නැනෝ තාක්ෂණයේ පස්වෙනි පිම්ම

hqdefault
Che Guevara on ABC Television on 22/03/1964
March 10, 2017
technology
ඒ අවිය ඔවුන්ගේ ද?
March 10, 2017
Show all

නැනෝ තාක්ෂණයේ පස්වෙනි පිම්ම

jtnst3-1

නැනෝ තාක්ෂණය එසේත් නැතිනම් ‘නිනිති තාක්ෂණය’ යනු වර්තමානයේ බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන් ම කුතුහලයට ද බඳුන් වූ මාතෘකාවකි. විද්‍යාවේ මෑතකාලීන සංවර්ධනයන් විසින් හෙළි පෙහෙළි කළ කාර්මික තාක්ෂණයේ නවමු ඉසව්වක් ලෙස නැනෝ හෙවත් නිනිති තාක්ෂණය හැඳින්වීම වඩා උචිත ය.
අප පරිභෝජනයට ගන්නා භාණ්ඩ නිෂ්පාදනයේ දී මෙතෙක් කලක් භාවිතයට ගැනුණේ එකී පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා සංඝටක හෝ අමුද්‍රව්‍යවල මයික්‍රෝ මීටර පරිමාණය දක්වා වූ අංශු පමණි. එහෙත් ඉන් ඔබ්බට යමින් නිෂ්පාදන අමුද්‍රව්‍යවල නැනෝ පරිමාණයේ අංශු සොයා ගනිමින් හා එම නැනෝ පරිමාණයේ අංශු සූක්ෂම ලෙස නිෂ්පාදනයන් සඳහා යොදා ගැනීම මඟින් වඩා කාර්යක්ෂම හා ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදනයන් සිදු කිරීමේ දැවැන්ත පිම්මක් පැනීමට ‘නැනෝ තාක්ෂණය’ අර අඳිමින් සිටී.

ගල් ආයුධයේ සිට අන්තර්ජාලය දක්වා….
මානව ඉතිහාසයේ පැලියෝලිතික් ( Paleolithic) යුගයේ දී දඩයම් කිරීම සඳහා සාමූහික මිනිස් ශ්‍රමය වෙනුවට ගල්වලින් තැනූ ආයුධ භාවිතයත් සමඟ ඇරඹි නිෂ්පාදන උපකරණ සංවර්ධනය, වසර 50,000කට එපිට (පැලියෝලිතික යුගයේ දීම) ගින්දර සොයා ගැනීම, එඩේර යුගයේ දී රෝදය සොයා ගැනීම,ගොවි යුගයේ දී යකඩ සොයා ගැනීම හරහා විත් 18 වන සියවසේ අගභාගයේ දී කාර්මික විප්ලවය වෙත එළැඹිණි.
සෘජු මිනිස් ශ්‍රමය පාදක වූ හස්ත කර්මාන්ත මට්ටමේ තිබූ භාණ්ඩ නිෂ්පාදනය, විවිධ සොයා ගැනීම් ඔස්සේ ක‍්‍රමිකව, යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගැනෙන කර්මාන්ත ශාලා දක්වා වෙනස් වන්නට පටන් ගැනුණි.කි‍්‍ර.ව.1750 පමණ සිට වසර 100කට ආසන්න කාලයක් තිස්සේ එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි මෙම පළමු කාර්මික විප්ලවය උතුරු ඇමෙරිකාව හා බටහිර යුරෝපය හරහා ලෝකයේ සියලු දිශාවන්හි ව්‍යාප්ත විය.
1760ගණන්වලදී නිපදවූ කපු කටින යන්ත්‍ර කිහිපයක් සමඟ රෙදිපිළි නිපැයුම් කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් ඇතිවිය. එමෙන්ම 1775 දී පමණ සුප්‍රසිද්ධ ‘‘ජේම්ස් වොට් ගේ වාෂ්ප එන්ජිම’’ සොයා ගැනීමත් සමඟම කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර තැනීම හා භාවිතය ඇරඹිණි. යකඩ නිෂ්පාදනයේ දී සිදු වූ තාක්ෂණික දියුණුව ද මෙකී පළමු කාර්මික විප්ලවය මගින් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කෘෂිකාර්මික තාක්ෂණයේ මෙන් ම ප්‍රවාහන හා අනෙකුත් තාක්ෂණ උපකරණවල වැඩි දියුණුවට විශාල බලපෑමක් එල්ල කරනු ලැබිණි.

