බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පසුගිය ජුනි 23 වැනිදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණයෙන් (සියයට 52ක ඡුන්ද ප‍්‍රතිශතයකින්) බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන්, ඉවත් වීම අනුමත විය.

මෙම ඡන්ද ප‍්‍රතිඵලය ගෝලීය දේශපාලනයට සහ ආර්ථිකයට සැලැකිය යුතු බලපෑමක් ඇති කරන අතර ම වසර 60ක් තිස්සේ පැවැති දේශපාලන – ආර්ථික වියමන ඉරා දැමීම ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කිරීම වැදගත් වේ. මුලින්ම අප යුරෝපා සංගමය යනු කුමක් දැයි බලමු.

යුරෝපා සංගමය (European Union – EU)
යුරෝපා සංගමය යනු රටවල් 28කින් යුත් දේශපාලන – ආර්ථික සංගමයක් වන අතර, එය වර්ග කිලෝ මීටර් 43,24,782ක භූමියක් පුරා ජනගහනය මිලියන 508කින් සමන්විත වූවකි. යුරෝපා සංගමයේ මුළු ආර්ථිකය ඇමෙරිකන් ඩොලර් ටි‍්‍රලියන 19 ක් වන අතර, ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 37,852කි.

යුරෝපා සංගමයේ ආරම්භය 1948 දක්වා අතීතයට දිව යයි. දෙවැනි ලෝක යුද්ධයෙන් සහමුලින් ම විනාශ වූ යුරෝපය තුළ එවැනි ගැටුමක් නැවත ඇති වීම වැළැක්වීමට ඇති ක‍්‍රමයක් ලෙස හඳුනා ගත්තේ යුරෝපා රටවල් විවිධ ආකාරයෙන් ඒකාබද්ධ කිරීමයි. 1948දී හේග් සමුළුව මඟින් මෙම අදහස පිළිගත් අතර, එහි දී
I. අන්තර්ජාතික යුරෝපියානු ව්‍යාපාරය (European Movement International)
II. යුරෝපා විද්‍යාලය (European College) නම් ආයතන දෙක ඇති කරන ලදී.
යුරෝපා විද්‍යාලයේ අරමුණ වූයේ යුරෝපයේ අනාගත නායකයන් එක ම පාසලක් තුළ අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමයි.

1952දී යුරෝපා ගල් අඟුරු සහ වානේ ප‍්‍රජාව (European Coal and Steel Community) නම් සංවිධානය බිහි වූ අතර, එය යුරෝපා මට්ටමින් ගල් අඟුරු සහ වානේ කර්මාන්තකරුවන්ගේ සංගමයක් විය.

1957 රෝම ප‍්‍රඥප්තිය
ඉතාලිය, බෙල්ජියම, ප‍්‍රංශය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය හා බටහිර ජර්මනිය යන රටවල් එක් වී රෝමයේ දී රෝම සම්මුතියට අත්සන් කළ අතර, එමඟින්;
I. යුරෝපීය ආර්ථික ප‍්‍රජාව (European Economic Community – EEC)පි්හිටුවීම හා එම කලාපය රේගු බදුවලින් තොර කලාපයක් කිරීම.
II. යුරෝපා පරමාණුක බලශක්ති ප‍්‍රජාව (European Atomic Energy Community-Euratom)

සංවිධාන බිහි විය.

1967 මර්ජර් ගිවිසුම
1967 ජුලි මස 01 වැනි දින මර්ජර් ටී‍්‍රටි (ඵැරටැර ඔරු්එහ* ගිවිසුම මඟින් මෙම ප‍්‍රජාවට අයත් රටවල්වලට පොදුවේ බලාත්මක වන යුරෝපා මට්ටමේ ආයතන තුනක් පිහිටුවන ලදී. එමඟින්;
I. යුරෝපා කොමිසම
II. යුරෝපා කවුන්සිලය
III. මෙමඟින් මීට පෙර පිහිටුවා තිබූ Euratom පරමාණුක බලශක්ති ප‍්‍රජාව හා ගල් අඟුරු හා වානේ ප‍්‍රජාව යන ආයතන නියෝජනය කිරීම පවරන ලදී. නූතන යුරෝපා සංගමයේ මූලික ලක්‍ෂණ කැටි කර ගත් ප‍්‍රධාන ගිවිසුම වූයේ මෙම මර්ජර් ටී‍්‍රටි (Merger Treaty) ගිවිසුමයි.

