එඞ්වින් හබල් – Edwin Hubble

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සොබාදහමේ රහස් සෙවීමට මිනිසාට වූ පෙළඹවීම වසර දහස් ගණනක් පුරා ඔහු විසූ වටපිටාවට පමණක් සීමා විය. පෘථිවියෙන් පිටත විශ්වයේ රහස් සෙවීමට උත්සාහ කිරීම දක්වා පුළුල් වූයේ පන්ති සමාජයේ බිහි වීමත් සමඟ විද්‍යාවන් ස්වාධීන විෂයන් ලෙස සංවර්ධනය වීම ඇරඹීමත් සමඟ ය. අධ්‍යයනය කරන සීමාවන් පුළුල් වෙද්දී ඒ අධ්‍යයනයන් උදෙසා නව විෂය පරාසයන් ගොඩනැඟීම ඇරැඹිණි. පෘථිවියෙන් ඔබිබට – සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට – ආදී පුළුල් වූ සීමාව ක්‍ෂීර පථයෙන් ඔබ්බට දක්වා වූ ගමනට සවිය දුන් ප‍්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු ලෙස එඞ්වින් හබල් ඉතිහාසයට එක්ව ඇත. ඒ සමඟ ම ක්‍ෂීරපථයෙන් එපිට විශ්වය හැදෑරීම සඳහා නව විෂය පථයක් විද්‍යාවට එක් කරන ලද්දේ ද ඔහුගේ එම දායකත්වයත් සමඟිනි.

එඞ්වින් පවල් හබල් උපත ලද්දේ 1889 නොවැම්බර් මස 20 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි ප‍්‍රාන්තයේ මාර්ෂ්ෆීල්ඞ් නම් ප්‍රදේශයේ දී ය. ඔහුගේ මව වර්ජිනියා ලී හබල් වූ අතර, රක්‍ෂණ සමාගම් සේවකයකු වූ පියා ජෝන් පවල් හබල් නම් විය.

යොවුන් වියේදී සමකාලීනයන් අතර ඔහු වඩාත් ප‍්‍රචලිත වූයේ ක‍්‍රිඩාවේ අති දක්ෂයෙක් ලෙසයි. පැසි පන්දු, බේස් බෝල් හා පාපන්දු යන ක‍්‍රීඩාවන් සඳහා විශේෂ දක්ෂතා දැක් වූ ඔහු අනෙකුත් ක‍්‍රීඩාවන්හි දීත් සිය දක්‍ෂතා පෙන්වනු ලැබීය. එම දක්‍ෂතා අනුව පදක්කම් රැසක් රැස් කළ හබල් 1907 සිට චිකාගෝ විශ්වවිද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරමින් සිය කණ්ඩායමට ජයග‍්‍රහණයන් රාශියක් ගෙන ඒමට ද සමත් වූ අයෙකු විය.

1910 දී චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට හබල් සමත් විය. එහෙත්, සිය
පියාට වූ පොරොන්දුවක් මත නීතිය, සාහිත්‍යය හැදෑරීමට යොමු වූ ඔහු සාහිත්‍යය හා ස්පාඤ්ඤ භාෂාව සඳහා ද විශාරද උපාධි ලබා ගැනීමට සමත් විය. 1913දී සිය පියාගේ අභාවයත් සමඟ මව සහ සහෝදර සහෝදරියන් පිළිබඳව වගකීම තරුණ හබල් පිට පැටවිණි.

කුඩා කල පටන් විශ්වය ගැන හැදෑරීමට ඔහු තුළ තිබූ ආශාව අතහැර නීතිය ඉගෙනීම උදෙසා ඔහු තබා තිබූ පියවර නැවත වෙනස් කිරීමට ද ඒ සමඟ ම ඔහු තීරණය කළේ ය. ඒ අනුව චිකාගෝ විශ්වවිද්‍යාලයේත් පසුව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේත් විද්‍යාව සහ ගණිතය සම්බන්ධ පාඨමාලා කිහියක් ම හැදෑරීම ඔහු ආරම්භ කළේ ය. 1917 වන විට අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම උදෙසා ඔහුට මඟ පෑදුවේ මෙයයි. කෙසේ වුවත්, එක්සත් ජනපද නාවික හමුදාවට ඇතුළත් වීම නිසා විශේෂයෙන් පළමු ලෝක යුද්ධය සහ දේවන ලෝක යුද්ධය සමයන්හි ඔහුට අභ්‍යවකාශ විද්‍යාව හැදෑරීමෙන් වරින්වර ඈත් වීමට සිදු වූ අවස්ථා ද විය.

