ගැත්තාගෙන් සමාවක් නැත; අනුකම්පා නොකරන්න!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නූතන අධිරාජ්‍යවාදයේ විවිධ පැතිකඩවල් සීරුවෙන් පිරික්සමින් සිටින අප, මේ ලිපියෙන් ඔබේ, අවධානය නාභි ගත කිරීමට සැරසෙන්නේ, අධිරාජ්‍යවාදයේ ‘දේශපාලන ගති ස්වභාවය’ යන පැතිකඩ දෙසට ය. ඕනෑම ප්‍රපංචයක වර්තමාන ස්වභාවය අධ්‍යයනයේ දී එහි ඓතිහාසික තත්වයන් සමඟ අන්තර් සම්බන්ධිත ව අධ්‍යයනය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදය බව අපගේ විශ්වාසය වේ. ඒ නිසාම නූතන අධිරාජ්‍යවාදයේ දේශපාලනික ගති ස්වභාවය අවුස්සා බලද්දී එහි ඉතිහාසය දෙස සුළුවෙන් හෝ හැරී බැලීමට අත්‍යවශ්‍ය බව ද අපගේ හැඟීමයි.
ධනවාදයේ අවසන් කාර්තුව වන ‘අධිරාජ්‍යවාදය’ යන සංකල්පය ගැන වඩා නිවැරදි න්‍යායික විශ්ලේෂණයක් සැපයුවේ වී. අයි. ලෙනින් විසිනි. ඒ 1916දී ඔහු විසින් ලියා පළ කරන ලද ”අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළම අවධියයි” යන කෘතිය මගිනි. ලෙනින් තමන්ගේ ඉහත කෘතියෙන් ධනවාදයේ නිදහස් තරඟ අවධියෙන්, අධිරාජ්‍යවාදී අවධිය වෙන් වන ලක්‍ෂණ 5ක් හඳුන්වා දෙයි. මේ ඒ ලක්‍ෂණ 05යි.
01. නිෂ්පාදනය සහ ප්‍රාග්ධන සංකේන්ද්‍රණය
02. කාර්මික ප‍්‍රාග්ධනය හා බැංකු ප‍්‍රාග්ධනය සංයෝග වී මූල්‍ය ප‍්‍රාග්ධනය බිහි වීම හා මූල්‍ය කතිපයාධිපතිත්වයක් ඇතිවීම
03. ප්‍රාග්ධන අපනයනය අති විශේෂ වැදගත් තත්වයකට පත්වීම
04. ජාත්‍යන්තර ඒකාධිකාරී ධනපති හවුල් සමාගම් පිහිටුවීම
05. ලොකු ම ධනපති බලවතුන් අතර ලෝකය ප්‍රදේශ වශයෙන් බෙදා ගැනීම
අධ්‍යයනයේ පහසුව තකා වෙන් කර ගත හොත් දෙවන කරුණේ කොටසක් (කතිපයාධිපතිත්වය – අධිකතර මූල්‍ය බලයක් සහිත, ඒ නිසාම දේශපාලනමය ලෙස බලවත් වූ ධනපතියන්ගේ කුඩා කණ්ඩායමක්) හා පස් වන කරුණත් මගින් එහි දේශපාලනමය ගති ස්වභාවය පෙන්වන අතර අනෙක් කරුණු සියල්ල එහි ආර්ථිකමය පැත්ත පිළිබිඹු කරයි. අපේ අවධානය පස් වන කරුණට යොමු කරමු. ” ධනපති බලවතුන් අතර ලෝකය ප්‍රදේශ වශයෙන් බෙදා ගැනීම” මෙයින් කියවෙන්නේ කුමක් ද? ධනපතියන් අතර ලෝකය භෞමික ව බෙදා වෙන් කර ගෙන ඇති අතර, ධනපතියන් අතර තරඟයේ දී එය නැවත නැවතත් අලුත් වෙමින් සිදු වන බව ය. තවදුරටත් මෙය විශ්ලේෂණය කර ගත හොත්, මේ කරුණේ ප්‍රබල හා ධනවත් ජාතීන් විසින් දුබල ජාතීන් යටත් කර ගැනීම හා නැවත නැවතත් යටත් කර ගැනීම, ලෝක යුද්ධ, ජාතික නිදහස් අරගල, ආදී සංකල්ප රූප අප තුළ ඇති කරවයි. මෙයින් කියවෙන දේශපාලන සංකල්පය කුමක් ද? ඒ අන් කිසිවක් නොව ‘යටත් විජිත ප්‍රතිපත්තියයි’ ඒ අනුව ධනවාදයේ අධිරාජ්‍යවාදී යුගයේ දේශපාලන ගති ස්වභාවය දක්වන මූලික ම දේශපාලන සංකල්පය ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ බව අපට නිගමනය කළ හැක. එය ලෙනින්ගේ වචනවලින් මෙලෙස දැක්වීමට පුළුවන.
”ඒකාධිකාර, කතිපයාධිපත්‍යය, නිදහස සඳහා නොව ආධිපත්‍ය සඳහා අරගල කිරීම, ධනවත් හා වඩාත් ම බලවත් ම ජාතීන් අතළොස්සක් විසින් කුඩා හා දුර්වල ජාතීන් එන්න එන්නම වැඩි වන සංඛ්‍යාවක් සූරා කනු ලැබීම, යන මේ සියල්ලෙන් අධිරාජ්‍යවාදයේ ස්වභාවය නිරූපී ලක්‍ෂණ ජනිත වේ.