1973දී ඩෙන්මාර්කය ද (ග්‍රීන්ලන්තය) බ්‍රිතාන්‍යය ද, අයර්ලන්තය ද එක් වූ අතර, යුරෝපා සංගමය සමඟ එක් වීමට 1979දී පැවැති ජනමත විචාරණයෙන් නෝර්වීජියානු ජනතාව එය ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා නෝර්වේ යුරෝපා සංගමයට ඇතුළු වීම වළකන ලදී.

1979දී යුරෝපා පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් පත් කිරීම සඳහා ප‍්‍රථම මැතිවරණය පවත්වන ලදී.

1981දී ග්‍රීසියද, 1986දී පෘතුගාලය සහ ස්පාඤ්ඤය ද යුරෝපා සංගමය සමඟ එක් විය. 1985දී ‘ෂෙන්ගන් ගිවිසුම’ (Schengen Agreement) මඟින් යුරෝපීය සංගමයේ රටවල් අතර ගමන් බලපත‍්‍ර රහිතව ගමන් බිමන් සිදු කිරීමට නීති සකසන ලදී.

1986දී යුරෝපා කොඩිය ද, මූලික යුරෝපා සංගම් පනත් ද නීතිගත කරන ලදී.

1992 මැස්ට්‍රීච් ගිවිසුම
1992 නොවැම්බර් මස 01 වැනිදා අත්සන් කරන ලද මෙම ගිවිසුම මඟින් යුරෝපා සංගමය නැවත පුළුල් කොට පිහිටුවන ලදී. 1995දී ඔස්ටි‍්‍රයාව, පින්ලන්තය හා ස්වීඩනය ද යුරෝපා සංගමයට එක් විය.

2002 සිට රටවල් 12ක ජාතික මුදල් ඒකක අහෝසි කොට යුරෝ මුදල් ඒකකය භාවිතය හඳුන්වා දෙන ලදී.

2004දී රටවල් 19ක් ද, 2007දී රුමේනියාව හා බල්ගේරියාව ද යුරෝපා සංගමයට එක් විය.

1993 කෝපන්හේගන් නිර්ණායක
සමාජවාදී කඳවුර බිඳ වැටීමත්, ලෝකය තුළ තම ආධිපත්‍යය සෘජුව හා වේගයෙන් පැතිරවීම අරමුණු කර ගනිමින්, කෝපන්හේගන් හි දී යුරෝපා සංගමයේ සාමාජික රටවල් බැඳී සිටින දේශපාලන හා ආර්ථික කොන්දේසි අධිරාජ්‍යවාදී වුවමනාවන්ට ගැලපෙන ලෙස යළි සකස් කර නීතිගත කරන ලදී. එහි දී සාමාජික රටවල් සියල්ල වෙළෙඳපොළ ආර්ථිකය හා ප‍්‍රාග්ධන වුවමනාව උපරිම අයුරින් රැකෙන ආකාරයට තම නීතිරීති, පාලන රටාව හා ආර්ථිකය සකස් කර ගත යුතු වන නිර්ණායක ඇතුළත් කරන ලදී.

නිර්ණායක (භූගෝලීය) : යුරෝපීය භූමි ප‍්‍රදේශය තුළ හා යුරෝපා අසල්වැසි ප‍්‍රතිපත්ති රාමුව (ENP) යටතට ගැනෙන ප‍්‍රදේශයක පිහිටි රටක් විය යුතු ය.
දේශපාලන කොන්දේසි :
I. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විය යුතු ය.
II. ඡන්ද අයිතිය සියලූ දෙනාට ම හිමි රහස්‍ය ඡන්ද ක‍්‍රමයක් තිබිය යුතු ය.
III. බහු පක්ෂ දේශපාලන ක‍්‍රමයක් තිබිය යුතු ය.
IV. වෘත්තීය සමිති පිහිටුවීමේ බලය තිබිය යුතු ය.
V. විධායක බලතල සීමා කෙරෙන නීති තිබිය යුතු ය.
VI. නිදහස් මාධ්‍ය තිබිය යුතු ය.
VII. අධිකරණය ස්වාධීන වීම හා විනිශ්චයකරුවන් ස්වාධීනව පත් විය යුතු ය.
VIII. මානව හිමිකම් ආරක්‍ෂා වන නීතිරීති තිබිය යුතු ය.
IX. සුළු ජාතිකත්වයන් ආරක්‍ෂා කරන නීතිරීති ප‍්‍රබල හා ශක්තිමත් විය යුතු ය. ඔවුනගේ දේශපාලන, සංස්කෘතික, භාෂාමය අයිතීන් ආරක්‍ෂා වන නීති තිබිය යුතු ය.

