ඒ අවිය ඔවුන්ගේ ද?

jtnst3-1
නැනෝ තාක්ෂණයේ පස්වෙනි පිම්ම
March 10, 2017
brain
විශ්මිත මිනිස් මොළය
March 10, 2017
Show all

ඒ අවිය ඔවුන්ගේ ද?

technology

ධනේශ්වර ක‍්‍රමය ඇරඹීමත් සම`ගම විද්‍යාවත් තාක්ෂණයත් පිමි පනිමින් සංවර්ධනය වීම ඇරඹිණි. අද වන විට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව එහි උපරිම සංවර්ධනයක් අත්පත් කර ගෙන සිටී. එනයින් ආහාර තාක්ෂණය, කෘෂිකාර්මික තාක්ෂණය පෙර නොවූ විරූ දැනුමක්, සංවර්ධනයක් අත්පත් කර ගෙන සිටී. එහෙත් එකී අත් පත් කර ගත් විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය සමස්ත මානව සංහතියේ උන්නතිය සඳහා නො යොදවන, එහි ප්‍රතිලාභ මිනිස් ප්‍රජාවේ පැවැත්මට ලබා නොදී ලාභ ඉපයීම, අතිරික්ත වටිනාකම් නිපදවිම හා ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ව්‍යාපෘතින් සඳහා යෙදවීමේ ජුගුප්සාජනක ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස ආහාර, ජලය වැනි මූලික ම අවශ්‍යතාවයන් වත් නො ලැබීම නිසාම දෛනික ව, වාර්ෂිකව මිනිසුන් මිලියන ගණනක් මියැදෙන තත්වයක් උද්ගත ව තිබේ.
පෝෂණය පිළිබඳ දත්තවලට අනුව වසර 2010 වන විට ලොව පුරා කුස ගින්නෙන් පෙලෙන ජනතාව මිලියන 925 ක් ලෙස දක්වා තිබේ. ඛේදනීය තත්වය නම් මින් 25,000 ක් දෙනා දෛනික ව කුස ගින්න නිසාම මියයාමයි. මෙපමණක් ද නොවේ ලෝක ජනතාවගෙන් මිලියන 884 ක ප්‍රමාණයකට පිරිසිදු ජලය පරිභෝජනය කිරීමට නො ලැබේ. වාර්ෂිකව මිලියන 3.575 ක ජනතාවක් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ජලය හේතු කොට ගෙන මිය යති. ආහාර හා ජලය යනු මිනිසකුට ජීවත් වීමට අවශ්‍ය මූලික ම අවශ්‍යතාවයන් වන හෙයින්, මෙම සංඛ්‍යා දත්තයන් විශ්ලේෂණය කරන්නකු තුළ (අනෙකුත් මානව අවශ්‍යතා කෙසේ වෙතත්) මේ අත්‍යාවශ්‍ය ම උවමනාවන් වත් ලබා දිය නොහැකි, අප මේ ජිවත් වන සමාජය කෙබඳු සමාජයක් ද? යන කම්පනයක් ඇතිවනු නො අනුමානය.
එහෙත් මෑත භාගයේ දී විද්‍යාත්මක පර්යේෂණයන්, නව සොයා ගැනීම් හා විද්‍යාවේ විවිධ හාස්කම් පිළිබඳ තොරතුරු අනාවරණය කෙරෙන මාධ්‍යයන්වල අපූරු වාර්තා කිහිපයක් පළ කර තිබුණි. ඒ මෑතක දී කෘත්‍රිමව විද්‍යාගාරයක් තුළ, ආහාරයට ගැනීම සඳහා සත්ත්ව මාංශ නිෂ්පාදනය කිරීම පිළිබඳව සිදු කෙරුණ සාර්ථක අත්හදා බැලීමකි. මෙම සොයා ගත් නව තාක්ෂණය අනුව මිනිසා විසින් ආහාරයට ගනු ලබන කුකුළු, ගව, එළු, බැටළු ආදී ඕනෑම සත්ව විශේෂයකට අයත් මාංශ වර්ගයක් එම සතුන්ගේ සෛල සාම්පලයක් වගා කිරීමෙන් විද්‍යාගාරයක් තුළ කෘත්‍රිමව තොග පිටින් නිපදවීම සිදු කළ හැක.