1850 දී පමණ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවකු වන හෙන්රි බෙස්මර් විසින් යකඩ භාවිතයෙන් මහා පරිමාණ වශයෙන් වානේ නිපදවා ගැනීමේ තාක්ෂණය සොයා ගැනීම හා ඒ සඳහා භාවිත කළ හැකි නව ඌෂ්මකයක් නිර්මාණය කිරීම සිදු කෙරුණි. ඔහු හඳුන්වා දුන් තාක්ෂණය හා නිපදවූ ඌෂ්මකය පාදක කොට ගෙන වානේ නිපදවීමේ තාක්ෂණයේ විශාල අත්හදා බැලීම් හා පර්යේෂණ ඔස්සේ මහා පරිමාණ වානේ නිෂ්පාදනයක් ද, වානේ භාවිතයෙන් ප‍්‍ර‍්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ද සිදුවුණි. ප්‍රාථමික මට්ටමේ පැවති දුම්රිය හා දුම්රිය මාර්ගවල ඇති වූ සංවර්ධනය අති මහත් විය. විශේෂයෙන්ම වානේ තාක්ෂණයේ හා දුම්රිය ප්‍රවාහනයේ පුළුල් වීම ආශ්‍රිතව ඇතිවූ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නැගීම දෙවන කාර්මික විප්ලවය ලෙස හැඳින්වේ.

විසිවන සියවසේ මුල්භාගයේ සිට රසායනික කර්මාන්තයේ පෙට්‍රෝලියම් පිරිපහදුව හා බෙදාහැරීමේ හා විදුලිය මෙන් ම විද්‍යුත් යන්ත්‍ර හා විද්‍යුත් උපකරණ තාක්ෂණයේ නව සොයා ගැනීම් ද ඊට අනුරූපී ලෙස මෝටර් රථවාහන ක්ෂේත්‍රයේ මහා ඉදිරි පිම්ම ද තෙවන කාර්මික විප්ලවය ලෙස හැඳින්විය හැක. තෙවන කාර්මික විප්ලවයේ අන්තර්ගත ක්ෂේත්‍ර අතර දුරස්ථ සන්නිවේදනයේ නව සොයා ගැනීම් ද එතෙක් භාවිත කරමින් සිටි ගල් අඟුරුවලට විකල්පය ලෙස, භාණ්ඩ නිෂ්පාදනයේ තරගය විසින් ඉල්ලා සිටි නව බලශක්ති ප්‍රභවයක අවශ්‍යතාවය සපුරා ලමින් 19වැනි සියවසේ අගභාගයේ හා විසිවැනි සියවසේ මුල්භාගයේ එංගලන්තය කේන්ද්‍ර කර ගෙන කරළියට පැමිණි ජල විදුලි බල තාක්ෂණය ද සුවිශේෂී වේ.
1950න් මෙපිට පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංගත් අන්තර්ජාලයේත් බිහි වීම හා ශීඝ්‍ර දියුණුව මගින් කාර්මික ක්ෂේත්‍රයේ සිදු වූ මහා සංවර්ධනය හතර වන කාර්මික විප්ලවය ලෙස ගැනේ.

