අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන් මළ මිනිසුන් යළි මරා දැමීම

Layout 1
අමරණීය මතකයක් – ටියෝෆිලෝ ස්ටීවන්සන්
February 18, 2017
Off Side
February 19, 2017
Show all

අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන් මළ මිනිසුන් යළි මරා දැමීම

kevin-carter-vulture

අප්‍රිකානු ජාතික කෙවින් කාටර් (Kevin Carter)  1960 සැප්තැම්බර් 13 වන දින මෙලොවට බිහි වූ අතර 1994 ජූලි 27 වන දින සිය දිවි නසා ගත්තේ ය. ඔහු දිවි නසා ගැනීමට පෙර සටහන් කළ සිය අවසන් ලිපියේ මෙසේ ලීවේ ය. ”මම විශාදයෙන් පෙළෙනවා… ටෙලිෆෝන් එකක් නැතිව … කුලී ගෙවන්න සල්ලි නැතිව… ළමයින්ට උදව් කරන්න සල්ලි නැතිව… ණය ගෙවා ගන්න සල්ලි නැතිව… සල්ලි!…  පැහැදිලිව පෙනෙන තුවාල වූ දරුවෙකු පෝෂණය නො කිරීමේ වරදකාරී හැඟීමත් තුවක්කුවේ කොකා මත අත තබා ගත් උමතු මිනිසෙකුගේ දර්ශනයකුත් මළ මිනිසෙකු යළි මරා දැමීමේ මතකයත් කෝපය සහ වේදනාවත් නිතර නිතර පොලිසියත්, අලුගෝසුවෙකුත් මා වටා හොල්මන් කරනවා… මම යනවා. මම වාසනාවන්තයෙකු නම් කෙන් සමග එක් වීමට මට අවස්ථාව ලැබේ වි.
b1f134fecf566b3b65d62d279698b7ce
“I am depressed… Without phone… money for rent… money… for child support money for debts ‘money’! I am haunted by the vivid memories of killings and corpses and anger and pain… of starving or wounded children of trigger) happy madmen, often police of killer executioners… I have gone to join Ken if I am that lucky. ”

අපේ ජීවිතයට කිසිදු සම්බන්ධයක් නැති කෙවින් කාටර්, තමාගේ ජීවිතයට කිසිදු සම්බන්ධයක් නැති සුඩාන ජාතික දැරියක් සම්බන්ධ මතකයකින් පීඩාවට පත්ව සිය දිවි නසා ගත්තේ ය. කෙවින් කාටර් ඡායාරූප ශිල්පියෙකි. ඔහු 1994 වර්ෂයේ, වසරේ හොඳම වාර්තාමය ඡායාරූපයට හිමි පුලිට්සර් සම්මානයෙන් (Pulitzer Prize for Feature Photography) පිදුම් ලැබීය. 1993 මාර්තු මාසයේ දවසක් සුඩානයේ, අයෝද් නගරයේ සංචාරයක යෙදී සිටින අවස්ථාවක මන්දපෝෂණයෙන් පෙළෙන දැරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ආහාර බෙදා දෙන ස්ථානයකට යාමට උත්සාහ කරන අවස්ථාවක, ඇය අසලම ගිජුළිහිණියෙකු වසා සිටින ආකාරය ඔහු ඡායාරූපයට නැගුවේ ය. එය එම වර්ෂයේ ම මාර්තු 26 වන දින නිව්යෝර්ක් ටයිම් පුවත්පතේ පළ කරන ලදී. ඡායාරූපය පළ කරන ලද සැණින් දහස් ගණනක් පාඨකයෝ ප්‍රවෘත්ති පත්‍ර කාර්යාලයට දුරකථනයෙන් කතා කරමින් මෙම දැරියට සිදු වූයේ කුමක් දැයි විමසුවෝ ය. ඊට පිළිතුර වූයේ දැරිය ආහාර ලබා දෙන ස්ථානයට පැමිණි බව හෝ නො පැමිණි බව නිසැකවම සඳහන් කළ නොහැකි බවයි.

