දේශපාලනයේ උපක්‍රම, උපාය මාර්ග හා මූලධර්ම

20150314_BBP001 (1)
නිෂ්පාදන සබඳතා
December 7, 2018
Martin Heidegger
සාංදෘෂ්ඨිකවාදය (Existentialism)
December 12, 2018
Show all

දේශපාලනයේ උපක්‍රම, උපාය මාර්ග හා මූලධර්ම

download (1)

          පංති අර්ථයෙන් වියුක්තව පොදුවේ ගත් විට පවා දේශපාලනයේ දී ජයග්‍රහන සඳහා උපක්‍රම වැදගත් තැනක් ගනී. විශේෂයෙන් පවතින ධනපති ක්‍රමය තුල එය පෙරලා දමා නව සමාජයක් ගොඩ නැගීමට කටයුතු කරන දේශපාලන ව්‍යාපාරවලට මෙම කරුණු සුවිශේෂී වැදගත්කමක් අත්කර දෙයි. එහෙත් උපක්‍රම, උපාය මාර්ග, මූලධර්ම වැනි සංකල්ප වචනාර්ථයෙන් භාවිතා කරන ඇතැම් අය ඒවායේ සැබෑ අරුත හා වැදගත්කම වටහා ගෙන ඇති බවක් නොපෙනේ. එබැවින් ඒ පිළිබඳව කෙටියෙන් විමසා බැලීම වැදගත් ය.

මූලධර්ම යනු කුමක් ද?

      සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයකට නිශ්චිත හා පැහැදිලි දේශපාලන අරමුණක් තිබිය යුතුය. එම අරමුණ සමාජවාදී සමාජ විප්ලවය නම් ඒ සඳහා වූ ප්‍රතිපත්තිය ද, එකී ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම සඳහා වූ දිගු කාලීන වැඩ පිළිවෙලක් හෙවත් උපාය මාර්ගයක් ද එකී උපාය මාර්ගය ජය ගුනීම සඳහා දෛනිකව තෝරන උපක්‍රම ද තිබිය යුතුය. දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපත්ති හා උපාය මාර්ග සාපේක්ෂව ස්ථාවර හා නිතර වෙනස් නොවන ඒවා පදනම් විට යුත්තේ තමන්ට මග පෙන්වන දර්ශනයේ පදනම මත හෙවත් මූල ධර්ම මත ය. තමන්ට මග පෙන්වන දර්ශණයේ (නිර්ධන පන්ති ව්‍යාපාරයකදී නම් මාක්ස්වාදය) මූලධර්ම පිළිබඳ වැටහීමක් නැති හෝ මූලධර්ම පිළිබඳ වැදගත්කම නොසලකන ව්‍යාපාරයකට කොතරම් දක්ෂ ක්‍රියාකාරීත්වයක් තිබුණත් මග වැරදිමේ නම් ඉඩකඩ වැඩි ය. ඒ දේශපාලන මූලධර්ම අමතක කරන නිසා හෝ නොසලකා හරින බැවිනි.
සමාජවාදී සමාජ විප්ලවය යනු ඉතාම සුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් නොව අතිමහත් සමාජ අවශ්‍යතාවයක ප්‍රතිඵලයක් හා පළල් ජනතා ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් ය යන්න මූලධර්මයකි. එසේම පන්ති සහයයෝගිතාවාදය ප්‍රතික්ෂේප කරමින් පන්ති පිළිගැනීම ද මූලධර්මයකි. එසේම සමාජවාදී පරිවර්තන යුගයේ දී නිර්ධන පන්ති රාජ්‍ය බලයක් පිළිගැනීම ද මූලධර්මයකි. සියළු ප්‍රපංචයන් පවතින්නේ චලිතයේ ය යන්න ද මූලධර්මයකි. මූලධර්ම යනු කුමන තත්වයක දී වුවත් වෙනස් නොවන ස්ථාවර මුල් ගල් වැනි ය. දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපත්ති, උපාය මාර්ග ගොඩ නැගෙනුයේ ඒවා පදනම් කර ගෙන ඒවා මත ය. ඒවා නොසලකා හැරි විට මුළු දේශපාලන ව්‍යාපාරයම ඇද වැටේ.
දේශපාලනයේ දී මූලධර්ම නොසලකා කටයුතු කිරීම දේශපාලන වැරැද්දක් වනවා සේම මූලධර්ම හරිහැටි තේරුම් නොගෙන ඒවා දෛනික දේශපාලන ක්‍රියාවලියට බාධාකර ගැනීම හෙවත් මූලධර්මවාදයට වැටීම ද වරදකි. එවැනි ව්‍යාපාරයක් දේශපාලන මූලධර්ම තම ව්‍යාපාරයේ ශක්තිමත් මුල්ගල් කර ගන්නවා වෙනුවට ඒවා විලංගු බවට පකත් කර ගනියි. එබැවින් මූලධර්ම නොසැලකීම මෙන්ම මූලධර්මවාදයේ වැටීම ද සිදු නොවිය යුතු දෙයකි. මූලධර්ම නිර්මාණය වන්නේ මාක්ස් – ලෙනින්වාදී ඇසුරෙන් නිසා ඒවා වටහා ගෙන සිටීම අතිශය වැදගත් ය.

