අඳුර විනිවිදින ඇස

OUR DUTY IS TO STRUGGLE -fidel
OUR DUTY IS TO STRUGGLE
February 18, 2017
Crime1
අපරාධ යනු සමාජ නිෂ්පාදනයකි
February 18, 2017
Show all

අඳුර විනිවිදින ඇස

2ED2995E00000578-0-image-a-23_1448534073143

 

වර්ෂ 1944 අවසන් කාලයයි. පෝලන්තයේ වෝර්සෝ නගරයට කිලෝමීටර 30ක් දුරින් පිහිටි බොලොනී නගරයේ යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර මිනිසෙක් සැඟව සිටියි. ඔහු දින ගණනක් නිරාහාරව ගත කිරීම නිසා බෙහෙවින් හෙම්බත්ව අඩපණ ව සිටියි. ආහාර වශයෙන් ඔහු අවසන් වරට ගත්තේ නො පිසින ලද තිරිඟු ඇට ස්වල්පයක් පමණි. ඒ අතර ඔහුට සුන්බුන් අතර තිබී පැණි කොමඩු ටින් එකක් හමුවේ. එම ටින් එක විවෘත කර ගැනීමට උත්සාහ කරන ඔහු අවසානයේ දී උදුනට ගිනි අඟුරු දැමීමට භාවිත කරන අඬුවක් හා සවලක් මගින් එය සිදුරු කරයි. සිදුරු තුනක් විද හතර වන සිදුර විදීමේ දී ටින් එක බිමට පෙරළී, බිම දිගේ පෙරළෙමින් යයි. එය නතර වන්නේ, බූට් සපත්තු හැඳ ගත් හමුදා නිලධාරියෙකුගේ දෙපා අබියස ය. හමුදා නිලධාරියා මිනිසාගෙන් මෙසේ අසයි. ‘‘ඔබ මොනවද මෙහෙ කරන්නේ?,’’ ‘‘මම මේ ටින් එක ඇර ගන්න උත්සාහ කරනවා. මිනිසා උත්තර දෙයි. ඔබ මෙහෙ සැඟවෙලා ඉන්න කෙනෙක් ද? හමුදා නිලධාරියා අසයි. මිනිසා කිසිවක් නො කියයි. ඔබ ජීවත් වෙන්න මොනවද කරන්නේ, හමුදා නිලධාරියා නැවතත් අසයි. ‘‘මම පියානෝ වාදකයෙක්’’ මිනිසා උත්තර දෙයි. ”පියානෝ වාදකයෙක්?” නිලධාරියා නැවතත් අසයි. ”ඔව්… පියානෝ වාදකයෙක්.” මිනිසා උත්තර දෙයි. තමා සමග පැමිණෙන ලෙසට හමුදා නිලධාරියා මිනිසාට සංඥා කරයි. මිනිසා ඔහු පසුපස යයි. සුන්බුන් වූ ගොඩනැගිල්ලේ කෙළවරක විනාශ නොවූ පියානෝවක් ඇත. මිනිසාට එය පෙන්වන නිලධාරියා මෙසේ පවසයි. ”මොකක් හරි වාදනය කරල පෙන්නන්න.”

මිනිසා පියානෝව අසල හිඳ ගෙන වාදනය අරඹයි. ඒ ෆෙඞ්රික් කෝපින්ගේ (Frederic Chopin& Ballade in G)Minor” Op’ 23) නම් වාදන ඛණ්ඩයයි. වාදනය අවසන හමුදා නිලධාරියා මිනිසාගෙන් මෙසේ අසයි. ”කොහෙද ඔබ මෙච්චර කාලයක් හැංගිලා හිටියේ? කොහොමද ඔබ ජීවත් වූණේ?”