(ලෙනින් – තෝරා ගත් කෘති වෙළුම 04, පිටුව 160)
කෙසේ වෙතත් ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ ධනවාදයේ අලුත් ම අවධිය වූ අධිරාජ්‍යවාදී අවධිය සඳහා ම නිර්මාණය වූ අලුත් සංකල්පයක් නොවේ. එම ප‍්‍රතිපත්තිය ධනවාදයට පෙර ද ක්‍රියාත්මක විය. ධනවාදයේ මුල් කාර්තුවේ ද (නිදහස් තරඟ අවධිය) ක්‍රියාත්මක විය. නූතන අධිරාජ්‍යවාදයේ ද ක්‍රියාත්මක වේ. නමුත් එහි භාවිතයේ මූලික වෙනස්කම් සහිතව ය. අප එය තේරුම් ගත යුත්තේ අනිවාරණීය ලෙස ම එම මූලික වෙනස්කම් සහිතවමය. කෘතියේ ලෙනින් තවදුරටත් මෙසේ සඳහන් කර තිබේ.
”යටත් විජිත ප‍්‍රතිපත්තිය සහ අධිරාජ්‍යවාදය, ධනපති ක්‍රමයේ අලුත් ම අවධියට පෙර පැවතුණි. වහල් ක‍්‍රමය මත ගොඩනගන ලද රෝමය, යටත් විජිත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අධිරාජ්‍යවාදය ක‍්‍රියාත්මකව කළේය. එහෙත් සමාජ – ආර්ථික ක්‍රම අතර වෙනස්කම් සැලකිල්ලට නො ගන්නා, නැතහොත් ඒවා පසුබිමට තල්ලු කර දමමින් කරන, අධිරාජ්‍යවාදය පිළිබඳ සාමාන්‍ය විවරණයන් අනිවාරණීය වශයෙන් ම පත් වන්නේ ”මහා රෝමය සහ මහා බ්‍රිතාන්‍ය” යනුවෙන් කරන සංසන්දනයන් වැනි, වැදගැම්මකට නැති මොට්ට කථා හා පුරසාරම් බවට ය. ධනපති ක‍්‍රමයේම පූර්ව ගාමී ධනපති අවධිවල යටත් විජිත ප‍්‍රතිපත්තිය ද, මූල්‍ය ප්‍රාග්ධනයේ යටත් විජිත ප්‍රතිපත්තියෙන් මූලික වශයෙන් වෙනස් වූවකි.”
(ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 04, පිටුව 114)
ධනවාදයේ පළමු කාර්තුව තුළ එනම් නිදහස් තරඟ අවධිය තුළ ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ ක‍්‍රියාත්මකව වුනේ ‘සෘජු යටත් විජිතවාදය’ ලෙසට ය. ඍජු යටත් විජිතවාදයේ මූලික ලක්‍ෂණ මොනවා ද? ප්‍රබල, ධනවත් ජාතීන්, දුර්වල ජාතීන් යටත් කර ගෙන සිටීම, එම යටත් කිරීම සඳහා සිය ප්‍රබල හමුදා මගින් යුද වැදීම, නැතිනම් බලහත්කාර වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම, නැතිනම් බලහත්කාර යුද ගිවිසුම් ඇති කර ගැනීම ආදියයි. සිය ප්‍රබල හමුදා යටත් රාජ්‍යවල ස්ථාන ගත කිරීම, එම යටත් විජිත රාජ්‍යවල තමන්ට පමණක් ම වාසි සහගත ව්‍යවස්ථා, නීති කෙටුම්පත්, බදු ක්‍රම, වෙළඳාම, කර්මාන්ත, කෘෂිකර්මාන්ත ක්‍රම ආදිය ඇති කිරීම. එමගින් එහි සියලු සම්පත් (අමුද්‍රව්‍ය) කොල්ලකෑමෙන් තමන්ගේ පුළුල් වන නිෂ්පාදන වෙළඳපළක් ගොඩනගා ගැනීමටත් යටත් විජිතවලින් එහි නිදහස සඳහා අරගල පැන නගින විට ඒවා ක්‍රෑර ලෙස මර්දනය කිරීම ආදී මූලික ලක්‍ෂණවලිනි. (තවදුරටත් එක් එක් අධිරාජ්‍යවල මීට වෙනස් ලක්‍ෂණ තිබුණ ද මේවා මූලික ව හඳුනා ගත හැකි ලක්‍ෂණය) ‘ඍජු යටත් විජිතවාදයේ’ සීමා ලකුණු සටහන් වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ යටත් විජිතවාදය ගැන සොයා බලද්දී මේ ලක්‍ෂණ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හැකිය.
ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ මුලින් ම ඉංග්‍රීසිත් විසින් යටපත් කර ගන්නේ 1796 දී ය. එවකට එම ප්‍රදේශ යටත් කර ගෙන සිටි ඕලන්දයේ (නෙදර්ලන්තය) රජු සමඟ අත්සන් කළ සුප්‍රකට ගිවිසුමෙනි. තවද එම ගිවිසුමෙන් ලංකාවේ මුහුදු බඩ පළාත්වල පාලනය ලබාගන්නේ පෙර දිග ඉන්දියානු වෙළඳ සමාගමයි. ඊළඟට ඔවුහු ලංකාවේ උඩරට රාජධානිය සමඟ යුද වැදුණෝ ය. ඔවුන්ගේ ප්‍රබල යුද, නාවික බලය හමුවේ උඩරට රාජ්‍යය පරාජයට පත් වෙද්දී, රට තුළ දැවැන්ත විනාශයක් සිදු වී තිබුණි. 1815දී ඔවුන් විසින් ලංකාව සම්පූර්ණයෙන් යටත් විජිතයක් කර ගත් අතර පිළිවෙලින් 1797දී පෙර දිග ඉන්දියානු වෙළඳ සමාගමේ බදුවලට එරෙහිව පැන නැගුණ කැරැල්ලෙන් 1848 මාතලේ දී ඇඟ බද්ද, බලූ බද්ද වැනි බදු බරට එරෙහිව පැන නැගුණ කැරලිත් ක්‍රෑර ලෙස මර්දනය කර සමතලා කර දැමුණි.
