ප‍්‍රාග්ධන සමුච්චය හේතුවෙන් ඇති නැති පරතරය ඉහළට

inflation_converted_converted
උද්ධමනය
February 6, 2017
central_bank_converted
මහබැංකුවට නව උපායමාර්ග
February 6, 2017
Show all

ප‍්‍රාග්ධන සමුච්චය හේතුවෙන් ඇති නැති පරතරය ඉහළට

Sao-Paulo-Tuca-Viera-1

ධනපතියෝ තමන් ලබා ගන්නා අතිරික්ත වටිනාකමෙන් (ලාභයෙන්) කොටසක් ප‍්‍රාග්ධන සමුච්චයේ කාර්යය සඳහා තමන්ගේ ස්ථාවර හා විචල්‍ය ප‍්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා භාවිත කරති. අතිරික්ත වටිනාකමේ කොටසක් වාර්ෂිකව සමුච්චගත කිරීම මඟින් ධනපතියා සිය ප‍්‍රාග්ධනය දිගින් දිගට ම වැඩි කර ගනියි. අතිරික්ත වටිනාකමේ කොටසක් සමුච්චගත කිරීම මඟින් ප‍්‍රාග්ධනයේ විශාලත්වය වැඩි කර ගැනීම (අතිරික්ත වටිනාකම ප‍්‍රාග්ධනීකරණය) ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණය යනුවෙන් හඳුන්වනු ලැබේ.

එහෙත්, අතිරික්ත වටිනාකම් ප‍්‍රාග්ධනීකරණය මඟින් ප‍්‍රාග්ධනයේ විශාලත්වය වැඩි කර ගැනීම සඳහා තරමක් දීර්ඝ කාලයක් ගත වේ. ධනපතියෝ තම ප‍්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා වඩා වේගවත් ක‍්‍රමයක් ද උපයෝගී කර ගනිති. එනම්, ප‍්‍රාග්ධන කීපයක් (බලයෙන් හෝ ස්වේචාවෙන්) තනි ප‍්‍රාග්ධනයක් බවට ඒකාබද්ධ කිරීම ය. එය ප‍්‍රාග්ධන මධ්‍යගත කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප‍්‍රාග්ධන සමුච්චයෙන් මූලික වශයෙන් ම අදහස් වන්නේ ධනපතියාගේ ධනපති වර්ධනයයි. ඒ සමඟ ම ධනවාදයේ වර්ධනය, නිර්ධනීන්ගේ සංඛ්‍යාව වැඩි කරයි. ප‍්‍රාග්ධන සමුච්චය කම්කරු පන්තියේ තත්ත්වය මත පරස්පර විරෝධී ප‍්‍රතිවිපාකයන් ඇති කරයි.

img

ධනවාදය යටතේ ප‍්‍රාග්ධන සමුච්චය සහ සමාජ ධනය ඒකරාශී වීම වැඩි වත් ම. රැුකියා වියුක්ත හා දිළිඳු බවට පත් වූ ජනයාගේ සංඛ්‍යාව වැඩි වෙයි. සමාජයේ එක් අන්තයක ප‍්‍රාග්ධනය සමුච්චය (ඒකරාශී වීම) ධනපති පන්තියේ සුඛෝපභෝගී ජීවිතය, නාස්තිකාරකම සහ අලසකම රජයන අතර, අනෙක් අන්තයෙහි සමස්ත සමාජයෙහි ධනයෙහි නිෂ්පාදකයා වූ නිර්ධන පන්තියේ තත්ත්වය අයහපත් වන අතර, ජීවන තත්ත්වය පහත වැටේ. මෙය මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ දී ප‍්‍රාග්ධන සමුච්චයේ පොදු නියාමය ලෙස හඳුන්වනු ලැබේ.

වත්මන් ධනවාදයේ ප‍්‍රාග්ධන සමුච්චයේ තරම පෙන්වන වාර්තාවක් පසුගිය ජනවාරි මස 16 වැනිදා ‘ඔක්ස්ෆෑම්’(OXFAM) නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් එළිදක්වා තිබිණි. එකී වාර්තාවට අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 62 දෙදෙනාගේ වත්කම ලෝක ජනගහනයෙන් භාගයකගේ වත්කමට සමාන වේ. මීට වසර පහකට පෙර දී එනම්, 2010 වසර වන විට ලෝක ජනගහනයෙන් භාගයකගේ වත්කම සමාන වූයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 388 දෙනකුගේ වත්කමටයි.

මෙම වාර්තාවට අනුව 2015 වන විට ලෝකයේ ධනවත් ම සියයට එක සතුව ඇති වත්කම ලෝකයේ අනෙක් සියලූ දෙනා ම සතුව ඇති වත්කමට සමාන වේ. ‘ඔක්ස්ෆෑම්’ (OXFAM) ආයතනය මීට පෙර දී අනාවැකි පළ කර තිබූ ආකාරයට එය සිදු විය යුතුව තිබුණේ 2016දී ය. නමුත්, ඔවුන් බලාපාරොත්තු වූවාට වඩා වසරකට පෙර දී එය සිදු වී ඇත.

