විවිධත්වය හා සහජීවනය ආගමෙන් කියවීම

A_1971_JVP_Insurrection_URT_converted
අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිගත් නැගිටීම
April 27, 2017
Culture_2_converted
අධිරාජ්‍යවාදයේ සමාජ සංස්කෘතික භූමිකාව
April 27, 2017
Show all

විවිධත්වය හා සහජීවනය ආගමෙන් කියවීම

religion

ආගම පීඩිතයාගේ සුසුම යැයි මාක්ස් කීය. ඒ, අසරණභාවයට ඇද දැමූ පීඩිතයාට එල්ලී ගත හැකි විශ්වාසය එය වන බැවිනි. පීඩිතයා කෙරෙහි එහි ඇති බලපෑම් සහගතබව නිසාම පසුකාලීනව පාලක පංතීන් විසින් සෑම ආගමක්ම තමන්ගේ ආයුධයක් කොටගත් බව පෙනීයයි. ඒ නිසාම ඒවා විවිධාකාරයේ වෙනස්කම්වලට භාජනය වූ බවද පිළිගත යුත්තකි. හරයාත්මක වශයෙන් සියලූ ආගම් විඥානවාදී හෝ මැවුම්වාදී අදහස් මත පදනම් වෙයි. ඒවා විද්‍යාත්මක වශයෙන් නිෂ්ප‍්‍රභා කෙරී ඇති නමුදු සැලකිය යුතු ජනකොටසක් මත කරන බලපෑම අවම වී නොමැත. ඒ අතර වත්මන් සමාජ ක‍්‍රමය තුළ මිනිසා ජීවත් වන්නේ විශාල පීඩනයක් තුළය. විශාල සමාජ ආර්ථික සංස්කෘතික අර්බුදයක ගොදුරක් ලෙසය. තමා පෙලන පීඩාවට පත්කරන ආර්ථික අර්බුදයේ සැබෑ මූලයන් වටහා ගැනීමට අසමත් එහෙත් තම පීඩාව පුපුරා යන මිනිසාගේ හැසිරීම තම පටු අරමුණ වෙනුවෙන් යොදාගැනීමට පාලක පංතීහු මෙන්ම විවිධ අන්තවාදී ප‍්‍රතිපත්ති හා අවිද්‍යාව ජීවිතය කරගත් ඉන් යැපෙන සංවිධාන හා කණ්ඩායම් කටයුතු කරති. ආගමික, ජාතික, කුල ආදී ගැටුම් ඇවිලෙන්නේ මෙවන් පසුබිමකය.

අවිහිංසාවාදය පදනම් කරගත් ආගමක ඊනියා බැතිමතුන් එම ආගමේ සංකේත සමඟ පොලූ මුගුරු රැගෙන වෙනත් පිරිසකට පහරදීමට යන්නේ මේ තත්වය තුළය. තම ආගම රැකගැනීම තම වගකීම බවත් ඒ සඳහා තමන් දිවිහිමියෙන් කටයුතු කරන බවත් පවසන මේ පිරිස් සැබැවින්ම සිදුකරමින් සිටින්නේ තම ආගමේ ඉගැන්වීම හා හරය විනාශ කරමින්, ඊට ප‍්‍රතිවිරුද්ධව හැසිරෙමින් ‘ආගම රැකීමට’ යාමය. කෙසේ වුවද මෙම ලිපියෙන් සාකච්ඡාවට ගැනෙන්නේ, අන්තවාදයන් තුළ විකෘති ලෙස අර්ථ ගන්වනු ලබන ආගමික ඉගැන්වීම් තුළම ඊට පරස්පරව පවතින කරුණාව, දයාව, සහෝදරත්වය, අන්‍යයන්ට ප්‍රේම කිරීම වැනි අවිහිංසාවාදී ඉගැන්වීම්ද පවතින බවය.

ලෝකයේ ප‍්‍රධාන ආගම් බවට පත්ව ඇති ක‍්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු හා බෞද්ධ ආදී සියලූම ආගමික ඉගැන්වීම් තුළ කිසියම් අවිහිංසාවාදී පදනමක් හා මිනිසා ශික්‍ෂණයට දැරූ උත්සාහයක් දක්නට ලැබේ. සමාජය තුළ තහවුරු වී පවතින ආගම් හා දර්ශනයන් ඉතිහාසයේ ඒ ඒ වකවානුවල පැවති සමාජ අවශ්‍යතා මත බිහිවූ ඒවා බව ඒවා බිහිවූ සමාජ ආර්ථික වටපිටාවන් සමග සොයාබැලීමේදී පෙනී යයි.