මේ හමුදා නිලධාරියාගේ නම කැප්ටන් විල්හෙල්ම් හොසෙන්ෆෙල්ඞ් (Wilhelm Adalbert Hosenfeld)ය. ඔහු හිට්ලර්ගේ ජර්මන් නාසි හමුදාවේ පෝලන්තයේ හමුදා අනු ඛණ්ඩයක් බාරව සිටි උසස් නිලධාරියෙකි. ජර්මනියේ පුල්ඩා (Fulda) පළාතේ කතෝලික පවුලක උපන් හොසෙන්ෆෙල්ඞ් එහි කතෝලික ආගම උගන්වන ගුරුවරයෙකු ව සිටියේ ය. ඒ අතර පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වන ඔහු එයින් තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් විය. පසුව දෙවන ලෝක යුද්ධ සමයේ නැවතත් හමුදා සේවයට එක් වූ ඔහු 1939 අගෝස්තු මාසයේ වෙහෙර්මට්ච් (Wehrmacht) තනතුරට පත් කර එම වර්ෂයේ ම සැප්තැම්බර් මාසයේ පෝලන්තය කරා පිටත් කර යැවිණි. 1945 ජනවාරි මස 17 වන දින සෝවියට් හමුදාව විසින් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් ඔහු පෝලන්තයේ සේවය කළේය. නාසි හමුදාව විසින් අල්ලා ගන්නා පෝලන්ත යුදෙව්වන් වෙනුවෙන් රැඳවුම් කඳවුරු ඉදි කිරීම හා පවත්වා ගෙන යාම ඔහුගේ රාජකාරිය විය.

සැඟව සිටිය දී ඔහුට හමු වූ මිනිසා ව්ලැඩිස්ලව් ස්පිල්මන් (Wladyslaw Szpilman) නම් පියානෝ වාදකයා ය.

ඔහු පෝලන්ත ජාතික පියානෝ වදකයෙකි. වෝර්සෝ ගුවන් විදුලියේ සංගීත ශිල්පියෙකු හා සංයෝජකයෙකු වශයෙන් සේවය කළ ඔහු 1939 වර්ෂයේ නාසි හමුදාව විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමගම ඔවුන්ගේ අත්අඩංගුවට පත් විය. නාසි හමුදාව විසින් යුදෙව්වන්ගේ සියලු අයිතිවාසිකම් අහිමි කරන ලද අතර වර්ෂ 1943 දී ඔවුන් යුදෙව්වන් වෙනුවෙන් ම පිහිට වූ වෝර්සෝ ගෙට්ටෝ නම් ප්‍රදේශයට කොටු කරන ලදී. මෙහි දී බොහෝ පිරිසක් සාගින්න, පිපාසය, සීත කාලයේ අධික සීතල හා ප්‍රමාණවත් සනීපාරක්ෂාව නොමැතිකමින් මියයයි. ස්පිල්මන් සිය මිතුරන්ගේ හා විවිධ පුද්ගලයන්ගේ උදව්වෙන් සැඟව සිට ජීවිතය රැක ගනියි. අවසන 1944 වර්ෂයේ අවසන් කාලයේ සෝවියට් හමුදා පෝලන්තය ආක්‍රමණය කරන අතර ඔවුන් එන තෙක් සැඟව සිටීමට හොසෙන්ෆෙල්ඞ් ස්පිල්මන්ට උදව්වෙයි.

මෙම ජවනිකාව ඇත්තේ සම්මානනීය පෝලන්ත ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන රෝමන් පොලොන්ස්කිගේ The Pianist (පියානෝ වාදකයා) සිනමා කෘතියේ ය. දෙවන ලෝක යුද්ධ සමයේ සිය ජීවිතය ගලවා ගත් ආකාරය පිළිබඳව ව්ලැඩිස්ලව් ස්පිල්මන්ගේ මතක සටහන් ඇසුරෙන් ජෙර්සි වෝල්ඩොර්ෆ් (Jerzy Waldorff) නම් ලේඛකයා රචනා කළ Death of a City නම් කෘතිය ඇසුරෙන් නිපදවූ මෙම සිනමාපටය දෙවන ලෝක යුද්ධය නම් විනාශකාරී මානව ක්‍රියාකාරීත්වයේ වෙත වෙනස් මානයකින් බැලීමට අප පොලඹවයි. මෙම ලිපිය ආරම්භ කිරීමට පියානෝ වාදකයා සිනමා පටයේ එන ජවනිකාවක් තෝරා ගැනීමට හේතුව ඒ සම්බන්ධයෙන් විචාරයක් ඉදිරිපත් කිරීම නොවේ. එම සිනමාපටය නැරඹීමෙන් අනතුරුව වසර තිහක යුද්ධයක් නිමා කර සිටින මෙරට නිර්මාණ කරුවන් සහ කලාකාමීන්ගේ හෘද සාක්ෂිය එම කෘතිය මගින් ස්පර්ශ කරන බැවිනි.