එමෙන්ම විද්‍යාගාරයක් තුළ මිනිස් අවයව නිපදවීම සඳහා වූ පර්යේෂණ සිදු කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වූ බව දැක්වෙන වාර්තාවක් ද පළ වී තිබුණි. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ පාදයක් හෝ අතක් අහිමි වුවහොත් ඒ සඳහා ප්ලාස්ටික්, ෆයිබර් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය උපයෝගී කර ගෙන නිපදවන පාද හෝ අත් සවි කිරීම දැනට දශක කිහිපයක සිට යොදා ගන්නා ක්‍රමයක් වුවත් මේ සඳහන් කරන්නේ එසේ කෘත්‍රිම ද්‍රව්‍යවලින් සකසන මිනිස් අවයව පිළිබඳ`ද නොවේ. සැබෑ මිනිස් සෛලවලින් හා පටකවලින් සමන්විත ස්වාභාවික මිනිස් අවයවවලට සෑම අතින් ම සමාන මිනිස් අවයව නිපදවීමකි.
සතුන් බෝ කිරීමකින් තොරව එහෙත් මහා පරිමාණ සැබෑ සත්ව මාංශ නිපදවීම හා සැබෑ මිනිස් සෛල, පටක වලින් සමන්විත මිනිස් අවයව තැනීමට තරම් විද්‍යාව දියුණු වූ, හාස්කම් පෙන්වන ලෝකයක දෛනික ව කුස ගින්නෙන් 25,000 ක් මියයන්නේ කෙසේ ද? ජල සම්පතින් ආඪ්‍ය වූ ග්‍රහලෝකයක වෙසෙන ජනතාවගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් පිරිසිදු ජලය නොමැතිකමින් මියයන්නේ කෙසේ ද? මේ උභතෝකෝටිකයට පිළිතුරු දීම මෙම ලිපියේ අරමුණයි.
බිලියන 7 ක් වූ ලෝක ජනතාවගේ කුස පිරවීම සඳහා අවශ්‍ය ආහාර ප්‍රමාණය නිපදවා ගැනීමට නොහැකි තරම් අමුද්‍රව්‍ය සීමාසහිත වීම , ආහාර නිපදවීමේ තාක්ෂණය නොමැතිකම, සමස්ත සමාජයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිපදවීම අරභයා වූ පර්යේෂණ සඳහා වන විද්‍යාත්මක දැනුම හා විද්‍යාඥයින් නොමැතිකම නිසා දෛනික ව කුස ගින්නෙන් 25,000 ක් දෙනා මියයන්නේ නම් ඒ පිළිබඳ`දව අප කල්පනා කළ යුත්තේ වෙනස් අයුරකිනි. එවිට එම මරණ අඩු වැඩි වශයෙන් ස්වාභාවික මරණ වේ.
එහෙත් ලෝකයේ තිබෙන්නේ විද්‍යාවේ, දැනුමේ සංවර්ධනයේ ප්‍රමාණාත්මක අඩුවක් හෝ තාක්ෂණයේ හිඟයක් නොවේ. විද්‍යාඥයින්, පර්යේෂකයින් වැනි මානව සම්පත්වල ගැටලුවක් හෝ අමුද්‍රව්‍යවල සීමාසහිත බවක් හෝ නොවේ; විද්‍යාව එහි සංවර්ධනයේ හිණිපෙත්තට ම නැඟ ඊට අනුගාමී තාක්ෂණයේත් නිෂ්පාදන උපකරණවලත් මහා සංවර්ධනයක් ද සහිත ව නමුත් එහි ප්‍රතිලාභ සමස්ත සමාජය වෙත ගලා නොයන තත්වයකි.
