සමාජ විප්ලවය යනු කුමක්ද?

220px-Gramsci
අන්තෝනියෝ ග්‍රාම්ස්චි
November 14, 2018
class
පන්තිය යනු….
November 15, 2018
Show all

සමාජ විප්ලවය යනු කුමක්ද?

political-revolution-e1462696247594-900x710

සමාජ විප්ලවය යනු කුමක්ද?

         මිනිස් සමාජය යනු නිෂ්පාදන ක්‍රියාවලිය පදනම් කරගත් සාමුහිකත්වයක්  ලෙස අප තේරුම් ගෙන ඇත්තෙමු.  මිනිස් සමාජය එහි ආරම්භයේ පටන් මේ දක්වා එක තැන රැඳී පැවතියේ නැත. මානව වර්ගයාගේ බිහිවීමේ පටන් ශ්‍රම ක්‍රියාවලිය මුල් කොටගෙන ගොඩනැගුණු මිනිස් සමාජය, ඉතා සංකීර්ණ ක්‍රියාවලීන් හරහා,  සංවර්ධනීය මඟක් ඔස්සේ අද දක්වා ගමන් කොට ඇත. ඉදිරියටත් එසේ ගමන් කරනු ඇත. එනම් අනෙකුත් වාස්තවික ලෝකය මෙන්ම මිනිස් සමාජයේ පැවැත්ම ද නිරන්තරව වෙනස්වන හා වර්ධනය වන ස්වාභාවයක පවතී.
මිනිස් සමාජයේ සිදු වෙන සංවර්ධනය පියවරෙන් පියවර සිදු වූ වෙනස්කම් ආකාරයෙන් හෝ පිමි ආකාරයෙන් සිදු වූ වෙනස්කම් ලෙසින් හඳුනා ගත හැකි වේ. පියවරෙන් පියවර පිළිවෙලකට සිදුවන වෙනස්වීම පරිණාමය ලෙසින් හැඳින්විය හැක. පරිණාමය සමාජ සංවර්ධනයේ ඉතා වැදගත් ස්වරූපයකි. සමාජය තුල පිමි ආකාරයෙන් සිදුවෙන වෙනස්වීම විප්ලවයකි. සතුරු ප්‍රතිවිරෝධතා සහිත සමාජයක සමාජීය පරිණාමය, සමාජ විප්ලවයකින් පමණක් විසඳිය හැකි තත්වයක් මතු කරයි. එනම් සමාජ විප්ලවයකින් පමණක් විසඳිය හැකි සාධකයන් සමග ගැටෙයි.  මෙවැනි තත්ත්වයක් සමාජ සංවර්ධනයේ සංකීර්ණ අවස්ථාවක් මතු කර දක්වන අතර සමාජ විප්ලවයෙහි අනිවාර්ය බව පෙන්නුම් කර දෙයි.

          ඉතිහාසමය ක්‍රියාවලිය තුල සමාජ විප්ලවය, එක් සමාජ ආර්ථික ක්‍රමයක්, තවෙකක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමක් ලෙසද දැකිය හැකිය.  සමාජ ආර්ථික ක්‍රමයක් යනු සමාජ ජීවිතයේ සියලුම ප්‍රපංච, එක් පද්ධතියක් තුළ එකිනෙකට සම්බන්ධව පවතින අවස්ථාවකි. එනම් ආර්ථික සමාජ දේශපාලන හා දෘෂ්ටිමය සම්බන්ධතාවයන්හි ගුණාත්මක වශයෙන් නිශ්චිත සමස්ථයකි. ඉතිහාසයේ අනුයාත ලෙස සමාජ ආර්ථික ක්‍රම කිපයක් හඳුනා ගත හැකිය. ඒවා නම් ප්‍රාථමික සාමුහික සමාජය, වහල්හිමි, ආසියාතික වැඩවසම් හා ධනවාදී සමාජය වශයෙනි. මේ සෑම අවස්ථාවකදීම, එක් සමාජ ආර්ථික ක්‍රමයක සිට අනුයාත සමාජ ආර්ථික ක්‍රමයට සංක්‍රාන්තවීම සමාජ විප්ලවයක් මගින් සිදුවිය. මෙහිදී සමාජ විප්ලවය සමාජ සංවර්ධනයේ පිම්මක් ලෙස හඳුනාගත හැකි අතර, ප්‍රමාණාත්මක වෙනස්වීම් ගුණාත්මක වෙනසක් බවට පත්වීමකි.  සමාජ පරිණාමය තුළ පියවරෙන් පියවර සිදුවෙන ප්‍රමාණාත්මක වෙනස්වීම් හා ගුණාත්මක වෙනස් වීම් මගින් සමාජ ආර්ථික ක්‍රමය පූර්ණ වශයෙන් සිදුකරනු ලැබිය යුතු ගුණාත්මක පරිවර්තනයකට සූදානම් කරනු ලබයි.