The Pianist කෘතිය කිහිප ආකාරයකින් අපගේ සමාජයට සමපාත වේ. එනම් 1). එය යුද්ධයේ වින්දිතයන්ගේ දෘෂ්ටියෙන් යුද්ධය හා එහි අධිපති මතවාදයන් දෙස බැලීමකි 2). එහි නිර්මාණ කරුවා සිය විරුද්ධවාදීන්ගේ හෘද සාක්ෂිය දෙස පවා අපක්ෂපාතී දෘෂ්ටියකින් බලයි 3). එය නිර්මාණ කරුවෙකුට කිසි විටකත් විනාශකාරී යුද්ධයකට පක්ෂපාතී විය නොහැකිය යන්න සනාථ කරන්නකි 4). මානවයාට පමණක් ඇති රසවින්දනය නම් හැකියාව කුළු ගැන්වන විට ඊට එරෙහි සියලු සීමාවන් අඩපණ වන ආකාරය හිට්ලර්ගේ නාසි හමුදාවේ උසස් රස වින්දනයක් සහිත නිලධාරියෙක් සිටි බවට කරන නිරූපණයෙන් ගම්‍ය වේ. 5). තවද, මෙම කෘතිය යුද්ධයේ දේශපාලනය පිළිබඳව අප සිතීමකට පොලඹවන්නෙකි. මා ඕ සේතුන් ප්‍රකාශ කළ පරිදි යුද්ධය හා දේශපාලන යනු ප්‍රකාශනයේ වෙනසක් පමණි. දේශපාලනය යනු ලේ වැගිරීමකින් තොර යුද්ධයක් වන අතර යුද්ධය යනු ලේ වැගිර වීමේ දේශපාලනයයි. (Politics is war without bloodshed while war is politics with bloodshed.)

කෙසේ වෙතත් මෙම ලිපියේ දී රෝමන් පොලොස්කිගේ පියානෝ වාදකයා කෘතිය අවධානයට ලක් කිරීමට පාදක වූ කේන්ද්‍රිත කරුණ මේ එකක් හෝ නොවේ.

ලංකාව ද තිස් වසරක් තිස්සේ ඇදී ගිය යුද්ධයකට මුහුණ දුන් රටකි. යුද්ධයෙන් අනතුරුව එය යුද්ධයේ සැබෑ අත්දැකීම් පාදක කර ගනිමින් සිනමා නිර්මාණ කරයි. යුද්ධයේ සත්‍ය කතාවක් ඇසුරෙන් සැකසූ ගාමණී, මාතා, සෙල්වම් වැනි නිර්මාණ බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනය කරයි. මේ සෑම කෘතියක් ම මෙරට නිල හමුදාව හා පොලිසිය අති මානුෂික අයුරින් මානුෂික මෙහෙයුමෙහි යෙදුණු ආකාරය නිරූපණය කරයි. ඊට සමගාමීව කොළඹ නගරයේ සාමකාමී උද්ඝෝෂණවලට පා ගමනේ යාමට ඉඩ නොදී මාර්ග බාධක දමා අධි පීඩක ජල ප්‍රහාර එල්ල කරයි. කඳුළු ගෑස් ගසයි. කඳුළු ගෑස් සම`ග බැටන් ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයින්ගේ අතපය කඩා බිඳ දමයි. ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව උද්ඝෝෂණය කළ නිරායුධ ධීවරයින් මරා දමා දරු පවුල් අනාථ කරයි. මේ මානව හිතවාදී ආණ්ඩුවක මානව හිතවාදී ආරක්‍ෂක හමුදාවන් හැසිරෙන ආකාරය ය. ඒ සියල්ල සිනමා කෘති තුළ උත්කර්ෂයට නැංවෙන මානුෂික හමුදාව ප්‍රශ්න කිරීමට අප පොළඹවාලයි. මේ වෙනස කුමක් ද? දෙවන ලෝක යුද්ධය පසුබිම් කර ගෙන පියානෝ වාදකයා නිර්මාණය වූවාක් මෙන් තිස් වසරක යුද්ධය පදනම් කර ගෙන අප රටේ සිනමා කෘති බිහි නොවන්නේ ඇයි?