තවද ඩොනමෝර්, සෝල්බරි ආදී ව්‍යවස්ථා ඇති කරන ලද අතර, ජාතිකත්වයන් බෙදා වෙන් කර පාලනය කිරීම ආදී උපක්‍රම ද භාවිතා කෙරුණි. නිදහස උදෙසා වන ඕනෑම අරගලයක් මර්දනය කිරීමේ අරමුණ සහිතව ඔවුහු මැදිහත් වූහ. ධනවාදයේ නිදහස් තරඟ අවධියේ අවසානය ළං වන විට බ්‍රිතාන්‍ය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, එක්සත් ජනපදය, ජපානය, විශාල සෘජු යටත් විජිත ගොඩනගා තිබුණි. මුලු පෘථිවියෙන් මොවුන්ට අයත් ව නො තිබූ කොටස නොගිණිය හැකි තරම් කුඩා එකක් විය. අවසානයේ, යටත් විජිත රටවලින් ප්‍රබල ජාතික ව්‍යාපාර බිහි වූ අතර එමගින්, ප්‍රබල නිදහස් අරගල පැන නැගුණි. සෘජු යටත් විජිතවාදයේ පැවැත්ම තවදුරටත් අනතුරට පත්ව තිබුණි.
යටත් විජිතවල පැන නැගුණු නිදහස් අරගල එකින් එක ජයග්‍රහණය ලබමින් ස්වාධීන රාජ්‍යයන් බිහි වීම ඇරඹුණි. මේ වන විට ධනපතියන් අතර ලෝකය නැවත බෙදා ගැනීමේ උවමනාව ද වැඩි වැඩියෙන් දැනෙන්නට විය. එයට අනුරූප ව ලෝකය ධනපතියන් අතරේ බෙදා ගැනීමේ දෙවන ලෝක යුද්ධය ද ඇරඹී තිබුණි. දෙවන ලෝක යුද්ධය අවසන් වන විට නැවත පෙර පරිදි යටත් කර ගත නොහැකි ස්වාධීන රාජ්‍යයන් ලෝකයෙන් 90%කටත් වැඩියෙන් ගොඩනැගී තිබුණි. ඒ අතර පෙර සිටි අධිරාජ්‍යවාදී බලවතුන් වෙනුවට නව යොවුන් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධය තුළ බලවත් විය. දැන් සමාජවාදී රාජ්‍ය පද්ධතියක් නිර්මාණය වී තිබුණෙන් පෙර පරිදි ඍජු ලෙස රටවල් යටත් කිරීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබුණි. ඒ නිසා ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ ක්‍රියාවට නඟා ගැනීම සඳහා ධනපතියන්ට අලුත් උපක්‍රම වෙත මාරු වීමට සිදු විය.
මේ අනුව පැවති වාස්තවික තත්වයන් මත අධිරාජ්‍යවාදීන්ට හමු වූ නව උපක්‍රමය දේශපාලනමය ලෙස නාමකරණය වන්නේ නව යටත් විජිතවාදය ලෙසයි. එහි මූලික මූලධර්මය වූයේ, ලෝකයේ අති බහුතරයක් රටවල ආර්ථික නිදහස ධනවත් සහ බලවත් ම රාජ්‍යයන් වෙත තබා ගනිමින් නාමික දේශපාලන නිදහසක් පමණක් පවත්වා ගනිමින් එම රටවල් වල ආර්ථික සූරාකෑම දිගටම පවත්වා ගැනීම ය.
නමුත් දැන් නාමික ව හෝ ස්වාධීන රාජ්‍යයන් බිහි වී ඇති නිසාම, කුමන උපක්‍රම යෙදුවත් ධනවාදයේ මුල් කාර්තුවේ මෙන් සෘජු ලෙස ම යටත් විජිත පවත්වා ගැනීමට නොහැකි සීමාවන්වලට අධිරාජ්‍යවාදීහු මුහුණ දී සිටිති. එය ඔවුන්ගේ කැමැත්ත නොවේ. ලැබී ඇති තත්වයයි. ධනවාදයේ මුල් කාර්තුවේ ලෝකයේ සාතිශය බහුතරයක් රාජ්‍යයන් සෘජු ලෙස ම, ධනවත් ජාතීන්ට යටත් ව තිබූ අතර අතළොස්සක් රාජ්‍යයන් ‘ගැති රාජ්‍යයන්’ (අර්ධ යටත් විජිත) ලෙස පැවතුණි.
”යටත් විජිත හිමි රටවල් යටත් විජිත යන ප‍්‍රධාන රාෂ්ට‍්‍ර කණ්ඩායම් දෙකට අමතරව, නොයෙක් ආකාරයේ ගැති රටවල් ඇත. ඒවාට දේශපාලන වශයෙන් නාමික නිදහසක් ඇතත්, ඒවා ඇත්ත වශයෙන් ම, මෙම යුගයට විශේෂ වූ මූල්‍ය හා රාජ්‍ය තාන්ත‍්‍රීය ජාලයක පැටලී තිබේ. ගැති භාවයේ එක් ආකෘතියක් වන අර්ධ යටත් විජිත ගැන අපි ඉහතින් සඳහන් කළෙමු.