ධනේශ්වර ක‍්‍රමය ඇරඹීමත් සම`ගම විද්‍යාවත් තාක්ෂණයත් පිමි පනිමින් සංවර්ධනය වීම ඇරඹිණි. අද වන විට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව එහි උපරිම සංවර්ධනයක් අත්පත් කර ගෙන සිටී. එනයින් ආහාර තාක්ෂණය, කෘෂිකාර්මික තාක්ෂණය පෙර නොවූ විරූ දැනුමක්, සංවර්ධනයක් අත්පත් කර ගෙන සිටී. එහෙත් එකී අත්පත් කර ගත් විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය සමස්ත මානව සංහතියේ උන්නතිය සඳහා නො යොදවන, එහි ප්‍රතිලාභ මිනිස් ප්‍රජාවේ පැවැත්මට ලබා නොදී ලාභ ඉපයීම, අතිරික්ත වටිනාකම් නිපදවිම හා ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ව්‍යාපෘතින් සඳහා යෙදවීමේ ජුගුප්සාජනක ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස ආහාර, ජලය වැනි මූලික ම අවශ්‍යතාවයන් වත් නො ලැබීම නිසාම දෛනික ව, වාර්ෂිකව මිනිසුන් මිලියන ගණනක් මියැදෙන තත්වයක් උද්ගත ව තිබේ.
මෑත භාගයේ දී ජීව විද්‍යාවේ උප විෂයයක් ලෙස ජාන ඉංජිනේරු විද්‍යාව අතිශය වේගවත් ව සංවර්ධනය විය. ජාන ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ ලොව පුරා, කෘෂිකර්මාන්තයේ දී යොදා ගන්නා භෝගයන්ගේ ගුණාත්මක වෙනසක් මඟින් අහිතකර පරිසර සාධකවලට ඔරොත්තු දෙන, කෙටිකාලයකින් අස්වනු ලැබෙන, පිරිවැය අඩු, පෝෂණයෙන් වැඩි, ඉහළ අස්වැන්නක් ලබා දෙන බීජ මගින් ආහාර නිෂ්පාදනයේ විශාල පෙරළියක් කළ හැකි ව තිබුණි. එහෙත් එසේ වූයේ නම් එම ප්‍රාතිහාර්ය පෙරළා අවි අමෝරන්නේ අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්වල ලාභය කෙරෙහි ය; ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම කෙරෙහි ය. එම නිසා බහුජාතික සමාගම් එකී ජාන ඉංජිනේරු තාක්ෂණයේ දියුණුව නම් අවිය ජනතාව වෙත එල්ල කළේ, විද්‍යාත්මක දැනුමේ හා තාක්ෂණයේ ආධිපත්‍යය තමන් වෙත නතු කර ගනිමින් ධනේශ්වර ක‍්‍රමය රැක ගැනීම වෙනුවෙනි. ඔවුහු ජාන ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කර ගෙන වැඩිදියුණු බීජ නිපදවූ අතර සාහසික ලෙස එම ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරමින් එම බීජවල නැවත පැළවීමේ හැකියාව නැති කර දමා බීජ තාක්ෂණය ඔස්සේ සාම්ප්‍රදායික බීජවලින් ගොවියා ඉවත් කර ලෝක පරිමාණ මට්ටමින් ම කෘෂිකර්මාන්තයේ ආධිපත්‍යය තමන් වෙත ලබාගන්නා ගත්හ.
එපමණක් නොව ඔවුහු බීජ තුළ රෝග ඇති කිරීම සඳහාත් එම රෝග සඳහා කෘෂි රසායනික සංයෝග නිපදවීම සඳහාත් නවීන විද්‍යාවේ වර්ධනය යොදා ගනිමින් සිටිති. මෙකී කාර්යයන් සඳහා පර්යේෂණ සිදු කිරීමට ඔවුන් විසින් මහා පරිමාණ කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථාන 16 ක් තරම් ඉහළ සංඛ්‍යාවක් ලොව පුරා පිහිටුවනු ලැබ තිබේ.
