අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිගත් නැගිටීම

Democracy-Does-Not-Equal-Freedom-2
නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය
April 27, 2017
religion
විවිධත්වය හා සහජීවනය ආගමෙන් කියවීම
April 27, 2017
Show all

අප්‍රේල් අරගලය: ධනේශ්වර ලංකාවේ පළමු අවිගත් නැගිටීම

A_1971_JVP_Insurrection_URT_converted

මෙතෙක් පැවති සියලූ සමාජවල ඉතිහාසය (ලිඛිත ඉතිහාසය) පංති අරගලවල ඉතිහාසය වේ.

නිදහස් මිනිසා හා වහලාද, රෝම කුලීනයා හා රෝම පොදු ජනයාද, රදලයා හා ප‍්‍රවේණිදාසයාද, ශ්‍රේණි හිමියා හා ජ්‍යෙෂ්ඨ ආධුනිකයාද, වචනයකින් පැහැදිලි කළහොත් පීඩකයා හා පීඩිතයා එකිනෙකට විරුද්ධව නියත ලෙස නැගී සිට, වරෙක සැඟවුනා වූද, වරෙක විවෘත වූද සටනක්, එක්කෝ මුළු මහත් සමාජයම විප්ලවවාදී ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමෙන් අවසන් වූ, නැතිනම් සටන් කරන පංතීන්ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ.”

ඓතිහාසික කොමියුනිස්ට් ප‍්‍රකාශනය ආරම්භයේදීම මාක්ස් හා එංගල්ස් සඳහන්කර ඇති මෙම අදහස පංති සමාජයේ සටන් හා අරගල දෙස බැලීමට මඟ පෙන්වීමක් කරන බැවින් මෙම ලිපිය ආරම්භයේදීම එය සඳහන් කළයුතු යැයි සිතුවෙමි. මාක්ස් හා එංගල්ස් එලෙස පැවසූ ලෙසම මානව වර්ගයාගේ මුල්ම සමාජය වූ ප‍්‍රාථමික සාමූහික සමාජය බිඳවැටී පළමු පංති සමාජය ලෙස වහල් හිමි සමාජය ආරම්භ වූ දා සිට මේ දක්වාම එකී සමාජවල ජීවත් වූ ප‍්‍රතිවිරුද්ධ පංති අතර පැවතී ඇත්තේ අරගලයකි. පංති සටනකි. එය විටෙක ආවෘතවද විටෙක විවෘතවද සිදුවී ඇත. එම අරගල විටෙක ජයග‍්‍රහණය කොට මුළු සමාජයම විප්ලවීය ලෙස පරිවර්තනයකට ලක්කළ අතර තවත් විටෙක පරාජයට පත්ව සටන්කරන පීඩිත පංතියට මහත් හානි පමුණුවා ඇත. එහෙත් ඉතිහාසයේ එක් සත්‍යයක් තිබේ. සිය පීඩාවට එරෙහිව පීඩිත පංතිය විසින් ගෙන ගිය සටන් විටින් විට පැරදුනද ඒව තුළ බොහෝ අඩුපාඩුකම් හා දුර්වලතා තිබුණද මානව සමාජය පෙරට ගොස් ඇත්තේ මිනිසා වඩා යහපත් සමාජයක් ගොඩ නගා ඇත්තේ එකී සටන් මතින්ම බව එම සත්‍යයයි.

ක‍්‍රෑරත්වයෙන් පිරි පළමු පංති සමාජය වූ වහල්හිමි සමාජයේ වහල් හිමියන්ගේ පාලනයෙන් පීඩාවට පත්, එකී පීඩාව ඉවසා දරාගත නොහැකි තැන ඊට එරෙහිව නැගී සිටින වහලූන්ගේ පළමු කැරැල්ලෙන්ම වහල්හිමි සමාජය බිඳවැටුණේ නැත. වහල්හිමි රෝම අධිරාජ්‍යය සසල කළ හා ඉතිහාසය තුළ යෝධ සටහනක් තැබූ ස්පාර්ටකස්ගේ අරගලයේදී පවා රෝමය පරාජය වූයේ නැත. පරාජය වූයේ, වහලූන්ගේ අරගලයයි. එහෙත් ඒ රෝමයත් වහල්හිමි ක‍්‍රමයත් සදාකාලික වූයේද නැත. එය බිඳ වැටිණි. වහල්හිමි ක‍්‍රමය බිඳවැටුණේ පළමු වහල් කැරැල්ලෙන් නොවුණද එයට පදනම දැමුයේ, පළමු පියවර තැබුයේ පළමු වහල් කැරැල්ල බව ප්‍රතික්‍ෂේප කළ නොහැක. පීඩක පංතියට එරෙහි පීඩිත පංතියේ අරගලයක් ලොව කොතැන සිදු වුවත් කවදා සිදුවුවත් ඒ දෙස සමාජ සංවර්ධනයේ දෘෂ්ටියෙන් බලන්නේ නම් ඉහත සත්‍යය මත පිහිටා සිටීමට ඕනෑම කෙනෙකුට සිදුවෙනු ඇත.

