ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයෙහි ආදර්ශය අගයමු

5a97e70d-8f77-4d11-bfe8-8df8743b7bb9_r646x418
ඔක්තෝබර් විප්ලවයේ ගමන් මඟ
November 7, 2018
Antonio Gramsci 1891-1937
November 9, 2018
Show all

ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයෙහි ආදර්ශය අගයමු

jayathilaka

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර සමාජවාදී විප්ලවයෙන් ඉතිහාසයෙහි නව යුගයක් උදා වී. එය හැඳින්වෙන්නේ ධනවාදයෙන් සමාජවාදයට සංක‍්‍රමණය වන යුගය ලෙස. වී.අයි. ලෙනින්ගේම වදන්වලින් පැවැසුව හොත් “සමාජවාදී විප්ලවයට පැමිණිය හැකිවන්නේ සංවර්ධිත ධනපති රටවල ධනේශ්වරයට එරෙහි නිර්ධන පන්තියෙහි සිවිල් යුද්ධය සමග අසංවර්ධිත පසුගාමී සහ පීඩිත ජාතීන්හි ජාතික විමුක්ති ව්‍යාපාරය ඇතුළු ප‍්‍රජාතාන්ත‍්‍රික සහ විප්ලවීය ව්‍යපාර සමස්ත ශ්‍රේණියක්ම සංයෝග වන යුගයක ස්වරූපයෙන් පමණකි.” 
(එකතු කළ කෘති, 4වැනි ඉංග‍්‍රීසි සංස්කරණය, 33 වෙළුම)

විසි වැනි සියවස අවසාන දශකය මුලදී සෝවියට් සංගමය බිඳ වැටී වසර 70ක් ඉක්මවා එහි ඒකරාශිව සිටි ජාතීන් යළි ධනවාදය වැළැඳ ගත්තද එරට අනල්ප වැදැගත්කමක් ඇති අත්දැකීම් සහ ආදර්ශ ගණනාවක්ම මානව වර්ගයාට දායාද කළා. මෙහි ලා අප අදහස ඒවා සමහරක් විමැසුම.
සමාජයක් සමාජවාදයට මෝරන්නේ ධනවාදය යටතේ එහි නිෂ්පාදන බලවේග දැවැන්ත පරිමාණයෙන් සංවර්ධනය වූ පසු ව යැයි සැලැකෙන හෙයින් වාමාංශිකයන් අතර පවා පැවැතියේ නොදියුණු රුසියාවෙහි සමාජවාදය ගොඩනැඟිය නොහැකි යැයි මතයෙකි. සමාජවාදය ඉදිකැරීමට අවශ්‍ය ද්‍රව්‍යජ මෙන් ම සාංස්කෘතික සංවර්ධන මට්ටම ද එරට නොපැවැතීම එයට හේතු වී. මාක්ස් හා එංගල්ස් පවා මුලදී අදහස් කෙළේ සමාජවාදී විප්ලවය පළමු ව ධනවාදය සංවර්ධනය ව පැවැති යුරෝපීය රටක, බොහෝ දුරට එංගලන්තයෙහි, ඇති විය හැකි බව. එහෙත් පසු කලෙක විප්ලවයෙහි කේන්ද්‍රය පෙරදිගට, රුසියාවට සංක‍්‍රමණය වන බව ඔවුහු දුට හ.
ලෙනින් ඒ පිිළිබඳ ව මෙසේ පැවැසී: “සමාජවාදය ගොඩනැඟීමට නිශ්චිත සංස්කෘතික මට්ටමක් අවශ්‍ය කැරෙන්නේ නම් පළමු ව විප්ලවීය ආකාරයෙන් එම නිශ්චිත සාංස්කෘතික මට්ටමෙහි පූර්ව අවශ්‍යතා දිනා ගැනීමෙන් පටන්ගෙන අනතුරු ව කම්කරු – ගොවි ආණ්ඩුවෙහි සහ සෝවියට් ක‍්‍රමයෙහි ආධාරයෙන් සෙසු ජාතීන් පරදවන්නට ඉදිරියට යා නොහැකි මන් ද?” 
