ථිකයේ මූලික ප්‍රතිවිරෝධය වන්නේ ගොඩනැගෙමින් පවතින සමාජවාදී නිෂ්පාදන සබඳතාවයන් සහ ඓතිහාසිකව හැකිළෙමින් පවතින ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් අතර ප්‍රතිවිරෝධයයි. එය මූලික ප්‍රතිවිරෝධය වන අතර සමාජවාදී මහා පරිමාණ නිෂ්පාදනය සහ සුළු පරිමාණ භාණ්ඩ නිෂ්පාදනය අතරද ප්‍රතිවිරෝධයක් පැවතියත් එය මූලික නොවන ප්‍රතිවිරෝධයක් ලෙස  පවතිනු ඇත. සමාජවාදය තුළ දේපළ පවතින මූලික ආකාර 3ක් හඳුනාගත හැකිය. එම හඳුනාගැනීම ඒ එක් එක් රටවල ආර්ථිකයේ පවතින තත්වයට හා ඓතිහාසික විකාශනයට සාපේක්ෂව වෙනස් විය හැකි බවද අවධාරණයට ගත යුතුය.

රාජ්‍ය දේපළ, සමූහ දේපළ හා සුළු පරිමාණ පෞද්ගලික දේපළ ලෙස දේපළ ආකාර 3කින් පවතින බව මූලධාර්මිකව අපි පිළිගනිමු.

 

සමාජවාදය යටතේ රාජ්‍ය දේපළ

බලයට පත්වන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ  රාජ්‍යයේ මැදිහත්වීමෙන් කළමනාකරණ කරනු ලබන දේපළ මේ යටතට ගත හැකිය. උදාහරණ ලෙස විදේශ වෙළඳාම, බැංකු, වරාය, ගුවන්තොටුපළ, ප්‍රවාහනය, තොග වෙළඳාම, මහා පරිමාණ ගොවිපොළ සහ කර්මාන්ත,  විදුලිය, විදුලි සංදේශ, අධ්‍යාපනය, සෞඛ්‍ය දැක්විය හැකිය.

සමාජවාදය යටතේ සමූහ දේපළ

රාජ්‍ය විසින් ඍජුවම පවරාගෙන නොමැති, එහෙත් ධනේශ්වර සබඳතාවයන් තහවුරු වීමේ ඉඩ අවම කරමින් පවත්වාගෙන යන සංක්‍රමණීය දේපළ ආකෘතියකි. සමූහ ගොවිපළ සහ නිෂ්පාදකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ සමූපකාර ස්වරූපයෙන් පවතී.

සමාජවාදය යටතේ පෞද්ගලික දේපළ

සමාජවාදය යටතේ පෞද්ගලික දේපළක් කිසිසේත්ම පැවැතීමට ඉඩ නොදෙන්නේ යැයි සමාජ ධනේශ්වර මතවාදයක් ඇත. ඒ, සමාජවාදය ජනතාවගෙන් දුරස් කිරීමේ වුවමනාවෙන් කරනු ලබන වූ ධනේශ්වර ප්‍රචාරයන්ය. සමාජවාදය යටතේද පෞද්ගලික දේපළ පවතී. සංක්‍රමණීය අවධිය තුළ ආර්ථිකයේ මූලික කි‍්‍රයාවලිය රාජ්‍ය හා සමූහ දේපළ මගින් කි‍්‍රයාවට න`ගන අතර, පෞද්ගලික දේපළ පවතින ප්‍රමාණය සහ එහි කි‍්‍රයාකාරිත්වය නිශ්චිත රටෙහි විෂය මූලික සහ ඓතිහාසික තත්වයන් විසින් තීරණය කරනු ඇත.

සෝවියට් දේශය ඇතුළු පැරණි සමාජවාදී කඳවුරේ රටවලදී මෙය බොහෝ විට සුළු පරිමාණ පෞද්ගලික දේපළ ස්වරූපයක් ගන්නා ලද අතර, පොදු දේපළ තහවුරු වීමේ ප්‍රමාණය මත පෞද්ගලික දේපළ පැවැත්මේ වුවමනාව අවසන් වනු ඇත.

11සමාජවාදය යටතේ මූලික ආර්ථික නියාමයන්ගේ කි‍්‍රයාකාරිත්වය

අපි ධනවාදය හැදෑරීමේදී ධනේශ්වර නියාමයන් කි‍්‍රයාකාරී වන උපාංග හඳුනා ගත්තෙමු. වෙළඳ භාණ්ඩය, මුදල්, මිල, වැටුප්, බෙදාහැරීම, ශ්‍රමය ආදිය මේ අතර විය. ඒවා ධනේශ්වර ක්‍රමයේදීත් සමාජවාදයේදීත් එකම වචනවලින් යෙදුවට තේරුම් ගත යුත්තේ සමාජක්‍රම දෙක තුළ භාවිත වන, කි‍්‍රයාවට නඟන අරමුණෙහි වෙනස අනුවය. ධනවාදයේදී ‘මිල’ තීරණය කළ ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයට, වෙනස් වුවමනාවන් සහිතව සමාජවාදයේදී ‘මිල’ යොදා ගනී.