ලංකාවේ ධනපති ක‍්‍රමය තුළ ඊට එරෙහිව, ධනේශ්වර රාජ්‍ය යන්ත‍්‍රයට අභියෝග කරමින් නිර්ධන පංතියේ පැත්තෙන් මතුවූ පළමු සන්නද්ධ නැගිටීම ලෙස ඉතිහාසගතව ඇති 1971 අප්‍රේල් අරගලය පිළිබඳ කතාබහක් පසුගිය දිනවල සමාජය තුළ මතුවී තිබුණි. ඒ අප්‍රේල් නැගිටීම සමරන දිනය පසුගිය අප්‍රේල් 05දාට යෙදී තිබුණ නිසාය. 71 අප්‍රේල් අරගලය සිදුවූූදා සිට මේ දක්වා වසර 42ක කාලය තුළ අප්‍රේල් අරගලය ගැන විවිධ ලිපි, විචාර, පොත පත පළවී තිබේ. විවිධ කථාබහ හා විග‍්‍රහයන්ද කෙරී තිබේ. ඒවා සාතිශය බහුතර ප‍්‍රමාණයක් ප‍්‍රධාන ගොඩවල් දෙකකට බෙදා වෙන්කළ හැක. එකක් අප්‍රේල් අරගලය ගැන ඊට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් හා එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් විසින් සිදුකළ ඒවාය. අනෙක අප්‍රේල් අරලගය මර්දනය කළ ධනේශ්වර පාලනයට සම්බන්ධ වූවන් හා අරගලයේදී හා එහි පරාජයෙන් පසු කාලයේදී එය අතහැර ගොස් ජ.වි.පෙ.ට එරෙහිව කටයුතු කරන අයගේ පැත්තෙන් සිදුවූ ඒවාය. මේ නිසාම ලාංකේය සමාජයේ ඉතා වැදගත් දේශපාලන සන්ධිස්ථානයක් වන අප්‍රේල් අරගලය දෙස නව මානයකින් බැලිය යුතුව තිබේ.

ඉතිහාසයේ සිදුවු සිදුවීමක් ගැන කථාබහේදී ඒවා පිළිබඳ සාධාරණ විග‍්‍රහයක් කරද්දී එය කළ යුතු වන්නේ මනෝමූලිකව නොවේ. එය ඓතිහාසිකවත් විෂයමූලිකවත් කරන විග‍්‍රහයක් විය යුතුය. ඉතිහාසයේ සිදුවීම් ”මෙසේ විය යුතුව තිබුණා”, ”මෙසේ වූයේනම් හොඳයි”යනුවෙන් පැවසීම අවිද්‍යාත්මකය. පාරභෞතිකවාදීය. අප කථාකරන්නේ සිදුවිය යුතුව තිබූ දේ ගැන නොව සිදුවී තිබෙන දේ ගැනය. එම දේ සිදුවූයේ කුමන විෂයමූල වටපිටාවකද? එය ඓතිහාසිකව වර්ධනය වූයේ කෙසේද? ඒ තුළ පැවති සාධනීය හා නිෂේධනීය ලක්‍ෂණ මොනවාද? යනුවෙන් සාමාන්‍යකරණයක් කරගන්නවා විනා සිදුවීමේ වර්තමානය සමඟ සසඳා කරන විග‍්‍රහයන් යුක්ති සහගත වන්නේ නැත.

1971 අපේ‍්‍රල් අරගලය පැන නැගුණේ ඇයි? මේ පිළිබඳ විවිධ විග‍්‍රහ තිබේ. ඕනෑම ඵලයකට හේතුවක් හෝ හේතු සමුදායක් තිබෙන බව මාක්ස්වාදය උගන්වයි. එහෙත් එම හේතුව නිවැරදිව හඳුනාගැනීම බොහෝවිට දුෂ්කරම කාර්යය බව පෙනේ. මෙය ධනවාදී තර්කන ක‍්‍රමයේ දෝෂයකි. ‘අහසින් ගිය ඉබ්බා’ නම් ළමා කථාවේදී ඉබ්බා බිමට වැටුණේ ‘කට නිසා’ යයි උගන්වන එහෙත් ඉබ්බා බිම වැටීමේ සැබෑ හේතුව ‘ගුරුත්වාකර්ෂණ බලය’ බව නොකියන ධනේශ්වර අධ්‍යාපන ක‍්‍රමයට හා තර්කන ක‍්‍රමයට අනුව බොහෝ දෙනා ඕනෑම සිදුවීමකට හේතුව ලෙස සලකන්නේ, මතුපිටින් පෙනෙන ආසන්න කරුණුය. මෙය අප්‍රේල් අරගලයටත් පොදු බව පෙනේ. 71 අප්‍රේල් අරගලය ගැන ධනේශ්වර පංතියේ විග‍්‍රහය වන්නේ, එය රාජ්‍යබලය පැහැර ගැනීමේ කුමන්ත‍්‍රණයක් බවය. ජ.වි.පෙ.න් ඉවත්වූ සමහර අය පවසන්නේ, එය බලයට ඇති කෑදරකම නිසා සිදුකළ විජේවීරයන්ගේ හිතුවක්කාරකමක් බවය. දේශපාලනය ගැන නොදන්නා අයට අනුව මෙය අසාර්ථකවූ විප්ලවයකි. එහෙත් ජ.වි.පෙ. පවසන්නේ, මෙය විප්ලවයක් නොව ධනේශ්වර මර්දනයට එරෙහිව අවිගත් නැගිටීමක් බවය.

