වෙනිසියුලාවේ සිදුවුයේ කුමක්ද?

000d386b-800
කොමියුනිස්ට්වාදය මිහිතලය මත සදාකල් පවතීවි – ෆිදෙල්
April 27, 2017
midle_east_converted
මැදපෙරදිග අර්බුදයේ තුර්කියේ භූමිකාව
April 27, 2017
Show all

වෙනිසියුලාවේ සිදුවුයේ කුමක්ද?

venezuela-face-large

වෙනිසියුලාවේ වාමාංශික ආණ්ඩුව පිළිබඳව එහි සිදු කරන සමාජවාදයට නැඹුරු ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ආශ්වාදයෙන් හුන් ලොව පුරා ජනතාවට පසුගිය කාලයේ දැකීමට ලැබුණු සිත් කම්පා කරවන ප‍්‍රවෘත්තිය වූයේ 2013 මාර්තු 05 ජනාධිපති හියුගෝ චාවේස්ගේ මරණයයි. ඊළඟට පසුගිය වසර නිමා වන විට තවත් එවැනි ම ප‍්‍රවෘත්තියක් අසන්නට ලැබිණි. ඒ 2015 දෙසැම්බර් 06 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් චාවේස්ගේ පක්ෂය ඇතුළු සංධානය පරදවා දක්ෂිණාංශික සංවිධානය වූ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් වටමේසය’ ජය ගැනීම ය.

සාමාන්‍ය ආසන 164ක් හා ස්වදේශිකයන් වෙනුවෙන් වූ ආසන 03ත් සමග වෙනිසියුලා පාර්ලිමේන්තුවේ ආසන 167න් 109ක් දිනා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් වටමේසය සමත් වූ අතර, ස්වදේශික ආසන 03 ද ඔවුනට ලැබුණ විට ඔවුන්ගේ ආසන ප‍්‍රමාණය 112ක් වේ. චාවේස්ගේ පක්ෂය ඇතුළත් ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමි ධ‍්‍රැවය (GREAT PATRIOTIC POLE) දිනාගත්තේ ආසන 55ක් පමණි. මෙය ඔවුන් ලැබූ විශාල පරාජයක් විය. 1999 පෙබරවාරි 02 වැනිදා පැවැත්වූ මැතිවරණයෙන් හියුගෝ චාවේස් ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව චාවේස්ගේ පක්ෂයේ පාලනය වසර 16කට වැඩි කාලයක් පැවැතිණිි. වසර 16ක් තිස්සේ ජනතාවට සමාජ සාධාරණය ලබා දීමට කටයුතු කළ දේශපාලන ව්‍යාපාරයක් මෙලෙස පරාජය වූයේ ඇයි? අප විමසා බැලිය යුතු ප‍්‍රශ්නය එයයි.

-එක්සත් ජනපද කුමන්ත‍්‍රණ-
වෙනිසියුලාවේ වමේ ආණ්ඩුව පරාජයට පත් කිරීම පිටුපස සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය බව ඉතා පැහැදිලි ය. වෙනිසියුලාවේ චාවේස් පාලනය ආරම්භ වූ දා සිට එය ගමන් කළේ
අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදයට පක්ෂපාත ගමන් මඟක ය. සමාජවාදී කියුබාවේ ද මඟපෙන්වීම ලබමින්, ලතින් ඇමරිකාවේ අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවල සහාය ද සහිතව ලතින් ඇමරිකාව අධිරාජ්‍යවාදයට එරෙහි කඳවුරක් බවට පත් කිරීමට චාවේස්ගේ පාලන කාලය තුළ ඔහු කටයුතු කළේ ය. මේ සඳහා ඔහු තම දැක්ම ලෙස මෙම කලාපයේ දේශපේ‍්‍රමී නිදහස් සටනේ නායකයෙකු වූ සයිමන් බොලිවාර් සිය අධ්‍යාත්මික නායකත්වයේ තබා ගත්තේ ය. තම සටන ‘බොලිවේරියානු විප්ලවය’ ලෙස නම් කළේ ය. එසේ ම ලෝක බැංකුවට එරෙහිව නව බැංකුවක්, නව මූල්‍ය අරමුදලක් ඩොලරයට එරෙහිව නව මුදල් ඒකකයක් බිහි කිරීමට ද චාවේස් පාලනය යෝජනා කළේ ය. එය එක්සත් ජනපදයට විශාල අභියෝගයක් විය. චාවේස්ගේ පාලනය පෙරළා දැමීමට එක්සත් ජනපදය අවස්ථා ගණනාවක් උත්සාහ කළේ ඒ නිසා ය.

