වෙළඳ ව්‍යාපාරයක් වූ මිත්‍යාව

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දැනුම සමාජය හා චින්තනය

07

       අප සාකච්ඡා කරමින් සිටින්නේ, මිත්‍යාවේ පැවැත්මේ සමාජමය හා දේශපාලනමය හේතු පිළිබඳවය. අතීතයේ බොහෝ මිත්‍යා විශ්වාස බිහිවූයේ නූගත්කම හෙවත් සොබාදහම පිළිබඳ මිනිසාගේ දැනුම දුර්වලව පැවති නිසාය. එහෙත් දැන් සොබාදහමේ රහස් විද්‍යාව මගින් අනාවරණය කර තිබියදීත් මිත්‍යාවත්  අහෝසි නොවී පවතී. ඊට එක් හේතුවක් වූයේ, නූගත්කම හා ගතානුගතිකභාවය වන අතර තවත් හේතුවක් වූයේ, ලාභ ඉපැයීම හෙවත් ආර්ථිකමය වාසි ලැබීමය.

       මේ වන විට මිත්‍යාවත් ඉතා විශාල ලෙස ලාභ ලබන වෙළඳ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. මහමග අයිනේ බෝ පැලයක් සිටුවා (පන්සලක සිටුවනවා වෙනුවට) එය ඉදිරිපිට පින් කැටයක් තබන්නෙත්, මහමඟ හැම තැනම දේවාල ඉදිකරන්නෙත් එම ස්ථානවල පින්කැට මුදල්වලින් පිරීයන නිසාය. මහමඟ රථවාහන වැඩි නිසාත් මාර්ගවල දුර්වලතා නිසාත් විනයක් නොමැතිකම නිසාත් ඉක්මනින් යාමේ තරඟය නිසාත් ලංකාවේ රථවාහන අනතුරු නිතර සිදුවේ. ඉන් බියට පත්වන වාහන පදනවන රියදුරන් මෙන්ම මගීහුද තම ආරක්‍ෂාව වෙනුවෙන් මහමඟ අයිනේ ඇති දේවාලවල පිං කැටවලට මුදල් දමා යති. එවිට එය ව්‍යාපාරයක්  බවටපත් වේ; මුදල් එකතු වේ. ඒ නිසාම එම ආයතන බාර අය ඒවා පවත්වාගෙන යනු ලැබේ.

දෙවියන්ට මුදල් ඇයි?

        අප රටේ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන, දේව හාස්කම්වලින් ලෙඩ රෝග සුවකරන බව කියන හා දේව ආශිර්වාදය ලබාදෙන බොහෝ ස්ථාන තිබේ. ඒවා තවම පවතින්නේ ඇයි, ඒවා මුදල් උපයන විශාල ව්‍යාපාර බවට පත්ව තිබෙන නිසාය. ඒවායේ අයිතිකරුවෝ තම

        තැරැව්කරුවන් මගින්, විවිධ ක්‍රම මගින් මිනිසුන් ඊට අද්දවා ගනිති. සමහරු ලක්‍ෂ ගණන් ගෙවා රූපවාහිනී දැන්වීම් හා පුවත්පත් දැන්වීම්ද පළ කරති. ඒ දුකට පත් ජනතාවට පිහිට වීම සඳහා නොව මුදල් ගැරීම සඳහාය. ශාස්ත්‍ර කියන්නේ සැබෑ ලෙසම දෙවියන් නම්, ලෙඩ සුවකරන්නේ හෝ අපල ඉවත්කරන්නේ දෙවියන් නම් ඊට මුදල් ගැනීමේ තේරුමක් නැත. ඒ දෙවියන්ට මුදල් අවශ්‍ය නොවන නිසාය. සුපර් මාකට්වලින් බඩු ගන්නා දෙවිවරුන් අප තවම දැක නැත. එහෙත් දෙවියන් විකුණාගෙන කන අයනම් මන්දිර හදති; යාන වාහන ඉඩකඩම් මිලදී ගනිති; බැංකු ගිණුම් පුරවා ගනිති. ඒ අනුව මිත්‍යාව වෙළඳ ව්‍යාපාරයක් වූ විට දෙවියන් විශ්වාස නොකරන අය පවා දෙවියන් සිටින බව පවසා මුදල් ගැරීමට පෙළඹීම මිත්‍යාව දිගට පැවතීමට හේතු සදයි.

