ප්‍රවාහන සේවය දිරි ගන්වන සමාජවාදි ප්‍රතිපත්ති

jsahdjksad
ලෝක ආර්ථික අර්බුදයක පෙරනිමිති
April 27, 2017
economic-growth2
සමාජවාදි ආර්ථීකයේ මධ්‍ය ලීවරය හා සමබරතාවය
April 27, 2017
Show all

ප්‍රවාහන සේවය දිරි ගන්වන සමාජවාදි ප්‍රතිපත්ති

Transportmittel

ප්‍රවාහන අර්බුදය යන්න ධනේශ්වර සමාජය තුළ ප්‍රධාන දැවෙන සමාජ ගැටලුවලින් එකකි. එම ගැටලුව විවිධ රටවලට දැනෙන ප්‍රමාණය වෙනස් විය හැකි ය. එහෙත් ප්‍රවාහන අර්බුදය ධනවාදය තුළ අනිවාර්ය ගුණාංගයකි. නිදසුනක් ලෙසින් මහා මාර්ගවල තදබදය හා වැළැක්විය හැකි එහෙත්, නිරන්තර ව සිදු වන වාහන අනතුරු ආදිය ගත හැකි ය. එය විසින් මිනිසාගේ ජීවිතය මහ මඟ රස්තියාදු කරන, අනතුරට පත් කරන හා පීඩාවකට යටත් කළ එකක් ව තිබේ. එසේම මෙම අර්බුදය රටක ආර්ථීක වර්ධනයට ද මහා බාධකයක් වෙමින් පවතී. විශේෂයෙන් අප වැනි රටවල ආර්ථීකයේ රිද්මයම තව තවත් මන්දගාමී වන්නට මෙය හේතුවක් ව පවතී. මෙයට ප්‍රතිපක්ෂ ව කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැති ජනතාවක් ද එකම රට තුළ සිටිති. එය ද සමාජයේ ඉදිරි ගමනට බාධා කරන්නකි.
පවතින සමාජය මෙයට පිළිතුරු සොයන්නේ පැලැස්තර අලවන ක්‍රමයට ය. එහි දී නියත වශයෙන් ම පළමු ව ප්‍රාග්ධනයේ අශ්‍යතාවයත්, දෙවනුව ධනේශ්වර ක්‍රමයේ පැවැත්මත් සලකා කටයුතු කරයි. මෙම සාධක දෙකම පීඩිත ජනතාවට අදාළ නොවන කාරණා ය. එනිසා ම එසේ යොදන පිළියම් යළි ගැටලු බවට ම පත් වේ. ධනවාදය මෙම ගැටලුව අවසාන වශයෙන් විසඳා ලන්නේ නැත. එය ධනවාදය තුළ ලිහා දැමිය හැකි ගැටලුවක් නොවේ. පවතින ක්‍රමයට එවන් විසඳුම් සඳහා අවශ්‍යතාවක් ද නැත.
ශ්‍රී ලංකාව වැනි පසුගාමි රටවල මේ සම්බන්ධ තත්වය ඉතාමත් බරපතළ ය. එය ප්‍රකාශයට පත් වන ආකාර කිහිපයකි.
1. නගර ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය.
මෙය බරපතළ ශ්‍රම කාලයක් නාස්ති කරයි. ශ්‍රම කාර්යයෙහි නියැලෙන්නට තිබෙන කාලය ද මහමගට වැය වේ. දෛනික ව වැය වන ශ්‍රම ශක්තිය පුනස්ථාපනයට ඇති අවස්ථා ද අහිමි වේ. ( ශ්‍රමිකයාගේ විවේකය, විනෝදය සහ අධ්‍යාපනය යන අවස්ථාවන් සඳහා යෙදිය යුතු කාලය නාස්ති වේ. ) මෙයට අමතරව ඉන්ධන නාස්තිය ද, රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙහි ප්‍රමාද වීම් ද සිදුවේ.
2. සාමාන්‍ය ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති බැවින් මහ මඟ රස්තියාදු වන්නට සිදුවීම සහ පොදු ප්‍රවාහන සේවාවන්ගේ වන අධික පීඩාකාරී තදබදය.
මෙම තත්වය දැවෙන සමාජ ප්‍රශ්නයකි. පොදු ප්‍රවාහන සේවා වන්හි ජනතාව තෙරපීමට, පීඩාවට, නො සැලකිල්ලට, අවමානයට සහ අනතුරට පත්වීම නිරන්තරයෙන් දක්නට හැකිය. මේ තත්ත්වය විසින් මිනිසුන් සතුන්ගේ තත්වයෙන් ද පහතට දමා ඇත. මෙම තත්වය මගීන්ට ද, ප්‍රවාහන සේවකයින්ට ද තද බල මානසික ව්‍යාධීන් ඇති කිරීම විසින් සමාජිය වශයෙන් එහි දී වන හානිය ද විශාල ය.
