ණය උපකරණ හඳුනාගනිමු!

economic-growth2
සමාජවාදි ආර්ථීකයේ මධ්‍ය ලීවරය හා සමබරතාවය
April 27, 2017
Room 8
May 11, 2017
Show all

ණය උපකරණ හඳුනාගනිමු!

3d_shackled_debt

ශ්‍රී ලංකාව රටක් ලෙස කාලයක සිට ක්‍රියාත්මක වන්නේ මූල්‍ය අර්බුදයක් සහිතවය. එයට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ රජයේ වියදම රජයේ ආදායමට වඩා වැඩි වීමයි. මෙලෙස රජයේ වියදම ආදායමට වඩා වැඩි වීම නිසා අයවැය හිඟයක් ඇති වන අතර, මෙම අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට (ආණ්ඩුවට) ණය ගැනීමට සිදුවේ. ඒ අනුව රජය දේශීයව ණය ගැනීම සඳහා විවිධ මූල්‍ය උපක්‍රම භාවිතා කරන අතර ඒවා ප්‍රධාන ලෙස පහත පරිදි වර්ග කළ හැක.

1. භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills)
2. භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds)
3. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (Sri Lanka Developments Bonds)

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසර 03 (තුන) තුළ ඉහත ණය උපකරණ 03 යටතේ අයවැය හිඟය පියවීමට දේශීය ණය ලබා ගත් ආකාරය පහත පරිදි වේ.

img

ඒ අනුව රජය සෑම වසරක ම තම අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් මෙම උපකරණ යටතේ ණය ලබා ගන්නා අතර, ඒවා දේශීය ණය යටතේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණයට සෑම වසරක ම එකතු වේ. ඉහතින් සඳහන් කර ඇත්තේ අදාළ වසරේ ලබා ගත් ප්‍රමාණයයි. ඒ අනුව 2015 වසර වන විට ගෙවීමට නියමිත ඉහත ණය උපකරණ 03 හි වටිනාකම් පරිදි වේ. ඉහත සංඛ්‍යාලේඛනයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර මගින් ණය ලබා ගැනීමට රජය පෙළඹී ඇති අතර, එය 2014 වසරට සාපේක්ෂව සියයට 16ක ඉහළ යෑමකි. ඒ අතර සංවර්ධන බැඳුම්කර වටිනාකම සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එමඟින් පැහැදිලි වන්නේ රජය කෙටිකාලීන ණය උපක්‍රමවල සිට දිගුකාලීන ණය උපක්‍රම දක්වා මාරු වී ඇති බවයි. මෙම ණය උපකරණ ගැන අදහසක් ඇති කර ගැනීම එම නිසා වැදගත් වේ. ඉහත ණය උපකරණ සඳහා විදේශිකයන් සහභාගී වුව ද, මේවා දේශීය ණය යටතේ දැක්වීම විශේෂ ලක්ෂණයකි.

img

භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills)

භාණ්ඩාගාර බිල්පත් රජයේ ණය ගැනීමේ උපකරණයක් වන අතර, එය දේශීය ණය මුලාශ්‍ර යටතේ සඳහන් වේ. භාණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලැබේ. රජය ණය ලබා ගැනීම සඳහා මෙය භාවිත කරනුයේ කෙටීකාලීන ණය උපකරණයක් ලෙස ය. භාණ්ඩාගාර බිල්පත්වල කාලය දින 91, 182 සහ 364කි. 1923 අංක 08 දරන භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ අයවැය හිඟය පියවා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලැබේ. මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම මඟින් වෙන්දේසි මඟින් නිකුත් කරනු ලබන අතර, මෙය සාමාන්‍යයෙන් සතියකට වරක් සිදුවේ. එම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී පොලී අනුපාතයක් සඳහන් කරනු ලබන අතර, එම නිශ්චිත පොලී අනුපාතයට භාණ්ඩාගාර බිල්පත් හි අයෝජනය කරන්නන්ට ඉල්ලීමේ හැකියාව තිබේ. මෙය තනි පුද්ගලයින්ට හෝ ආයතනවලට සෘජුව කළ නොහැකි අතර ලියාපදිංචි වාණිජ බැංකු හරහා හෝ ලියාපදිංචි ප්‍රාථමික ගනුදෙනුකරුවන් (Primary Dealers) හරහා මේවා මිලදී ගත හැක. භාණ්ඩාගාර බිල්පතක සඳහන් මුහුණත වටිනාකමට වඩා අඩුවෙන් මුදල් ගෙවා මිලදී ගත හැකි අතර, බිල්පත කල්පිරුණු පසු අදාළ බිල් පතෙහි සඳහන් මුහුණත වටිනාකම ලබා ගත හැක. භාණ්ඩාගාර බිල්පත් ප්‍රථමයෙන් නිකුත් කරන අවස්ථාව ප්‍රාථමික ගනුදෙනු ලෙස සඳහන් වන අතර, එසේ සිදු වන ගනුදෙනු භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ප්‍රාථමික වෙළෙඳපොළ (Primary Market) ලෙස හඳුන්වයි. මෙලෙස ප්‍රාථමික වෙළෙඳපොළෙන් බිල්පත් මිලදී ගත් පුද්ගලයෙකුට තමන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙම භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට පෙර වෙනත් අයෙකුට විකිණය හැක. එය ද්විතීයික වෙළෙඳපොළ (Secondary Market) ලෙස හඳුන්වන අතර ඒ අනුව කලින් නිකුත් කළ බිල්පත් නැවතත් වෙළෙඳපොළේදී විකිණීමට භාජනය වීමක් සිදු විය හැක. මෙය සමාගම්වල කොටස් ගනුදෙනු හා සමාන වන අතර අතැති පුද්ගලයාට බිල්පත් කල් පිරෙන තෙක් ළඟ තබාගෙන කල් පිරුණු පසු මුදල් ලබා ගත හැක. උදාහරණ ලෙස රු.100.00ක වටිනාකම ඇති බිල්පත් නිකුත් කරනු ලබන්නේ රු. 95කට විය හැක. එවිට එහි සියයට 5ක පමණ පොලී අනුපාතයක් ඇතුළු වන අතර, ලබා ගත් තැනැත්තාට මෙම පොලිය කල් පිරීමේදී ලැබේ. ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සිදු කරනු ලබන්නේ මෙම අනුපාතය වෙනස් කර ගැනීම මඟිනි. උදාහරණ ලෙස ඉහත භාණ්ඩාගාර බිල්පත වසරක 01ක් යැයි උපකල්පනය කළ හොත්, එය මාස 06ක් ළඟ තබා ගත් පුද්ගලයාට ඒ වන විට එහි වටිනාකම රු. 97.50ක් වේ. ඔහුට අවශ්‍ය නම් රු. 97.50ට වඩා මිලකට මෙය විවෘත වෙළෙඳපොළෙහි අලෙවි කර මුදල් ලබා ගත හැක. මෙම මිල ආර්ථීකයේ පවතින පොලී අනුපාතයක් සමඟ තීරණය වේ. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ආයෝජකයන්ට වාසිදායක වන්නේ එයට බදු සහන ලැබීමත්, ආයෝජනය සඳහා රජයෙන් සහතිකයක් ලැබීමත් නිසා අවදානම (Risk Free) තත්ත්වයේ පවතින ආයෝජනයක් නිසාත්ය.

භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds)

මෑත කාලයේ මහත් කතාබහට ලක් වූ මාතෘකාවක් වූ භාණ්ඩාගාර බැඳුම්කර ඉහත භාණ්ඩාගාර බිල්පත්වලට සමානකමක් දරති. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේවා දිගුකාලීන ණය ලෙස ලබා ගැනීමයි. ඒ අනුව බැඳුම්කරවල කාලය වසර 02-30 වැනි කාලයන් සඳහා ඈතට දිව යයි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී ද අනුගමනය කරනු ලබන්නේ ඉහත ක්‍රියාවලිය ම වන අතර, එය ද ප්‍රසිද්ධ වෙන්දේසියක් මඟින් විකුණනු ලබන අතර, එය අවශ්‍යතාවය මත කරනු ලැබේ. එහිදී බැඳුම්කරයකට අදාළ සාමාන්‍ය පොලී අනුපාතයක් (Average Rate) ප්‍රකාශ කරනු ලබන අතර, ඒ අනුව අයෝජනයට කැමැති පුද්ගලයන්ට බලයලත් වාණිජ බැංකුවක් මඟින් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර මූල්‍ය ආයතනයක් හරහා ඉල්ලූම් කළ හැක. මෙම බැඳුම්කර නිකුත් කිරීම ද මහ බැංකුව මඟින් රජය වෙනුවෙන් සිදු කරනු ලබන අතර, ප්‍රකාශයට පත් කරනු ලබන ණය ප්‍රමාණය සඳහා ලංසු (Bid) කැඳවනු ලැබේ. උදාහරණ ලෙස රු. බිලියන 5ක බැදුම්කර සියයට 9ක පොලී අනුපාතයක් සහිතව නිකුත් කළ හැක. එවිට ඉල්ලූම්කරුවන් මෙම පොලී අනුපාතයට සාපේක්ෂව තමන් බලාපොරොත්තු වන පොලී අනුපාතයක් සඳහන් කර ඉහත බිලියන 05 සඳහා ලංසු ඉදිරිපත් කළ හැක. එහෙත්, මෙහිදී මහ බැංකුව මෙම සියයට 9 සීමාවට වඩා ඉහළ සීමාවක් (Cut Off) සිය අවශ්‍යතාවය මත තීරණය කළ හැක. බොහෝ විට මෙම සියයට 9 හෝ එයට වඩා පහළ මිලකට ඉල්ලූම් කරන අයට ඒවා ලැබීමේ සම්භාවිතාව වැඩි ය. එහෙත්, මෙම ඉහළ සීමාව ප්‍රසිද්ධ කරන්නේ නැත. මෙම බිලියන 05 ණය සීමාවට අදාළ ප්‍රමාණයට ඉල්ලූම් පත්‍ර නොලැබුණේ නම්, අනුපාතය ඉහළ දමා නැවතත් ටෙන්ඩර් කැඳවිය යුතු ය.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (Sri Lanka Development Bonds)

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද ඉහත බැඳුම්කරවලට සමාන වන අතර, මෙහි ඇති වෙනස වන්නේ එම බැඳුම්කර මිල දී ගන්නා පුද්ගලයන් ඒ සඳහා ගෙවීම් කළ යුත්තේ ඇමරිකානු ඩොලර්වලිනි. ඒ අනුව රජයට අවශ්‍ය විදේශ මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම බැඳුම්කර නිකුත් කිරීම කරනු ලබයි. මෙය ද දිගුකාලීන ණය උපකරණයකි.