අත්දැකීම් කිහිපයක් – රෝහණ විජේවීර

leon-trotsky-1118x600
කණ්ඩායම්වාදයේ ඉතිහාසය
December 12, 2018
Pere-Lachaise cemetery in the 20th arrondissement division 91
බ්ලැන්කිවාදය – Blanquism
December 14, 2018
Show all

අත්දැකීම් කිහිපයක් – රෝහණ විජේවීර

rsz_rohana_poster_2018

         1971 අරගලය ලාංකීය දේශපාලනයේ විශේෂ සන්ධිස්ථානයක් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට බලපාන ලද විශේෂ අවස්ථාවක් ද විය. 1971 දී ලාංකීය නිර්ධන පන්තිය විසින් තමන් තව දුරටත් දණින් වැටී නොසිටින බව ප්‍රකාශ කරමින් ධණපති පන්තියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන ලදී. 71 අරගලය සිදුවන විට ධනපති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් රෝහණ විජේවීර සහෝදරයාව සිර ගත කොට තිබූ අතර එනිසාම අප්‍රේල් අරගලයට ඍජුව නායකත්වය සැපයීමට රෝහණ සහෝදරයාට නොහැකි විය. 71 අප්‍රේල් මාසයේ දී සිදු කරන පහර දීමට ද රෝහණ සහෝදරයා තම එකඟතාව පළ නොකළ අතර ඔහු කීවේ ඒ සඳහා තවත් කාලය ගත යුතු බවය. රෝහණ සහෝදරයාට ඒ සඳහා අවශ්‍ය තරමටත් වඩා වන හේතූන් මතුව තිබූ අතර බරපතලම ගැටළුවලින් එකක් වූයේ ඒ වන විට පක්ෂය තුල මතුව තිබූ කණ්ඩායම්වාදී ප්‍රවණතාවයන් ය. 71 අරගලය ජය ගැනීමට ඒ වන විට පක්ෂය තුල මතුව තිබූ කණ්ඩායම්වාදී ප්‍රවණතා විසින් බරපතල බාධාවක් කළ අතර අරගලය පරාජයවීමෙන් අනතුරුව පසුබැසීමේ ක්‍රියාවලිය අවම හානියක් තුල සිදු කර ගැනීමට ද එම තත්වය තුල නොහැකි විය. රෝහණ සහෝදයා පිළිබඳ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ අරගලයට පෙරත් පසුවත් පක්ෂයේම අයවලුන් විසින් ප්‍රචාරය කර හරින ලදී. එවැනි ප්‍රචාරයන් අරගලයට හානි කළා පමණක් නොව අරගලයෙන් පසුව නැවත පක්ෂය ගොඩ නැංවීට ද බාධා කරන ලදී. පක්ෂය තුලම සිටි සතුරන් විසින් මෙහෙයවන ලද එම සාවාද්‍ය ප්‍රචාරයන් පිළිබඳව සත්‍ය තත්වය පැහැදිලි කිරීමට ද රෝහණ සහෝදරයාට බරපතල බාධාවක් වූයේ ඔහු අරගලයට පෙර සිටම සහ ඉන් පසුත් අත්අඩංගුවට ගෙන සිර බාරයේ සිටීමයි. නමුත් එම බාධාව නොතැකූ රෝහණ සහෝදරයා විසින් විශේෂයෙන්ම 1971 අරගලයට පෙර පක්ෂය තුල කණ්ඩායම්වාදය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ තොරතුරු සහිත අතින් ලියන ලද දේශපාලනික ලියවිල්ලක් සකසා 1973/74 කාලයේ සිර ගෙවල් තුල සිටි පක්ෂ සහෝදරවරුන් අතරට පත් කරන ලදී. රෝහන විජේවීර සහෝදරයා විසින් රචිත ‘දේශපාලන අත්දැකීමක් කිහිපයක් පිළිබඳ‘ නම් එම ලියවිල්ල ජවිපෙ දේශපාලන ඉතිහාසයේ වැදගත් දේශපාලන සටහනක් ලෙස නම් කළ හැක.
Image result for rohana wijeweera

කණ්ඩායම්වාදයේ ස්වභාවය

         ලියවිල්ල ආරම්භ කරමින් රෝහණ සහොදරයා පවසන්නේ පක්ෂය තුල මතු වූ කණ්ඩායම්වාදී ස්වභාවය විප්ලවකාරී ව්‍යාපාරයක් පුදුම විය යුතු දෙයක් ලෙස සැලකිය යුතු නැති බවයි.

ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ අසමසම අසහාය නායකයින් වන මාක්ස්, එංගලස්, ලෙනින් ඇතුලු ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යවාපාරයේ ප්‍රගමනයට උරදුන් සෑම සියළු කීර්තිමත් විප්ලවවාදියෙක්ම ප්‍රතිගාමීන් සූරා කන ජාතීන්ගේත් උන්ගේ මිතුරන්ගේ සහ ගැත්තන්ගේ අවලාද අපහාසවලට පාත්‍ර වූ බව මුලු මහත් පන්ති සටන් ඉතිහාසයම අපට හොඳාකාරවම පෙන්නුම් කරනවා. එවන් තත්වයන් යටතේ ජනතා විමුක්ති පෙරමුණත් එය ගොඩ නැගීමට අවංකව කැවුණු අයටත් පෞද්ගලිකවම මටත් එරෙහිව සකලවිධ පන්ති සතුරන් විසින් ඔවුන්ගේ වෙස්වලා ගත් වෛවරෙණ මිතුරන් සහ ඒජන්තලා විසින් අවලාද අපහාස නින්දා ගැරහීම් කිරීම ගැන මම පසුතැවිලි නොවෙමි.” එම සඳහනෙන් අනතරුව රෝහණ විජේවීර සහෝදරයා මාවෝගේ උපුටා දැක්වීමක් ද ගෙන හැර දක්වයි. “සතුරා විසින් පහර දෙනු ලැබීම නරක දෙයක් නොව හොඳ දෙයකි. පුද්ගලයෙකු පිළිබඳවත් දේශපාලන පක්ෂයක් පිළිබඳවත් මෙය සත්‍යයකි. සතුරා අපට පහර දෙන විට එයින් හැඟවෙන්නේ අප නිවැරදි බවය. සතුරාත් අපත් අතර පැහැදිලි බෙදා වෙන් කිරීමක් ඇති බවයි. සතුරා අප වඩ වඩාත් කලු කර පෙන්වයි නම් එය වඩාත්ම හොඳය”රෝහණ සහෝදරයා පවසන්නේ පක්ෂය තුල කණ්ඩායමක් තිබූ බව හෙළිදරව්වීම හානියක් වුවත් එම හෙළිදරව්වීම තුල වෙනත් පැත්තක් ද තිබෙන බවයි. අපහාස කිරීම් අවලාවලින් සතුරා පන්ති ව්‍යාපාරයට නොදැනුවත්වම සේවය කරයි. එම අවලාද නැගීම් සහ චෝදනා හමුවේ සැබෑ විප්ලවවාදීන් නිතැතින්ම විප්ලවවාදී ව්‍යාපාරය ආරක්ෂා කිරීමට සිට ගැනීම තුල සැබෑ විප්ලවවාදීන් හඳුනාගැනීමට පහසු වේ. එම සැබෑ විප්ලවවාදීන් විප්ලවය ඔස්සේ සිට ගෙන ප්‍රශ්න තේරුම් ගැනීමට උත්සාහ කිරීම පක්ෂයට ඉතාම වැදගත් වේ.

 

ධනපති පන්තියේ අරමුණ

         නිර්ධන පන්තිය ධනපති ක්‍රමය තුල අනිවාර්‍යයෙන් බිහිවෙන හා ධනපති ක්‍රමය තුල පවතින සමාජමය සාධකයකි. ධනපති පන්තියට නිර්ධන පනතිය විනාශ කළ නොහැක. එම නිසා ධනපති පන්තිය උත්සාහ කරන්නේ නිර්ධන පන්තිය විප්ලවීය බලවේගයක් බවට පත්වීමෙන් වළකාලීමයි. ඒ සඳහා ඍජු මර්ධනීය ක්‍රියාමාර්ගවලට අමතරව නිර්ධන පන්ති පක්ෂයේ ජීව ගුණය සිඳලීමට ධනපති පන්තිය ක්‍රියාකරයි. මේ තත්වය රෝහණ සහෝදරයා මෙසේ පැහැදිලි කරයි.