ආර්ථික කොන්දේසි :
I. හොඳින් ක්‍රියාත්මක වන වෙළෙඳපොළ ආර්ථිකයක් තිබිය යුතු ය.
II. එම රටේ නිෂ්පාදකයන්ට වෙළෙඳපොළ බලවේගවල තෙරපුමට හා තරගයට ඔරොත්තු දීමට හැකි විය යුතු ය.
III. අවශ්‍ය විට ‘යුරෝ’ මුදල් ඒකකයට පරිවර්තනය වීමට හැකි විය යුතු ය.

වත්මන් යුරෝපා සංගමයේ ප‍්‍රධාන ආයතන :
1. යුරෝපා කවුන්සිලය. (යුරෝපා රාජ්‍ය නායකයන්ගෙන් සමන්විත ඒකකය. ඉහළ ම බලතල ඇති ආයතනය.)
2. යුරෝපා පාර්ලිමේන්තුව.
3. යුරෝපා කොමිසම.
4. යුරෝපා අධිකරණය.
5. යුරෝපා මහ බැංකුව.
6. යුරෝපා විගණන කොමිසම.
7. කවුන්සිලය (විෂය භාර ඇමතිවරුන්ගෙ න් සමන්විත ඒකකයකි.) ප‍්‍රධාන ආයතන මෙන් ම තවත් යුරෝපියානු මට්ටමේ ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටුවා ඇත.
1. යුරෝපා හමුදාව.
2. යුරෝපා පොලිසිය.
3. යුරෝපා සිවිල් සේවය.
4. යුරෝපීය තරුණ කටයුතු ආයතනය.
5. යුරෝපීය ආයෝජන බැංකුව.

යුරෝපා සංගමය හා අධිරාජ්‍යවාදී භූමිකාව :
යුරෝපා සංගමයේ ආරම්භය ම ප‍්‍රධාන යුරෝපීය සමාගම්වලට යුරෝපීය භූමිය තුළ තම භාණ්ඩ හා සේවාවන් වෙළෙඳ හෝ වෙනත් බාධකවලින් තොරව අලෙවි කිරීම පහසු කිරීම අරමුණු කරගෙන පිහිටවූවක් බව පෙනේ.
එසේ වුව ද, යුරෝපා සංගමය පූර්ණ වශයෙන් අධිරාජ්‍යවාදී තනි බල කඳවුරක් හා ඒකාධිකාරී ප‍්‍රාග්ධන හිමියන්ගේ වුවමනාව සෘජුව නියෝජනය කිරීමට හැකි වන අයුරින් යළි සකසනු ලැබුවේ 1993න් පසුව ය.

මෙමඟින් යුරෝපා සංගමය තුළ පිහිටි රටවල ස්වෛරීත්වය දුර්වල කරමින්, ජාතික නීතිරීති අඩපණ කරමින්, යුරෝපීය සංගමයේ අධිකාරීත්වය රටවල් මත පැටවීමත්, ජාතික නීතිරීති අභිභවා යුරෝපීය නීතිරීති බලපැවැත්වීමත් සිදු විය.
විශේෂයෙන් ම බලවත් යුරෝපා රටවල් වන ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍යය ආදී රටවල මහා පරිමාණ ඒකාධිකාරී සමාගම්වල වුවමනාව මත සියලූ ම නීතිරීති සකස් කෙරෙන තත්ත්වයකට යුරෝපා සංගමය මේ වන විට පත් වී තිබේ.