ජේසුස් ක‍්‍රිස්තුස් ඉදිරිපත් කළ ඉගැන්වීම් එවකට පැවති වහල් සමාජ සංස්ථාව තුළ පැවති අධිපති මතවාද ආගමික පැත්තෙන් අභියෝගයට ලක්කළ අතර ඒ නිසා එය පීඩිතයන්ගේ ආගම ලෙසද හැඳින්වීය. පසුකලෙක යුරෝපයේ අඳුරු යුගයේ ආධිපත්‍යය දැරූ ආගම බවට පත්වුවද, ආරම්භයේදී එය වහල් ක‍්‍රමයට, වහල් පාලනයට හා එය රකින ආගමික මතවාදයන්ට එරෙහි දැක්මක් විය.

බුද්ධාගමද එවකට භාරතයේ පැවති බ‍්‍රාහ්මණ ඉගැන්වීම් තුළ පැවති සත්ව හිංසාව, බිලිපූජා, කුල පීඩනය, කාන්තා පීඩනය ආදියට එරෙහි අවිහිංසාවාදී දර්ශනයක් ලෙස ඉදිරිපත් වූවකි. සතුන් විනාශ කිරීම එවකට කෘෂිකාර්මික නිෂ්පාදනයටද බලවත් හානිකර තත්වයක් විය.

ඉස්ලාම් ආගම අවසානයටම බිහිවූ ආගමක් වන අතර අරාජික පසුබිමක් තුළ අරාබි කාන්තාර ජීවිතයේ මිනිස් පැවැත්ම සඳහා වූ ඇවතුම් පැවතුම් පිළිබඳව රීති මාලාවක්ද සහිතව තහවුරු වූවකි.

ක‍්‍රි. පූ. 06වන සියවසේ බුදු දහම බිහිවන පසුබිම තුළම එය අවිහිංසාවාදී දර්ශනයක් බව පෙනී යයි. සතුන්ට පවා හිරිහැර කිරීම, සතුන් මැරීම මහත් වූ අකුසල කර්මයක් ලෙස එහි ඉගැන්වේ. පස් පව් ලෙස සැලකෙන ප‍්‍රධාන කරුණු 05න් පළමුවැන්න ”පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමී” යනුවෙන් සඳහන් වීම තුළ ඊට දී ඇති ප‍්‍රමුඛතාවය කෙතරම්ද යන්න පැහැදිලි වේ. කිසියම් පුද්ගලයකුගේ ඉරණම තීරණය වන්නේ, කරන ලද ක‍්‍රියාවෙන් බව ඉගැන්වීමත් කුලභේද වැනි උස් පහත් භේද නොසලකා කටයුතු කළ යුතු බව ඉගැන්වීමත් නිසා සමානාත්මතාවය පිළිබඳ අදහසක්ද ලබා දෙයි.

අනිත් අතින් සතුරාට පවා මෛත‍්‍රී කිරීමට බුදු දහමේ උගන්වයි. අංගුලිමාල බුදුන්ගේ ඇඟිලි කපා ගැනීමට පැමිණෙන විට ඔහුව දමනය කළේ මෛත‍්‍රී කිරීමෙන් බව බෞද්ධ සාහිත්‍යයේ ප‍්‍රකට කතාවකි. බුදුන් උත්තර භාරතයේ සිටි වකවානුවේ තවත් විවිධ ආගමික ඇදහිලි දර්ශනයන් පැවති බවත් බුද්ධ දර්ශනය ඉදිරිපත් කිරීමට පෙර තවත් එකිනෙකට වෙනස් මත ඉදිරිපත්කළ ආගමික නායකයින් හා දාර්ශනිකයින් සිටි බවත් බුදුවීමට පෙර තවත් වෙනත් ආගමික නායකයින් හා දාර්ශනිකයන් වෙත ගොස් කරුණු හැදෑරූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්ඡායන, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගන්ඨනාථපුත්ත යනුවෙන් ශඞ් ශාස්තෘවරු ලෙස හැඳින්වෙන්නේ ඔවුන්ය.