ධනේෂවර පන්තියේ පන්තියක් වශයෙන් මුහුණ ලා ඇති මේ බැරෑරුම් ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූයේ ඒ විසඳුම් මග නම් මේ දස දහස් ගණන් විප්ලවාදී තරුණයන් ඝාතනය නොකර විප්ලවවාදීන් වශයෙන් ඝාතනය කිරීමයි. ශාරීරිකව ඝාතනය කිරීමක් නොව දේශපාලනික වශයෙන් ඝාතනය කිරීමයි. ඔවුන් තව දුරටත් විප්ලවවාදීන් වශයෙන් නැතිව එක්කෝ උදාසීන වූවන් නැත්නම් ප්‍රතිවිප්ලවවාදීන්ගේ තත්වයට පත් කිරීමයි. එය කළ නොහැකි නම් අඩු තරමින් ජනතා විමුක්ති පෙරමුණ බේද බින්න කොට එකිනෙකාට පරසතුරු වූ එකිනෙකාට උගුල් අටවා ගන්නා එකිනෙකා පාවා දී ගන්නා තත්වයන් ඇති කර එකිනෙකා කෙරෙහි එකිනෙකාට විශ්වාසයක් නැති කර විවිධ න්‍යායන් අනුගමනය කරන විවිධ නිකායන්ට අයත් කැඩී බිඳි ගිය කණ්ඩායම් බවට පත් කොට එමගින් විප්ලවීය බලවේගයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය හැකියාව හා ජීවමාන බව විනාශ කිරීමයි

 

           ආරම්භයේ පටන්ම ධනපති පන්තිය නිර්ධන පන්ති ව්‍යාපාරයන්හි ජීව ගුණය සිඳීමට කටයුතු කිරීම අරමයක් නොවේ. ඒ නිසාම ධනපති පන්තියෙන් විප්ලවවාදී ව්‍යාපාරයන්ට එල්ල වෙන විවේචන නිර්ධන පන්ති විප්ලවාදීන්ට හා පන්ති බලවේග එතරම් සැලකිල්ලට ගන්නේ නැත. ඉන් විප්ලවවාදීන් සෙලවීමට ලක් නොවේ. එනිසාම ධනපති පන්තිය මැදිහත් වී විප්වවාදී ව්‍යාපාරය බිඳි වැට්ටීමට, ඊට අවලාද නැගීමට විප්ලවාදී ව්‍යාපාරය තුළින්ම පුද්ගලයන් තෝරා ගනී. ඔවුන් මෙහෙයවයි. එම ද්‍රෝහීන් විප්ලවාදී ව්‍යාපරය කෙරෙහි ජනතාවගේ ඇති ආදරය හා විශ්වාසය අහෝසි කිරීමට යොදා ගනී.

විවේචන ඉදිරිපත් කිරීම

අවලාද, නින්දා, අපහාස, හැඟීම්, කරුණු විකෘති කිරීම සහ බොරු බේගල් ඇද බෑම් කවුරු කරතත් එය කරන්නවුන්ගේ දක්ෂතාවය, අවංකත්වය, කුසලතාවය, නිවැරදිභාවය, ශක්තිමත්භාවය හා විද්‍යාත්මකභාවය නොමැතිකම ප්‍රදර්ශනය කරයි. අවලාද අපහාස හා බේගල් මිනිසුන්ගේ ශක්තිය නොව දුබලත්වයත් සත්‍ය නොව බොරුවත් නිවැරදිභාවය, නොව සාවද්‍යභාවයත් සෑම විටම ප්‍රදර්ශනය කරයි. ඒවා මිනිසුන්ගේ බංකොලොත්භාවයේ පරාගතවීමේ සහ පරාජයේ සංඛේතයෝය.