මෙම සිදුවීම ලොව පුරා දැඩි විවේචනයට භාජනය විය. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පළ කරන ශාන්ත පීටර්ස්බර්ග් ටයිම් පුවත්පත මෙම සිදුවීම වාර්තා කරන ලද්දේ මේ ආකාරයෙනි. ”කාටර් ඒ ඓතිහාසික සිදුවීම ඡායාරූපයට නැගුවේ ය. මන්ද ඒ ඔහුගේ රැකියාවයි (Job Title) අනතුරුව ඔහු එම දර්ශනයෙන් නික්ම ගියේ ය.” කෙසේ වෙතත්, පෝෂණ මධ්‍යස්ථානය තෙක් ගමන් කිරීමට ඒ දැරියට උදව් නොකිරීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට බඳුන් විය . ”මෙම ඡායාරූපය ගැනීමට කැමරාව සීරු මාරු කළ තැනැත්තා, ඒ

කුස ගින්නෙන් පෙළෙන දැරිය ගොදුරු කර ගැනීමට කුරුමානම් අල්ලන තවත් ගිජුළිහිණියෙකු පමණි. ඒ මේ කැමරාවේ සටහන් නොවූ නමුත් එම දර්ශන තලයේ ම සිටි තවත් ගිජු ලිහිණියෙකි.’’

ඉහත සම්මානනීය ඡායාරූපය සිය පුවත්පතේ පළ කර ගැනීමට හැකි වූයේ නම් ඇතැම් විට, ශාන්ත පීටර්ස්බර්ග් ටයිම් පුවත්පත පවා ඉහත විවේචනය නො කරන්නට ඉඩ තිබුණි. වර්තමානයේ මානව හිතවාදය පවා කිසියම් වෙළඳපොළ සබැඳියාවක් පදනම් කර ගැනීම ඊට හේතුවයි. අප මෙම සාකච්ඡාව න්‍යායාත්මක කර ගැනීමට මතු දැක්වෙන නිර්වචන ත්‍රිත්වය පදනම් කර ගනිමු.

පළමු නිර්වචනය රුසියාවේ සිටි ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු හා විචාරකයෙකු වන ලියෝ තොල්ස්තෝයි විසින් ඉදිරිපත් කරන ලද්දකි. ඒ කලාව සම්බන්ධයෙනි.  ”යමෙකු යම් වේදිතයක් විඳ ගැනීමෙන් අනතුරුව චලන, රේඛා, වර්ණ හෝ වචන සංයෝග මගින් ඒ වේදිතය ඒ අයුරින් ම අන්‍යයන් තුළ ද දැනවීම කලාවේ කාර්යය වේ….. කලාව වූ කලී එක් අයෙකු හිතාමතාම යම් යම් බාහිර ලකුණු උපයෝගී කර ගෙන අන්‍යයන් ආසාදනය වන සේ ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ජනිත කරවන මානව ක්‍රියාවලියකි. තවදුරටත් කලාව වූ කලී….. පුද්ගලයන්ගේ සහ මිනිස් සංහතියේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යාවශ්‍ය මාධ්‍යයක් ද වන්නේ ය. ඒ අනුව, කලාකරුවා සිය වින්දනීය අත්දැකීම් වර්ණ, රේඛා, වචන, රූප රාමු හෝ වෙනත් මාධ්‍යයක් මගින් අන් අයට ද විඳ ගත හැකි අත්දැකීමක් බවට පත් කරන බවත්, එකී අත්දැකීම් සමග සමපාත වන රසිකයා ද එයම හෝ ඊට සමාන අත්දැකීමක් විඳ ගන්නා බවත් මෙම නිර්වචනයේ සාරාර්ථයයි. තොල්ස්තෝයිගේ නිර්වචනය අනුව කලාකරුවාගේ කාර්යභාරය සිය අත්දැකීම් ප‍්‍රතිනිර්මාණය කිරීමයි. ඔහු සිය අත්දැකීම් ප‍්‍රතිනිර්මාණය කරන්නේ රසිකයාට හෝ පාඨකයාට (සහෘදයාට) වේදිත සම්පාදනය කිරීමෙනි. මෙය අපගේ භාව මණ්ඩලයට ආමන්ත්‍රණය කරන අතර එනයින් ඥාන මණ්ඩලය ද පුළුල් කරයි. අතීත යුගයේ සිට සියලු කලා නිර්මාණ මෙම කාර්යයෙහි යෙදුණු බවට එකී කෘති පරිශීලනයෙන් වටහා ගත හැකිය.