උසස් කෘතියක් නිර්මාණය කිරීමට තරම් ප්‍රාග්ධනය නැති බවක් සමග ඒ සඳහා ප්‍රමාණවත් වෙළඳපොළක් මෙරට නොමැති බවට මතු කරන තර්කයක් සමගම උසස් රසවින්දනයක් සහිත නිර්මාණ බිහි නොවීමේ ප්‍රවණතාවක් මෙරට සමාජයේ පැලපදියම්ව ඇතැයි යමෙකු තර්ක කරනු ඇත. අප මේ ගත කරමින් සිටින්නේ මුග්ධ අවදියකි. නීරස යුගයකි. අනාගතයට ගොස් හැරී බැලීමේ දී අද දවස හෙට වෙනුවෙන් ඉතිරි කර ඇත්තේ කුමක් ද යන සාධාරණ පැනය යමෙකුට නැගිය හැකිය. මෑත කාලයේ උසස් සංගීත නිර්මාණයක් බිහි වූයේ, නැති තරම් ය. ප‍්‍රචාරකවාදී හා අනුකාරකවාදී පල් හෑලි මිස හොඳ සිනමා කෘතියක් බිහි වූයේ ද? එතරම් ජනප්‍රිය නොවූව ද උසස් චිත්‍ර නිර්මාණ බිහි වන්නේ ද? උසස් සාහිත්‍ය කෘති ලියැවෙන්නේ ද? ඒ සියලු කරුණ සත්‍ය වුවද මෙම ලිපියේ දී  නිර්මාණ කරුවා හා රසිකයා මත ධනවාදය විසින් මුදා හැර ඇති වාරණය පමණක් අවධානයට ලක් කරයි.

ඇමරිකාවේ සිටි කීර්තිමත් සමාජවාදී ලේඛකයෙකු වන ජැක් ලන්ඩන් විසින් ලියා පළ කරන ලද කතාවක එක්තරා යුගයක් ගැන කියවේ. එම කතාවේ නම වන්නේ The Scarlet Plague (රක්ත වර්ණ වසංගතය) යන්නයි. අනාගතයේ එක්තරා දවසක ලෝකයේ සියලූම රෝගකාරකාදිය මුලිනුපුටා දැමූ දිනයක් පිළිබඳව එම කතාවෙන් කියවේ. එහෙත් මෙතෙක් ලොව නො තිබූ රෝගයක් එරට ආක්‍රමණය කරයි. එය ප්‍රතිකාරවලින් මර්දනය කළ නොහැකි තත්වයකට උත්සන්න වන අතර ඉන් බොහෝ පිරිසක් මිය යති. එයින් ශිෂ්ටාචාරය නිමාවට පත් වේ. ජැක් ලන්ඩන් මෙය හඳුන්වන්නේ අන්ධකාර යුගයක් ලෙසිනි. අප අද සිටින්නේ ද විශේෂඥ වෛද්‍යවරුන්ට හඳුනා ගත නොහැකි රෝගයන්ගෙන් මිනිසුන් මිය යන යුගයක ය. ධනේශ්වරය මේ යුගය හඳුන්වන්නේ ගෝලීය ආර්ථික යුගයක් වශයෙනි. වෙළඳපොළ විසින් සිය බඩු විකුණමින් මුදල් උපයයි. එසේ විකුණන දේ අපට අදාළ ද යන්න නොදැනම අප මිල දී ගනිමින් සිටිමු. ඉන් විකුණන්නාට ලාභ උපදවමින් සිටිමු.

උදාහරණ වශයෙන් ඉහත නිර්මාණ ගෙන බලන්න. ගාමණී, සෙල්වම් හා මාතා අවශ්‍ය කාට ද?