          සමාජ විප්ලවය යනු ප්‍රගතිශීලි බලවේග විසින් සාක්ෂාත් කර ගනු ලබන, සමාජය ගුණාත්මක වශයෙන් නවතම සමාජ සංවර්ධනයේ වඩාත් උසස් මට්ටමකට ඔසවා තැබීමකි. සමාජ සංවර්ධනයේ පැරණි, පහත් සමාජ ආර්ථික රථාවක සිට වඩාත් දියුණු සමාජ ක්‍රමයක් දක්වා ගමන් කිරීමකි.
Image result for social revolution

         එහෙත් සමාජ විප්ලවයට පදනම සකස් කර දෙන අවසාන හේතු ගැබ්වී ඇත්තේ ද්‍රව්‍යමය නිෂ්පාදනයේ වර්ධනය තුළයි. එනම් ද්‍රව්‍යමය වටිනාකම්වල අඛණ්ඩ නිෂ්පාදනය සමාජීය පැවැත්මේ හා සමාජ සංවර්ධනයේ අනිවාර්‍යය කොන්දේසිය බව අපි දනිමු. නිෂ්පාදන ක්‍රියාදාමයේදී, ශ්‍රම උපකරණ මූලික කොට ගත් ශ්‍රම මාධ්‍යයන් හා එමගින් භාවිතයට ගනු ලබන ශ්‍රම විෂයන් විසින් සකසාලන නිෂ්පාදන මාද්‍යයන්, මිනිස් ශ්‍රම ක්‍රියාකාරීත්වය හා එක්තැන්ව, නිෂ්පාදනයේ වඩාත් ජංගමශීලී අංශය වන නිෂ්පාදන බලවේගයන් සංයුක්ත කරන බව අප දනිමු.  ඒ අතරම නිෂ්පාදන ක්‍රියාදාමයේ දී, තම සිතැඟියාවනට පරිභාහිරව මිනිසුන් මිනිසුන් අතර සබඳතාවයන් වේ.
එමගින් සමාජයක දේපල සබඳතාවය ප්‍රකාශයට පත් කරනු ලබන අතර නිෂ්පාදන මාධ්‍යයේ අයිතිය තීරණය වෙන බවත් දනිමු. මෙම නිෂ්පාදන සබඳතාවයන් හා නිෂ්පාදන බලවේගයන් මගින් සමාජයේ ආර්ථික පදනම සකසාලයි. එයින් සමාජ ජීවිතයේ ආකාරය, එහි චින්තන රටාව ආදිය ද තීරණය කරනු ලබයි. ඒ නිසා, පදනම තුල සිදුවෙන වෙනස් වීමක් මගින් මුලු සමාජ ජීවිතයම වෙනස් වෙයි. මෙය සමාජ ආර්ථික පදනමේ වෙනස්වීමේ ඉතිහාසය ලෙස තේරුම් ගැනීම නිවැරදි වෙනු ඇත.
මෙම පදනම තුළ වන නිෂ්පාදන බලවේගයන්ගේ හා නිෂ්පාදන සබඳතාවයන් අතර අන්තර් සම්බන්ධයක් පවතී. නිෂ්පාදන සබඳතාවයන් ගොඩ නැගෙන්නේ ඉබේම නොව, නිෂ්පාදන බලවේගයන්ගේ මට්ටම හා ස්වභාවය අනුව යි. මේ දෙක අතර ඒකත්වයක් පැවතීම, ඒවා අතර වන ප්‍රතිවිරෝධයන් බැහැර නොකරයි. ඒවා එකිනෙකින් විවිධ ලෙස වෙනස් වෙයි.
නිෂ්පාදනය එක තැන පල් නොවේ. ඒ නිසා පදනම තුල වන නිෂ්පාදන බලවේග වඩා ක්‍රියාශීලිත්වයක් ලබා ගනියි. එමගින් ශ්‍රමය ලිහිල් කිරීමටත් වඩා වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමටත් උත්සාහ කරයි. මීට ප්‍රතිවිරෝධී ලෙස, නිෂ්පාදන සබඳතාවයන් ස්ථාවර බවක් උසුලයි. යම් යම් වෙනස්වීම්වලට භාජනය වුව ද, නිශ්චිත සමාජ ක්‍රමයක් තුල එය හරයෙන් වෙනස් නොවෙයි. එවිට සමාජ පැවැත්මේ හා සංවර්ධනයේ පදනම නිෂ්පාදන බලවේගයන්ගේ ඉදිරි ගමනට, නිෂ්පාදන සබඳතාවයන් බාධාවක් වන තත්වය විසින් සමාජ විප්ලවයේ යුගය උදා කරයි.
මේ අනුව නව නිෂ්පාදන බලවේගයන්ගේ හා පැරණි නිෂ්පාදන සබඳතාවයන්ගේ ගැටුම සමාජ විප්ලවයේ වාස්තවික පදනමයි.

