කොමියුනිස්ට්වාදය මිහිතලය මත සදාකල් පවතීවි – ෆිදෙල්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 07 වන සමුළුව 2016 අපේ‍්‍රල් මාසයේ දී පැවැත්විණි. මෙම සමුළුවට කියුබන් විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ද සහභාගී විය. එහි දී ඔහු ද සමුළුව අමතා කෙටි කථාවක් කළේ ය. ඒ 2016 අපේ‍්‍රල් 19 වන දිනයි. එම කථාවේ ඇති ඓතිහාසික වැදගත්කම සලකා එහි සිංහල පරිවර්තනයක් මෙලෙස පළ කරමු.

1959 වසරේ දී කියුබානු විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු විප්ලවය විසින් කියුබානු ජනතාවට සමාජවාදී ජයග‍්‍රහණ රැසක්ම අත් කර දීමට සමත් විය. 1990 දශකයේ දී සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී කදවුරේ බිදවැටීමත් සමඟ කියුබානු සමාජවාදී විප්ලවය බරපතල අනතුරකට මුහුණ පෑවේ ය. එහෙත්, ඒ විශේෂිත අවධියේ දී සමාජවාදී විප්ලවයත්, සමාජවාදී විප්ලවය විසින් කියුබානු ජනතාවට ලබා දුන් ජයග‍්‍රහණන් රැක ගනිමින් ඉදිරියට යාමට කියුබාව සමත් විය.

ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වයන් නැවත වෙනස් වෙද්දී එම වෙනස්කම් සලකා බලමින් නව තත්ත්වයන්ට මුහුුණ දෙමින් ජයගහණ අත් කර ගැනීමට ද මේ වන විට කියුබාව සමත් වී සිටී. 2008 දී ඇති වූ ලෝක ආර්ථික අර්බුදයේ හා ඒ සමඟින් වර්ධනය වූ නව ලෝක ආර්ථික තත්ත්වයත්, බැරක් ඔබාමා වැනි කළු ජාතික ජනාධිපතිවරයෙකු එක්සත් ජනපදයේ ජනාධිපතිවයා ලෙස තේරී පත් වීමත් ලතින් ඇමරිකානු සම්භවයක් ඇති පාප්වරයෙකු පත් වීමත්, හ්‍යුගෝ චාවේස් ගෙන් පසු ලතින් ඇමරිකානු කලාපය තුළ අධිරාජ්‍ය විරෝධී ආණ්ඩු ගණනාවක් බිහි වීම හා ඒ රටවල් තුළ නැවත දක්ෂිණාංශික පාලනයන් ඇති වීමේ ප‍්‍රවණතාවත්, ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා පක්ෂ නායකත්වයෙන් හා රටේ නායකත්වයෙන් ඉවත් වී නව නායකත්වයක් ලෙස රාවුල් කස්ත්‍රෝ සහෝදරයාගේ පත් වීමත්, ලෝකයේ විකල්ප බල කේන්ද්‍රයක් ලෙස චීනයේ හා රුසියාවේ වර්ධනයත්, යන මේ වෙනස්කම් සියල්ල නිවැරැදිව කළමනාකරණය කර ගැනීමට කියුබානු කොමියුනිස්ට් පක්ෂය මේ වන විට සමත්ව සිටී.

කියුබානු සමාජවාදී ආර්ථිකයේ සිදු කර ගත් වෙනස්කම් සමඟින් දශක පහකට අධික කාලයක් පනවා තිබූ ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීමේ උත්සාහය යම් පමණකට සාර්ථක වෙමින් තිබේ. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 7 වන සමුළුව පැවැත්වූයේ මේ සියලූ තත්ත්වයන් හමුවේ කියුබාව නව අදියරකට ප‍්‍රවේශ වන මොහොතක දී ය.

අර්බුද අවස්ථාවක ඕනෑම ජනතාවකට නායකත්වය දීම යනු අධිමානුෂීය ප‍්‍රයත්නයකි. එවැනි දෑ නොමැතිව වෙනස්වීම් සිදු නොවනු ඇත.

