පශ්චාද් යුද වකවානුව හා කොමිෂන් සභා

fedaral
එ්කීය සන්ධීය සහසන්ධීය රාජ්‍යයන් ගැන
April 27, 2017
nepal_converted
නේපාලයේ යළි මතු වන බල අරගලය
April 27, 2017
Show all

පශ්චාද් යුද වකවානුව හා කොමිෂන් සභා

war_converted

ලංකාවේ යුද වකවානුව තුළ සිදු වී ඇතැයි සැලකෙන යුද අපරාධ ගණයේ ලා සැලකෙන සිදුවීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී. වර්තමාන ශී‍්‍ර ලංකා ආණ්ඩුවද ඒ සම්බන්ධ පූර්ණ එකඟතාවය පළ කර තිබේ. මෙම සිදුවීම් සම්බන්ධව කොමිෂන් සභා කිපයක් හරහා සිදු කළ විමර්ශනයන් ද ඒවායේ නිර්දේශයන් ද පිළිබඳ අවබෝධයක් තිබීම මෙයට අදාළ සාකච්ඡාවලදී දී වැදගත් වන බව නිසැක ය. මෙම කොමිෂන්වලින් උදලාගම කොමිෂම හැර අනිකුත් සියල්ල පිහිටවනු ලැබූයේ 2009 වසරේ යුද්ධය නිම වීමෙන් පසුව ය.

උදලාගම කොමිසම

විනිසුරු එන්. කේ. උදලාගමගේ මූලිකත්වයෙන් යුතුව 2006 වසරේ දී මෙම කොමිසම පත් කරනු ලැබුයේ යුද්ධය පැවති සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සහ ඝාතන 16ක් පිළිබඳව සොයා බැලීම සඳහා ය. සෙසු සාමාජිකයන් වූයේ,

I. උපවංශ යාපා
II. ආචාර්ය දේවනේසන් තේසයියා
III. කේ. සී. ලොගේස්වරන්
IV. මනෝරි මුත්තෙට්ටුවේගම
V. ජෙසීමා ඉස්මයිල්
VI. එස්. එස්. විජේරත්න
VII. ජාවිඞ් යූසුෆ්
VIII. ඩග්ලස් පේ‍්‍රමරත්න
IX. ෆයිසාල් රසීක්
X. ඩෙන්සිල් ගුණරත්න
යන අයය.

විමර්ශනය කළ සිදුවීම් 16 පහත ඒවාය.

I. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය.
II. ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානය කළ පුද්ගලයන් 17 දෙනාගේ ඝාතනය.
III. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතනය.
IV. මුතූර්හි මුස්ලිම් වැසියන් 14 දෙනොගේ ඝාතනය.
V. ති‍්‍රකුණාමලයේ දී තරුණයින් 5 දෙනෙක් ඝාතනය.
VI. ශී‍්‍ර ලංකා සාම මහලේකම් කාර්යලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ඝාතනය.
VII. සෙන්චෝලෙහිදී පුද්ගලයන් 51 දෙනෙක් ඝාතනය.
VIII. අලයිප්පිඩිහි පිලිප්නේරි දේවස්ථානයේ පියතුමාගේ අතුරුදහන් වීම.
IX. පේසාලේහි ධීවරයන් පස් දෙනෙකු ඝාතනය කිරීම.
X. කයිට්ස්හිදී පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය.
XI. පොතුවිල් පොලිස් බලප‍්‍රදේශයේ මුස්ලිම් වැසියන් දසදෙනෙකු ඝාතනය කිරීම.
XII. කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ සිදවූ පුද්ගලයන් 68 දෙනාගේ ඝාතනය.
XIII. අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් හමු වූ හිස සුන් මළ සිරුරු 05.
XIV. වැලිකන්දේ දී ඝාතනය වූ පුද්ගලයන් 13 දෙනා.
XV. දිගම්පතනේ දී ඝාතනය වූ නාවුක භටයන් 98 දෙනා.
XVI. යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ්ගේ ඝාතනය.

