පන්තිය යනු….

political-revolution-e1462696247594-900x710
සමාජ විප්ලවය යනු කුමක්ද?
November 14, 2018
marx
ප්‍රාග්ධනය යනු
November 19, 2018
Show all

පන්තිය යනු….

class

වර්තමාන සමාජය ආර්ථක සම්බන්ධතා මත ප්‍රතිවිරුද්ධ පන්තිවලට බෙදී තිබේ. එහෙත් “කම්කරු පන්තිය” යනු ඉතිහාසයට අයිති දෙයක් මිස වර්තමානයේ පවතින දෙයක් නොවන බව තර්ක කරන සමහරු උදාහරණයක් ලෙසින් සමාගම්වල කොටස් සේවකයින්ට හිමි කර ගෙන ඇති බව දක්වයි. වර්තමානයේ දී පන්ති සීමා වෙනස් වී ඇති බව පවසන ඔවුහු පන්ති වෙනස්කම් අහෝසි වෙමින් පවතින බව පවසති.  පන්ති පවතින බව පිළිගන්නා බොහෝ දෙනා පන්ති වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මිනුම් දඬුවල බරපතල දෝෂ පවතී. කෙනෙකුගේ පන්තිය අර්ථ දක්වනුයේ ඔහු හෝ ඇය අඳින ඇඳමින් පැලඳමෙන් හා ඒ අය පරිහරණය කරන භාණ්ඩවලින් බව සමහරු සිතන බව පෙනේ. සෙලියුලර් දුරකථන භාවිතා කරන වැටුප් ශ්‍රමිකයින් නිර්ධන පන්තියට අයත් නොවන බව සමහරු තර්ක කරති. ඒ අතර පන්තීන් මනිනු ලබන්නේ පුද්ගලයින්ගේ මානසිකත්වයෙන් බව තවත් අය කියති.  බෙහෝ අය තමන් මධ්‍යම පන්තිකයින් බවට සිතන බැවින් ඔවුන් තව දුරටත් නිර්ධනීන් නොවන බව ඔවුන්ගේ තර්කයයි. ඕනෑම සමාජයක ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය තුල (විඥ්ඥාණයේ) බල පැවැත්වෙන්නේ එම යුගයේ පාලක පන්තියේ පන්ති මතවාදය බව දන්නා අයට මානසිකත්වය මත පන්ති වර්ගීකරණය වැරදි බව අවබෝධ වේ.
මේ නිසා පන්ති හඳුනා ගන්නා මිනුම් දණ්ඩ හඳුනා ගැනීමෙන් පන්ති පවතිනවා ද සහ පන්ති වෙන් කෙරෙන සීමාවන් ද හඳුනා ගත හැකි වේ. ලෙනින්වාදී විග්‍රහයට අනුව පන්තීන් විග්‍රහ කරන්නේ කෙසේ දැයි බලමු.

මිනිස් සමාජය යනු නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූවක් නිසාත්, ඕනෑම යුගයක මිනිසාගේ සමාජ විඥ්ඥානය හසුරුවනුයේ නිෂ්පානදයේ සම්බන්ධතාවන් විසින් නිසාත් පන්ති විග්‍රහ කළ යුත්තේ බාහිර සාධක මත නොව නිෂ්පාදන කොන්දේසි මත වේ. මේ ගැන ලෙනින්ගේ විග්‍රහය මෙසේය.

“ඉතිහාසය විසින් නිශ්චය කරන ලද සමාජ නිෂ්පාදන ක්‍රමයක දරන ස්ථානය අනුවද, නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි (වැඩි වශයෙන් නීත්‍යානුකූලව, නීති ගත කොට තහවුරු කරන පරිදි) සම්බන්ධ වී ඇති ආකාරය අනුවද, සමාජමය ශ්‍රම සංවිධානයේදී ඉටු කරන කාර්ය කොටස අනුවද, ඒ අනුව තමන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජමය ධන සම්පත් ලබාගැනීමේ ප්‍රමාණය අනුවද එකකින් අනෙක වෙනස් වෙන විශාල ජන කණ්ඩායම් පන්ති වෙයි”
– ලෙනින් එකතු කළ කෘති 39 වෙළුම 15 පිට