           රෝහණ සහෝදරයා පවසන්නේ පක්ෂයක් පිළිබඳව හෝ එහි පුද්ගලයන් පිළිබඳව ඇති සැබෑ වැරදි විවේචනය නරක දෙයක් නොව හොඳ දෙයක් බව ය. එවිට විප්ලවවාදී ව්‍යාපාරයට එම වැරදි වලින් අත්මිදිය හැකි අතර අනාගතයේදී එම වැරදි සිදු නොවීමටත් වගබලාගත හැක. සැබෑ විප්ලවවාදීයෙක් දැන දනම වැරදි නොකරයි. නමුත් එම වැරදි හා විවේචන සලකා බැලිය යුත්තේ එම අඩුපාඩුකම් සිදු වූ කාලයට සාපේක්ෂවය.

සෑම සිදුවීමක්ම ද්විඝටනාත්මක ලෙස සලකා බලන විට අන්තර් බැඳීම්වලින් යුක්තව පවතී. සෑම දෙයක්ම හැදැරිය යුත්තේ ඒ ඓතිහාසික තත්වන් තුලය. මාක්ස්වාදී ද්විඝටනය, ලෝකය හැදෑරීමේත් විශ්ලේශණය කිරීමේදීත් පිළිගන්නා ක්‍රමයයි. මෙය වැරදි සම්බන්ධයෙන් ද පොදු ය. වැරැද්ද අන් ඕනෑම දෙයක් මෙන්ම හැදෑරිය යුත්තේත් විශ්ලේශණය කළ යුත්තේත් තේරුම් ගත යුත්තේත් ඒවා සිදු වූයේ යැයි සළකන ඓතිහාසික තත්වයන් තුළ ය. ඓතිහාසික තත්වයන් මග හැර අන්තර් සම්බන්ධතාවයන් කපා දමා යම් විෂය වස්තුවක් හැදෑරීමට ගිය හොත් එහි දී බැස ගන්නා නිගමන මනෝමූල හා සාවද්‍ය බව මාක්ස්-ලෙනින් චින්තාව අපට අවධාරණයෙන් උගන්වයි.

          එමෙන්ම 71 අරගලයෙන් පෙර හා පසු පක්ෂයට මේ විවේචන ඉදිරිපත් කරන්වුන් පටු අරමුණකින් ඒවා ඉදිරිපත් කළ අතර පක්ෂය වැරදි බව පව පවසා තමන් පමණක් විප්ලවවාදීන් බව පවසා ඇත.

එලෙසම විප්ලවවාදීන් යැයි තමා විසින්ම කියා ගනිමින් විප්ලවවාදී ව්‍යාපාරයට මහත් හතුරුකම් කර ඇති විවිධ ගණයට අයත් අවස්ථාවදී කල්ලි සහ කණ්ඩායම් විසින් ජවිපෙ විනාශ කර දමා එයින් කුට්ටි තමන්ගේ පැත්තට කඩා ගැනීමේ කාර්යය සඳහා ජවිපෙට විරුද්ධව, එහි න්‍යායට හා වගකිව යුත්තන්ට විරුද්ධව ධනේෂ්වර පන්තිය හා එහි එහි ඒජනත්වරුන් සමග හවුල් වී නින්දා සහගත මුසාවාද පතුරවමින් කඩාකප්පල්කාරී වැඩ කටයුතුවල යෙදෙනවා.

71 අරගලය සමයේ අවස්ථාවාදය ඉස්මතුවීම

          රෝහණ සහෝදරයා කරුණු දක්වන පරිදි ලොකු අතුල ඇතුලු පිරිස රෝහණ සහෝදරයා සිර ගෙදර සිටිද්දී පක්ෂයේ මූලික සංවිධාන කමිටු විසිරුවා අලුත් කමිටුවක් පත් කර ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික් ලේකම් බරපතල ලෙස පක්ෂයේ විනය කඩමින් කටයුතු කරන ලදී. අප්‍රේල් අරගලයට පෙර ධර්මසේකර විසින් එක්සත් ජනපද තානාපති කාර්යාලයට පහරදීම නිසා එවකට සිරිමා ආණ්ඩුව පක්ෂය මර්ධනය සඳහා කලින්ම නීති රීති සකස් කිරීමට යුහුසුලු විය. 1971 මාර්තු 02 දින ලොකු අතුල, රෝහණ සහෝදරයාව මරා දැමීමට සාකච්ඡාවක් පවත්වා ඇති අතර රෝහණ සහෝදරයා විප්ලවවාදියෙකු නොවන බව පවසා ඉක්මන් පහරදීමක් සඳහා තමනට හිතවත් දිස්ත්‍රික්කවලට බලපෑම් කර ඇත. ලොකු අතුල තමනට දිස්ත්‍රික් ගණනාවක බලය ඇතැයි වේයන්ගොඩ ජයසූරිය සමග පුරසාරම් දොඩා ඇත. රෝහණ සහෝදරයාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව පක්ෂයෙන් මුද්‍රණය කරන ලද පත්‍රිකාව බෙදා නොහරින ලෙසත් ‘රතු ලංකා’ පුවත්පත් නොවිකුණන ලෙසත් ලොකු අතුල නුවර දිස්ත්‍රික්කයට උපදෙස් දී ඇත.