 

සමාජවාදය යටතේ මුදල්

ධනවාදය යටතේ මුදල්, වැටුප් ශ්‍රමය සූරාකෑමේ මාධ්‍යයක් වන අතර, එය ප‍්‍රාග්ධනය ලෙස කටයුතු කරයි. සමාජවාදය යටතේ සූරාකෑම අවම කර ඇති තත්වයක් යටතේ මුදලද ප‍්‍රාග්ධනය ලෙස කටයුතු කිරීමේ ස්වභාවය හීන වෙමින් යනු ඇත. සමාජවාදය යටතේද මුදල් පවතින අතර, එහිදී ප්‍රධාන කොටම භාණ්ඩවල වටිනාකම ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙසත් සංසරණ මාධ්‍යයක් ලෙසත් ණය ගෙවීමේ මාධ්‍යයක් හැටියටත් සමාජවාදයේදීද පුද්ගලයින්ගේ ඉතුරුකිරීම්වල මාධ්‍යයක් ලෙසත් කටයුතු කරනු ලැබේ.

සමාජවාදයේදී භාණ්ඩ මිල

ධනවාදයේදී වටිනාකමේ මිල, වෙළඳපොළ ඉල්ලූම හා සැපයුම විධානයන්ට අනුව තීරණය වන බැව් පැවසේ. සමාජවාදයේදී වටිනාකමේ මුදල් ස්වභාවය ලෙස හුවමාරු භාණ්ඩයක මිල තීරණය වන අතර, එය සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව තීරණය කෙරේ.

මෙය සමාජවාදී සංක්‍රමණීය අවධිය තුළ නිෂ්පාදනයේ ව්‍යාපෘතියේ  ප්‍රමාණය මත තීරණය වන්නකි. මෙහිදී භාණ්ඩයක් සඳහා වන වියදමට ශුද්ධ ආදායම එකතු කිරීමෙන් මිල නීර්ණය කරනු ලැබේ. වැඩ කළ ප්‍රමාණයට ප්‍රතිලාභ සමාජයට බෙදා දීම සමාජවාදයේ මූලික වුවමනාව වෙයි. ඒ අනුව, නිෂ්පාදනය බෙදා දීමෙන් අනතුරුව, ශුද්ධ ආදායම ව්‍යාපාර ලාභය සහ වෙළඳ බදු, සමාජය සඳහා වූ නිෂ්පාදනයක් ලෙස රාජ්‍යයේ ගිණුමකට බැර වේ. (මෙම කොටස භාණ්ඩයේ මිලෙහි අන්තර්ගත වේ.)

සමාජවාදය යටතේ භාණ්ඩයක වටිනාකම

සමාජවාදය යටතේද, හුවමාරු භාණ්ඩයක හුවමාරු හා ප්‍රයෝජ්‍ය වටිනාකම පවතී. ධනවාදයේ මෙන් අතිරික්ත වටිනාකම් ඉපැයීම පමණක් අරමුණු කරගෙනම සිදු වන හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයට පටහැණිව, සමාජයේ ප්‍රජාවගේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරන අතර විවිධත්වය අනුව ප්‍රමාණයෙන් හා ගුණයෙන් පොහොසත් ප්‍රයෝජ්‍ය වටිනාකම නිෂ්පාදනය කරයි.

සමාජවාදය යටතේ බෙදා හැරීම

ධනවාදයේ නිෂ්පාදනයේ ප්‍රතිලාභ සියල්ල බෙදා හැරෙන ආකාරය අතිශය සූරාකෑමේ කි‍්‍රයාවලියක් බව අපි ප්‍රයෝගික ලෙසම අත් විඳ ඇත්තෙමු. නමුත් සමාජවාදයේ ප්‍රතිපත්තිය ඊට ඉඳුරාම වෙනස්ය. සමාජවාදයේදී වැඩ කළ ප්‍රමාණයට අනුව බෙදා හැරීම සිදුවෙයි. මෙමගින් පරිභෝජනය සඳහා වැඩ කිරීම අනිවාර්ය වෙයි. අනෙක් අතට සමාන වැඩට සමාන වැටුප් ගෙවනු ලැබේ. මෙමගින් වැටුප්වල මෙන්ම සිදු කරන කාර්යයේ විවිධත්වයක් අඟවයි. එනම් වඩාත් කාර්යක්‍ෂම හා නිපුණ ශ්‍රමයට වැඩි වැටුප් ගෙවනු ලබයි. දුෂ්කර වැඩටද වැඩි වැටුප් හිමිවනු ඇත.

සමාජවාදයේ වැටුප්

ධනවාදයේදී වැටුප් යනු, ශ්‍රම ශක්තියට ගෙවනු ලබන මිලයි. නමුත් සමාජවාදයේදී මෙය බරපතළ වෙනසකට ලක්වේ. සමාජවාදයේදී වැටුප් යනු, වැඩ කළ ප්‍රමාණයට අනුව බෙදාහැරීමේ ක්‍රමයක්  වන අතර, එය සමාජ නිෂ්පාදනය බෙදා හැරීමේ ආකාරයකි.