(එකතු කළ කෘති. 4 වැනි ඉංග‍්‍රීසි සංස්කරණය. 33 වෙළුම. 480 පිටුව.)

ඔක්තෝබර විප්ලවයෙන් පසු සෝවියට් ආණ්ඩුව අබියස පැවැති අභියෝගය වූයේ ඉතිහාසයෙහි කිසිවෙකු නොගත් මඟක යාම. වෙනත් වචනවලින් කිව හොත්, සමාජවාදී ආර්ථිකයක් නිර්මාණය කිරීම. එතෙක් සමාජවාදය පැවැතියේ සංකල්පන ලෝකයෙහි පමණකි. එයට පැවැරුනු වගකීම වූයේ සංකල්පන ලෝකයෙන් යථාර්ථ ලෝකයට සමාජවාදය ගෙන යාම යි.
ඉතිහාසයෙහි ධනේශ්වර සමාජ විප්ලවයන්හි කාරිය වූයේ පෙර (වැඩවසම්) සමාජය තුළ ම වැඞී ආ ධනපති පන්තිය අත පැවැති නිෂ්පාදන සම්බන්ධතා ආධිපත්‍යයට පත් කිරීම යි. ඒ සඳහා රාජ්‍ය බලය ඔවුන් අතට පත්කිරීම යි. එහෙත් සමාජවාදී විප්ලවයෙහි දී එසේ නො වේ. ධනපති සමාජය තුළ නිර්ධන පන්තිය අත ධනය නොවූයෙන් එම බලය අලූතෙන් මුල සිට ගොඩනැඟිය යුතු. ඒ සඳහා පැවැති රාජ්‍ය යන්ත‍්‍රය විනාශ කැරැ නිර්ධන පන්තිය විසින් විප්ලවයෙහි දී උදුරා ගන්නා රාජ්‍ය බලය නිර්ධන පන්තියෙහි නායකත්වයෙන් තහවුරු කළ යුතු.
එහි දී පන්ති අරගලය තීව‍්‍ර වනු වැළැක්විය නො හේ. පරාජිත ධනේශ්වරය දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු මෙන් ක්‍රෝධයෙන් අවි අමෝරා නැඟී සිටිනු ඇති හෙයිනි. එහෙයින් හැම විප්ලවයකට ම එය රැක ගැනීමට හැකියාව තිබිය යුතුය. නොඑසේ නම් ප‍්‍රතිවිප්ලවය ජය ගනු ඇති. මෙය ශ්‍රෙෂ්ඨ ඔක්තෝබරයේ තවත් පාඩමක්.
ළදරු සෝවියට් රජයට ජාතීන් 14 ක ප‍්‍රතිවිප්ලවවාදී හමුදා සමග සටන් වදින්නට සිදු වූයෙන් ආර්ථිකය ගොඩනඟන්නට අවස්ථාවක් ලැබුණේ ප‍්‍රතිවිප්ලවය පරාජය කැරීමෙන් අනතුරු ව 1921 වසරේ සිට පමණකි.
ධනවාදය මෙන් සමාජවාදය නිසගයෙන් නො වැඩෙයි. එය ජනතාව විසින් දැනුම්වත් ව නිර්මාණය කළ යුතු . ඒ සඳහා අනුගමනය කරනු ලබන පිළිවෙත වන්නේ සැලැසුම්ගත සමානුපාතික සංවර්ධනය යි.
1921 මුලින් ම අරඹන ලද සැලැසුම හඳුන්වන ලද්දේ GOELRO නමින්. රුසියාවෙහි විදුලිබලය සංවර්ධනය යි රුසියාව
විදුලිබල ගැන්වීිම එහි අරමුණ වී. ඒ සඳහා රාජ්‍ය කොමිෂන් සභාවක් (GOELRO) 1920 මාර්තුවෙහි ස්ථාපිත කැරැ තිබිණි.