ජ.වි.පෙ. බිහිකරනු ලැබුයේ ධනපති ක‍්‍රමය පරදා නව සමාජවාදී සමාජ පරිවර්තනයක් වෙනුවෙන් බවත් ඒ සඳහා රාජ්‍ය බලය තම පංතිය වෙතට ගැනීම එහි අරමුණ බවත් පැහැදිලිය. ජ.වි.පෙ. බිහිවන යුගය වූ 1960 දශකය යනු ලොවපුරා විමුක්ති අරගල පැන නැගුණු, සන්නද්ධ අරගලය විප්ලවයේ මාදිලිය බවට පත්ව තිබුණු යුගයකි. විශේෂයෙන් 1959 කියුබානු විප්ලවය පක්‍ෂයකින් තොරව සන්නද්ධ කණ්්ඩායමක් විසින් දිනා තිබීම හා වියට්නාමයේ විමුක්ති අරගල ආදී සටන් රැසක් නිසා ලොව පුරා තරුණ රැඩිකල් විප්ලවවාදී ව්‍යාපාර සන්නද්ධ අරගලය තම සටනේ ආකෘතිය බවට පත්කරගෙන තිබුණි. මෙහි බලපෑම ජ.වි.පෙ.ට දැණුනු බව ප‍්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් ජ.වි.පෙ. ආරම්භයේදීම න්‍යායිකව ඒ පිළිබඳ නිවැරදි ස්ථාවරයකට පැමිණ තිබූ බව විජේවීරයන් විසින් 1971 පරාජයෙන් පසු සිරගෙවල් තුළ සිටි අයට කරුණු පැහැදිලිකරමින් ලියූ ‘අත්දැකීම් කිහිපයක්’ නම් ලිපියෙන් පෙනේ. එහිදී විජේවීරයන් පවසා තිබුණේ, ”අප විසින් ගොඩනැගිය යුතු සංවිධානය කුමක්ද යන්න තීරණය කිරීමේදී අපි නැවතත් නිවැරදිව කටයුතු කර තිබෙනවා. ගරිල්ලා හමුදාවක් ලෙස සංවිධානය කළ යුතුද? නැතිනම් දේශපාලන පක්‍ෂයක් වශයෙන් සංවිධානය විය යුතුද? අද මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරය තුළ උග‍්‍ර මතභේදයකට, උග‍්‍ර ගැටීම්වලට තුඩුදී තිබෙන්නක්. මේ දෙකේ අන්තර් සම්බන්ධතාවය තේරුම්ගත් අපි අප විසින් ගොඩනැගිය යුත්තේ පක්‍ෂයක් බවත් එය පංති සටනේ උච්චතම අවධිය වන සන්නද්ධ අරගලය සඳහා සූදානම්වන පක්‍ෂයක් වශයෙන් තීරණාත්මක මොහොතේදී විප්ලවයේ පෙරමුණු බලඇණිය වශයෙන් ජනතාවට මාර්ගෝපදේශකත්වය හා නායකත්වය දෙන ජනතාව ඉදිරියට මෙහෙයවන පෙරටු සේනාංකය වශයෙන් සංවිධානය විය යුතු බවත්…” ආදී වශයෙනි.