උදලාගම කොමිසමේ වාර්තාව අවසන්ව තිබුණ ද එය සමාජගත කෙරුණේ නැත. 2015 වසරේ මහින්ද රාජපක්‍ෂ පාලනය පරාජයට පත් වී ගොඩනැඟුණු දින සියයේ ආණ්ඩු වැඩපිළිවෙළ අතරතුර අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙය පාර්ලිමේන්තුවට සභාගත කරන ලදී.

උදලාගම කොමිසමේ නිර්දේශවල සාරාංශය වූයේ, යුද්ධය පැවැති සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බව සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමට හා උපදේශන සේවා ලබා දීමට කි‍්‍රයා කළ යුතු බවයි.

දශක තුනක් තිස්සේ පැවති යුද්ධය අවසන් වීම විසින් ජාතික ප‍්‍රශ්නයේ පෙනුමේ වෙනස්කම් සිදු විය. එක් පැත්තකින් උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල සිවිල් ජනජීවිතය විශාල ලෙස කඩාවැටී ඛේදජනක තත්ත්වයක් පැවැතිණි. යුද්ධයෙන් විපතට පත් ජනතාවට වහ වහා මානුෂික සහන අවශ්‍ය වී පැවැතිණි. මේ තත්ත්වය ජාතිකත්වයන් අතර ඇතිව තිබූ බරපතල වෛරීසහගත ප‍්‍රතිවිරෝධය සමනය කොට ජාතික සමඟිය හා සංහිඳියාව ඇති කිරීමට අනගි අවස්ථාවක් ලෙස යොදා ගැනීමේ අවස්ථාව උදා වී තිබිණි.

මේ තත්ත්වය සැලැකිල්ලට ගත් ජනතා විමුක්ති පෙරමුණ 2009 මැයි 27 දා ඒ සඳහා වන කඩිනම් ක‍්‍රියාමාර්ග ඇතුළත් යාන්ත‍්‍රණයක් ආණ්ඩුවටත් රටටත් ඉදිරිපත් කළේ ය. එහි 07වන කරුණ වූයේ පහත සඳහන් වගන්තියයි.

”07. විවිධ ජනකොටස්වලට සිදු වී ඇති අසාධාරණයන් පිළිබඳ සොයා බැලීමත්, විවිධ ජනකොටස් අතර පවතින හිත් බිඳීම්, විරසකයන් තුරන් කිරීමත් අරමුණු කරගත් සත්‍ය හා ජාතික ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවිය යුතුය.”

එහෙත් යුද ජයග‍්‍රහණයෙන් මෝහනයට පත්ව සිටි රාජපක්‍ෂ පාලනය ඒවා සැලැකිල්ලට ගත්තේ නැත.

දෙමළ ජනයා මුහුණ දී ඇති දුෂ්කරතාවයන් හා ගැටලූ අවම කිරිම සඳහා වූ ප‍්‍රායෝගික මැදිහත් වීමක් ලෙස 2009 ජුලි 15 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් අරමුණු 04ක් ඔස්සේ මැදිහත් විය යුතු බව පෙන්වා දෙමින්, කලින් වැඩපිළිවෙළේම දිගුවක් ඉදිරිපත් කරන ලදී. එහි 04වන අරමුණ වූයේ ”ජාතිකත්වයන් අතර සතුරුභාවය අහෝසි කොට මිතුරුභාවය වර්ධනය කරලීම හා ඔවුන්ගේ පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කොටගෙන” යන්නයි. ඒ යටතේ VI වන කරුණේ පැවතියේ සත්‍ය කොමිසම පිළිබඳ යෝජනාවයි.

”VI. විවිධ ජනකොටස්වලට සිදුව ඇති අසාධාරණයන් පිළිබදව සොයා බැලිමත්, විවිධ ජනකොටස් අතර පවතින හිත් බිදීම්, විරසකයන් තුරන් කිරීමත් අරමුණු කර ගත් සත්‍ය හා ජාතික ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම.”

මෙයටද ආණ්ඩුව පෙර ප‍්‍රතිචාරය ම දක්වන ලදී.

යුද්ධය නිසා විශාල ජන පිරිසක් උන්හිටිතැන් අහිමි වී සිටි අතර, මියගිය හෝ අතුරුදහන් වූවන්ගේ ප‍්‍රමාණය අතිවිශාල විය. අත්අඩංගුවේ රඳවාගෙන සිටි පිරිස් අතර වැඩි දෙනෙකුට අධිකරණ ක‍්‍රියාමාර්ග ඇරඹී තිබුණේ නැත. මේ තත්ත්වය තුළ ආණ්ඩුව තව දුරටත් අර්ධ මිලිටරි පාලනයක් පවත්වාගෙන ගිය අතර, ජනතාව බලවත් සේ පීඩාවට පත්ව සිටියහ. මේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ අතපෙවීම්වලටද වාසිදායක වටපිටාවක් නිර්මාණය කළේ ය.

යුද්ධය නිම වී කෙටි කාලයක් තුළ එනම් 2009 මැයි 27 දා ලංකාව පිළිබඳ යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් විය. ත‍්‍රස්තවාදය අවසන් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රශංසා කළ එකී යෝජනාව කල් පවතින සාමයක් ඇති කිරීම සඳහා වාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම ඇතුළු ප‍්‍රතිසංස්කරණ සිදු කොට ලංකාව ඉදිරියට ගමන් කළ යුතු බව යෝජනා කළේ ය. මෙය මානව හිමිකම් කවුන්සිලයේ බහුතර ඡන්දයෙන් සම්මත විය. එවකට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිත ලෙස කි‍්‍රයා කළ දයාන් ජයතිලක මෙම යෝජනාව හැඳින්වූයේ ” ශී‍්‍ර ලංකාව ලැබූ රාජ්‍ය තාන්ති‍්‍රක ජයග‍්‍රහණයක්” ලෙසය.

මේ අතර යුද්ධය අවසන් වූ පසු එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ශී‍්‍ර ලංකාවේ සංචාරයක නියුක්ත විය. එම සංචාරය අවසානයේ බෑන් කී මූන් සහ හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළහ. එම ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් ලංකා ආණ්ඩුව

1. යුද්ධයෙන් අවතැන් වූවන් කඩිනමින් පදිංචි කරන බවටත්,
2. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවත්,
3. යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් හඳුන්වා දෙන බවටත්,
ප‍්‍රකාශ කළේ ය.

පෙර සඳහන් කර ඇති පරිදි යුද්ධය අවසන් වීමත් සමඟ ම එක්සත් ජාතීන්ගේ මහාලේකම් බෑන් කී මූන් මහතා ශී‍්‍ර ලංකාවට පැමිණ යුද්ධයේ දී ජාත්‍යන්තර මනව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදී නීතිය උල්ලංඝනය කිරීමක් සිදු වූවා ද යන්න සොයා බැලිය යුතු යැයි ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාගේ ද එකගත්වය මත ප‍්‍රකාශයක් නිකුත් කළ ද, එවැනි සොයාබැලීමක් කිරීමට ආණ්ඩුව පැත්තෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා බව පෙනී ගිය නිසාවෙන් මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධව තමන්ට විශේෂඥ උපදෙස් ලබා ගැනීම උදෙසා කමිටුවක් පත් කරන ලදී. ‘දරුස්මාන්’ කමිටුව’ ලෙස හැඳින්වූයේ එයයි.

දරුස්මාන් කොමිසම

එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් බෑංකි මූන් විසින් තමාට උපදෙස් ලබා ගැනීම සඳහා මෙම තී‍්‍ර පුද්ගල කොමිසම පත් කර තිබේ. පුද්ගලයන් 2,300කගෙන් සාක්ෂි 4,000ක් ලබාගෙන මෙම විමර්ශනය සිදු කළ බව සඳහන් වේ. එය නිකුත් කළ වාර්තාව මගින් මානුෂවාදී නීති උල්ලංඝනයට අදාළව ශී‍්‍ර ලංකා ආණ්ඩුවට කරුණු පහක් මත ද, එල්.ටී.ටී.ඊ. සංවිධානයට කරුණු හයක් මත ද චෝදනා ගොනු කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි පවතින බව ප‍්‍රකාශ විය.

ආණ්ඩුවට එරෙහි කරුණු

I. පොකුරු ෂෙල් වෙඩිවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම.
II. රෝහල් ඇතුළු තහනම් ඉලක්කවලට ෂෙල්වෙඩි එල්ල කිරීම.
III. මානුෂවාදී ආධාර උපකාර ප‍්‍රතික්‍ෂේප කිරීම.
IV. අවතැන් වූවන් හට, එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට හා ගැටුමෙන් දිවි ගලවා ගත් අයට හිංසා කිරීම.
V. මාධ්‍යයට සහ ආණ්ඩු විරෝධීන් හට හිංසා කිරීම, ඝාතන සිදු කිරීම.

එල්.ටී.ටී.ඊ.යට එරෙහි කරුණු

I. සිවිල් ජනතාව පළිහක් ලෙස භාවිතා කිරීම.
II. එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශවලින් පලා යන සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම.
III. සිවිල් පුරවැසියන් අතර සිට අවි ආයුධ භාවිත කිරීම හා ප‍්‍රහාර එල්ල කිරීම.
IV. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම.
V. යුදමය කටයුතු සඳහා සිවිල් පුරවැසියන් බලහත්කාරයෙන් යොදා ගැනීම.
VI. මරාගෙන මැරෙන ප‍්‍රහාර මගින් සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම.

උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව – LLRC

මෙම කොමිෂන් සභාව පිහිටුවීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට සිදුවූයේ ඇයි ද යන්න තේරුම් ගැනීම වැදගත් ය. පෙර සඳහන් කර ඇති පරිදි යුද්ධය අවසන් වීමත් සමගම එක්සත් ජාතීන්ගේ මහාලේකම් බෑන් කී මූන් මහතා ශී‍්‍ර ලංකාවට පැමිණ යුද්ධයේ දී ජාත්‍යන්තර මනව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදී නීතිය උල්ලංඝනය කිරීමක් සිදු වූවාද යන්න සොයා බැලිය යුතු යැයි ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාගේ ද එකගත්වය මත ප‍්‍රකාශයක් නිකුත් කළ ද, එවැනි සොයාබැලීමක් කිරීමට ආණ්ඩුව පැත්තෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා බව පෙනී ගිය නිසාවෙන් මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධව තමන්ට විශේෂඥ උපදෙස් ලබා ගැනීම උදෙසා කමිටුවක් පත් කරන ලදී. ‘දරුස්මාන්’ කමිටුව’ ලෙස හැඳින්වූයේ එයයි. මෙම කමිටුව පත් කිරීමත් සමඟම එහි ඇති බැරෑරුම්කම තේරුම් ගත් ශී‍්‍ර ලංකා විධායකය දේශීය වශයෙන් පරීක්ෂණයක් කොට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා LLRC හෙවත් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් පත් කළ බව නොරහසකි. එම නිසා ම ජාත්‍යන්තරව මතු වන පීඩනයන්ගෙන් මිදීම සඳහා මෙය පත් කළ බව පෙනී යයි.

ඒ අනුව 2010 නොවැම්බර් 03 දී ශී‍්‍ර ලංකා ජනාධිපති විසින් පහත සඳහන් සාමාජිකයන්ගෙන් යුත් කොමිෂන් සභාව පත් කරන ලදී.

ජනාධිපති නීතිඥ චන්න රන්ජන් ද සිල්වා මහතා (සභාපති – විශ‍්‍රාමලත් නීතිපති)
1. ජනාධිපති නීතිඥ ආචාර්ය අම්රින් රෝහන් පෙරේරා මහතා (විදේශ අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක)
2. මහාචාර්ය මොහොමඞ් තාහීර් මොහොමඞ් ජිෆ්රි මහතා
3. මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා (ලාස්වේගාස්හි නොවාඩා විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්ති අංශයේ මහාචාර්ය)
4. චන්දිරිපාල් චන්මුගම් මහතා (හිටපු භාණ්ඩාගාර ලේකම්)
5. හේවා මාතරගමගේ සිරිපාල පලිහක්කාර මහතා (විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම්)
6. මනෝහාරී රාමනාදන් මහත්මිය (හිටපු නියෝජ්‍ය කෙටුම්පත් සම්පාදක)
7. මැක්ස්වෙල් පරාක‍්‍රම පරණගම මහතා (හිටපු මහාධිකරණ විනිසුරු බදු ඔම්බුඞ්ස්මන්)
8. නීතිඥ එම්. ටී. එම්. බාෂික් මහතා

කොමිසමේ නිර්දේශ විශාල ප‍්‍රමාණයක් පැවතිණි. ඉන් ප‍්‍රමාණයක් සැකෙවින් මෙසේ ය:
– අවතැන් වූ ජනතාව සඳහා නිවාස පහසුකම් සලසා දීම.
– ජන ජීවිත නඟාසිටුවීමට ප‍්‍රජා සංවර්ධන වැඩවලට සිවිල් සංවිධාන දිරිගැන්වීම.
– ශ‍්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමති ඉන්දියාවේ ජීවත් වන අවතැන් වූවන්ට පහසුකම් සලසා දීම.
– ජීවනෝපායයන් ගොඩනඟා ගැනීමට රජය සෘජු වැඩපිළිවෙළක් ඇරඹීම.
– යුද වකවානුවේ ජනතාව පළවා හැරීම් පිළිබඳ නිවැරැුදි තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සංයමයෙන් යුතුව ක‍්‍රියාත්මක කිරීම.
– විනාශ වී ඇති පොදු ස්ථාන ගොඩනැඟීමේ ක්‍ෂණික පියවර ගැනීම.

2012 මාර්තු මාසයේ දී ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ගෙන එනු ලැබූ යෝජනාවක් සම්මත විය. මෙමඟින් යුද්ධයෙන් පසු පත් කළ ‘උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම’ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිනු ලැබී ය.

කෙසේ වෙතත් මෙම යෝජනා සම්මත වීමෙන් පසුව ද, ශී‍්‍ර ලංකාව තුළ දිගින් දිගට ම සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්, ජාත්‍යන්තර තලයේදී ද විශේෂ කතාබහට ලක් විය. එහි දී අතුරුදහන් කිරීම්, වධ හිංසාවන්, රඳවා තබා ගැනීම්, මාධ්‍ය මර්දනය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වයට ඇති තර්ජන පිළිබඳව ද ඉතා දැඩි අවධානයක් යොමු විය.

2013 වසරේ මාර්තු මාසයේ දී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරයේ දී ඇමෙරිකාව ඇතුළු රාජ්‍යයන් 32ක් විසින් ශී‍්‍ර ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලින් ද ශී‍්‍ර ලංකාව පරාජයට පත් විය. ඇමෙරිකානු යෝජනාවට පක්ෂව ඡන්ද 25ක් ලැබූ අතර විපක්ෂව ලැබුණේ ඡුන්ද 13ක් පමණි. ඡන්දය දීමෙන් රටවල් 8ක් වැළැකිණි.

මැක්ස්වෙල් පරණගම කොමිසම (2013)

යුද සමයේ අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සහ යුද්ධයේ අවසන් කාලය වූ 2009 ජනවාරි මාසයේ සිට 2009 මැයි මස 18 දක්වා වු කාලවකවානුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ යුද හමුදාව යන දෙපක්ෂයෙන් ජාත්‍යන්තර නීති සහ මානව හිමිකම් කඩ වී තිබේ දැයි සොයා බැලීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ සහභාගිත්වයෙන් 2013 දී මෙම කොමිසම පත් කරන ලදී. සෙසු සාමාජිකයන් වූයේ

සුරංජනා විද්‍යාරත්න,
මනෝ රාමනාදන්
ඩබ්.ඩබ්.ඒ.ටී.රත්නායක
එච්. සුමනපාල
යන අය ය.

අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි 2,000ක් පමණ කොමිසමට ලැබී තිබූ අතර, ඉන් අඩක් පමණ විමර්ශනය කර අතුරු වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලදී. ඒ සමඟ ම ඒ සම්බන්ධ නිර්දේශ 11ක් ද ඉදිරිපත් කර ඇත.

අතුරුදන් වූවන් පිළිබඳව ඉදිරිපත් කළ පරණගම කොමිෂන් සභාවේ වාර්තාවේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කළ යුතු නිර්දේශ 11ක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව,

1. අතුරුදහන් වූවන් සහ පැහැර ගැනීමට ලක් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා නෛතික යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කළ යුතු ය.
2. අංක 6/1722/1260/020 දරන නැවත පදිංචි කිරීමේ සහ සහන සේවා අමාත්‍යාංශ චක‍්‍රලේඛය අනුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දිය යුතු ය.
3. අතුරුදහන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය සමාජ සංවර්ධන කි‍්‍රයාවලියක් සකස් කළ යුතු වන අතර, ඔවුන්ගේ මානසිකත්වය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා උපදේශන සේවා සැලසිය යුතු ය.
4. අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. කි‍්‍රයාකාරිකයන් සම්බන්ධ නඩු කඩිනම් කළ යුතු ය.
5. මායිම් ගම්මානවල එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බැට කෑ සිංහල ජනයාගේ විදුලිය, පානීය ජලය, මහා මාර්ග සහ පාසල් වැනි මූලික අවශ්‍යතා සපයා දිය යුතු ය.
6. විමර්ශන කණ්ඩායමේ වාර්තාවලට අනුව මානව හිමිකම් කඩ කළ පුද්ගලයන්ට හෝ සංවිධානවලට හෝ එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු ය.
7. තවමත් සරණාගත කඳවුරුවල සිටින ජනතාව වෙනුවෙන් නිවාස සහ වෙනත් පහසුකම් කඩිනමින් ලබා දිය යුතු ය.
8. පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විසඳිය යුතු ය.
9. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම මඟින් යෝජිත උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක විදේශ අරමුදල් ව්‍යාපෘති වැඩිදියුණු කිරීම.
10. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ තොරතුරු සැපයුම් මධ්‍යස්ථාන සෑම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයක ම ස්ථාපනය කිරීම.
11. කී‍්‍රඩා, සංස්කෘතික කටයුතු හා වාණිජ කටයුතු වර්ධනය කිරීම මඟින් උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාව අතර විශ්වාසය, සාමය හා සමඟිය ඇති කිරීමට කටයුතු කිරීම.

යන කරුණු එම නිර්දේශවලට ඇතුළත් ය.

යුද අපරාධ සිදුවී ඇති බව හෝ ඒවා සනාථ වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් නොවේ. යුද්ධයට පරිබාහිර වෙනත් අපරාධ සිදු වී ඇති බව වාර්තා වී ඇති බව කියා තිබේ. එල්.ටී.ටී.ඊ.ය විසින් සිවිල් වැසියන් රඳවා ගැනීම හා ඔවුන්ට අවි ලබා දීම ගැනත්, පළා යාමට තැත් කළ අය ඝාතනය කර ඇති බවත් කොමිසමට වාර්තා වී ඇත. එසේ ම දරුස්මාන් කොමිසම කියන පරිදි යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 40,000ක් මිය ගොස් ඇතැයි කීම පදනම් විරහිත බව ද, සැබෑ ලෙස ම මියගිය සංඛ්‍යාව 7000-7500ත් අතර ප‍්‍රමාණයක් බව ද කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම් වැඩි වීම

2013 වර්ෂයේ දී සම්මත කළ එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්බන්ධයෙන් ද ශී‍්‍ර ලංකා ආණ්ඩුව දැක් වූ ප‍්‍රතිචාරය වූයේ ඒවාට විරුද්ධ බව ප‍්‍රකාශ කිරීමයි. එහෙත්, ඒ අතර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වටපිටාව තව තවත් ආණ්ඩුව විසින් වැඩි කරන ලදී.

2014 වසරේ ශී‍්‍ර ලංකාව පිළිබඳ තරමක දැඩි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන්නේ මේ තත්ත්වය තුළ ය. එමඟින් මානව හිමිකම කඩවීම් පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුව පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් කළ යුතු බවත්, එසේ කරන තුරු ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ප‍්‍රකාශ විය. ඒ අනුව එම පරීක්ෂණය පැවැත්වීම මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට භාර දෙනු ලැබී ය. ඒ අනුව පැවැත්වුණු පරීක්ෂණයේ වාර්තාව 2015 මාර්තු මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත්, 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමඟ සිදු වූ බල පෙරළිය සම්බන්ධ තත්ත්වය නිසා මෙම වාර්තාව ඉදිරිපත් වූයේ 2015 සැප්තැම්බර් පැවති සැසිවාරයට ය.

මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කරන ජෝර්දානයේ හුසේන් රජුගේ පුත්, සෙයිද් රාද් හුසේන් සැප්තැම්බර් 16 දා වාර්තාව ඉදිරිපත් කරන ලදී. සාක්ෂිකරුවන් 3,000ක ගෙන් සාක්ෂි විමසූ බව ප‍්‍රකාශ වූ අතර, ඔවුන්ව 2030 වන තෙක් හෙළිදරවු නොකරන බව ද ප‍්‍රකාශ විය. වාර්තාව මගින් මතු කළ ප‍්‍රධාන කරුණු ලෙස

මිනී මැරීම්
ලිංගික හිංසන
අතුරුදහන් කිරීම්
සාමාන්‍ය ජනතාවට හා පොදු ස්ථානවලට පහර දීම්
මානුෂීය ආධාර වැළැක්වීම
කුරිරු වධ හිංසා
ළමා හමුදා හා පැහැර ගැනීම්

යන කරුණු මතු කර තිබිණි. වාර්තාවේ නිර්දේශ ලෙස, ‘හයිබි‍්‍රඞ්’ හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටු වීමටත්, ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත විමර්ශනයක් සිදු කිරීමටත් යෝජනා කරන ලදී.

මෙකී එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධව ලංකාව පළ කරන ලද එකගතා පහත පරිදි ය:

1. එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ 25/1 දරන සම්මුතිය අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගැනීම හා නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට එකග වීම.
2. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
3. ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක වීම පිළිබඳ මහකොමසාරිස්වරයාගේ අගැයීමට ලක් කිරීමට එකග වීම.
4. විමර්ශනය සඳහා විදේශීය විනිසුරන්, නීතිඥවරුන් හා අභිචෝදකයන්ගෙන් යුත් අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම.
5. පළාත් සභාවලට බලය පැවරීම හෙවත් 13 වන සංශෝධනය බලාත්මක කිරීම.
6. මහජන ආරක්ෂක පනත සංශෝධනය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.