සමාජවාදය= සෝවියට් බලය+ විදුලිකරණය යැයි ලෙනින් අර්ථ දැක්වී.
රුසියාව විදුලි බල ගැන්වීම අසීරු හා දැවැන්ත වැඩපිළිවෙලක් වී. ක්‍රෙම්ලිනයෙහි දී ලෙනින් හමු වූ සුප‍්‍රකට විද්‍යා ප‍්‍රබන්ධ ලේඛක එච්.ජී.වෙල්ස් ”ක්‍රෙම්ලිනයෙහි සිහින දකින්නා” යැයි ලෙනින් හැඳින්වූයේ එම සිහිනය සැබෑ වන බව පසක් වූ බැවින්. පසුකාලීන සෝවියට් ආර්ථික සංවර්ධනයෙහි පදනම වූයේ GOELRO සැලැසුමෙහි සාර්ථකත්වය
යි. පූර්ව විප්ලව සමයෙහි රුසියාවෙහි ඉහළ ම ආර්ථික තත්ත්වයක් පැවැති 1913 වසර සමග සසඳන කල GOELRO සැලැස්ම නිම වන විට විදුලි බල නිෂ්පාදනය දෙගුණ ව පැවැතිණි. එම සැලැස්ම යටතේ වසර 10 – 15ක් තුළ මහා බලශක්ති ව්‍යාපෘති 30ක් ම ඉදි කැරිණි. දෙවැනි ලෝක යුද්ධය ආරම්භයෙහි වසර 1940 දී සෝවියට් සංගමයෙහි දළ ජාතික නිෂ්පාදිතය 1913හි මෙන් 410%ක් වූ අතර ජාතික ආදායම 430%ක් ද, කාර්මික නිෂ්පාදනය 670%ක් ද, දළ
කෘෂිකර්මාන්ත නිමැවුම 40%ක් ද වී. එම වසර වන විට සෝවියට් සංගමයෙහි කාර්මික නිෂ්පාදිතය පැවැතියේ යුරෝපයෙහි සියලූ රටවලට වඩා වැඩි මට්ටමකට ළඟා ව. (Soviet Union’ Political and Economic Reference Book,P-207, Progress Publishers’ Moscow-1976)
මෙහි දී කිව යුතු වැදැගත්ම කාරණයක් වන්නේ 1929 – 32 මහා ආර්ථික පරිහාණි සමයෙහි ආර්ථිකය නොකඩවා සංවර්ධනය වූ ලෝකයෙහි එකම රට සෝවියට් සංගමය බව. යුද්ධය මධ්‍යයෙහි ම සෝවියට් සංගමය සිය පළමු වැනි පස් අවුරුදු සැළැස්ම සාර්ථක ව ක‍්‍රියාවට නැඟුවා. මෙම ජයග‍්‍රහණ දෙකම ධනවාදයට වඩා සමාජවාදී ආර්ථික ප‍්‍රතිපත්තියෙහි ශ්‍රේෂ්ඨත්වය විදහා පෑවා. මෙසේ දෙවන ලෝක සංග‍්‍රාමය තෙක් කාලය තුළ රටෙහි පසුගාමිත්වය හමාර කැරැ සමාජවාදයෙහි ද්‍රව්‍යජ සහ තාක්ෂණවේදී අඩිතාලම දමන්නට සෝවියට් සංගමය සමත් වී. මෙය අප වැනි ඌන සංවර්ධිත රටවලට විපුල වැදැගත්කමක් සහ ප‍්‍රයෝජනයක් ඇති අත්දැකීමක්.
සමාජවාදී සමාජය නිර්මාණයෙහි දී “සාංස්කෘතික විප්ලවයක් ම වාගේ” වුවමනා බව කී ලෙනින් “මුළු මහත් ජනතාව සාංස්කෘතික සංවර්ධන කාලච්ඡෙදයක් පසු කැරැ යා යුතු” යැයි ලිවී.
(එකතු කළ කෘති. 33 වෙළුම. 470 පිටුව.)

ඒ සඳහා එම ආර්ථික පදනම මහෝපකාරී වී. ඒ අතර නිර්ධන පන්තියේ සාංස්කෘතික සේවකයන් තැනීමට ද නව සෝවියට් රජය ආරම්භයෙහි සිට ම කටයුතු කළා. විශ්ව විද්‍යාලයන්හි ගොවි කම්කරු පීඨ ඇති කැරැ දියුුණු ගොවි කම්කරු පිරිස්වලට ඒවායෙහි අධ්‍යාපනය ලබා දී නව නිර්ධන පාංතික බුද්ධිමතුන් බිහි කළා. (මෙම තත්වය චීනයේ සිදුවූ සංස්කෘතික විප්ලවය හා සමාන ලෙස තේරුම් ගත යුතු නැත.)
ධනවාදය යටතේ විද්‍යාව, තාක්ෂණවේදය සහ සංස්කෘතිය යන අංශ පැවැතියේ දේපල හිමි පන්ති සඳහා පමණක් බැවින් සමාජවාදය ගොඩනඟන්නට සිදු වූයේ එම සංස්කෘතිය ම උපයෝගී කැරැ.
“ධනවාදය පොඩිපට්ම් කැරීම ප‍්‍රමාණවත් නැත . අපි ධනවාදය ඉතිරි කළ සමස්ත සංස්කෘතිය රැගෙන එය සමග සමාජවාදය ගොඩනැඟිය යුතු වෙමු. අපි එහි සියලූ විද්‍යාව, තාක්ෂණවේදය, දැනුම සහ කලාව ගත යුත්තෙමු. ඒවා රහිත ව අපට කොමියුනිස්ට් සමාජය ගොඩනැඟිය නොහැකි ය” යි ලෙනින් ලිවී. (එකතු කළ කෘති 4 වැනි ඉංග‍්‍රීසි සංස්කරණය. 29 වෙළුම. 70 පිටුව.*
ලෙනින් ගේ මතය වූයේ “නව නිර්ධන පාන්තික සංස්කෘතියක් නිර්මාණය නොව පවත්නා සංස්කෘතියෙහි හොඳ ම ආදර්ශ, සම්ප‍්‍රදාය සහ ජයග‍්‍රහණ මාක්ස්වාදයෙහි ලෝක දැක්මෙහි දෘෂ්ටි කෝණයෙන් සංවර්ධනය” කළ යුතු බව. (එකතු කළ කෘති. 5 වැනි රුසියානු සංස්කරණය. 41 වෙළුම, 462 පිටුව.)
වසර 1920 ඔක්තෝබරයෙහි මොස්කව් නුවර පැවැති නිර්ධන සංස්කෘති (prolitcult) සංවිධානයෙහි පළමු වැනි සමස්ත රුසියානු සම්මේලනය සඳහා ඉදිිරිපත් කළ යෝජනාවක එම අදහස වැඩි දුර පැහැදිලි කරමින් ලෙනින් කියා සිටියේ මෙසේ:
“විප්ලවීය නිර්ධන පන්තියෙහි දෘෂ්ටිය ලෙස මාක්ස්වාදය ඓතිහාසික වැදැගත්කමක් දිනා ඇත්තේ ධනේශ්වර යුගයෙහි අතිශය වැදැගත් ජයග‍්‍රහණ ප‍්‍රතික්ෂේප කරනු වෙනුවට එයට ඉඳුරා පටහැණි ලෙස මානව චින්තනයෙහි සහ සංස්කෘතියෙහි වසර දෙදහස ඉක්ම වන ඉතිහාසයෙහි වැදැගත් සියල්ල අවශෝෂණය කැරැ යළි සකසා ඇති හෙයිනි. අව්‍යාජ නිර්ධන පන්ති සංස්කෘතියෙහි සංවර්ධනය සේ පිළිගත හැකි වන්නේ හැම ස්වරූපයක ම සූරාකෑමට එරෙහි අවසාන අදියර ලෙස නිර්ධන පන්ති අත්දැකීමෙන් ආශ්වාදය ලැබ එම පදනම සහ එම දිසාවට වන වැඩි දුර කාර්ය සාධනය පමණකි.”