කාලාම සූත‍්‍රයේ වෙනස් මත දැරීම පිළිබඳව බුදුන් වහන්සේ පවසා ඇති වදන් සලකා බැලීමද මෙහිදී වැදගත් වේ. ඒ මෙසේය.

කේසපුත්ත ගම්වැසියෝ බුදුන්ට මෙසේ පවසති. ”ස්වාමීනි කේසපුත්තයට පැමිණෙන ඇතැම් මහණ බමුණෝ වෙති. ඔවුහු තමන්ගේ වාදයන්ම ස්ථිර කරති. පැහැදිලි කරති. අනුන්ගේ වාදයන් හෙළා දකිති.” මේ නිසා එම වැසියන්ට එම මහණ බමුණන් ගැන සැකයක් හටගත් බව දක්වති.

බුදුන් ඒ ගැන ප‍්‍රකාශ කරන්නේ අන් ආගමිකයන් හෙළා දකිමින් තමන්ම හරි යයි කීම වැරදි බවත්, ඕනෑම ආගමක් දහමක් විමර්ශනයට (විමංසනයට) ලක් කිරීමටත්, සැකකිරීමටක්, නොපිළිගැනීමටත් අයිතිය ඇති බවයි.
අන්‍ය මත ඉවසිය යුතු බවත්, අන්‍ය මතවලට ගරු කළ යුතු බවත්, බුදුන් පිළිගත් බව මෙයින් පැහැදිලි වේ.

රාජ්‍ය පාලනය පිළිබඳ බුදු දහමේ කියවෙන සප්ත අපරිහානී ධර්ම කරුණුවල ”රාජධානිය තුළ පිහිටි පූජනීය ස්ථානවලට ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම” ලෙස කරුණක් අඩංගු වේ. මෙහි බුද්ධාගමේ පමණක් නොව අනෙකුත් ආගමික පූජ්‍ය ස්ථානද ඇතුළත් කර දැක්වීමෙන් අන්‍ය ආගමික ඉගැන්වීම් හා ඒවායේ අයිතිය පිළිගත් බව තහවුරු කරයි.

ක‍්‍රි. පූ. 04වන වර්ශයේ ජෙරුසෙලම අසල බෙත්ලෙහෙම නම් ගමේ ජේසුතුමා උපත ලැබීය. එකල එය රෝම පාලනයට යටත්ව පැවති අතර පීඩාකාරී සහ දූෂිත පාලනයක් පැවතුණි. ජේසුතුමාගේ ඥාති සොහොයුරෙකු වූ ජෝන් බැප්ටිස්ට් පීඩාවන්ගෙන් ජනතාව ගලවාගන්නා ගැලවුම්කරුවකු එන බව දේශනා කළ අතර ඒ නිසාම පාලකයින් ඔහුව ඝාතනය කරන ලදී. ඔහුගේ ජීවන භාවිතය ජේසු වෙත ප‍්‍රබලව බලපෑ අතර ඔහුද සංචාරක ධර්ම දේශකයකු බවට පත් විය. සාධාරණය, ආදරය, කරුණාව සහ මනුෂ්‍යත්වය පිරී පවතින දේව රාජ්‍යයක් පිළිබඳව ඔහු දේශනා කළ අතර පීඩාවට පත් ජනතාව ඔහු වටා ඒකරාශී වූහ. ක‍්‍රමක‍්‍රමයෙන් පාලකයින්ට මෙය තර්ජනයක් වන විට ඔහුව අල්ලා ගනු ලැබූ අතර රෝම පාලකයින්ට භාරදෙන ලදුව රාජද්‍රෝහී චෝදනා එල්ල කර වැරදිකරු කොට එකල මරණ ද`ඩුවම ලබා දුන් ක‍්‍රමය වූ කුරුසියේ තබා ඇණගසා මරා දමන ලදී.

කිතු දහම අන්‍යයන් සමග සහයෝගයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වීමට උගන්වන දහමකි. එසේම සතුරාට පවා මෛත‍්‍රී කිරීමට එහි උගන්වයි.