නැනෝ….
මිලි මීටර් එකකින්(1mm) 1000න් පංගුවක් මයික්‍රෝ මීටර්(1μm) එකකි. මයික්‍රෝ මීටර් එකකින් 1000න් පංගුවක් නැනෝ මීටර්(1nm) එකකි. නැනෝ මීටර් 1 සිට 100 දක්වා වන පරාසයේ ක්ෂුද්‍ර අංශු ‘නැනෝ අංශු’ ලෙස හැඳින්වේ(Nano particles). මේ දක්වා නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිතයට ගැනුණේ අමුද්‍රව්‍ය හෝ සංඝටකවල මයික්‍රෝ මීටර පරිමාණයේ අංශු පමණි. එහෙත් නැනෝ පරිමාණයේ අංශු සොයා ගැනීමත් සමඟ මයික්‍රෝ පරිමාණයේ හෝ ඊට විශාල අංශුවලට වඩා සුවිශේෂී භෞතික හා රසායනික ගුණ නැනෝ පරිමාණයේ අංශුවල ඇති බව විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය කෙරිණි. නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා නැනෝ තාක්‍ෂණය යොදා ගැනීම ඇරඹෙන්නේ මෙය සමගිනි.

මේ පිළිබඳව පළමු හෝඩුවාව ඉදිරිපත් කර ඇත්තේ 1960 වසරේ ඇමෙරිකානු භෞතික විද්‍යා සංගමයේ වාර්ෂික සැසි වාරයක දී රිචඞ් ෆයින්මාන් නම් ප්‍රකට භෞතික විද්‍යාඥයා විසින් “There is plenty of room at the bottom” (පතුලේ ඕනෑ තරම් ඉඩ තිබේ) නමැති දේශනය මඟිනි.

පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ නැනෝ පරිමාණය දක්වා වූ අංශු හා ඒකක නිරීක්ෂණය කිරීමට හැකි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය(Electron microscope) පරමාණුක බල අන්වීක්ෂය(Atomic force microscope) හා පරිලෝකන උමං අන්වීක්ෂය(Scanning Tunneling microscope) ආදී උපකරණවල ආගමනය හා විවිධ ද්‍රව්‍යවල පරමාණුවෙන් පරමාණුවට හා අණුවෙන් අණුවට තැන්පත් කරමින් නැනෝ අංශු(Nano particles) නැනෝ දඬු(Nano rods) නැනෝ පටල(Nano films) හා නැනෝ කම්බි(Nano wires) වැනි නැනෝ ව්‍යුහයන් තැනීමේ හැකියාව ඇති(^Molecular beam epitaxy-MBE යන්ත්‍ර වැනි) යන්ත්‍රවල ආගමනය ද රිචඞ් ෆයින්මාන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු පුරෝකථනයෙන් යථාර්ථයක් බවට පෙරළනු ලැබිණි.

මිනිස් සිරුරෙහි හා සොබාදහමෙහි බොහෝ විශ්මිත දෑ හා විශ්මිත ක්‍රියාකාරීත්වයන් පසුපස ඇති රහස ස්වාභාවික නැනෝ පරිමාණයේ ව්‍යුහයන් හා අංශු බව නැනෝ විද්‍යාත්මක පර්යේෂණයන් මගින් දැනටමත් තහවුරු කර ගෙන තිබේ.

මිනිරන් යනු කාබන් ස්ඵටිකයකි. මිනිරන් තැනී ඇත්තේ, මිනිරන් අණු ස්තර එකිනෙකක් මත සකස් වීමෙනි. මෙම මිනිරන් අණු ස්තරයක් ග‍්‍රැෆීන් ස්තරයක් ලෙස හඳුන්වන අතර මිලි මීටර් එකක ඝනකමින් යුත් මිනිරන් තුනී පටලයක ග‍්‍රැෆීන් ස්තර මිලියන 7ක් පමණ ඇත. මෙම නැනෝ පරිමාණයේ ග‍්‍රැෆීන් ස්තර තාක්ෂණික භාවිතය සඳහා යොදා ගත හැකි බව දැනටමත් සොයා ගෙන ඇත. එම පර්යේෂණවලට අනුව ග‍්‍රැෆීන් ආශ්‍රිත ද්‍රව්‍ය ලොව මෙතෙක් සොයා ගෙන ඇති යාන්ත්‍රික වශයෙන් ප‍්‍රබලම ද්‍රව්‍ය වන කෙව්ලෝර්වලටත් වඩා ප්‍රබල බව සහතික කොට ඇත. ග‍්‍රැෆීන් පාරදෘශ්‍ය මෙන් ම හොඳ විද්‍යුත් සන්නායකයක් ද වන බැවින් අනාගතයේ දී රූපවාහිනී තිර, පරිගණක තිර හා සූර්‍ය කෝෂ ආදී තාක්ෂණික උපකරණ සඳහා භාවිත වනු ඇත. ග‍්‍රැෆීන් ස්තරයක් සංවෘත හෝ විවෘත බටයක ආකාරයෙන් පිහිටන ලෙස නිපදවා ගත හැකි ව්‍යූහ කාබන් නැනෝ බට ලෙස හැඳින්වෙන අතර මෙම කාබන් නැනෝ බට වල ඇති මෙතෙක් අත් නො දුටු සුවිශේෂී රසායනික හා භෞතික ගුණ පදනම් කර ගෙන මේවා ආශ්‍රයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී ක්ෂේත්‍රවල විවිධ නිපැයුම් අත්හදා බැලෙමින් පවතී.