උපාය මාර්ග යනු මොනවාද?

දේශපාලන ව්‍යාපාරයක දී උපාය මාර්ග ද ඉතාම වැදගත් ය. කිසියම් දේශපාලන ව්‍යාපාරයක උපාය මාර්ග යනු වඩාත් ස්ථාවර දෛනිකව වෙනස් නොවන ස්ථායි එකකි. උපක්‍රම දෛනිකව වෙනස් වුවද උපාය මාර්ග එලෙස වෙනස් නොවේ. උපාය මාර්ග ගොඩ නැගෙන්නේ දේශපාලන මූලධර්ම මත හා කිසියම් නිශ්චිත වකවානුවක හා නිශ්චිත රටක පවතින සමාජ , ආර්ථික තත්වය , පන්ති බලවේගවල ස්වාභාවය, සංවර්ධනයේ මට්ටම හා තමන් ජය ගත යුතු අභියෝගවලට අනුව ය. එබැවින් උපාය මාර්ග වෙනස් වෙන්නේ නම් , සමාජය තුල බරපතල වෙනස්කම් ඇති විය යුතුය. මෙහිදී අනෙක් උපාය මාර්ග සහ උපක්‍රමවල වෙනස වටහා ගත යුතුය.  නැතිනම් අරගලයේ ජයග්‍රහනයක් ගැන සිතිය නොහැකිය.
මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් උපාය මාර්ග සහ උපක්‍රම යනු රටක දේශගුණය සහ කාලගුණය සේ ය. උපාය මාර්ග දේශගුණය මෙන් සාපේක්ෂව ස්ථාවර වන අතර උපක්‍රම කාලගුණය සේ නිතරම වෙනස් වේ.

විප්ලවාදී ව්‍යාපාරයක් උපක්‍රමික ක්‍රියා අනුගමනය කළ යුතුය. එහෙත් උපාය මාර්ගික වැරදි නොකළ යුතුය.
My Life – ෆිඩෙල් කැස්ත්‍රෝ

    වර්තමානයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලාංකික විප්ලවයේ උපාය මාර්ගය ජාතික විමුක්ති අරගලය ඔස්සේ සමාජවාදයට යනුවෙන් තීරණය කර ඇත. මෙය සරළ කරුණු මත වෙනස් නොවන අතර මෙය වෙනස්වීමට නම් ලංකාව අධිරාජ්‍යවාදී යළි යටත්විජිතකරණයට ලක් නොවූ රටක් බවට පත් විය යුතුය.