3. පෞද්ගලික හා රාජ්‍ය යන දෙ අංශයේ පොදු ප්‍රවාහන සේවා අතර තරගය විසින් ජනතාව පීඩාවට හා අනතුරට පත්වීම.
තරගය අවසානයේ මාරාන්තික ගැටුමක් දක්වා වර්ධනය වීම විසින් මඟ දිගට ප්‍රවාහන සේවක ගැටුම්වලට මැදි වීමට මගීන්ට සිදුවේ. තවද තරගය හේතුවෙන් අධික ව පවතින හදිසි අනතුරුවලින් ජීවිත අවදානමට ලක් වන පිරිස ද සංඛ්‍යාත්මකව ඉහළ අගයකි.
4. භාණ්ඩ ප්‍රවාහන කාර්යයේ දී ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවය, අනාරක්ෂිත බව සහ ප්‍රමාදය.
ප්‍රවාහන කාර්යයන් හි අවිධිමත් හා අපිළිවෙළ විසින් නිසි කලට, අවශ්‍ය ලෙස හා ප්‍රයෝජන වත් ලෙස තම භාණ්ඩ ප්‍රවාහනයේ දුෂ්කරතා මතුවේ. එසේම ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ වල ආරක්ෂිත බව පිළිබඳව ද සහතිකයක් නැත.
මෙලෙස මූලික වශයෙන් ප්‍රවාහන ගැටලුව මතු වන ආකාර කිහිපයක් හඳුනා ගත හැකිය. මෙය තවදුරටත් පුළුල් ව අධ්‍යයනය කළ හැකි නමුත් සරල වටහා ගැනීමේ පහසුව සඳහා කරුණු හතරක් ලෙසින් මෙලෙස දැක්විය.
ප්‍රවාහන ගැට‍ළුව විසඳීම සම්බන්ධයෙන් වන සමාජවාදී ප්‍රතිපත්ති පවතියි. ඒවා සකස් වන්නේ සමාජවාදි දැක්ම නැති නම් චින්තනය පදනම්ව ය. එම චින්තනයේ පදනම සාමූහික දේපළ ය. එසේ ම සමාජවාදය යනු සංක්‍රමණීය අවධිය ය යන කොන්දේසිය පසෙක ලා මෙම ප්‍රතිපත්ති සලකා බැලිය නොහැකි ය. තව දුරටත් අප වැනි පසුගාමී ධනේශ්වර රටක දී සුළු පරිමාණ පෞද්ගලික දේපළවල සිට සමාජවාදී රාජ්‍ය සතු ජනතා දේපළ දක්වා වන පරාසයක් තුළ මෙම ගැටලුවට පිළියම් සෙවීමට සිදුව ඇත. එය අතිශය සීරුවෙන් හා උපක්‍රමශීලිව සාමූහික සමාජය යන ඉලක්කය වෙත යොමු වෙමින් සිදු කළ යුතු ය.
රටක ප්‍රවාහන ක්‍රියාවලියේ දී පළමු ව සැලකිය යුත්තේ අති අමානුෂික (ධනේශ්වර) පෞද්ගලික ලාභය නොවේ. ඉතා සාධාරණ සමාජමය ලාභයයි. ප්‍රවාහනය යන්න මිනිසුන් හා භාණ්ඩ වශයෙන් වෙන් කොට ගත හැකිය. මගී ප්‍රවාහනයේ මූලික අරමුණ විය යුත්තේ මානව ශ්‍රම සම්පත මනා ලෙස හසුරුවා ගැනීමයි. මෙය ධනේශ්වර දෘෂ්ටියෙන් බලන විට පෙනිය හැක්කේ ශ්‍රම කොල්ලය ඉක්මන් කර ගැනීමක් වැන්නක් යැයි හැඟිය හැකි ය. (සත්‍ය වශයෙන් ධනවාදය තුළ සිදු වන්නේ එය යි.) සමාජවාදයේ දී එය වටහා ගනු ලබන්නේ එසේ නොවේ. සමාජවාදයේ දී ශ්‍රමයේ හිමිකම නිෂ්පාදකයාගෙන් උදුරා ගන්නේ නැති බැවින් එහි හිමිකම ඔහු සතු ය. එබැවින් ධනවාදය තුළ පරාරෝපණය කරන ලද ජීවිතය ඉවත්ව සැබෑ මානුෂිකත්වය මතුවේ. ඉන් ඔබ්බට ශ්‍රමය යනු සමාජමය සම්පතක් බවට පත් වේ. එබැවින්, සමාජවාදයේ දී මානව ශ්‍රම සම්පත මනා කළමනාකරණයකට ලක් කිරීම සමාජමය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන්නකි. එනිසා මගී ප්‍රවාහනය එම අවශ්‍යතාවය සලකා සැලසුම් කළ යුතු ය.