තවද කාබන් පරමාණු 20කට වැඩි සංඛ්‍යාවක් එක් කොට විවිධ හැඩ ඇති අණු තැනිය හැකි බව ද සොයා ගෙන තිබේ. මේවා පොදුවේ ෆුලරීන් (Fullerene) යන පොදු නමකින් හැඳින්වේ. ඒ අනුව මේ වන විට කාබන් පරමාණු 60ක් එක් වී සෑදෙන C60 අණුව ද සොයා ගෙන තිබේ. මෙම ෆුලරීන් 60 අණුව ගෝලාකාර හැඩයක් ගන්නා අතර විශ්කම්භයෙන් 1nm පමණ වේ. මෙය බක්මිනිස්ටර් ෆුලරීන් ලෙස හැඳින්වෙන අතර සුවිශේෂී ගුණ පෙන්වන මෙම නැනෝ අංශු ද ඉදිරියේ දී විවිධ තාක්ෂණික මෙවලම් තැනීම සඳහා යොදා ගනු ඇත. කාබන් නැනෝ නාල හා සමගාමීව අකාබනික නැනෝ නාල නිපදවීමේ පර්යේෂණ ද මේ වන විට සාර්ථක වී ඇත.
දැනට භාවිත වන සූර්ය කෝෂ, ලේසර, ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික උපකරණ,ආලෝක විමෝචක ඩයෝඩ(LED), හා අධෝරක්ත සංවේදක(Infrared sensors)ආදී විවිධ උපාංගවලට යොදා ගෙන ඇත්තේ කැඞ්මියම් සල්ෆයිඞ්(CdS), සින්ක් සල්ෆයිඞ්(ZnS), කැඞ්මියම් ටෙලූරයිඞ් (CdTe) ආදී අර්ධ සන්නායක සංයෝග වේ. ඒ ඒවායේ මයික්‍රෝ පරිමාණයේ කොටස් ලෙසිනි. එහෙත් මෙම අර්ධ සන්නායක ද්‍රව්‍යවල ම නැනෝ පරිමාණයේ කොටස්වල භෞතික, රසායනික ගුණ ඉතා විශාල අතර ඒවා ක්වොන්ටම් තිත් (Quantum dots) හෙවත් Q-තිත් (Q -dots) ලෙස හඳුන්වයි. මෙම Q – dots ආශ‍්‍රයෙන්ද විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා බලශක්ති ක්ෂේත‍්‍රයන් හි දැවැන්ත වෙනසක් කළ හැකි නිපැයුම් එළිදැක්වෙමින් තිබේ.