(ලෙනින් – තෝරා ගත් කෘති වෙළුම 04, පිටුව 117)
නමුත් ධනවාදයේ නූතන යුගය, නව යටත් විජිතවාදය, එහි අංශක 180ක ව්‍යවර්තයකි. දැන් නව යටත් විජිතවාදය මුළු ලෝකයම පාහේ අධිරාජ්‍යවාදී රටවල ‘ගැති රාජ්‍යයන්’ බවට පත් කරමින් සිටී. අල්ප ප‍්‍රමාණයක් රටවල් සෘජු යටත් විජිත බවට පත් වන ලකුණු ද පෙන්වමින් සිටියි. (‘ඍජු යටත් විජිත’වල සිට ‘ගැති රාජ්‍යයන්’ දක්වා පල්ලම් බැසීම එක් අතකින් අධිරාජ්‍යවාදයේ පරාජයකි.) මෙයින් අපට ප‍්‍රධාන දේශපාලන නිගමනයකට බැසිය හැකිය. අධිරාජ්‍යවාදයේ නූතන යුගය ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ ක්‍රියාවේ යොදවන්නේ ඍජු යටත් විජිත ගොඩනැගීමෙන් නොව ‘ගැති රාජ්‍යයන්’ වැඩිපුර නිර්මාණය කිරීමෙනි.
මෙලෙස ‘ගැති රාජ්‍යයන්’ නිර්මාණය කරමින් ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ ක්‍රියාවේ යෙදවීමට ඊටම ගැළපෙන ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රමාණයක් දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන් විසින් ගොඩනඟා ගන්නා ලදී. එයින් 1945දී ගොඩනැගූ ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිත ආයතන’ දේශපාලන පෙරමුණේදී ද 1949දී ගොඩ නැගූ ‘නේටෝ සංවිධානය’ යුදමය පෙරමුණේ ද 1947දී ගොඩ නැගූ ‘ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ ආර්ථික පෙරමුණේ ද නව යටත් විජිතවාදය, නැතිනම් ‘ගැති රාජ්‍යයන්’ ගොඩනැගීම සුජාතකරණය කරමින් සිටී.
ඉහත ආයතන ද තුරුම්පු ලෙස භාවිතා කරමින් ‘ගැති රාජ්‍යයන්’ ගොඩනැගීමට අධිරාජ්‍යවාදීන් විවිධ දේශපාලන උපක්‍රම භාවිත කරයි. ඉන් මූලික ම කරුණු කීපයක් ගැන දැන් සොයා බලමු. මින් ප්‍රධානතම උපක්‍රමයක් නම් රටවල් ණය උගුලක සිර කර එමගින් අධිරාජ්‍යවාදී රටවල දේශපාලන ආර්ථික උවමනාවන් සපුරා ගත හැකි ‘ගැති රාජ්‍යයන්’ නිර්මාණය කර ගැනීම ය.
ණය උගුලක සිර කර ගැති රාජ්‍යයන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව ද හොඳම නිදසුනක් සපයයි. 1952 දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම`ග සම්බන්ධ වන ශ්‍රී ලංකාව එම වර්ෂයේ සිට විවිධ ණය වර්ග ගැනීම අරඹයි. 2013 වන විට ශ්‍රී ලංකාවේ මුළු වියදමින් භාගයක් ණය ලෙස ගැනීමට සිදුව ඇත. එම නිසා මීට පෙර ගත් ණය සඳහා වාරික සහ පොලී ගෙවීම සඳහා ද නැවත ණය ගැනීමට සිදුවේ. එවිට ඊලඟ වසරේ දී වියදම් සඳහා පෙරට වඩා වැඩි ණය ප‍්‍රමාණයක් ද ණය වාරික හා පොලී ගෙවීම සඳහා ඊටත් වැඩි ණය කන්දක් ද ලබා ගැනීමට සිදුවේ. චක්‍රය එසේ වැඩෙමින් වර්ධනය වන අතර ඉදිරියේ දී වඩා වැඩි වේගයෙන් වර්ධනය වේ. ඒ නිසා දැන් ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ ණය නො ගෙන සිටීම මාරාන්තික වීමක් දක්වා වර්ධනය වී අවසන් ය. ”ණය උගුල” යනු මෙයයි. දැන් මේ ණය පිටුපස ‘ගැති රාජ්‍යයක්’ බවට පත් වීමට අවශ්‍ය කොන්දේසි සහ මග පෙන්වීම් ද ලැබෙනු ඇත. ඒවාට අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහණය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා වන සුබසාධන කප්පාදු කෙරෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ බහු ජාතික සමාගම්වලට එම ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් ලාභ ගැරීමට ඉඩ ප්‍රස්ථා විවර කරමිනි. තවද ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීමට අදාළ ඉතාම අවාසි සහගත බලහත්කාර කොන්දේසි ඉදිරිපත් වී ඇති බව සහ ඒවා ඉහළින් පිළිගෙන ඇති බව 2013 අයවැය යෝජනා පිරික්සීමේ ද දැකීමට පුළුවන. එවා මගින් ජාවාරම් කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ‘කොලනියක්’ බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම අධිරාජ්‍යවාදීන්ගේ අරමුණයි. ඉතින් ඉහත අරමුණු දෙක පමණක් ම ඉටු වුවත් ඒවා ‘ගැති රාජ්‍යයක’ ලක්ෂණ නොවේ ද? ණය උගුලේ හසුවුනු ඕනෑම රටක ‘ඉරණම’ එයයි.