       ජ්‍යෝතිෂ්‍යකරුවෝ  හා හඳහන් බලන්නෝද මේ වර්ගයේමය. මේ සේවාව සඳහා ඔවුන් විශාල වශයෙන් මුදල් අය කරන අතර එය මුදල් ඉපැයීමේ පහසු මාර්ගයක් වී තිබේ. මිනිසුන් සුභ නැකැත් ගැන විශ්වාස නොකරන්නේ නම් නැකත් බලා වෙලාව සාදා දී මුදල් උපයන්නන්ගේ රැකියාවට සිදුවන්නේ කුමක්ද? මිනිසුන් ජ්‍යෝතිෂ්‍ය විශ්වාස නොකරන්නේනම්, කෙන්දර බලා මුදල් උපයන අයට ආදායම් ලැබෙන්නේ කෙසේද? ඒ නිසාම මෙවැනි දේවලින් මුදල් උපයන අය ඒවා සත්‍ය බව පවසමින් ප්‍රචාරය කරති. එවිට විද්‍යාව තිබියදීත් ආර්ථිකමය වාසි සඳහා මිත්‍යාව පතුරුවන පිරිස නිසා මිත්‍යාව රජ කරයි.

මිත්‍යාව හා ප්‍රාග්ධනය

        දෙවියන් පිළිබඳව, භූතයින් පිළිබඳ, ග්‍රහලෝක පිළිබඳ පතුරුවන මිත්‍යාවට වඩා බරපතළ ලෙස හා සියුම් ලෙස මිත්‍යාව හා අවිද්‍යාව පැතිරවීමේ කාර්යය දැන් සිදුකරමින් සිටින්නේ බහුජාතික හා ජාතික සමාගම්වල ප්‍රාග්ධන හිමියන් විසිනි. ඔවුන් විසින් ජනමාධ්‍ය උපයෝගී කරගෙන විශේෂයෙන් රූපවාහිනිය හරහා පතුරුවන අවිද්‍යාව ඉතාම බරපතළය.

        ප්‍රාග්ධන හිමි සමාගම්වල ප්‍රධාන අරමුණ ලාභ ලැබීමය. වැඩි වැඩියෙන් ලාභ ලැබීම සඳහා තම නිෂ්පාදන වැඩි වැඩියෙන් විකුණා ගත යුතුය. ඒ සඳහා ඒවා මිලදී ගැනීමට මිනිසුන් පොළඹවා ගත යුතුය. අනෙක් අතට වැඩිපුර ලාභ ලැබීමට භාණ්ඩවල ගුණයද අඩුකළ යුතුය. ඉදින් ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ වෙළඳපොළේ විකුණා ගැනීමට නම් එම භාණ්ඩ පිළිබඳ බොරු කිව යුතුය. නැතිගුණයක් පෙන්විය යුතුය. පාරිභෝගිකයා බියවැද්දීම හා රැවටීම කළ යුතුය. රූපවාහිනී වෙළඳ දැන්වීම් මගින් කරන්නේ එයයි. ඉන් සිදුවන්නේ ගුණාත්මක නොවන භාණ්ඩ මිලදී ගැනීමට මිනිසුන් පෙළඹීම පමණක් නොවේ. සමාජය තුළ විවිධ මිත්‍යාවන් පැතිරීමද ඉන් සිදුවේ.

        දත්වල ඇති ඇසට නොපෙනන කුඩා සිදුරු වසා දමා දත් මතුපිට කැල්සියම් ආවරණයක් ඇති කිරීමට සමත්බව කියන දන්තාලේපයක් පිළිබඳ දැන්වීමක් මෑත කාලයේ රූපවාහිනී නාලිකාවල විකාශනය විය. දන්ත වෛද්‍ය විද්‍යාවට අනුව දත්වල ඇති කුඩා සිදුරු (මෙයද සත්‍යයක් නොවේ) පිටතින් යොදන දන්තාලේපයක කැල්සියම්වලින් වැසිය නොහැක. එය මිත්‍යාවකි. එහෙත් එම මිත්‍යාව කිසිදු බාධාවකින් තොරව පතුරුවති. වෛද්‍යවරුද ඊට නිහඬය. කිරිපිටි සමාගම්ද එලෙස මිත්‍යා මත පතුරුවනු දැකිය හැකිය. ඒ කිරිපිටි විකුණා ගැනිම සඳහාය. දවසේ ප්‍රබෝධය හා ශක්තිය ලබාදෙන බව කියන පානය දිගටම පාවිච්චි කළහොත් දියවැඩියාව පවා සෑදෙනු ඇත. ඒ, ඒවායේ සීනි ප්‍රමාණය වැඩි නිසාය. මෙලෙස ආහාර පිළිබඳ, රුව ලස්සන කරන විවිධ ආල්පන පිළිබඳ මිත්‍යාවත් සමාජයේ පතුරුවා හරින්නේ ලාභ ඉපැයීම සඳහාමය. මිත්‍යාවෙහි හා සත්‍යයෙහි වෙනස සඟවන ප්‍රාග්ධන හිමියෝ ජනතාවට නින්දෙහි හා සැප නින්දෙහි වෙනස උගන්වති. ආර්ථික වාසි වෙනුවෙන් මිත්‍යාව පතුරුවා හරින්නේ එසේය.

පංති දේශපාලනය හා මිත්‍යාව

          සමාජයක් තුළ මිත්‍යාව පවත්වා ගැනීමේදී ප්‍රබලම කාර්යභාරය ඉටුකරන්නේ දේශපාලන වුවමනාවන් විසිනි. දේශපාලන වාසි ගැනීම සඳහා, තමන් වෙත බලය ගැනීම සඳහා ධනපති දේශපාලන පක්‍ෂ වේදිකා මත වපුරන බොරු හා අසත්‍ය මතයන්ට වඩා ධනපති ක්‍රමය සමාජ ක්‍රමයක් ලෙස අසත්‍ය පැතිරවීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග ඉතාම සියුම්ය; බරපතළය.

        ධනවාදයට මේ මිහිතලය මත තවත් කාලයක් පැවතිය හැකි වන්නේ, එහි පැවැත්ම ජනතාව තුළ සාධාරණය කරගත හැකි වන්නේ සමාජයේ යථාර්ථයන් සඟවා බොරුව හා මිත්‍යාව රජකරවීම තුළය. සමාජයක ජීවත් වන මිනිසුන් ගෙන් ටික දෙනෙක් පොහොසතුන් වී බහුතරය දිළින්දන් බවට පත්ව සිටින්නේ ධනපති සූරාකෑමත් දේපළ බෙදීයාමේ අසමානත්වයත් නිසාය යන සත්‍යය පැවසීමට ධනපති ක්‍රමයට හැකිද? නැත. එසේ පැවසුවහොත් ධනවාදය වහාම අහෝසි වනු ඇත. ඒ නිසා මිනිසුන්ගේ දුප්පත් පොහොසත් භේදයට හේතුව පෙර කළ අකුසල්, නොලැබීම, ග්‍රහ අපල, දේව කැමැත්ත ආදී වෙනත් කරුණුවලට බැර කිරීමට ධනපති පංතියට අවශ්‍යය. ධනපති පාලකයන්ට හැම විටම ආගම් අවශ්‍ය වන්නේ ඒ නිසාය. එවිට ඔවුන් එම මිත්‍යාවන්ට උදව් කරමින් ඒවා පවත්වාගෙන යති. ඒ තම පංති පාලනය පවත්වා ගැනීම සඳහාය.