වෙනිසියුලාව තුළ කිහිප වරක්ම උද්ඝෝෂණ වැඩවර්ජන ඇති කොට එම පාලනය බිඳ දැමීමට විශාල ලෙස එක්සත් ජනපදය මුදල් වැය කරමින් මැදිහත් විය. 2001 වසරේ නොවැම්බර්වල, යළි 2002 අපේ‍්‍රල්වල, 2002 දෙසැම්බර්වල මෙවැනි වැඩවර්ජන හා උද්ඝෝෂණ ඇති කළ ද ඒවා පාලනය කිරීමට චාවේස් පාලනය සමත් විය. 2003 පෙබරවාරියේ දී වහා ම ජනාධිපති මැතිවරණයක් ඉල්ලා පෙත්සම් එකතු කිරීමේ ව්‍යාපාරයක් ද එක්සත් ජනපදයේ මැදිහත්වීම් මත සිදු කරන ලදී. වෙනිසියුලාවේ ව්‍යවස්ථාවට අනුව විශාල අත්සන් ප‍්‍රමාණයක් සහිතව පෙත්සමක් මගින් මැතිවරණයක් ඉල්ලා එක්සත් ජනපද මැදිහත් වීම මත සිදු කරන ලදී. වෙනිසියුලාවේ ව්‍යවස්ථාවට අනුව විශාල අත්සන් ප‍්‍රමාණයක් සහිතව පෙත්සමක් මගින් මැතිවරණයක් ඉල්ලා සිටිය හැක. එය ප‍්‍රයෝජනයට ගෙන
එක්සත් ජනපදය මැදිහත්ව මෙලෙස ජනාධිපතිවරණයක් ඉල්ලා අත්සන් එකතු කළේ ය. එම ව්‍යාපාරය සඳහා එක්සත් ජනපදය පරිඝනක 3,000ක් ද ඩොලර් 6,345,000ක් ද රාජ්‍ය නොවන සංවිධාන හරහා විරුද්ධ පක්ෂවලට ලබා දී තිබේ. ඊට ප‍්‍රතිචාර ලෙස චාවේස් 2004දී ජනමත විචාරණයක් කැඳ වූ අතර එම ජනමත විචාරණයෙන් 59.25% ක් ඡුන්ද ගෙන චාවේස් ජය ගත් අතර, එක්සත් ජනපද උත්සාහය ව්‍යර්ථ විය.

-හමුදා මැදිහත් කිරීම්-
වෙනිසියුලාවේ චාවේස් පාලනය බිඳ දැමීමට උද්ඝෝෂණ, ‘ඡුන්ද ඉල්ලීම්’වලට අමතරව එක්සත් ජනපදය හමුදා කුමන්ත‍්‍රණ ද ඇති කළේ ය. 2002 අපේ‍්‍රල් 11 දා චාවේස් විරෝධී පෙළපාලියක් පැවැති අතර, ඊට විකල්පව චාවේස්ට පක්ෂ පෙළපාලියක්ද පවත්වන ලදී. එහි දී චාවේස් විරෝධී පෙළපාලියේ වෙඩි තැබීමක් සිදු වූ අතර, එහි වගකීම ආණ්ඩුවට පටවන ලදී. මෙම සිදුවීම යොදාගනිමින් හමුදාවේ එක්සත් ජනපද හිතවාදීන් චාවේස් නිවාස අඩස්සියට පත් කළේ ය. තාවකාලික ආණ්ඩුවක් ද
ප‍්‍රකාශයට පත් කළේ ය. එහෙත්, වහා ම කි‍්‍රයාත්මක වූ චාවේස්ට හිතවත් හමුදා කණ්ඩායම් නිවාස අඩස්සියෙන් චාවේස් මුදා ගත් අතර, කුමන්ත‍්‍රණය අසාර්ථක විය. පසුව හෙළි වූයේ චාවේස් විරෝධි පෙළපාලියට වෙඩි තැබුවේ ද එම පෙළපාලියේ ම ගමන් කළ අයෙකු බව ය. එක්සත් ජනපදය එහි දී ද අසාර්ථක විය. ඉන්පසු 2013 වසරේ පිළිකා රෝගයකින් චාවේස් මියගිය අතර ඔහුට පිළිකා රෝගය වැළඳීම පිළිබඳව ද සැක මතුව තිබේ. කෙසේ වුවත්, චාවේස් මිය යාම එක්සත් ජනපදයේ ජයග‍්‍රහණයක් විය.

