සමාජවාදි ආර්ථීකයේ මධ්‍ය ලීවරය හා සමබරතාවය

Transportmittel
ප්‍රවාහන සේවය දිරි ගන්වන සමාජවාදි ප්‍රතිපත්ති
April 27, 2017
3d_shackled_debt
ණය උපකරණ හඳුනාගනිමු!
April 27, 2017
Show all

සමාජවාදි ආර්ථීකයේ මධ්‍ය ලීවරය හා සමබරතාවය

economic-growth2

සමාජවාදි ආර්ථීක යන්ත්‍රය යනු අයාලේ දිව යන්නක් නොවේ. එය නිශ්චිත සැලැස්මක, මධ්‍යගත මෙහෙයුමක් යටතේ දිව යන්නෙකි. එපමණක් නොවේ, එය තම සමබරතාවය ඉතා සැලකිල්ලෙන් රැක ගන්නා ආර්ථීක ක්‍රමයකි. එනිසා ආර්ථීකයේ මෙහෙයුම අතින් එය ධනවාදයට හාත්පසින් වෙනස් ක්‍රියාන්විතයකි. එනිසා සමාජවාදි ආර්ථීකයේ අංගයන් හඳුනා ගැනීමේ අවශ්‍යතාවයට පෙරාතුව සැලසුම් සහගත, මධ්‍යගත හා සමබර ආර්ථීකයක් යනුවෙන් සමාජවාදය අදහස් කරන්නේ කුමක් දැයි සරලව විමසා බැලිය යුතු ය.
ධනවාදි ආර්ථීකය මෙහෙය වෙන්නේ තරගය මතය. වෙළඳපොළ නම් ආර්ථීක තරග බිම මත එම ආර්ථීකය තම අරමුණ සපුරා ගනු ලබයි. ධනවාදි ආර්ථීකයේ ඒකායන අරමුණ ලාභයයි. ලාභය පසු පස ආර්ථීකයේ අහඹු ඔස්සේ ලුහුබැඳීම එහි ක්‍රියාන්විතයයි. වෙළඳපොළ තරගය සකසන බිමේ අයාලේ යමින් ලාභ ලුහුබඳින ධනවාදි ආර්ථීකය සැලසුම් කරන්නේ ප්‍රාග්ධන මෙහෙයුම් පමණි. ඒ තුළ පළමුව නිදහස් තරගය ද පසුව අධිරාජ්‍යවාදි අවධියේ දී ඒකාධිකාරී තරගය දක්නට හැකි විය. එනිසා සමස්තයක් ලෙස ධනවාදි ආර්ථීකය අරාජික ය. එය එහි ජාති ලක්ෂණයකි.
ප්‍රජාතන්ත්‍රවාදි මධ්‍යගත භාවය යළිත්
එයට ප්‍රතිපක්ෂ ව සමාජවාදය මධ්‍යගත සැලසුමක මෙහෙයැවේ. මෙහි මධ්‍යගත යන්නෙන් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි මධ්‍යගතවාදයම ය. සංවිධාන ප්‍රතිපත්තිමය. සමාජවාදයට මධ්‍යගත සැලසුමක් ඇත. එය අත්තනෝමතික ව ආර්ථීකය මත පටවනු ලබන්නක් නොවේ. සමස්ත ආර්ථීකයේ විවිධ කේෂ්ත්‍රයන්ට ඇහුන්කම් දෙමින් සකස් කරනු ලබන පුළුල් සැලැස්මක මධ්‍යගත මෙහෙයුමකි. එම සියලු කේෂ්ත්‍රයන් තම දායකත්වයෙන් සකස් කරන ලද පොදු සැලැස්මට අනුව කටයුතු කිරීමට වගකීමෙන් බැඳී සිටියි. උදාහරණයක් ලෙස පරිභෝජන භාණ්ඩ කේෂ්ත්‍රය විසින් ආර්ථීක සැලැස්මට තම සම්පත් ද අවශ්‍යතාවයන් ද එහි පවතින මට්ටම ද සලකමින් සැලසුම් ඉදිරිපත් කරයි. ඒ අනුව එයට අදාළ ඇස්තමේන්තු සකස් කරයි. පරිභෝජන භාණ්ඩ කේෂ්ත්‍රයේ අනු ශාඛාවන් ද මෙයට දායක වේ. ඒ අනුව එයට අදාළ ඉදිරි ආර්ථීක සැලසුම් සකස් කිරීමේ දී ආර්ථීකයේ සියලූම අංශයන් සැලකිල්ලට ලක් වන අතර එහි මහා සැලැස්මට ඒ සියල්ල දායක වේ. මෙම සැලැස්ම මෙහෙය වෙන්නේ උත්තරීතර ආර්ථීක මණ්ඩලයකින් ය. එහි අරමුණ වන්නේ ආර්ථීක ක්‍රියාවලිය අරාජිකත්වයෙන් හා අන්ධභාවයෙන් ඉවතට ගැනීමයි. නිශ්චිත මෙහෙයුමක් ඔස්සේ ආර්ථීකයේ විවිධ පරිපථයන් පටවලා නො ගනිමින් අනවශ්‍ය කාන්දුවීම් හා ලහු ගත වීම් වළක්වාලීම යි. ආර්ථීකය නිශ්චිත ඉලක්කය වෙතට නිශ්චිත කාලපරිච්ඡේදයක රැගෙන යාමයි.
