ෆැසිස්ට්වාදය යනු

Colourful overlapping silhouettes of hands voting in fabric texture
ප්‍රජාතන්ත්‍රවාදය යනු
November 29, 2018
2008 jan
විමර්ශන – 2008 ජනවාරි
November 30, 2018
Show all

ෆැසිස්ට්වාදය යනු

smi-journalists-hitler-mussolini-d3bb2a3c

     “ෆැසිස්ට්වාදය” යන වදනත් සමග සිහි ගැන්වෙන්නේ දෙවන ලෝක යුද්ධයයි. ඉතාලියේ මතු වූ ෆැසිස්ට්වාදයත් පර්මනියේ නට්සිවාදයත් ඒ තරම්ම සමීපතාවයකින් දෙවන ලෝක යුද්ධය සමග බැඳී පවතී.
වඩාත් සමීපව විමසන විට පෙනී යන්නේ පළමු ලෝක යුද්ධය අවසානයෙන් පසුව යුරෝපයේ සමහර රටවල ෆැසිස්ට්වාදී ව්‍යාපාර බිහි වූ බවයි. මෙය ඉතාලියේ දී ෆැසිස්ට් නමින් ද ජර්මනියේ දී නට්සි නමින් ද ස්පාඤ්ඤයේ දී ෆාලාන්ජ් නමින් ද රුමේනියාවේ දී අයෝමය බල ඇණිය යන තේරුම සහිත Garda de fier නමින් ද හැඳින්විනි.

         දේශපාලන අරුතකින් විමසන විට මේවා පැන නැගීමේදී සහ භාවිතයේ දී දැක්වූ සමානකම් හේතුකොට ගෙන පොදුවේ ෆැසිස්ට් ප්‍රවනතා ලෙසින් සාකච්ඡා විය. 1919 දී ඉතාලියේ දී ‘ප්‍රභවය’ නැමැති අරුත සහිතව ෆැසිස්ට් නමින් පක්ෂයක් බෙනිටෝ මුසලෝනිගේ නායකත්වයෙන් ගොඩ නගන ලදී.   මුසලෝනිගේ පක්ෂය බිහිවීම ෆැසිස්ට් ප්‍රවණතාවයේ ආරම්භයක් ලෙසින් නම් කළ හැකිය. මුසලෝනිගේ පක්ෂයේ ලාංඡනය වූයේ පැරණි රෝම විනිශ්චයකරුවෙකු ඉදිරියෙන් ගෙන යන රතු ලණුවකින් ගැට ගසන ලද පොරොවක් සහිත කෝටු මිටියකි. ‘කීකරුවෙනු’ යන අදහස මෙයින් ගම්‍ය වූ බව කියැවිනි.

       කෙසේ වෙතත් ධනේෂ්වර දෘෂ්ඨියට අනුව ෆැසිස්ට්වාදයේ පැන නැගීම, මුසලෝනිගේ හෝ හිට්ලර්ගේ පුද්ගල චරිත ස්වභායන් ආශ්‍රිත වූ විග්‍රහයකට සීමා කර තිබේ. නමුත් එහි පැන නැගීම හඳුනාගත යුත්තේ ධනපති ක්‍රමයේ අධිරාජ්‍යවාදී වුවමනාවන් හා සම්බන්ධ දේශපාලන පසුබිමක් තුල ය.

            මේ වකවානුවේ දී යටත්විජිතකරණය උච්ඡස්ථානයක පැමිණ තිබිණි. යටත් විජිත රාජ්‍යවලින් පහසුවෙන් ලාභයට අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ තරඟයක් අධිරාජ්‍යවාදී රටවල් තුල හට ගත්තේ ය. වර්ධනය වෙමින් තිබූ වෙළඳපොල අවශ්‍යතාවයන් සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ තරඟයත් දියුණු රටවල් බොහොමයක ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් යුධ ආයුධ නිෂ්පාදනය හා වෙළඳාම මත යැපීමත් එම වකවානුවේ හඳුනා ගත හැකි පොදු ලක්ෂණ වේ.
පළමු ලෝක යුද්ධයට හේතු වූ සාධක යුද්ධය අවසන් වූවත් ඉවත්ව ගියේ නැත. ඊට අමතරව යුද්ධය නිසා සිදු වූ විනාශයේ බලපෑම යුරෝපයට ඉතාම තදින් දැනෙමින් තිබිණි. පළමු ලෝක යුද්ධය අවසන් වී කෙටි කාලයක් තුල යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික බිඳ වැටීම් ගණනාවකට මුහුණ දෙන ලදී. 1929 -33 මහා ආර්ථික අවපාතය හට ගැනීමට පෙර සිටම එහි මූලික ලක්ෂණ යුරෝපයේ සහ ඇමරිකාවේ දකින්නට ලැබිණි. ආර්ථිකය තුල සිදුවෙමින් තිබූ කම්පන දේශපාලනය තුලට කාන්දු වී දේශපාලනයත් ව්‍යාකූල කර තිබිණි. යුරෝපය තුල ෆැසිස්ට් ප්‍රවණතා මතු වූයේ එවැනි තත්වයක් තුල ය. පළමු ලෝක යුද්ධය සමග පැන නැගුණු සෝවියට් දේශය හා අනෙකුත් සමාජවාදී ව්‍යාපාරයන්ගේ ඉදිරි ගමන මැඩ පැවැත්වීමේ ධනපති පන්තියේ උවමනාවත් පැවතුනි.
ඉතාලිය අර්බුද රැසකට මුහුණ දෙමින් සිටි කාලයකි. ලක්ෂ ගණන් කම්කරුවන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දැවැන්ත උද්ගෝෂණ ව්‍යාපාරයක් ගෙන යන ලද අතර සමහර කම්හල්වල පාලන බලය බවා අල්ලා ගන්නා ලදී. නමුත් සමාජවාදී පක්ෂය ස්ථීර ප්‍රතිපත්ති සහිතව කටයුතු නොකළ නිසාම කම්කරුවන් හට නිවැරදි නායකත්වයක් නොලැබිණි. ආණ්ඩුව දුර්වලව පැවති අතර මුසලෝනිගේ නායකත්වය යටතේ ගොඩ නැගූ ෆැසිස්ට් කණ්ඩායම (ෆැසිස්ට් කොම්බැට්ස්මන්ලා) මගින් එම කම්කරු අරගල මර්ධනය කරන ලදී. 1922 ඔක්. 03 වෙනිදා ඔහු ඉතාලියේ බලය අල්ලා ගන්නා විට එම කණ්ඩායම ස්ථීර හමුදාවක් බවට පත් කර තිබිණි. මොහු (මුසලෝනි) බොහෝ විට පදනම් වූයේ ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමී සිටි නැවත රැකියාවක් සොයා ගැනීමට අසමත් වූ පිරිසයි. මේ ස්ථරය මත වාමාංශික ව්‍යාපාරයේ බලපෑම ද දුර්වල විය.
1933 ජනවාරි 30 හිට්ලර් බලයට පත්වූයේ ද එරට පැවැති ධනපති ආණ්ඩුව අර්බුදය හමුවේ දුබලව ගිය මොහොතක අස්ථීර රැකියා නොමැති බලවේගයන් පෙරටු කොට ගෙන ය. ඔහුගේ පළමු ප්‍රහාරය යොමු වූයේ ද වාමාංශික ව්‍යාපාරයට යි. ‍

Image result for mussolini hitler
අධිරාජ්‍යවාදීන් අතර තරඟය හා ඒ ආශ්‍රීත අර්බුදයන් මගින් ලෝකය නැවත බෙදා ගැනීම යුද්ධ කිරීම හැර වෙනත් විසඳුමක් නොමැති බව මෙම ෆැසිස්ට්වාදී ප්‍රවනතා තුල ගැබ් වී තිබිණි. නිරන්තර සාමය අවශ්‍ය හෝ ප්‍රයෝජනවත් දෙයක් නොවන බව මුසලෝනි පැවසුවේ ය. සටන් නොකරන්නා බිය ගුල්ලකු බවත් මිනිසාගේ ශක්තිය උපරිම වෙන්නේ යුද්ධය තුලින් බවත් මුසලෝනි පැවසුවේ ය. මොහුගේ පක්ෂයේ ලාංඡනයේ අදහසත් ඊට සමාන එකකි.

         ධනේෂවර ආර්ථික බරපතල ලෙසින් බිඳ වැටී  විවිධ වූ උද්ගෝෂණ අරගල වර්ජන ආදී පැන ගැනීම් පීඩිත පන්තියෙන් පැන නගින අවස්ථාවේ දී එම අභියෝගයට මුහුණ දී ගත නොහැකිව ධනපති පන්තිය දේශපාලන ව්‍යාකූලත්වයකට ඇද වැටී ඇති මතු වෙන අරාජිකත්වය හමුවේ මතුවිය හැකි ප්‍රවනතාවයක් ලෙස “ෆැසිස්ට්වාදය” හැඳින්වේ. මෙය සාමාන්‍ය තත්වය යටතේ පාලනය ගෙන යාමට නොහැකි වූ විට ධනපති පන්තියේ පැවැත්ම උදෙසා මතුවෙන දේශපාලන ප්‍රචන්ඩත්වයකි. ධනපති දේශපාලන බලය අරාජිකව ඇති මොහොතක මතුවිය යුතු නිර්ධන පංති ව්‍යවාපාරය අකර්මන්‍යව පැවතීම ෆැස්සිට්වාදී ප්‍රවණතාවය මතුවීමට වඩා හොඳ ඉඩක් සාදයි. අරාජිකත්වය හමුවේ බිඳ වැටෙන නිවැරදි වග පෙන්වීමක් නොමැති සමාජ බලවේගයන් මගින් මෙම විනාශකාරී ප්‍රවණතාවය සඳහා පදනම සකසා ගනී.

විමර්ශන