මේ අනුව පන්තීන් යනු නිෂ්පාදන ත්‍රියාකාරීත්වයේ දී ඔවුන්ගේ සම්බන්ධය හා දායකත්වය අනුව එකිනෙකාගෙන් වෙන් කරනු ලබන ජන කණ්ඩායම් බවත් පන්ති බෙදීමේ මිනුම් දණ්ඩ නිෂ්පාදනය කෙරෙහි වන සම්බන්ධතාවය බවත් පැහැදිලි වේ.
සමාජය තුල ප්‍රධාන පන්ති දෙකක් පවතී. එ්වා නම්  ප්‍රාග්ධන හිමි හා ශ්‍රමය සූරාකන ධනපති පන්තිය සහ ඒ නිසාම ශ්‍රමය විකිණිමෙන් ජීවත් වෙන නිර්ධන පන්තිය  වේ.
තවත් සරළව පවසනවා නම් ශ්‍රමය හැරුණු විට ජීවත්වීම සඳහා විකිණීමට කිසිවක් නොමැති ජන කොටස නිර්ධන පන්තියටත්, දේපල හිමි, ප්‍රාග්ධනය හිමි ඒ මගින් ශ්‍රමය සූරා කන ජන කොටස ධනපති පන්තියටත් අයත් වේ.
ප්‍රාග්ධනයේ අයිතියේ ප්‍රමාණය සහ සූරාකෑමේ ප්‍රමාණය අනුව පන්තීන් තුල අතුරු බෙදීම් පවතී. ඒවා අර්ධ නිර්ධන, සුළු ධනේෂ්වර ලෙසින් හැඳින්විය හැක. පන්ති වෙන් කර හඳුනා ගැනීම සඳහා පුද්ගල මානසිකත්වය හෝ බාහිර සාධක යොදා ගත නොහැක.  වත්මන්සමාජය ඉතාම සංකීර්ණ වී තිබේ. සමහර පුද්ගලයෝ රැකියාවට අමතරව කුඩා ව්‍යාපාර පවත්වාගෙන යති. වැටුප් ලබන රැකියාව නිසා එම පුද්ගලයා නිර්ධන ලෙස හඳුනා ගත හැකි බව කෙනෙකු පවසන විට ප්‍රාග්ධනයක් යොදා ව්‍යාපාරයක් කරන බැවින් ධනපතියෙකු ලෙස හඳුනා ගත හැකි යැයි තවත් කෙනෙකු පැවසිය හැකිය. මෙවැනි අවස්ථාවක දී ඔහුගේ ජීවිතය කෙරෙහි තීරණාත්මකව බලපාන්නේ කුමක්ද කියා සොයා බැලිය යුතුය. රැකියාව තීරණාත්මක නොවන්නේ නම් ඔහු රැකියාව අත්හැර තම කුඩා ව්‍යාපාරය වෙත සම්පූර්ණ කාලය යොදනු ඇත. ඔහු කුඩා ව්‍යාපාරයක් වෙත යොමු වී තිබෙන්නේ ශ්‍රමය විකිණීමෙන් ලැබෙන ආදායම තම ජීවන අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ යැයි සිතන නිසා ය. කුඩා ව්‍යාපාරය ඔහුගේ ජීවිතයට අමතර උදව්වක් වී තිබේ. ඒ තැනැත්තා අර්ධ නිර්ධනයෙකු වේ.
සමාජය තුල පන්තීන්ට අමතරව සමාජ ස්ථර හා සමාජ පැලැන්ති නම් ව්‍යූහයක් ද පවතී. ඒවා පන්ති ලෙසින් වරදවා වටහා නොගත යුතුය.
සමාජ ස්ථරයක් යනු සමාන කාර්යයක නියැලී සිටින පිරිසක් හඳුන්වන නමකි. උදාහරණයක් ලෙසින් ඉගෙන ගන්නා පිරිස ශිෂ්‍යයින් ය. වගා කරන පිරිස ගොවීන් ය.  ධීවරයින් තවත් උදාහරණයකි. මේ සමාජ ස්ථරයන් ය.
සමාජ පැලැන්ති යනු සමාජ කටයුත්තක නියැලෙන හා එයින් වරප්‍රසාද ලබන පුද්ගලයින් ය. නිලධාරී පැලැන්තිය හා පූජක පැලැන්තිය මේ සඳහා උදාහරණ වේ.  ස්ථර හා පැලැන්ති පන්ති නොවන අතර විවිධ පන්තීන්ට අයත් පුද්ගලයින් ස්ථර හා පැලැන්ති තුලින් හඳුනා ගත හැකිය.
Related image
මේ අනුව සමාජ පන්තීන් යනු නිෂ්පාදනයට දක්වන දායකත්වය හා සම්බන්ධතාවය අනුවත්, සමාජ සම්පත්වල ඵල අයත් කර ගන්නා ආකාරය හා ඒවායේ හිමි අහිමිකම අනුවත්, එකිනෙකාගෙන් වෙන් කරනු ලබන විශාල ජන කණ්ඩායම් බවත්, මෙම ජන කණ්ඩායම් අතර නිරපේක්ෂ සීමා නොමැති බවත්, මේවා තුල සිටින මිනිසුන් එක් පන්තියක සිට අනෙකට නගිමින් හෝ එකකින් අනෙකට වැටෙමින් සිටින බවත් පැහැදිලි වේ.

විමර්ශන – 1998 ඔක්තෝබර්