තමන්ව පාවාදීමට සිටින ජුදාස් ට පවා ජේසුස් වහන්සේ රොටී කැබැල්ලක් පොඟවා කෑමට දුන්බව කිතුනු සාහිත්‍යයේ සඳහන් වේ. (යෝහා 13 -26)

ගලාති හි කතෝලික සභාව වෙත යැවූ ලිපියක් බයිබලයේ සඳහන් වේ. එහි කොටසක් පහත දැක්වේ.
”මක්නිසාද සහෝදරයිනි නුඹලා නිදහස් බවට කැඳවනු ලැබුවාහුය. එහෙත් නුඹලාගේ නිදහස මාංශයට ප‍්‍රස්ථාවක් පිණිස ව්‍යවහාර නොකොට ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙයල්ලා. මක්නිසාද නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, යන එක වාක්‍යයෙන් මුළු ව්‍යවස්ථාවම සම්පූර්ණ වේ. නමුත් නුඹලා එකිනෙකා විකා කන්නහු නම් නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වගබලා ගනිල්ලා” (ගලාති 5.13 – 15)

වෙනස් ආගමික හා සංස්කෘතික පසුබිමක් පැවති කොරින්ති හි පිහිටුවනු ලැබූ කතෝලික සභාවට විවිධ ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය. ඔවුන් වෙත යවනු ලැබූ ලිපියක උපුටාගත් කොටසක් මෙසේය.
”මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක් මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත් එක ශරීරයක්ව තිබෙන්නාක් මෙන්ද, ක‍්‍රිස්තුස්වහන්සේත් එසේම සිටින සේක. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග‍්‍රීකවරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයානන් වහන්සේ තුළ එකම ශරීරයට භෞතීස්ම කරනු ලැබ සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් ගෙවනු ලැබීමුව” (1 කොරින්ති 12. 12 – 13)
එසේම බයිබලයේ මෙසේද සඳහන් වේ
”කාටවත් නපුරට නපුරු නොකරල්ලා. සියලූ මනුෂ්‍යයන් ඉදිරිපිට සෝබන දේ කරන්නට සිතට ගනිල්ලා. පුළුවන්නම් නුඹලා ගෙන් වියහැකි ප‍්‍රමාණයට සියලූ මනුෂ්‍යයන් සමග සමාදානයෙන් හිටපල්ලා” (රෝම 12 -17-18)
”සහෝදර පේ‍්‍රමයෙන් එකිනෙකාට ස්නේහ වෙයල්ලා. ගෞරවයෙන් තම තමාට වඩා අනිත් අය උතුම් කොට සලකාපල්ලා” (රෝම 12 – 10)
”තමන් පමණක් දේශයේ වාසය කරනු පිණිස අනුන්ට ඉඩකඩ නැතිවන තරමට ගෙයකට ගෙයක් එකතුකර ගන්නා, කෙතකට කෙතක් යාකර ගන්නා අයට වන විපතක මහත” (යේ: සා: යා: 5 : 8)

ඉස්ලාම් ආගමේ නිර්මාතෘ ලෙස සැලකෙන මහම්මත් නබිතුමාගේ උපත සිදුවන්නේ ක‍්‍රි.ව. 570 දී අරාබියේය. මේ කාලයේ බරපතළ අරාජික සමාජ වටපිටාවක් පැවති බවද සඳහන් වේ. ඔහු ධාර්මිකව ජීවත්වීමට අන් අයටත් කියාදුන් අයකු වූ අතර භාවනාවලටද යොමුවිය. මෙහිදී දිව්‍යමය පණිවුඩ දෙවියන්ගෙන් ඔහුට ලැබුණ බවත්, ඔහු ඒවා දේශනා කිරීමට පටන් ගත් බවත් ඉස්ලාම් සාහිත්‍යයේ කියවෙයි. පසු කලෙක කුරානය නමින් සංගෘහිත වූයේ මේවාය. එම ඉගැන්වීම්වලට අනුව අනුගමිකයින් ගොඩනගමින් සිටියදී විවිධ බාධාවන් එල්ල විය. ඒ අනුව ඔවුන්ට ‘මදීනා’ නුවරට යාමට සිදුවූ අතර, එම සංක‍්‍රමණය ‘හිජ්රා’ ලෙස හැඳින්වේ. පසුව ක‍්‍රි. ව. 630 දී මක්කම දක්වාද මෙය ව්‍යාප්ත විය.

