නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය

economy_converted
අධිරාජ්‍යවාදය: ආර්ථිකය ග‍්‍රහණයට ගෙන
April 27, 2017
A_1971_JVP_Insurrection_URT_converted
අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිගත් නැගිටීම
April 27, 2017
Show all

නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය

Democracy-Does-Not-Equal-Freedom-2

අධිරාජ්‍යවාදීනුත් ධනේශ්වර පංතියත් ධනේශ්වර පංතිය වෙනුවෙන් මත පළකරන දේශපාලන න්‍යායවාදීනුත් සමාජවාදය වෙත එල්ල කරන චෝදනා අතර ප‍්‍රධාන චෝදනාව වන්නේ, සමාජවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස අහිමි බවය. මෙම මිත්‍යාව ධනේශ්වර ඒකාධිපති ආණ්ඩු පවත්වාගෙන යන, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළ දමා ඇති රටවල පවා පතුරුවමින් සිටිති. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු කුමක්ද යන්නත් ධනපති ක‍්‍රමය තුළ එහි භාවිතය පිළිබඳවත් අවබෝධය සහිතවම ධනපති පංතියේ මෙම චෝදනා පිළිබඳවත් සමාජවාදය හා නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳවත් විමසා බැලිය යුතුය.

-පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්-

ධනවාදී සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනය හුදකලාව පාවිච්චි කළද ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැමති සංකල්පය පොදු එකක් ලෙස සැලකුවද සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය සංකල්පයකි. එය පංති සමාජය තුළ නිර්මාණය වී ධනපති ක‍්‍රමය සමඟ කරළිගත වූවකි. අපට ලෝකය තුළ දැකිය හැකි වන්නේ පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පමණි. පංතිමය නොවන, පොදු, ‘පිරිසිදු’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන පංති සමාජය තුළ කථාකිරීම මිත්‍යාවකි. පංති සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එක් පංතියක් විසින් තවත් පංතියක් පීඩාවට පත් කරමින් පාලනය කිරීමේ පාලන ආකාරයකි. සෝවියට් සමාජවාදී සමාජ විප්ලවයෙන් පසු කාල් කෞට්ස්කිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විවේචනයන්ට පිළිතුරු දෙමින් ලෙනින් මෙසේ පවසා තිබේ.

”අපි සාමාන්‍ය බුද්ධියට හා ඉතිහාසයට අවමාන නොකරමු නම් විවිධ පංති පවතින තාක්කල් අපට ‘පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ගැන කථා කළ නොහැකි බව පැහැදිලි කරුණකි. අපට පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කළ හැක. (‘පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වූ කලී පංති අරගලය හා රාජ්‍යයේ සන්ධාරය යන දෙකම ගැන නොදැනුම හෙළිදරව් කරන මෝඩ පාඨයකි. එපමණක් නොව කොමියුනිස්ට් සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස්වීමේ හා පුරුද්දක් බවට පත්වීමේ ක්‍රියාදාමයේදී හැකිළී යනු මිස ‘පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ බවට කිසි ලෙසකත් පත් නොවනු ඇති හෙයින් එය තුන් වරක්ම පුහු පාඨයක් වන බවද අමතර වශයෙන් කියමු)
ලෙනින්-තෝරාගත් කෘති 9 වෙළුම, 22-23 පිටු

-පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්-

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොදු ජනතාවගේ මනස තුළ තැන්පත්ව ඇති, නැත්නම් ධනපති ක‍්‍රමය විසින් තැන්පත් කර ඇති ආකාරය නිසා බොහෝ දෙනා එය ඉතාම සාධාරණ හා අති පිරිසිදු සංකල්පයක් ලෙස සලකති. ඒ නිසාම නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කිරීමත් එය වටහා ගැනීමත් හැඟීම් මත නොව දේශපාලන විද්‍යාවේ සත්‍යමය කරුණු මත සිදුකළ යුතුව තිබේ. ලෙනින් පැහැදිලිව සඳහන් කළ පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු රාජ්‍ය ආකරයකි. 1917 අප්‍රේල්වල ලෙනින් ඉදිරිපත් කළ අප්‍රේල් තිසීසයේ පක්‍ෂයේ පැරණි නම වූ ”සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂය” යන්න වෙනස් කොට කොමියුනිස්ට් පක්‍ෂය බවට පත්කළ යුතුය යන යෝජනාව ගැන ලෙනින් මෙසේ කියයි.