පසුගිය 2015 මහමැතිවරණයේ දී සිදු වූයේ කුමක් ද? මැතිවරණයට පෙර සිට භාණ්ඩ සැඟවීම්, කඩාකප්පල්කාරී කි‍්‍රයා, පෝලිම් ඇති කිරීම් ආදිය මගින් එක්සත් ජනපද සහාය ලබන ප‍්‍රතිගාමී පිරිස් රට තුළ විශාල අවුලක් නිර්මාණය කළේ ය. ඉන් ජනතාව පීඩාවට ලක් කොට එම පීඩනය මැතිවරණයේ දී චාවේස්ගේ පක්ෂය පැරදවීමට යොදා ගත් බව පැහැදිලි ය. චාවේස්ගෙන් පසු බලයට පත් මදුරෝට චාවේස්ට තිබූ ජනපි‍්‍රයත්වය නොමැති වීම ද
මෙහිදී බලපාන්නට ඇත.

-විප්ලවයක් සිදු නොවීම-
වෙනිසියුලාවේ පරාජයට එක්සත් ජනපද කුමන්ත‍්‍රණවල බලපෑමට අමතරව ප‍්‍රධාන හේතුවක් වන්නේ න්‍යායික කරුණකි. සැබැවින් ම චාවේස් ඇතුළු ඔහුගේ පක්ෂය වෙනිසියුලාවේ සමාජවාදි ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සාහ කළේ රාජ්‍ය බලය ලබාගෙන නොවේ. පැවති ධනපති රාජ්‍ය බලය එසේම තිබිය දී චාවේස් මැතිවරණවලින් දිනා ලබා ගත් ආණ්ඩු බලය මේ සඳහා යොදා ගන්නා ලදී. එවිට ධනපති රජය හා සමාජවාදී නැඹුරුවක් සහිත ආණ්ඩුව අතර ප‍්‍රතිවිරෝධයක් ඇතිවේ. මෙහි දී අධිරාජ්‍යවාදයට මෙන්ම ප‍්‍රතිගාමින්ට ද විශාල වාසියක් තිබූ අතර, ඒ ධනපති රාජ්‍ය බලය නොවෙනස්ව පැවතීම ය. වෙනිසියුලාව කියුබාවෙන් වෙනස් වන්නේ එහි දී ය. චාවේස් බලයට ආවේ හමුදා නායකයෙකු ලෙස තිබූ ප‍්‍රසිද්ධිය, ඔහුගේ පෞරුෂය, කථිකත්වය වැනි පුද්ගල ජනපි‍්‍රයත්වය මඟිනි. ඒ නිසා චාවේස් වෙනිසියුලාවේ සමාජ විප්ලවයක් සිදු කළේ නැත. සිදු කරමින් සිටියේ ප‍්‍රතිසංස්කරණ
මාලාවකි.

ලෙනින්ට අනුව සමාජ විප්ලවයක් යනු රාජ්‍ය බලය එක් පංතියකින් අතිත් තවත් පංතියකට මාරුවීම ය. වෙනිසියුලාවේ එය සිදු වුයේ නැත. ආණ්ඩු බලය මාරු වූවාට රාජ්‍ය බලය ධනපති පංතිය අතින් නිර්ධන පංතියට මාරු වුයේ නැත. එම කාර්ය චාවේස් ඉටු කර ගැනීමට සුදානම් වූයේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා ය. එය එතරම් පහසු හා සාර්ථක කටයුත්තක් නොවුයේ ප‍්‍රතිගාමී කුමන්ත‍්‍රණ විසින් ඒවා දුර්වල කරනු ලබන නිසා ය. රාජ්‍ය බලය නිර්ධන පංතිය වෙතට ගැනීමෙන් තොරව සමාජවාදී විප්ලවය ජය ගත නොහැකි ය යන සත්‍යය අවසානයේ වෙනිසියුලාව විසින් ද පෙන්වා දෙනු ලැබී ය.

”ඉතා පැහැදිලිව සලකා බලන කල වෙනිසියුලාව තවමත් සමාජවාදී
රාජ්‍යයක් නොවේ. එය අධිරාජ්‍ය විරෝධී අරගලයේ නියැළෙන රටක් හා සමාජය තුළ නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිටින රටක් වේ. කිසියම් රටක් සමාජවාදී ද? නැද් ද? යන්න තීරණය කිරීමේදී අපගේ මිනුම් දණ්ඩ විය යුත්තේ එම රට තුළ සිදු කරන ප‍්‍රතිසංස්කරණ නොව එම රටේ රාජ්‍ය බලය දරන්නේ කුමන පංතිය ද යන කරුණ ය” වෙනිසියුලාව මැතිවරණයෙන් පැරදීම සමග ධනපති රාජ්‍ය යන්ත‍්‍රයේ සම්බන්ධය තේරුම් ගත යුත්තේ එසේය.