අභ්‍යවකාශ විද්‍යාව තුළ හබල් කීර්තියට පත්වූයේ ක්‍ෂීරපථයෙන් ඔබ්බට වූ විශ්වය සඳහා විද්‍යාවේ මං පෙත් විවර කිරීම හේතුවෙනි. ඒ අනුව චක‍්‍රවාට වර්ගීකරණය සඳහා වූ ‘හබල්ගේ අනුක‍්‍රමය’ චක‍්‍රාවාටයන්ගේ හැඩරුව පිළිබඳවත්, එසේ වීමට ඇති හේතු පිළිබඳවත් මූලික අදහසක් ලබා දෙන ලදී.

එමෙන්ම එසේ චක‍්‍රාවාට අධ්‍යයනයනයේ දී ඔහු විසින් නිරීක්‍ෂණය කළ තවත් විශේෂ ලක්‍ෂණයක් වූයේ ඒ සෑම චක‍්‍රාවාටයකින් ම නිකුත් වන වර්ණාවලිය දෘශ්‍ය වර්ණාවලියේ රතු දිශාවට බරව පවතින බවයි (රක්ත විස්ථාපනය). එසේ වීමට නම් ඒ සෑම චක‍්‍රාවාටයක් ම අප සිටින ක්‍ෂීර පථයෙන් ඈත් වෙමින් සිටින බවත්, එසේ නම් සෑම චක‍්‍රාවාටයක් ම එකිනෙකින් ඈත්වෙමින් පවතින බවත් ඔහු විසින් නිගමනය කරන ලදී. ඒ අනුව විශ්වය තිබෙනුයේ ප‍්‍රසාරණය වෙමිනි.

සෑම චක‍්‍රාවාටයක් ම එසේ එකිනෙකින් ඈත්වෙමින් ඇත්තේ නම් ආරම්භය සිදුව ඇත්තේ එක් තැනක සිට විශ්වය පුරාවට ද්‍රව්‍ය විසිරී යාමකින් බවට ඔහු කළ උපකල්පනය, විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් වූ මහා පිපිරුම්වාදය තහවුරු කිරීමට බෙහෙවින් ඉවහල් විය. බෙල්ජියම් ජාතික විද්‍යාඥයකු වූ ජෝර්ජ්ස් ලැමිටි‍්‍ර විසින් මෙම අදහස මීට පෙර ඉදිරිපත් කර තිබුණ ද, එය හේතු සහිතව වඩ වඩාත් තහවුරු කිරීම නිසා මහා පිපිරුම්වාද පිළිබඳ වූ න්‍යාය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩි ගෞරවයක් හබල්ට හිමිව ඇත. එසේ ම ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පැවතිය යුතුය යන උපකල්පනය ද ඒ අනුව තහවුරු විය.

ක‍්‍රිස්තියානු භක්තිකයෙකු වූ ඔහු 1953 සැප්තැම්බර් මස 28 වන දින ඔහු මිය යන විට අඥෙයවාදියකු වූ බව සඳහන් ය. අභ්‍යවකාශ විද්‍යාව වෙනුවෙන් කළ සේවය නිසා ඔහු දිනූ පදක්කම් සහ ත්‍යාගයන්ද ගණනාවක් විය. අප කවුරුත් දන්නා ‘හබල් දුරේක්‍ෂය‘ ද ඇතුළුව ඔහුගේ නමින් නම් කෙරුණු දේ ද බොහෝ ය. කෙසේ වෙතත්, ඔහුට නොබෙල් ත්‍යාගය දිනාගැනීමට අවස්ථාවක් නොවීය. ඒ ඔහුගේ අඩුවක් නිසා නොව ඒ වන විට ස්වාධීන විෂය ක්‍ෂේත‍්‍රයක් ලෙස අභ්‍යවකාශ විද්‍යාව නොතිබූ නිසා භෞතික විද්‍යාව සඳහා හැරෙන්නට අභ්‍යවකාශ විද්‍යාව උදෙසා එවැන්නක් ලබා නොදීම ය.

එඞ්වින් හබල් – Edwin Hubble