එකතු කළ කෘති, 4 වැනි ඉංග‍්‍රීසි සංස්කරණය, 37 වෙළුම, 70 පිටුව.
සාංස්කෘතික විප්ලවයෙහි ප‍්‍රථම සහ වැදැගත් අංගයක් වූයේ ජනතාව ගේ සාක්ෂරතාව නැංවීම යි. තවත් කටයුත්තක් වූයේ සම්භාව්‍ය සාහිත්‍යය ජනතාවට හඳුන්වා දීම යි. නිදසුනක් වශයෙන්, මැයි 1928 සහ මැයි 1919 අතරතුර සිවිල් යුද්ධය මධ්‍යයෙහි ම සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය කෘති 115ක පිිටපත් 6,000,000ක් පළ කැරිණි. පුෂ්කින් ගේ කෘති එකතුවක පිටපත් 750,000ක් ද ඒ අතර වී.
වැඩි කල් නොගොස් ම නව සෝවියට් සාහිත්‍යයක් වැඩිණි. මැක්සිම් ගෝර්කි, ව්ලැදිමීර් මයාකොවුස්කි, මිහායිල් ෂොලොහොව්, ඇනටෝලි තෝල්ස්තෝයි, නිකොලායි ඔස්තොව්ස්කි‍්‍ර, ෂින්ගිස් අයිත්මාතොව් ප‍්‍රමුඛ බොහෝ සෝවියට් සාහිත්‍යධරයෝ විශ්ව සම්මානයට පාත‍්‍ර වූ.
එපරිද්දෙන් ම නාට්‍ය, සිනමාව, සංගීතය ආදී සෙසු ප‍්‍රාසාංගික කලාවන්හි ද ශීඝ‍්‍ර දියුණුවක් ඇති වී. එහෙත් අධිාජ්‍යවාදීහු ආබාධිත ආර්ථික සංවර්ධනයකට ඉඩ නුදුන් හ. 1941 ජුනි 22 වැනි දින ෆැසිස්ට් ජර්මන් හමුදා සෝවියට් සංගමය ආක‍්‍රමණය කළහ. සතුරා ගම් සහ නගර අල්ලා ගනිමින් මොස්කව් අගනුවර ආසන්නයට ම පැමිිණිියේ ය. ඇත්තට ම හිට්ලර් නත්තල් උත්සවය ක්‍රෙම්ලිනයෙහි පැවැත්වීමට ආරාධනා පත් පවා යැවී. ජර්මන් හමුදා ලෙනින්ග‍්‍රාඞ් නගරය වට කැරැු කොටු කළහ.
පොදු සතුරාට එරෙහි ව සටන් වැදීමට ගිවිස සිටිය ද ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය බටහිර යුද පෙරමුණ දියත් කැරීම පමා කළහ. ඒ හිට්ලර් විසින් කොමියුනිස්ට්වාදය විනාශ කරතැ යි යන අපේක්ෂාවෙනි. සෝවියට් හමුදාව එක් පසෙකින් ජර්මන් හමුදා බර්ලිනය ආසන්නයට ද, නැගෙහිර ආසියා මහා ද්වීපයෙන් ෆැසිස්ට් හමුදා මුළුමණින් ම අතුගා දැමීමටද ආසන්න වන තෙක් ඔවුහු බටහිර දෙවැනි යුද පෙරමුණ
ඇරැඹීම පමා කළ හ. සෝවියට් හමුදාව සහ ජනතාව සතුරා ගේ සියලූ බලාපොරොත්තු සුන් කරමින් වීරත්වයෙහි සහ දේශපේ‍්‍රමිත්වයෙහි නව වාර්තා තැබූහ. දින 800ට පසු ලෙනිින්ග‍්‍රාඞ් වැසියෝ ජර්මන් හමුදා වළල්ල බිඳ දැමූ හ. දෙවැනි ලෝක යුද්ධයෙහි දී මරණයට පත් හෝ නාසි වද කඳවුරුවල දී ඝාතනය කරන ලද හෝ සෝවියට් පුරවැසියෝ දෙකෝටිය ඉක්ම වූ. නාසිවරු සෝවියට් සංගමයෙහි ගම් සහ කම්කරු ජනාවාස 70,000ක් පමණ අළු කළ හ.