පස්වැනි පිම්ම….
නෙළුම් පතක් මත දිය බිඳු නොරැඳුනු අතරම ඒ මත වැටෙන දිය බිඳු මඟින් පෘෂ්ඨයෙහි ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ස්වාභාවික පිරිසිදු කරණයක් ද සිදු කරයි. එමෙන්ම හූනන් වැනි සතුන්ට සිරස් පෘෂ්ඨවල මෙන් ම තිරස් පෘෂ්ඨවල යටි පැත්තේ ද ඇවිදීමට පුළුවන. එමෙන්ම සමනළ පියාපත්වල විවිධ දිලිසෙන වර්ණ දක්නට ලැබේ. ස්වාභාවික පරිසරයේ දක්නට ලැබෙන මෙම විශ්මිත සංසිද්ධීන්වල රහස ස්වාභාවික නැනෝ අංශු හා ඒවායේ අපූර්ව ගුණාංග වේ. නැනෝ තාක්ෂණයෙන් මෙවැනි විශ්මිත ස්වාභාවික සංසිද්ධීන් හා ක්‍රියාකාරීත්වයන් අධ්‍යයනය කරනවා පමණක් නොව ඒවායේ මූලික සිද්ධාන්තයන් ඔස්සේ ඉදිරියේ දී නව නිපැයුම් ද බිහි කරනු ඇත. නෙළුම් පතේ ඇති ජලය නොරැඳුනු හා ස්වාභාවික පිරිසිදු කිරීමේ ගුණය භාවිතයෙන් තෙත් නොවන තීන්ත හා විවිධ ආලේපන, කුණු නො බැඳෙන ඇඳුම් පැළඳුම් ද, හූනන්ගේ පාදවල ඇති නැනෝ අංශු ආශ්‍රයෙන් නවීන සුපිරි මැලියම් (Super glue) සමනළ පියාපත්වල විවිධ වර්ණවලට මූලික වන නැනෝ අංශු අනුසාරයෙන් වෛවර්ණ පැහැයන් ගෙන් යුත් තීන්ත ද නිපයනු ඇත. ජීව සෛලයක සාමාන්‍ය විශාලත්වය මයික්‍රෝ මීටර 5-100 ක් තරම් වේ. එහෙත් එම ජීවී සෛලයක් තුළ ඇති සියලු කොටස් නැනෝ පරිමාණයේ ඒවා වේ. සැබැවින් ම ජීවය පවතින්නේ මෙකී සෛල අභ්‍යන්තරයේ ඇති නැනෝ ඉන්ද්‍රියයන්ගේ සුවිශේෂී ක්‍රියාකාරීත්වය හේතුවෙනි. එහෙයින් මිනිස් සිරුරේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අංශු හා පටක අධ්‍යයනයට ද එම ජීව කොටස්වල ඇති වන රෝගාබාධ සොයා ගැනීම සඳහා නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ ද විවිධ රෝගාබාධවල සැබෑ මූලයන් වෙත පමණක් ඖෂධ යොමු කිරීමේ ක්‍රම ද(Target drug delivery) රෝග සුව කිරීම සඳහා නවීන ඖෂධ වර්ග නිපයීම ආදී ලෙස වෛද්‍ය විද්‍යාවේ මෙන් ම ජීව තාක්ෂණයේ විශාල පුළුල් වීමක් අපේක්ෂා කෙරේ.
මෙතෙක් ප්‍රභාසංස්ලේෂණය කෘත්‍රිමව සිදු කිරීමට නොහැකි වූයේ එය ශාක තුළ සිදු වන්නේ නැනෝ පරිමාණයේ අවයවයන්වල බැවිනි. එහෙත් දැන් ශාක තුළ සිදු වනවාටත් වඩා ඉහළ කාර්යක්ෂමතාවකින් කෘතිමව ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීමේ තාක්ෂණයන් නිපදවනු ඇත. එමෙන්ම ඉහත සඳහන් කල Q-dots භාවිතයෙන් වැඩි කාර්යක්ෂමතාවකින් යුතු ව හිරු එළියෙන් විදුලිය නිපදවීම මෙන් ම නව බලශක්ති ප්‍රභව සොයා ගැනීම, මෝටර් රථවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ යාම ආදී බලශක්ති ක්ෂේත්‍රයේ වෙනසක් මෙන් ම අපිරිසිදු ජලය පානීය ජලය බවට පෙරළන සූක්ෂ්ම නැනෝ පෙරන මෙන් ම කෘෂිකාර්මික හා පාරිසරික ක්ෂේත්‍රයේ අද්විතීය නවමු තාක්ෂණයන් ද කරළියට පැමිණෙනු ඇත.