යුරෝපා සංගමයට ඇති ප‍්‍රධාන චෝදනා :
1. අධිරාජ්‍යවාදී කඳවුරක් ලෙස ක්‍රියාත්මක වීම.
2. රටවල ජාතික ස්වෛරීත්වය අහිමි කරමින්, යුරෝපීය අධිකාරීත්වය ඇති කිරීම.
3. ජාතික ආර්ථිකය බිඳ දැමීම.
4. සංක‍්‍රමණික ගැටලූව.
5. වෙනත් රටවල ගැටලුවලට තමන්ට කරදර විඳීමට සිිදුව ඇතැයි යන ආකල්පය.
6. ඇමෙරිකා එක්සත් ජනපද වුවමනාවන්ට යුරෝපය බිලි දීම නිසා අයි.එස්.අයි.එස්. හා සංක‍්‍රමණික ගැටලූවලට යුරෝපයට මුහුණ දීමට සිදු වීම.
7. අති විශාල ධනයක් යුරෝපීය ආයතන පවත්වාගෙන යාමට වියදම් කිරීමට සිදු වීම.
8. දකුණු හා නැගෙනහිර යුරෝපීය රටවල කර්මාන්ත, කෘෂිකර්මාන්ත යනාදිය වඩා දියුණු බටහිර යුරා්පා රටවල් විසින් සම්පූර්ණයෙන් ම ගිල ගැනීම.
9. දේශීය අවශ්‍යතා නොසලකා සංගමයේ අවශ්‍යතා පරිදි කටයුතු කිරීමට සිදු වීම.
10. ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමා ඡන්දය දෙන අය හරහා නොව වෙනත් පිරිසක් අතට පත් වීම.

බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය :
බ්‍රිතාන්‍යය යුරෝපා ආර්ථික ප‍්‍රජාවේ (EEC) සාමාජිකත්වය ලැබුවේ 1973 ජනවාරි 01 වැනිදා වන අතර, එවිට යුරෝපා සංගමය වත්මන් අයුරින් පිහිටුවා නොතිබිණි. ඒ මොහොතේ ද බ්‍රිතාන්‍යය තුළ මෙම එක් වීමට එරෙහිව මතයක් තිබූ අතර, එනිසා ම 1974දී බලයට පත් කම්කරු පක්‍ෂ ආණ්ඩුව බ්‍රිතාන්‍යෙයේ මෙම EEC සාමාජිකත්වය පිළිබඳව යළි සාකච්ඡා ආරම්භ කරන ලදී. ඒ අනුව 1975 ජුනි මස 05 වැනිදා බි‍්‍රතාන්‍යය තුළ ජනමත විචාරණයක් පවත්වන ලදී.

එහි දී ඇසූ ප‍්‍රශ්නය වූයේ ‘බ්‍රිතාන්‍යය යුරෝපා පොදු වෙළෙඳපොළ තුළ රැඳි සිටිය යුතු ද? නැද්ද?’ යන්න ය. කෙසේ වුව ද, මෙම ජනමත විචාරණයෙන්;
රැඳී සිටීමට පක්‍ෂව ඡන්ද 1,73,78,581 – 67%ක් ද,
රැඳී සිටීමට විරුද්ධව ඡන්ද 84,70,073 – 31.8%ක් ද
ලබා දීමෙන් බ්‍රිතාන්‍යය ඊ.ඊ.සී.ය තුළ රැඳී සිටීම අනුමත කරන ලදී.

ඒ අනුව ක‍්‍රමක‍්‍රමයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සියලූ ම ආයතන තුළ නියෝජනය
වූ නමුත්, 2000දී යුරෝ මුදල් ඒකකය භාවිත කිරීම පිළිබඳ කරුණේ දී බ්‍රිතාන්‍යය පවුම දිගට ම තබා ගැනීමට බ්‍රිතාන්‍යය තීරණය කරන ලදී.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම :
ජුනි 23 වැනිදා පැවැති ජනමත විචාරණය වසර ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍යය තුළ ගොඩනැගෙමින්  තිබූ යුරෝපා සංගම් විරෝධය නිසා පැවැත් වූ ජනමත විචාරණයකි. ජනමත විචාරණයේ දී යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට පක්‍ෂව
1. එරට ප‍්‍රධාන සමාගම්.
2. ප‍්‍රධාන රූපවාහිනී හා මාධ්‍ය ආයතන.
3. බ්‍රිතාන්‍යය පාලක කන්සර්වේටිව් පක්‍ෂය.
4. බ්‍රිතාන්‍යය විරුද්ධ පක්‍ෂය වන කම්කරු පක්‍ෂය.
5. හරිත පක්‍ෂය.
6. ස්කොට්ලන්ත සහ අයර්ලන්ත පක්ෂවද කටයුතු කළ අතර,