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මූ. අ) සිය ණය උගුලට හසු කර ගැනීමෙන් ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව ආදී සෑම කලාපයකම රටවල්වලට මැදිහත් වෙමින් සිටියි. එය කොතරම් බලවත් දැයි කියන්නේ නම් සමහර රටවල අයවැය ලේඛනය සකස් කරන්නේ ද ලෝක බැංකුව ය. තවද සමහර රටවල ”දුප්පත්කම තුරන් කිරීමේ හා ආර්ථිකය සංවර්ධනය කිරීමේ උපාය මාර්ග” පවා සකස් කර දෙයි. එපමණක් ද නොවේ. ඒවායේ ව්‍යවස්ථාවෙන් තහනම් ව තිබුණ ද ලෝකයේ සමහර රටවලට දේශපාලන බලපෑම් කරන ආයතන ලෙස ද මැදිහත් වනු දැකිය හැකිය. ලෝක බැංකුව හා ජා. මූ. අ. 1979 විප්ලවයෙන් පසු නිකරගුවාවට ණය ලබා දෙන ලදී. නමුත් 1981 දී සිය දූත පිරිසක් නිකරගුවාවට යවන ලෝක බැංකුව, සමාජවාදී ප්‍රතිපත්ති අතහැර පෞද්ගලික අංශය ශක්තිමත් කරන ලෙස සැන්ඩිනිස්ටාවරුන්ට බල කළේය. තවද ලෝකයේ සමහර රටවල් දේශපාලනික ව මට්ටු කිරීම සඳහා ද ණය භාවිත කරයි. 1964 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් බ්‍රසීල පාලකයින්ට 1970 දී ණය ලබා දීමට තීරණය කරන්නේ ඊට පෙර සිටි පාලකයින් මට්ටු කිරීමට ය. 1965 දී මිනිස් සංහාරයක් හරහා බලයට පැමිණි ඉන්දුනීසියාවේ සුහර්තෝගේ පාලනයට 70 දශකයේ දී වසරකට ඩොලර් බිලියන 600 කටත් වඩා වැඩි ණය ලබා දෙන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයට වඩා ඒකාධිපති සුහර්තෝව ශක්තිමත් කිරීමට ය.
බොහෝ විට මූල්‍ය ක්ෂේත්‍රයේ දී ගැති බවට පත් කර ගැනීමට නොහැකි ආර්ථික වශයෙන් ස්වාධීන ජාතික රාජ්‍යයන් යටපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු නූතන අධිරාජ්‍යවාදීන් භාවිතයට ගනිමින් සිටින මෙවලම් වනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනත් නේටෝ සංවිධානයත් ය. ඉහත දක්වා ඇති පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945දී ගොඩ නගන්නේ ලෝක සාමය ගොඩ නැගීම හා නැවත ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට බව පවසමිනි. 1949දී නේටෝව ගොඩ නගන්නේ පැවති සමාජවාදී සෝවියට් දේශයේ යුධ හවුල වූ ‘වෝර්සෝව’ට එරෙහිව ය. යුද්ධ වැළැක්වීම කෙසේ වෙතත් වත්මන් ලෝකයේ සෑම යුද්ධයක් සඳහා ම මැදිහත් වෙමින් ඒවා හොඳින් පවත්වා ගන්නේ මෙම ප‍්‍රධාන ආයතන දෙකය යන්න ලෝකයම දන්නා එහෙත් අභියෝග කළ නොහැකි වී ඇති සත්‍යයකි. නූතන අධිරාජ්‍යවාදීන්ගේ ‘ගැති’ රාජ්‍යයන් ගොඩ නැගීමේ මෙම යුදමය මැදිහත් වීම් ඔවුන් ම සාධාරණය කරනු ලබන අතර ඒ සඳහා බොහෝ විට අතේ පැළ වෙන බොරු හේතු ද ඉදිරිපත් කරයි. එම හේතු අතර එම රටවල ජනතාවට, මානව හිමිකම් ලබා දීම, ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම, ස්වයං තීරණය ලබා දීම, සාමය ලබා දීම ආදී වේෂයන්ගෙන් පෙනී සිටියි. තවද ඒ අතරට ලෝක ත්‍රස්තවාදය පැරදවීම, ලෝක සාමය උදා කිරීම ආදී ලෝක බොරු ද ඉදිරිපත් කරමින් සිටියි. පහත දැක්වෙන උදාහරණයම වුවද ඊට සාක්ෂි සපයයි.
1990 දී තෙල් ළිං ප්‍රශ්නයක් මත ඉරාකය කුවේටය ආක්‍රමණය කරයි. ප්‍රශ්නය ආක්‍රමණයක් දක්වා දුරදිග යන තෙක් නිහඬව සිටි එක්සත් ජාතීන් සහ නේටෝව ඉරාකයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ දී යෝජනා සම්මත කර ගෙන ලෝක සාමය සඳහා යැයි කියමින් ඉරාකයට පහර දී මැදපෙරදිග දී ගැති රාජ්‍යයන් බිහි කර ගත්තේ ය. ඒ යුධ බලහත්කාරයෙන් ඉරාකයත් යුධ උදව් සැපයීමෙන් කුවේටයත් ලෙස ය. එම බලහත්කාරයට ද ඉරාකය යටත් නොවූ තැන අවුරුදු 20 කට පසුව 2010 දී සදාම් හුසේන්ගේ පාලනය බිඳ දැමීමට ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ඉරාකය ආක්‍රමණය කළේය. අධිරාජ්‍යවාදීන් ඊට මවා පෑ හේතුව වූයේ, ඉරාකය සතු න්‍යෂ්ටික අවි විනාශ කිරීම ය.