ඉස්ලාම් ආගමේ ඉගැන්වීම්වලට අනුව පොලී ගැනීම තහනම්ය. එයින් කියවෙන්නේ සාධාරණව ජීවත්විය යුතු බවය. අනෙක් අය සූරාකෑම නොකළ යුතු බවය. දෙවියන් ඉදිරියේ සියලූ දෙනා එක සමාන බවද එහි ඉගැන්වේ. නිහතමානීබව, ත්‍යාගශීලීබව හා අවංකත්වය පුරුදු පුහුණු කළ යුතු බව මහම්මත්තුමා උගන්වා ඇත. කාන්තාවන්ට හා දෙමව්පියන්ට ගරු කිරීම, සේවකයින්ට හා තිරිසන් සතුන්ට කරුණාව දැක්වීම, බීමත්්කමින් හා සූදුවෙන් වැළකී සිටීම ආදියද ඉස්ලාම් භක්තිකයකුගේ සාරධර්ම ලෙස දක්වා ඇත.

සෑම වසරකම රාමසාන් ලෙස මාසයක පමණ කාලයක් ආහාර ගැනීම අඩුකොට උපවාස කාලයක් පැවැත්වීමද වැදගත් කරුණකි. එයින් දුප්පතුන්ගේ කුස ගින්නේ වේදනාව අන් අයටත් තේරුම් ගැනීමට සලස්වන බවත්, දුප්පතුන්ට උදව් කළ යුතු බවත් සඳහන් වේ. ආහාර ගන්නා විටදීත් මුස්ලිම් සංස්කෘතිය තුළ සියලූ දෙනා එක් භාජනයක් වටා වාඩි වී ආහාර ගැනීමත් තුළ සියලූ දෙනා සමානයින් ලෙස සලකන සමානාත්මතා අදහස ඇති කරවයි.

අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට කර ඇති පැහැදිලි කිරීම්ද ඉස්ලාම් ආගමෙන් සොයාගත හැකිය. වරෙක මොහොමඞ් නබිතුමාගේ අනුගාමිකයින් පිරිසක් එතුමා හමුවීමට පැමිණ මෙසේ විමසන ලදී.
එක් කාන්තාවක් සෑම රාත‍්‍රියකම අල්ලා නමදින්නීය. මේ නිසා ඒ ගමෙහි වෙසෙන වෙනත් ආගමිකයන්ට හිරිහැර බාධා සිදුවන්නේය. මේ කාන්තාව මියගිය පසු ස්වර්ගයට යනවාදැ?
මෙයට නබිතුමාගේ පිළිතුර වූයේ ඇය ස්වර්ගයට නොව නිරයට යන බවය.
මෙයින් පෙනී යන්නේ වෙනත් මත දරන, වෙනත් ඇදහිලි විශ්වාස කරන්නන්ගේ අයිතිය ඉස්ලාම් දහම තුළ පිළිගත් බවය.

තවද අල්කුරානයේ මෙසේ සඳහන් වේ.
(විශ්වාසවන්තයිනි) අල්ලා හැර ඔවුන් කන්නලව් කරන (අන්) අයට නුඹලා බැන නොවදින්න. මන්ද (නුඹලා එසේ කළා නම්) ඔවුහු අඥානකමින් අල්ලාහාට ද්වේශ සහගතව බැන වදී. (අල්කුරාන් 6 : 108)
මෙයින් ප‍්‍රකාශවන්නේ, අන්‍යාගමික බැතිමතුන්ට බැනවැදීමෙන් කිසිදු ප‍්‍රයෝජනයක් අත් නොවන බවය. එහෙත් ඊට පටහැණිව කවුරුන් හෝ කෙනෙකු බැනවදින්නේ නම් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇතිවන්නේ ද්වේශය සහ ගැටුමක් බවය.

හින්දු ආගම සම්බන්ද භගවත් ගීතාව වැනි ග‍්‍රන්ථවලද මීට සමාන අවිහිංසාවාදී අදහස් ඉදිරිපත් කෙරේ.
ලංකාවේ පමණක් නොව ලෝකයේද ජනතාවගෙන් සාතිශය බහුතරය කුමක් හෝ ආගමක් අදහනු ලබයි. සෑම ආගමක්ම මේ වන විට කවර හෝ රටවල, ප‍්‍රදේශවල ධනපති පාලකයන්ගේ මෙවලමක් බවට පත්කරගෙන තිබේ. එය ඉතිහාසයේත්, වර්තමානයේත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. එසේම තම නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය සඳහා ධනවාදය විසින් දිරි ගන්වනු ලබන පර්යේෂණ සමග, විද්‍යාත්මක සොයාගැනීම් සමග ආගමික ඉගැන්වීම් ගැටෙන නමුදු තම වුවමනාව වෙනුවෙන්ම ආගම පිළිබඳ සංයුක්ත හා නිවැරදි අධ්‍යාපනයක් ලබා නොදීමට ධනවාදය පරෙස්සම් වෙයි. මේ හේතුව මත සමාජ විඥානය තුළ ආගමික මතවාදයන්ට රික්තකයක් නිර්මාණය කෙරෙන අතර ආගමික ඉගැන්වීම් පිළිබඳ තුළනාත්මක අවබෝධයක් ඇති කරගන්නවා වෙනුවට ඒවා අන්ධානුකරණයෙන් කරනු ලබන ”ඇදහිලි” ලෙසම පවතී.