ධනවාදය තුළ ප්‍රවාහන අර්බුදයේ ප්‍රධාන ම සාධකය වන්නේ මිනිසාට කරදරකාරී වන අනවශ්‍ය ගමන් ය. ඒවා නිර්මාණය කරනුයේ මෙම අරාජික සමාජයයි. සමාජවාදය එම ගැටලුව විසඳන්නේ සැලසුම්කරණය හරහා ය. ශ්‍රමිකයාගේ දෛනික ජීවිත පැවැත්ම තම නිෂ්පාදන කාර්ය සිදු වන භූමිය ආසන්නයේ පවත්වා ගැනීම වඩාත් පහසුවකි. එහි දී ඔහුගේ ජීවන අවශ්‍යතා සියල්ල තම ආසන්න පරිසරයෙන් සපුරා ගැනීමේ පහසුව තිබිය යුතු ය. ආහාර, සෞඛ්‍ය සේවාව, පාසල, සන්නිවේදන කාර්යයන්, බාහිර සමාජය හා වන විවිධ ගනුදෙනු මෙන් ම දෛනික අත්‍යවශ්‍යතා තමන් ශ්‍රම කාර්යයෙහි යෙදෙන ස්ථානය අවට පවතින සේ සැලසුම් විය යුතු ය. ඔහුගේ ක්‍රීඩා හා විනෝද කටයුතු ද ඒ ආශ්‍රිතව පවත්වා ගැනීමේ පහසුකම් විය යුතු ය. ඔහුට අදාළ පරිපාලනමය අවශ්‍යතා ද පහසුවෙන් ඉටු කර ගත හැකි දුරකින් විය යුතු ය. කර්මාන්ත ආශ්‍රිත නගර යන්න එවන් එක් සංකල්පයකි. එවන් පරිසරයක අනවශ්‍ය ගමනාගමන අවශ්‍යතා ඇති වන්නේ නැත. එවිට ජනතාවට ගමනාගමන අවශ්‍යතා ඇති වන්නේ විවිධ චාරිකා යන අර්ථයෙන් පමණි.
එහෙත් මෙම සැලසුම් කෙරෙන වැඩබිම් ආශ්‍රිත නගරයන් තුළ අභ්‍යන්තර ගමනාගමන සේවාවක් පැවතිය යුතු ය. එය මගී පහසුව, ආරක්ෂාව හා මනා සේවය පදනම්ව ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය උපයෝගී වන්නකි. තවද ගමනාගමන අවශ්‍යතාවය අනුව එම සේවාවෙහි කාර්යක්ෂමතාවය ද පවත්වා ගත යුතු ය.
භාණ්ඩ ප්‍රවාහනය යන කාරණයේ දී සමාජවාදය තුළ නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර සහ නිමි ද්‍රව්‍ය ප්‍රවාහනය යන්න වෙන ම ද ජනතාවගේ එදිනෙදා කටයුතුවලට අදාළ පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය වෙන ම ද සැලකිය යුතු ය. පළමු කාරණයේ දී ගුවනින්, දුම්රියෙන්, මුහුදු මාර්ගයන්ගෙන් හා අභ්‍යන්තර ජල මාර්ගවලින් මෙන් ම දියුණු මහාමාර්ග පද්ධතියකින් එම අවශ්‍යතාවය සපුරාලන ප්‍රවාහන පද්ධතියක් සැකසිය හැකි ය. ඒ සඳහා වන නවීන ප්‍රවාහන මාධ්‍ය ද යොදා ගැනීම විසින් බාධාවකින් හා පමාවකින් තොර ව එම කාර්යය කර ගත හැකි ය. මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා සලකතොත්, නිදර්ශනයක් ලෙසින් ගෘහස්ථ පරිහරණය කරන ගෑස් නළ පද්ධතියක් හරහා ජලය මෙන් යම් පාලනයකින් ඒවා බෙදාහැරීමක් කළ හැකි ය. වරින්වර ගෑස් සිලින්ඩර මාරු කිරීම හරහා වන හිරිහැරයන් මින් වැළකේ.