ශ්‍රේෂ්ඨ ඹක්තෝබර විප්ලවයෙහි 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍ය කාරක සභාව නිකුත් කළ ප‍්‍රකාශනයෙහි මෙසේ සඳහන් වෙයි:
“යුද්ධයෙන් වූ හානි මධ්‍යයේ වුව ද සෝවියට් කර්මාන්තය දැඩි හා නිරන්තර වේගයකින් ඉහළ ගියේ ය. 1940 සිට 1960 දක්වා ප‍්‍රධාන කර්මාන්තවල නිෂ්පාදනය පහත දැක්වෙන පරිදි ඉහළ නැංගේ ය. ඒ අනුව වානේ නිෂ්පාදනය ටොන් බිලියන 18.3 සිට 96 දක්වා ද, තෙල් ටොන් 31.1 සිට 148 දක්වා ද, ගෑස් ගන මීටර 340 සි ට 470 දක්වා ද, විදුලි බලය කිලෝ වොට් 48.3 සිට 292 දක්වා ද වැඩි විය.”
(23 පිටුව)
මෙම ජයග‍්‍රහණ සියල්ල ම සැලැසුම්ගත සමානුපාතික සංවර්ධනයෙහි ප‍්‍රතිඵල ය. එහෙත් ඒ සඳහා පදනම වූයේ විප්ලවය විසින් නිෂ්පාදන මාධ්‍යයන්හි අයිතිය විජයග‍්‍රාහී නිර්ධන පන්තිය අතට පත් කැරීම යි. ආර්ථිකයෙහි මර්මස්ථාන – මහා කර්මාන්ත ශාලා, බැංකු ආදිය ජනසතු කැරිණි. විශාල ඉඩම් හිමිකම ද අහෝසි වී.
කෙසේ වෙතත්, 1980 දශකය අවසානය වන විට සෝවියට් ආර්ථිකයෙහි ආරෝහණ කාලච්ඡෙදය නිමා ව අවරෝහණ කලාවක් උදා වී. ඊළඟ දශකයෙහි මුල එය සහමුලින් ම කඩා වැටිණි. එයට හේතු වූ කරුණුූ කාරණා විභාගයට මෙය අවස්ථාවක් නො වේ.
මෙහි අප අධ්‍යාශය අර්ථ ක‍්‍රමයක් වශයෙන් ධනවාදය සහ සමාජවාදය සැසැඳීම සහ දියුණුවන ජාතීන්ට එයින් උගත හැකි ආදර්ශ සෙවීම හෙයින් පරිහාණියට පෙර සෝවියට් සංගමය ලද ජයග‍්‍රහණ තුලනාත්මක ව විචාරයෙන් අපේ කටයුත්ත සාර්ථක කැරැ ගත හැකි ය. මන්ද යත්, අප සසඳන්නේ ද ජයග‍්‍රාහී ධනවාදයක් සමග නොව සියවස් ගණනාවක් අසාර්ථක ව ඇති යථා ධනවාදය සමග හෙයිනි.

සෝවියට් සංගමයෙහි මුල් 50 වසර තුළ ධනවාදය හා සමාජවාදය අතර ආර්ථික තරගය දෙස බැලීම ඒ සඳහා ප‍්‍රමාණවත් යැයි සිතමි. විප්ලවයට පෙර සාර් පාලනය යටතේ වැඩිතම සංවර්ධන මට්ටම පැවැතියේ 1913 වසරෙහි ය.