අතීතයේ කලාකරුවා යනු සිය කෘති විවෘත වෙළඳපොළේ අලෙවියෙන් ලාභාපේක්ෂාවෙන් තොර ව නිර්මාණකරණයෙහි යෙදුණු කෙනෙකි. විශේෂයෙන්ම ජන නිර්මාණ සලකා බැලීමේ දී ඒවා අලෙවිකරණය සම්බන්ධයෙන් අදහසක් තත්කාලීන කලාකරුවා තුළ නොවීය. මේ නිසාම, තොල්ස්තෝයිගේ නිර්වචනය අනුව යමින් සිය නිර්මාණ තුළින් සහෘද වේදිතයන් පුබුදු කිරීමටත් එමගින් ඥාන මණ්ඩලය ප්‍රසාරණයටත් අවස්ථාව කලාකරුවාට ලැබිණි. ඔහු නිර්මාණයන් කරන ලද්දේ හුදු තමාගේත් අන් අයගේත් වින්දනය උදෙසා මිස කර්මාන්තයක් ඉටු කරනවා ය යන සංකල්පය පෙරදැරි ව නොවේ. බොහෝ ජන නිර්මාණ සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ, එකී නිර්මාණ කරුවන් වෙනත් කර්මාන්තයක යෙදෙන අතරතුර නිර්මාණකරණයෙහි යෙදුණු බවකි. පහත නෙළුම් කවිය ඊට උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය.

 

අඳුරු ලලා සෙන්කඩගල              වසින්නා

පඳුරු ලලා වල් කුඩමැටි            බැදෙන්නා

අක්ක නගෝ නැති අරුමය       දැනෙන්නා

මෙදා අඳ කුඹුර නෙළුමෙන්       ඇරෙන්නා

 

මෙම නිර්මාණයේ කර්තෘ සාදෘශ්‍ය  නැත. එහෙත් නිර්මාණකරුවාගේ සංකල්ප සම්බන්ධයෙන්  වන අත්දැකීම හුවමාරු කර ගැනීමට රස විඳින්නාට බාධාවක් ද නැත. නිර්මාණය වෙළඳපොළ අලෙවිය සම්බන්ධයෙන් අදහසක් නිර්මාණ කරුවාට නො තිබුණු බව නොරහසකි. ඔහු සිය අඳ කුඹුරේ වල් නෙළීම සම්බන්ධයෙන් වූ සිය වේදනාව අන් අයගේ ද වේදිත දනවන පරිදි නිර්මාණයට නඟා ඇත. වර්තමාන කලාකරුවා මෙකී ජන නිර්මාණ කරුවාගෙන් වෙන් වන්නේ ඔහු සිය නිර්මාණයන් විවෘත වෙළඳපොළේ අලෙවිය සඳහා නිර්මාණය කිරීම අරමුණු සහගත ව සිදු කිරීම මගිනි.

මෑතක දී මෙරට නිපදවූ සිනමා නිර්මාණයක් වන සුපර් සික්ස්’ ප්‍රචාරණයේ දී අවධාරණය කරන්නේ එය ඉහළ වියදමක් දරා නිර්මාණය කළ කෘතියක් වශයෙනි. එහි අධ්‍යක්ෂවරයා වන උදාර පල්ලියගුරු සිය නිර්මාණය සම්බන්ධයෙන් පුවත්පතට ප්‍රකාශ කරන ලද්දේ, තත්පර තිහක වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කිරීමට යොදවන මුදලට සාපේක්ෂව සිනමා කෘතියක් සඳහා දරන වියදම ප්‍රමාණවත් නොමැති බවත් ඒ සඳහා ආයෝජන වැඩි කර මෙය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කළ යුතු බවත් ය. වින්දනය යනු අද ලෝකයේ විශාලතම කර්මාන්තයන්ගෙන් එකකි. පරිගණක කර්මාන්තය හෝ වානේ කර්මාන්තයට සාපේක්ෂව මෙම කර්මාන්තයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ,  එය කලා නිර්මාණ, නම් වෙනත්

නමකින් ද හැඳින්වීමයි. කලා නිර්මාණ ලාභ ඉපදවීමේ අදහසින් තොර ව කෙරෙන්නේ නම් කිසියම් කලා කෘතියක් සඳහා සම්බන්ධ වන නිර්මාණ කරුවන් ජීවත් විය යුතු නැද්ද? යන නරුම තර්කය අප විසින් මතු කරන බවට යමෙකු චෝදනා කළ හැකිය. ඒ සම්බන්ධ විග්‍රහය පසෙක තබා අදාළ වර්තමානයේ නිර්මාණ කරුවන් මෙහෙයවන න්‍යාය ඔබගේ අවධානයට යොමු කරවමි.