පාලකයින් විසින් ආගම තම බල වුවමනාවන් සඳහා යොදාගැනීමද ඉතිහාසය පුරාම දැකිය හැකිය. එවැනි උදාහරණ ලෝක ඉතිහාසයේ එමටය. වැඩවසම් යුගයේ කුරුස යුද්ධ ඊට කදිම උදාහරණයන්ය.

11 වන සියවස පමණ වන විට ඉස්ලාම් ආගමද යොදාගනිමින් අරාබියේ සිට දේශපාලන ව්‍යාප්තියක් සිදුවිය. ඒවාද ‘ශුද්ධ යුද්ධ’ ලෙස හඳුන්වන ලදී. මෙයත් සමග ඉස්ලාම් ආගම ඇදහූ තුර්කි වරුන්ගෙන් ක‍්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ භූමි නිදහස් කරගැනීමට ක‍්‍රිස්තියානි යුරෝපය සටන් කළ යුතු බවට මතයක් ඉදිරිපත් කරමින් ක්‍රිස්තු භක්තිකයන් යුද්ධයට කැඳවන ලදී. කුරුස යුද්ධවලට සහභාගි වන අයගේ පාපකර්මවලට සමාව දීමටත්, ඔවුන්ගේ දේපළ ආරක්‍ෂාකර දීමටත් පාප්තුමා පොරොන්දු වූ අතර ඔවුන් යුද්ධයේදී මියගියොත් සදාකාලික ස්වර්ගයට යන බවද ප‍්‍රකාශකර තිබුණි. මෙසේ 11වැනි හා 13වන සියවස්වල පළමු දෙවන, තුන්වන, සිවුවන හා පස්වන කුරුස යුද්ධ වශයෙන් යුද්ධ ගණනාවක් ඇවිල ගිය අතර ආගමේ නාමයෙන් මහා ලේ ගංගා ගලා ගියේය.

ඉතිහාසයේ සියලූ පාලක පංතීන් මෙන්ම ධනපති පංතියද මෙසේ ආගම් සියල්ල තමන්ගේ මෙවලම් බවට පත්කරගෙන තිබෙන බවද ඉතිහාසය තුළත් වර්තමානයේත් පැහැදිලිව පෙනීයන කාරණයකි. පීඩිත ජනතාව බෙදා වෙන්කර අසමගි කිරීමට, නිර්ධන පංතිය බෙදා වෙන් කර තැබීමට නිරන්තරයෙන් පාලක පංතියට අවශ්‍යය. ඒ සඳහා ඇති සෑම අවස්ථාවක්ම භාවිතා කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත. ආගමික වදන්වලට මුවා වී ආගමික අභිමානයන් හුවා දක්වා ඒ තුළින් අනිකුත් ආගම් හා සංස්කෘතීන් හෙළා දකිමින් හා ඒවාට ගරහමින් ඒවා අතර භේද වැපිරීම මේ වන විට සුලභ අත්දැකීමකි. එහෙත් ඒවායේ ප‍්‍රතිඵල මහා විනාශයන්ය; ඛේදවාචකයන්ය. ඉතිහාසයේ වූ පරිදිම බොහෝවිට ලේ ගංගාවන්ය. එහෙත් ඛේදවාචකය වන්නේ, ආගම් අදහන සමාජ කණ්ඩායම් සිය ආගමේ ඉගැන්වීම් පවා අමතක කරමින් මනුෂ්‍යත්වයට නොගැලපෙන ලෙස හැසිරීමය; වෙනත් ආගමික හෝ ජාතිකත්ව කණ්ඩායම්වලට එරෙහිව ක‍්‍රියාත්මකවීමය.