මහින්දාගමනය හා කුස පබා අවශ්‍ය කාට ද? දිනපතා ම රූපවාහිනී තිරයේ දිග හැරෙන අමා, පබා, පබළු, භාර්යාවෝ, වැහි පබළු සේල ආදී සියයක් වන ටෙලි නාට්‍ය අවශ්‍ය කාට ද? ජංගම දුරකථනයේ රින්ග් ටෝන් එක ලෙස යොදන ‘යායට පායනා පෝ දා හඳ’ ගීතය අවශ්‍ය කාට ද? සුපර් ස්ටාර්, මෙගා ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, ලිට්ල් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, රණවිරු සුපර් ස්ටාර් ආදී මෙකී නොකී ස්ටාර් අවශ්‍ය කාට ද? ඒ සඳහා යවන කෙටි පණිවුඩ මගින් නිපදවන ලාභය හිමි වන්නේ කාට ද? කෙටි පණිවුඩ යවන අපට හිමි වන්නේ කුමක් ද? කුස-පබා සිට අමා දක්වා සියලු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිරූපණය කරන්නේ මධ්‍යම පාන්තික සිහිනයේ මායාවයි. එනම් ආලෝකමත් මිනිසුන්ගේ ජීවිතයි. බර්ටොල්ට් බ්‍රෙෂ්ට්ගේ පැන්ස තුනේ කතාව (Three Penny Opera) නාට්‍යයේ මෙසේ පැවසේ. ‘සමහර මිනිසුන් අඳුරේ ජීවත් වන අතර සමහර මිනිසුන් ආලෝකයේ ජීවත් වෙති. ඔබ ආලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත දකියි. එහෙත් අන්ධකාරයේ ජීවත් වන්නන්ගේ ජීවිත නො දකියි (For some people live in darkness and some people live in light” you see those that live in the light” those that live in the dark you don’t see’) කලා නිර්මාණයක් අවශ්‍ය වන්නේ, අන්ධකාරයේ ජීවත් වන්නන්ගේ ජීවිත විනිවිද දැකීමට ය. අවාසනාවකට එවන් නිර්මාණ දුලබ ය.

නිර්මාණ කරුවන් උසස් නිර්මාණ බිහි නො කිරීමේ වරද සම්පූර්ණයෙන්ම ඔවුන් මතම තබා හෙළා දැකීම ඒක පාර්ශවීය ය. නිර්මාණ කරුවන් මෙන් ම රසිකයාගේ පාර්ශවයෙන් ද  උසස් නිර්මාණ සඳහා වන පෙළඹවීම බිඳ වැටී ඇත. කලා මුදලාලිලා පවසන්නේ, ‘අප රසිකයාගේ ඉල්ලීමට අනුව සැපයුම් සිදු කරන’ බවයි. මේ පිළිබඳව අර්න්ස්ට් ෆිස්චර් (Ernst Fischer), නම් ඕස්ට්‍රියන් ජාතික මාක්ස්වාදී විචාරකයා මෙසේ අර්ථ දක්වා ඇත. ‘කලාව යනු කුමක් ද?  කලා වින්දනය යනු ජීවිතය පරිපූර්ණ කර ගැනීමේ අරගලයේ ම කොටසක් බව’ ඔහු පවසයි. මෙහි අර්ථය කුමක් ද? පංති සහිත සමාජයක අප ගත කරන්නේ අපගේ පරිපූර්ණ ජීවිතය නොවේ. එනම් අප පරිපූර්ණ මිනිසුන් හෝ ගැහැණුන් නොවේ. අප  මිනිසුන් ලෙස මේ යුගයේ හඳුනා ගන්නේ මිනිස් භාගය. මේ සමාජයේ බොහෝ මිනිස්සු සහ ගැහැණු සිය උපරිම හැකියාව භාවිතයට නො ගන්නා බවක් නො දනිති. එනම් සිය සිතැඟියාවට ගැළපෙන ආකාරයේ ලෝකයක් තැනීමේ හැකියාව තමා සතු බව නො දනිති.