        මෙම ගැටුම පමණක්ම සමාජ විප්ලවය සඳහා නොසෑහේ. මේ සඳහා විෂය මූලතත්වයන් හා මනෝමූල තත්වයන් මුහුකුරා යාම අනිවාර්‍යය වේ. එනම් පැරණි ක්‍රම අනුව තම බලය රැක ගැනීමට නොහැකි අධිපති පන්තියේ අර්බුද, පීඩිත පන්තිවල දිළිඳුකම හා අසාථාවර බව සාමාන්‍ය තත්වයන්ට වඩා ඉහල නැගීම, හා පැරණි තත්වයන්ගෙන් පාලනය වීමට අකමැති පීඩිත කොටස්වල ක්‍රියාකාරීත්වය ඉහල තලයක නැගීමයි. ඉතිහාසයේ වර්ධනය ස්වයංක්‍රීය ක්‍රියාදාමයක් නොවේ. එය ඉබේ නිර්මාණය නොවේ. යම් යම් කොන්දේසි යටතේ අවබෝධයකින් යුතුව හෝ අවබෝධයකින් තොරව නිර්මාණය කරන මිනිස්සුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසය හඳුනා ගත යුතුයි. එය මිනිසා විසින් නිර්මාණය කරනු ලැබේ. ඉතිහාසයේ පරිවර්තන කාලවල දී විෂය මූල තත්වයන් සමාජ විප්ලවයක් සඳහා කොන්දේසි සකස් කර ඇති විටෙක, මනෝමූල සාධකය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.
සමාජ විප්ලවයකදී, ප්‍රතිවිරෝධී පන්ති අතර ගැටුම් වඩා උච්ඡස්ථානයකට පත්වෙයි. එනම් පැරණි යල්පිනූ නිෂ්පාදන සබඳතාවයන් ආරක්ෂා කරන ප්‍රතිගාමී පන්තිය හා අනාගතයට හිමිකම් කියන විප්ලවවාදී පන්තිය අතරයි. පන්ති රහිත සමාජයක දී සිදුවෙන සමාජ විප්ලවයේදී දේශපාලන බලය නව විප්ලවවාදී පන්තිය විසින්  ලබා ගැනීම ද අනිවාර්‍යය සාධකයකි. එනම් රාජ්‍ය බලය ලබා ගැනීමය. එහෙත් නව විප්ලවාදී පන්තිය විසින් රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පමණක් සමාජ විප්ලවය සම්පූර්ණ නොවේ. පැරණි නිෂ්පාදන සබඳතාවයන් පිසදැමීම හා නව නිෂ්පාදන සබඳතාවයන් සහිත කිරීම ද අනිවාර්‍යය වෙයි. එක් එක් ඓතිහාසික වකවානුවල දී සමාජ විප්ලව ඒවා ඉටු කරනු ලබන කාර්යභාරයන්ගෙන් වෙනස් වේ. ඒ නිසාම ඒවා පූර්ණත්වයට පත්වීමේ කාලවකවානු හා ස්වරූප ද වෙනස් වේ. ප්‍රාථමික සාමුහික සමාජය තුල පන්ති නොපැවතීමත්, එහි වර්ධනයේ නිශ්චිත වකවානුවේදී පෞද්ගලික දේපොල හා පන්තීන්ගේ බිහිවීම සිදුවීමත්, ඒ ආශ්‍රිතවම රාජ්‍යයයේ පැන නැගීම සිදුවීමත් නිසාම ප්‍රාථමික සාමුහික සමාජ ක්‍රමය වහල් හෝ ආසියාතික ක්‍රමයක් බවට පත්වීමේ දී පසුව සිදු වූ සමාජ විප්ලවවල දී මෙන් දේශපාලන විප්ලවයක් සිදු නොවීය. අනෙකුත් සෑම සමාජ විප්ලවයක් තුලම දේශපාලන විප්ලවය ද අඩංගු කර ගනී. මේ අනුව සමාජ විප්ලවය යනු, මිනිස් සමාජයේ පදනම වන නිෂ්පාදනයේ කොන්දේසි හා බැඳී ඇති සමාජ සංවර්ධනයේ අනිවාර්ණීය අවස්ථාවකි. මෙය එක් එක් ඓතිහාසික යුගවල දී විවිධ ස්වරූපවලින් සිදුවේ. සමාජ විප්ලවයේ අවසාන ආකාරය වන සමාජවාදී විප්ලවය මගින් ගොඩනැගෙන කොමියුනිස්ට් සමාජ ක්‍රමය සමාජ විප්ලවයක් සඳහා වන අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසි මුළුමනින්ම අහෝසි කරලයි.

විමර්ශන 1998 දෙසැම්බර්