-පක්ෂයක් නොවීම-
වෙනිසියුලාවේ ඊළඟ අර්බූදය වූයේ එහි විප්ලවවාදී පක්ෂයක් නොවීම ය. චාවේස් ශක්තිමත් නිර්ධන පංති පක්ෂයක් ගොඩනඟා එමඟින් ආණ්ඩු බලය ගත්තා නොවේ. ඔහු ඡුන්දය දිනා ජනාධිපති වන විට ඔහුට තිබුණේ ‘5 වන ජනරජ ව්‍යාපාරය’ නම් වූ දේශපාලන ව්‍යාපාරයකි. එය රට පුරා විහිදුණු නිර්ධන පංති පක්ෂයක් නොවී ය. ඒ නිසා ම ලබා ගත් ආණ්ඩු බලය රාජ්‍ය බලය දක්වා ඉක්මනින් පරිවර්තනය කර ගැනීමට පංතියට නායකත්වය දෙන පක්ෂයක් නොවීය. චාවේස්ට පක්ෂය හැදීමට සිදුවුයේ බලය ගැනීමෙන් පසු ය. එය සරල කරුණක් නොවේ. බලය ගත් විට පක්ෂවලට එක්වන බොහෝ දෙනා බලයට හා බලය මතින් වරප‍්‍රසාද ගැනීමට ද එක් වන නිසා සැබෑ මිනිසුන් තෝරා ගැනීම අසීරු ය. පංති සටනේ සජීවී අත්දැකීම් ඇති පක්ෂයක්, අත්හදා බලන ලද පක්ෂ කේඩරයක් සහිත පක්ෂයක් නොවීම මෙහි විශාල ගැටලූවක් විය. කියුබාවේ ද පක්ෂය හැදුවේ විප්ලවයට පසුව යයි කෙනකු මෙහි දී තර්ක කළ හැකි වුවත්, එය මීට වඩා වෙනස් ය. කියුබාව 1959 අත්පත් කර ගත්තේ ආණ්ඩු බලය නොව රාජ්‍ය බලයයි. ඒ ජූලි 26 ව්‍යාපාරය මඟිනි. එම රාජ්‍ය බලය
යටතේ පසුව කොමියුනිස්ට් පක්ෂය ගොඩනැඟීම වෙනස් කරුණකි.

-අසුබවාදයට නොවැටී-
වෙනිසියුලාවේ පරාජයට හේතු සාධක රැුසක් තිබිය හැක. සිදුවීම් සිදුවූ ආකාරය විසින් සමහර දේ සිදුවන්නට ඇත. එහෙත් මෙම පරාජයේ ප‍්‍රධාන හේතු වන්නේ එක්සත් ජනපදයේ කුමන්ත‍්‍රණකාරී මැදිහත් වීමත්, බොලිවේරියානු සමාජවාදී ව්‍යාපාරය වෙනිසියුලාවේ ආණ්ඩු බලය මිස රාජ්‍ය බලය ගැනීමට අසමත් වීමත්, විප්ලවාදී පක්ෂයක් නොවීමත් යන කරුණු ය. ප‍්‍රතිසංස්කරණ මගින් සමාජවාදයට යා නොහැකි බවත්, ඒ සඳහා සමාජ විප්ලවයක් හෙවත් පීඩිත පංතිය වෙත රාජ්‍ය බලය ගැනීම අත්‍යවශ්‍ය බවත් මෙයින් ලොවට උගන්වන පාඩම ය.

වෙනිසියුලාව තුළ වසර 16ක් පුරා සිදු කළ දේ අපතේ ගොස් නැත. මෙම පරාජය පසුතැවීමට හේතුවක් නොවිය යුතු ය. මෙය ලෙනින් වරක් කියු ලෙස ශ්‍රේෂ්ඨ පරාජයක් බවට පත් කළ හැක. ඒ මෙම සිදුවීමෙන් අත්දැකීම් ලබාගෙන යළි පෙරට යන්නේ නම් ය. මෙම සිදුවීමෙන් වෙනිසියුලානු විප්ලවය නතර නොවනු ඇත. අත්දැකීම් එකතු කරමින් එය ඉදිරියට යනු ඇත. ප‍්‍රධානතම කරුණ නම් ධනපති ආණ්ඩුවට ජනතා ප‍්‍රශ්න විසඳීමට ඇති නොහැකියාව ය. එවිට ජනතාව පාලන දෙකේ වෙනස තේරුම් ගනු ඇත.
මැතිවරණ පරාජය භාර ගනිමින් හිටපු ජනධිපති මදුරෝ කළ ප‍්‍රකාශය තුළ ද විප්ලවය පිළිබඳ අසුබවාදය නොව සුබවාදී බලාපොරොත්තු දල්වා තිබේ. මදුරෝ පැවසු මෙම කරුණින් මෙම ලිපිය අවසන් කරමි.
”අපේ සටන අද පරාජය වී තිබේ. එහෙත් නව සමාජයක් ගොඩනැඟීමේ අරගලය දැන් ආරම්භ වූවා පමණි.”