එසේ වුවත්, සිය ජීවිතයේ කිසියම් අඩුවක් ඇතැයි ඔවුන් සියලු දෙනාට ම හැඟී ඇත. තමාට මීට වඩා සැප පහසුව ජීවත් විය හැකි නිවසක්, වාඩි වී රූපවාහිනිය නැරඹීමට හැකි සෝපාවක්, වඩා ආදරය කරන ස්වාමිපුරුෂයෙක් හෝ බිරිඳක් වැනි බොහෝ අඩුපාඩු ඒ අතර ඇත. තවද වඩා රසවත් කෑම සහ බීම, ඉස්තරම් ඇඳුම්, සමාජ සම්බන්ධතා ඒ අතර ඇත.  හේතුව නිසැකවම කුමක් දැයි නො දන්නා නමුත් ඔවුන් සියලු දෙනා ම එකී අඩුව සම්පූර්ණ කර ගැනීමට යමක් පසුපස හඹා යති. මට යමක් මඟ හැරී ඇත. ඔවුන්ගේ තේමාවයි. එහෙත් එය නිසැකවම කුමක් ද යන්න ඔවුන්ට ග්‍රහණය නොවේ.  මේ නිසා බොහෝ මිනිස්සු ඉතා සාධාරණ හා ඇසිය යුතු ප්‍රශ්නය වන ‘මරණයට පෙර අපට ජීවිතයක් නැද්ද?’ යන්න නො සොයා කිසි දා ප්‍රත්‍යක්ෂ කර ගත නොහැකි ‘මරණයෙන් පසු අපට ජීවිතයක් ඇද්ද? යන්න සොයමින් යති. සිය ජීවිත පිළිබඳව සිතීමේ අවස්ථාව අහිමි කළ මිනිස්සු මෙසේ සිතති. ‘ජීවිතය යනු සියල්ලම ද? ජීවිතයට වඩා යමක් නැති ද? මෙසේ මිනිසා මරණින් මතු ජීවිතයක් ගැන සිතීමේ හේතුව ඔවුන් සැබවින්ම ‘සැබෑ ජීවිතයකට’ හිමිකම් නො කීමයි. කලාව උත්සාහ කරනුයේ මේ හිඩැස සම්පූර්ණ කිරීමට ය. එය මිනිසාට සිහින දැකීමට උපකාර කරයි. එය මිනිසාට පුළුල් චින්තන අවකාශයක් නිර්මාණය කරයි. යම් කලා කෘතියක් උසස් යැයි හඳුන්වන්නේ, එකී කලා කෘතිය විසින් නිර්මාණය කරන චින්තන අවකාශය පුළුල් හා ප්‍රගතිශීලී වන්නේ නම් පමණි. එය පවත්නා දෙයට වඩා යහපත් දෙයක් නිර්මාණය කිරීමට මිනිසා පොලඹවයි.

පරිපූර්ණ ජීවිතයකට හිමිකම් නො කියන මිනිසුන් හා ගැහැණුන් සිනමා ශාලාව කරා ගොස් එහි පෙන්වන බොළඳ ආදර කතා නරඹන්නේ, ඔවුන් සත්‍ය වශයෙන් ම මානව ප්‍රේමය, හැඟීම් හා ජීවිතයක් අපේක්ෂා කරන බැවිනි. වර්ණවත් භාවය විසින් ඔවුන් ආසක්ත කර ගන්නේ ඔවුන්ගේ සැබෑ ජීවිත අඳුරු හා වර්ණයෙන් තොර වන බැවිනි. ඔවුන් ආත්මවාදී ආගම් කෙරේ ආසක්ත වන්නේ ආත්ම රහිත ලෝකයක් ජීවත් වන බැවිනි. මෙම විග්‍රහය උසස් කතා කෘති රස විඳින බුද්ධිමතුන් කෙරෙහි අදාළ නොවන නමුත් සාමාන්‍ය ජීවිත ගත කරන මිනිසුන් සහ ගැහැණුන් විෂයයෙහි සත්‍යයයි. බොහෝ මිනිස්සු සිනමා ශාලා කරා යති. බොහෝ මිනිසුන් විපරිත, අවර ගණයේ ටෙලි නාට්‍ය (රූපවාහිනියේ පෙන්වන මාලා නාටකවලට ‘ටෙලි නාට්‍ය’ යන ගෞරවාර්ථය යොදන්නේ ලංකාවේ පමණි. බටහිර රටවල් ඒ සඳහා භාවිත වචනය සබන් ඔපෙරා (Soap opera) නිඳි වරා ගෙන නරඹති. එය සත්‍ය ජීවිතයට ආගන්තුක