සැලසුම් සහගත ආර්ථීකය
සැලසුම් සහගත ආර්ථීකයක මූලික සැලැස්ම ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ විහිද යයි. ඒ නිෂ්පාදන මාධ්‍ය නිෂ්පාදනය හා පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය යනුවෙන් ය. නිෂ්පාදන මාධ්‍ය නිෂ්පාදනය යනු ආර්ථීකයේ වේගවත් වර්ධනය උදෙසා වන අත්‍යවශ්‍ය සාධකයකි. රටක ආර්ථීක වර්ධනය වේගවත් කිරිම සඳහා විද්‍යුත්කරණය වැනි යටිතල පහසුකම් වර්ධනය අත්‍යාවශ්‍යය. අමු ද්‍රව්‍ය වර්ධනය කර ගත යුතු ය. තවද නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය යන්ත්‍ර නිපදවිය යුතු ය. මේ සඳහා විදුලි බලාගාර, මහා යන්ත්‍ර නිෂ්පාදනාගාර අවශ්‍ය ය. ඒ ඔස්සේ නව නිපයුම් කර්මාන්ත (නිමි භාණ්ඩ කර්මාන්ත) පුළුල් කළ යුතු ය. මෙහි දී තාක්ෂණික දැනුම වර්ධනය උදෙසා විවිධ පර්යේෂණයන් මෙන් ම තාක්ෂණය ආනයනය ද අවශ්‍ය ය. දේශීය ශිල්පීන් විදේශ පුහුණු වීම් හා අධ්‍යයනයන්ට යැවීමත්, විදේශීය පුහුණු තාක්ෂණය කොන්දේසි සහිත ව ගන්වා ගැනීමත් අවශ්‍ය ය. සැබවින්ම මේ සියල්ල බැර කර්මාන්ත කේෂ්ත්‍රයට අයත් ය. ආර්ථීක සැලැස්ම තුළ රටේ ද්‍රව්‍යමය සම්පත් හා ශ්‍රම සම්පත් පිළිබඳව ඇගයීමක් අවශ්‍ය ය. එසේම නිශ්චිත කාලයකට අදාළ ව නිෂ්පාදන අවශ්‍යතා සැලකිල්ලට ලක් කළ යුතු ය.
දෙවනුව මෙම සැලසුම් සහගත ආර්ථීක සැලැස්ම පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය නම් ආර්ථීක ශාඛාව ද සැලසුම් කරයි. එය සමාජවාදි ශ්‍රම සම්පතෙහි වර්ධනය උදෙසා ය. සමාජවාදි ජන ජීවිතය යහපත් කිරීම උදෙසා ය. ආරම්භයේ දී මෙය සුළු නිෂ්පාදනයේ සිට මහා කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදනය දක්වා පුළුල් හා සංකීර්ණ කේෂ්ත්‍රයක දිව යයි. එහි අවසාන ඉලක්කය මහා යන්ත්‍ර හරහා එම ඉලක්කයන් සපුරාලීමයි. ආහාර නිෂ්පාදනය ද අයත් වන්නේ මෙයට ය. කෘෂිකර්මාන්තයේ දිසාව විය යුත්තේ ද යාන්ත්‍රිකකරණය හෙවත් මහා යන්ත්‍ර සූත්‍ර භාවිතයයි. ගමනාගමනය, සෞඛ්‍යය, වැනි කේෂ්ත්‍රයන් ද අයත් වන්නේ සැලැස්මේ මෙම කොටසට ය.