       මෙහිදී ධනේශ්වර පංතිය ප්‍රතිවිරෝධයක සිට ක්‍රියාත්මක වේ. ධනේශ්වර නිෂ්පාදනයේදී, භාණ්ඩ නිපදවීමේ හා වෙළඳාමේදී ඔවුනට ලාභ ලැබීම සඳහා භාණ්ඩ වැඩිපුර නිපදවීම සඳහා විද්‍යාව අවශ්‍යය; තාක්‍ෂණය අවශ්‍යය. යුද්ධ කිරීම සඳහා, බලහත්කාරය සඳහා අවි තැනීම සඳහා විද්‍යාව හා තාක්‍ෂණය අවශ්‍යය. එසේම පෘථිවි ගෝලය පමණක් නොව පිටසක්වල සම්පත්ද හඳුනාගෙන ඒවා සූරාකෑම සඳහා විද්‍යාව හා තාක්‍ෂණය අවශ්‍යය. ඒ අර්ථයෙන් ධනවාදය නිතරම නිෂ්පාදනයේ සීමාව තුළ විද්‍යාව හා තාක්‍ෂණය දියුණු කරනු ලැබේ. විද්‍යාව මෙතරම් දියුණු වූයේ ධනවාදය තුළය. එය අමතක කළ යුතු නැත. ධනේශ්වර නිෂ්පාදනය හා සූරාකෑම සඳහා විද්‍යාව හා තාක්‍ෂණය දියුණු කරන ධනවාදය, ධනවාදී සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා මිත්‍යාවන්ද පවත්වා ගනී. තමන් වෙළඳ භාණ්ඩ මගින් උපයා ගන්නා අතිරික්ත ධනයෙන් කිසියම් ප්‍රමාණයක් විද්‍යාවේ හා තාක්‍ෂණයේ වර්ධනයට යොදවන අතරම එම අතිරික්ත ධනයේම තවත් ප්‍රමාණයක් මිත්‍යාව සඳහාද වැය කරයි. ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට උදව් කරයි. පාසල් අධ්‍යාපනය තුළ විද්‍යාව සමඟ එකට මිත්‍යාවද උගැන්වීමට කටයුතු කරයි. ධනපති ප්‍රාග්ධනය ක්‍රියාකාරිත්වය තුළින් නිර්මාණය වන මෙම ප්‍රතිවිරෝධය සමාජයීය දැනුම තුළද ප්‍රතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත්වේ. ඒ, විද්‍යාව සමඟ එහි ප්‍රතිවිරෝධය වන මිත්‍යාවද එකට පැවතීමය. එබැවින් විද්‍යාවේ වර්ධනයේ හා පැවැත්මේ කොන්දේසි මෙන්ම මිත්‍යාවේ පැවැත්මේ කොන්දේසිද පවතින්නේ ධනවාදී සමාජ ක්‍රමය තුළමය. එම ප්‍රතිවිරෝධය ධනවාදයේ පැවැත්මේ අවශ්‍යතාවය හා එහි ජාති ලක්‍ෂණය වී ඇත. ඒ අනුව මිත්‍යාව සැබෑ ලෙසම අහෝසි වනු ඇත්තේ ධනවාදයේ පරාජයත් සමඟය. ධනවාදය ලොව පවතින තුරු විවිධ ආකාරයන්ගෙන් සමාජ විඥානය තුළ මිත්‍යාවන්ද පවතිනු ඇත. මානව සමාජයේ දැනුම තුළ අවිද්‍යාව හා අසත්‍යය පවතිනු ඇත.

Next – දැනුම තුළ අසත්‍යය  සමාජයට හානි කරන හැටි

වෙළඳ ව්‍යාපාරයක් වූ මිත්‍යාව