මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය

Karl-Marx-portrait-jubilee-trier-germany-capitalism-economist-communism
Strikes and Combinations of Workers
December 18, 2018
تأثير تغيرات المناخ الإقليمي على صحة الإنسان
මාක්ස්වාදී දර්ශනය හා සොබා දහම
December 19, 2018
Show all

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය

student-education

         ‘අතීත මිනිස් පරම්පරාවන් හා තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ – ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි.

මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ ජීවිතයේ භාෂාව එයයි. ජනතාවගේ අත්දැකීම්, සිතුවිලි හා බුද්ධිමය හුවමාරුව ආදියේ ඍජු ප්‍රභවය, මූලාශ්‍රය වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යමය භාවිතාවයි.

මාක්ස් – එංගල්ස්

       ඒ අනුව මාක්ස්වාදය දැනුම, සමාජ-ආර්ථික සංදර්භයක තබා විග්‍රහ කළ අතර, දැනුම පිළිබඳ තිබූ “දේවමය” හා “මනුෂ්‍යාගෙන් පිටස්තර බව” ප්‍රථම කොට හෙළිදරුව් කොට බිඳ දැමීය.

        වර්තමානයේ අධ්‍යාපනය ගැනත් අධ්‍යාපනයේ අරමුණු ගැනත් විශාල සංවාදයක් තිබේ. යම් පිරිසක් අධ්‍යාපනය රැකියා ඉලක්ක කර ගත් එකක් විය යුතු බවත්, තවත් පිරිසක් අධ්‍යාපනය දැනුම, අවබෝධය ඉලක්ක කර ගත් එකක් විය යුතු බවත් ප්‍රකාශ කරති.

මාක්ස්වාදය අනුව අධ්‍යාපනය යනු වැඩ ජීවිතය පමණක් හෝ අවබෝධයක් ලබා ගැනීම පමණක් හෝ ඉලක්ක කර ගත් එකක් නොවේ. මාක්ස්වාදයට අනුව අධ්‍යාපනය, වැඩ ජීවිතයත්, අධ්‍යාත්මික ජීවිතයත් භෞතික ශරීරයත් යන තුනටම ප්‍රයෝජනවත් වන “සම්පූර්ණ මිනිසෙකු” නිර්මාණය වීම අරමුණු කර ගත් එකක් වේ. 

        මාක්ස්වාදය, අධ්‍යාපනයේ අරමුණ “සම්පූර්ණ මිනිසෙකු” නිර්මාණය කිරීම ලෙස දුටු අතරම, එය හුදු ඉගැන්වීම් හරහා ලබා ගත හැකි දෙයක් ලෙස නොව සමාජ පරිවර්තනයක් මගින් ලබා ගත හැකි දෙයක් බවත්, කොමියුනිස්ට් සමාජය තුළ දී මෙම “සම්පූර්ණ මිනිසා” නිර්මාණය වීමට අවශ්‍ය සමාජ_ආර්ථික විද්‍යාත්මක පදනම ඇති වෙන බවත් පැහැදිලි කළේය.

        ධනවාදී නිෂ්පාදන ක්‍රමය තුල මිනිසා පරත්වාරෝපණයට (Alienation) ලක්වීම නිසා  ජීවිත සාරය උරා ගත් සහ ජීවිත තෘප්තිය අහිමි වූ මිනිස් හපයක්, යන්ත්‍රයක කොටසක් බවට පත් වෙන ආකාරය මනාව විග්‍රහ කර ඇත. මෙහි මාක්ස් සඳහන් කරන්නේ සමාජ නිෂ්පාදනය හා පුද්ගල සංවර්ධනය යන දෙක එකිනෙකට සම්බන්ධ විය යුතු බවය.

