ව්‍යවස්ථාමය සදාචාරය.

تأثير تغيرات المناخ الإقليمي على صحة الإنسان
මාක්ස්වාදී දර්ශනය හා සොබා දහම
December 19, 2018
The Second International: Social-Democracy, 1880 — 1920
December 20, 2018
Show all

ව්‍යවස්ථාමය සදාචාරය.

let's

රටක් පාලනය කරන මූලික නීතිය එරටෙහි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ප‍්‍රකාරව ලෝකයේ ව්‍යවස්ථා ලිඛිත සහ අලිඛිත වශයෙන් ඇත. ලිඛිත ව්‍යවස්ථාවකට උදාහරණයක් නම් ශ‍්‍රි ලංකාවේහි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි. ලිඛිත ව්‍යවස්ථාවක රට පාලනය කරන ක‍්‍රමවේදය ලිඛිතව සඳහන් වී ඇත.  අලිඛිත ව්‍යවස්ථාවක් යනු ලියවිල්ලක් වශයෙන් නොලියවුනු එහෙත් රටක ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අදාල නීති සම්ප‍්‍රදායන් සහ සිරිත් විරිත් මත ගොඩ නැගුණු රාජ්‍ය පාලනයට අදාල කර ගන්නා වූ නීතිරීති සමුදායක් වන අතර අලිඛිත ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස එංගලන්තය අදාල කර ගත හැකිය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හුදු නීතිමය ලියවිල්ලක් පමණක් නොවන අතර ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක සඳහන් කරුණු කාරණා මගින් රටක පාලනයෙහි අභිලාෂයන් සහ ජනතාවගේ අභිලාෂයන් පිලිබිඹු වේ. මේ අනුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක වගන්තියක් අර්ථ නිරූපනය කිරිමේදී එම අර්ථ නිරූපනය හුදු නෛතික අර්ථ නිරූපනයක් පමණක්ම නොවන අතර එම වගන්තිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරිමට හේතු වූ අභිලාෂයන්ද සමඟ අර්ථ නිරූපනය කල යුතුය.

රටෙහි සෑම පුරවැසියෙක්ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටින අතර  ඕනෑම රටක පදනම් නීතිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වේ. නීති දාර්ශනිකයෙක් වන හාන්ස් කෙල්සන්ට (Hans Kelsen) අනුව ශුද්ධ නීති න්‍යාය අනුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික නෝමය (basic norm) වන අතර  ඒ මත අනෙකුත් නීති සහ ආයතන බිහි වී ඇත. තවත් සරලව පැහැදිලි කරන්නේ නම් මූලික නෝමය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකුව හොත් ඒ මත ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයද තවත් ඉහලට යන්නේ නම් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, වෙනත් රාජ්‍ය ආයතන සහ රටෙහි පුරවැසියන් දැක්විය හැකිය. මේ අනුව රටක සමස්ථ  සමාජ දේහයම ගොඩනැගී ඇත්තේ එරටෙහි මුලික නෝමය වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මතය.

රටක ව්‍යවස්ථාවක් ආරක්‍ෂා කිරිම සෑම පුරවැසියෙකුගේම වගකීමක් වී ඇත්තේ ව්‍යවස්ථාවට හානිකර ක‍්‍රියාවක් සමස්ථ සමාජ දේහයටම සෘජු බලපැමක් ඇති කරන නිසාය. පසුගිය ඔක්තෝබර් මස විසිහය වන දින සිට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දු තීරණ මේ සඳහා දිය හැකි සක‍්‍රියම උදාහරණයක් වේ. එම තීන්දු තිරණ වලට එලඹීමේදී සෘජුවම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලය අතික‍්‍රමණය වූ බවට අද වන විට අධිකරණය මගින්ද තීන්දු කර ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේදී ඔහු ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උපයෝගී කර ගත් ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධී බවට  මේ වන විටත් ප‍්‍රකාශ කර ඇත.

එසේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරිම සමාජයට බලපාන්නේ කෙසේද? දහනව වන  ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වූ පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් විසිරුවා හැරීම සිදු කල හැක්කේ අවුරුදු හතරකුත් මාස හයකට පසුව බව එම සංශෝධනයෙහි පැහැදිලිවම දක්වා ඇත. එසේ නැතහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් මෙම කාලයට පෙර විසිරුවා හැරිය හැක්කේය. මේ අනුව දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට පසුව පැවැති මහ මැතිවරණයේදී යම් දේශපාලන පක්‍ෂයකට සහ අපේක්‍ෂකයන් තිදෙනෙකුට මනාපය පල කරනු ලැබූ ජන්දදායකයෙකු තමන් පත් කර ගත් මහජන නියෝජිතයා එසේ පත් වීමෙන් පසු අවුරුදු හතරකුත් මාස හයක් යන තෙක් ඔහු වෙනුවෙන් සේවයක් සිදු කරාවි යැයි නීත්‍යානුකූල අපේක්‍ෂාවක් ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිර වීමෙන් ඔහුගේ නීත්‍යානුකූල අපේක්‍ෂාව බිඳ වැටී ඇත.  මේ අනුව පෙනී යන්නේ පාර්ලිමේන්තුව විසිර වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණයෙහි නෛතිකභාවය මෙන්ම සදාචාරමය ලක්‍ෂණයන්ද කඩකොට ඇති බවයි.

මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැලකීමේදී එය රටෙහි විධායකයෙහි හැසිරිම, ව්‍යවස්ථාදායකයෙහි හැසිරීම, අධිකරණය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාව ඇතුලු ස්වාධීන කොමිෂන් සභා සහ වෙනත් කාරණා රාශියක් සම්බන්ධයෙන් පවතින පදනම් නීතිය වන්නේය. ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ආරක්‍ෂා කල යුතු වන්නේ සමස්ථ සමාජ දේහය පාලනය කරන්නා වූ සියලුම ආයතනවල පාලනය ඒ තුල පවතින නිසාය.

රටෙහි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කල යුත්තේ සහ එය ආරක්‍ෂා කල යුත්තේ එය වැරදි සහගත ලෙස අර්ථනිරූපනය කරන ක‍්‍රියාවකින් ප‍්‍රතිවිරුද්ධ දේශපාලන සතුරාට පහර දීමට ඔබ්බට විහිදෙන පල විපාකයන් සමස්ථ රාජ්‍යයට ඇති වන බැවිනි.
නීතිඥ උපුල් කුමරප්පෙරුම