පසුගිය වසර පහ තුළ දී (2010-2015) ලෝකයේ ධනවත් ම 62 දෙනාගේ වත්කම සියයට 45කින් වැඩි වෙද් දී ලෝකයේ දුප්පත් ම සියයට 50 දෙනාගේ වත්කම සියයට 38කින් අඩු වී තිබේ.
මේ අනුව පෙනී යන්නේ ධනවාදය අර්බුදයට යත් ම වඩ වඩාත් වේගයෙන් ප‍්‍රාග්ධනය සමුච්චගත වී ඇති බව ය. එය අනෙක් අන්තය වන දුගී භාවය ද, විරැකියාව ද ඉහළ ගොස් ඇති බව ය.

සංවර්ධිත රටවල හා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධන වේගය කුමක් වුව ද, ජාතික ධනයෙන් ප‍්‍රාග්ධන හිමිකරුවන් වෙත ලබා ගන්නා පංගුව දිගින් දිගට ම වැඩි වෙද් දී වැටුප් ශ‍්‍රමිකයන් හෙවත් කම්කරුවන් වෙත ජාතික ධනයෙන් ලැබෙන කොටස දිගින් දිගට ම අඩු වන බව ද මෙම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. සෑම රටක ම ජාතික ධනයෙන් ප‍්‍රාග්ධන හිමිකරුවන්ගේ පංගුව වැඩි වන වේගය එක් එක් රටේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි ය. ප‍්‍රාග්ධන හිමිකරුවන් ලාභය ලෙසත්, ලාභාංශ ලෙසත්, පොලිය ලෙසත් ආර්ථිකයේ තම පංගුව ලබා ගන්නවාට අමතරව බදු පැහැර හැරීම හරහාත් ජාතික ධනයෙන් තම පංගුව කොල්ලකා ගනී. එසේ ම සෑම රටකම ආර්ථික ප‍්‍රතිපත්තියේ පොදු ප‍්‍රවණතාව වී ඇත්තේ, ප‍්‍රාග්ධන හිමියන් වෙත පනවන බදු අඩු කිරීම සහ ජනතාව මත පටවන බදු වැඩි කිරීම බව ද එම වාර්තාව පෙන්වා දෙයි. තව ද, පසුගිය අවුරුදු 30ක් පුරා එක් එක් රටවල හඳුන්වා දී ඇති ආර්ථික ප‍්‍රතිපත්ති විශේෂයෙන් පෞද්ගලිකකරණය, ප‍්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික ලිහිල්කරණය ආදී ප‍්‍රතිපත්ති මඟින් ප‍්‍රාග්ධන හිමියන්ට ජාතික ධනයෙන් තමන්ගේ කොටස වැඩි කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇති බව ද එමඟින් හෙළි කර තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ දුප්පත්කම අඩු කිරීම පිළිබඳව කතා කරයි. ඒ සඳහා ඉලක්ක සහ වැඩපිළිවෙළවල් සාදයි. මෙම වැඩපිළිවෙළවල් මඟින් 1990න් පසු මේ දක්වා ලෝකයේ අන්ත දුගීභාවයෙන් පෙළුණු ජනතාවගෙන් භාගයක් දුගී භාවයෙන් මුදා ගත් බව ද පවසයි. එහෙත්, ‘ඔක්ස්ෆෑම්’ (OXFAM) ආයතනය ඉදිරිපත් කළ ඉහත සංඛ්‍යාලේඛන අනුවත්, ප‍්‍රාග්ධන සමුච්චයේ පොදු නියාමය අනුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛන කෙතරම් විශ්වසනීය ද යන්න සැකසහිත ය. ලෝකයේ දුප්පත් පුද්ගලයන් හරි අඩකගේ වත්කම අවුරුදු පහක් තුළ දී භාගය (38%) කින් අඩු වන්නේ නම්, එක්සත් ජාතීන් ප‍්‍රකාශ කරන ආකාරයට දුප්පත්කම අඩු වන්නේ කෙසේ දැයි මේ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කරන විශ්ලේෂකයෝ ප‍්‍රශ්න කර සිටිති. 2008 ආර්ථික අර්බුදයෙන් පසු සංවර්ධිත රටවල ආර්ථික ප‍්‍රතිපත්තිවල පවා ඇත්තේ, සහන කප්පාදුව, අරපිරිමැස්ම, ශ‍්‍රම නම්‍යතාවය, සහන වියදම් අඩු කිරීම, අතිරික්ත වියදම් අඩු කිරීම සඳහා වන අරපිරිමැසුම් කි‍්‍රයාමාර්ග වැනි දෑ ය. ප‍්‍රතිපත්තිය එසේ වෙද් දී දුප්පත්කම වැඩි වනවා මිස අඩු වීමට කිසිසේත් ම ඉඩ නැතැයි ඔවුහු පෙන්වා දෙති. ධනවාදය යටතේ නිර්ධන පන්තියේ තත්ත්වය සාපේක්‍ෂ ලෙසත්, නිරපේක්‍ෂ ලෙසත් අයහපත් වීම අනිවාර්යය බව මාක්ස්වාදය විසින් කරුණු සහිතව ඔප්පු කර පෙන්වූයේ බොහෝ කලකට ඉහත දී ය