උපක්‍රම යනු මොනවා ද?
උපක්‍රම යනු දේශපාලනයේ සිදු වෙන දෛනික වෙනස්කම්වලට අනුව වෙනස් කළ යුතු කෙටි කාලීන ක්‍රියාමාර්ගයන් ය. එකී කෙටි කාලීන ක්‍රියාමාර්ග හැම විටකම තම දිගුකාලීන ක්‍රියාමාර්ගය වන උපාය මාර්ගයට ප්‍රති විරෝධී නොවන ඒ හා නොගැටෙන ඒවා විය යුතුය. මෙහිදී දේශපාලන ව්‍යාපාරයක් උපක්‍රම තේරීමේ දී වඩා හොඳම උපක්‍රම තේරීමට දක්ෂ විය යුතු අතර එක් උපක්‍රමයක් යල් පනින විට වහාම එය අත්හැර නව උපක්‍රමයකට මාරුවීමට තරම් නම්‍යශීලී ද විය යුතුය. මෙහිදී දේශපාලන ව්‍යාපාරයක් උපක්‍රම සහ උපාය මාර්ග අතර වෙනස මෙන්ම අන්තර් සම්බන්ධතාවය ද වටහා ගත යුතුය. උපාය මාර්ග මත  පදනම්ව උපක්‍රම තෝරා ගත යුතුය. මේ පිළිබඳව ලෙනින් මෙසේ පවසා තිබේ.

උපක්‍රම ගැන කියතොත් යථායෝග්‍ය වූ සියළුම සැලසුම් හා විධි ප්‍රතිපත්ති ලෙස පිළිගැනීමත්, නියමිත දේශපාලන අවස්ථාවල දී දැඩි ලෙස අනුගමනය කරනු ලබන සැලැස්මකින් මග පෙන්වීම සඳහා වූ ඉල්ලීමත් යන දෙක එකට පටලවා ගැනීම යනු, ව්‍යාධි සුව කිරීම සඳහා වෛද්‍ය විද්‍යාව විසින් විවිධ ප්‍රතිකාර ක්‍රම පිළිගනු ලැබ තිබීමත්, නියමිත ව්‍යාධියක් සුව කිරීම සඳහා කිසියම් නියමිත ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවයත් යන දෙකම එකට පටලවා ගැනීම හා සමාන දෙයකි.
ලෙනින් තෝරා ගත් කෘති – 1 වෙළුම,  162 පිටු

මේ පිළිබඳ ලෙනින් තව දුරටත් මෙසේ පැහැදිලි කරයි.

මාක්ස් ඔහුගේ ද්‍රව්‍යවාදී දයලෙක්තික ලෝකවබෝධයේ සත්‍යයෙන් සියල්ලටම සම්පූර්ණයෙන් අනුකූල වන ලෙස නිර්ධන පන්ති උපක්‍රමවල මූලික කර්තව්‍ය පැහැදිලි කළේය. දියුණු පන්තියක් අනුගමනය කරන නිවැරදි උපක්‍රම සකස්කර ගැනීම සඳහා පදනමක් වශයෙන් ගත හැකි වන්නේ නියමිත සමාජයක ඇති, පන්ති නොහැරම ඒ සියල්ලෙහිම සම්බන්ධකම් එකතු සමස්ථය ගැන වාස්තවික ලෙස සලකා බැලීමක් ද, එසේ කිරීමෙන් එම සමාජය පත්ව ඇති සංවර්ධනයේ වාස්තවික අවධිය ගැන හා එම සමාජයත්, අනෙකුත් සමාජයනුත් අතර ඇති සම්බන්ධතාවයන් ගැනත් සලකා බැලීමෙන් පමණි. ඒ අතරම සියලු පන්ති සියළුම රටවල් සැලකිල්ලට ගනු ලබන්නේ ස්ථතික වශයෙන් නොව ගතික වශයෙන් එනම්, අජංගම තත්වයකින් නොව චලනය වෙමින් පවතින ලෙසය. (එම චලනයට අදාල නියමයන් තීරණය වන්නේ එක් එක් පන්ති පැවැත්මේ ආර්ථික තත්වයන් අනුව ය) නැවත චලනය ද සැලකිල්ලට ගනු ලබන්නේ අතීතයේ පමණක් නොව අනාගතයේ ද ස්ථාවරය අනුව ය. එපමණක් නොව එය සලකණු ලබන්නේ සෙමින් සිදුවන වෙනස්කම් පමණක් දකින පරිනාමවාදීන් එය වටහා ගන්නා අර්ධයෙන් නොව දයලෙක්තික  වශයෙනි.