img

1978දී සෝවියට් ආධාර මත ගොඩ නැගුණ සමාජවාදී ඇෆ්ගනිස්ථානය බිඳ දැමීමට අධිරාජ්‍යවාදීන් ම බිහි කළ ‘මුජහිදීන්’ ප්‍රතිවිප්ලවය මූලධර්මවාදී කැරලිකරුවන්ට ප්‍රසිද්ධියේ උදව් දුන්නේ එහි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට යැයි කියමිනි. එම ප්‍රතිවිප්ලවය ක්‍රියා හේතුවෙන් අසූව දශකයේ අවසන් භාගයේ දී ඇෆ්ගනිස්ථානයේ සමාජවාදය බිඳ වැටී ඇමරිකා එක්සත් ජනපදයේ උදව් සහිතව ‘ගැති’ ඇෆ්ගනිස්ථානයක් බිහි විය. නැවත 2010දී පමණ එම ‘ගැත්තන් ම’ තෙල් නල එළීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට විරෝධය දක්වද්දී ඇෆ්ගනිස්ථානය සමතලා කරමින් යුදමය බලහත්කාරය සහිත ‘ගැති’ ඇෆ්ගනිස්ථානයක් බිහි කර ගෙන ආසියානු කලාපයේ ද යුධ බලය තහවුරු කර ගත්තේ ය. ආක්‍රමණයට මවා පෑ හේතුව වූයේ ලෝක ත්‍රස්තවාදය පැරදවීම යි.
2000 දී යුගොස්ලාවියාවට සිදු වූ දෙයත් මීට වෙනස් නොවේ. මෙලසොවික්ගේ පාලනය තමන්ට හැසිරවීමට නොහැකි තැන ‘කොසෝවෝ ප‍්‍රදේශයේ’ ජනතාවගේ වෙන් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිඳිමින් නේටෝව යුගොස්ලාවියාවට පහර දුන්නේ ය. එය අවසන් වූයේ යුගෝස්ලාවියාව කැබලි කරමිනි.
අනෙක් අතට පලස්තීන භූමිය තුළ බලෙන් ඊශ්‍රායලය ගොඩනගද්දීත් ඊශ්‍රායලය වරින් වර පහර දෙමින් පලස්තීනුවන් සමූල ඝාතනය කරද්දීත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් නේටෝවත් නෑසු කන් ඇතිව සිටියි. ඒ ඊශ්‍රායලය තමන්ට ගැති තම උවමනාවන් වෙනුවෙන් මැදපෙරදිග දී මැදිහත්වන්නා වන නිසා ය.
මෑත දී ඉතිහාසය ගත්තත් ‘අරාබි වසන්තය’ ලෙස අරාබිය හරහා හමා ගිය අරගල රැල්ලේ දී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යැයි කියමින්, විශේෂයෙන් ටියුනීසියාවේ හා ලිබියාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට නේටෝව මැදිහත් විය. එමගින් එම රටවල් වල පාලනය ද තමන්ට ගැති ස්වභාවයකට පත් කර ගත්තේ ය. තවද ඉරානය, සිරියාව, උතුරු කොරියාව, ආදී රටවලට යුදමය තර්ජන එල්ල කරමින් හිඳී. එය ඕනෑම මොහොතක කඩා පැනීමක් දක්වා වර්ධනය ද විය හැකිය.
තවද අධිරාජ්‍යවාදයට අවනත නොවන රටවල් මෙල්ල කිරීමට ඕනෑම මොහොතක ලොව ඕනෑම රටකට පහර දිය හැකි පරිදි ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝව සිය හමුදා ලෝකය පුරා සීරුවෙන් තබා ඇත.
නූතන යුගයේ අධිරාජ්‍යවාදය ‘ගැති රාජ්‍යයන්’ නිර්මාණය කිරීමට භාවිත කරන තවත් දේශපාලන සංකල්පයකි ‘බෙදුම්වාදය’. මෙය ද ධනවාදයට අලුත් සංකල්පයක් නොවේ. එහි මුල් කාර්තුවේ ඍජු යටත් විජිතවල දී ඔවුන් භාවිතා කළ බෙදා වෙන් කර පාලනය කිරීමේ ම දිගුවකි.
මෑත ඉතිහාසයේ සුඩානය, උතුරු හා දකුණු සුඩානය ලෙස බෙදා වෙන් කිරීම, සයිප‍්‍රසය, ග‍්‍රීක සහ තුර්කි සයිප‍්‍රසය ලෙස බෙදීම, යුගෝස්ලාව්යාව කැබලි අටකට වෙන් කිරීම, නැගෙනහිර ටිමෝරය වෙන් කිරීම ආදියෙන් ‘බෙදුම්වාදය’ අධිරාජ්‍යවාදීන්ගේ කෙතරම් ජනප්‍රිය භාවිතයක් ද යන්න ඔබට වැටහෙනු ඇත.
සුවිශාල මහා භාරතය කැබලි කිරීම ද අධිරාජ්‍යවාදයේ තිබූ නො සිඳෙන වුවමනාවකි. පාකිස්තානය වෙන් කිරීම, බංගලිදේශය බිහි වීම ද එහි ප‍්‍රතිඵලයන් ය. ඊට අමතරව ඉන්දියාව තුළ බෙදුම්වාදී ව්‍යාපාරයන් සඳහා පැවති විභවයන් පෝෂණය කර ඉන්දියාව දුබල කිරීමට ඒවා යොදා ගනු ලැබුණි. ජම්බු කාශ්මීරයේ මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය, ඇසෑම් ප‍්‍රදේශයේ බෙදුම්වාදී ව්‍යාපාර, දකුණු ඉන්දීය බෙදුම්වාදී ව්‍යාපාර මීට උදාහරණයන් ය.
දකුණු ඉන්දීය බෙදුම්වාදී ව්‍යාපාර ලංකාවේ ජාතික ප්‍රශ්නයට ද සෘජුව සම්බන්ධ වූ අතර පසුගිය 30 අවුරුදු යුද්ධයේ දී අධිරාජ්‍යවාදයේ සෘජු මැදිහත් වීම් හා වක්‍ර මැදිහත් වීමි දිගින් දිගටම පැවතුණි. ”පැකේජය”, ”සුනාමි සහන මණ්ඩලය” හා විවිධ වර්ගයේ ”බලය බෙදීමේ විසඳුම්” මගින් කෙරෙන මැදිහත් වීම් ඉන් කිහිපයකි. ලොව අනිකුත් රටවලට මෙන් ම ‘සාම’ මැදිහත් කරුවන්ගේ වේශයෙන් මැදිහත් වෙමින් බෙදුම්වාදය පෝෂණය කරමින් වෙනම රාජ්‍යයක් බිහි කිරීම හා ඒ තුළ තම වුවමනාවන් ඉටු කර ගැනීමට එළිපිට ක්‍රියාවලියක් දියත් විය. යුද්ධයේ අවසන් වසර කිහිපයේ නෝර්වේ රාජ්‍යයේ භූමිකාව මෙහි දී සිහිපත් කර ගැනීම වැදගත් වේ.
එසේම මෑත කාලීන ව අධිරාජ්‍යවාදය අනිකුත් රටවල්වලට අත පෙවීමට යොදා ගන්නා ප‍්‍රධාන ‘ආයුධයක්’ වී ඇත්තේ ‘මානව හිමිකම් ‘ය. පසුගිය කාලයේ එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයට කඩා වැදුණේ ‘මානව හිමිකම්’ බෝඩ් ලෑල්ලට මුවා වීමෙනි. ඉරාකයට කඩා වැදී එහි නායක සදාම් හුසේන් ඝාතනය කිරීම, ලිබියාවට කඩා වැදී එහි නායක මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීම එවැනි අවස්ථා ය. වර්තමානයේ සිරියාව කොටු කරමින් හමුදා තර කරමින් සිටින්නේ ද සිරියාව ආක්‍රමණය කිරීමට වන අතර එයට ද සුපුරුදු ‘මානව හිමිකම්’ බෝඩ් ලෑල්ල යොදා ගනු ඇත. ඊළඟ ගොදුර ලෙස ඉලක්ක මානා ඇත්තේ ඉරානයට ය.
මේ සෑම තැනකම පෙනෙන කරුණක් නම් මෙවැනි රටවල ධනපති අත්තනෝමතික පාලනයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාකලාපයන් ද අධිරාජ්‍යවාදීන්ට වාසි දායක කොන්දේසි නිර්මාණය කර දී තිබෙන බව ය.
ලංකාවට අදාලව ද මූලික වශයෙන් යුද වකවානුවේ සිදු වූ ”යුද අපරාධ “පදනම් කොට ගෙන පසු ගිය කාලයේ ජිනීවා මානව හිමිකම් රැස්වීමේ එල්ල වූ චෝදනාවන් පිටුපස ද මෙකී වුවමනාවන් නැතැයි කිව නොහැකිය. එහි දී ලංකාවට එරෙහිව යෝජනා කිහිපයක් ද සම්මත වූ අතර දැනට ඒවා ක්‍රියාමාර්ග බවට පත් වෙමින් තිබේ.
කෙසේ වුවත් ඒවාට ද පසුබිම සපයා ඇත්තේ, රාජපක්‍ෂ පාලනයේ පවතින බරපතළ අත්තනෝමතික, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ඒකාධිපති ක්‍රියාවලිය බව ද ඒ තරමට ම පැහැදිලි කරුණකි. ලංකාවට අදාළ ව අධිරාජ්‍යවාදයේ සැබෑ මැදිහත් වීම රාජපක්‍ෂ පාලනය හරහා සිදු වන බව හෙළිදරව් කිරීමත් මානව හිමිකම් වේශයෙන් එන අධිරාජ්‍යවාදය සමඟ නිවැරදිව ගනුදෙනු බේරා ගැනීමත් ලාංකේය වම හමුවේ වන අභියෝගයන් ය.
ඉහත අප දැක්වූ ප‍්‍රධාන දේශපාලන සංකල්ප මගින් නූතන අධිරාජ්‍යවාදය මුළු ලෝකයම ‘ගැති රාජ්‍යයන්’ බවට පත් කිරීමේ ව්‍යායාමයක යෙදී සිටිය යන්න තවදුරටත් කිසිවෙකුටත් නො තේරෙන අපබ‍්‍රංශයක් නොවේ. අධිරාජ්‍යවාදයේ දේශපාලනමය පැතිකඩ වූ ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ වර්තමානයේදී ක්‍රියාවට නැගෙන්නේ එලෙස ය. මේ ව්‍යායාමයේ සමහර ප‍්‍රතිඵල අපට පෙන්වන සුවිශේෂී දේශපාලන කාරණයක් ද ඇත. ඒ, අද සමහර රටවල ආර්ථික නිදහසත් දේශපාලන නිදහසත් යන දෙකම නැවත අධිරාජ්‍යවාදීන් අතට වක්‍රව ලබා ගනිමින් ඇති බව ය. එය යළිත් නව ආකාරයක සෘජු යටත් විජිත තත්වයක ස්වභාවය පෙන්නුම් කරයි. එනම් නූතන අධිරාජ්‍යවාදයේ භාවිතය තුළ යළි යටත්විජිතකරණ තත්වයක් ද දැකිය හැකිය. (නමුත් එය ධනවාදයේ මුල් කාර්තුවේ වූ යටත් විජිතවාදයෙන් වෙනස් ය) කෙසේ වෙතත් අධිරාජ්‍යවාදයේ වුවමනාව, කැමැත්ත, ප්‍රාර්ථනාව යළි යටත් විජිත තත්වයකි. නමුත් එය එසේ සිදු වෙයි ද? නැත, එය එසේ සිදු නොවේ.
