ෆැසිස්ට්වාදය….. තව දුරටත්

Neo-Liberalism – නව ලිබරල්වාදය
December 6, 2018
බොනපාට්වාදය
December 7, 2018
Show all

ෆැසිස්ට්වාදය….. තව දුරටත්

ෆැසිස්ට්වාදය
ධනේශ්වර ආඥාදායකත්වය විටෙක ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් පෙනී සිටියි. තවත් විටෙක එය බොනපාට්වාදී හෝ ෆැසිස්ට්වාදී ස්වරූපයෙන් පෙනී සිටියි.  ඉතාලියේ මුසලෝනි ජර්මනියේ හිට්ලර් පෘතුගාලයේ එස්ටාඩෝනාටෝ වැනි විවිධ පාලකයන්ගේ පාලන කාලයන් තුළ පැසිස්ට්වාදය මතුවී ඇත.  දේශපාලන සංවාදය තුළ නිරන්තරයෙන් ෆැසිස්ට්වාදය නැමැති වදන පුණරුච්ඡාරණය වන නමුත් එහි බොහෝ අවස්ථාවල එය භාවිතා වන්නේ නිවැරැදි අර්ථ සහිතව නොවේ.

පදගත අරුත

තදින් එකට බැඳුණු යෂ්ටි මිටියක් යන අරුත දනවන Fasces යන ලතින් වචනයෙන් මිදීමක් වන FACIO වචන ඇසුරෙන් ෆැසිස්ට්වාදය නැමති වචනය බිහි වී ඇත. ඒ නිසා එහි වචනාර්ථය සාමුහිකත්වය, එකට බැඳීම වැනි අර්ථයක් එක් කර ‘සාමුහිකත්වයෙන් ශක්තිය’ යන අදහස දනවයි.

ෆැසිස්ට්වාදය යනු

විකිපීඩියා ශබ්ද කෝෂය රොබට් ඕ පැක්ස්ටන් නැමැති ඉතිහාසඥයා උපුටා ගනිමින් ෆැසිස්ට්වාදය නිර්වචනය කර ඇත්තේ මෙසේය.

ප්‍රජාතන්ත්‍රවාදී සාරයන්  හෝ නෛතික රාමුව නොසලකා අභ්‍යන්තරික ජන ශුද්ධයන් ද  බාහිරට  කෙරෙන ආක්‍රමණයන් ද සිදු කෙරෙන මිලිටරිවාදය සහ ජාතිකවාදය මත පදනම් වූ පක්ෂයක් ලෙස එක්වූ එක්සත්කම,  බලය හා වාර්ගික පවිත්‍රත්වය විශ්වාස කරන කණ්ඩායමක පාලනයක්.

ෆැසිස්ට්වාදය පිළිබඳ පූර්ණ අදහසක් ති වාක්‍යකට සංක්ෂිප්ත කරමින් ලෙනින් ප්‍රකාශ කර ඇත්තේ

”ෆැසිස්ට්වාදය යනු දිරාපත් වූ ධනවාදයයි” යනුවෙනි

පැසිස්ට්වාදය බිහිවීමට පදනම් වූ සමාජ ආර්ථික තත්ත්වය

ධනවාදයේ සංවර්ධනීය අවධිය වූ නිදහස් තරඟයේ අවධිය පසුකර එය අධිරාජ්‍යවාදය තෙක්  ගමන් කිරීමත් සමඟ ලොව පුරා අධිරාජ්‍යවාදීන් අතර ලෝකය බෙදා ගැනීම සඳහා වූ අරගලයක් නිර්මාණය විය. ඒ අතරම නැගී ආ නිර්ධන පංති ව්‍යාපාරය අධිරාජ්‍යවාදීන්ට අභියෝගාත්මක ලෙස සමාජවාදී කඳවුරේ නිර්මාණය කරමින් තිබිණි.  ඒ අතරම ධනවාදය බරපතළ ආර්ථික අර්බුදයන් රැසකට මුහුණ දෙමින් තිබිණි. මෙම තත්ත්වය තුළ ධනවාදයට සිය සම්ප්‍රදාය ක්‍රමවේදයන් තුළ සිය පැවැත්ම රැක ගැනීමේ අර්බුදයක් නිර්මාණය වීය.  ෆැසිස්ට්වාදය ධනවාදයේ පිළිසරණය ඉදිරිපත් වෙන්නේ මෙම තත්වය තුල ය.

ෆැසිස්ට්වාදය සහ ලිබරල්වාදය

අර්බුදයට ගොස් තිබූ ලිබරල් ධනවාදී ආකෘතිය තුළ තවදුරටත් එම රටවල් වල ආර්ථික වර්ධනය වන තත්වයක් නොපැවතිනි. එම නිසා ධනවාදයට සිය ස්වරූපයේ රැඩිකල් ඛණඩනයක් අවශ්‍ය වි. ඒ වන පීඩාවට පත්ව සිටි සමාජ බලවේගයන්ගේ සහයෝගය ධනවාදය වෙත දිනා ගැනීමටද එම ස්වරූපයේ කරගන්නා වෙනස ඉවහල් විය. එම නිසා ෆැසිස්ට්වාදය ආරම්භයේදී දැඩි ලිබරල් විරෝධී ස්වරූපයක් දැරීය. ඒ සඳහා ඇතැම් විට එය සමාජවාදී සළුපිලි පවා ඇඳ ගැනීමට නොපැකිලුනි.

අප සමාජවාදීන්, අපි මානව වර්ගයාගේ උසස් ක්‍රියාකාරිත්වයන් වෙනුවට ධනය සහ දේපළ මතින් කරන අයෝග්‍ය ගණනය කිරීම් සහ ආර්ථිකමය වශයෙන් ශක්තිවන්තයා විසින් දුර්වලයා සූරා කන ධනේශ්වර ආර්ථික ක්‍රමය සතුරන් වෙමු.
–  හිට්ලර් 1927

ෆැසිස්ට්වාදය සහ ජාතිවාදය

බිඳ වැටී තිබූ ජාතික ආර්ථිකය ගොඩනැගීමට ෆැසිස්ට්වාදය සියලු ක්ෂේත්‍රයන්ට රාජ්‍ය මැදිහත්වීම් යෙදවී ය. එහෙත් පෞද්ගලික ව්‍යවසායන් පවරා ගත්තේ නැත. නමුත් ඔවුන් සමුපකාර වැනි ක්‍රමයන් උද්යෝගිමත් කරන ලදී. වේගවත් ආර්ථික ක්‍රියාවලියක් වෙනුවෙන් සියලු ජාතීන් දායක කරගත යුතු විය. එය අභ්‍යන්තර ආර්ථික සංවර්ධනයටත් අභ්‍යන්තර සමගියටත් බාහිරට කෙරෙන ආක්‍රමණ සඳහාත් එකසේ වැදගත් විය. එම නිසා සියලු පන්තීන්ගේ සහයෝගය දිනාගත හැකි පොපියුලිස්ට්වාදී සටන් පාඨයක් ලෙස ජාතිකවාදය ෆැසිස්ට්වාදීන් විසින් යොදාගත්තේය.  හිට්ලර්ගේ පක්ෂයේ නම පවා සකස් වූයේ ජාතික සමාජවාදය (Nationasozalisten)  යන නාමයෙනි. Nazi යනු එහි කෙටි යෙදුමයි.

ෆැසිස්ට්වාදය සහ කොමියුනිස්ට්වාදය.

ෆැසිස්ට්වාදීන්ගේ අන්ත ප්‍රතිගාමී වර්ගවාදී අරමුණු වලට එරෙහිව පළමු සටන ඇරඹුවේ එම රටවල කොමියුනිස්ට්වාදීන් විසිනි. එසේම ඔවුන්ගේ ලෝකය භූගෝලීය අත්පත් කරගැනීමේ අරමුණට ද සමාජවාදී කඳවුර බාධාවක් විය. එම නිසා පැසිස්ට්වාදය සිය අංක එකේ සතුරා ලෙස තෝරාගත්තේ කොමියුනිස්ට්වාදයයි.

සමාජවාදය යනුවෙන් අප භාවිතා කරන යෙදුමට මාක්ස්වාදීන්ගේ සමාජවාදය සමඟ කිසිඳු ගනුදෙනුවක් නැත. මාක්ස්වාදය පෞද්ගලික දේපල විරෝධී ය. සැබෑ සමාජවාදය එවැන්නක් නොවේ.
 – හිට්ලර්  1930

“අපි සමාජවාදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළෙමු. ඒ එය සමාජවාදය නිසා නොව එය ජාතිකවාදයට එරෙහි නිසාය”
– බෙනිටෝ මුසලෝනි 1919

ෆැසිස්ට්වාදයේ තාක්ෂණික පසුබිම

ෆැසිස්ට්වාදයේ පළමු ප්‍රකාශකයා වූයේ බෙනිටෝ මුසලෝනි ය. ඔහු සිය ජීවිතයේ පරමාදර්ශයක් ලෙස සැලකුවේ ජුලියස් සීසර් ය.  සීසර්ගේ චරිතයත්, නිකොලොයි මැකියාවේලිගේ කුමාරයා කෘතියත්,  නීට්ෂේගේ ‘සුපිරි මිනිසා’ පිළිබඳ සංකල්පයත් පසුකාලීනව ෆැසිස්ට්වාදය පිළිබඳ සිය විග්‍රහයන් ඉදිරිපත් කිරීමේ දී එහි එන ‘අනුහස් සහිත පුද්ගල නායකත්වය’ පිළිබඳ සංකල්පය ගොඩ නැගීමට මුසලෝනි උදව් කරගෙන ඇත.  ජොර්ජ් සෝර්ල්ගේ රැඩිකල් ජාතිකවාදයත්, නීට්ෂේගේ  ආක්‍රමණශීලී ජාතිකවාදයත් මුසලෝනිගේ ජාතිකවාදය පිළිබඳ සංකල්පය පෝෂණය කළේය.  එසේම මුසලෝනි ඉතාලියානු දාර්ශනිකයකු වූ කොරිඩිනිගේ ‘නිර්ධන පන්ති  ජාතිකවාදය’ පිළිබඳ මතවාදය ගොඩ නගා ගත්තේ සමාජ ඩාවින්වාදයක් සහ  ජාතිකවාදයත් ඒකාබද්ධ කිරීමෙනි.

මුසලෝනිගේ ෆැසිස්ට්වාදී සංකල්පයන් වඩාත් අනුරාගිකව  අනුගමනය කළ පුද්ගලයා වන හිට්ලර් ඉහත දාර්ශනිකයන්ට අමතරව ස්ට්‍රෙසර්  සහෝදරයන් ගේ ඉගැන්වීම්වල මග පෙන්වීම ලැබුණි. නීට්ෂේගේ ඉගැන්වීම් වලිනුත් සමාජ ඩාවින්වාදයෙනුත් මග පෙන්වීමට ලැබූ බැවින් පැසිස්ට්වාදය ආගම් විරෝධී සහ රැඩිකල් භෞතිකවාදී ලක්ෂණයන්ගෙන් සහිත විය.

කෙටි කාලීනව පැසිස්ට්වාදය ලිබරල් ධනවාදය සමග ගැටුණ ද, දීර්ඝකාලීන අරුතින් ගත් කල එය ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරයි. ධනවාදය අර්බුදයන් තාවකාලික අතික්‍රමණය කිරීමට ෆැසිස්ට්වාදය සේවය කරයි. ෆැසිස්ට්වාදය කුමන දාර්ශනික වාගාලාප යොදා ප්‍රකාශයට පත් කළ ද එය නියෝජනය කරන්නේ අන්ත දක්ෂිණාංශික රැඩිකල්වාදයයි. එහි හරය ලෙනින් පැවසූ ලෙසට දිරාපත් වූ ධනවාදයයි.

විමර්ශන