උද්ධමනය

අද සල්ලි මල්ලක් අරගෙන වෙළෙඳපොළට ගියත්, අල්ලකට බඩු තමයි ගන්න පුළුවන් කියන කතාව ඔබ අසා ඇති. ඒ වගේ ම වෙළෙඳපොළේ බඩුවල මිල ඉහළ යනවා මිසක පහළ යාමක් නොතිබූ අවස්ථාත් ඔබ දැක ඇති. මෙලෙස වෙළෙඳපොළේ බඩුවල මිල ගණන් කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාමක් සිදු වෙනවා නම්, අපි ඒ තත්ත්වය හඳුන්වනවා උද්ධමනයක් ලෙස. ප‍්‍රවාහණය, තැපැල්, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී වශයෙන් වන සේවාවන්ගේ ගාස්තු ඉහළ යාමත් මෙයට අදාළයි. කෙටි කාලයක් තුළ සිදු වන මිල ඉහළ යාමක් හෝ අඛණ්ඩව නොවන විටින් විට භාණ්ඩ හා සේවාවල මිල උච්චාවචනයක් සිදු වන තත්ත්වයක් උද්ධමනයක් ලෙස හැඳින්වීමට නොහැකියි.

මේ අනුව උද්ධමනය යනු දීර්ඝ කාලයක් පුරා ආර්ථිකයක භාණ්ඩ හා සේවාවල අඛණ්ඩ මිල ඉහළ යාමයි.

උද්ධමනයක් ඇති වන්නේ ඇයි?

උද්ධමනයක් ඇති විය හැකි ආකාරයන් කිහිපයක් පවතිනවා වගේ ම උද්ධමනයක් ඇති වීමට බලපෑ හැකි හේතු ගණනාවක් ම තියෙනවා. රටක නිෂ්පාදනය කරන ප‍්‍රමාණයන්ගේ වෙනසක් සිද්ධ නොවී තිබිය දී මිනිසුන්ට භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව වැඩි වුණොත් මොකද වෙන්නේ ? වෙළෙඳපොළේ ඉල්ලූම ඉහළ යනවා. ඉහළ යන ඉල්ලූම සම්පූර්ණ කිරීමට ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවන නිසා පවතින භාණ්ඩවල මිල ගණන් ඉතා වේගයෙන් ඉහළ යන්න පුළුවන්. මෙසේ ඇති වන උද්ධමනය ආර්ථික විශ්ලේෂකයන් විසින් හඳුන්වනවා ඉල්ලූමෙන් ඇදුණු උද්ධමනය ලෙස. රජය විසින් තමන්ගේ අයවැය හිඟය පියවා ගැනීමටත්, තමන්ගේ ආර්ථික පැලැස්තර වුවමනාවන්ට ක්‍ෂණික පිළිතුරු ලෙස මුදල් අච්චු ගැසීමත් නිසා ආර්ථිකයේ සංසරණය වන මුදල් ප‍්‍රමාණය ඉහළ යාමෙන් (හොර සල්ලි අච්චු ගැසීමත් මීට අදාළයි), වැටුපට වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි වීමෙන්, විවිධ ආධාර ඇතුළු නොයෙක් ක‍්‍රම මඟින් ජනතාව අත සංසරණය වන වැඩි වන්න පුළුවන්. මෙසේ සංසරණය වන මුදල් ප‍්‍රමාණයට ප‍්‍රමාණවත් ලෙස සපයන්න නිෂ්පාදනය සිද්ධ නොවන විට අපි ඉහතින් සඳහන් කළ උද්ධමනකාරී තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

අනෙක් අතට භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදවා ගන්නා නිෂ්පාදන සාධකවල මිල ගණන් (පිිරිවැය) ඉහළ යාම නිසා නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. නිෂ්පාදන සාධකවල මිල ඉහළ ගියත්, අදාළ භාණ්ඩවලට පවතින ඉල්ලූම වෙනස් නොවේ නම්, එවිටත් එම භාණ්ඩවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමෙන් උද්ධමනයක් ඇති වෙන්න පුළුවන්. මේ මොහොතේ භාණ්ඩයේ මිල ඉහළ යාමට බලපෑවේ සාධක මිල ඉහළ යාම බැවින්, මෙය පිරිවැයෙන් තල්ලූ වූ උද්ධමනය ලෙස හඳුන්වනවා.

මේ මූලික ආකාර දෙකට අමතරව උද්ධමනය ඇති විය හැකි තවත් හේතු කිහිපයකි.

-විදේශ ප‍්‍රාග්ධනය අධික ලෙස ආර්ථිකයට ගලා ඒමත්, ඊට සාපේක්‍ෂව කෙටිකාලීන නිෂ්පාදන පුළුල් නොවීම.

-රටේ පවතින මුදල් භාණ්ඩ ආනයනය කෙරෙහි යොමු වී ඇති විටෙක රජය විසින් එම භාණ්ඩ ආනයනය සීමා කීරීමක් කළහොත්, ඒ වෙනුවෙන් යොදා ගත හැකි (ආදේ්ශන* භාණ්ඩ මිල ගණන් ඉහළ යා හැක.