වාර්ෂිකව වැඩි වන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා උපයෝගී කර ගත හැකි නවීන තාක්ෂණයන් භාවිත කර විශේෂයෙන්ම Monsanto වැනි බහුජාතික සමාගම් මගින් ”සහශ‍්‍රක බීජ” (Millennium Seeds) හෙවත් ‘මරා ගෙන මැරෙන බීජ’ නිපදවන ලදී. එම බීජවල අස්වනු ඉතා ඉහළ වුවත් බීජයේ සිදු කළ ජාන වෙනසකින් එම බීජ නැවත පැළවීම නවතනවා පමණක් නොව විකෘති කරන ලද පරාගන ක්‍රියාවලිය හරහා එම බීජ රෝපණය කරනු ලබන පරිසරයේ සියලූම ශාකවල හා භෝගයන්ගේ බීජ ද රෝපණය නොවන තත්වයට පත් කිරීමේ විනාශකාරී ක්‍රමවේදයක් සඳහා ජාන ඉන්ජිනේරු තාක්ෂණය උපයෝගී කර ගෙන තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සැලකූ කළ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ හා ඊට අදාළ තාක්ෂණයන්ගේද වූ දියුණුව මානව සංහතියේ සෞඛ්‍යය නගා සිටුවීමට දායක කර ගන්නේ නම් අද ලෝකයේ මිලියන ගණනාවක් මාරාන්තික රෝගවලට ගොදුරු නොවනු ඇත. ලක්ෂ ගණනක් ජනතාවට ඒඩ්ස් රෝගයෙන් පීඩා විදීමට අවශ්‍ය නැත. පිළිකා වැනි මාරාන්තික රෝගාබාධයන්ගෙන් මියැදීමට සිදු නොවනු ඇත. බෝවෙන, බෝ නොවන රෝග හේතුවෙන් ලොව පුරා කුඩා දරුවන් දහස් ගණනක් පීඩා විඳින්නේ නැත. එහෙත් බහුජාතික සමාගම් විසින් අද ඖෂධ මෙන් ම වෛද්‍ය විද්‍යා තාක්ෂණික උපකරණවල ද ඒකාධිකාරයක් රඳවා ගනිමින් රෝගීන්ගෙන් ලාභ ඉපයීම සඳහා එකී ඒකාධිකාරී බලය යොදා ගනිමින් සිටී. ලෝකයේ අති බහුතර රෝගීන් පිරිසක් පිළිකා රෝගයෙන් පීඩා විඳ මියැදුනත් පිළිකාවක් සෑදෙන්නට පෙර සෛල මට්ටමේ වෙනස්කම් සිදු වන අවස්ථාවේ ම හඳුනා ගැනීමට සමත් PET ස්කෑන් තාක්ෂණය සොයා ගෙන භාවිතයට ගැනීම ද අරඹා තිබේ. එහෙත් එකී උපකරණවල මිල තීරණය කරනු ලබන්නේ PET ස්කෑන් තාක්ෂණයේ අයිතිය සතු, පේටන්ට් බලපත්‍රය ලබාගත්, ඒකාධිකාරය හිමි සමාගම විසිනි.
පසුගිය වසර කිහිපය තුළ ඖෂධ ක්ෂේත්‍රයේ දී සිදු වූ පර්යේෂණයන් මඟින් වඩා ඵලදායී අන්දමින් රෝග සුව කළ හැකි, අතුරු ආබාධ අඩු විවිධ නවීන ඖෂධ වර්ග විශාල ප‍්‍රමාණයක් භාවිතයට නිකුත් කර ඇතත් ඒ සියල්ල සිදු වන්නේ මහා පරිමාණ බහුජාතික ඖෂධ සමාගම්වල ප්‍රාග්ධනය යොදවමින් ඔවුන්ගේ උවමනාවන් හා ඉලක්ක පරිදි ය. එසේ සොයා ගත් හා නිපදවන ඖෂධවල ඒකාධිකාරය එකී සමාගම් සතු අතර නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය හා මිල තීරණය කරනු ලබන්නේ ද එකී සමාගම් විසිනි. රෝගීන් පාරිභෝගිකයින් බවට පත් කර ලාභය අරමුණු කර ගැනීම නිසා අද නවීන ඖෂධවල මිල අධික වී තිබේ. මෙසේ අධික ලාභ ලබන නවීන ඖෂධ නිපදවන සමාගම් තව තවත් එවැනි ම වූ නව නිෂ්පාදනයන් සිදු කිරීම සඳහා වෛද්‍ය විද්‍යාඥයින් ,පර්යේෂකයින් යොදා ගනිමින් ලෙඩ රෝගවල හේතු කාරයන්ගේ, මූලයන්ගේ හා ක්‍රියාවලින් තව දුරටත් සියුම් ව අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂණයන්ටද අත ගසා තිබේ. එහෙයින් විෂයයක් ලෙස ගත් කළ අද ලෝකයේ වෛද්‍ය විද්‍යාවත් ඖෂධ ක්ෂේත්‍රයත් වෛද්‍ය විද්‍යා උපකරණ තාක්ෂණ ක්ෂේත්‍රයත් එහි විෂය දැනුමේ මහා දැවැන්ත ප්‍රසාරණයක් සිදු වූ, මහා පරිමාණ වෛද්‍ය විද්‍යා පර්යේෂණ සිදු වන ක්ෂේත්‍රයක් වුවත් ඒ සියල්ල රෝග සුව පත් කිරීම අරභයා නොවේ; රෝගීන් පාරිභෝගිකයින් කර ලාභ ලැබීම අරමුණු කර ගත් බහුජාතික සමාගම්වල වෙළෙඳ ව්‍යාපෘතින් පමණි.