         හදිසි පහරදීම ගැන දැන ගත් රෝහණ සහෝදරයා CRP සිර ගෙදරදී තමන් බැලීමට පැමිණි ඔස්මන්, සිසිල් චන්ද්‍ර හා කුමානායත් යාපනයට පැමිණ ඔස්මන්ගේ අම්මාත් හරහා පක්ෂයට දැනුම් දෙන්නේ හදිසි පහරදීමක් නොකරන ලෙසටයි. නමුත් එම උපදෙස් නොසලකා ලොකු අතුල පහරදීම සිදු කළ නිසා පක්ෂයට බරපතල විනාශයකයට මුහුණ දීමට සිදුවිය. 71 අරගලය ආශ්‍රිතව අවස්ථාවාදය මතුවීමට ප්‍රධාන හේතු 4ක් රෝහණ සහෝදරයා ගෙන හැර දක්වයි.

  1. විප්ලවාදී සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මිය යාම
  2. සතුරාගේ සාවාද්‍ය ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවන ලෙස රෝහණ සහෝදරයා සහ අනෙකුත් සහෝදරවරු සිර ගෙවල්තුල වෙන් වෙන්ව රඳවා තැබීම
  3. පක්ෂයේ අභ්‍යන්තරයේ මතබේද පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටීම
  4. සටනක් පරාජය වීම තුළින් හා අධික මර්ධනයකට ගොදුරුවීම තුලින් පක්ෂ සාමාජිකත්වය තුල ඇති වන ව්‍යාකූලත්වය හා උදාසීනකම මතුවීම.

ද්‍රෝහීන් කවරහුද?

රෝහණ සහෝදරයා දක්වන පරිදි විවිධ කරුණු මත පුද්ගලයන් පක්ෂයට ද්‍රෝහී වී ඇත.

  1. මුල සිටම ඔත්තු බැලීමට පැමිණි ධනපති ඒජන්තයින්
  2. බලාපොරොත්තු හා ලාභාපේක්ෂාවෙන් ව්‍යාපාරයට පැමිණි අය
  3. ධනේෂ්වර මර්ධනයට මුහුණ දීමට බිය වන අය
  4. තමන්ගේ පුද්ගලික වැරදි සහ සදොස්භාවය වසන් කර ගැනීම සඳහා පක්ෂයට චෝදනා ඉදිරිපත් කරන්නවුන්.
  5. ප්‍රශ්නවල යථාර්තය තේරුම් නොගැනීම නිසා අවංකව අවස්ථාවාදී වූ අය.
  6. පුද්ගලික බැඳීම් හා නොයෙකුත් විශේෂ සබඳතා හේතු කොට ගෙන ද්‍රෝහීන් සමග ඇති පුද්ගලික මිත්‍රත්වය නිසා ද්‍රෝහීන්ගේ පැත්ත ගත් අය.
  7. පක්ෂට කරන ලද වැරදි හේතු කොට ගෙන තව දුරටත් පක්ෂයේ සිටිය නොහැකි පිරිස්

පක්ෂය තුල මතුවන අවස්ථාවාදය පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම්වලින් බිඳක්

මෙම ලිපියේ දී විජේවීර සහෝදරයා අවස්ථාවාදය පිළිබඳ එවකට ආසන්න සිදුවීම් ගණනාවක්ම (ජාතික හා ජාත්‍යන්තර) පෙන්වා දේ.

  1. සමසමාජ නායකයෙකු වූ ඩොරික් ද සූසා පොලිස් ඔත්තුකාරයෙකු බව පිිලිප් ගුණවර්ධන ඇතුලු කණ්ඩායම පිළිගැනීම
  2. ලංකා කොමියුනිස්ට් පක්ෂය නවසිය හැට ගණන්වලදී එහි උද්යෝගීමත් සාමාජිකයෙකු වූ නිමල් කරුණාතිලක පොලිස් ඔත්තුකාරයෙකු යැයි සැක කර නෙරපා හැරීම.
  3. දෙවන ලෝක යුද්ධයේ දී යුගෝස්ලොවියා කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවාදීන් විශාල පිරිසක් මිය යාමෙන් පසු ටිටෝ, කර්ඩේල්ජ් රන්කොවිච් හරහා අවස්ථාවාදය මතුවිම.
  4. ලෙනින්ගේ මධ්‍යම කොමිටුවේ සිටි මැලිනොවුස්කි නම් සාර් පොලිස් නිලධාරියා හඳුනා ගැනීම. ඔහු පක්ෂයේ ප්‍රකාශන අංශය බාරව කටයුතු කරන ලදී.
  5. කැස්ත්‍රෝගේ රජයේ මුල් සති කිහිපය තුල අගමැති වශයෙන් කටයුතු කළ හොසේ මාටි සමග කියුබාව මුදා ගැනීමට කටයුතු කළ දේශප්‍රේමියෙකු වූ මීරෝ ආජන්ටස්ගේ පුත්‍රයා වූ හොසේ වීරෝ කැර්දේනා කියුබන් සමාජවාදී රජයට එරෙහිව CIA සංවිධානයට ඔත්තු සපයා හසුවිය.
  6. ලෙනින්ග්‍රෑඩ් බොල්ෂෙවික් නාගරික කමිටුවේ සාමාජිකයන් 7 දෙනාගෙන් තිදෙනෙක් සාර් පොලිසියේ ඔත්තුකාරයන් බව සොයා ගැනීම.
  7. බැටිස්ටාගේ රහස් ඒජන්තයෙකු වූ එයුටිමියෝ විසින් කැස්ත්‍රෝව මරා දැමීමට ගරිල්ලා බටයෙකු ලෙස බැඳී උත්සාහ කිරීම.
  8. මලයානු කොමියුනිස්ට් පක්ෂය බිඳ දැමීමට පක්ෂය තුලින් ද්‍රෝහීන් සොයා ගෙන මැදිහත් කිරීම. මලයානු කොමියුනිස්ට් පක්ෂය විනාශ කිරීමට තෙවදෑරුම් වැඩ පිළිවෙලක් සාදන ලදී.

(අ) දුගී දුප්පත් පක්ෂ සාමාජිකයන් නොකා නොබී හැකි ඉහලම මට්ටමේ පරිත්‍යාග කරද්දී පක්ෂ නායකයින් ඉහල පෙලේ තුන් වෙල්ම කමින් කාමසුඛල්ලිකානුයෝගීව සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පවසා මඩ වැපිරීම.

(ආ) කොමියුනිස්ට් නායකයන්ගේ චරිත ඝාතනය කිරීම

(ඇ) පක්ෂය ඇතුලත න්‍යායික මත බේද පැතිරීම

        මෙසේ පක්ෂය තුල මතුවන කණ්ඩායම්වාදය හා අවස්ථාවාදය නිසා ලෝක වමේ ව්‍යාපාරයත් අපගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් අතීතයේ දී මුහුණ දුන් බරපතල ගැටළුකාරී තත්වය රෝහණ සහෝදරයා සටහන් කර තිබෙන්නේ වර්තමානයේ අප හට ද එම අත්දැකීම් පාඩමක් හා ආලෝකයක් කර ගනිමින් කටුයුතු කිරීමයි එමෙන්ම වර්තමානයේ අප විසින් මුහුණ දී ඇති බලලෝභී කණ්ඩායම්වාදී ප්‍රවණතාවය පරාජය කිරීමට අවශ්‍ය මග පෙන්වීම ද මෙම කෘතිය පරිශීලනයෙන් පක්ෂ සාමාජිකයින්ට ලබා ගත හැක.