⋆ නාගරික උගත් තරුණ කණ්ඩායම්.
1. බ්‍රිතාන්‍යය වෘත්තීය සමිති.
2. කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු වාමාංශික කණ්ඩායම්.
3. ජාතිකවාදී කණ්ඩායම් සහ පක්‍ෂ.
4. සංක‍්‍රමණික විරෝධී කොටස්.
විරුද්ධවද කටයුතු කළේය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට පක්‍ෂව විශාල දේශපාලන මෙහෙයුම් ද, බියවැද්දීම් ආදිය ද සිදු කළ අතර, ඉවත් විය යුතු ය යන මතය ප‍්‍රධාන වශයෙන් ම ජනතා ව්‍යාපාරයක් ලෙස සකස් වී තිබිණ.

ඡන්ද ප‍්‍රතිඵල නිරීක්‍ෂණයේ වැදගත් කරුණු :
ජනමත විචාරණ ප‍්‍රතිඵලය මෙහි දී පෙනෙන කරුණ නම්, නාගරික උගත් ජනයා බහුල එංගලන්තය හා වේල්සය තුළ (ජනගහනයෙන් බහුතරයක් සිටින්නේ එංගලන්තයේ ය) ඉවත් වීමට ඡන්දය ලබා දීම ය. මෙහි දී මැතිවරණ කොට්ඨාස ලෙස විශ්ලේෂණය කළ විට නාගරික උගත් ජනතාව බහුල ප‍්‍රදේශවල යුරෝපා සංගමයට එරෙහි විරෝධය වැඩි අතර, ග‍්‍රාමීය ප‍්‍රදේශවල දී යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමක් දක්නට ලැබිණ.

කෙසේ වුව ද, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දුන් ජනතාව අතර වාමාංශික, ප‍්‍රගතිශීලී බලවේගවල සිට අන්ත දක්‍ෂිණාංශික ජාතිවාදී හා සංක‍්‍රමණික විරෝධී බලවේග ද වේ.

ඒකාධිකාරී ප‍්‍රාග්ධන සමාගම්වල වුවමනාව ඉටු කරන යුරෝපා සංගමයෙන් ඉවත් වීම වාමාංශික බලවේගවල ප‍්‍රධාන අරමුණ වුව ද, ජාතිකවාදී, සංක‍්‍රමණික විරෝධී, ෆැසිස්ට් කණ්ඩායම් ප‍්‍රකාශ කළ අරමුණ වූයේ සංක‍්‍රමණිකයන්ගෙන් රැුකියා ආරක්‍ෂා කර ගැනීමට හැකි වීම, බ්‍රිතාන්‍යය ‘හිරු නොබසින අධිරාජ්‍යය’ බවට නැවත පත් කිරීමට ඇති හැකියාව යන්නයි.

ජනමත විචාරණයේ ප‍්‍රතිඵල මත ඇති වූ හා ඇති විය හැකි තත්ත්වයන් :
1. පාලක කොන්සර්වේටිව් පක්‍ෂය තුළ අභ්‍යන්තර අර්බුද උත්සන්න වීම හා අගමැති ඔක්තෝබරයේ ඉල්ලා අස්වීම.
2. බ්‍රිතාන්‍යය පවුම වසර 30කට පසු සියයට 10කින් පහළ ම අගයට කඩා වැටීම.
3. බ්‍රිතාන්‍යය කොටස්වල වත්කම් පහළ වැටීම නිසා බ්‍රිතාන්‍යය පවුම් තැන්පත්කරුවන්ට බිලියන ගණනක් අහිමි වීම. (අප රටේ විදෙස් සංචිතයෙන් සියයට 10ක් පවුම් ය.)
4. ලෝක තෙල් මිල පහළ වැටීම හා
කොටස් වෙළෙඳපොළේ බිඳ වැටීම.
5. දක්‍ෂිණාංශික පක්‍ෂවල වර්ධනයට අවස්ථා වැඩි වීම.
6. ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් ඉවත් වීමේ ප‍්‍රවණතාවය වැඩි වීම.
7. සංක‍්‍රමණික විරෝධී, ජාතිවාදී ක්‍රියා උත්සන්න වීම.
මෙම ඡන්ද ප‍්‍රතිඵලය පැහැදිලිව ම ධනේශ්වර පාලනය, අධිරාජ්‍යවාදී මැදිහත් වීම් හා ක‍්‍රමවේදය පිළිබඳ ජනතාව තුළ ඇති බරපතල විවේචන වේ. ජනතාව තම ආර්ථික අමාරුකම්, රැකියා අහිමි වීම්, පාරිසරික ගැටලූ, දිනෙන් දින උග‍්‍ර වන සුභාසාධන කප්පාදුව ආදී සියල්ලට එරෙහිව තම පීඩනය මුදා හැර ඇති අතර, පිරිසක් ඒවා ජාතිවාදී ආකාරයෙන් විග‍්‍රහ කරගෙන තිබීම ද මෙහි ලක්‍ෂණයකි.