ශ්‍රම ක්‍රියාකාරීත්වය තුල කම්කරුවා පරත්වාරෝපණය ලක් වන්නේ කෙසේද? පළමු කොටම මෙම ක්‍රමය ඔහුට පිටස්තර එකකි. එය ඔහුට අයිති ද නැත. එය අයිති වෙනත් කෙනෙකුට බැවින්, මෙම ශ්‍රම වැගිරීමෙන් කම්කරුවා තෘප්තිමත් නොවේ. ඒ වෙනුවට ඔහු අතෘප්තිමත් කරයි. ඔහු පිළිගැනීමකට ලක් නොවන අතර ම, ඔහු තුල අසතුට වර්ධනය වේ. එමෙන්ම මෙම ශ්‍රම ක්‍රියාකාරීත්වය තුළ ඔහු ශාරීරික හෝ අධ්‍යාත්මික තෘප්තියක් වර්ධනය කර නොගනී. නමුත්, ඔහු යන්ත්‍ර වැනි ස්වාභාවයට පත්ව ඇති අතරම, ඔවුන්ගේ චිත්ත ශක්තිය විනාශ කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස හා මූලික වශයෙන්ම කම්කරුවන්ට තමා හා සමස්ථය පිළිබඳ හැඟීමක් අවබෝධයක් ඇති වන්නේ වැඩ නොකර සිටින විට දී වන අතර, වැඩ කරන විට ඔවුන් තුළ සමස්ථය පිළිබඳ හැඟීම දුර්වල වේ. ශ්‍රම ක්‍රියාකාරීත්වය කැමැත්තෙන් කරනු ලබන ස්වෙච්ඡා එකක් නොව බල කිරීමට යටත් වූවකි. අනිවාර්ය වූවකි. එමෙන්ම එම නිෂ්පාදන කටයුත්ත ද කම්කරුවන්ට අයිති එකක් නොවේ. එය අයිති වෙන කෙනෙකුට ය. එමෙන්ම නිෂ්පාදිතය ද අයිති වෙන කෙනෙකුට ය. මේ නිසා කම්කරුවන් වෙනත් කෙනෙකුට අයිති “යන්ත්‍රයක්” බවත් පත් වන අතර කම්කරුවාට තමාව අහිමි වේ. 

– මාක්ස්; ප්‍රාග්ධනය.

පරාත්වා‌රෝපණය පිළිබඳ මෙම අදහස් අධ්‍යාපනය හා මාක්ස්වාදය පිළිබඳ සාකච්ඡාවේ දී අනිවාර්ය වේ. මාක්ස්වාදය අධ්‍යාපනය පිළිබඳව දකින්නේ දක්ෂ ශිල්පියෙකු වැනි එක් අංශයකට කොටු වූ (එයින් ද පරත්වාරෝපණය සිදු වේ)  අර්ධ මනුෂ්‍යයෙකු නිර්මාණය කිරීම නොව පුළුල් සම්පූර්ණ මිනිසෙකු නිමවීම සඳහා බැවිනි.

මාක්ස්වාදය තුළ පොදු ජන අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කර ඇති ප්‍රධාන ලේඛන තුනක් තිබේ.