-රජය විසින් තමන්ගේ වියදම් පවත්වා ගැනීමේ වැඩපිළිවෙළක් නොමැතිව රජයේ වියදම් මුදල් අච්චු ගැසීම වැනි තාවකාලික ක‍්‍රම මඟින් සිදු කිරීම.

රටක උද්ධමනකාරී වටාපිටාවක් තුළ වැඩි ම බලපෑමක් වෙන්නේ ගුරුවරුන්, ලිපිකරුවන් වැනි ස්ථාවර ආදායම් ඇති අයටයි. පොදුවේත් උද්ධමනයට සාපේක්‍ෂව ආදායම වැඩි නොවුවහොත්, ජනතාවගේ ජීවන තත්ත්වයට අහිතකර ලෙස එය බලපානවා. ආර්ථිකය අස්ථාවර වන අතර, විදේශ ණයටගැතිභාවයක් මේ මඟින් ඉහළ යාම වැළැක්විය නොහැකියි.

ධනේශ්වර රටක පාලකයන් විසින් උද්ධමනය පාලනය කිරීමට අනුගමනය කරන කි‍්‍රයාමාර්ග කිහිපයක් තිබෙනවා. එයින් සුප‍්‍රසිද්ධ ක්‍රියාමාර්ගයක් තමයි, මිල පාලනය. නමුත්, වෙළෙඳපොළ කළුකඩ මුදලාලි විසින් පාලනය කරන වටාපිටාවක මිල පාලනය ප‍්‍රායෝගික උත්තරයක් නොවෙයි. ඔබට මතක ඇති රාජ්‍ය ඒකාධිකාරී ව්‍යුහය තුළ මිල පාලනය කරන්න උත්සාහ කළා. රජය මිල පාලනය කළ විට දී කළුකඩ මුදලාලි වෙළෙඳපොළේ භාණ්ඩ හංගනවා. ඒ වාගේ ම මුදල් තිබෙන පිරිස් පස්ස දොරෙන් පවතින මිලටත් වැඩියෙන් ගෙවලා ගන්න පෙළැඹෙනවා. ධනේශ්වර රජයට වෙළෙඳපොළ පාලනය කිරීමට ඇත්තේ එවැනි සීමිත ඉඩකඩක් නිසා එයින් උද්ධමනය පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒත් සමුපකාරය වැනි ශක්තිමත් සැලැමසුම්සහගත ආර්ථිකයක දී තත්ත්වය මීට හාත්පසින් ම වෙනස්. මිල නියම කිරීමේ බලය හා හැකියාව රජය සතු නිසාත්, නිෂ්පාදන බෙදාහැරීම දක්වා ම රජයේ මැදිහත් වීමෙන් සිද්ධ වෙන නිසාත් උද්ධමනය පාලනය කිරීමට සමාජවාදී රජය සමත්.

උද්ධමනය පාලනය කළ හැකි තවත් ක‍්‍රමයක් තමයි, සලාක සහනාධාර. උද්ධමනකාරී තත්ත්වයක් ඇති වීමට බලපාන භාණ්ඩ රජය විසින් සහන මිලකට සහනාධාර ලෙස සලාක ක‍්‍රමකයට ජනතාව අතර බෙදා දිය හැකියි. හැබැයි, සලාකයෙන් පාඩු වන ප‍්‍රමාණය රජය විසින් දැරිය යුතුයි. නමුත්, ධනේශ්වර රජයන්ට ඒ සඳහා ද හැකියාවක් නැහැ. ඒ නිසා ම ධනේශ්වර සහනාධාරය කෙටි කාලයකටවත් පවත්වා ගන්න ධනපති ආණ්ඩුව සමත් නැහැ.

මිල පාලනය හා සලාකයන් මඟින් කළ හැක්කේ උද්ධමනය අහෝසි කිරීමක් නොව උද්ධමනය පාලනය කිාරීමක් පමණයි. රටක උද්ධමනය නැති කිරීමට නම්, සිදු කළ යුත්තේ ජනතාවගේ ඉල්ලූමට සරිලන ලෙස නිෂ්පාදනය පුළුල් කිරීමයි. නිෂ්පාදනය වැඩි වීමට අදාළ බාධා ඉවත් කිරීමෙන් තොරව උද්ධමනයට පිළිතුරු ඇත්තේ නැහැ.

ධනේශ්වර ක‍්‍රමය තුළ නිෂ්පාදන හිමිකම පෞද්ගලික වන නිසා ධනපති ආණ්ඩුවට එය හැසිරවීමේ අයිතියක්, හැකියාවක් ඇත්තේ නැහැ. එහෙත්, සමාජවාදය තුළ නිෂ්පාදනයේ පෞද්ගලික ස්වභාවය අහෝසි කරන අතර, නිෂ්පාදනය සමාජමය වන නිසා එය සැලැසුම් සහගත හා මධ්‍යගත බැවින්, උද්ධමනය පිළිබඳව ප‍්‍රශ්නය ඇති වීමේ ඉඩ නොමැති අතර, බාහිර බලපෑම් මඟින් එවැන්නක් ඇති වීමට තිබෙන ඉඩ පාලනය කිරීමට ද සමාජවාදය සමත් ය.