ඔක්තෝබර් විප්ලවයේ ගමන් මඟ

f0005774
An unheard of provocation
November 7, 2018
jayathilaka
ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයෙහි ආදර්ශය අගයමු
November 8, 2018
Show all

ඔක්තෝබර් විප්ලවයේ ගමන් මඟ

5a97e70d-8f77-4d11-bfe8-8df8743b7bb9_r646x418

ඔක්තෝම්බර් විප්ලවයේ ගමන් මග

2017 ඔක්තෝබරයේදී ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර විප්ලවයට වසර 100 පිරීම නිමිති කොටගෙන ඔක්තෝබර් විප්ලවය පිළිබඳ නව සංවාදයක් ලොව පුරා මතුවී තිබේ. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය විසින් බිහිකළ සමාජවාදී සෝවියට් දේශය බිඳ වැටුණේ (බිඳ දමනු ලැබුවේ) 1991 දීය. සමාජවාදී සෝවියට් දේශය බිඳ වැටුණු මොහොතේ සමාජවාදයේ සතුරන් ප්‍රීති උත්සව පැවැත් වූ අතර පණ්ඩිතමානී සම්භාව්‍ය ‘මාක්ස්වාදී විචාරකයෝ’ ඔක්තෝම්බර් විප්ලවය යනු වැරැද්දක් බවත් එය ලෙනින්ගේ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක් බවත් පැවසූහ. ඔවුන් එසේ පැවසුවේ, ධනවාදයේ මුල් යුගයේ එනම් ධනවාදී නිදහස් තරගය පැවති අවධියේ මාක්ස්වාදී දර්ශනය ඉදිරිපත් කරමින් මාක්ස් පැවසූ අදහසක් පොතේගුරුවාදී ලෙස ගනිමිනි.  එහිදී මාක්ස් පැවසුවේ සමාජවාදී විප්ලවය ධනවාදයේ වර්ධනය විසින් බිහි කරන්නක් නිසා එය එක්කෝ දියුණු ධනපති රටවලින්, නැත්නම් ලොව පුරා එක විට පැන නැගිය හැකි බවකි. එවිට රුසියාවේ සමාජ විප්ලවය මාක්ස්වාදී පණ්ඩිතයන්ට අනුව වැරැද්දකි.
එහෙත් ලෙනින් සිදු කළේ කුමක්ද? ලෙනින් මාක්ස්වාදයටම අනුව මෙම අදහස සංවර්ධනය කොට පසුගාමී ධනපති සංවර්ධනයක් සහිත රුසියාව තුළ සමාජ විප්ලවය කළ හැකි බව පවසා එය ජයගෙන ‘සමාජවාදය’ නම් සංකල්පය ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයටද යෙදීමය. එය එසේ වූයේ විසිවැනි සියවස ආරම්භ වන විට ධනවාදය එහි නිදහස් තරඟයේ අවධිය නිමා කොට ඒකාධිකාරි ධනවාදයට හෙවත් අධිරාජ්‍යවාදී අවදියට පා තැබීම ලෙනින් විසින් හඳුනාගනු ලැබූ නිසාය. ඒ අනුව ධනවාදයේ නව අවධිය විග්‍රහ කරගත්  ලෙනින් අධිරාජ්‍යවාදී අවධියට අනුව මාක්ස්වාදය සංවර්ධනය කළ අතර, එතැන් සිට එය මාක්ස්-ලෙනින්වාදය විය.  එහිදී අධිරාජ්‍යවාදයේ අන්තර් ප්‍රතිවිරෝධය හා එහි වර්ධනයේ නියම හෙළිකරගත් ලෙනින්, දැන් නව තත්වය තුළ සමාජවාදී විප්ලවය අධිරාජ්‍යවාදී දම්වැලේ  දුබල පුරුකකින් මතුවිය හැකි බවත් ඒ අනුව පසුගාමී සංවර්ධනයක් සහිත රටක් තුළ පවා සමාජ විප්ලවය ජයගත හැකි බවත් පවසා ඒ අනුව අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධයේත් සමාජ පීඩාවේත් එක් දුබල පුරුකක් වූ රුසියාව තුළ සමාජවාදී විප්ලවය සඳහා වැඩපිළිවෙළ සකස් කළේය. 1917 ඔක්තෝබර් ජයගනු ලැබුවේ, එම වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ගයන් ය.

සමාජ විප්ලවයක් යනු අහම්බයක් හෝ පුද්ගල හිතුවක්කාරකමක ප්‍රතිඵලයක් නොවේ. එය සමස්ත සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වේ.  එය විෂයමූල හා මනෝමූල සාධකයන්ගේ පරිණත වීම විසින් ඇති කරන විප්ලවීය අවස්ථා සහ එම අවස්ථාවන් උපයෝගී කර ගැනීමට සමත් දියුණු පක්ෂයක ක්‍රියාකාරිත්වය මගින් සිදු වන්නකි. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ද අප තේරුම් ගත යුත්තේ එසේය.

ඉතාමත් නොදියුණු සමාජ සංවර්ධනයේ පසුපසින් සිටි, එහෙත් යටත්විජිත රැසක් හිමි විශාල අධිරාජ්‍යයක් වූ වැඩවසම් රුසියාව තුළ ධනේෂ්වර ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ආරම්භ වූයේ 1860 ගණන්වල සිට ය. ඒ අනුව ප්‍රවේණි දාසභාවය නිල වශයෙන් අහෝසි කෙරුණු අතර කර්මාන්ත ද බිහිවිය. එහෙත් රුසියාව මූලික වශයෙන් වැඩවසම් රාජ්‍යයක් විය. රුසියාව තුල මාක්ස්වාදී දේශපාලනය ආරම්භ වූයේ 1880 ගණන් වල දී ය. එහෙත් දහනවවැනි සියවසේ මුල්භාගයේදී චර්නිෂෙව්ස්කි, බෙලින්ස්කි ආදීන් විසින් විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර ආරම්භ කළ අතර 1870 දී පමණ ගොවි ව්‍යාපාරයක් වූ නරෝද්නික් ව්‍යාපාරය බිහි විය. කොමියුනිස්ට් ප්‍රකාශනය රුසියන් බසට නඟන ලද්දේ පසුව ඔවුන් විසිනි. මේ අතර 1883 දී  ප්ලෙහානව් ඇතුළු පිරිසක් ‘ශ්‍රම විමුක්ති’ කණ්ඩායම බිහි කළ අතර, ඒ සමඟ මාක්ස්වාදී අධ්‍යයන කව බිහිවිය. රුසියාවේ කම්කරු පක්ෂය වූ ‘රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය’ බිහි වූයේ මෙම අධ්‍යයන කව එක් කිරීමෙනි.  එම පක්ෂයේ පළමුවැනි සමුළුව 1898 දී පැවැත්විණි.

ලෙනින් මාක්ස්වාදී දේශපාලනයට සම්බන්ධ වන්නේ, මේ කාලයේදීය. මාක්ස්වාදී අධ්‍යයන කව එක් කරමින් පක්ෂය බිහි කරන විට, 1900 දී පමණ ලෙනින් රහසිගතව ස්ක්‍රා (ගිනිපුපුර) පුවත්පත ආරම්භ කළේය. එය කම්කරු පන්තිය සංවිධානය කිරීමේ මතවාදයට අමතරව උද්ඝෝෂකයෙකුගේ හා සංවිධායකයෙකුගේ කාර්යය ඉටු කළේය.

1903 දී පැවැති  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවන සමුළුව ඉතාම තීරණාත්මක එකක් විය. මාක්ස්වාදී පක්ෂයක සංවිධාන ප්‍රතිපත්ති හා එහි න්‍යායික මග පෙන්වීම යන කරුණු මත රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙකට බෙදිණි. ලෙනින් ප්‍රමුඛ පිරිස බොල්ෂෙවික් (බහුතරය) වූ අතර, අනෙක් පිරිස මෙන්ෂෙවික් (සුළුතරය) විය.  ඉන්පසු පක්ෂයේ ඓතිහාසික ගමන් මග තුළ බොල්ෂෙවික්වරුන් නිවැරදි නිර්ධන පන්ති දේශපාලනය අනුගමනය කළ අතර මෙන්ෂෙවික්වරු අවස්ථාවාදය නියෝජනය කළෝය. ලෙනින්වාදී පක්ෂ සංවිධාන ප්‍රතිපත්තිය වූ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය නිර්මාණය වූයේ මේ අනුවය.

රුසියාව විශාල ගොවි රටක් වූ අතර ඉඩම් අහිමි ගොවීන් ගේ තත්ත්වය ඉතාම කණගාටුදායක විය. ගොවියන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඉඩම් නොමැති කමය. ප්‍රධාන නගරවල( පීටර්ස්බර්ග් මොස්කව්) කර්මාන්ත බිහි වූ අතර කම්කරුවන්ගේ තත්ත්වය ද ඉතා ම ඛේදජනක විය. මේ නිසා නිතර ගොවි අරගල හා කම්කරු අරගල ඇතිවිය. මේ තත්වය මත 1905 දී පමණ කම්කරු අරගල රැසක් නිර්මාණය විය. 1950 ජනවාරි 9දා කම්කරුවන්ගේ දුක සාර්ට කීම සඳහා ගැපොන් නම් පූජකයාගේ මූලිකත්වයෙන් ගිය සාමකාමී කම්කරු පෙළපාලියට සාර්ගේ හමුදා වෙඩි තැබීමත් සමඟ රට තුළ සටන් ඇවිලෙන තත්ත්වයක් මතුවිය. “ලේ වැකි ඉරිදා” ලෙස හැඳින්වූ මෙම සිදුවීම 1905 මොස්කව් නැගිටීමට හේතුකාරක විය.

රුසියාව තුල කම්කරු සටන් සඳහා තත්ත්වය පෙළගැසෙමින් තිබුණු වාතාවරණය තුළ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි කම්කරු පක්ෂයේ 3 වෙනි සමුළුව ලන්ඩනයේදී පැවැත්විණි.  (රුසියාව තුල වමේ දේශපාලනය තහනම් කර තිබිණි.) මතුව ඇති තත්වය විග්‍රහ කළ ලෙනින් සාර් විරෝධී අරගල විසින් බිහි විය හැකි ධනේෂ්වර විප්ලවය සමාජවාදී විප්ලවය දක්වා රැගෙන යාම අරමුණු කරගෙන උපක්‍රමික වැඩපිළිවෙළක් සැකසිය. මෙහිදී පක්ෂයේ අවම වැඩපිළිවෙළ ලෙස ‘කම්කරුවන්ගේ ගොවියන්ගේ විප්ලවවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක්’ ගොඩ නැගීම ගැන සාකච්ඡා කරන ලදී. “ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයේ දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උපක්‍රම දෙක” නම් ලිපිය (1905 ජූනි-ජූලි) ලෙනින් ඉදිරිපත් කළේ ඒ අනුවය. එහි අරමුණ වූයේ සිදුවීමට යන ධනේෂ්වර විප්ලවයට නිර්ධන පන්ති ව්‍යාපාරයේ දායකත්වය ලබාදීම හා එය සමාජ විප්ලවය දක්වා ගෙන යාමට උපක්‍රම තේරීමය.

මේ පිළිබඳව ලෙනින් මෙසේ ලිවීය.

“සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වන අපි, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදීන්ගේ ස්වාධීනව කටයුතු කිරීමෙහි සමත් වෙමු. එසේ කටයුතු කළ යුත්තෙමු. අපි ඔවුන්ගෙන් නිර්ධන පන්තියේ, පන්ති ස්වාධීනත්වය ආරක්ෂා කළ යුත්තෙමු. එහෙත් කැරලි ගසමින් නැගී සිටින අවස්ථාවේදී. සාර්වාදයට විරුද්ධව එක එල්ලේම පහර දෙන අවස්ථාවේ දී, යුද හමුදාවන්ට ප්‍රතිරෝධනය දැක්වීමේ දී, සමස්ත රුසියානු ජනතාවගේ සතුරාගේ බැස්ටීල් බලකොටු බිඳ හෙළද්දී, අපි ඔවුන් සමග අතිනත් ගෙන යා යුත්තෙමු”
(ලෙනින්, තෝරා ගත් කෘති, වෙළුම 12)

සාර්වාදී වැඩවසම් රාජාණ්ඩු පෙරළීම සඳහා සිදුවන ධනේෂ්වර විප්ලවය (මේ වන විට රුසියාවේ ධනේෂ්වර විප්ලවය සිදුවී නොමැති නිසා) නිර්ධන පංති වුවමනාව දක්වා ගෙනයාම සඳහා නිර්ධන පංති තම ස්වාධිනත්වය රැක ගනිමින් එහෙත් සාර් පාලනය පරාජය කිරීමේ සටනට සම්බන්ධ කිරීමේ උපක්‍රමය මේ තුල ගැබ්විය.

1905 ජූනි පොටෙම්ස්කින් නැවේ කැරැල්ලත් සමඟ ඇරඹි මොස්කව් නැගිටීම සාර් පාලනය විසින් මර්දනය කරන ලදී. නැගිටීම පරාජය විය. ධනේෂ්වර විප්ලවය බලාපොරොත්තු වූ පරිදි සිදු නොවීය.

මේ සමග රටේ තත්වය වෙනස් විය. විප්ලවවාදී ව්‍යාපාරය වෙත දැඩි මර්ධනයක් එල්ල විය. ඒ අතරම සාර් පාලනය ඩූමාව නම් මහජන මන්ත්‍රී ආයතනයක් පිහිටු වීය. 1905 අරගල පවතින අවස්ථාවේ බොල්ෂෙවික්වරු ඩූමාව වර්ජනය කළ අතර. අරගලයේ පරාජයෙන් පසුවද  නව තත්වය තුළ එයට සහභාගී යුතු වුවත් 1906- 1907 හා 1908 ඩූමාව වර්ජනය කළෝය. ලෙනින් පැවසුවේ 1905 ඩූමාව වර්ජනය  නිවැරැදි වුවත් 1907 හා 1908 වර්ජන ඉතාම වැරදි බවය. මේ පිළිබඳව ලෙනින් මෙසේ පැවසීය.

“බොල්ෂෙවික්වරු 1905 දී ගෙන ගිය “පාර්ලිමේන්තු” වර්ජනය නිසා විප්ලවවාදී නිර්ධන පන්තිය ඉතා වැදගත් දේශපාලන අත්දැකීමක් ලැබුවේය. තවද නීත්‍යානුකූල හා නීති විරෝධී, පාර්ලිමේන්තු හා පාර්ලිමේන්තු නොවන අරගල ආකෘති ඒකාබද්ධ කිරීමේදී පාර්ලිමේන්තු ක්‍රම ප්‍රතික්ෂේප කිරීම සමහර විට ප්‍රයෝජනවත් සහ සමහර විට අවශ්‍යද වන බවත් මෙයින් පෙනිනි. එසේ වුවත්, මෙම අත්දැකීම අන්ධ ලෙස අනුකරණයක් ලෙස හා විමසිල්ලෙන් තොරව වෙනත් කොන්දේසිවලට හා වෙනත් තත්වයන්ට ගැලපීම ඉතාමත් වැරදි වනු ඇත. බොල්ෂෙවික්වරු 1906 දී ක්‍රියාත්මක කළ ඩූමා වර්ජනය වරදක් විය. එහෙත් එය පහසුවෙන් නිවැරැදි කළ හැකි ද විය. 1907දී, 1908 දී හා ඉන් පසු වසරවල ඩූමා සභාව වර්ජනය කිරීම ඉතාමත් බරපතල වරදක් විය. එය නිවැරදි කිරීම දුෂ්කර විය”
(ලෙනින්, තෝරා ගත් කෘති -10 වෙළුම, 146 – 147පිටු)

තත්ත්වයන් වෙනස් වූ විට පක්ෂයක් උපක්‍රමික හා ක්‍රියාමාර්ග වෙනස් කළ යුතු බව ලෙනින් අවධාරණය කළේය. 1905 පරාජයෙන් පසු පක්ෂය තුළ වැරදි ප්‍රවණතා දෙකක් මතුවිය. එකක් නම් මර්ධනය තුළ සියළු සංවිධාන විසුරුවා හළ යුතුය යන මතයයි. මෙය ලික්විඩේටර්වාදය (දියකර හැරීම) ලෙස හැඳින්වූ අතර අනෙක් මතය වූයේ නීති විරෝධී වැඩ පමණක් කළ යුතු බවත් ඩූමාවේ මන්ත්‍රීන් ආපසු කැඳවිය යුතු බවත් පැවසූ ඔත්සෝව්වාදය (ආපසු කැඳවීම) නම් ප්‍රවණතාවයය. මෙම ප්‍රවණතා දෙකම ප්‍රතික්ෂේප කළ ලෙනින් නීතිවිරෝධී හා නීත්‍යානුකූල වැඩ ඒකාබද්ධ කරමින් පක්ෂය මෙහෙයවීය.

1905 පරාජයෙන් පසු වසර ගණනාවක් පැවති පසුබෑම වෙනස් කොට යළි කම්කරු සටන් පැනනැගුණේ 1912  ලේනා රන් ආකාරවල කම්කරු නැගිටීම හා කම්කරුවන්ට වෙඩි තැබීම පදනම් කරගෙනය. මෙහිදී රුසියාව පුරා උද්ඝෝෂණ රැල්ලක් යලි හමා ගියේය. මෙම තත්වය තුළ 1912 ජනවාරියේ දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි කම්කරු පක්ෂයේ 6 වෙනි සමස්ත රුසියා සාකච්ඡා සභාව පැවැත්වීය. එහිදී පක්ෂය සංවිධානය යළි ශක්තිමත් කළ අතර, මෙන්ෂෙවිකයන් පක්ෂයෙන් නෙරපා හරින ලදී. මෙය ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය සඳහා වැදගත් පියවරක් විය. පක්ෂයෙන් නෙරපා දැමූ මෙන්ෂෙවිකයන් අතර සිටි ලික්විඩේටර්වරු, ට්‍රොට්ස්කි සමඟ එක්ව ‘අගෝස්තු හවුල’ නම් අවස්ථාවාදී හවුල අටවන්නේ මේ තත්ත්වය තුළය.

මේ අතර 1914 දී පළවෙනි ලෝක යුද්ධය ඇරඹීමත් සමග රුසියාව ද අධිරාජ්‍යවාදී යුද්ධයේ පාර්ශවකරුවෙක් විය. මේ සමඟ රුසියාවේ අර්බුද විශාල විය. නිෂ්පාදනය බිඳ වැටිණි. ජනතාවට ආහාර (පාන්) නැති විය. යුද පෙරමුණට යැවූ සොල්දාදුවෝ යුධ පෙරමුණෙන් පලා ගියහ. මෙම අර්බුද 1917 පෙබරවාරියේ දී පුපුරා ගිය අතර, සාර් පාලනය බිඳ වැටිණි. ධනේෂ්වර විප්ලවය සිදුවිය. ධනපති පන්තිය බලයට පත් විය. ඉන්පසු කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් තාවකාලික ධනපති ආණ්ඩුවක් බිහි විය.

මෙය රුසියාවේ දේශපාලන ගුණාත්මක වෙනසක් විය. ඒ සාර් පාලනය බිඳ වැටී ධනේෂ්වර විප්ලවය සිදුවීමය. අනෙක් අතට මෙහිදී ද්විත්ව පාලනයක් ඇති විය. ඒ තාවකාලික ධනපති ආණ්ඩුවේ පාලනය හා ඒ වන විට ගොඩ නැඟී තිබූ සෝවියට් සභාවල පාලනයයි. ලෙනින් මේ තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

“අපගේ විප්ලවයේ ඉතාමත් සුවිශේෂී අංග ලක්ෂණය, එයින් ද්විත්ව බලයක් නිර්මාණය වී තිබීමය.”

“මෙම ද්විත්ව බලය යනු කුමක් ද? ධනපති පංතියේ ආණ්ඩුව වන තාවකාලික ආණ්ඩුව සමඟ එක පෙළට සිටින සේ තවත් ආණ්ඩුවක් උද්ගත වී තිබේ. එය මේ දක්වා දුර්වල හා ළදරු තත්වයේ පවතින නමුත්, නිසැක වශයෙන් ම ආණ්ඩුවක් වන්නේ ය. එය ඇත්ත වශයෙන්ම පවතින අතර, වර්ධනය වන්නේ ය. එය නම් කම්කරු හා සොල්දාදු නියෝජිත සෝවියට් සභා ය.”

(ලෙනින්, තෝරාගත් කෘති වෙළුම 5, 29 පිටුව)

මෙහිදී තාවකාලික ධනපති ආන්ඩුව කම්කරුවන් නිරායුද කරමින් ධනපති බලය තහවුරු කර ගැනීමට උත්සාහ කළේ ය. ඒ සඳහා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් ද යෝජනා කළේය. මෙම අවස්ථාවේ 1905 පැරණි වැඩපිළිවෙළ මත සිටි අය (විශේෂයෙන් මෙන්ෂෙවිකයෝ හා සමහර බොල්ෂෙවිකයෝ) තාවකාලික ආණ්ඩුව සවිමත් කළ යුතු බව පැවසූහ. ඒ ධනේෂ්වර විප්ලවය තහවුරු කිරීම සඳහා ය. එහෙත් ලෙනින් ඊට වෙනස් මතයක් දැරීය.දැන් ධනේෂ්වර විප්ලවය සිදුවී ඇති නිසාත් එයට සාර් පාලනය මෙන්ම ගොවියන්ට ඉඩම් ජනතාවට පාන් හෝ සොල්දාදුවන්ට සාමය ලබා දිය නොහැකි නිසා තාවකාලික ආණ්ඩුව පෙරළා කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ සෝවියට් සභාවලට බලය ලබාගත යුතු බව ලෙනින් පැවසීය. රුසියාවේ ධනේෂ්වර විප්ලවය ජයග්‍රහණයත් සමඟ ස්විට්සර්ලන්තයේ සිට රුසියාවට ආ ලෙනින් 1917 දී ‘අප්‍රේල් තිසීසය’ ඉදිරිපත් කළේ ය. ඒ මගින් 1905 වැඩ පිළිවෙළ දැන් යල් පැන ඇති නිසා එය ඉවත දමා, නව තත්වයට අනුව නව වැඩපිළිවෙලක් යෝජනා කළේය. එහිදී ලෙනින්ගේ සටන් පාඨය වූයේ “සියලු බලය සෝවියට් සභා වලට පවරණු…!” යන්නයි. තවමත් පැරණි වැඩපිළිවෙළ තුළ එල්බ සිටින අයට ලෙනින් මෙසේ පැවසීය.

“අපගේ ආදරණීය පැරණි කුණු තැවරුණු කමිසය ඉවත දැමීමට අපි පසුබට වෙමු ද..? නමුත් කිලුටු කමිසය ඉවත ලා පිරිසුදු ඇඳුම් ඇඳ ගැනීමට කාලය පැමිණ තිබේ.”
(ලෙනින්, තෝරාගත් කෘති – 5 වෙළුම, 68 පිටුව)

රුසියාවේ ඇතිවූ නව තත්වයට අනුව කම්කරු පන්තිය අතට බලය ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ලෙනින් ඒ සඳහා පක්ෂය හා කම්කරු පන්තිය සූදානම් කළේය. මේ අතර 1917 ජුනි 03 හා 04 දිනවල පහර දීමේ යෝජනාවක් මධ්‍යම කාරක සභාවේ සමහර අයගෙන් ඉදිරිපත් වුවත් ඒ මොහොත ඊට අවාසිදායක බව පැවසූ ලෙනින් ඒ සඳහා කම්කරු පන්තිය සංවිධානය කොට සූදානම් කළ යුතු බවද පැවසීය. 1917 ජූනිවල  තාවකාලික ආණ්ඩුවෙන් ආ මර්දනය නිසා ජීවිතය බේරාගැනීමට පින්ලන්තය පලා ගිය ලෙනින් එහි සිට ‘රජය හා විප්ලවය’ පොත ලිවීය.

මේ අතර 1917 අගෝස්තුවල ඇති වූ කර්නිලොව් කැරැල්ල බොල්ෂෙවික්වරුන්ට බලය ගැනීම සඳහා විප්ලවීය අවස්ථාවක් නිර්මාණය කළේ ය.  සාර්ගේ හමුදාවේ සේනාධිනායකයා ලෙසින් සිටි තාවකාලික ආණ්ඩුවේ ද හමුදා ප්‍රධානියා වූ කර්නිලොව් යලි රාජාණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා හමුදා කැරැල්ලක් ඇති කළේ ය.  ඒ සමග තාවකාලික ආණ්ඩුවේ පැවැත්ම දුර්වල විය. මෙහිදී කර්නිලොව් කැරැල්ලට එරෙහිව සටන් කළ ලෙස කම්කරුවෝ තාවකාලික ආණ්ඩුව බල කළෝය. ඒ අතරම නිර්මාණය වූ අවස්ථාව, එනම් පාලනය අරාජික වීම බලය ගැනීම සඳහා යොදා ගැනීමට ලෙනින් ඇතුළු බොල්ෂෙවික්වරු තීරණය කළහ. 1917 ඔක්තෝම්බර් 10  රැස් වූ පක්ෂයේ මධ්‍යම කමිටුව අවිගත් නැගිටීම සම්මත කළෝය. ඊට අනුව අවුරෝරා නෞකාව ලබාදුන් සංඥාව අනුව 1917 ඔක්තෝම්බර් 25 (පැරණි දින දර්ශනයට අනුව) අවිගත් නැගිටීම ඇරඹු කම්කරුවෝ හිම මාර්ගය අත්පත් කරගැනීමෙන් බලය තමන් වෙත පවරා ගත්හ. තාවකාලික ආණ්ඩුව බිඳ වැටුණු අතර, කර්නිලොව් කැරැල්ල පරාජය විය. ඔක්තෝබර් විප්ලවය ජයගන්නා ලදී.