මා සමාජවාදියෙකු වූයේ ඇයි? වඩාත් සෘජුව කියන්නේ නම් මා කොමියුනිස්ට්වාදියෙකු වූයේ ඇයි? මානව හැකියාවන්, මානව ශක්තිය හා සියලූ ද්‍රව්‍යමය සම්පත් ජනතාවගෙන් පැහැර ගත්, දුප්පතුන් සූරා කෑමේ වරප‍්‍රසාදය ලද්දවුන්ගේ අතිමහත් වෛරයට පාත‍්‍ර වූ සහ ඉතිහාසයේ මේ තරම් විකෘති කිරීම්වලට ලක්වූ තවත් වචනයක් නැති තරම් ය.

අපරිමිත කාලය තුළ මිනිසා මේ උභතෝකෝටිකයේ කොතරම් කලක් වාසය කරන්නට ඇද් ද? මා දන්නවා සවන් දෙන්නන් කිහිප දෙනෙකුට හැර අන් අයට මේ පිළිබද පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව.

මා සරලව කථා කරන්නේ එය තේරුම් ගැනීමට පහසු වන නිසාවෙනි. මා අන්තවාදියෙකු, අන්ධයෙකු හෝ නූගතෙකු නොවෙමි. මා ඒ මතවාදය (කොමියුනිස්ට්වාදය) ලබා ගත්තේ ආර්ථික විද්‍යාව හැදෑරීමේ මගේ ම වූ ක‍්‍රමය නිසා ම ද නොවේ.

මා නීති හා දේශපාලන විද්‍යා ශිෂ්‍යයෙකුව සිටියදී මේ බලපෑම් සහගත විෂය පිළිබද ගුරුවරයෙකු මට නොසිටියේ ය. ඇත්ත වශයෙන් ම එවිට මගේ වයස අවුරුදු 20ක් පමණ වන්නට ඇත. මා කැමැත්තක් දැක්වූයේ ක‍්‍රීඩාවට හා කදු නැඟීමටයි. මට මාක්ස්වාදය ඉගැනීමට සිදු වූයේ ගුරුවරයෙකු නොමැතිවයි. මම න්‍යායාචාර්යවරයෙකු නොවෙමි. මට සෝවියට් සංගමය ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබිණි. විප්ලවයට අවුරුදු 70ක් වෙද්දී ලෙනින්ගේ කාර්යභාරය කෙළෙසා දමනු ලැබිණි. මොන තරම් ඉතිහාසමය පාඩමක් ද? යටත්විජිතවාදයටත්, එහි වෙන් කළ නොහැකි සගයා වන අධිරාජ්‍යවාදයටත් එරෙහි අරගලයේ දැවැන්ත පියවරක් සලකුණු කළ, මානව වර්ගයාට තවත් විශිෂ්ඨ සමාජ විප්ලවයක උදාහරණයක් ළගා කර ගැනීම සදහා රුසියානු විප්ලවය වැනි තවත් සිදුවීමක් සිදු විමට තවත් අවුරුදු 70ක් ගත නොවන බව සහතික කොට පැවසිය යුතුයි.

කෙසේ වෙතත් අද පෘථිවිය ඉදිරියේ එල්ලෙමින් තිබෙන විශාලතම අනතුර වන්නේ මේ ග‍්‍රහලෝකයේ සාමය යටපත් කළ හැකි සහ මිහිමත මිනිස් වාසය තවදුරටත් පැවතීමට ඉඩ නොදෙන නවීන යුද්ධායුධවල විනාශකාරී බලයයි.

මිනිස් විශේෂය ඩයිනෝසරයන් විනාශ වූවාක් මෙන් විනාශ වනු ඇත. සමහරවිට නව බුද්ධිමත් ජීවයක් ඇති විමට කාලය ඉතිරි විමට ද පුළුවන. විශාල සංඛ්‍යාවක් විද්‍යාඥයන් හදුනාගෙන ඇති ආකාරයට, ඇතැම් විට හිරුගේ රශ්මිය සෞරග‍්‍රහ මණ්ඩලයේ සියලූ ග‍්‍රහයන් හා උපග‍්‍රහයන් දිය කර දමන තරමට ඉහළ යාමට ඉඩ තිබේ.