“1913 – 66 අතර කාලය තුළ දී යාන්ත‍්‍රික හා ලෝහ කර්මාන්තය 538 ගුණයකින් ද, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය 294 ගුණයකින් ද, වානේ 22.5 ගුණයකින් ද, විදුලි බලය 267 ගූණයකින් ද, සිමෙන්ති 45 ගුණයකින් ද, සැහැල්ලූ කර්මාන්ත 16.2 ගුණයකින් ද, ආහාර 12.8 ගුණයකින් හා සියලූ ම යානවාහන 23.1 ගුණයකින් ද ආදි වශයෙන් කර්මාන්ත නිෂ්පාදනය 66 ගුණයකින් වැඩි වී.”
(ශ්‍රෙෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ පනස් වැනි ජයන්තිය නිමිත්තෙන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප‍්‍රකාශනය. 31 පිටුව)

සෝවියට් සංගමයෙහි සංවර්ධනයෙහි විශේෂ ලක්ෂණයක් වූයේ විවිධ ජනරජ අතර පැවැති කාර්මික සංවර්ධන මට්ටම් පරතරය පියැවීම යි. ඒ සඳහා පසුගාමී ජනරජයන්හි සංවර්ධනය වඩා ශීඝ‍්‍ර කැරිණි. නිදසුනක් දක්වතොත්,
“1913 සමග සසඳන කල සමස්තයක් වශයෙන් සෝවියට් සංගමයෙහි මහා පරිමාණ කර්මාන්ත නිමැවුම 12 ගුණයකින් වැඩි වුව ද කසක්ස්තානයෙහි එය 20 ගුණයකින් ද, ආර්මීනියාවෙහි 23 ගුණයකින් ද, බයිලොරුසියාවෙහි 14 ගුණයකින් ද, ජෝර්ජියාවෙහි 27 ගුණයකින් ද, කිර්ගීස් ජනරජයෙහි 153 ගුණයකින් ද, තජිකිස්තානයෙහි 324 ගුණයකින් ද වැඩි වී”.
(Soviet Review ,vol IV- No.61, August 12.1967)

ලෙනින් පැවැසූ පරිදි ”මෙම අත්දැකීම අමතක නොවනු ඇත. කුමක් සිදු වුවත් රුසියානු විප්ලවයෙහි සහ අන්තර්ජාතික සමාජවාදී විප්ලවයෙහි කම්කටොලූ කෙතරම් දැඩි වුවත් මෙම අත්දැකීම බැහැර කළ නොහැකි ය. සමාජවාදයෙහි ජයග‍්‍රහණයක් ලෙස එය ඉතිහාසගත ව ඇත. සිය අනාගත සමාජවාදී මන්දිරය ගෙඩනැඟීමට මෙම අත්දැකීම අනාගත අන්තර්ජාතික විප්ලවයට සේවා කරනු ඇත.”
(Collected Works, Vol-36)

 ජයතිලක ද සිල්වා
jayathilaka
කලක් ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කොට ඇති ජයතිලකද සිල්වා මහතා පසුව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ පූර්ණකාලීන ක‍්‍රියාධරයකු වශයෙන් කාලයක් කටයුතු කර ඇත. ඔහු ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ අධ්‍යාපන ලේකම්වරයාද විය. මාක්ස්වාදී මතවාදය ජනතාව අතර ප‍්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් කෘතින් රාශියක් රචනා කොට ඇති අතර මාක්ස්වාදී කෘතින් ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කොට ඇත. මේ අතරින් අතිශය බැරූරුම් කටයුත්ත වන්යේ කාල් මාක්ස් විසින් රචිත වෙළුම් තුනකින් සමන්විත ප‍්‍රාග්ධනය කෘතිය සිංහලට පරිවර්තනය කිරීමයි. මෙහි i සහ ii වෙළුම් මේ වන විට මුද්‍රණයෙන් එළි දක්වා ඇති අතර iii වන වෙළුමේ කටයුතු අවසන් වෙමින් පවතී.