ඉන්පසු ඔක්තෝබර් විප්ලවය රුසියාව පුරා තහවුරු වූයේ, සිවිල් යුද තත්ත්වයට ද මුහුණ දෙමින් දුෂ්කරතා මධ්‍යයේ ය. කෙසේ වෙතත් විප්ලවයේ ජයග්‍රහණය ඔක්තෝබර් 25 සනිටුහන් විය. සමාජවාදී සෝවියට් දේශයට පදනම වැටුණේ එයිනි.

ඔක්තෝබර් විප්ලවයේ උපාය මාර්ග විශේෂඥයා හා නායකයා වූයේ ලෙනින් ය. ලෙනින්ගේ නායකත්වයේ විශේෂය වූයේ, සමාජය තත්වයන්වල වන වෙනස්වීම් වහාම වටහා ගැනීමත් වෙනස් වන තත්වයන්ට අනුව නව උපක්‍රම තේරීමත් ඊට අනුව වෙනස් වීමත් ය. පොදුවේ ගත් කළ අවස්ථාවාදයට එරෙහිව කළ අනවරත අරගලයක් උපක්‍රම තේරීමේ දී දැක්වූ විශිෂ්ට දක්ෂතාවයත් යමක් කළ යුතු වේලාවේදී එය කිරීම සඳහා පක්ෂයට දුන් දැඩි මඟපෙන්වීමත් ඔක්තෝබර් විප්ලවයේ සුවිශේෂී අත්දැකීම් ය. තත්වයන්ගේ වෙනස්වීම තේරුම් ගැනීමට නොහැකි තත්වයන් වෙනස් වන විට ඊට අනුව වෙනස් වීමටත් නව උපක්‍රම තෝරා ගැනීමටත් නොහැකි දේශපාලන ව්‍යාපාරයන්ට ජයගත නොහැකි බව උගන්වා තිබේ. මේ අනුව ඔක්තෝබර් විප්ලවය ලෙනින්ගේ හිතුවක්කාරකමක් නොව සමාජයේ නිර්මාණය වූ විප්ලවීය අවස්ථාවක් බලය සඳහා නිවැරදිව යොදා ගැනීමක් විය.එහිදී තෝරා ගත් සටන් පාඨ ද විශේෂ විය. විප්ලවීය නැගිටීම සඳහා ජනතාව එකතු කර ගනු ලැබුවේ සරල සටන් පාඨ මගිනි. ගොවීන්ට ඉඩම්, ජනතාවට පාන් හා සොල්දාදුවන්ට සාමය නැමැති සටන් පාඨ මගිනි.
සාමාන්‍ය කාලයක දී මෙන් නොව විප්ලවීය කාලයක දී ජනතාව ඉක්මනින් ඉගෙන ගන්නා බවත් නොසිතූ තරම් ධෛර්යයකින් සටන් වදින බවත් ඔක්තෝම්බර් විප්ලවය ලොවට ඉගැන්වීය.

මාක්ස්වාදය පොතේ ගුරුවාදයක සිට භාවිතයට මඟ පෙන්වන දර්ශනයක් බවට පත්ක ළේ ලෙනින් ඇතුළු බොල්ෂෙවික්වරුන් ය. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය මගින් ඔක්තෝම්බර් විප්ලවය ලොවට ශ්‍රේෂ්ඨ වන්නේ වැදගත් වන්නේ ඒ නිසාය. එය නැවත නැවතත් කියවිය යුත්තේ ඒ නිසාය.