අප වැනි සාමාන්‍ය මිනිසුන් නොදැන නොසිටින මෙම න්‍යායන්ගෙන් සමහරක් සැබෑ වන්නේ නම්, ප‍්‍රායෝගික මිනිසා මීට වඩා වැඩියෙන් ඉගෙන ගත යුතු සහ සමාජයට අනුගත විය යුතු යි. ජීව විශේෂයන් තවත් විශාල කාල පරාසයක් පවතී නම් අනාගත පරම්පරාවන් අප දන්නවාට වඩා දැනගත යුතුයි. නමුත් ඒ සියල්ලට පළමුව ඔවුන්ට අති විශාල ගැටලූවක් විසදීමට සිදු වේ. එනම්, තමන්ට අවශ්‍ය ස්වාභාවික සම්පත් සහ පානීය ජලය නොලබන බිලියන ගණනක් මිනිසුන්ට ආහාර සපයන්නේ කෙසේ ද යන්නය.

ඔබ අතුරින් සමහරක් හෝ වැඩි පිරිසක් මේ කථාවේ දේශපාලනය කොහිදැයි විමසනවා ඇති. මට එය පැවසීමට සිදු වීම ගැන කනගාටුයි. නමුත්, දේශපාලනය ඇත්තේ මෙහි ය. මෙම මැදහත් වචන තුළයි.

තමන්ගේ භාවිතය සදහා තාක්ෂණය නොමැති, වර්ෂාව නොමැති, වැලිවලින් යට වූ පොළව තුළ ජල උල්පත් නොමැති පිපාසිත අප‍්‍රිකානු ජනතාවට ආහාරපාන ලබා දෙන්නේ කවුරුන් ද? දේශගුණික පොරොන්දු සදහා අත්සන් තැබූ ආණ්ඩු කුමක් කියනු ඇත්දැයි බලමු.

අප මේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ස්ථිරසාර ලෙස කටයුතු කළ යුතුයි. මට අත්‍යවශ්‍ය කරුණුවලින් ඔබ්බට විස්තර කිරීමේ වුවමනාවක් නැහැ.

මට ඉක්මනින්ම වයස අවුරුදු 90 ලබාවි. මෙවැනි අදහසක් මට කිසි දිනෙක ඇති වී නැහැ. එය උත්සාහයෙන් ලබා ගත් දෙයක් නෙවෙයි. එය හුදු අහම්බයක්, මා ඉක්මනින් ම අනෙක් කවුරුත් වගේ වේවි. අප සැමට අපගේ වාරය පැමිණෙනවා. නමුත් මිනිස් වර්ගයාට අවශ්‍ය ආධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය සම්පත් ලබා දිය හැකි, මහත් උනන්දුවකින් හා ගරුත්වයකින් වැඩ කරන කියුබානු කොමියුනිස්ට්වරුන්ගේ අදහස් එලෙස නොවී මිහිතලය මත සදාකල් පවතීවි. ඒ දේවල් ළගා කර ගැනීම සදහා අපි නිර්දය ලෙස සටන් වැදිය යුතුයි. කියුබානු ජනතාව අනභිභවනීය වන බව අප ලෝකයේ සහ ලතින් ඇමරිකාවේ අපගේ සොහොයුරන්ට දැන්විය යුතුයි.

මේ, මා මේ ස්ථානයේ සිට කථා කරන අන්තිම අවස්ථාවන්ගෙන් එකකි. සමුළුව විසින් ඡන්දය සදහා ඉදිරිපත් කර ඇති සියලූ අපේක්ෂකයන්ට මා ඡන්දය පාවිච්චි කළා. මට සවන් දීමෙන් මා වෙත කරන ලද ගෞරවයටත් , මට මේ සදහා කළ ආරාධනයටත් ස්තූතිවන්ත වෙමි. මා පළමුව ඔහුගේ දෘඩ ප‍්‍රයත්නය වෙනුවෙන් රාවුල් කස්ත්‍රෝටත්, ඔබ සැමටත්, සුභ පතමි.

අප අපගේ ගමනේ ඉදිරිය බලා පිටත් වනු ඇති. අප අඩුලූහුඩු සම්පූර්ණ කර ගත යුතු නම් එසේ කර ගත යුතුයි. මාටි, මැසියෝ, සහ ගෝමස් මෙන් උපරිම භක්තියෙන් සහ එක්සත් බලයක් ලෙස නොනවතින ගමනක යෙදිය යුතුයි.

කොමියුනිස්ට්වාදය මිහිතලය මත සදාකල් පවතීවි – ෆිදෙල්