ආර්ථීකය වර්ධනය හා ශක්තිමත් වීම ඉදිරියට ගෙන යනු ලබන අනෙක් ප්‍රධාන සාධකයක් වන්නේ ජනතාවගේ දැනුවත් භාවයයි. ඒ සඳහා ධනවාදි මතවාදයෙන් ජනතාව තුළ තහවුරු කොට ඇති පුරුදු පුහුණු වීම් වෙනස් කළ යුතු ය. මෙය කල් ගන්නා සහ අසීරුතම කාර්යයකි. එහෙත් එය ජය ගත හැකිය. මේ සඳහා සංස්කෘතිකමය පරිවර්තනයක් ද අවශ්‍ය ය. ජනතාවගේ සාක්ෂරතාවය ඉහළ නැංවිය යුතු ය. එය පරිගණක සාක්ෂරතාවය දක්වා එසවිය යුතු ය. කෘතිම හෝ බලහත්කාරී සංස්කෘතික පෙරළි ඇති කරනු වෙනුවට සමාජවාදි ආර්ථීක දේහය වර්ධනයට අනුරූපී ව සංස්කෘතිය ශක්තිමත් කළ යුතු ය. එහි හදිසි කාර්යයක් ලෙස පැරණි ධනවාදි මත පැරැදවීමේ මෙහෙයුමක් අවශ්‍ය ය. මහා ආර්ථීක සැලැස්ම තුළ එම කාර්යය ද අඩංගු විය යුතු ය.
ධනවාදි ආර්ථීක ලීවර සමාජවාදි අර්ථයෙන්
වැටුප්, අතිරික්ත වටිනාකම, ඉතිරි කිරීම්, මුදල්, වෙළඳපොළ වැනි ධනේශ්වර ආර්ථීකය හසුරුවන ලීවර සමාජවාදය තුළ ද භාවිතාවේ. එනිසා සමාජවාදයට එරෙහි මත හසුරුවන්නන් මෙය හුවා දක්වමින් පවසන්නේ සමාජවාදි ආර්ථීකය හා ධනවාදි ආර්ථීකය අතර වෙනසක් නොමැති බව ය. නමුත් ඉහත වචනයන්හි ප්‍රකාශිත අර්ථයෙන් ඒවා ධනවාදී වචන හා සමාන නමුදු භාවිත අර්ථයෙන් සමාජවාදය තුළ මෙම ලීවරයන්ගේ කාර්ය භාරය ඉතා වෙනස් ය. ඒවා එකිනෙක කෙටියෙන් වටහා ගැනීම පහසුවක් වනු ඇත.
වැටුප්
වැටුප් යන්න සමාජවාදයේ සාධාරණ බෙදාහැරීමේ මාධ්‍යයක් වශයෙන් ධනවාදයට වෙනස් ව හැසිරෙන්නේ කෙසේ දැයි අප මෙයට පෙර ලිපි වලින් විස්තර කොට ඇත්තෙමු. ඒ අනුව ධනවාදයේ සූරාකෑම වසන් කරන මාධ්‍යයක් ලෙස පැවති වැටුප් සමාජවාදයේ දී එය සාධාරණ ලෙස බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙසින් හැසිරවේ.
අතිරික්ත වටිනාකම
සමාජවාදි ආර්ථීකයේ අතිරික්ත වටිනාකම් බිහි කරයි. එහෙත් එය සමාජවාදි අතිරික්තය. ධනවාදයේ මෙන් එය පෞද්ගලිකව ධනපතියකු විසින් හිමි කර ගන්නේ නැත. සූරාකෑමක් නැත. එය සමාජවාදි සාමූහික ධනයකි. එය නැවත ඛෙදි යන්නේ නැවත නිෂ්පාදනයට, ආපදා වලට සහ වැටුප් සඳහා ය. ඉන් සමාජවාදි ජීවිතය වඩාත් යහපත් වේ.
ඉතිරි කිරීම්
මින් අදහස් වන්නේ බැංකු තුළ කරනු ලබන ඉතිරි කිරීම් ය. සමාජවාදි රාජ්‍යය බැංකු පවරා ගනු ලබයි. ඒ මහා පරිමාණ ධනපති ධනය සමාජ සන්තක කිරීම සඳහා ය. තවද බැංකු හරහා සිදු වන මූල්‍ය මෙහෙයුම් සමාජවාදි ආර්ථීක යන්ත්‍රයට අනුගත කරනු සඳහා ය. සාමාන්‍ය ජනතාව තැන්පත් කර ඇති මුදල් එසේම පවතිනු ඇත. නමුත් සමාජවාදය තුළ බැංකු ගනුදෙනු විවෘත භාවයෙන් යුතු වනු ඇත. එනිසා සමාජවාදය තුළ සමාජවාදි බැංකු පවතිනු ඇත.
මුදල්
එය තවදුරටත් ශ්‍රමය සූරාකෑමේ මාධ්‍යයක් නොවේ. ශ්‍රම ශක්තියට මිල නියම කරන්නක් නොවේ. සමස්ත ශ්‍රමයේ වටිනාකම මූල්‍යමය වශයෙන් ප්‍රකාශ කරන්නකි. මුදල් යනු සමාජවාදි ගනුදෙනු වල පහසුව සලසන හුවමාරු මාධ්‍යයකි. එය කිසි විටෙක අතිරික්ත වටිනාකම් ධනපතියන් අතර බෙදා ගන්නා මාධ්‍යයක් නොවේ.