  1. කොමියුනිස්ට් ප්‍රකාශනය – 1847 දී.   සියළු ළමයින්ට රජයේ වියදමින් නොමිලේ අධ්‍යාපනය ලබා දීම, කම්හල්වල ළමයින්ගෙන් වැඩ ගැනීමේ සමකාලීන ක්‍රමය අහෝසි කිරීම සහ අධ්‍යාපනය ද්‍රව්‍යමය නිෂ්පාදනය සමග සම්බන්ධ කිරීම. (මාක්ස් – එංගල්ස් – 01 වෙළුම;  69 පිටුව)  මෙහිදී මාක්ස්වාදය පොදු ජනතාවට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අවධාරණය කරයි)
  2. ගෝතා වැඩපිළිවෙලට විවේචනයක්‘ නම් මාක්ස්ගේ ලේඛනයේ සිසුන්ට න්‍යාය හා ව්‍යවහාරය යන දෙකම සහිත අධ්‍යාපනයක් වෙනුවෙන් ඔහු මෙසේ සඳහන් කරයි. “අවම වශයෙන් ප්‍රාථමික පාසල් සමග ඒකාබද්ධ කළ තාක්ෂණික පාසල් (එනම්, න්‍යාය හා ව්‍යවහාරය දෙකම උගන්වන ) ආරම්භ කරන ලෙස බල කළ යුතුය. පොදුජන අධ්‍යාපනය රාජ්‍යයේ මූලිකත්වයෙන් කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. පාසල් සඳහා අරමුදල් හා සම්පත් සම්පාදනයත්, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැනුම් උපකරණ ආදිය පිළිබඳවත් අදාළ රෙගුලාසි අනුව පාසල් පැවැත්වීම නිරීක්ෂණය කිරීමත් රජය සිදු කළ යුතුය. එහෙත් එම ක්‍රියාවලිය ගෙන යාම සහ රජය පොදු ජනතාගේ අධ්‍යාපනඥයා ලෙස කටයුතු කිරීම යනු සම්පූර්ණයෙන් දෙකකි. ආණ්ඩුවේ හා පල්ලියේ (ආගමික ආයතනවල)  සියළුම බලපෑම්වලින් පාසල් වෙන් කර තැබීමට කළ යුතු සියල්ල කළ යුතුය. 
  3. අන්තර්ජාතික කම්කරු සම්මේලනයේ පළමු සමුළුවේ (1866) නියෝජිතයින්ට මාක්ස් යැවූ උපදෙස් සමූහයේ අධ්‍යාපනය ගැන ඉතා කෙටි නිරවුල් සඳහනක් කර තිබේ.  “අධ්‍යාපනයේ ප්‍රධාන කරුණු තුනකි. බුද්ධිමය, ශාරීරිකමය හා තාක්ෂණිකමය යනුවෙනි”

          මාක්ස්වාදය අධ්‍යාපනය විග්‍රහ කරනයේ පූර්ණ මිනිසත් බව විකසිත කිරීමේ මාධ්‍යයක් වශයෙනි. එම මිනිසා සමාජ නිෂ්පාදන ක්‍රියාවලියේ වගකීමක් දරන්නෙකි. තමාගේ භෞතික ශරීරය හා වින්දනය කරන්නෙකි. එමෙන්ම මානසික වශයෙන් මිනිසාගේ සංස්කෘතික හා විද්‍යාත්මක උරුමයන් ඥානනය කරන ඉන් තෘප්තිමත් වන්නෙකි.

         කොමියුනිස්ට් සමාජය තුළ දී එම අධ්‍යාපනයයෙන් හා නිෂ්පාදන ක්‍රමයෙන් ඇති වන මිනිසා ගැන මාක්ස් සහ එංගල්ස් මෙසේ ලිවීය.

කොමියුනිස්ට් සමාජයේ සදී සෑම පුද්ගලයෙකුටම තමාට ගැලපෙන ක්ෂේත්‍ර පිළිබඳ තම අවබෝධය හා හැකියාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව ලැබේ. එහි දී අති විශේෂ වූ අන් අයට නොහැකි වූ ක්ෂේත්‍ර නොපවතිනු ඇත. සමාජය විසින් පොදුවේ නිෂ්පාදනය සහ නියාමනය කරනු ලබන අතර, එම තත්වය විසින් මිනිසුනට අද එක් දෙයකුත්, හෙට තවත් දෙයකුත් කිරීමේ අවස්ථාව ඇති කරන ඇත. උදෑසන දඩයමේ ගොස් දහවල මාළු බෑමට ගොස් හැන්දෑවේ සතුන් ගාල් කර රාත්‍රී ආහාරයෙන් පසු පිරිස සමග එක් වී සංවාදයේ යෙදෙන කෙනෙකු නිර්මාණය වෙනු ඇත. එනම් තමන් රුචි ආකාරයට ජීවත්වීමේ ඉඩකඩ – කෙනෙකු සම්පූර්ණයෙන්ම දඩයම්කරුවෙකු හෝ ධීවරයෙකු හෝ සංවාදකරුවෙකු හෝ නොවී ජීවත්වීමේ ඉඩකඩ නිර්මාණය වෙනු ඇත. 

මාක්ස්; ප්‍රාග්ධනය