විශේෂයෙන් පරිගණක හා සන්නිවේදන තාක්ෂණික උපකරණවල ප්‍රමාණය ඉතා කුඩා පරිමාණයක් දක්වා අඩු වීමත් දත්ත ගබඩා කිරීම දත්ත සම්ප්‍රේෂණයේ ඇදහිය නොහැකි සූක්ෂ්ම කරණයක් ද සමඟින් එම ක්ෂේත්‍රයන්ගේ විශාල පිබිදීමක් සිදු වනු ඇත. නැනෝ තාක්‍ෂණය මඟින් ස්වාභාවික සම්පත් තිරසාර ව භාවිතා කිරීමේ මිනිස් හැකියාව ඉතා ඉහළ නංවයි. උදාහරණයක් ලෙස තවමත් බොහෝ ක්ෂේත්‍රවල නිෂ්පාදනය කරන්නේ, විශාල අමුද්‍රව්‍ය ප‍්‍රමාණයක් සකස් කර ගෙන එයින් අවශ්‍ය භාණ්ඩය නිපදවා ගැනීමයි. උදා: අපට අවශ්‍ය කඩදාසි රවුමක් හෝ රවුම් කිහිපයක් සකස් ගැනීමට විශාල කඩදාසියක් ගෙන රවුම් කිහිපය කපා ගන්නා සේ ය. පුටුවක් සාදා ගැනීමට විශාල ගසක් කපා ලී ඉරා පුටුවක් සාදා ගන්නා ආකාරයට ය. විශාල රෙද්දක් කපා කමිසයක්, කලිසමක් නිෂ්පාදනය මෙනි. මෙමඟින් ස්වාභාවික සම්පත් විශාල වශයෙන් අපතේ යයි. නැනෝ තාක්‍ෂණය මඟින් ඉතා ම කුඩා අංශු යොදා ගෙන නිෂ්පාදනය සිදු වන බැවින් අපට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය ප්‍රමාණයෙන් සකස් කර ගැනීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය පමණක් යොදා ගෙන ඉටු කර ගැනීමේ හැකියාව මිනිසා අත්පත් කර ගෙන ඇත. එමගින් සුවිශාල වශයෙන් ස්වාභාවික සම්පත් ආරක්‍ෂා කර ගැනීමට ද හැකි වනු ඇත.

විවිධ අත්හදා බැලීම් පර්යේෂණයන් හා නිෂ්පාදනයන් ඔස්සේ සිදු වන නැනෝ තාක්ෂණයේ මෙම ප්‍රමාණාත්මක වෙනස, ගල් ආයුධයේ සිට අන්තර්ජාලය දක්වා පැමිණෙමින් කාර්මික තාක්ෂණයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක දියුණුව ඇති කළ නිෂ්පාදන උපකරණ සංවර්ධනයේ මීළඟ ගුණාත්මක පිම්ම බවට විශේෂයෙන්ම 18 වන සියවසේ අගභාගයෙන් ඇරඹි කාර්මික විප්ලවයේ 5 වැනි පිම්ම වනවාට කිසිදු සැකයක් නොමැත.

එහෙත් මෙම කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ කිසිදු ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක දියුණුවක අයිතිය හෝ ප්‍රතිලාභ සමස්ත මානව ප්‍රජාව වෙත ගලා යන්නේ නැත. එහි ආධිපත්‍යය නිසැකවම ලාභ ඉපයීම උදෙසා කේන්ද්‍ර ගත වනු ඇත. නැනෝ තාක්‍ෂණය මිනිසාගේ සොබාදහමේ නියාම තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ සාධකයකි. අනාගත මිනිසාගේ යහපැවැත්මට අවශ්‍ය තාක්‍ෂණය ඔහු විසින් සොයා ගෙන තිබේ. ඒ තාක්‍ෂණයේ ප්‍රතිලාභ මානව වර්ගයාටම භුක්ති විදිය හැකි සමාජයක් ද ඔහු විසින් නිර්මාණය නො කර ගනී වී යයි කිව හැක්කේ කාට ද?

වෛද්‍ය සුසිල් රණසිංහ