අතීතයේ පැවති ව්‍යාපාර මගින් ‘ලාභ ඉපයීම’ (Profit making) යන සංකල්පය මේ වන විට යල් පැන ගොස් ඇති අතර එය ‘ලාභ උපරිම කර ගැනීම’ (Profit maximization) යන සංකල්පය දක්වා පරිණාමය වී ඇත. මෙම තත්වය තුළ තරඟකාරීත්වය අනිවාර්යය ලක්ෂණයකි. වෙළඳපොළේ සිය නිෂ්පාදනය හා තරඟ කරන සියලූම නිෂ්පාදකයින් සතුරන් (rivals) යන අන්වර්ථය සඟවා ගත් උපාය මාර්ගික තරඟ කරුවන් වශයෙන් (Strategic Competitor) වශයෙන් හඳුන්වන අතර, ඔවුන්ගේ නිෂ්පාදන අබිබවා යන නිෂ්පාදන කිරීමට තමන්ට අවස්ථාව නො ලැබෙන්නේ නම්, ඝාතනය කර හෝ එකී කර්මාන්තය නැවැත්වීමට පසුබට නොවන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති වෘත්තීයමය වචනය ‘අලෙවිකරණය’ හෙවත් අලෙවි ප්‍රවර්ධනය යන්න යි.

අද වෙළඳපොළ ක්‍රියාකාරීත්ව අලෙවිකරණ සංකල්ප මත පදනම් වේ. එබැවින්, අලෙවිකරණය සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයේ ගුරුවරයා (Marketing Guru) වශයෙන් සලකන කොට්ලර් සහ ආම්ස්ට්‍රොං විසින් ඉදිරිපත් කළ නිර්වචනයක් අවධානයට යොමු කරනු ඇත. ‘අලෙවිකරණය යනු පුද්ගලයින් හෝ සංවිධාන වටිනාකම් නිර්මාණය කිරීම හා හුවමාරු කර ගැනීම තුළින් තමාට අවශ්‍ය දේ ලබා ගැනීමේ සමාජ ක්‍රියාවලියකි.
(Marketing is the social process by which individuals and organizations obtain what they need and want through creating and exchanging value with others’ Kotler and Armstrong -2010)
මෙම නිර්වචනය අලෙවිකරණයේ මූලික සංකල්පයක් වන ‘හුවමාරු ක්‍රියාවලිය’ සම්බන්ධයෙන් අපට අදහසක් ලබා දෙයි. තවද එය ‘වටිනාකම’ යන්නෙහි අර්ථය ද උත්කර්ෂයට නංවා ඇත. ඔවුන් සිය සංකල්පය තවදුරටත් පැහැදිලි කරමින් මෙලෙස පවසයි. ‘අලෙවිකරණයේ දී සමාගම් විසින් පාරිභෝගිකයන් කෙරෙන් වටිනාකම් යළි අත්පත් කර ගැනීම පිණිස වටිනාකම් නිර්මාණය කිරීම සහ ශක්තිමත් පාරිභෝගික සබඳතා ගොඩ නංවා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරයි’. තවදුරටත් මෙම සංකල්පය පුළුල් කරන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර ගත් අලෙවිකරණය පිළිබඳව වෘත්තීයමය ආයතනය මෙසේ පවසයි. ‘අලෙවිකරණය යනු පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනා ගැනීමේ, පූර්වාපේක්ෂණයේ සහ එකී අවශ්‍යතා ලාභදායීත්වය පදනම් කර ගනිමින් සම්පූර්ණ කිරීමේ කළමනාකරණ ක්‍රියාවලියකි’
(Marketing is the management process for identifying” anticipating and satisfying customer requirements profitably).
මෙම නිර්වචනය පාරිභෝගික අවශ්‍යතාව සහ කෙටිකාලීනව එකී අවශ්‍යතා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

පාරිභෝගිකයාට අවශ්‍ය දේ ලබා දීම තුළින් වටිනාකම් හුවමාරු කර ගැනීම අලෙවිකරණයේ අරමුණ බව එහි පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, මෙම ක්‍රියාවලිය තුළ
1. වටිනාකම් නිර්මාණය කරයි

2.ඒවා හුවමාරු කරයි

3. ඒ සඳහා සමාජමය ක්‍රියාකාරකමක නියැළෙයි.

වර්තමානයේ කලාව යනු කර්මාන්තයකි. ඒ ආශ්‍රිතව විනෝදාස්වාදය සැපයීමේ භාණ්ඩ නිෂ්පාදනය කරයි. එනයින්, අලෙවිකරණ සංකල්පයන් එයට ද අදාළ ය. මෙකල ජනප්‍රිය  කලා නිෂ්පාදන සිනමාව, රූපවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර්ජාලය වැනි සංකීර්ණ විද්‍යුත් මෙවලම් තුළින් අපට සමීප වෙයි. මෙම මෙවලම් දැවැන්ත ප්‍රාග්ධනයක් මත පදනම් වන අතර ඒ සඳහා ආයෝජනය කරන පිරිස් ලාභ අපේක්ෂා කරයි. මේ නිසාම, කලා නිර්මාණයක පදනම ලෙස තොල්තෝයි දක්වා ඇති ඇතැම් කරුණු මඟ හැරීමට හෝ සිතාමතාම නො සලකා හැරීමට වර්තමාන කලාකරුවාට සිදුවේ. වර්තමාන අලෙවිකරණ සංකල්පයන් තුළ කලාකරුවාගේ කාර්යභාරය වඩාත් සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව ඇත.

ධනේශ්වර සමාජයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ

පාරිභෝගිකයන් සඳහා වන අතර, සම්භාව්‍ය ආර්ථික විද්‍යාව අනුව ඉල්ලුමක් නිර්මාණය වීමට නම්, පාරිභෝගික රුචිය අනිවාර්යය (ඉල්ලූම යනු ක‍්‍රය ශක්තිය මත පදනම් වූ පාරිභෝගික රුචියයි).  අලෙවිකරණ සංකල්පය අනුව යමින් සාමාන්‍ය  භාණ්ඩ හා නිෂ්පාදනයන් ඍජුව පාරිභෝගිකයාගේ අවධානය උදෙසා නිපද වේ. එහෙත් රූපවාහිනිය හා ගුවන් විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය ආශ්‍රිත නිර්මාණයන්ගේ අවසන් පාරිභෝගිකයා රසිකයා නොවන අතර ඒ වෙනුවට අනුග‍්‍රාහකයා ආදේශ වේ. ඒ අනුව වර්තමාන කලා කෘතිවල ඉල්ලූම යනු අනුග්‍රාහකයාගේ රුචියයි. අනුග‍්‍රාහකයා කලා නිර්මාණ වෙනුවට වෙනත් පාරිභෝගික භාණ්ඩ (සබන්, බිස්කට්, යට ඇඳුම්, විදුලි උපාංග හා ගෘහ භාණ්ඩ වැනි) නිපදවන අතර, ඔහු සිය අනුග්‍රහය ලබා දෙන්නේ සිය භාණ්ඩ ප්‍රවර්ධනය කරන නිර්මාණ සඳහා පමණි. ඔහුට ඇත්තේ තරඟයකි. ඒ තරඟයේ දී වෙනත් අරමුණු කරා යොමු වන පාරිභෝගික ධනය සිය භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීම කරා යොමු විය යුතු ය. එහි දී ඥාණනය ඇතැම් විට, නිෂ්පාදකයාට අවාසි සහගත ලෙස බලපානු ඇත. ඒ වෙනුවට කන බොන නටන නරුම මිනිසුන් පිරිසක් බිහි කර ගැනීම වඩාත් වාසි සහගත ය. වර්තමානයේ බොහෝ නිර්මාණ ඒ සඳහා කැප වී සිටියි. එහි දී නිර්මාණය සඳහා අනුග්‍රහය දක්වන ආයතනයේ අරමුණු ඉටු වන නිර්මාණ ඉදිරිපත් කෙරෙන අතර සියලු රූපවාහිනි නාලිකා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ‘හෙන ගැහුවත්’ කමක් නැති ආකාරයේ වැඩසටහන් සම්පාදනය කරන්නේ මෙම මූලධර්මය පදනම් කර ගනිමින්.

සම්භාව්‍ය  මාක්ස්වාදී න්‍යායට අනුව මාධ්‍යය යනු නිෂ්පාදන උපක්‍රමයක් වන අතර එය නිතරම එහි නියම හිමිකාරිත්වය පාලක, පීඩක පංතියට හිමි වන අතර එය නිරන්තරයෙන් ම ධනපති පංතියට සේවය කරයි. මාධ්‍යය සරලව පාලක පංතියේ අදහස් සිය අදහස් ලෙස මහජනතාව වෙත ප්‍රේෂණය කරයි. එය විරුද්ධ හා විකල්ප අදහස් නො සලකා හැරීම හෝ නො තකා සිටීම සිදු කරයි. මේ සම්බන්ධයෙන් මාක්ස්වාදී තර්කය වන්නේ, පංතිය සිය නිෂ්පාදනයන් වන භෞතික නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට අදාළ මානසික නිෂ්පාදනයන් මාධ්‍ය උපයෝගී කර ගෙන නිපදවන බවයි.
“The class which has the means of material production at its disposal has control at the same time over the means of mental production” so that thereby” generally speaking” the ideas of those who lack the means of mental production are subject to it’ ^Marx & Engels: The German Ideology” cited in Curran et al’ 1982: 22)
ඒ අනුව, මාධ්‍ය නිරන්තරයෙන් ම වැරදි මතවාදයන් වැඩ කරන ජනතාව අතර නිපදවා බෙදා හරියි. මෙම නිර්වචනය පාරිභෝගිකත්වය පදනම් කර ගත් නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට අදාළ නිර්මාණයන් පමණක් සම්බන්ධයෙන් අදාළ වන්නේ නැත. සියලූම නිර්මාණ පාලක පංතියේ අවශ්‍යතා සපුරාලීම පිණිස ලඝු කෙරේ.