දැන් ‘ගැති රාජ්‍යයන්’ බවට පත් වෙමින් ඇති රටවල් බොහොමයක් නමසිය හතළිස් ගණන්වලින් පසුව අමිහිරි, සෘජු යටත් විජිතවලට එරෙහිව සටන් වැද ස්වාධීන ජාතික රාජ්‍යයන් ගොඩ නැගුවේ ය. (ධනවාදී හෝ සමාජවාදී) එනිසා අද ලොව සියලූම ජාතීහු ‘නිදහස හා විමුක්තිය’ ගැන තතු දනිති. එම දැනීම නුතන අධිරාජ්‍යවාදයේ ‘යටත් විජිත ප‍්‍රතිපත්තිය’ සමග එක එල්ලේම ප්‍රතිවිරෝධී වන්නේ ය. එම ප්‍රතිවිරෝධය, ධනවාදයේ මුල් කාර්තුවේ ‘යටත් විජිතවාදය’ සම`ග එහි යටත් රාජ්‍යයන් දැක්වූ ප්‍රතිවිරෝධය මෙන් දහස් ගුණයකින් විශාල මෙන් ම දියුණු හා සවිඥානක ද වේ. සරලම, සහ මූලික ම, හේතුව මෙය ය.
මේ දැවැන්ත දියුණු හා සවිඥාණික ප්‍රතිවිරෝධය නූතන අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතික නිදහස් අරගල ගොඩනගනු ඇත.
සමාජවාදී කියුබාව 1961දී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ අති නවීන යුධ බලය ඌරුබොක්ක සටනේ දී පරාජය කළේය. තවද ඔවුන්ට පනවා ඇති ආර්ථික සම්බාධක අධිරාජ්‍යවාදීන්ගේ උත්තරීතර ම දේශපාලන ආයතනය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ම පරාජය කරමින් සිටී. සමාජවාදී වියට්නාමය අවුරුදු 23ක් ප්‍රංශ හා ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් සමගත් අවුරුදු 07ක් ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමගත් සටන් කර යෝධ ඇමරිකානු යුධ බලය බිමට සමතලා කළේය. එපමණක් ද නොව ධනවාදයේ දුෂ්ට බාධා කිරීම් මැද ආර්ථික ක්ෂේත්‍රයේ දී සුවිශේෂ ජයග්‍රහණ ලබමින් ඉතාම තහවුරු ව ඉදිරියට ඇදේ. එය කෙතරම් ද යත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ම 2010දී වියට්නාමය සහස‍්‍ර සංවර්ධන ඉලක්ක වෙත වේගයෙන් ම ළං වන රට ලෙස නම් කිරීමට සිදු විය.
සමාජවාදී උතුරු කොරියාව ඇමරිකන් යුදමය තර්ජන තඹයකට මායිම් නො කර සමාජවාදය වෙනුවෙන් න්‍යෂ්ටික තාක්‍ෂණය අත්හදා බලමින් අධිරාජ්‍යවාදයට එරෙහිව තිරව නැගෙමින් සිටී. චීනය ද දැවැන්ත ආර්ථික හා යුදමය ශක්තියක් ද සමග අධිරාජ්‍ය විරෝධි පෙරමුණකට පැමිණෙමින් සිටී. දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව, ඉක්වදෝරය, බ‍්‍රසීලය, නිකරගුවාව ආදී රටවල් සමාජවාදී නොවුවත් එදෙසට යොමු වූ අධිරාජ්‍ය විරෝධී පාලනයන් ගොඩනගමින් සිටී.
ධනවාදී රාජ්‍යයන් වන රුසියාව, ඉරානය, සිරියාව සහ තවත් බොහෝ රටවල් අධිරාජ්‍යවාදයට එරෙහිව අවි ඔසවමින් සිටී. මේ සෑම තොරතුරකින් ම කියවෙන සත්‍යය වන්නේ, අනාගතය අධිරාජ්‍යවාදයට එරෙහි ලොවක් වනු ඇති බව ය.
කෙසේ වෙතත් අප සලකා බැලූ ලෙස ධනවාදයේ නූතන කාර්තුව අධිරාජ්‍යවාදයයි. එහි දේශපාලන ප‍්‍රතිපත්තිය යටත් විජිත ප්‍රතිපත්තියයි. ඒ නිසා අද ධනවාදයට එරෙහි සටන අධිරාජ්‍යවාදයට නැතිනම් යටත් විජිත ප්‍රතිපත්තියට එරෙහි සටනකි. මෙය විශේෂයෙන් ‘ගැති රාජ්‍යයන්ට’ අනිවාරණීය කොන්දේසියයි. ධනවාදයට එරෙහි සටනින් පසු පැවැත්මට එන සමාජ ක‍්‍රමය සමාජවාදය වන බැවින්, විශේෂයෙන් ‘ගැති රාජ්‍යයන්වල’ සමාජවාදය සඳහා වන පංති ව්‍යාපාරයන්ගේ උපායමාර්ගය අධිරාජ්‍ය විරෝධය හා ජාතික විමුක්ති අරගල සමග බැඳී පැවතීම අනිවාරණීය කොන්දේසියයි. යථාර්ථය එය ය.

බිමල් රත්නායක

ගැත්තාගෙන් සමාවක් නැත; අනුකම්පා නොකරන්න!