ඛනිජ තෙල්, ගල් අ`ගුරු වැනි ෆොසිල ඉන්ධන භාවිතය නිසා ලෝකයේ බොහොමයක් රටවල කාබන් විමෝචන මට්ටම් අහිතකර මට්ටමින් ඉහළ ගොස් තිබේ. එහි ප්‍රතිඵලය ඕසෝන් ස්ථරයට වන විනාශය මගින් ‘ගෝලීය උණුසුම’ වැනි තත්වයන් ඇතිවෙමින් ලෝක පරිමාණ මට්ටමින් අතිශය අහිතකර පාරිසරික ගැටලුවලට මුහුණ පෑමට සිදුවීමයි.
2011 ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ බිද වැටීමෙන් සෞඛ්‍යයට අහිතකර විකිරණශීලී මූලද්‍රව්‍ය තොග පිටින් මුහුදු ජලයට මිශ්‍ර විය. ජපානයේ සිට කිලෝ මීටර් 200 ක් තරම් ඈත මුහුදෙන් ගත් ජල සාම්පලවල පවා විකිරණශීලී මූලද්‍රව්‍ය මහා පරිමාණ මට්ටමින් දක්නට ලැබුණි. කාන්දු වූ එකී විකිරණශීලී මූලද්‍රව්‍යයන් අතරින් එකකි, Cs 137 හෙවත් සීසියම් 137. පැවතිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත මට්ටමට වඩා තුන් ගුණයේ සිට හය ගුණය දක්වා ප්‍රමාණයකින් මෙම මූලද්‍රව්‍ය මුහුදු ජලයට මුසුව ඇත. එහි අතිශය භයානක ම කාරණය වන්නේ, Cs 137 හි අර්ධ ආයු කාලය (Half-life) වසර 30 ක් වන නිසා නැවත සෞඛ්‍ය ආරක්ෂිත මට්ටම දක්වා මුහුදු ජලයෙහි Cs 137 හි සාන්ද්‍රණය අඩු වීමට වසර 60 සිට 100 දක්වා හෝ ඊටත් වඩා වැඩි කාලයක් ගත වීමයි. ඒ වන විට ආහාර දාම ඔස්සේ පරම්පරා කිහිපයක ජනතාවගේ සිරුරු තුළට මෙම විකිරණශීලී මූලද්‍රව්‍යය ඇතුළු වී විවිධ රෝගාබාධ තනනු ඇත.
ලොව පුරා හරිත බලශක්ති ප‍්‍රභවයන් හා බලශක්ති නිෂ්පාදන තාක්ෂණයන් හා ක‍්‍රමවේදයන් පිළිබඳ`දව ඕනෑ තරම් පර්යේෂණ හා නව අදහස් මෙන් ම යෝජනා ද ඉදිරිපත් ව තිබේ. මුහුදු රළ බලය උපයෝගී කර ගෙන විදුලිය නිපදවීම, වෙනත් ෆොසිලමය නොවන ඉන්ධන ප‍්‍රභවයන්, ජලය, ස්වයං ජනිත විදුලි බලය, සුළං ආදියෙන් ධාවනය කළ හැකි රථ වාහන ඒ අතර වේ. ශ්‍රී ලංකාව වැනි සාපේක්ෂව විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් අඩු රටක පවා විකල්ප බලශක්තියෙන් ධාවනය වන රථවාහන පිළිබඳ`ද හුදකලා පර්යේෂණ කිහිපයක් ගැන අසන්නට ලැබිණි. ගැටලුව වන්නේ, මෙකී හරිත බලශක්තීන්ට මුල් තැන දී ඛනිජ තෙල් භාවිතය අත්හැරිය හොත් ජපානය, ජර්මනිය, ඇමෙරිකාව ඇතුළු රටවල් කොපමණ සංඛ්‍යාවක රථවාහන නිෂ්පාදන සමාගම් කොපමණක් අර්බුදයට යනු ඇත්ද යන්නයි. ලොව පුරා තෙල් සමාගම් කොපමණ සංඛ්‍යාවක වෙළදාම හා ලාභය අඩු වෙනු ඇත්ද යන්නයි. එහෙයින් විකල්ප හරිත බලශක්තීන් භාවිතයට ඒම නවතා ලෝක බලශක්ති අර්බුදයක් නිර්මාණය කරමින් ද මහා පරිමාණ පාරිසරික විනාශයකට ඉඩ හරිමින් ද තිබෙන්නේ, මෙම බහුජාතික සමාගම් වළල්ල විසින් නොවේ ද? එහෙත් කෙදිනක හෝ ධනේශ්වර ක‍්‍රමය යටතේ ම හරිත බලශක්තීන් භාවිතයට ගැනීමට යොදා ගැනුණ හොත් එය ද බහුජාතික සමාගම් ආධිපත්‍යය හා ඒකාධිකාරය යටතේ ලාභ ලැබීම උදෙසා ම වනු ඇත.