උදාහරණ වශයෙන් කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් කෙරෙන ප්‍රවෘත්ති වාර්තාකරණයක් සලකා බලන්න. එය සමාජ සංශෝධනය ඉලක්ක කර ගත් බවක් මතු පිට අර්ථයෙන් ගම්‍ය  වුවද ද, එනයින් ගැඹුරින් විග්‍රහ කරන විට ඒ සම්බන්ධයෙන් සමාජමය කතිකාවක් නිර්මාණය වී විකල්ප අදහස් පැන නැගීමට ඇති ඉඩකඩ වාරණයට ලක් කරන බව කිව හැකිය. සාමාන්‍යයෙන් මෙරට සාහසික අපරාධ සම්බන්ධ වාර්තාකරණය සමාජ සංශෝධනයට පාදක වන්නේ නම් දිනෙන් දින අපරාධ රැල්ල ඉහළ යන්නේ ඇයි? වානරයාගේ සිට මානවයා දක්වා පරිණාමය වීමේ දී අප තුළ සංරක්ෂණය කර ගත් ම්ලේච්ඡත්වය හා අපරාධ කිරීම සම්බන්ධයෙන් වන සහජ ප්‍රේරණය ආමන්ත්‍රණය කරන මෙම ප්‍රවෘත්ති මගින් අපරාධයක් සිදු කළ ආකාරය දැන ගැනීමේ අප තුළ වන අපරාධකාරී මනෝභාවය සන්තර්පනයක් සිදු කරනවා මිස අපරාධකරුවෙකු බිහි කරන සමාජ පසුබිම සම්බන්ධයෙන් ප්‍රතිඵලදායක සංවාදයක් මගින් එය සමාජයෙන් තුරන් කිරිමේ අරමුණක් පිළිබිඹු නොවේ. මන්ද අපරාධ අඩු වීම අදාළ නාලිකාවට සිදු වන වෙළඳ අවාසියකි.

මේ නිසා, දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක් සහිත පසුබිමකින් යුත් සිනමාව, රූපවාහිනිය, ගුවන් විදුලිය, අන්තර්ජාලය වැනි මාධ්‍ය මගින් අප වෙත සමීප වන කලා නිර්මාණ, සහෘද වින්දනයට වඩා ලාභ උපරිම කර ගැනීමේ පංතියට සේවය කිරීම විශ්මයක් නොවේ.

මෙම ලිපිය ආරම්භයේ සඳහන් කර ඇති ආකාරයට කෙවින් කාටර් විවේචනය කරන ශාන්ත පීටර්ස්බර්ග් ටයිම් පුවත්පත එසේ කරන ලද්දේ අදාළ ඡායාරූපය සිය පුවත්පතේ පළ කරවා ගැනීමට නොහැකි වීමේ වේදනාව නිසා වන්නට පුළුවන. දුරකථනයෙන් කතා කර අදාළ දැරිය පෝෂණ මධ්‍යස්ථානය තෙක් සේන්දු වුණා ද යන්න විමසූ පාඨකයාට ඇත්තේ අදාළ දැරිය ඛේදජනක ආකාරයෙන් මිය ගියා ද යන්න දැන ගැනීමේ ආශාව පමණි. මන්ද යත්, පවත්නා සමාජය සම්බන්ධයෙන් සාධනීය සංවාදයක් සඳහා ඒ කිසිදු පාඨකයෙකු සම්බන්ධ නොවන බැවිනි. ගරු අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් මත් ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ව, ඊට බාධාවක් සේ දකින මවක් සහ දියණියක් සාහසික ලෙස ඝාතනය කරද්දීත්, ඒ පක්ෂයට, පක්ෂ නායකයාට සහ එකී ඇමතිවරයාටත් පක්ෂව ඡන්දය භාවිත කිරීමේ පදනම් විරහිත තර්කය අප වටහා ගත යුත්තේ ඒ ආකාරයෙන් හැර වෙන මොන ආකාරයට ද?

ඉහත තත්වය සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම මෙම ලිපියට අදාළ කර ගත් තෙවැනි නිර්වචනයෙන් පැහැදිලි කර ගත හැකිය. ඒ වර්තමාන යුගය සම්බන්ධයෙන් මාක්ස් සහ එංගල්ස් විසින් සිය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ සටහන් කරන ලද්දකි. ‘‘ධනපති පංතිය ආධිපත්‍යය ලැබූ හැම තැනකම සියලූම රදලවාදී, පීතෘ මූලික, පරමාදර්ශී (චාම් ගැමි ජීවිත* සබඳකම් විනාශ කළේය. ‘ස්වාභාවික ස්වාමිවරුන්ට’ මිනිසා බැඳ තිබූ අනේක විධ රදලවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ  ධනපති පංතිය මිනිසෙකු හා මිනිසෙකු අතර නග්න ස්වාර්ථ කාමය හැර, අනුකම්පා විරහිත ලෙස ‘මුදල් ගෙවීම හැර’ වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකළේය.

ඒ අනුව, මේ යුගයේ සෑම කලා නිර්මාණයකම එහි උත්කර්ෂයට නංවා ඇති මානුෂික දහම පදනම් කර ගත් බවක් ඇතැයි සිතීම ප්‍රවේසමෙන් කළ යුතු ය. මන්ද, ඒ සියලූම කීර්තිධර පෞරුෂයන් පිටු පස නග්න මුදල් ගෙවීම නො කැඩුණු හුයක් මෙන් බැඳී ඇති බැවිනි. කෙවින් කාටර්ගේ ඡායාරූපය සම්බන්ධයෙන් ජපානයේ ජනමාධ්‍යවේදියෙකු වන අකියෝ පුජිවරා සිය The Boy who Became a Postcard කෘතියේ සඳහන් කර ඇති මතු සඳහන් විස්තරය මෙම කරුණ සම්බන්ධයෙන් බුද්ධිමය සංවාදයක් ඇති කරවීමට අප පොළඹවන බැවින් එය පළ කරමු.

මෙම ඡායාරූපය ගත් දින කෙවින් කාටර්ගේ සමකාලීනයෙකු හා ඡායාරූප ශිල්පියෙකු වන ජොආ ඕ සිල්වා (João Silva) ත් එම ස්ථානයට ගිය බව ඔහු එම කෘතියේ සඳහන් කරයි. සිල්වාට අනුව ඔහු සහ කෙවින් කාටර් එක්සත් ජාතීන්ගේ ආහාර හා පෝෂණ වැඩසටහනේ නිලධාරීන් සමග 1993 මාර්තු මස 11 වන දින උතුරු සුඩානයට ගිය බව සඳහන් ය. ඒ අතරතුර ඔවුන්ගේ සංචාරය මිනිත්තු 30 කට නතර කළ නිලධාරීන් පෝෂණ කඳවුරේ කෑම බෙදීම සඳහා සූදානම් ව ඇත. ඒ අතරතුර අදාළ කණ්ඩායම සමග පැමිණි ඡායාරූප ශිල්පීන් කඳවුර අවට දර්ශන ඡායාරූපයට නඟා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස ආහාර පිණිස බඩ ඉරිඟු බෙදා දීම ආරම්භ කර ඇති අතර කාන්තාවන් සිය ලී මඩුවලින් එළියට බැස ගුවන් යානය සමීපයට පැමිණ බඩ ඉරිඟු ලබා ගැනීමට පොර කා ඇත. සිල්වා එම අවස්ථාවේ ගරිල්ලා සටන් කරුවෙකු ඡායාරූපයට නැගීමට ගොස් ඇති අතර කෙවින් තෙරපෙමින්, පොදි කමින් ආහාර ලබා ගැනීමට උත්සාහ දරන පිරිස ඡායාරූප ගත කර ඇත. ඔහු ඒ සඳහා ගුවන් යානයේ සිට අඩි කිහිපයක් එපිටට ගමන් කරන්නට ඇතැයි සිල්වා පවසයි.

සිල්වාට අනුව මෙය කාටර්ගේ පළමු සංචාරය වන අතර දර්ශනය වන දෙයින් ඔහු කම්පනයට පත්ව සිටියේ ය. එනිසා ම කාටර් කුඩා දරුවන්ගේ ඡායාරූප බොහෝ ගණනක් ගත් බව ඔහු පවසයි. සිල්වා විසින් ද අඬමින් සහ වැලපෙමින් සිටි දරුවන් බොහෝ ගණනක ගේ ඡායාරූප ලබා ගත් නමුත් ඒවා පළ නොකළ බව පවසයි. සියලු දරුවන්ගේ දෙමාපියන්

රැස් කමින් පොදි කමින් ආහාර ලබා ගැනීමට උත්සුක වූ අතර ඔවුන්ගේ අවධානය දරුවන් කෙරෙන් ගිලිහී තිබුණු බවක් දිස් විය. කාටර් විසින් ඡායාරූපයට නැඟූ දැරියගේ සැබෑ තත්වය එය විය. දැරිය පසුපස වසා සිටින ගිජු ළිහිණියාගේ අරමුණ වෙනත් එකක් වන අතර දැරිය සහ ගිජුලිහිණියා අතර පරතරය මීටර 10 ක් පමණ වන තෙක් කාටර් ඉතා ඉවසීමෙන් කල් මැරූ බව සිල්වා පවසයි. කෙසේ වෙතත් සෙසු පිරිස විසින් කුරුල්ලා පලවා හැරීමට පෙර එම දර්ශනය ඡායාරූපයට නැගීමට කාටර් සමත් විය.

මේ අසලම සිටි ස්පාඤ්ඤ ජාතික ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන  ජොසේ මාරියෝ ලූයිස් අරෙන්ෂානා හා ලූවිස් දවිල්ලා (José María Luis Arenzana and Luis Davilla) කෙවින් කාටර් මෙම ඡායාරූපය ගත් බවක් නො දැන එම දර්ශනය ම ඡායාරූපයට නඟා තිබුණු බව සිල්වා පවසයි. අවසාන වශයෙන් මෙය සාමාන්‍ය පෝෂණ මධ්‍යස්ථානයක් බව සඳහන් කරන ඔහු එහි අහක යන ඉඳුල් කෑමට ගිජුළිහිණියන්ගේ පැමිණීම සාමාන්‍ය දර්ශනයක් බව ද පවසයි. ‘අපි ඔහු සහ පෙපේ අරෙන්සනා අයෝද්වල පවත්වා ගෙන යන මේ වගේ පෝෂණ කඳවුරුවලට කැඳවා ගෙන ගියා. ඒ අවස්ථාවේ අපි, අපද්‍රව්‍ය  කුණු ගොඩවල් වලට එක් කරලා මිනිසුන්ගේ අසූචි ඉවත් කිරීමත් කරනවා. මේ දරුවෝ කියන්න බැරි තරම් මන්දපෝෂණයෙන් පෙලඹෙනවා. අපට හිතෙන්නේ ඔවුන් මේ දැන් මැරෙන්නයි යන්නේ කියලා. සමහර අය ඇත්තටමත් මැරෙනවා. මේ කුණු ගොඩවල් කන්න ගිජුළිහිණියෝ එන එක සාමාන්‍ය දෙයක්. එහෙම වැටිලා ඉන්න දරුවෙක් ළඟ තියෙන කුණු ගොඩක් ගිජුලිහිණියෙක් කා දමනවා ඔබ මේ කෝණයෙන් රූගත කළොත් බලන අය හිතාවි ඒ සතා දරුවා ව කා දමනවා කියලා. ඒත් ඒක සම්පූර්ණ මුලාවක්. සමහර විට ඒ කෝණයෙන් බලන්නේ නැතිව ඇත්තටම දකිනවා නම් සතා ඉන්නේ දරුවට මීටර 20ක් විතර දුරින්.

මෙම සිදුවීම සත්‍යයක් වුවද එයින් කෙවින් කාටර්ගේ කීර්තියට කිසිදු හානියක් සිදු නොවේ. මන්ද දිනපතා ලෝකයේ මිනිසුන් දහස් ගණන් නිරාහාරව දුක් විඳින බව සත්‍යයක් වන බැවිනි. ඉන් බොහෝ පිරිසක් කුඩා දරුවන් බවත් සත්‍යයකි. එසේම ලෝකයේ සියලූම මිනිසුන්ට ප්‍රමාණවත් තරම් ආහාර නිපදවන අතර ලාභය ඉපදවීම සඳහා හිතාමතාම බොහෝ ආහාර ප‍්‍රමාණයක් විනාශ කරන බවත් තවත් බොහෝ ආහාර ප‍්‍රමාණයක් අපතේ හරින බවත් සත්‍යයකි. ඒ සියල්ල සම්බන්ධයෙන් අප තුළ කම්පනයක් ඇති කිරීමට කෙවින් කාටර්ගේ ඡායාරූපය පදනම් විය. ඒ අනුව එම නිර්මාණය උසස් කලා කෘතියකි. එහෙත්, වෙළඳපොළ අවශ්‍යතා සඳහා මිනිසුන් නරුමයින් බවට පත් කරන වර්තමාන සමාජ ක‍්‍රමය සහ ඒ වෙනුවෙන් සිය නිර්මාණාත්මක හැකියාව විකුණන මිනිසුන් සම්බන්ධයෙන් වන අපගේ  විවේචනයේ බිඳ කුදු අඩුවක් සිදු නොවේ.