          ලෙනින්, තෝරා ගත් කෘති – 1 වෙළුම, 41-42 පිටු

    මේ අනුව මූලධර්ම, උපාය මාර්ග හා උපක්‍රමය යනු දේශපාලනයේ සංකල්ප තුනක් වන අතර මේවා එකිනෙකින් වෙනස් වේ. ඒ අතරම එකිනෙක හා අන්තර් සම්බන්ධතාවයක් සහිතය. විශේෂයෙන්ම උපක්‍රමවලදී නිශ්චිත මොහොතකට තෝරන උපක්‍රම එකි අවස්ථාව වෙනස් වූ පසුව ද එලෙසින්ම අනුගමනය කිරීමට උත්සාහ දැරීම නිර්ධන පන්ති ව්‍යාපාරය තුල මතු වෙන අවස්ථාවාදයේ එක් ආකාරයක් නිරූපනය කිරීමකි. රුසියාවේ ධනේෂ්වර විප්ලවය සිදු නොවී පැවති 1905 දී සමාජ විප්ලවය සඳහා ලෙනින් අනුගමනය කළ උපක්‍රමය එම තත්වය වෙනස් වී 1917 රුසියාවේ ධනේෂ්වර විප්ලවය සිදු වූ පසුවත් වෙනස් නොකර අනුගමනය කිරීමට උත්සාහ කළ බොල්ශෙවික්වාදීන්ට ලෙනින් පැවසුවේ ඔවුන් සුදුසු වන්නේ දේශපාලන කෘතුකාගාරයට බව ය.  පැරණි කුණු තැවරුණු කමිස ඉවත දා නව කමිස ඇඳ ගන්නා ලෙස ලෙනින් ඔවුන්ට පැවසීය.
එබැවින් මාක්ස් ලෙනින්වාදයේ මූලධර්මය මත තදින් පදනම්ව එහෙත් ඒවා විලංගු බවට පත් කර නොගෙන උපාය මාර්ගය සකස් කර ගැනීමටත් එකී උපාය මාර්ග හා ප්‍රතිවිරෝධී නොවන උපක්‍රම දෛනිකව තෝරා ගැනීමටත් පක්ෂය සමත් වන්නේ නම් හා එක් උපක්‍රමයක සිට වහාම අනිකට මාරුවීමට සමත් වන්නේ නම් අවසන් ජයග්‍රහනය ස්ථීර බව පැහැදිලි ය.

දැන් ඉතින් අවසානයේ දී වෙනසක් කිරීමේ කාලය පැමිණ තිබේ. 
අප අනුගමනය කළයුතු රීතිය මෙසේය. සංඛ්‍යාව අතින් අල්ප වීම හොඳ ය. එනමුදු ගුණය උසස් විය යුතු ය. අප අනුගමන කළ යුතු රීතිය මෙසේ ය. යහපත් මිනිසුන් ලබා ගනැීඹට කිසිදු බලාපොරොත්තුවක් නැතිව කඩිමුඩියේ වැඩ කරනවාට වඩා අවුරුදු දෙකකින් හෝ තුනකින් හෝ ඔවුන් ලබා ගැනීම වඩාත් හොඳ ය.

– ලෙනින්, තෝරා ගත් කෘති – 12 වෙළුම -211 පිටුව