මෙම ප්‍රතිපත්තීන් සම්බන්ධව කතා කරන විට කෙනෙකුට මතු විය හැකි ගැටලු කිහිපයකි. එම ගැටලු සමඟ ම ඒ සම්බන්ධ සමාජවාදී ප්‍රතිපත්තිය සඳහන් කරන්නේ නම් මෙසේ ය.
1. සමාජවාදය තුළ පෞද්ගලික ප්‍රවාහන සේවාවන් හා පෞද්ගලික වාහන පරිහරණයට සිදු වන්නේ කුමක් ද?
සමාජවාදය යනු සංක්‍රමණීය කාලපරිච්ඡේදයකි. එනිසා එහි දේපළ ආකාරයන් අතර පෞද්ගලික දේපළ පවතී. තවද ලංකාව වැනි සුළු පරිමාණ දේපළ බහුල රටවල සමාජවාදය ගොඩනැඟිය යුත්තේ සීරුවෙන් ය. මහා පරිමාණ දේපළ මිස සුළු පරිමාණ දේපළ වහා පොදු දේපළ බවට පත් කළ නොහැකි ය. එසේ ම පෞද්ගලික බස් කර්මාන්තය වැනි අර්බුද සහිත අංශයක් පවරා ගැනීම ම තවත් සංකීර්ණ ගැටලු ඇති කරනු ඇත. එබැවින්, සමාජවාදයේ දී වඩාත් ම පලදායි වන්නේ ඒවා පවරා ගැනීම නොවේ. ඒ වෙනුවට සමාජවාදී පොදු ප්‍රවාහනයට පහසුකම් හා දිරිගැන්වීම් කිරීමයි. එසේ ම පෞද්ගලික දේපළ එයට බාධා වන් නොවන සේ හසුරුවා ගනු ලබයි.
2. එසේ යම් සේවාවක් ඉවත් වන්නේ නම් ඒවායේ දැනට නියැළෙන සේවකයන්ට වන්නේ කුමක් ද?
සැලසුම් සහගත ආර්ථීකය තුළ මධ්‍යගත සැලැස්මට අනුබද්ධිත රැකියා සම්බන්ධ සැලැස්මක් ද වේ. රැකියා වියුක්තිය මුළුමනින් ම අහෝසි කිරීම එහි ඉලක්කයයි. කුමන හෝ ශ්‍රමිකයෙකු කුමන ශ්‍රම දායකත්වයෙන් ඉවත් වුව ද, ඔහු ශ්‍රම හැකියාවෙන් යුක්ත නම්, ඔහුගේ ශ්‍රම හැකියාව සමාජවාදී ජයග්‍රහණයන්ට දායක කොට ගැනීම අනිවාර්ය ය.
3. සමාජවාදය තුළ පරිහරණය වන ප්‍රවාහන මාධ්‍යයන් කුමක් ද?
සමාජවාදය යනු මෙතෙක් මිනිසා විසින් අත්පත් කොට ගන්නා ලද සියලු ජයග්‍රහණයන් ඉදිරියට ගෙන යෑමකි. එනිසා සමාජවාදය ප්‍රවාහන කාර්යයේ දී දැනට ලොව පවතින දියුණු මාධ්‍යයන් සියල්ල භාවිත කරයි. ගුවන් සේවා, නාවික සේවා, ගොඩ බිම් ප්‍රවාහන සේවා දියුණු තාක්ෂණය සමඟ භාවිත කරයි. දුම්රිය මාර්ග, මහා මාර්ග, අභ්‍යන්තර ප්‍රවාහන ඇළ මාර්ගයන් වැඩිදියුණු කරයි.
සමාජවාදය තුළ මිනිසාගේ අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුතු පුළුල් සහ වර්ධනය කරයි. නමුත් අනවශ්‍ය ලෙස ජීවිතය මත බලෙන් පටවා ඇති ප්‍රවාහන අවශ්‍යතා අහෝසි කරනු ලබයි. ඒ සඳහා දැනට මිනිසා සතු දියුණුතම තාක්ෂණයන් හා මාධ්‍යයන් භාවිත කරයි. ප්‍රවාහනය ලාභ ලබන කර්මාන්තයක් යන ධනවාදී තත්ත්වයෙන් එය මුදවා ගනියි. ප්‍රවාහනය දියුණු කරනු ලබන සමාජවාදී ප්‍රතිපත්තිය එසේ ය.