සමාජ විප්ලවයට නායකත්වය දිය හැකි පංතියේ පක්‍ෂයක් ගොඩ නැගිය යුතුය යන ස්ථාවරයේ ජ.වි.පෙ. සිටියද ඒ වෙනුවෙන් කටයුතු කළද එක් අතකින් ලොව පුරා පැතිරෙමින් සන්නද්ධ අරගලවල ආශ්වාදය හා බලපෑම ජ.වි.පෙ.ට තිබුණ බව ප්‍රතික්‍ෂේප කළ නොහැකි කරුණකි. එහෙත් සමාජ විප්ලවය පිළිබඳ න්‍යායික වශයෙන් කිසිදු පටලැවිල්ලක් ජ.වි.පෙ. නායකත්වයට විශේෂයෙන් විජේවීරයන් හට නොතිබූ බව ඔහු විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවට ඉදිරිපත් කරන ලද ලිඛිත සාක්‍ෂියේ සඳහන් කරුණුවලින්ම පැහැදිලි වේ. පසුව පොතක් ලෙස මුද්‍රණය කර ඇති ”අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමැකෙනු ඇත” නම් පොතේද 83, 84,85 පිටුවල ඇති ඔහුගේ පැහැදිලි කිරීම්වලින් එය සනාථ වේ. එහිදී ඔහු මෙසේ පවසා ඇත. ”සභාපතිතුමනි, විප්ලවීය නැගිටීමක් සිදුවිය හැක්කේ, විප්ලවීය තත්වයක් තුළය. නමුත් ධනේශ්වර පංතිය නිර්ධන පංතියට එරෙහිව කරනු ලබන ඉසිලිය නොහැකි පංති මර්දනය විසින්ම විප්ලවීය නැගිටීමක් සඳහා උචිත විප්ලවීය තත්වය උත්පාදනය කරන්නේ නැත.” ඔහු තවදුරටත් මෙසේ පවසයි. ”පාලක පංතිය බෙදී අධෛර්යට පත්වී අවුල් වියවුල්වී ඇති අතර පාලක පංතියට ප‍්‍රශ්න විසඳාගත නොහැකිව, තව දුරටත් පාලනය ගෙනයා නොහැකිව ඇති අවස්ථාවක, ඉතා තීරණාත්මක සන්ධිස්ථානයන්හිදී නිර්ධන පංතිය සටන්කාමිත්වයේ ඉහළ හිනි පෙත්තට ළඟාවේ. එවැනි අවස්ථාවකදී රටක් දේශපාලන වශයෙන් පූර්ව විප්ලවීය තත්වයකට අවතීර්ණ විය හැකිය. 1971 දී එවැනි පූර්ව විප්ලවීය තත්වයක් රට තුළ විද්‍යාමාන නොවීය. එවැනි තත්වයක්, වර්ධනය වී, මුහුකුරා ගොස් පරිණතවී නොතිබිණි.”

විප්ලවීය නැගිටීමක් සඳහා අවශ්‍ය විෂය මූල හා මනෝමූල සාධකවල පරිණත වීම කරුණු 5ක් ලෙස විජේවීරයන් විස්තර කර තිබේ. එනම්,

01. නිෂ්පාදන බලවේගයන්ට තවදුරටත් ඵලදායී ලෙස ක්‍රියාකළ නොහැකිවීම නිසා සමාජ ක‍්‍රමයේ පිරිහීමක් ඇතිවීම,
02. පාලක පංතිය මුහුණදෙන ගැටලූ සඳහා ඔවුන්ට විසඳුම් නොමැතිවීම,
03. ජනතාව විඳදරාගත නොහැකි පීඩාවකට පත්ව තිබීම,
04. පවතින සමාජය වෙනස් කිරීමට ජනතාවගේ ඇති කැමැත්ත හා අධිෂ්ඨානය හා
05. සමාජ බලවේගයන්හි ක්‍රියාකාරිත්වය වටහාගැනීමට සමත් හා මෙවැනි මොහොතක නිර්ධන පංතියට නායකත්වය දියහැකි පරිණත පංතියේ පක්ෂයක් පැවතීමය.

මෙලෙස විප්ලවීය නැගිටීමක් සඳහා අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසි සඳහන් කරන විජේවීරයන් මෙසේද පවසයි. ”මිනිස් සමාජයේ සංවර්ධනය කෙරෙහි බලපාන්නාවූ වාස්තවික නීති රීති ගැන කිසිත් වැටහීමක් නැත්තාවූත්, සිය සූරාකෑමේ අභිලාෂයන්ට හා පංති අවශ්‍යතාවනට අනුරූපී වන අයුරින් ඉතිහාසයේ ඉදිරිගමන පිළිබඳව, ලෝකය පිළිබඳව, විකෘති මානසික චිත‍්‍රයක් ඇතිකරගෙන ඇත්තාවූත් මිත්‍යා ඇදහීම්, නූගත්කම, මනෝමූලවාදය, උපයෝගීතාවාදය, ප‍්‍රයෝජ්‍යතාවාදය හා වෙනත් එබඳු මානසික විකෘතිවීම්වල මිශ‍්‍රණයක් වූ ප‍්‍රතිගාමී දෘෂ්ටියකට පුරුදු පුහුණුවී ඇති සූරාකන ධනේශ්වර පාලක පංතීන් විප්ලවයක් ඇති වන්නේ පුද්ගලයෙකුගේ හෝ කීපදෙනෙකුගේ කැමැත්ත මත යයි සිතතත් එසේ සිතීමට ඉඩ ඇතත් ජීවමාන සත්‍යය එසේ නොවේ.”

විජේවීරයන්ගේ ඉහත අදහස අප උපුටා දැක්වූයේ ඔහු විප්ලවීය නැගිටීමක් පිළිබඳව, ඉතාම නිරවුල් ස්ථාවරයක සිට ඇති බව එම අදහස්වලින් පෙනෙන නිසාත්, ඔහුගේ හඩටද අප සවන් දිය යුතු නිසාත්ය.

ඒ අනුව අප්‍රේල් අරගලයේදී සටන්කාමී තරුණයින් පොලිස් ස්ථානවලට පහරදුන් බව සත්‍ය වූවත් ඒවාට පහරදී ඒවා (බලය) අල්වා ගැනීම අරමුණක් ලෙස විවිධ අය තුළ විවිධ අයුරින් තිබෙන්නට ඇති බව සත්‍ය වුවත් අප්‍රේල් අරගලය විප්ලවීය තත්වයන් පරිණත වූ අවස්ථාවක සිදුකරන වර්ගයේ සංවිධානාත්මක හා සවිඥානික විප්ලවීය නැගිටීමක් නොව ධනේශ්වර මර්දනයට එරෙහිව, ධනේශ්වර මර්දනය විසින් සකස් කළ තත්වය තුළ පැන නැගුණක් බව පෙනෙන්නට තිබේ. එහිදී සන්නද්ධ අරගලයකින් බලය ගත හැකිය යන පොදු අදහස මේ බොහෝදෙනා තුළ අවිඥානිකව හෝ සවිඥානිකව පැවති බවද පෙනේ.

ධනේශ්වර මර්දනය හමුවේ ඊට ප‍්‍රතිචාර ලෙස හැම විටම සන්නද්ධ නැගිටීම් සිදුවන්්නේ නැත. එහෙත් 1971 අප්‍රේලයේදී ධනේශ්වර මර්දනයට ජ. වි. පෙ. ප‍්‍රතිචාරය වූයේ අවිගත් නැගිටීමකි. ඊට හේතු කීපයක් බලපෑ බව පෙනේ. පළමුවැන්න 71 වන විට ජ. වි. පෙ. ඉහළ සිට පහළට හොඳින් සංවිධානය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මධ්‍යගත කළ, පංති සටනේ අත්දැකීම් ඇති, පරිණත දේශපාලන පක්ෂයක් බවට පත්ව නොතිබි බවය. එය පැවතියේ විප්ලවවාදී පක්ෂයක් බවට පත්වෙමින් තිබෙන ළදරු සංක‍්‍රමණීය අවධියකය. එයට ඒ වන විටත් මධ්‍යම කාරක සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් තිබුණේ නැත. ඒ සඳහා එය පක්ෂ සමුළුවක් පවත්වා තිබුණේද නැත. 1965දී පටන් ගෙන වසර 06ක් වත් සම්පූර්ණ වී නැති දේශපාලන ව්‍යාපාරයකට එවැනි ස්ථානයකට හදිසියේ පත්වීමට ද නොහැක. මේ අනුව ජ. වි. පෙ. ළදරු සංවිධානයක් විය. එය තීන්දු තීරණ ගෙන ඇත්තේ, ඉදිරිපෙළ නායකයින් හා දිසා ලේකම්වරු කැඳවා කරන සාකච්ඡාවලිනි.

ඊට අමතරව ආරම්භයේ සිටම ජ.වි.පෙ. තුළ බිහිවූ කණ්ඩායම්වාදයත් (විශේෂයෙන් ධර්මසේකර කණ්ඩායම) අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාත් (ලොකු අතුල කණ්ඩායම) මධ්‍යගත ලෙස මෙහෙයවන සංවිධාන රටාවකට බාධාකර තිබේ. 1969 කාලයේ සිටම ජ.වි.පෙ.ට රාජ්‍ය මර්දනය එල්ලවිය. ඒ නිසා එහි අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා සමනය කර ගැනීමට ජ.වි.පෙ.ට බාධාකර ඇති බවත් අනෙක් අතට අභ්‍යන්තර අර්බුද රාජ්‍ය මර්දනයට මුහුණදීමට බාධා කර ඇති බවත් පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේ රාජ්‍ය මර්දනය අවිගත් නැගිටීමකට මග පෑමේදී එකී අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන් හා සංවිධානයේ එවකට පැවති වර්ධනයේ ප‍්‍රමාණයත් බලපෑ බව පැහැදිලිය. එසේම දේශපාලනිකව හා න්‍යායිකව විප්ලවය පිළිබඳ නිවැරදි ස්ථාවරයෙන් සාකච්ඡාකර තිබුණද සන්නද්ධ අරගල පිළිබඳ ආස්වාදනීය හැගීම හා කියුබානු මාදිලියේ බලපෑම ජ.වි.පෙ. බොහෝ දෙනෙකුට තිබෙන්නට ඇත.

කෙසේ වුවත් අවිගත් නැගිටීමක් සඳහා විෂයමූල වටපිටාව සකසන ලද ප‍්‍රධාන කාරණය අඛණ්ඩ ධනේශ්වර මර්දනය බව පැහැදිලිය. විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස ජ.වි.පෙ. ආරම්භයේදී ක්‍රියාත්මක වී තිබුණේ අර්ධ රහසිගත තත්ත්වයක් තුළය. එයට දොස් පැවරීමට කිසිවෙකුට නොහැක. ඒ, ධනවාදය පරාජය කිරීම අරමුණු කරගත් සංවිධානයක් ධනවාදය තුළම ගොඩනගද්දී එය කිසියම් ශක්තිමත්භාවයක් ලබා ගන්නා තුරු ධනවාදයේ ප‍්‍රහාර යන්ගෙන් ආරක්ෂා කර ගත යුතුවීම යථාර්ථයක් නිසාය. එහෙත් 1970 මැයි 12දා විජේවීරයන් අත්අඩංගුවට ගෙන පසුව 1970 ජූලි මස 09 දා අධිකරණය මගින් නිදහස් කිරීමෙන් පසු ජ.වි.පෙ. ප‍්‍රසිද්ධ දේශපාලනයට අවතීරණ විය. ඔවුන් විජේවීරයන්ගේ ප‍්‍රධානත්වයෙන් දේශන රැසක් හා රැලි මාලාවක් පවත්වා තිබේ. ධනපති රාජ්‍යය ඔවුන්වෙත මර්දනය නොකඩවාම ගෙන ආවේ ඔවුන් එසේ ප‍්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙමින් සිටියදීය.

විශේෂයෙන් 1970 අගෝස්තු 10දා කොළඹ හයිඞ් පිටියේදී ජ.වි.පෙ. පැවැත්වූ එහි මංගල රැලියෙන් දින 02කට පසු එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කුමාර රත්නවේල් මහතාගේ අත්සනින් නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනයක සඳහන්ව තිබුණේ, ‘‘රටේ හිස ඔසවමින් සිටින චේ ගුවාරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ සතුරා වන්නේය. එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතුය’’. යනුවෙනි. ජ.වි.පෙ. පිළිබඳ ධනපති ආණ්ඩුවේ ස්ථාවරය ඉන් මනාව පැහැදිලි වේ. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය වචනයට පමණක් සීමා නොවී එය ක‍්‍රියාවට නැගුණ බවත්, ඉන්දුනීසියාවේදී 1965 දී සිදුකළා වැනි මහා මිනිස් ඝාතනයට ආණ්ඩුව සැරසුණු බවත් අවසානයේ දී ඊට එරෙහිව සටන් වැදීම සඳහා තමන්ට අවි ගැනීමට සිදුවූ බවත් ජ.වි.පෙ. පවසන විට එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්ව තිබේ. එහෙත් 1971 අප්‍රේල් පහරදීමක් සඳහා තීරණය ගැනීමේදී සංවිධානයේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා හා විශේෂයෙන් බලයට ආශාකළ ලොකු අතුල කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය මගින් ඉටුකළ කොටස දෙස බලන විට විප්ලවවාදී පක්ෂයක අභ්‍යන්තර භේද හා කණ්ඩායයම්වාදය ඊට කරන හානියද නොසලකා සිටිය නොහැක.

මේ සියලූ දුර්වලතා පැවතිය ද අප්‍රේල් අරගලය වීරත්වයෙන් පිරි අරගලයකි. ඒ තුළ පෞද්ගලිකත්වය හෝ ආත්මාර්ථකාමිත්වය පොදුවේ තිබුනේ නැත. අප්‍රේල් අරගලයේදී ඊට දායකවූ තරුණ පිරිස පාවිච්චි කළ නොදියුණු අවි පිළිබඳ සමහරු කතාකරන්නේ උපහාසයෙනි. එහෙත් පංති සටන් පිළිබඳ අවබෝධයක් ඇති අයට ඒවා උපහාසයට කරුණු නොවේ. ලොව කිසිමදාක පංති අරගලයේදී පීඩක පංතිය පාවිච්චි කරන අවි උපකරණ හා මෙවලම්වලට සමාන ඒ දියුණුවම ඇති අවි, උපකරණ හා වෙමලම් පාවිචිචි කිරීමට පීඩිත පංතියට ලැබෙනනේ නැත. පීඩිත පංතිය හැමවිටම පාවිච්චි කරන්නේ, තමන්ට උපයාගත හැකි සොයාගත හැකි අවි හා මෙවලම්ය. එහෙත් පීඩිත පංතියේ අධිෂ්ඨානය විසින් දියුණු අවි දරන පාලක පංතීන් පැරදවීමට නොදියුණු අවි සහිතව වුවත් හැකිවේ. කියුබානු විප්ලවයට නායකත්වය දුන් ෆිදෙල් අධිකරණයේදී ඉදිරිපත් කළ ‘ඉතිහාසය මා නිදොස් කරනු ඇත’ නම් සාක්ෂියේදී මෙසේ සඳහන් කර තිබේ. ”සිය නිදහස දිනා ගැනීමට වුවමනා වූ විට ජනතාව සටන් වදින්නේ එලෙසය. ඔව්හු ගුවන් යානාවලට ගල් ගසති. යුධ ටැංකි පෙරළති.” යනුවෙනි. නිදහස දිනා ගැනීමට තීරණය කළ මිනිසුන්ගේ අධිෂ්ඨානය හා සටන්කාමිත්වය සියලූ අවිවලට වඩා ප‍්‍රබලය, යන ෆිදෙල්ගේ එම කියමන මුළු මානව සමාජයේ ඉතිහාසය විසින්ම ඔප්පුකරමින් තිබේ. එබැවින් අප්‍රේල් අරගලයේදී සටන් කළ අයගේ අතේ තිබුණේ මොනවාද යන්නට වඩා ඔවුන්ගේ හිතේ තිබුණේ මොනවාද යන්න වැදගත් වේ.

සංවිධානමය දුර්වලතා

රැසක් සහිතව හා නොදියුණු අවි සහිතව වුවත් අප්‍රේල් අරගලයේදී සටන්කාමී තරුණයින් ධනපති රාජ්‍ය යන්ත‍්‍රයත්, ධනපති පංතියත් විමතියට පත් කිරිමට සමත්ව තිබේ. 71 අරගලයට දායක වූවන්ගෙන් නඩු ඇසීමට පත් කළ විශේෂ කොමිසම වූ, අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ සාමාජිකයෙක් වූ ඒ. සී. අලස් විනිසුරුවරයා 1971 අරගලය ගැන ලියූ සිය කෘතියේ සඳහන් කර ඇති අන්දමට රජයේ නිල සංඛ්‍යා අනුව අප්‍රේල් අරගලයේදී සටන්කාමීන් රට පුරා පොලිස් ස්ථාන 92කට පහරදී තිබේ. ඉන් 57කට අලාභහානි සිදුවී ඇති අතර, දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම හා වරකාපොල යන පොලිස් ස්ථාන පහ මුළුමනින්ම යටත්කර ගැනීමට සටන්කාමීන් සමත්ව තිබේ. මෙකී ප‍්‍රහාරයත් සමග පොලිස් ස්ථාන 43ක් සිය පොලිස් ස්ථාන අතහැර උපක‍්‍රමික හේතුමත පසුබැස ගොස් තිබේ. මෙම සංඛ්‍යාවලින් පෙන්වන්නේද සටනේ සිටි අය සතුව තිබූ අධිෂ්ඨානය හා සටන්කාමිත්වයයි. අප්‍රේල් අරගලයේදී පහරදී තිබුණේ පොලිස් ස්ථානවලට පමණක් නොවේ. සමහර කුඩා හමුදා කඳවුරු කිහිපයකට පහරදී හෝ පහරදීමට සැලසුම් කර තිබිණි. රජයේ ගුවන් විදුලිය අත්පත් කරගැනීමේ සැලසුමක් මෙන්ම එවකට සිටි අගමැතිනිය අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්ද තිබිණි. අප්‍රේල් නැගිටීම මැඩලීම සඳහා එක්සත් ජනපදය, ඉන්දියාව, සෝවියට් දේශය, චීනය, යුගෝස්ලෝවියාව ඇතුළු රටවල් 14කින් වහාම යුද ආධාර ලබා ගැනීමට ආණ්ඩුවට සිදුවීමෙන් අප්‍රේල් නැගිටීමේ ප‍්‍රබලකම පෙනේ.

71 අප්‍රේල් අරගලයේ විශේෂ ලක්ෂණය වන්නේ, එම අරගලය හුදකලා ‘කැරැල්ලක්’ ලෙස මැකී නොගොස් ඊට නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ක‍්‍රමානුකූලව සංවිධාන වෙමින් අඛණ්ඩව ක‍්‍රියාත්මක වීමය. ඒ අනුව අපේ‍්‍රල් අරගලය හුදකලා කැරැුල්ලක් නොව නිර්ධන පංති දේශපාලන ව්‍යාපාරයක ඓතිහාසික ගමන් මගේ එක් සිදුවීමක් නැත්නම් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක. වර්තමානයේ අප කළ යුතු වන්නේ, අප්‍රේල් අරගලයේ ආස්වාදය පමණක් විඳින අන්තයට හෝ එයට ගරහන ධනේශ්වර අන්තයට නොහොත් අප්‍රේල් අරගලයේ සටන්කාමිත්වයේ ආස්වාදය මෙන්ම ඒ තුළ තිබූ ගුණයන් හා දුර්වලකම්ද යථාර්ථවාදීව හා සමබරව දකිමින් එම අත්දැකීම් නූතන පරපුරට ලබාදීම සඳහා පුළුල් සමාජ කථිකාවක් ආරම්භ කිරිමය. ඒ අර්ථයෙන් අප්‍රේල් අරගලය දෙස බැලීම හා එය නැවත කියවීම අවශ්‍ය වේ. එකී කියවීම සමාජයට වැඩදායක වනුයේ, එය මාක්ස්වාදී දෘෂ්ටිකෝණයක සිට කරන කියවීමක් වුවහොත් පමණි. එසේ නැතිව අප්‍රේල් අරගලයේ අඩුපාඩුකම් පමණක් දකිමින් තම පාණ්ඩිත්‍යය ප‍්‍රදර්ශනය කරන විග‍්‍රහ සාධාරණ නොවේ. මන්ද විප්ලවය ගැන අලංකාර වදන් තෙපලන න්‍යායික පාඨ පමණක් පුනරුච්චාරණය කරන සියලූම දෙනාටම වඩා අප්‍රේල් අරගලයේ සටන් කළ අය භාවිතයෙන් ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින නිසාය. අප්‍රේල් නැගිටීම පරාජය පත් වුවද ජ.වි.පෙ. දේශපාලන පක්ෂයක් ලෙස වඩාත් සංවිධිතව හා නිවැරදිව උපත ලබන්නේ, ඒ තුළිනි. 71 නැගිටීම ජ.වි.පෙ. දෙවන උපත ලෙසද සැලකිය හැක. අනෙක් අතට අප්‍රේල් අරගලය සමාජයට හා ධනපති පාලක පංතියට කළ බලපෑමද අතිමහත්ය. ‘මහ රැජිනගේ ආණ්ඩුවෙන්’ ඉවත්වී 1972 ජනරජ ව්‍යවස්ථාව හදද්දී ඊට 71 අරගලයද බලපෑ බව සත්‍යයකි. 1975 ඉඩම් ප‍්‍රතිසංස්කරණය, අප්‍රේල් නැගිටීමේ බලපෑම නිසා සිදුවූවක් බව සුප‍්‍රසිද්ධ කරුණකි. ඊට අමතරව තරුණ ප‍්‍රශ්න ගැන හිතන්නට පාලකයින්ට බලකළේද මෙම අරගලයයි. කලාවට හා සාහිත්‍යයට මින් කරන ලද බලපෑමද විශාලය. සැබැවින්ම 71 නැගිටීම නැවත නැවත අධ්‍යයනය කළ යුතු දේශපාලන හැරවුම් ලක්ෂයකි. එහෙත් ඉන් කියවෙන්නේ ඒ තුළ කිසිදු අඩුවක් නොතිබුණු බව නොවේ.

අවසාන වශයෙන් අප්‍රේල් අරගලය පමණක් නොව ඕනෑම පංති අරගලයක් දෙස, විප්ලවීය නැගිටීමක් දෙස, බැලීමේදී සිහියේ තබා ගත යුතු යැයි සිතෙන ලෙනින් විසින් රුසියානු විප්ලවය ගැන පැවසූ මේ අදහස්වලින් මෙම ලිපිය නිමකරමු.

”අපගේ විප්ලවයේදී සිදුවන සෑම අත්වැරැද්දක්ම ගැන මුළු ලෝකයටම ඇසෙන සේ දූෂිත ධනපති පුවත් පත් හඬ තැලූවාවේ. අපි අපගේ අත්වැරදි නිසා දුර්මුඛ නොවන්නෙමු. විප්ලවය ආරම්භවී තිබෙන නිසා මිනිසුන් ශුද්ධවන්තයින් වී නැත. ශත වර්ෂ ගණනක් තිස්සේ පීඩිතව හා පෑගී සිටි, දුප්පත්කම, ම්ලේච්ඡභාවය හා නූගත්කම නැමති දුශ්චරිතය තුළ බලෙන් ගිල්වනු ලැබ සිටි, වෙහෙසී වැඩකරන පංති විප්ලවයක් කරන විට වැරදීම් සිදුවීම නොවැළැක්විය හැකිය. මා කලින් පෙන්වා දී ඇති පරිදි ධනපති සමාජයේ මළකුණ පෙට්ටියක බහා ඇණ ගසා වළලා දැමීමට නුපුළුවන. අප මධ්‍යයේම කුණුවී දිරාපත්වන ධනපති ක‍්‍රමයේ මළකුණ වාතය අපිරිසිදු කරයි. අපගේ ජීවිතවලට විෂ කවයි. පැරණි මරණාසන්න හා කුණුවන දෙයින් විහිදෙන දහසක් මුල් හා බන්ධනවලින් අලූත් නෑඹුල් හා පෞරුෂතා සහිත සියල්ල පටලවා තබයි.”

ලෙනින්, තෝරාගත් කෘති – වෙළුම 08, 204 – 205 පිටු