”අප පක්‍ෂයේ නමෙහි (සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී) දෙවන කොටසද විද්‍යාත්මක වශයෙන් වැරදිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු රාජ්‍ය ආකෘතියක් වන අතර මාක්ස්වාදීන් වන අපි සෑම වර්ගයකම රාජ්‍ය ආකාරයන්ට විරුද්ධ වන්නෙමු’’
ලෙනින් තෝරාගත් කෘති 5 වෙළුම, 64 පිටුව

මේ අනුව ඉතාම පැහැදිලි කරුණ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු රාජ්‍ය ආකාරයක් බවය. ඒ අනුව ධනවාදය තුළ පවතින්නේ ධනේශ්වර රාජ්‍ය ආකාරයක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එනම් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. රාජ්‍ය ලෙස ගත්විට සෑම රාජ්‍යයක්ම කිසියම් පංතියක පංති පීඩක උපකරණයකි. බලහත්කාරී යන්ත‍්‍රයකි. ඒ අනුව ධනපති රාජ්‍යයේ අරමුණ ප‍්‍රාග්ධනය වෙනුවෙන් ශ‍්‍රමය සූරාකෑමට උදව් කිරීමය. එය ආරක්‍ෂා කිරීමය. ධනේශ්වර රාජ්‍යය යනු ධනපති පංතියේ සුළුතරයක් වෙනුවෙන් බහුතරයක් පීඩිත පංතිය පාලන කරමින් පාගා සිටිමින් සූරාකෑමය. එවිට ධනවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසාන විග‍්‍රහයේදී ධනපති සුළුතරයකගේ පංති අරමුණු බහුතරයක් පීඩිතයන් මත පටවන බහුතරයට එරෙහි සුළුතරයේ පාලනයකි.

ධනපති රාජ්‍යයන් තුළ නිදහස, සමානතාවය, සර්වජන ඡන්ද බලය, ලිවීමේ, කථා කිරීමේ නිදහස ආදිය මතුපිටින් තිබුණද ඒවා පවතින්නේ මායාවන් ලෙසය. එය සීතාම්බර සළුව මෙනි. පීඩිත ජනතාවගේ පැත්තෙන් ධනපති පාලනයට හෝ ප‍්‍රාග්ධනයට එරෙහිව එල්ලවන ඕනෑම සාධාරණ අරගලයකදී පවා ධනපති රාජ්‍යය වහාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අකුළා දමමින් මර්දනකාරිත්වය අතට ගන්නා හැටි ලොව පුරා ඉතිහාසයක් පුරා ජනතාව අත්විඳ ඇත. ඒ නිසා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඊට පෙර පැවති වැඩවසම් අත්තනෝමතිකත්වයට සාපේක්‍ෂව ඉදිරි පියවරක් වුවත් එය පිරිසිදු, අපංතික, සර්වසම්පූර්ණ එකක් නොව පංතිමය එකක් වේ. ජනතාවගේ පැත්තෙන් මතුවන අරගලවලදී සාමාන්‍ය නීතිය අක‍්‍රීය කොට විශේෂ නීති පැනවීමේ ඉඩ කඩ ඇතුළත්කර නොගත් කිසිදු ධනේශ්වර ව්‍යවස්ථාවක් නොමැත. ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනපති රටවල පවා මෙය පවතී.

-නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය-

ඉහත පරම සත්‍යය මත පිහිටා බලන කල නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයද රාජ්‍ය ආකාරයකි. එය සමාජවාදී රජය හෙවත් ධනවාදයේ සිට කොමියුනිස්ට්වාදයට සංක‍්‍රමණය වන සංක‍්‍රමණීය යුගයේ රාජ්‍යයේ රාජ්‍ය ආකාරය වේ. එවිට එයද ‘අති පිරිසිදු’ වන්නේ නැත. එහෙත් නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාද ධනපති පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා දස දහස් ගුණයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන බව පමණක් අවධාරණය කළ යුතුය. එය එසේ වන්නේ කෙසේද? ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ අර්ථය මීට පෙරද අප තහවුරු කළ පරිදි ධනපති පංතියේ සුළුතරය වෙනුවෙන් නිර්ධන පංතියේ බහුතරය පාගා යටපත් කර සිටීමකි. එවිට එය සුළුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක් මූලධර්මයක් වන්නේ ‘බහුතරයේ කැමැත්ත’ යන්නය. එම අර්ථයෙන් ගත්විට ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ නොවේ. මන්ද එය බහුතරයට එරෙහිව සුළුතරයේ (ධනපංති පංතියේ) කැමැත්ත ක්‍රියාවේ යොදවන නිසාය.

එහෙත් සමාජවාදය තුළ පවතින නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේ. ඒ එය සමාජයේ බහුතරයක් වූ නිර්ධන පංතියේ පංති වුවමනාවන් නියෝජනය කරන නිසාය. බහුතර ජනතාවක් වූ නිර්ධන පංතියේ වුවමනාවන් වෙනුවෙන් සුළුතරයක් වූ ප‍්‍රාග්ධනය හිමි ධනපති පංතිය පාලනය කරන නිසාය. පොදු ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වන්නේ, සමාජවාදය තුළ පවතින නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මේ පිළිබඳව ලෙනින් මෙසේ පවසා තිබේ.

”නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා දශ ලක්‍ෂවාරයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේ. සෝවියට් බලය ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනපති සමූහාණ්ඩුවට වඩා දශලක්‍ෂ වාරයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේ. මෙය නොදන්නා කෙනෙක් වෙතොත්, හේ වුවමනාවෙන්ම ධනපති පංතියට සේවය කරන අයෙකි. නැතහොත්, පුස්කෑ ධනපති පොත්වලින් මුහුණ වසාගෙන සිටින, සැබෑ ජීවිතය දැකීමට අපොහොසත් වන හා දේශපාලන වශයෙන් මැරී ගිය දර කෝටුවක් මෙන් ජීවයෙන් තොර අයෙකි. ඔහු ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී දුර්මතයන්ගෙන් පිරී ඉතිරී ගිය නිසා වාස්තවික වශයෙන් ධනපති පංතියේ අතවැස්සකු බවට පත් පුද්ගලයෙකි.”
ලෙනින් තෝරාගත් කෘති-9 වෙළුම, 29-30 පිටු

-නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ භාවිතාව-

නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා කොතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදීද යන්න ධනපති රටවල හා සමාජවාදී රටවල භාවිතයෙන්ම තේරුම්ගත හැක. 1917 දී බිහිවූ සමාජවාදී සෝවියට් දේශය ලොව ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවදී යයි කියනු ලැබූ ධනපති රාජ්‍යයටත් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය. ධනවාදය තුළ මායාවන් බවට හා සංකල්ප පමණක් බවට පත්ව තිබූ, බොහෝ දේ සමාජවාදය සිය නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් ජනතාවට ලබා දුන්නේය. ඒ ගැන ලෙනින් වරක් පැවසූවේ මෙසේය.

”ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සෑම තැනදීම සහ සෑම විටදීම පොරොන්දු වූ එහෙත් ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය නිසා එයට කිසි කලෙකත් ඇතිකළ නුහුනු, ලිංග භේදය, ආගම, වර්ගය, නැතහොත් ජාතිය නොතකන පුරවැසි සමානත්වය, සෝවියට් ක‍්‍රමය නැතහොත් නිර්ධන පංති ආඥාදායකත්වය විසින් වහාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනු ලැබේ. ඇත්ත වශයෙන්ම එය ක්‍රියාත්මක කළ හැකි වන්නේ නිෂ්පාදන මාධ්‍යයන් පුද්ගලික වශයෙන් හිමිව තබා ගැනීමේ හා ඒවා බෙදාගැනීමට හා නැවත බෙදාගැනීමට සටන් කිරීමේ වුවමනාවක් නැති, කම්කරුවන්ගේ ආණ්ඩුවක් විසින් පමණි’’
ලෙනින් තෝරාගත් කෘති 9 වෙළුම, 128 පිටුව

වර්තමාන ලෝකය තුළද මේ අත්දැකීම දැකිය හැක. ඕනෑම රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවවස්ථාව යනු එම රටේ මූලික නීතිය වේ. සමස්ත ජනතාවම පාලනය වන්නේ ඒ මගින් නිසා රටක මූලික නීතිය සකස්කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරය වන්නේ පොදු ජනතාවගේ අදහස් යෝජනා මත එය සකස් කිරීමත් පොදු ජනතාවගේ කැමැත්තෙන් එය සම්මත කිරීමත්ය. එහෙත් ධනවාදී කිසිදු රටක සිදු නොවන්නේද එයයි. ”කිසියම් යුගයක පවතින නීතිය වූකලී එම යුගයේ පාලක පංතියේ කැමැත්ත වන්නේය.” යන සුප‍්‍රසිද්ධ කියමන යළි යළිත් සනාථ කිරමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලංකාව දක්වා සෑම ධනපති ආණ්ඩුවක්ම තම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කරන්නේත් අනුමත කරන්නේත් සංශෝධනය කරන්නේත් පොදු ජනතා අදහස්වලට ගරු කරමින් ඊට අවස්ථාව ලබා දෙමින් නොව ධනපති ආණ්ඩුවල පාලකයින්ගේ හිතුවක්කාරී අත්තනෝමතික වුවමනාව අනුවය.

ජනතාවට එරෙහිව අත්තනෝමතික ලෙස සම්මත කරගන්නා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව්‍යවස්ථාවන් ඔවුන් හඳුන්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා ලෙසය. ලංකාවේදී එය ‘ප‍්‍රජාතන්ත්‍රික සමාජවාදීය‘ එහෙත් මෙම වංචාවට අභියෝග කරනු ලැබූයේ සමාජවාදී කියුබාවය. පසුගියදා කියුබාව තම සමාජාවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ අතර ඒ සඳහා මුළු රටේ සියලූම ජනයා සම්බන්ධ කරගත්තේය. ඔවුන්ගෙන් යෝජනා ගත්තේය. සාකච්ඡා දහස් ගණනක් තුළ සාකච්ඡා කළේය. ජනතාවගේ යෝජනා හා අදහස් එකතු කරමින් ව්‍යවස්ථා සංශෝධන කළේය. මේ පිළිබඳව ගම් මට්ටමින්, වැඩබිම් මට්ටමින් පැවැත්වූ සාකච්ඡාවලට ලක්ෂ 89ක ජනතාවක් සහභාගි වූහ. (කියුබාවේ ජනගහනය ලක්ෂ 112කි.) එකී රැස්වීම්වලදී යෝජනා 3 95,000ක් ඉදිරිපත්ව තිබිණි. අවසන් යෝජනා සකස් කෙරුණේ මේ සියලූ යෝජනා සලකා බලමිනි. එමගින් එක්සත් ජනපදයේ තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා කියුබාවේ නිර්ධනපංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය දශ ලක්‍ෂ වාරයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව භාවිතයෙන් පෙන්වීය. එහෙත් අධිරාජ්‍යවාදීන්ට අනුව, එක්සත් ජනපදයට අනුව කියුබාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති රටකි! ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර මිත්‍යාවේ හා යථාර්ථයේ වෙනස එසේය.

-නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතය-

මාක්ස්වාදී ඉගැන්වීම්වලට අනුව සමාජවාදී රාජ්‍යය යනු ලොව අවසන් රාජ්‍ය ආකාරය වේ. ඉන් පසු ලෝකය පය තබන්නේ පංති රහිත, රාජ්‍යය රහිත, බලහත්කාරය රහිත කොමියුනිස්ට් සමාජය වෙතය. එවිට එහිදී සමාජවාදී රාජ්‍යය හැකිළී යන අතර ඊට සාපේක්‍ෂව නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයද හැකිළී ගොස් බලහත්කාරී පාලනයකින් තොරව සම්ප‍්‍රදායන්, රීතීන් හා අවබෝධයන් මත ජීවත්වන සැබෑ ජන සම්මතවාදී සමාජයක් නිර්මාණය වේ. පංති සමාජය තුළ රාජ්‍යයේ ආකාරයක් ලෙස බිහිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි ආරම්භක පටුම අවස්ථාව වූ ග්‍රීක සෘජු ප‍්‍රජාතන්ත‍්‍රයේ සිට (එහි වහලූන් මිනිසුන් ලෙස නොසලකන ලද බව මතක තබා ගන්න) වැඩවසම් අත්තනෝමතිකත්වය පරදවමින් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා මදක් පුළුල්වී එහි පුළුල්තම හා වචනයේ සැබෑ අර්ථයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූ නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස සමාජවාදී රාජ්‍යයේ ආකාරය හා සමපාතව ක්‍රියාත්මක වී පංති අහෝසිවන කොමියුනිස්ට්වාදයේදී අහෝසි වී යාමට නියමිතය. මෙය නිදහස හා මානව හිමිකම් අහිමිවීමක් නොව එය සීමා කිරීම්වලින් තොරව, බාධාවලින් තොරව, කප්පාදු කිරීමෙන් තොරව පොදුවේ සියලූ ජනයාගේ අයිතීන් බවට පත්වීමක් වන්නේය. සූරාකෑම් නැති, පංති සතුරුකම් නැති එනිසාම බලහත්කාරය නැති, හමුදා පොලීසි හිරගෙවල් නැති, අවි ආයුධ නැති සමාජයකදී තරම් මානව නිදහසත් මානව අයිතීනුත් රැකෙනුයේ අන් කුමන සමාජයකද?
එම සමාජය කරා ලොව ජනතාව පියවර තබනු ඇත්තේ, සමාජවාදය හරහා නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළය.

-සමාජවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය-

සමාජවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතැයි යන ධනපති ප‍්‍රචාරය සමාජවාදයට එරෙහිව ධනපති පංතිය නගන සාහසික බොරු අවලාදයන් මිස සත්‍යයක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයේදී ධනවාදය හා සමාජවාදය අතර වෙනසක් තිබේ. ඒ ධනපති පංතිය තම පංති අරමුණු හා පංති පාලනය සඟවමින් මානව සමාජයට පංතිමය නොවන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන බොරු කියද්දී සමාජවාදය තම පංති අරමුණු හා නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවය ගැන සත්‍යය පැවසීමය. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතරයක් පීඩිත පංති ජනයාට එරෙහි බලපවත්වන බලහත්කාරය වුවත්, ධනෙශ්වර පංති රාජ්‍යයේ ආකාරය වුවත් ධනපති පංතිය එය හෙළි නොකරයි. පිළි නොගනී. එහෙත් සමාජවාදය එසේ නොවේ. තම රාජ්‍යයේ පංති ස්වරූපය පිළිගන්නා එය ජනතාවට ඒ ගැන සත්‍යය පවසයි. නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ධනපති පංතියේ සූරාකෑමට ‘නිදහස’ නොදෙන බව පවසයි. ධනපති පංතිය නැවත බලයට පත්වීම සඳහා කරන කුමන්ත‍්‍රණවලට ‘නිදහස’ නොදෙන බව පවසයි. සමාජවාදයට එරෙහිව ධනපති පංතිය පතුරුවන අසත්‍ය ප‍්‍රචාර සඳහා ඉඩ නොදෙන බව පවසයි. ධනපති පංතිය සමාජවාදය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවන බවට අදෝනා නගන්නේ සැබැවින්ම අන් කිසිවක් නිසා නොව ධනපති සූරාකෑමට නිදහස අහිමිවන නිසාය. අවසාන වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයේදී අවධාරණය කරගත යුතු සත්‍යයන් වන්නේ, එය පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිවූයේම රාජ්‍ය ආකාරයක් ලෙස රජය නැමැති බලහත්කාරී පීඩක යන්ත‍්‍රය හා සම්බන්ධව ඊට සුමට ආවරණයක් සපයමින් බවත්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩවසම් අත්තනෝමතිකත්වයට සාපේක්‍ෂව ඉදිරි පියවරක් වුවද එයද පොහොසතුන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිස, සුළුතරය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිස බහුතර පීඩිත ජනයා සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි අර්ථයට අනුව බහුතරයේ කැමැත්ත ලෙස කි‍්‍රයාවට නැගෙන්නේද සමාජවාදය තුළ පමණක් බවත්, එය අන් කිසිවක් නොව නිර්ධනපංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවත්ය.