දේශපාලන ආධිපත්‍යය රැක ගැනීම, ස්වාභාවික සම්පත් අත්පත් කර ගැනීම හා මිනිස් ශ්‍රමය සූරාකෑම මෙන් ම වෙළඳපොළ පුළුල් කර ගැනීම අරභයා අධිරාජ්‍යවාදය තම ප්‍රමුඛතම තුරුම්පුව ලෙස ‘යුද්ධය’ යොදා ගෙන තිබේ. මෙය හුදු අප දන්නා සොල්දාදුවන් යොදා සිදු කෙරෙන අවි හරඹ සිදු වන යුද්ධය නොවේ. සංකීර්ණ අධිතාක්ෂණික අවි, අධිතාක්ෂණික ගුවන් යානා හා ගුවන් ප්‍රහාර, නවීන සබ්මැරීන් හා මුහුද යට යුද්ධ, සයිබර් යුද්ධ මෙන් ම එකී සියලු ආකාරයන්ට ගැළපෙන තාක්ෂණික උපකරණ, සන්නිවේදන උපකරණවලින් සමන්විත නවීන යුධ ක්‍රියාමාර්ගයන් වේ. මෙකී යුධ හැකියාවන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය යුදමය හා මිලිටරිමය පර්යේෂණයන් සඳහා ලෝකයේ සිටින විද්‍යාඥයින් හා පර්යේෂකයින්ගෙන් තුනෙන් දෙකක් තරම් විශාල ප‍්‍රමාණයක් යොදා ගැනේ.
සමස්ත මානව සංහතියේ මූලික අවශ්‍යතාවයන් ඉටු කිරීම හා පැවැත්ම වෙනුවෙන් නොව ලාභය අරමුණු කොට ගත් නව නිෂ්පාදනයන්, නිෂ්පාදන ඒකාධිකාරයන් මඟින් අතිරික්ත වටිනාකම් ගොඩ ගැසීමට ද යුධ හා මිලිටරි බලය මගින් තම දේශපාලන හා ආර්ථික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ද ආහාර වැනි මූලික මිනිස් අවශ්‍යතා සපුරන නිෂ්පාදනයන් සිදුවීම වැළැක්වීම මඟින් තම වෙළඳපොළ හැකිළීම වැළැක්වීමේ උවමනාවෙන් සාහසික විද්‍යාත්මක ක‍්‍රියාදාමයන් සඳහා යොදා ගැනෙමින් ද තිබේ. අධිරාජ්‍යවාදී මුදුනට නැගි ධනේශ්වර ක‍්‍රමය මෙලෙස තම ආධිපත්‍ය වෙත නතු කර ගෙන ඇත්තේ, විද්‍යා ක්ෂේත්‍රයේ සිදු වූ හා සිදු වෙමින් ඇති දැවැන්ත සංවර්ධනයයි.