අවර ගණයේ ආදේශකයක් වීම ඊට හේතුවයි. ඔවුන් සියලු දෙනා ම පරිපූර්ණ සැබෑ ජීවිතයකට හිමිකම් නො කියන, සැබෑ ජීවිතය යන්න සම්බන්ධයෙන් අත්දැකීම් රහිත මිනිසුන් වන අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමකට ද ලක් වී නැත.

ඒ අනුව අද නිර්මාණය වන කෘති සමග සිනමා ශාලාව තුළ දී හෝ රූපවාහිනී තිරය ඉදිරියේ දී සිය ඒකාකාරී, ආයාස කර, නීරස අඳුරු වන් ජීවිතයෙන් වියුක්ත ව උද්වේගකර හා හැඟීම් දනවන පැය කිහිපයක් ගත කිරීමට ධනවාදය යටතේ ජීවත් වන මිනිසුන්ට සහ ගැහැණුන්ට අවස්ථාව උදා වෙයි. ඒ සඳහා  ධනවාදයට කලාව අත්‍යාවශ්‍යය. ආණ්ඩුව තමාගේ මතවාදය වැපිරීමට වන්දි භට්ටක කලාකරුවන් පිරිසක් නඩත්තු කරන්නේත් ඔවුන්ට විවිධ වරප්‍රසාද හා වරදාන ලබා දෙන්නේත් ඒ සඳහා ය. සිය අභිමතය අනුව ගැළපෙන තේමාවන් පමණක් හුවා දක්වන කලා කෘති උත්කර්ෂයට නංවන ඔවුහු ඊට පරිබාහිර සියලු නිර්මාණ ඍජු හෝ වක්‍රව වාරණයට ලක් කරති.

කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් නිමාවට පත් විය යුතු බව පෙර දිග වියතුන්ගේ මතයයි. එහෙත්, රසිකයා ආනන්දයේ ම රඳවා තබා ගැනීමට පාලකයා කැමති ය. කලාකරුවන් ක්‍රම විරෝධී නිර්මාණ කරන විට එය වැළැක්වීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ එබැවිනි. වාරණ මණ්ඩල මගින් කප්පාදු කිරීම, තහනම් කිරීම, නිර්මාණ කරුවන්ට මැර ප්‍රහාර එල්ල කිරීම, පොලිස් අත්අඩංගුවට ගැනීම හෝ හිරේ දැමීමට වැනි ක්‍රියාමාර්ග ආණ්ඩුව අනුගමනය කරයි. තවද, නො සලකා හැරීම, විවේචන කිරීම සම්මාන නොදී සිටීම, අවමන් සහගත නිර්මාණයන්ට සම්මාන දීම, වන්දි භට්ටක නිර්මාණ ඉලිප්පීම වක්‍ර ක‍්‍රියාමාර්ගයෝය. මේ සියල්ල නැවත නැවතත් සනාථ කරන්නේ, සංස්කෘතික මෙවලමක් වශයෙන් කලාවේ සමාජ බලයයි.

වඩා යහපත් සමාජයක් උදෙසා අරගල කරන  මිනිසුන්ගේ කාර්යය කුමක් විය යුතු ද? පිළිතුර ඉතා සරල ය. ප්‍රගතිශීලී කලා නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය වටපිටාවක් දිනා ගැනීමට සටන් කිරීමයි. එමෙන්ම සමාජ විප්ලවය උදෙසා උර දීම පංතිය ඥාණනය කිරීම උදෙසා කලා කෘතීන් උපයෝගී කර ගැනීමයි. ප්‍රගතිශීලී, සටන්කාමී කලාවකට දිරි දීමයි.

ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර