“සළුව” විසිකර “හෙලුව” වර්ණ ගැන්වීමේ සංස්කෘතික වෙළඳාම

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නූතන යුගයේ ප්‍රධානතම සාධාරණ අරගලය මිනිස්කම සොයා යෑමයි. මිනිස් ප්‍රාණියාගෙන් මනුෂ්‍යත්වය ඉවත් වන ප්‍රමාණයටම එම අරගලයේ අත්‍යවශ්‍යතාවයද ඉහළ යයි.  “සංස්කෘතික මිනිසා සොයා යෑම” යනුවෙන් විදග්ධ භාෂාවෙන් කියවෙන්නේ මෙයයි. මිනිස් සත්වයා උසස් මිනිස් ගුණාංග අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය  සංස්කෘතික ගොඩනැංවීම ලෙසින් හඳුන්වනු ලබයි. උපකරණ හා තාක්ෂණ භාවිතයේ දියුණු මට්ටමට ප්‍රතිපක්ෂව මිනිස් බව කඩා වැටීමේ ඛේදවාචකය නූතන ධනවාදය සිසාරා අත්දකිමින් තිබේ. ඉන් කම්පිත සංවේදී කතිකාවන්හි පැන නැඟෙන ප්‍රශ්න ගණනාවකි. ඉන් කිහිපයක් වන්නේ මේ සංස්කෘතික කඩාවැටීමට හේතුව කුමක්ද? එම අභියෝගය මානව සමාජය ජයගනු ඇතිද? මානව සමාජ ප්‍රගමනයේ අනාගතය කුමක්ද? යනාදියයි. “සංස්කෘතිය” යනු සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පෙන්නුම් කරන සංකල්පයකි. එය විසින් නිශ්චිත සමාජ ආර්ථික ක්‍රමයකදී මානව සමාජය අත්පත් කරගන්නා ජීවන මට්ටම හා ස්වභාවය පෙන්නුම් කරයි. පංති සමාජයන්ගේ අවසාන හෙවත් ඉහළම සමාජක්‍රමය ධනවාදය වනවා මෙන්ම එය සමාජවාදයට පෙර පවතින දියුණුතම සමාජ ආර්ථික ක්‍රමයයි. මිනිසා මෙතෙක් පැවැති සමාජ තත්වයන්ට සාපේක්ෂ උසස් සංස්කෘතික මට්ටමකට පත්වීම දක්නට ලැබෙන්නේද ධනවාදය තුළයි. සමාජවාදී සංස්කෘතිය ගොඩනැඟෙන්නේ ධනවාදී සංස්කෘතියේ විප්ලවීය වර්ධනයක් ලෙසිනි. සමාජවාදී සංස්කෘතිය විසින් ධනවාදී සංස්කෘතිය මඟහැර යන්නේ නැත. නමුත් ධනවාදයේ නූතන අවධියේ පුළුල් වන සංස්කෘතික කඩාවැටීම සමාජ සංවර්ධන මූලධර්මයන්ට පටහැණිද යන ප්‍රවාදාත්මක ප්‍රතිවාදය විසඳාලිය යුතුය. එනිසා ධනවාදයේ ඉහළම අවධිය වන අධිරාජ්‍යවාදී අවධියේ එනම් සමාජවාදයේ හිමිදිරියේ එළිපත්තේ සිට සමාජය අත්විඳින මෙම සංස්කෘතික ඛේදවාචකය කියවා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව සංවාදයකට පිවිසීම අපගේ පරමාර්ථයයි. “හෙලුව” යන්න ඇඳුම් ඇඳීම යන අර්ථය ගැන්වෙන “සේලය” හෙවත් “සෙලුව” යන්නෙහි පද පෙරළියකි. එහෙත් මිනිසා ඇඳුම් භාවිතය ආරම්භ කළේ “හෙලුව” වසා ගැනීමට නොවේ. විවිධ ස්වභාවික පීඩාවන්ගේ බලපෑමෙන් සිරුර ආරක්ෂා කර ගනු පිණිසය. එය සංස්කෘතික පුරුද්දක් වූ පසු නිරුවත්වීමේ අකමැත්ත හෙවත් විලි ලැජ්ජාව ඇති විය. මෙම සංස්කෘතික පුරුද්ද බිඳ දැමීමේ නුහුරුව විලි බිය ලෙස හැඳින්වේ. මෙය තම සංස්කෘතික පුරුද්දට එරෙහිව යාම සඳහා වන සමාජ බියයි. මෙලෙස වූ සංස්කෘතික වර්ධනය අතිශය උමතුවක් බවට පත් වන්නේ විසිවැනි සියවසට පෙර පැවැති වැඩවසම් අත්තනෝමතිකත්වය තුළය. එම සමාජයේ බලවත් වූයේ රදලයින් සහ පූජකයින්ය. රජු දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැලකිණි. ජනතාවගේ සංස්කෘතික අංග පාලනය කළේ “ආගමික පොලිසිය” විසිනි. විවාහය, ලිංගික ආශාවන්, කාන්තා සිරුර සහ කාන්තා ඇඳුම් ආදිය එහි නීතියට යටත් විය. බොලට දක්වා වන ගවුම සහ හිස් වැසුම සහිත ඇඳුම මෙම වික්ටෝරියානු සංස්කෘතියේ පරම බලහත්කාරයකි. එම සංස්කෘතියෙන් යුරෝපය මිදෙන්නේ ධනවාදය සමඟය. ඒ, කෘත්‍රිම නිරුවත හෝ අඩ නිරුවත තුළින් නොවේ; නිදහස් ඇඳුම් විලාසිතාවන්ගෙනි. වෙළඳ ආධිපත්‍ය හරහා ධනවාදී ලාභය හඹා යාමේ උමතුව උච්චතම අවස්ථාවට පැමිණි ධනවාදයේ නූතන අවධියේ පච්චය (tatoo) හෙවත් සම මත චිත්‍ර ලෙස වර්ණ ගැන්වීම වෙළඳාමකි. (ආදි මිනිසා ඇඟලුම් භාවිතයට පෙර සිටම සිරුර වර්ණ ගැන්වීම ආරම්භ කොට තිබුණේය.) මෙලෙස ධනවාදය තුළ ශරීරය නිරුවත් කිරීම වෙළඳාමකි. සිරුර සරසන වත්මන් විලාසිතා යනු ධනේශ්වර වෙළඳපොළේ ලාභ සිතුවිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය තුළ නිර්මාණය වන වෙළඳ භාණ්ඩයන්ය. අනාගත මිනිසා ලාභ අරමුණු විසින් මෙහෙයනොවන සංස්කෘතික වර්ධනයන් තුළ තම චර්මය නිරාවරණයේ හෝ ආවරණයේ සීමා සහ ආකාරයන් තීරණය කරනු ඇත. එය සංස්කෘතික ගොඩනැගීමක් වනවා වෙනුවට වෙළඳාම විසින් සංස්කෘතික නිරුවත් කිරීමකට පෙළඹවීම හා ගොදුරුවීම සංස්කෘතික පිරිහීමකි. අපගේ තර්කනය මෙම මාවත ඔස්සේ ඉදිරියට ගොඩ නගන්නෙමු.

 

ධනවාදී සංස්කෘතික ගොඩනැගිල්ලේ පාදම

මානව සමාජය අත්තනෝමතික වැඩවසම් ක්‍රමය බිඳ දමා පිවිසෙන්නේ ධනේශ්වර සමාජ ආර්ථිකයකටයි. ඒ හා සමගාමීව දැවැන්ත සංස්කෘතික පරිණාමයන් සිද්ධ විය. වැඩවසම් බලහත්කාරය විසින් විද්‍යාවටද, තාක්ෂණික ප්‍රගමනයටද, බුද්ධිමය වර්ධනයටද වෙළඳ ආධිපත්‍ය හරහා ධනවාදී ලාභය හඹායාමේ උමතුව උච්චතම අවස්ථාවට පැමිණි ධනවාදයේ නූතන අවධියේ පච්චය හෙවත් සම මත චිත්‍ර ලෙස වර්ණ ගැන්වීම වෙළඳාමකි. මෙලෙස ධනවාදය තුළ ශරීරය නිරුවත් කිරීම වෙළඳාමකි. සිරුර සරසන වත්මන් විලාසිතා යනු ධනේශ්වර වෙළඳපොළේ ලාභ සිතුවිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය තුළ නිර්මාණය වන වෙළඳ භාණ්ඩයන්ය.

බාධා කර තිබුණි. එහෙත් වෙළඳාම යන්න මහා පොදු සාධකය කොටගෙන ආරම්භ වන ධනපති ක්‍රමය විසින් වැඩවසම් බාධාවන් සියල්ල ඒ උදෙසා නිදහස් කළේය. කාර්මික විප්ලවය යනු එහි තාක්ෂණික ගමන්මඟෙහි පළමු සන්ධිස්ථානය යයි.  වැඩවසම් හස්ත කර්මාන්තයේ භාවිත වූයේ සරල යන්ත්‍ර හෙවත් උපකරණ වේ. එහෙත් ධනවාදී කර්මාන්තය බිහිවන්නේ සංකීර්ණ යන්ත්‍ර හෙවත් සංකීර්ණ උපකරණවලිනි. මේ සියල්ල සරල උපකරණවල චලනය වර්ධනය කොට යාන්ත්‍රීකරණය කළ සංකීර්ණ උපකරණයන්ය. මෙම තාක්ෂණික මෙවලම් විසින් ධනේශ්වර නිෂ්පාදන කර්මාන්තයන්ගේ කාර්යක්ෂමතාවයත්, ඵලදායිතාවයත් තීව්‍ර කළේය. මෙය ධනේශ්වර වෙළඳපොළ ඉල්ලුම සපුරාලීමේ දැවැන්ත අවශ්‍යතාවය විසඳූ ආකාරයයි. මෙම ප්‍රයත්නයට ගත් සමාජ වෙහෙස විසින් විද්‍යාව, තාක්ෂණය මෙන්ම සමාජයේ භෞතික පහසුකම් වර්ධනය විය. මෙම නව සොයාගැනීම් සහ ඉදිකිරීම් විසින් සමාජ ජීවිතය දැවැන්ත වෙනසකට ලක් කළේය. එම තත්වය මහා සංස්කෘතික ගොඩනැඟීමකට හේතු විය.

එක් අවස්ථාවකදී නිෂ්පාදිතය මුළුමනින්ම සාදනු ලබන්නේ තනි යන්ත්‍රයකිනි. එම යන්ත්‍රය කලින් එක් හස්ත කර්මාන්තකරුවකු තම ආයුධයෙන් කළ විවිධ මෙහෙයුම් සියල්ල ඉටුකරයි. නිදසුනක් වශයෙන් වියන්නකු තම අලුවෙන් කළ විවිධ මෙහෙයුම් සියල්ල ඉටු කරයි. නැතහොත් එම යන්ත්‍රය හස්ත කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු වෙන් වෙන්ව හෝ නිමවුම් කර්මාන්ත පද්ධතියක සාමාජිකයන් ලෙස අනුගාමීව කළ සියලු මෙහෙයුම් ඉටු කරයි.(මාක්ස් ප්‍රාග්ධනය – පිටුව 5 දෙවන පොත – සිංහල සංස්කරණය ජයතිලක ද සිල්වා)

කාර්මික විප්ලවයේ නිතරග හිමිකරු වන්නේ එංගලන්තයයි. එය හුදු අහම්බයක් නොවේ. එහි වූ සමාජ ආර්ථික තත්වයේ වාසිය විසින් කාර්මික විප්ලවය පැන නගින්නේ එංගලන්තයේය. එයට බලපානු ලබන සුවිශේෂිතා අතරින් ප්‍රධානතම එක වන්නේ වෙළඳාමයි. ඇමරිකාව, ඉන්දියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා ඔවුහු වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනඟා තිබුණහ. ලෝක වෙළඳ ඉල්ලුම සපුරාලීමේ අවශ්‍යතාවය පැනනැගුණේ එංගලන්ත ප්‍රාග්ධනයටයි. එවකට ප්‍රංශය පුළුල් වෙළඳාමක නිරත වුවද ප්‍රාග්ධන සමුච්චයේ හැකියාව පැවතියේ එංගලන්තයේය. ව්‍යවසායන්හි යෙදෙන පුළුල් පංතියක් සිටීමද එංගලන්තයට වාසි විය. මේ සියල්ල හරහා “හිරු නොබසින අධිරාජ්‍යය” ලෙස ඔවුනගේ වෙළඳ ලෝකය පුළුල් කළ හැකි බිමක් විය. ධනවාදී සංස්කෘතිය ලොව වටා පිම්මේ ගෙන යාමට ඔවුනට හැකි විය. 18වැනි සියවසේ දෙවන භාගය හා 19වැනි සියවසේ දෙවන භාගය සැසඳීමේදී මෙය මනාව ස්ඵුට වේ. කාර්මික විප්ලවය මගින් සංස්කෘතික වර්ධනය වේගවත් ගතිකත්වයක් බවට පත්වේ. ධනපති ප්‍රාග්ධනය මේ සියල්ල යළි වෙළඳ භාණ්ඩ බවට පත්කොට ලාභ උපයන ලදී. යන්ත්‍රවල ශක්‍යතාවය මැනීමේ මුල් ඒකකය අශ්ව බල (කි.ග්‍රෑම් 75ක බරක් තත්පරයකදී මීටරයක දුරක් ඇදගෙන යා හැකි බලය) විය. පසුව මෙය 18 සියවසේදීම වොට් නම් ජාත්‍යන්තර ඒකකයකින් මැනීමට තරම් ප්‍රබල යන්ත්‍ර බිහිවිය. මේ මඟින් ඵලදායිකත්වය වැඩි වුවද ශ්‍රමිකයාට යහපතක් නොවීය. එහෙත් මිනිස් ජීවිතය පහසු කරන නිෂ්පාදනයන් බිහිවීමට මඟ පෑදුණි. ධනේශ්වර සමාජ සංස්කෘතියේ මහත් ප්‍රගමනයකට මෙය හේතු විය. නිර්ධන පංතිය බිහිවීමත්, ඔවුන් සංවිධානය වීමට කර්මාන්තය දායකවීමත්, නිර්ධන පංතික සංස්කෘතියක් බිහිවීමත් පංතිමය අර්ථයෙන් සංස්කෘතික ප්‍රගමනයට හේතු විය. විවිධ කාලයන්හි විවිධ කාර්මික විප්ලවයන් විසින් දැවැන්ත සංස්කෘතික උත්තේජනයක් ඇති කරන ලදී. ඒ අනුව මූල්‍ය කෘෂිකර්මාන්තය 1600 – 1740, කාර්මික විප්ලවය 1780 – 1840, තාක්ෂණික විප්ලවය නැතිනම් දෙවන කාර්මික විප්ලවය 1870 – 1920, විද්‍යාත්මක තාක්ෂණික විප්ලවය 1940 – 1970, සහ සන්නිවේදන සහ විදුලි සංදේශ විප්ලවය 1975 – වර්තමානය දක්වා (1970 සිට තෙවන කාර්මික විප්ලවය හෙවත් ඩිජිටල් විප්ලවය) ආදී වශයෙන් තාක්ෂණික පරම්පරා ගනනාවක් ඔස්සේ සමාජ සම්බන්ධතා වෙනස් නොවුනද ඒවා පවත්නා ආකාරයන්ගේ වෙනස්කම් සිදුවිය. අතීත සමාජයේ කම්කරුවාද, නූතන කම්කරුවාද සංස්කෘතික ආකාරයන් දෙකක් ලෙස ප්‍රකට වේ. එහෙත් මේ දෙදෙනාම ” සූරාකෑමට ලක්වීම” නැමැති හරයෙන් සමානය. “නිරතුරුවම නිෂ්පාදන උපකරණවල විප්ලවීය වෙනසක් ඇති නොකර එමගින් නිෂ්පාදන සම්බන්ධකම්වලට සහ ඒ සමඟම සමාජයේ මුළු මහත් සම්බන්ධකම්වලද විප්ලවීය වෙනසක් ඇති නොකර ධනපති පංතියට පැවතිය නොහැකිය.” (කොමියුනිස්ට් ප්‍රකාශනය, මාක්ස් – එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 1 පිටු 48, 49, 1982 ප්‍රගති ප්‍රකාශන, මොස්කව්)

සංස්කෘතික ඵලදාවේ ධනවාදී පංගුව

සම්ප්‍රදායික කෘෂිකර්මය මූලික වූ පැරැණි ආර්ථිකය බැහැර කොට කාර්මීකරණයට ලෝකය හුරුකරන්නට කාර්මික විප්ලවය සමත් විය. ඉන් පොදුවේ මානව සමාජ ජීවිතය පහසු කරන නිෂ්පාදනයන් බිහිවිය. දැවැන්ත යාන්ත්‍රික නිෂ්පාදනාගාර  හෙවත් කර්මාන්ත බිහිවිය. කර්මාන්ත කේන්ද්‍රීයව පොදු ප්‍රවාහන, පොදු සෞඛ්‍යය, පොදු අධ්‍යාපනය, පොදු සන්නිවේදනය, ආදිය විසින් වැඩවසම් ගම හෝ ආසියාතික රාජකාරිය තුළ හෝ ප්‍රාදේශීයව, හුදකලාව සිරව සිටි වැඩකරන පංතිය ජාතික හා එම සීමාවන් ඉක්මවා යමින් ජාත්‍යන්තර ප්‍රපංචයක් බවට පත්කරනු ලැබීය. එපමණක් නොව ඔවුහු ප්‍රාදේශීය පාලකයින්ගේ සූරාකෑමට ලක්ව සිටි තත්වයෙන් වෙනස්ව ධනවාදයේ නග්න, අසීමාන්තික සහ අනුකම්පා විරහිත ජාත්‍යන්තර සූරාකෑමකට ලක්වූහ. එසේ නොවන්නට “සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්”  යන පීඩිත බලය මුළුගන්වන ආදර්ශ පාඨයක් බිහිවන්නේ නැත. ඒ මගින් ගොඩනැඟෙන පීඩකයාට එරෙහි නිර්ධන පංතික සංස්කෘතිය ගොඩනැඟෙන්නේද නැත. ධනවාදී සංස්කෘතික ඉදිකිරීම් විසින් මානව දැනුමද පොදු පහසුකමක් බවට පත්කොට තිබේ. වත්මන් digital තාක්ෂණික වර්ධනයන් විසින් සහ අන්තර්ජාල පහසුකම් විසින් දැනුම යනු හඹා යා යුතු දෙයක් මිස සිඟමනක් නොවන තත්වයට පත්ව තිබේ. සමස්ත ලෝකයම එකම සංවාද මණ්ඩපයකට ගෙන එන්නට ධනවාදී තාක්ෂණික දියුණුව සමත්ව ඇත. ඒ ඔස්සේ සන්නිවේදනය හෙවත් අදහස් හුවමාරුවද විප්ලවීය වෙනසකට ලක්ව තිබේ. මිනිස් ජීවිතයේ පරම අරමුණ “සතුට” නම් ඒ සඳහා උපරිම ක්‍රම සකසා තිබේ. තමන් කැමැති නිහඬ වින්දනයේ සිට ත්‍රාසය මුසු වින්දනය දක්වා විවිධ තලයන්ගේ පැතිරි විවිධාකාර සතුටු උයන් සහ adventure park ධනවාදය විසින් අපට ලබාදී ඇත. මෙය ක්‍රීඩා කේෂත්‍රයටද පොදුය. නුදුරු අනාගතයේ දී අභ්‍යාවකාශ චාරිකා අත්දැකීම් ලැබීමේ ඉඩ ප්‍රස්ථාද විවර වන ලකුණු දක්නට ඇත. ලෙඩ රෝග වැළැක්වීම උදෙසා නැනෝ තාක්ෂණය ආදී නූතන තාක්ෂණික ජයග්‍රහණයන් උපයෝගී කරගනිමින් මිනිසා අභ්‍යාවකාශය, මුහුදු පතුල සහ පොළෝ ගර්භයට අමතරව මිනිස් සිරුර තුළ වෛද්‍යමය ගවේෂණ චාරිකාවන්ටද සමත්ව සිටියි. නැනෝ තාක්ෂණය මගින් ක්ෂුද්‍ර ලෝකයත් අභ්‍යාවකාශ තාක්ෂණය මගින් මහේෂාක්‍ය ලෝකයත් දිනීමට මිනිසා සමත්ව තිබේ. මෙම සියල්ල භුක්ති විදීමේ විෂමතාවය ධනයේ හැකියාව මත තීරණය වීම සංස්කෘතියට අයත් කාර්යයක් නොවේ. එය සමාජ සංවර්ධනයේදී විසඳිය යුතු දේශපාලන ගැටලුවකි.

අභ්‍යාවකාශයෙන් සංස්කෘතික පාතාලයට

ඔබ ඇඳ සිටින ඇඳුම මෙන්ම ඔබ වාඩිවී සිටින පොළොවද විදුලි ලිප මත තිබෙන උපකරණ හා විදුලි ලිපද නිවසේ බිම ද ඔබගේ කාමරයේ බිත්ති ද එහි බුමුතුරුණු ද විදුලි පහන් සහ සුවිචයන්ද බිත්ති මතින් යන විදුලි වයරයන්ද ඔබගේ ජංගම දුරකථනයද පිටත ඇති මාර්ගයද ඔබ පදවන කාරය හා එහි ටයර්, ලෝහ, වීදුරු, රෙදි හා බැටරි ගුවන්යානා, අහස සිඹින ගොඩනැඟිලි, යුද ටැංකි සහ මිසයිල යන මේ සියල්ල පොළොව යට තිබූ ඛනිජ හා ලෝහයන්ය. ඒවා මහ පොළොවෙන් හැර නැව් ගත කොට ලොව වටා යවා වෙනස් කොට හා එකලස් කොට නැවත නැව් මඟින් ඔබගේ වෙළඳපොළට පැමිණෙන්නේය. ඔබගේ කමිසය පොලියෙස්ටර්ද? පොලියෙස්ටර් යනු ප්ලාස්ටික්ය. ප්ලාස්ටික් යනු තෙල්ය. තෙල් යනු ඩයිනොසර්ලාය. ගස්ය. පැලය. සකල විධ ආර්ථිකයම නැඟී ආවේ මහ පොළොවේ කොටසක් ලෙසය. විටෙක ඒ පොළොවේ වැළලී තිබුණේය. විටෙක එය පොළොවෙන් වැඩුණේය. එසේ නැතිනම් අප විසින් එය වෙනස් කිරීමට පෙර ජීවිතයක් වූවේය. එහෙත්, ඒ සියල්ල දැන් හැකි ඉක්මනින් අවසන් වෙමින් යන්නේය.”

(බීබීසී ඇසුරෙනි. 2011 මැයි 30)

ධනේශ්වර සංස්කෘතික බිඳවැටීමේ කතන්දරයේ පසුවදන ඉහත උපුටනයෙන් ආසන්න ලෙස කියවේ. එයට එක් කළ යුතු වැදගත්ම දෙය මෙම ඉහත සඳහන් සියල්ලෙහි පරිවර්තකයා සහ නිමවුම්කරුවා මානව ශ්‍රමය යන්නය. කෙසේ වුවද නූතන ධනේශ්වර සංස්කෘතික ඛේදවාචකය ඉහත උපුටනයෙන් ප්‍රකාශයට පත්වේ. ධනවාදී සියලු සංස්කෘතික වටිනාකම් එහි උච්චතම අවස්ථාවෙන් පසු කඩාවැටෙමින් පවතී. ඉහත උපුටාගැනීම පරිසර විනාශය හා සෘජුව අදාළ වුවද සමස්ත ධනවාදී සංස්කෘතික බිඳවැටීම්වලට නිදර්ශනයකි. මිනිසා බිහිවන්නේ පරිසරයෙනි. ඔහු මිනිසෙකු වන්නේ පරිසර අභියෝග ජයගන්නා නිසාවෙනි. පරිසරය හා සතුරු ප්‍රතිවිරෝධයක සිට කටයුතු කිරීම මිනිස්කම නොවේ. ධනවාදී සංස්කෘතික බිඳවැටීම කෙතරම් බියකරුද යත්, ධනවාදී මිනිසා කිසිදු පාලනයකින් තොරව තමන් පය ගසා සිටින පරිසරය සවිඥානකව හා අවිඥානකව වනසමින් සිටී. ඒ, ලාභ තොග ගොඩනඟන

ප්‍රාග්ධන බලයන් යටතේය. අහසද, පොළොවද, ජලයද දූෂිත කරමින් ධනවාදය තමන් පය ගසා සිටින පොළොව තමන්ටද හොරෙන් බිඳ දමමින් තිබේ. ඒ මගින් පළමුව ස්වභාවික පරිසරයද දෙවනුව මිනිස් සමාජයද මිනිසා විසින්ම අහෝසි කරනු ඇත. ඉන් ඔබ්බට ශිෂ්ටාචාරය විනාශ වී භෞතික වශයෙන් පමණක් සංස්කෘතික නටබුන් ඉතිරි වනු ඇත. මිනිස් වර්ගයා තවදුරටත් නොමැති ලොවක ඒ දෙය වුව කා වෙනුවෙන්ද?

මීට පෙර පැවති සියලු යුගවලට වඩා ධනපති යුගය වෙනස් බව පෙන්වන්නේ නිෂ්පාදනයෙහි ඇති වන නිරන්තර විප්ලවීය වෙනස්වීමත්, සියලු සමාජ තත්වයන්ගේ අනවරත බාධා කිරීමත්, සදාකාලික අස්ථීරතාවය සහ කැළඹීමත් විසිනි. තහවුරු වු සහ සවි වු සියලු සම්බන්ධකම් සහ ඒවා සමඟ ඇති පෞරාණික, පූජනීය සහ අවිචාරක හැඟීම් සහ ස්ථාවරයන් ඉවත ලා ඇත. අභිනවයෙන් සකස් වන සියලු සම්බන්ධකම්, ඒවා තහවුරුවීමටත් පෙර යල්පනී. ඝන වු සෑම දෙයක්ම වාතය බවට පරිවර්තනය වෙයි. ශුද්ධ වූ සෑම දෙයක්ම කෙළෙසේ. අවසානයේදී මිනිසාට තම ජීවිතය අරඹයා සැබෑ තත්වයනට, තම වර්ගයා සමඟ ඇති සබඳතාවයන්ට අගති රහිතව මුහුණ දීමට සිදුවේ.”

කොමියුනිස්ට් ප්‍රකාශනය, මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 1 පිටුව 49, 1982 ප්‍රගති ප්‍රකාශන, මොස්කව්

මානව සබඳතා වියමන යනු මිනිස් සමාජයයි. එහි කේන්ද්‍රගත ලක්ෂය පවුල් ඒකකයයි.

ධනේශ්වර සංස්කෘතිය තුළ වන පවුල නම් ප්‍රපංචයේ වන ආර්ථික බැඳීම ආධ්‍යාත්මික බැඳීමකින් ප්‍රකට විය. එය නැවත සමාජ සංස්කෘතික ප්‍රකාශනයක් බවට පත් විය. ක්‍රමයෙන් පවුලේ සාමාජික සංඛ්‍යාව වැටුප් ශ්‍රමික ජීවිතයට පහසු වන සේ හැකිළී යන්නට විය. පවුලේ එක් එක් සාමාජිකයා ධනපති ආර්ථික හා සමාජ දේහය විසින් ගොදුරු කරගන්නා ප්‍රමාණයට මිනිස් ජීවිත කොටු කළ, අතාර්කික ආධ්‍යාත්මයන් තුළ සිරගත විය. මව, පියා සහ දූදරුවන් අතර මානව සබඳතා දුරස් වෙමින් ඒවාද හුදකලා ආර්ථික සබඳතා බවට පත්විය. මෙහි ප්‍රතිඵලය රැකියාවට හෝ පාඨමාලා හැදෑරීමට ගොස් වෙහෙසව රාත්‍රී නිවසට එන පවුලේ සාමාජිකයෝ ආත්මාර්ථකාමී, අලස සහ හුදකලා රැයක් ගෙවා අළුයම නිවස නමැති නවාතැනින් බැහැරවීමයි. යම් හෝ මානව බැඳීමක් පවතින්නේ නම් එය මුළුතැන් ගෙය තුළ ප්‍රධාන යන්ත්‍රය වන අම්මා සමඟය. එයද මෙම සජීවී අචේතනික යන්ත්‍රය තමනට ප්‍රයෝජනවත් වන ප්‍රමාණයටය. ලිංගික සබඳතා පවා takeaway වෙතින් රැගෙන විත් ගිල දමන shorteats එකට sauce තවරා ගන්නාක් වැනි එහෙත් අචේතනික, ආධ්‍යාත්මික බැඳීමෙන් තොර, දෛනික ජීවිතේ තවත් එක් කටයුත්තක් පමණි. එවන් පසුබිමක බිරිඳ යනු පිරිමියාගේ ඕනෑ එපා කම් ඉටුකරන ස්වයංක්‍රීය සජීවී උපකරණයක් පමණකි. තවද ඇය විටෙක පිරිමියාගේ ආඩම්බරයද විටෙක අවමානයද වේ. ධනේශ්වර විවාහ අවස්ථාව සතුටකට වඩා ප්‍රදර්ශනයකි. එය ධනේශ්වර වෙළඳපොළ විසින් නිර්මිත විවාහ මංගලෝත්සව කර්මාන්තයේ වෙළඳාමකි. වත්මන් ධනේශ්වර පවුල තුළ පියා පවා ගැහැනු දරුවන්ට ආධ්‍යාත්මික සම්බන්ධතාවයක් නොව අනාරක්ෂාවකි. දරුවෝ යනු දෙමාපියන්ට අනුව වදයකි; හිරිහැරයකි. නූතන දරුවා යනු තම ආත්මාර්ථකාමී පරාජිත අතීත අභිලාෂයන් දිනාගැනීම උදෙසා දෙමාපියන් විසින් කරනු ලබන ආයෝජනයකි. එය දරුවාගේ සපත්තුව “කැඩපතක්” සේ polish කොට අවසන තම පරාජිත මුහුණ පමණක් ඉන් දැක බලා ගන්නාක් වැනි අසාර්ථක ව්‍යායාමයකි. දරුවා යනු දෙමාපිය නොතිත් ආශාවන්ගේ ගොදුරක් පමණකි. මෙම සංස්කෘතික බිඳවැටීම සමාජය නම් මහා විශ්වයට ගිය පසු ආත්මාර්ථයක් පමණක් නොව අපරාධ රැල්ලකි. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, ඝාතනයන් මෙම තත්වය විසින් ජාතක කරනු ලබන ප්‍රතිඵලයන්ය. ඉන් නොනැවත සමාජ ජීවිතයේ එදිනෙදා කටයුතු සහ හැසිරීම්වලදී, අතිශය ආත්මාර්ථකාමිත්වය විසින් තමන් හැර අන් සමාජයක් නැතැයි යන හැඟීමෙන් හැසිරීම සමාජ ව්‍යාධියක්ව ඇත. මෙය මනාව ප්‍රකට වන ස්ථානයකි වාහන සංස්කෘතිය. පෞද්ගලික වාහන මිලදී ගැනීම වත්මන් සමාජයේ අවශ්‍යතාවයකට වඩා තරගකාරිත්වයකි. මහ මඟ වාහන ධාවනය මාරාන්තික තරගයකි. ඉන් අහිමි වන මිනිස් ජීවිත පිළිබඳ ක්ෂණික කම්පනයක් මිස මානවවාදී හැඟීමක් නැත. මීට ප්‍රතිපක්ෂව අතිශය ආත්මාර්ථකාමීව, ආරක්ෂණවාදීව අනෙකාගේ ගමන නොසලකා මහ මඟ බඩගෑමේ මධ්‍යම පංතික (රියදුරු) මානසිකත්වයද නූතනයේ එවන් සංස්කෘතියකි. අල්ලස, දූෂණය ආදිය නීති පොතේ කෙළෙස සටහන් වුවද ඒවා මානව සමාජයේ සාමූහික ගිවිසුමකි. අල්ලස් ගැනීමේ හා දීමේ මානසිකත්වය ක්ෂුද්‍ර සමාජ විශ්වයේ සිට මහේෂාක්‍ය සමාජ විශ්වය දක්වා පැතිරි මහා සංස්කෘතියකි. එය කඩකිරීම ආධ්‍යාත්මික පසුතැවිල්ලක් ලෙස ගැනීම මිස එම වරද සිදුකිරීම පිළිබඳව හෘදය සාක්ෂිය ප්‍රශ්න කරන්නේ නැත. මානව ගරුත්වය යැයි යමක් ධනවාදයේ නූතන යුගයේ ඉතිරි වන්නේ නැත. සියල්ල ආත්මාර්ථය තුළ මිදී සිරවී ඇති තත්වයක අනෙකාගේ අවස්ථාව, අනෙකාගේ ජීවිතය, අනෙකාගේ අයිතිය මෙන්ම ගරුත්වය සැලකෙන්නේ නැත. තම ගරුත්වයද, ජීවිතයද සහ අයිතිය පවා නිරන්තර කටුව තුළ සැඟවෙන්නට උත්සුක වන ආත්මාර්ථකාමී ගොළුබෙලි මානසිකත්වයක ගිල්වා ඇති සමාජයක තමන්, තමන් නොවන මිනිසෙකුට අනෙකෙකු ගැන සංවේදීතාවයක් තිබිය නොහැකිය. එබැවින් ධනවාදයේ අවසන් පියවරේ ජීවත් වන අප අත්දකින්නේ, ඇසුරුකරන්නේ, ගනුදෙනු කරන්නේ ධනවාදයේ අතිශය ලාභ වුවමනාව වෙනුවෙන් ගොදුරු බවට පත් මිනිස් භාණ්ඩ මිස මනුෂ්‍යත්වය නොවේ. මේ ධනවාදී සංස්කෘතික බිඳවැටීමේ ඛේදවාචකයයි. එබැවින් වෛද්‍ය විශේෂඥයාද, අධ්‍යාපන විශේෂඥයාද, යුක්තිය පසිඳලන්නාද,  මාර්ගෝපදේශකයාද, ආරක්ෂකයාද, ගැලවුම්කරුවාද යන මෙම සමාජ භූමිකා සියල්ල හුදකලා අහඹු අවස්ථා හැර ඉහත ඉරණමට ගොදුරුව අවසන්ය. අධ්‍යාපනය, ක්‍රීඩා ආදී මිනිස් අවශ්‍යතා සියල්ල තුළම මෙම සමාජ කඩාවැටීම හෙවත් සංස්කෘතික ඇදවැටීම එක ලෙස දැකිය හැකිය. මින් මිදුණු සමාජ ආයතන හෝ සමාජ ක්‍රියාකාරිත්වයක් වත්මනෙහි දක්නට නැත. එබැවින් “කරවිලේ වැටුණු පණුවා” මෙන් මේ තිත්ත රසය භුක්ති විඳිනු මිස මෙයට අනුගත වනු මිස අන් මඟක් මෙහි ගොදුරු බවට පත්වූවන්ට නොවැටහේ. ඉන් එහා යමක් වටහා ගන්නට උත්සාහ කිරීම පවා බියකරු දෙයක් සේ සිතෙයි. එම වහල් මානසිකත්වය පවා මෙම සංස්කෘතික බිඳවැටීමේ ඵලයයි. ඉහත කාරණය පැහැදිලි කිරීම පිණිස කාහටත් සමීප එක් උදාහරණයක් ගෙනහැර පාන්නෙමු. ක්‍රිකට් යනු 13වැනි සියවසේ එංගලන්තයේ පැවැති ප්‍රාදේශීය ක්‍රීඩාවක විකරණයකි. වර්තමානයේ එය දැවැන්ත ඔට්ටු කර්මාන්තයකි. ක්‍රීඩාවේ මුල් අරමුණ ක්‍රීඩකයින්ගේ සහ නරඹන්නන්ගේ විනෝදයයි. නමුත් ක්‍රමයෙන් එය විනෝදය විකුණන්නන් අතට පත්විය. මුල් අවධියේ (17වැනි සියවසේ) ආරම්භ වූ ටෙස්ට් තරග සඳහා නිශ්චිත කාල සීමාවක් නොවීය. සමහර විට එය සතියට වඩා වැඩිවූ අවස්ථා විය. එනිසා ටෙස්ට් තරගවලදී පිතිකරුවෝ හා පන්දු යවන්නෝ කාලය ගෙන වැඩි පරිණතකමක් සහිතව ක්‍රීඩා කළෝය. එහෙත් වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව එවන් ඉතිහාසයක් අසන්නට වුව ප්‍රේක්ෂකයින් අලස වනු ඇත. සැබැවින්ම ධනවාදී වෙළඳ ලෝකයට ගොදුරු වූ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව සැලකිල්ලට ලක් කරන්නේ වේගය පමණි. එබැවින් ඔවුන් ප්‍රේක්ෂකයින් පොළඹවන්නේ  එක්දින තරග, විස්සයි විස්ස තරග වැනි කෙටි කාලීන (සීමිත ඔවර්) තරගවලටය. Image result for cricket audience sri lanka පන්දු යැවීම නිතිරීති මැද පීඩනයකින් කළ යුතු අතර පහර දෙන්නාට තණතිල්ලේද නීතිරීතිවලද ඉඩකඩ වැඩිය. ඉන් අදහස් වන්නේ තරඟකාරිත්වය වැඩි කිරීමය. මෙහි දිගුවක් ලෙස රාත්‍රී ක්‍රිකට් බිහිවන්නේද මෙම අරමුණෙනි. මහජන චීන සමූහාණ්ඩුවේ ජනතාව ක්‍රිකට් උන්මාදය සඳහා පෙළඹවීම ඉලක්ක කොට ගෙන හොංකොංවල සය සාමාජික ක්‍රිකට් තරග පැවැත්වේ. ලෝකයම සම්බන්ධ නොවුණද “ලෝක කුසලාන තරග” යනුද මෙම කෘත්‍රිම ක්‍රිකට් උන්මාදය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරියට ගෙනෙන ලද්දකි. සියල්ලෙහි ඒකායන අරමුණ වෙළඳාම සහ ලාභයයි. ටිකට් විකිණීම, ආපන ශාලා ආදියටද වඩා ඔට්ටු ඇල්ලීම දැවැන්ත ආදායම් හා ලාභ ගෙන දෙයි. රූපවාහිනි නාළිකා හරහා විස්තර ප්‍රචාරයද දැවැන්ත ව්‍යාපාරයකි. රූපවාහිනි තිරය පටු කරමින් එය වටා වෙළඳ දැන්වීම් ඉපිලේ. ඉන් නොනැවත විරාමයන්, වෙලාව බැලීම, විවේක කාලය සහ ඕවරයක් මාරුවන කාලය වැනි අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් වෙළඳ ප්‍රචාරණයේ යෙදේ. ඒ සඳහා දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක්ද අනුග්‍රාහක පිරිසක්ද  රැස්කර ගැනීම මාධ්‍යයෙහි අරමුණයි. ඔට්ටු තබන්නෝ ප්‍රචාරණය, තරග උණුසුම හා ක්‍රීඩකයින් මිලදී ගැනීම් තුළින් ඔට්ටු දිනවා ලාභ ලබති. දැන් ක්‍රිකට්,”ක්‍රීඩාව” යන අරුතින් බොහෝ දුරස්ය. සිදුව ඇත්තේ ක්‍රීඩාවක ගුණාංග සියල්ල පසෙකලා තරගකාරී සතුට විකුණන වෙළඳපොළක් බිහිවීමය. ඉන් ක්‍රීඩා සංස්කෘතිය කොල්ලකාරී සංස්කෘතියකට කඩාවැටී තිබේ.

සමාජ සංවර්ධන මූලධර්මවල වැරැදී යාමක්ද?

මෙම පැනයට පිළිතුරු සෙවිය යුත්තේ දේශපාලන ආර්ථික විද්‍යාව තුළය.

…ස්වකීය නිෂ්පාදන සම්බන්ධකම්, හුවමාරුව සහ දේපොළ සම්බන්ධකම් සහිත නූතන ධනපති සමාජය, මේ සා විශාල යෝධමය නිෂ්පාදන මාධ්‍යයන් සහ හුවමාරු ක්‍රම බිහිකළ මෙම සමාජය, තමා විසින් ස්වකීය විජ්ජා මන්ත්‍ර බලයෙන් කැඳවන ලද පාතාල ලෝකයේ භූත බලය තවදුරටත් මෙල්ල කිරීමේ අපොහොසත් වී සිටින මන්ත්‍රකාරයකු වැන්න. අතීත අවුරුදු බොහෝ ගණනක කර්මාන්තයෙහි සහ වාණිජ්‍යයෙහි ඉතිහාසය, අන් කිසිවක් නොව, සමකාලීන නිෂ්පාදන තත්වයනට විරුද්ධව, ධනපති පංතියේ හා එහි පාලන බලයේ පැවැත්මට අවශ්‍ය තත්වයන් වන දේපොළ සබඳතාවයන්ට විරුද්ධව, නූතන නිෂ්පාදන බලවේගයන් කරන කැරලිකාර අරගලයය. කලින් කල යළි යළිත් පිවිසීම මගින් සෑම වාරයකදීම ඊට කලින් වාරයට වඩා ධනපති ක්‍රමයේ පැවැත්ම තර්ජනයට හසුකර, එහි පැවැත්ම විනිශ්චයට භාජනය කරන වාණිජ අර්බුද ගැන මතක් කිරීම පමණක් ප්‍රමාණවත්ය.”

…සමාජයේ විධානයට යටත් වී තිබෙන නිෂ්පාදන බලවේග ධනවාදී දේපොළ අයිතියේ තත්වයන් වර්ධනය කරලීමට තවදුරටත් තුඩු නොදෙයි. එයට ප්‍රතිපක්ෂව, ඒවා එම තත්වයනට නොසරිලන තරම් බලගතු වේ. මෙම නිෂ්පාදන බලවේගයන්ට දමා ඇති විලංගු බිඳ දැමූ විගස එම නිෂ්පාදන බලවේග මුළුමහත් ධනවාදී සමාජය ඉමහත් අවුලට ඇද හෙළමින් ධනපති දේපළවල පැවැත්ම අනතුරට පත්කරලයි. ධනපති සමාජයේ තත්වයන් ඒවා විසින් නිපදවූ වස්තු සම්භාරය අඩංගු කර තැබීමට ප්‍රමාණවත් නොවන තරම් පටුය.”

කොමියුනිස්ට් ප්‍රකාශනය, මාක්ස් – එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 1 පිටුව 51, 52, 1982 ප්‍රගති ප්‍රකාශන, මොස්කව්

 සැබැවින්ම මෙම සංස්කෘතික සහ සදාචාරාත්මක කඩාවැටීම විසින් පෙන්වා දෙනු ලබන්නේ සමාජ සංවර්ධනය පිළිබඳව මාක්ස්වාදී දැක්මේ නිරවද්‍යතාවයයි. මේ වන විටත් අප දන්නා පරිදි ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය තාක්ෂණික වර්ධනයේ යෝධ පිමි පැන ඇත. අභ්‍යවකාශ තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ජෛව විද්‍යා තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි වර්ධනය අති දැවැන්තය. නිෂ්පාදනයේ වේගය, අධ්‍යාපනයේ වේගය සහ අදහස් හුවමාරුවේ වේගය අසීමාන්තිකව ඇත. එහෙත් සමාජ චින්තනය ධනවාදී ගතානුගතික හෝ පසුගාමී වන තත්වයන් තුළ සමාජ සම්බන්ධතාද කල් ඉකුත්ව යයි. දේශපාලන භාෂාවෙන් පවසන්නේ නම් යල්පැන ගොස් තිබේ. එනම් මේ ජවසම්පන්න, දඟකාර, නවීන නිෂ්පාදන බලවේගයන්ගේ තාරුණ්‍යය, දුබල, ඔත්පල හා ගතානුගතික මහලු සමාජ සම්බන්ධතා පසුකර දිවෙන්නට වෙර දරනු මිස එක්ව ගමන් කරන්නේ නැත. ප්‍රාග්ධන හිමියා ලාබ අනුපාතිකය නොවැටී තබා ගනිමින් ඉදිරියට යන්නට පෞද්ගලික දේපළ ක්‍රමයක් තුළ යොදන තැත අවසන අර්බුද හා සංස්කෘතික කඩාවැටීම් මිස අන් ඵලයක් නොමැත. මෙම තත්වය තුළ සංකීර්ණ තාක්ෂණික උපකරණ නොව සාමාන්‍ය ජනතා පරිහරණයට නිෂ්පාදනය කොට ඇති smartphone, computer වැනි බහුකාර්ය මෙවලම් පවා සමාජ ජීවිතය තුළ ප්‍රතිවිරෝධතා සහ අර්බුද නිමවයි. අවසන ඒවා සමාජ සෞඛ්‍යයට අහිතකර අසැබි සහ මංමුලා කරවන පරමාදර්ශයන් ජනිත කරයි. ඒ සියල්ලම පෙරළා යළි වෙළඳ භාණ්ඩ බවට පත්වේ. මේ සියල්ලෙන් පැවසෙන්නේ ධනවාදය උපයාගත් නිෂ්පාදන බලවේග “කට්ටලය” දැමීමට තරම් ධනවාදී සමාජ සම්බන්ධතා “උරය” ප්‍රමාණවත් නොවන බවය. උරය පැලී සියල්ල පිටතට එන සංස්කෘතික අර්බුදය නිමවන්නේ එලෙසින්ය. මෙයට වඩා දරාගත හැකි “බහලුමක” අවශ්‍යතාවය මින් අවධාරණය කෙරේ. එළැඹ තිබෙන අවදිය අනුව මානව සමාජය දෙමංසලකට පැමිණ තිබේ. එක් මඟක් මෙම සීමිත ධනවාදී නිෂ්පාදන සබඳතා නම් ලබු ගෙඩියට මහා ගුදමක පිරවීමට තරම් වන නිෂ්පාදන බලවේග පටවමින් එය අගාධයක ගිල්වා දැමීමය. ඒ හා සමඟ මානව සමාජයද සිදුවන පරිද්දෙන්ම තවදුරටත් ආර්ථික හා සමාජ සංස්කෘතික වශයෙන් අගාධයට යෑමට ඉඩ හැරීමය. ම්ලේච්ඡත්වය වෙත පෙරළා පසුබැසීමය. ඒ සඳහා කිසිවක් කළ යුතු නැත. විය යුත්තේ ධනේශ්වර වෙළඳපොළ තුළ සැරි සරන ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික වෙළඳ භාණ්ඩ තරගයට අනුකූලතාවය දැක්වීමය. ලාභය පසු පස දිවෙන ඒ උදෙසා ඕනෑම අමානුෂික පියවරකට එළැඹෙන පරිභෝජනවාදයට ගොදුරු සොයන ධනේශ්වර සමාජ සංස්කෘතිය අනුමත කිරීමය. අනෙක් මඟ වන්නේ මේ අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වය කරා යෑමය. ඒ සඳහා මේ අති දැවැන්ත නිෂ්පාදන බළවේග වලට අනුරූපී නැතිනම් සියල්ල ග්‍රහනය කොටගත හැකි දරාගත හැකි පුළුල් සමාජ සම්බන්ධතා සහිත නව සමාජයකට පිවිසීමය. මෙම සංස්කෘතික කඩාවැටීම විසින් ඉල්ලා සිටින්නේ, නව සංස්කෘතික මිනිසකු සහිත එවන් සමාජ ක්‍රමයකි. අතිශය තාර්කික ලෙසම එම සමාජය අන් කවරක් හෝ නොව සමාජවාදයයි. එවන් දියුණු සංස්කෘතියක කළල අවස්ථාව දක්නට හැක්කේ නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංති පක්ෂය තුළය.

විමර්ශන

“සළුව” විසිකර “හෙලුව” වර්ණ ගැන්වීමේ සංස්කෘතික වෙළඳාම