ධනවාදී අර්බුදයේ මූලයෝ

The Second International: Social-Democracy, 1880 — 1920
December 20, 2018
Diverse Multiethnic People with Different Jobs
වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය
December 20, 2018
Show all

ධනවාදී අර්බුදයේ මූලයෝ

gfc

       ලෝක ධනවාදයට මේ වන විට පවතින්නේ බරපතළ ආර්ථික අවපාතයකට මුහුණ දෙමිනි. මේ අවපාතයට හේතුව කුමක් ද යන ප්‍රශ්නයේ දී ධනවාදී ආර්ථික විශ්ලේෂකයන්ගේ සිට විවිධ සංශෝධනවාදී ගුරුකුල දක්වා වන බොහෝ දෙනා පළ කරමින් සිටින්නේ තමන්ට ගැළපෙන කරුණු මිස සැබෑ හේතූන් නොවේ. එබැවින් ධනවාදයේ අර්බුදයේ සැබෑ තතු හඳුනා ගැනීම වැදගත් වේ.

       ධනවාදයේ අර්බුදයේ හරයේ තිබෙන ප්‍රධාන හේතුව එහි ජාන ගත ලක්ෂණයකි.  ධනපති නිෂ්පාදනයේ ප්‍රතිවිරෝධය පවතින්නේ නිෂ්පාදනය සමාජමය වීමත් අයිතිය පෞද්ගලික වීමත් අතර ය. නිෂ්පාදනයේ සමාජමය ස්වරූපය හා අයිතියේ පෞද්ගලික ස්වරූපය අතර වන මෙම ප්‍රතිවිරෝධය ධනේශ්වර නිෂ්පාදනයේ විලංගු බවට පත් වේ. එබැවින්, නිෂ්පාදනයේ සමාජමය ස්වරූපයට අනුව අයිතිය ද සමාජමය කිරීමෙන් තොරව මෙකී අර්බුදයට විසඳුම් නැත.

        ධනවාදය නිපදවුවේ, වෙළඳ භාණ්ඩ ය. එය ලාභය සඳහා ය. ධනවාදී නිෂ්පාදන ක්‍රමය රඳා පවතිනුයේ ප්‍රාග්ධනය මතය. ප්‍රාග්ධනය සැබෑ ප්‍රාග්ධනය ලෙසින් පැවතීමට නම්, එය නිෂ්පාදන ක්‍රියාවලියේ දී අතිරික්ත වටිනාකම් එකතු කර ගනිමින්, ප්‍රසාරණය විය යුතුය. එහෙත්, ප්‍රාග්ධනය එලෙස අතිරික්ත වටිනාකම් එකතු කර ගනිමින් ප්‍රසාරණය වීමට අසමත් වන අවස්ථාවන් ද ඇති වේ. මිත්‍යා ප්‍රාග්ධනය බිහිවන්නේ එවිට ය. කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වන වෙළුමේ (මෙය සම්පූර්ණ කළේ එංගල්ස් ය) 29 වෙනි පරිච්ඡේදයේ සිට පරිච්ඡේද කිහිපයක මෙය විස්තර කර තිබේ. ප්‍රාග්ධනය මිත්‍යා ප්‍රාග්ධනය බවට පත්වීම යනු එය නව අතිරික්ත වටිනාකම් නිර්මාණය නොකිරීම ය. එය ධනවාදයේ අර්බුදයේ හේතුවක් බවට පත් වේ.

          මිත්‍යා ප්‍රාග්ධනය බිහිවන්නේ මූල්‍ය ප්‍රාග්ධනය, පොලීකාර ප්‍රාග්ධනය හා ණය ක්‍රමත් සමග ය. කොටස් හා බැඳුම්කර මගින් ද මෙය බිහි වේ. මේ පිළිබඳව ප්‍රාග්ධනය කෘතියේ 3වන වෙළුමේ 29 පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.

පොලීකාර ප්‍රාග්ධනයේ වර්ධනය සහ ණය ක්‍රමයත් සමග සියළුම ප්‍රාග්ධනය දෙගුණ හෝ සමහර විට තෙගුණ වන බව පෙනේ. එකම ප්‍රාග්ධනය විවිධ මාදිලියන් ලෙස හෝ සමහර විට ණය හිමිකම් ස්වරූපයෙන් හෝ වෙනත් ස්වරූපයකින් හෝ වෙනස් අරමුදලක තිබිය හැකි වුව ද, ඒවා බැංකුකරුගේ හිමිකම් පමණි. කෙසේ වෙතත්, ඒවා තැන්පතු ලෙසින් නො පවතී.

එකම වත්කම් කීප පොලක සඳහන් වී වත්කම් ඉහල යාම ලෙස පෙන්නුම් කළ ද, සැබෑ වත්කම් නොවන බව ඉන් කියවේ. උදාහරණයක් ලෙස A, B,C නම් මූල්‍ය ආයතන තුනක් ඇතැයි සිතමු. A නැමැති බැංකුව සතුව රුපියල් මිලියන 100ක වත්කම් තිබේ. එය ඉන් මිලියන 40ක් B නම් මූල්‍ය සමාගමට ණයට දේ. එවිට මූල්‍ය සමාගම සතුව රුපියල් මිලියන 40ක වත්කම් තිබෙන බව සඳහන් වේ. එම මූල්‍ය සමාගම සිය රුපියල් මිලියන 40න් රුපියල් මිලියන 10ක් C නැමැති සමාගමට නයට දේ. ඒ අනුව cනැමැති සමාගම සතු වත්කම රුපියල් මිලියන 10ක් වේ. මේ සමාගම් තුනෙහි වත්කම්වල එකතුව ඒ අනුව රුපියල් මිලියන 150කි. එහෙත්, සැබෑ ලෙස ම පවතින්නේ රුපියල් මිලියන 100කි. ධනවාදය තුල ආර්ථිකයේ බුබුළු නිර්මාණය වන්නේ ද එසේය.
ප්‍රාග්ධනය මුහුණ පාන බරපතළ අර්බුදය පසුපස තිබෙන්නේ, ධනේශ්වර තරඟයයි. ධනවාදයට හැම විටම අර්බුද ගෙන එනුයේ මෙම තරඟය විසිනි. තරඟය කුමක් සඳහා ද? තරඟය ලාභ ලැබීම සඳහා ය. අධික ලාභ ලැබීමේ උවමනාව විසින් එක් මොහොතක ලාභ ලැබෙන ක්ෂේත්‍රවලට සියළු ප්‍රාග්ධනය කඩා වැදීම නිසාත්, ඒවා අතර තරඟය නිසාත් අරාජිකත්වයක් නිර්මාණය වේ. ධනවාදයේ අර්බුදයේ මෙය ද ප්‍රබල හේතුවකි.

    ධනවාදයේ ආරම්භක යුගයේ, නිදහස් තරඟය පැවති යුගයේ තනි තනි නිෂ්පාදකයන් අතර තරඟය විසින් බරපතළ නිෂ්පාදන අරාජිකත්වයක් ඇති කළේය. එය විශාල අර්බුදයක් බවට පත් විය. නිෂ්පාදන කඩා වැටිනි. කර්මාන්ත වැසී ජනතාවට රැකියා නැති විය. එම නිදහස් තරඟයේ දී නිෂ්පාදන අරාජිකත්වයට විසඳුම් ලෙස ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදය බිහි විය. එහෙත්, ඉන් තරඟය අවසන් වූයේ නැත. ඒ වෙන විට ඒකාධිකාරී සමාගම් අතර, ඒකාධිකාරයන් අතර තරඟය ඇති විය. එම තරඟයේ දී මූල්‍ය රෙගුලාසි නොසලකමින්, මූල්‍ය විනයකින් තොරව කටයුතු කිරීම නිසා දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇතිවිය. ප්‍රාග්ධනය මිත්‍යා ප්‍රාග්ධනය බවට පත්වීම ද ඒ තුල සිදු විය.

        ධනවාදය ඒකාධිකාරයට යාමේ දී එනම්, අධිරාජ්‍යවාදයේ දී සිදු වූ ප්‍රධාන වෙනසක් වූයේ බැංකු ප්‍රාග්ධනය හා කාර්මික ප්‍රාග්ධනය සංයෝග වී මූල්‍ය ප්‍රාග්ධනය බිහි වීමත්, මූල්‍ය කතිපයාධිපත්‍යයක් ඇති වීමත් ය. එම මූල්‍ය ප්‍රාග්ධනය තරඟය තුල ලාභ අඩු වී අර්බුදයට යන විට ආර්ථික බුබුළු ලෙස ප්‍රසාරණය වී තිබී එම බුබුළු පුපුරා යන විට කොටස් වෙළඳ පොළ තුල, සමපේක්ෂණය තුල මවන වත්කම් සැබෑ වත්කම් නොවන විට ඇති වන අර්බුදය විසින් මූල්‍ය ආයතන මෙන්ම කර්මාන්ත ද බිඳ වැටීමට ලක් වේ. කාර්මික ප්‍රාග්ධනය හා බැංකු ප්‍රාග්ධනය සංයෝග වී ඇති නිසා එක් ක්ෂේත්‍රයක කඩා වැටීම තුලින් අනෙක් ක්ෂේත්‍රය ද කඩා වැටීමට ලක් වේ. වර්තමානයේ දී සිදු වී තිබෙන්නේ එයයි.

         එසේම ප්‍රාග්ධනය භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය හා භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු සේවාවලට වඩා අතිරික්ත වටිනාකම් නිපදවන්නේ නැති එහෙත් ‘ලාභ’ උපයන නිෂ්පාදනය නොවන ක්ෂේත්‍රවලට වැඩි පුර ගමන් කිරීම ද ධනවාදය තුල අර්බුදයක් වේ. මන්ද ප්‍රාග්ධනයට ශ්‍රමය සූරා කමින් අතිරික්ත වටිනාකම් නිපදවිය හැක්කේ භාණ්ඩ නිෂ්පාදනයේ දී හා භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු සේවාවල දී පමණක් වන බැවිනි. එහෙත්, තරඟය විසින් මෙහි තබා ගත යුතු අනුපාතයන් බිඳ වැටුණු විට එය ද අර්බුදයක් වේ. අනෙක් අතට ධනවාදයේ සූරාකෑම තුල ඇති – නැති පරතරය වැඩි වෙමින්, දිළිඳුකම වැඩි වීමත් සමග වෙළඳ පොළ තුල භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව ජනතාවට නැති වීම විසින් වෙළඳ පොළ හැකිළීම නිෂ්පාදන කඩා වැටී අර්බුදයට පත් වේ.

        ධනවාදයේ අර්බුදයේ මූලයන් බවට පත් වී ඇති මේ සියළුම හේතු එකිනෙකට අන්තර් සම්බන්ධව පවතින අතර, ඒවා ධනවාදයේ ආවේණික ලක්ෂණ ද වේ. ධනවාදය වෙනස් නොකර ධනවාදයේ අර්බුදය විසඳිය නොහැක්කේ ඒ නිසා ය.