වැඩ වසම් සමාජ ක‍්‍රමය තුළ වැඩී ආ ධනපති ක‍්‍රමය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ භාණ්ඩ නිෂ්පාදනය වේගවත් කිරීමට ද භාණ්ඩ හුවමාරු ක‍්‍රමය වෙළඳ පොල ආර්ථිකයක් බවට පත් වෙමින් ඉල්ලා සිටි නව නිෂ්පාදනයන් මෙන් ම මහා පරිමාණයෙන් හා වේගවත් ව භාණ්ඩ නිෂ්පාදනයන් සිදු කරන කර්මාන්ත ශාලා ඇතිකරලමින් ද (තම ක්‍රමයේ නැගීම හා පැවැත්ම සඳහා* ඊට අනුරූපී ව අවශ්‍ය වූ සන්නිවේදනයේ, අධ්‍යාපනයේ මෙන් ම ප්‍රවාහනයේ ආදී සියලු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් විද්‍යාවට හා තාක්ෂණයට දියුණු වීමට ඉඩ විවර කරන ලදී.
එහෙත් එසේ තම ක්‍රමයේ නැගීමට මෙන් ම තහවුරු වීමට අවශ්‍ය ලෙස විද්‍යාව සංවර්ධනය වීමට ඉඩ හළ ධනේශ්වර ක‍්‍රමය ම විද්‍යාවේ හා නිෂ්පාදන උපකරණවල සංවර්ධනය, අතිරික්ත වටිනාකම් නිපදවීම හා තම පැවැත්ම කෙරෙහි අභියෝගයක් වන තත්වයට පත් විගසම තම වෙළඳපොළ හා ලාභය ආරක්ෂා කර ගැනීම, එනයින් තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් නවීන විද්‍යාව තම ආධිපත්‍යයට ගෙන කොටු කර සිරගත කරනු ලැබ තිබේ.
වහල් සමාජ ක‍්‍රමය තුළ විද්‍යා හා තාක්ෂණ සංවර්ධනයට අනුරූපී නිෂ්පාදන උපකරණවල මේරීම තම පැවැත්මට අභියෝගයක් වන විට ඒ සඳහා ඉඩකඩ අහුරා දැමූ පරිදි ම, නැගී ආ වැඩ වසම් ක‍්‍රමය තුළ නිෂ්පාදන උපකරණ සංවර්ධනයට සුබ පතමින් එහෙත් අවසන් භාගයේ තම ක‍්‍රමය අභාවයට යැවීමට එරෙහිව විද්‍යාව ගින්නේ දමා පිළිස්සූ පරිදි ම ධනේශ්වර ක‍්‍රමය ද ‘විද්‍යාව’ තම පැවැත්ම උදෙසා වහල්භාවයේ යොදවා සිටී.
ප්‍රපංචයක් ලෙස විද්‍යාව අත් කර ගන්නා මෙකී සංවර්ධනය අනිවාර්යයක් වන අතරම එකී සංවර්ධනය සම`ග නිෂ්පාදන උපකරණවල සිදු වන අලූත්වීම හා ඊට අනුරූපී නව නිෂ්පාදන සබ`’o ඉල්ලා සිටීම නැවැත්විය නොහැක.
වර්තමාන විද්‍යාවේ සංවර්ධන මට්ටමට අනුරූපී නිෂ්පාදන උපකරණවල අභියෝගය, සමස්ත මානව සමාජයේ අවශ්‍යතා සංතෘප්ත කරන නිෂ්පාදන ධාරිතාවය පිළිබඳ ගැටලුව නොවේ. එහෙත් නිෂ්පාදනය සීමා කරමින් හා නිෂ්පාදනයේ ඒකාධිකාරය රඳවා ගනිමින් අතිරික්ත වටිනාකම් නිපදවන්නේ කෙසේ ද යන අභියෝගයට දේපළ හිමි පන්තිය මුහුණ දී සිටියි. සැබැවින් ම මානව සංහතිය හමුවේ තිබිය යුත්තේ, නිෂ්පාදනය සීමා කරමින් ලාභ ලැබීමේ අභියෝගය නොව තිරසාර ලෙස තම පරිභෝජන අවශ්‍යතා සංතෘප්ත කර ගන්නේ කෙසේ ද යන්නයි. එහෙයින් විද්‍යාවේ අවිය, දේපළ හිමි පන්තියේ අයිතියෙන් උදුරා සමස්ත මානව සංහතියේ අයිතියක් බවට පත් කර ගැනීමෙන් තොරව මානව සමාජයට ඉදිරියට යා නොහැකිය.

වෛද්‍ය සුසිල් රණසිංහ