වෙළඳපොළ
සමාජවාදි වෙළඳපොළ යනු ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා ප්‍රකාශ කරනු ලබන තොරතුරු මධ්‍යස්ථානයකි. එම අවශ්‍යතා සපුරා ගනු ලබන මධ්‍යස්ථානයකි. ලාභය වෙනුවට අවශ්‍යතාවය ප්‍රමුඛ වූ ස්ථානයකි. එය තරගයට, අහඹු වලට සහ අරාජිකත්වයට දොර විවර කරනවා වෙනුවට සැලසුම් කරන ලද සහ මධ්‍යගත මෙහෙයුමට යටත් එකකි.
තුලනය තුළින් සාධාරණත්වය
සමාජවාදය පංති ආරක්ෂා කරන්නේ නැත. පංති අහෝසි කිරීමෙහි යෙදෙයි. එනිසා සියලු ම සමාජ විෂමතාවයන් ක්‍රමයෙන් අහෝසි කරන හා යළි විෂමතාවය ඇතිවීම වැළැක්වෙන ක්‍රියාමාර්ගයන් හරහා ආර්ථීකය තුලනාත්මක ව පවත්වා ගනු ලබයි. එහි දී ආර්ථීකයේ වැඩි අවදානම ඇත්තේ කොතැන ද, වැඩි අවධානය යොමු කළ යුත්තේ කොතැනට ද, වැඩි මෙහෙයුම යෙදවිය යුත්තේ කොතැනට යන්න සලකා බැලෙයි. මෙහි දි ආර්ථීක කලනය යන සංකල්පයක් භාවිතාවේ. සමාජවාදයේ ආර්ථීක කලනය යනු සැලසුම් සහගත ආර්ථීකයේ ඉලක්ක සපුරා ගැනීමේ දී අදාළ ව්‍යවසායේ ද්‍රව්‍යමය සම්පත්, මූල්‍ය සම්පත් හා ශ්‍රම සම්පත් වඩාත් බුද්ධිමත් ව යොදාගැනීමත්, පලදායි ලෙස පවත්වා ගැනීම සඳහා වන සමාජවාදි කළමනාකරණයයි. විවිධ සමාජවාදි රටවල ආර්ථීක කලනයේ ප්‍රතිපත්ති වෙනස් විය හැකිය. එහෙත් ඒවායේ පහත සඳහන් සමාන කම් දැකිය හැකිය.
• එම නිශ්චිත ව්‍යවසාය ආර්ථීකය තුළ තම ස්වාධීනත්වය රැක ගැනීම.
• එම ව්‍යවසාය පිරිවැය ආදිය සලකමින් ලාභ සහිත එකක් බවට පත් කිරීම.
• සෑම ශ්‍රම සමූහයකට හා වැඩ කරන පුද්ගලයන්ට කරනු ලබන ද්‍රව්‍යමය දිරිගැන්වීම්.
• ශ්‍රම සමූහය හෝ තනි ශ්‍රමිකයාගේ වගකීම.

මේ ප්‍රතිපත්ති සපුරා ගැනීම උදෙසා අරමුදල් තුනක් භාවිතාවේ.
1. නිෂ්පාදන සංවර්ධන අරමුදල
2. ද්‍රව්‍යමය දිරිගැන්වීම් අරමුදල
3. සමාජ සංස්කෘතික අරමුදල

අවසාන වශයෙන් මෙම සැලසුම් සහගත හා තුලනාත්මක ආර්ථීකයේ දී එම ව්‍යවසායන් තම වියදම් දරා ගනිමින් ශ්‍රම සමූහය ම වෙනුවෙන් නිශ්චිත සමාජවාදි සමුච්චයක් සඳහා අතිරික්තයක් නිපදවිය යුතු ය. එසේම සමස්ත සමාජවාදි අතිරික්තය ආර්ථීක හා සමාජ කටයුතු සඳහා මනා සමාලෝචනයකින් භාවිතා විය යුතු ය.
සමාජවාදි ආර්ථීක දේහය නිරෝගිමත් ව පවත්වා ගනු ලබන්නේ සහ ජවයෙන් වර්ධනය කරනුයේ මෙම සැලසුම් සහගත හා තුලනාත්මක ආර්ථීකයයි. එම ආර්ථීකයේ වර්ධනයේ දිශාව හා පැතිරිය යුතු ප්‍රදේශයන් තීරණය වන්නේ ද ඒ අනුව ය. ඉන් සමාජවාදි ආර්ථීකයේ දී ධනවාදි පෞද්ගලික තරගය ඉවත් කරයි. සාමූහික තරග ආදේශ කරයි. අරාජිකත්වය මුළුමනින් ම තුරන් කරයි.