ප‍්‍රතිඵලයෙන් පසු යුරෝපා සංගමය හා බි‍්‍රතාන්‍ය තුළ සිටින ධනපති, ඒකාධිකාරී සමාගම් සියල්ල හකුළා නොගත් අතර, ඔවුන් යුරෝපා සංගමය හා බ්‍රිතාන්‍යය අතර තම ධනපති වුවමනා වෙනුවෙන් තවත් සූක්‍ෂම පියවරවලට යනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය වසර දෙකක් තිස්සේ සිදුවන එකක් බැවින්, මේ සඳහා ඉඩකඩ විවෘතව පවතී.

අනෙක් අතින්, වාමාංශික බලවේග විසින් දිගින් දිගට ම යුරෝපා සංගමයේ ප‍්‍රතිගාමී, අධිරාජ්‍යවාදී, ජනතා විරෝධී ස්වභාවය ගැන ප‍්‍රකාශ කළ අදහස් ජයග‍්‍රහණය කිරීමක් ද මෙමඟින් සිදු වී තිබේ. යුරෝපය ලෙස එකතු වීම තුළින් යුරෝපීය ජනතාවට සෞභාග්‍යය ගෙන එනු ඇතැයි පැවසුවත්, මුළු මහත් යුරෝපයේ ම ජනතාව සූරාකෑම තීව‍්‍ර කර යුරෝපා ජනතාවගේ ජීවන මට්ටම පහළට ඇද දැමූ බව පිළිගැනීම ජනමත විචාරණයෙන් සිදුව තිබේ. ධනපති රාජ්‍ය හා ධනපති සමාගම් ඒකාබද්ධ වීමක් තුළින් ජනතාවට සහන ලබා දිය නොහැකි බව යුරෝපා සංගමයේ 50 වසරක ඉතිහාසය පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍යය පාලනය බ්‍රිතාන්‍යයට ලැබෙන බවත්, සංක‍්‍රමණ නතර වන බවත්, හිරු නොබසින අධිරාජ්‍යය ඇති වන බවත්, රැකියා සුරක්‍ෂිත වන බවත් වෙන් වීමට පක්‍ෂව කටයුතු කළ ජාතිකවාදී, සංක‍්‍රමණ විරෝධී බලවේගවල මිථ්‍යාව බි‍්‍රතාන්‍ය ජනතාව ඉදිරි වසර කිහිපය තුළ අත්දකිනු ඇත. ධනේශ්වර රාජ්‍ය එකතුන්ට හෝ තනි ධනේශ්වර රාජ්‍යයන්ට හෝ ජනතාවට යහපතක් ඉටු කර දිය නොහැකි බව ඉදිරියේ දී ජනතාවට ඔප්පු වනු ඇත. බ්‍රිතාන්‍යයේ වෙන් වීම අනෙකුත් යුරෝපා සංගම් රටවල් තුළ ද වෙන් වීමේ ප‍්‍රවණතාවයක් නිර්මාණය වී ඇත. අධිරාජ්‍යවාදී, ඒකාධිකාරී සමාගම්වල සංගමයක් වන යුරෝපා සංගමය විසිරීම, දුර්වල වීම ජනතා ජයග‍්‍රහණයකි. මෙය නැටෝ (NATO) වට ද බලපානු ඇත. නමුත්, එය පූර්ණ ජයග‍්‍රහණයක් කළ හැක්කේ අධිරාජ්‍යවාදී එකතුන් ප‍්‍රතික්‍ෂේප කරන ජනතාව සමාජවාදී ජයග‍්‍රහණයන් දක්වා පෙළගැස්වීමෙනි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම