අපරාධ නැති ලෝකයක්

democracy_converted
ප‍්‍රජාතන්ත‍්‍රවාදය: සංකල්පය හා විකාශනය
April 27, 2017
lenin_2_converted
කාන්තා විමුක්තිය ගැන – ලෙනින්
April 27, 2017
Show all

අපරාධ නැති ලෝකයක්

ukraine-is-the-center-of-the-most-serious-crisis-since-the-fall-of-the-soviet-union

ලාංකේය සමාජය මෙන් ම ලෝකය ද බිහිසුණු අපරාධ රැල්ලක් විසින් ආක්‍රමණය කර ඇති නිසා මේ දිනවල වැඩි වශයෙන් අපරාධ ගැන සාකච්ඡා වෙමින් තිබේ. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ සහ සමූහ මිනිස් ඝාතන වාර්තාගත ලෙස ඉහළ නැග ඇත. තමන් ඊළඟ මොහොතේ මෙම අපරාධවල ගොදුරක් බවට පත් විය හැකි බවට භීතියක් සමාජය වෙළා ගෙන ඇත. එබැවින් ඉන් ගැලවීමේ මගක්, පිළිතුරක් සෙවීමේ උවමනාවක් සමාජය තුළ මතු වී ඇත. අපරාධ පිළිබඳ මෙතරම් අවධානයක් ඇතිව තිබෙන්නේ ඒවා අද ඊයේ ආරම්භ වූ නිසා නොවේ. එහි ප්‍රමාණාත්මක ඉහළ යාම නිසාත් ඒවායෙහි ස්වරූපය වඩ වඩාත් කෲර බිහිසුණු බවට පත් වෙමින් තිබෙන නිසාත් ය. මිනිසුන් මෙතරම් අපරාධ සිදු කරන්නේ ඇයි?
1. තමන්ගේ ම වර්ගයා මරා ගෙන කන සමහර ජීව විශේෂ මෙන් ම මිනිසාත් තම වර්ගයාට එරෙහිව අපරාධ සිදු කරන ජෛව ස්වභාවයක් ඇති සත්ව විශේෂයක් ද?
2. අපරාධ කිරීමෙන් ඒ පිළිබඳ ඇසීමෙන් හා දැකීමෙන් යම් වින්දනයක් ලබන මනෝභාවයක් සහජයෙන් ම මිනිසා සතු වී ඇත්ද?
3. එසේත් නැතිනම් එය සමාජමය කොන්දේසි තරයේ කියා පෑමක් ද? අපරාධවලින් තොර ලෝකයක්, සමාජයක් අපට නිර්මාණය කර ගත නොහැකි ද? අපරාධ නැති ලෝකයක් යනු මනෝරාජික අදහසක් ද?
මේ සම්බන්ධව ඉතා දිගු කාලීන විවාදයක් අපට හමුවේ. මේ එක් එක් අදහස් මත අපරාධ වළකා ගැනීම සඳහා විවිධ පිළිතුරු ද අප සමාජය විසින් අත්හදා බලමින් සිටී. එක් පසකින් නීති ව්‍යුහයන් බල ගන්වමින් උසාවි, පොලිසි, සිර ගෙවල් මගින් අපරාධ වැළැක්වීමට උත්සාහ කරනු පෙනේ. එහෙත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ සිට ජීවිතය තොර කිරීම දක්වා කුමන හෝ දඬුවමක් නිසා කිසිදු සමාජයක් තුළ අපරාධ අඩු වී යන බවක් අපට පෙනෙන්නට නැත. රාජ්‍යය නැමති සංවිධානය බිහි වූ දා සිට නීති, උසාවි, දඬුවම් ක්‍රම ආදිය බිහි වී ක්‍රමයෙන් වර්ධනය වී ඇතත් එමගින් මෙතෙක් අපරාධ සිදුවීම නතර වී නොමැත. එනිසා දණ්ඩනය මගින් අපරාධ නැති කිරීම කිසිදු සමාජයක් විසින් මේ දක්වා සාර්ථක කර ගත් ක්‍රියා මාර්ගයක් නොවේ.
විවිධ ආගම් හා දර්ශනයන් ආගමානුකූල ජීවිත ගොඩනගා, හොඳ මිනිසුන් ලෙස ජීවත් වන ආකාරය උගන්වා අපරාධ නැති කළ හැකි යැයි විශ්වාස කරයි. අපාය පෙන්වා මිනිසුන් බිය ගන්වයි. එහෙත් කුමන ආගමක් හෝ මෙතෙක් යම් සමාජයක් අපරාධවලින් තොර කිරීමට සමත් වී නැත. ශ්‍රී ලංකාවම උදාහරණයකට ගත හොත් අද අප ගෙවමින් සිටින්නේ, ආගමික උනන්දුව ඉතා ඉහළට ම නැගුණු යුගයක ය. එහෙත් ප්‍රශ්නය නම් අපරාධ සිදුවීම් ද ඊට සමාන්තරව හෝ ඊටත් වැඩියෙන් වර්ධනය වී තිබීම ය.
දණ්ඩනයට ලක් කිරීමෙන් ද ආගම-දර්ශනය දේශනා කොට හොඳ මිනිසෙකු වීමට ආයාචනා කිරීමෙන් ද අපාය සහ දෙව්ලොව පෙන්වීමෙන් ද මිනිසුන් අපරාධ කිරීම වැළැක්විය නොහැකි බව තේරුම් ගැනීමට උවමනාවටත් වඩා උදාහරණ දැන් අප සතුව තිබේ.
මී ළඟට අප සළකා බැලිය යුත්තේ, සමාජමය කොන්දේසි වෙනස් කිරීමෙන් එය කළ හැකි ද යන්නයි. සත්තකින්ම සමාජ විද්‍යාව විසින් මෙම කරුණ ද අවශ්‍ය පමණට ඔප්පු කර අවසන් ය. සත්තකින්ම ආගමික මතවාදයන් පවා සමාජමය කොන්දේසීන්ගේ නිමැවුම් බව සමාජ විද්‍යාව විසින් ඔප්පු කරනු ලැබ ඇත.
සුරාව, සූදුව, වංචාව, ගණිකා වෘත්තීය, මිනී මැරුම් ආදියෙන් ගහනව පැවති රුසියාව මළ මිනිසුන් පවා විකුණන රටක් ව පැවති බව ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ උපහාසාත්මක නව කථාව තුළින් දැක ගත හැක.
සමාජවාදී සමාජ විප්ලවයෙන් පසු රුසියාව -සෝවියට් දේශය- අතිශය සාමකාමී අපරාධ අවම වූ රටක් බවට පත් විය. විප්ලවය බිඳවැටීමෙන් පසු සිදු වූයේ කුමක් ද? නැවතත් පැරණි රුසියාවම බිහිවීමය. ලෝකයේ ඕනෑම රටකින් දැන් රුසියානු ගණිකාවන් මිල දී ගැනීමේ හැකියාව ඇත. බිඳ වැටුණු සියලූ සමාජවාදී රාජ්‍යයන් සම්බන්ධ තත්වය මීට වඩා වෙනස් නැත. මෙතරම් අපරාධ සිදුවීමේ මූලයන් ඇත්තේ සමාජමය කොන්දේසි තුළ බව අපට නිසැකවම තර්ක කළ හැක්කේ, ඉහත කාරණා නිසා ය. සිදු වෙමින් පවතින යථාර්ථය තේරුම් ගැනීමට අපට හැකි වන්නේ ද ඒ සඳහා පිළිතුරක් සපයා ගත හැකි වන්නේ ද සමාජ විද්‍යාත්මක ව මේ ප්‍රශ්නයට ප්‍රවේශ වීමෙන් පමණකි.
අපරාධ බිහි වීමේ සමාජ කොන්දේසි මොනවා ද? මිනිසුන් මිනිසුන්ට ම එරෙහිව කටයුතු කිරීම, හිංසනයේ යෙදීම, අපරාධ ලෙස ගත හැක. සත්තකින්ම මිනිසුන් මිනිසුන්ට ම එරෙහි වීම සිදු වන්නේ පංති සමාජය බිහි වීමත් සමග ය. අද ධනේශ්වර සමාජය යනු පංති සමාජයේ වර්ධනයේ උපරිමයයි. එනම් මිනිසා උපරිම ලෙස මිනිසාට එරෙහිව කටයුතු කිරීම ද වර්ධනය වූ යුගයකි. ස්වභාවයෙන් සමාජීය සත්වයෙකු වූ මිනිසා පංති සමාජය විසින් වෙන් කරන්නට පටන් ගත්තේ ය. ධනේශ්වර ක්‍රමය විසින් ඒ බෙදා වෙන් කිරීම පරිපූර්ණත්වයට පමුණුවා සමාජය එකිනෙකාට එරෙහිව කටයුතු කරන පුද්ගල අංශූන් ගොඩක් බවට පත් කළේය.
කාල් මාක්ස් පවසන පරිදි මුදල් හැර අන් කිසිවකට ඉඩක් නොමැති, මිනිසුන් දේපළ බවට පත් කර ඇති, පුද්ගලික ගණන් බැලීම නැමති අයිස් වතුරේ සියල්ලන් ම ගල්වන ලද මෙම සමාජ සංදර්භය තුළ වැඩියෙන් අපරාධ සිදුවීම වැළැක්විය හැකි නොවේ.
මෙතරම් අපරාධ සිදුවීමේ වග උත්තර කරුවා පංති සමාජ ක්‍රමයයි. වර්තමානයට අදාලව නම් ධනේශ්වර සමාජ ක්‍රමයයි. ධනේශ්වර ක්‍රමය ඇති සෑම තැනකම උපරිමයෙන් අපරාධ පිළිබඳ වාර්තා ද සොයා ගත හැකි වේ. අද ලෝකයේ වැඩියෙන් ම අපරාධ සිදු වන රට බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව ඉහළම අපරාධ සිදු වන රටවල් අනුපිළිවෙළට පෙළ ගැසුව හොත් පහත ආකාරයෙන් පෙළ ගැස්විය හැකිය.
1. ඇමරිකා එක්සත් ජනපදය
2. එක්සත් රාජධානිය
3. ජර්මනිය
4. ප්‍රංශය
5. රුසියාව
6. ජපානය
7. දකුණු අප්‍රිකාව
8. කැනඩාව
9. ඉතාලිය
10. ඉන්දියාව
මේ සෑම රටකම අපරාධ වැඩි වෙමින් පවතිනවා මිස අඩු වීමක් දක්නට නැත. ස්වභාවය අතින් ගත් කළ ඉහත ආකාරයේ බොහෝමයක් ඉතා දරුණු ගණයේ ඒවා ය. ලංකාව ද මුහුණ ඇත්තේ මේ ඉරණමට ය. ආත්මාර්ථකාමිත්වය වෙනුවට සමාජ අරමුණු පෙරටු කොට ගත්, ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතා සැලකිල්ලට ගන්නා, දේපළ සබඳතා වෙනුවට මිනිස් සබඳතා විසින් මුළු සමාජමය එක්තැන් කළ, පංති රහිත සමාජයක දී අපරාධ සිදු නොවන බව පරීක්ෂා කිරීමට නම් අපට මානව සමාජය තුළ දැනට ඇත්තේ එක් අවධියකි. ඒ, ප්‍රාථමික සාමූහික සමාජයයි. එහෙත් පංති අහෝසි කිරීම අරමුණු කර ගත්, ලාභ ගොඩනැගීම වෙනුවට මිනිස් අවශ්‍යතා මුල් කොට ගත් පටු පෞද්ගලිකත්වය වෙනුවට සමාජමය අරමුණු පෙරටු කොට ගත් සමාජවාදී සමාජ ක්‍රමයක් කරා ගමන් කළ සමාජයන් ද මේ පරීක්ෂණය සඳහා බොහෝ සේ ගැළපේ. පෞද්ගලික දේපළ සහ පංති සහමුලින්ම අහෝසි නො කළ ද සමාජවාදී රටවල් තුළ අපරාධ සිදුවීම් අතිශයින් පහළ මට්ටමක පැවති බව ලෝකය ම දන්නා එහෙත් බොහෝ අය එළිපිට පිළිනොගන්නා සත්‍යයකි.
අද අපට මේ කරුණ පිරික්සීමට සමාජවාදී රටවල් ඉතිරි වී ඇත්තේ අල්පයකි. චීනය, කියුබාව, වියට්නාමය, උතුරු කොරියාව සහ ලාඕසය එම රටවල් වේ. එයින් ද උතුරු කොරියාව සහ ලාඕසය පිළිබඳ තොරතුරු සපයා ගැනීම තරමක් අපහසු කරුණක් වී ඇත. චීනයේ අපරාධ සම්බන්ධ තොරතුරු විග්‍රහයක යෙදෙන facts and details නැමති වෙබ් අඩවිය පවසන්නේ චීනය ඉතා අඩු අපරාධ අනුපාතයක් සහිත රටක් බව ය. එයට අනුව චීනයේ පෞද්ගලික තුවක්කු පරිහරණය තහනම් කර ඇති අතර ඒ සම්බන්ධ දරුණු අපරාධ අතිශය දුර්ලභ ය. සාමාන්‍යයෙන් චීන ජාතිකයන් අවංක බව පැවසෙන අතර ඔවුන් අතර සොරකම් ඉතා කලාතුරකින් සිදු වන එවා ප්‍රකාශිත ය. චීනයේ දී තමන්ට අනවශ්‍ය ඇදුම් ආදිය තමන් නැවතී සිටි හෝටල්වල සේවකයින්ගේ පරිහරණයට දමා ආ අවස්ථාවල, ඒවා නැවත දුම්රිය ස්ථානයේ දී හෝ ගුවන් තොටුපලේ දී හෝ තමන් වෙත ලැබෙන්නට සලස්වා ඇති බව සමහර සංචාරකයෝ පවසති.
1970 අවසානයේ සහ 1980 ආරම්භයේ සිදු වූ ඩෙන්ග් ෂියා ඕ පිංගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග අපරාධ 10% කින් පමණ ඉහළ ගිය බව පවසන මෙම වෙබ් අඩවිය මා ඕ සේතූන් සමයේ එය ඉතාමත් පහළ එකක් බව පවසයි. රජයේ දේපළ සියලූම ජනතාවට අයිති යැයි සැලකීමට ජනතාව පුරුදු වී සිටි නිසා රජයේ දේපළ සොර ගැනීම් ද ඉතා අවම විය. මේ වන විට චීනයේ තත්වය පිළිබඳ යම් විවාදිත කරුණු තිබුණ ද චීනය අදටත් ලෝකයේ ඉතා අඩු අපරාධ අනුපාතිකයක් සහිත රටවල්වලින් එකකි.
කියුබාව සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ දී ද අපට හමු වන්නේ එවැනි ම තොරතුරු සමූහයකි. කියුබාවේ අපරාධ පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් එළිදක්වන country facts නැමති වෙබ් අඩවිය පවසන්නේ ලතින් ඇමරිකානු කලාපයේ ඇති අපරාධ අඩුම රට කියුබාව බවයි. පළපුරුදු සංචාරකයින් ලතින් ඇමරිකානු කලාපයේ ම, සමහර විට ලෝකයේ ම පවා සංචාරයට ආරක්ෂිිතම ප්‍රදේශයක් ලෙස කියුබාව සලකයි. විදේශීය සංචාරකයෙකුට නරකක් කිරීමේ අදහසින් වන අපරාධ අතිශයින් දුර්ලභ ය. බීමත් සංචාරකයෙකු අතින් ම යම් වරදක්, අපරාධයක් සිදු වුවත් කියුබානු ජාතිකයෙකු අතින් එවැන්නක් සිදු වීමේ ඉඩකඩ ඉතාමත් අඩු බව පැවසේ. මේ ආදී වශයෙන් කියුබාව සම්බන්ධයෙන් සඳහන් කරන ඉහත වෙබ් අඩවිය පවසන්නේ, කියුබානු ජනතාව සාමාන්‍යයෙන් ඉතා මිත්‍රශීලී සහ උදව් කරන සුළු අය බව ය. ඔවුන් තම ආර්ථික තත්වය නො සලකා අන් අයට උදව් උපකාර කරන බව එහි සඳහන් ය.
ලෝකයේ අපරාධ පිළිබඳ සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවියක් වන crime and society – a comparative criminology tour of the world නම් වෙබ් අඩවිය වියට්නාමය පිළිබඳ පවසන්නේ කාර්මීකරණය වූ රටවල් සමග සංසන්දනය කිරීමේ දී වියට්නාමයේ අපරාධ අනුපාතය ඉතා පහළ බව ය. මෙම සංසන්දනය සිදු කර ඇත්තේ වියට්නාමය පිළිබඳ ඉන්ටර්පෝල් ^INTERPOL& දත්ත ඇසුරිනි. එක්සත් ජනපදයේ F.B.I ආයතනය අපරාධ දර්ශකය ගණනය කිරීමට යොදා ගන්නා කරුණු හතක් මෙම සංසන්දනාත්මක ගණනයට පාදක කර ගෙන ඇත. ඒවා නම් මිනී මැරුම්, බලහත්කාරී ස්ත්‍රී දූෂණය, මංකොල්ල කෑම, බරපතළ පහර දීම්, නිවාස බිදීම්, සුළු සොරකම් සහ මෝටර් රථ වාහන සොරකම් කිරීමයි. ඉහත කරුණු මත වියට්නාමය පිළිබඳ තත්වය ජපානය හා ඇමරිකා එක්සත් ජනපදයේ තත්වය සමග සංසන්දනය කිරීමේ දී ලැබෙන ප්‍රතිඵලය 1 වගුවේ දැක්වේ.

එම සංඛ්‍යා අනුව අපට පෙනෙන්නේ වියට්නාමයේ අපරාධ අඩු වෙමින් යන ප්‍රවණතාවකි. කිසිදු ධනේශ්වර රටක් තුළ අපට එවැනි නිරීක්ෂණයක් දැක ගන්නට නොමැත. මෙම කරුණු පෙළ ගැස්වීමේ දී අවශ්‍ය සංඛ්‍යා දත්ත තොරතුරු ලබා ගත් කිසිදු වෙබ් අඩවියක් සමාජවාදයට හිතවාදී ඒවා නොවේ. ඒවායින් උපුටා ගත් දත්ත තුළින් පවා අපට නිරීක්ෂණය වනුයේ ධනවාදය තුළ වැඩි වැඩියෙන් අපරාධ වැඩෙන බවත් සමාජවාදය තුළ අපරාධ අවම වන බවත් ය. අපරාධවලින් හෙම්බත්ව ඇති ලෝකය අපරාධවලින් තොර ලෝකයක් ගැන සිහින දකිමින් සිටී. කෙනෙක් එය සිහිනයක් ලෙස මිස යථාර්ථයක් ලෙස පිළිගන්නට පවා කිසිදු සූදානමක් නැත. අපරාධ සහමුලින්ම සමාජයෙන් තුරන් වීමට නම් පංති රහිත සමාජයක් බිහි විය යුතු ය. එවිට මිනිසුන් මිනිසුන්ට එරෙහි වීමේ, එනම් අපරාධ සිදුවීමේ මූලික සමාජ කොන්දේසිය අහෝසි වී යයි. එවන් දිශාවකට ලෝකයට ගමන් කළ හැකි බව පෙන්වන ජීවමාන උදාහරණ වන්නේ, පවතින සමාජවාදී රාජ්‍යයන් අතලොස්ස ය. පැවති සමාජවාදී රාජ්‍යයන් ද මේ සත්‍යය ඔප්පු කරන සාධක ලෙස ගත හැක.