කාන්තා විමුක්තිය ගැන – ලෙනින්

ukraine-is-the-center-of-the-most-serious-crisis-since-the-fall-of-the-soviet-union
අපරාධ නැති ලෝකයක්
April 27, 2017
crewmacculum_converted
කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ
April 27, 2017
Show all

කාන්තා විමුක්තිය ගැන – ලෙනින්

lenin_2_converted

කාන්තා විමුක්තිය පිළිබඳ හා සමාජවාදය ගොඩනැඟීමේ දී කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව ලෙනින් විසින් ලියන ලද ලිපි කීපයක් ද, ලෙනින් කාන්තා විමුක්තිය පිළිබඳව කළ කතා කීපයක් ද, ලෙනින් ගැන සිය මතක සටහන් ලියන ක්ලාරා සෙට්කින්ගේ ලිපියක් ද ඇතුළත් ‘ලෙනින් කාන්තා විමුක්තිය ගැන’ නම් කෘතිය සෝවියට් දේශයේ මුද්‍රණය කොට සිංහලට පරිවර්තනය කර තිබේ. මෙම කෘතියෙහි පෙරවදන ලෙනින්ගේ බිරිඳ හා කොමියුනිස්ට්වාදී කාන්තාවක් වූ කෲප්ස්කායා විසින් ලියා තිබේ.

වර්තමාන ධනවාදී සමාජය තුළ පවතින ඉතා සංකීර්ණ ප‍්‍රශ්නයක් අරභයා වන මාක්ස්වාදී විග‍්‍රහයක මූලිකාංග මේ කෘතිය තුළ දැකිය හැක. පන්ති සමාජය තුළ ඇති අන් හැම ප‍්‍රශ්නයක් මෙන් ම කාන්තාවගේ නිදහස පිළිබඳ ප‍්‍රශ්නය ද පන්තිමය දේශපාලනයෙන් වෙන් නොකොට ඒ තුළ තබා විසැඳිය යුතු බව මෙම පොත් පිංච අපට උගන්වයි. එසේ ම කාන්තාවගේ විමුක්තිය සඳහා පෙරමුණ ගත යුත්තේ කාන්තාව ම බව ද පවසන ලෙනින් ” කම්කරු විමුක්තිය කම්කරුවන් විසින් ම උදා කළ යුතු යැයි අපි කියමු. එසේ ම හරියට ම එයාකාරයෙන් ම වැඩ කරන කාන්තාවගේ විමුක්තිය උදා කරලීම වැඩ කරන කාන්තාවට ම භාර වූ කාරණයකි. ” (පිටුව 94)යි පවසයි. එහෙත්, එම සටන පුරුෂ විරෝධී එකක් හෝ විමුක්තිය පතා සටන් වදින අනෙකුත් සමාජ බලවේග යන්ගෙන් වියුක්ත වූවක් නොව නව ලොවක් සඳහා කරන සමස්ත අරගලයේ ම කොටසක් විය යුතු බව පෙන්වා දේ.

කාන්තාව මුහුණ දී ඇති සමාජ ගැටලූවේ හරය එංගල්ස්ගේ ඉගැන්වීම් ද පාදක කර ගනිමින්, විග‍්‍රහ කරන ලෙනින් කාන්තාව දෙවැනි පන්තියේ පුරවැසියකු හෝ ගෘහමය වහලියක වූයේ ඇය ඵලදායී සමාජමය කාර්යයන්ගෙන් වෙන් කර පටු පෞද්ගලික කි‍්‍රයාකාරීත්වයට පමණක් සමාජය විසින් සීමා කළ නිසා බව පෙන්වා දේ. ඒ නිසා ම ඇගේ විමුක්තිය නීති-රීති මඟින් පමණක් ස්ථාපිත කළ නොහැකි බවත්, ඒ සඳහා ඇය සමාජමය කර්මාන්තයට දායක කර ගත යුතු බවත්. දැනට පෞද්ගලික හා නොවැදගත් ලෙස පවතින ගේ-දොර වැඩකටයුතු ද සමාජමය කර්මාන්තයක් බවට පත් කළ යුතු බවත් පෙන්වා දේ. එහි දී ලෙනින් මෙසේ පවසයි.

” කාන්තාවට නිවසේ කිරීමට ඇති වැඩ හේතුකොටගෙන ඇය තවමත් දුෂ්කර තත්ත්වයක පසුවෙයි. ඇයට සම්පූර්ණ විමුක්තිය ලබා දීමට සහ ඇය පුරුෂයා හා සම තත්ත්වයට ගෙන ඒම කි‍්‍රයාත්මක කිරීමට ජාතික ආර්ථිකය සමාජවාදීකරණය කිරීමත්, කාන්තාවන් පොදු ඵලදායී ශ‍්‍රමයේ නිරත කරවීමත් අවශ්‍ය වේ. එවිට කාන්තාවන් පුරුෂයන්ගේ තත්ත්වය ම දරනු ඇත. ” (93 පිටුව).

ධනවාදය තුළ දී කාන්තා විමුක්තිය වැරැදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, ඒ නිසා ම කාන්තා විමුක්තිය ලෙස සුළු ධනේශ්වර වුවමනාවන් ඉදිරියට එන බවත් පෙන්වා දෙන ලෙනින් කාන්තා විමුක්තියේ නාමයෙන් එන ධනේශ්වර හා සුළු ධනේශ්වර වුවමනාවන් හා කි‍්‍රයාමාර්ගයන්ට අනුකම්පා විරහිතව පහර දේ. සමාජයේ වැරැදි ලෙස විග‍්‍රහ කර ඇති ලිංගිකත්වය පිළිබඳ ප‍්‍රශ්නය ලෙනින් කොමියුනිස්ට්වාදී ස්ථාවරයක සිට විග‍්‍රහ කරයි. ලෙනින් සමඟ කළ සංවාදයක් ඇතුළත් ක්ලාරා සෙට්කින්ගේ වාර්තාව මීට සාක්‍ෂි දරයි.

” ප්‍රොයිඞ්ගේ න්‍යාය දැන් පිස්සුවක් වී තිබෙනවා. ලිපි, පොත් පිංච හා සංග‍්‍රහ යනාදියෙන් ඉදිරිපත් කරන න්‍යායයන් කෙටියෙන් කියතොත්, ධනේශ්වර සමාජයේ පොහොර ගොඬේ ඉතාමත් සශී‍්‍රක ලෙස දලූලන එම විශේෂ සාහිත්‍යයට සම්බන්ධ න්‍යායයන් ගැන මට විශ්වාසයක් නැහැ. ඉන්දියානු මුනිවරයෙක් තම නාභිය දෙස බලාගෙන භාවනාවේ යෙදී සිටිනවා වගේ නිතර ම ලිංගික ප‍්‍රශ්නවල ම එල්බගෙන ඉන්න අය මා විශ්වාස කරන්නේ නැහැ (137 පිටුව) ඒ ලෙනින්ගේ වදන් ය.

කාන්තාවගේ විමුක්තිය පෞද්ගලික දේපළ සමඟ ප‍්‍රාග්ධනයේ සූරාකෑම සමඟ පවුලේ පෞද්ගලික ස්වරූපය සමඟ ගැට ගැසී ඇති බව පෙන්වා දෙන ලෙනින් එය වෙනස් කිරිම සඳහා නීති-රීති පැනවීම කළ යුතුවා මෙන් ම ප‍්‍රායෝගික පියවරයන් ද අවශ්‍ය බව පෙන්වා දේ. ” දෙවැනි හා ඉතාමත් වැදගත් පියවර නම් ඉඩම්වල හා කම්හල්වල පෞද්ගලික අයිතිය අහෝසි කිරීමයි. මෙය හා මෙය පමණක් ම කාන්තාවන්ගේ සම්පූර්ණ හා නියම විමුක්තිය දෙසට අවශේෂ පෞද්ගලික ගෙදර වැඩවල සිට මහා පරිමාණ සමාජවාදීකරණය කරන ලද ගෘහ සේවාවන් දක්වා පරිවර්තනය වීම මඟින් ඇය ‘ගෘහස්ථ වහල් භාවයෙන්’ නිදහස් කර ගැනීමට මාවත විවෘත කරයි .” (116 පිටුව).

සත්‍ය වශයෙන් ම කාන්තා විමුක්තිය පිළිබඳ ගැටලූව න්‍යායයික නිරවුල් භාවයක් සහිතව වටහා ගැනීමේ දී ලෙනින්ගේ මෙම ලිපි එකතුව ඉතා වැදගත් බව පෙනේ.

”කාන්තාවට විමුක්තිදායක නීති කොතරම් තිබුණ ද, ඇය තව දුරටත් ගෙදර වහලියක් ම වන්නී ය. එසේ වන්නේ අවශේෂ ගෙදර වැඩ විසින් ඇය පෙළනු ලබන ඇගේ ගෙල හිර කරනු ලබන ඇය ඔබා තබනු ලබන හා ඇය කුස්සියටත්, ළදරුවන් බලා ගැනීමටත් බැඳ තබනු ලබන හෙයිනි. එම නිසා ඇයට සිදු වී ඇත්තේ, අමානුෂික තරම් ඵලදායී නොවූ ද, අවශේෂ වූ ද මනස්තාපය දල්වන්නා වූ ද, අවහිර ගෙන දෙන්නා වූ ද, දාස වැඩ කරමින්, ස්වකීය ශ‍්‍රමය අපතේ හැරීමට ය. කාන්තාවන්ගේ නියම විමුක්තිය, නියම කොමියුනිස්ට් ක‍්‍රමය ආරම්භ වන්නේ (රාජ්‍ය බලය මෙහෙයවන නිර්ධන පන්තිය යටතේ) මෙම අවශේෂ ගෙදර වැඩවලට එරෙහිව දෘඩතම අරගලයක් ආරම්භ වූ විට නැතහොත්, එය සම්පූර්ණයෙන් ම මහා පරිමාණ සමාජවාදී ආර්ථිකයකට පරිවර්තනය වීම ආරම්භ වූ විට පමණි.”

(ලෙනින් – කාන්තා විමුක්තිය ගැන – සිංහල මුද්‍රණය 84 පිටුව)