ආගම හා විද්‍යාව අතර අරගලය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ (අද ද එම අරගලය පවතී) ආගම සහ විද්‍යාව අතර ඇති අරගලය ආගම රාජ්‍ය බලය සමඟ එකට කටයුතු කිරීම නිසා විද්‍යාවට එරෙහි මර්දනයක් ලෙස ද ක්‍රියාත්මක විය. මෙහි දී සියලු ම ආගම් විද්‍යාව සමඟ ප්‍රතිවිරෝධී වීම නිසා විද්‍යාව මර්දනය කිරීමට කටයුතු කර ඇත. එසේ වුව ද, ලොව අද ප්‍රබලව තහවුරු වී ඇති විද්‍යාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් යුරෝපය තුළ සංවර්ධනය වූ ඒවා නිසා යුරෝපයේ ප්‍රධාන ආගම වන ක්‍රිස්තියානි ආගම හා විද්‍යාව අතර ගැටුම මෙහි දී විශේෂයෙන් අවධානයට ලක් වේ.

මැවීම සහ පරිණාමය අතර අරගලය:

මැවීම පිළිබඳ ආගමික මතය

මැවීම පිළිබඳ ක්‍රිස්තියානි මතය සකස් වී ඇති ප්‍රධාන ම ආගමික ග්‍රන්ථය වන්නේ ‘ජෙනිසස්’ නමින් හැඳින්වෙන (හීබෲ           බසින් එහි තේරුම ‘ආරම්භය’ යන්න ය.)  හීබෲ බයිබලය හෙවත් පරණ තෙස්තමේන්තුවයි.

එහි ලෝකය මැවීමට අදාළ කොටසට අනුව:

දෙවියන් වහන්සේ ලෝකය මවා එහි මිනිසෙක් සහ ගැහැනියක් ද (ආදම් සහ ඒවා) නිමවා මිනිසා තමන්ගේ නියෝජිතයා ලෙස පත් කළේ ය.  නමුත්, පසුව මිනිසා දෙවියන්ට අකීකරු වීම නිසා දෙවියන් විසින් එම පාපකාරී ලෝකය විශාල ගංවතුරක් මඟින් විනාශ කළේ ය. ගංවතුරෙන් පසු ඉතිරි වූ නව ලෝකය ද, විනාශ කිරීමට පෙර එක මෙන් ම පාපකාරී වුව ද, දෙවියන් වහන්සේ එය විනාශ නොකළ අතර, එහි සිටි ඒබ්‍රහම් නම් මිනිසාට එම ලෝකය ගලවා ගැනීම සඳහා පවරන ලද අතර, දෙවියන් විසින් ඔහුට කනාන් නම් භූමිය පවරා දී එහි තාවකාලික වාසස්ථානය කර ගත් අතර, එහි දී ඔහුට අයිසැක් නම් පුතෙක් ද, ජාකොබ් නමින් මුණුපුරෙක් ද ලැබිණි. ජාකොබ්ගේ නම පසුව ඊශ්‍රායෙල් ලෙස වෙනස් වූ අතර, ඔහුගේ පුත් ජෝසප් ඇතුළු ජාකොබ්ගේ දරුවන්ගෙන් පැවත එන 70ක පමණ පිරිසක් ඊජිප්තුවේ සිට ඊශ්‍රායලයට පැමිණියේ ය. දෙවියන් වහන්සේ විසින් මෙම පිරිසට ශ්‍රේෂ්ඨ අනාගතයක් සහතික විය.”

මෙහි දී ක්‍රිස්තියානි හා ක්‍රිස්තියානි නොවන උගතුන් අතර ඇති වූ සංවාදවලින් ගැටලු කිහිපයක් මතු වූ අතර, ඒවා පහත පරිදි වේ:

  1. දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ අතින් ද? වචනයෙන් ද?
  2. උන් වහන්සේ ලෝකය මැව්වේ කුමකින් ද? යම් ද්‍රව්‍යයකින් ද? රික්තයකින් ද?
  3. උන් වහන්සේට ලෝකය මැවීමට කොපමණ කාලයක් ගත වී ද?
  4. ලෝකය මැවූ හරි ම දිනය කුමක් ද?
  5. ඉර, හඳ, තාරුකා, වල්ගා තරු ඇත්තේ කොහේ ද? දෙවියන් වහන්සේ ඒවා මැවීමේ හේතුව කුමක් ද?
  6. දෙවියන් වහන්සේ මවන ලද සතුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ ඇයි ?
  7. මිනිසාට ප්‍රයෝජනවත් නැති සතුන් ලෙස සැලැකුණු මීයන්, ගෙම්බන්, මැස්සන්, පණුවන් වැනි සතුන් මවන ලද්දේ ඇයි ?

පසුකාලීන ආගමික ග්‍රන්ථ රාශියක සිදු කර ඇත්තේ, මුල් ක්‍රිස්තියානි ග්‍රන්ථවල ඇති පැහැදිලි කිරීම්වලින් මතු වී ඇති ගැටලු හා කාලානුරූපව විද්‍යාව හා ජීවිතය විසින් එම පැහැදිලි කිරීම් අභියෝගයට ලක් වූ විට නැවත නැවත පැරැණි මුල් ග්‍රන්ථ මත පදනම් වෙමින් ඒවා පැහැදිලි කිරීමයි. පැහැදිලි කිරීම් සෑම එකක ම පාහේ තම තර්කය සනාථ කිරීමට යොදා ගත්තේ මුල් ග්‍රන්ථවල සඳහන් දේට වඩා වෙනස්ව සිතීම දෙවියන් වහන්සේට විරුද්ධව යාමක් ලෙස ය. ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසෙන් පසු ක්‍රිස්තියානි ආගම හා රජය එක්ව රාජ්‍ය පාලනයට යොමු වූ පසු මුල් ක්‍රිස්තියානි ග්‍රන්ථවල ඇති කරුණු අභියෝගයට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා විශාල දණ්ඩ නීති සංග්‍රහයක් ඇති කිරීම හා සමාජයීය කොන් කිරීමකට අදාළ වැඩපිළිවෙළක් සකසන ලදී. දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවූ බව මුල් පිළිගැනීම වී තිබුණ ද, අති විශාල සතුන් ප්‍රමාණයක් ද, ගස්වැල් ප්‍රමාණයක් ද මැවීමට සිදු වීම නිසා පසුකාලීන ග්‍රන්ථවල තම කටහඬින් විශ්වය මැවීම සිදු කළ බව සඳහන්ව තිබේ.

එම නිසා පසුව මෙම කතා පුවත් දෙක ම එක් කර දෙවියන් වහන්සේ විසින් විශ්වය සියතින් හෝ කටහඬින් නිර්මාණය කළේ ය යන සම්මුතියට එන ලදී.

දෙවියන් වහන්සේ ලොව මැවූයේ කුමන ද්‍රව්‍යයකින් ද යන ප්‍රශ්නය දේව ධර්මාචාරීන් අතර සංවාදයට ලක් විය. එය යම් ද්‍රව්‍යයකින් මැවූයේ නම්, දෙවියන් විශ්වය මැවීමට පෙර එම ද්‍රව්‍යය තිබූ බව පිළිගැනීමට සිදු වේ. එවිට ආගමික ග්‍රන්ථවල සඳහන් ‘දෙවියන් වහන්සේ විශ්වය මැවී ය’ යන අදහස බිඳ වැටේ. ශාන්ත ඔගස්ටීන් නම් ක්‍රිස්තියානි වියතාගේ මතය වූයේ “ලෝකය නිර්මාණය කරන ලද්දේ යම් ද්‍රව්‍යයකින් වුව ද, එම ද්‍රව්‍යය නිර්මාණය කරන ලද්දේ හුදු රික්තයකින් පමණක් විය යුතු බව ය.

ලෝකය මැවීමට ගත වූ කාලය පිළිබඳ ගැටලුවත් හීබෲ බයිබලයේ ම වේ. එහි එක් කතා පුවතකට අනුව දිවා-රාත්‍රී දෙකකින් යුත් දින හයක් මේ සඳහා ගත වී ඇති අතර, එක් එක් දිනයේ දී මවන ලද දේ පිළිබඳ විස්තරයක් ද වේ. දෙවැනි කතා පුවතට අනුව දෙවියන් වහන්සේ විසින් පෘථිවිය හා තාරකා පමණක් මවන ලද බව දැක්වේ.

මෙම ප්‍රතිවිරෝධය විශාල ගැටලුවක් වූ අතර, පසුව 13 වැනි සියවසේ විසූ ක්‍රිස්තියානි උගතකු වූ ශාන්ත තෝමස් ඇක්වයිනාස් විසින් මෙම සංකල්ප දෙක එකතු කර “දෙවියන් වහන්සේ විසින් මුලික මැවුම් ද්‍රව්‍යයන් එක් මොහොතක දී මවා අවසන් කළ බව ද, පසුව ඒවා අනුපිළිවෙළ කිරීම, හැඩගැස්වීම සඳහා දින පහක් ගත වූ බව”ද ප්‍රකාශ කළේ ය.

විශ්වයේ කාලය පිළිබඳ ප්‍රශ්නයේ දී දෙචියන් වහන්සේගේ දිනයක් වසර 1,000ක් බවත්, මැවීමට වසර 6,000ක් ගිය බවත්, බොහෝ ක්‍රිස්තියානි උගතුන් අතර පිළිගැනීමක් වේ. එමෙන් ම කේම්බ්‍රිජ්ජ් සරසවියේ උපකුලපති හා හීබෲ උගතකු වූ ආචාර්ය ජෝන් ලයිප්වුඞ් විසින් ලෝකය හා මිනිසා මවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 2004 ඔක්තෝබර් මස 23 වැනි දින පෙරවරු 9.00ට බව ප්‍රකාශ කළේ ය.

ඉර, හඳ, තාරකා, පෘථිවියට ඉහළින් ආරුක්කුවක ස්වරූපය ගන්නා අයුරින් ස්වර්ගයේ පහළට වැටෙන සේ එල්ලා තැබූ බවත්, ග්‍රහවස්තු හතක් ඇති බවත්, දේව දූතයන් මේවා කරකවමින් සිටින බවත්, වැස්ස ඇති වන්නේ ස්වර්ගයේ ජනෙල්වලින් දේවදූතයන් වතුර වැගිරීම නිසා බවත් පැහැදිලි කළේ ය. 19 වැනි සියවස අග දක්වා ම සරසවිවල මේවා උගන්වනු ලැබුවේ ය. වල්ගා තරු හා උල්කාපාත යනු අශුභ දෙයක් බව ද, දෙවියන් විසින් තම කෝපය පිට කිරීමට කරන ලද ඒවා බව ද පැහැදිලි කළහ.

මෙම ඉගැන්වීම් බිඳ දැමූ විද්‍යාත්මක සත්‍යය

විශ්වය පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ බවට මුල් කාලීන බැබිලෝනියානු හා ඇසිරියානු ජනප්‍රවාදවල සඳහන් වේ. ග්‍රීක දාර්ශනිකයකු වූ ඇනෙක්සි මැන්ඩර් හා ඇනෙක්සි මිනස් විශ්වය පරිණාමයක ප්‍රතිඵලයක් බවත්, සෑම දෙයක් ම එයින් විකාශනයට ලක්ව තිබෙන බවත් පැහැදිලි කළේ ය. ඇරිස්ටෝටල් විසින් ද මෙය පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ය යන්න තවත් වර්ධනය කළේ ය.

පරිණාමවාදය මැවුම්වාදය ප්‍රතික්‍ෂේප කරන්නේ එසේ වුව ද, මෙම පරිණාමවාදය පිළිබඳ මතය විද්‍යාත්මක උපකරණවල දුර්වලතාවයත්, ආගමික ග්‍රන්ථවල කරුණු එලෙස ම පවත්වාගෙන යාම සඳහා කරන ලද දැවැන්ත මැදිහත් වීමත්, ආගමික මතයට එරෙහි මත දැඩි ලෙස මර්දනය කිරීමත් නිසා සියවස් 20කට අධික කාලයක් යටපත් වී පැවැතියේ ය.

එම වසර 2000ක නිහඬතාවය බිඳින ලද්දේ ජියෝර්දානෝ බෲනෝ විසිනි.

1548 ඉතාලියේ නේපල්ස් රාජධානියට අයත් නේලාහි උපත ලැබූ බෲනෝ කවියෙකු, ගණිතඥයකු, දාර්ශනිකයකු, තාරකා විද්‍යාඥයකු විය. ඔහු විසින් ;

  1. විශ්වය අනන්ත බවත්, එහි කේන්ද්‍රයක් නැති බවත්,
  2. නිහාරිකා උපකල්පනය.
  3. තාරකා යනු අපගේ හිරු වැනි ම දේ බවත්, එම තරුවලට අයත් ග්‍රහලෝකවලත් ජීවය පැවැතිය හැකි බවත්,
  4. කොපර්නිකස්ගේ ඉගැන්වීම් නිවැරැදි බව.
  5. මරියතුමියගේ කන්‍යාභාවය ප්‍රශ්න කිරීම.

ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථවල මූලික විද්‍යාත්මක කරුණු පදනම් වී තිබුණේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පමණ සිට ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් මත ය. බෲනෝ විසින් ඇරිස්ටෝටල්ගේ විද්‍යාත්මක මත 120කට එරෙහිව කෘතියක් ද ලියා එවකට වසර 2,000ක් පැරැණි ඇරිස්ටෝටල්ගේ තර්ක බිඳ දැමී ය. බෲනෝගේ ඉහත ඉගැන්වීම්වලින් මැවුම්වාදය බිඳ වැටීම, පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය යන මතය බිඳ වැටීම, වෙනත් ග්‍රහලෝකවල ද ජීවය පැවැතිය හැකි බව ආදී සොයා ගැනීම් මඟින් දෙවියන් වහන්සේගේ සර්වබලධාරී බව අභියෝගයට ලක් වීම සිදු විය.

1592දී ඔහුව වෙනීසියේ දී අත්අඩංගුවට ගෙන 1593දී රෝමයට එවූ අතර, 1600දී මරා දමන තෙක් බිම්ගෙයක රඳවා තබන ලද අතර, 1600 ජනවාරි 20 වැනි දින 8 වැනි ක්ලෙමන්ට් පාප්තුමා විසින් නියෝග කළ පරිදි පණපිටින් පුළුස්සා දැමීමට තීරණය කෙරිණි. එම අවස්ථාවේ දී බෲනෝ කළ ප්‍රකාශය ඉතිහාසගත වී තිබේ.

“ඔබ මට එරෙහි මෙම නියෝගය ප්‍රකාශ කරන්නේ මට ද වඩා සත්‍යයට බියෙන් බව මම දනිමි.”

1600 පෙබරවාරි මස 17 වැනිදා රෝම වෙළෙඳපොළ ඉදිරිපිට දී පුළුස්සා ඝාතනය කිරීමට පෙර ඔහුගේ වචන පල්ලියට එරෙහි නපුරු වචන වූ බැවින්, විශේෂයෙන් සැකැසූ යකඩ ඇඳුමකින් ඔහුට මුකවාඩම් දමා පුළුස්සා දමන ලදී. ඔහුගේ කෘති සියල්ල තහනම් කරන ලදී.

බෲනෝගේ මරණින් පසු එම ආසන්න කාලය තුළ බිහි වූ විශිෂ්ඨ උගතුන් පස් දෙනෙකු විසින් මැවුම්වාදය පිළිබඳ මතයට අවසාන ඇණ ගසන ලදී.

  • කොපර්නිකස්
  • කෙප්ලර්
  • ගැලීලියෝ
  • රෙනේ ඩෙකාර්ඞ්ස්
  • අයිසැක් නිව්ටන්

මොවුන්ගේ ඉගැන්වීම් මඟින් දේවදූතයන් විසින් ග්‍රහලෝක ඉර, හඳ කරකැවීම හා මෙහෙයැවීම, ලෝකයට ජලය සැපයීමට ස්වර්ගයේ ජනේල ඇරීම හා වැසීම, ධූමකේතු හා උල්කාපාත මිනිසාගේ පාපයන් නිසා එවීම. දඬුවම් දීම පිණිස අකුණු සැර එවීම, කෝප වූ විට පොළොව කම්පා කරවීම වැනි අදහස් සුනුවිසුණු විය.
එසේ වුව ද,

කොපර්නිකස්     –           පිටුවහල් කළ අතර, ඔහුගේ ග්‍රන්ථ තහනම් කරන ලදී.

කෙප්ලර්            –           රටින් රට මාරු වෙමින්, පොත් පත් තහනම් කර ගමෙන්, සරසවිවල දැරූ තනතුරුවලින් නෙරපීම.

ගැලීලියෝ         –           කෘති තහනම් කිරීම, සිරගත කිරීම.

රෙනේ ඩෙනාර්ට්ස්-         සමාජයෙන් කොන් කිරීම. කෘති තහනම් කිරීම.

අයිසැක් නිව්ටන්  –           ගුරුත්වාකර්ෂණය නිසා දෙවියන්ගේ බලපෑම අඩු වීම චෝදනා ඉදිරිපත් කිරීම.

මිනිසා සහ ජීවීන් මැවීම හා පරිණාමවාදය අතර අරගලය

මුල් ම ආගමික ග්‍රන්ථවලට අනුව (ජෙනිසිස් – හීබෲ බයිබලය):

“දෙවියන් වහන්සේ මැටි පිඬකින් ප්‍රථම මිනිසා නිර්මාණය කොට ඔහුගේ සිරුරේ පැත්තකින් ලොව ප්‍රථම ගැහැනිය ඉවතට ඇද ගන්නා ලදී. මැවුම්කරුවාණන් වහන්සේ සිය අතින් ම මිනිසා නිර්මාණය කළ අතර ගොඩ බිම සහ ජලයේ වසන සියලු සතුන් දෙවියන් වහන්සේගේ කටහඬින් සිය දහස් ගණනින් නිර්මාණය විය.”

“මෙම සියලු සතුන්ට ආදම් විසින් නම් ලබා දුන් අතර, මහා ගංවතුරින් බේරීමට නෝවාගේ නැවට ගොඩ වූ මෙම සතුන් නෝවාගේ ආරුක්කුවේ ආරක්‍ෂාව ලැබ කිසිදු වෙනසකින් තොරව ප්‍රජාව බෝ කරමින් අද දක්වා ම පවතී.”

මෙම ආගමික ග්‍රන්ථවල මතය ආරක්‍ෂා කිරීමට විද්‍යාවට හා ජීවිතයට එරෙහිව දේව ධර්මාචාර්යවරු කටයුතු කළහ. එසේ වරින්වර මතු වූ අභියෝගවලට දේව ධර්මාචාර්යවරුන් දුන් පිළිතුරු හා ක්‍රියාමාර්ග:

ගැටලු 1.

         දෙවියන් වහන්සේ මැවූ සියලු සතුන් අද දක්වා ම පවතින්නේ නම්, පුරා විද්‍යා ගවේෂණවල දී ප්‍රාග් ඓතිහාසික පොසිලවල සිටින සතුන් කවුරුන් ද?

 – පිළිතුර:  ඒවා ලොව ජීවත්ව සිටි සතුන්ගේ අවශේෂ කොටස් නොවන බවත්, මැවුම්කරුවාණන් වහන්සේ විසින් අත්හදා බැලීම සඳහා අඩක් මවා අත්හැර දමන ලද ඒවා ලෙස ය. එමෙන් ම විවිධ පාංශු ස්ථර තුළ මෙම පොසිල තැන්පත් කරන ලද්දේ මිනිසාගේ කුතුහලය සංසිඳලීමට ය.

ගැටලු 2.

         මහා කාරුණික දෙවියන් විෂකුරු සර්පයන්, දිවියන් ආදීන් මෙන් ම කටු පඳුරු ආදිය මැව්වේ ඇයි ?

 – පිළිතුර:  මිනිසා විසින් කරන ලද පාපයන් ය. ආදම් දෙවියන්ට අකීකරු වීමට ප්‍රථමයෙන් මරණයක් නොවී ය. එහෙයින්, කුරිරු හෝ විෂකුරු ඒවා ද නොවී ය. ආදම් පාපයේ ගැලීමට පෙර සියලු සතුන් අහිංසක වූ අතර, ඉන් පසු සතුන් විෂ සහිත බවටත්, භයානක බවටත් පත් කරන ලද්දේ මිනිසා බියගැන්වීමට ය. 18 වැනි සියවසේ දී පවා උරගයන් ආදම්ගේ පාපයට පෙර කෙළින් සිට ගත් බවත්, ඔවුනට බඩගෑමට සිදු වූයේ දේව ශාපයෙන් පසුව බවත් පිළිගැනිණ.

ගැටලු 3.

        මිනිසාට ප්‍රයෝජනවත් හෝ මිනිසා බිය ගැන්වීමට හෝ කිසිදු අදාළත්වයක් නැති මීයන්, ගෙම්බන්, මැස්සන්, පණුවන් වැනි සතුන් දෙවියන් වහන්සේ මැව්වේ ඇයි ?

 – පිළිතුර: 4 වැනි සියවසේ සිටි ක්‍රිස්තියානි උගතකු වූ ශාන්ත ඔගස්ටීන් ලීවේ එසේ කළේ ලෝකයේ සැලැසුම සම්පූර්ණ කිරීමට බව ය.

ගැටලු 4.

       අද දක්වා සිටින සියලු ම සතුන් නෝවාගේ නැවට ගොඩ වී දිවි බේරා ගත් අය නිසා එන්න එන්න ම නව ජීවීන් සොයා ගැනීම නිසා (විශේෂයෙන් ම දේශගවේෂණය මඟින්) නෝවාගේ නැවේ ඉඩ පිළිබඳ ප්‍රශ්නයක් නොවූයේ ද?

පිළිතුර වූයේ නෝවාට නැව තැනීමට වසර 100ක් ම ගත වීමෙන් පෙනී යන්නේ එය ඉතා විශාල නෞකාවක් බවත්, සියලු ම සතුන්ට එහි ඉඩකඩ තිබූ බවත් ය.

වර්තමානයේ දී ඉතා අඥාන ලෙස පෙනෙන මෙම පැහැදිලි කිරීම් එවකට ලොව ම පිළිගෙන සිටි ඉහළ ම දේව ධර්මාචාර්යවරුන් විසින් ඉදිරිපත් කිරීම නිසා ද, ඔවුන් පල්ලිය හා රජයට අයත් ආයතන ප්‍රධානින් වූ නිසා ද ඉහත පැහැදිලි කිරීම්වලට වසර 1,800ක් විද්‍යාත්මක මතය යටපත් කර දමා ජයග්‍රාහීව සිටීමට හැකි විය.

මිනිසා සහ සතුන් මැවීමට එරෙහි විද්‍යාවේ ප්‍රයාමය:

  • අතීත බොහෝ මානව ශිෂ්ඨාචාරවල ජීවීන් බිහි වන්නේ පරිණාමීය ක්‍රියාවලියකින් ය යන මතය අවබෝධ කොටගෙන තිබිණි.
  • මිනිස් සංහතියේ සම්භවය හා වර්ධනය පිළිබඳ මැවුම්වාදය වෙනුවට විද්‍යාත්මක ප්‍රවේශයක් ආරම්භ කළ පළමුවැනියා ඇරිස්ටෝටල් ය. ඔහුගේ ස්වයංජනන වාදය වැරැදි වුව ද, එය දෙවියන් විසින් සතුන් මැවීම යන්න දරුණු අභියෝගයට ලක් කළේ ය. නමුත්, මෙම මතය ඉතා ඉක්මනින් ම දේවධර්ම ආයතනවලින් යටපත් කළේ ය.
  • ඉන් වසර 1,500කට පසුව 12 වැනි හා 13 වැනි සියවස්වල විසූ අබ්දි අල්ලා මිප් ඊජිප්තුවේ ස්වභාව ඉතිහාසය පිළිබඳ විද්‍යාත්මක පක්‍ෂයට බර වූ අධ්‍යයනයක් කළ අතර, දෙවැනි පෙඩ්‍රික් අධිරාජයා ද විද්‍යාත්මක ප්‍රවර්ධන ප්‍රයත්නය වර්ධනය කළේ ය. ඔහුගේ ඉදිරිපත් කිරීම් පල්ලිය විසින් අපහාසයට ලක් කරන ලද්දේ ප්‍රථමයා මුස්ලිම් භක්තිකයකු බවත්, දෙවැන්නා මිථ්‍යාදෘෂ්ටිකයකු බවත් ප්‍රකාශ කරමිනි.
  • වසර දෙදහසක පමණ කාලයක් දේව ධර්මානුකූල පදනම යටතේ සොබාදහමේ සිදුවීම් විග්‍රහ කිරීම වෙනුවට විද්‍යාත්මක පදනමක් යටතේ අධ්‍යයනය ආරම්භ වූයේ 16 වැනි සියවසේ මැද භාගයේ දී ය.
  • එහි ආරම්භකයන් වූයේ එංගලන්තයේ එඞ්වඞ් වොට්සන් හා යුරෝපයේ නෝරාඞ් හෙස්තර් ය.
  • මේ සමඟ ම විද්‍යාත්මක පදනමක් මත සොබාදහම අධ්‍යයනය කිරීමේ සංගම් බිහි විය. 1560 ඉතාලියේ නේපල්ස්හි ආරම්භ වූ ස්වභාවධර්ම අධ්‍යයන ඇකඩමිය එබන්දකි.
  • මෙයට බිය වූ පල්ලිය මෙය ඇතුළු අනෙකුත් විද්‍යා ව්‍යාපාර මැඬ පැවැත්වී ය.
  • මේ මර්දනය නිසා වසර 100ක් යන තෙක් නව විද්‍යා සංගම් බිහි නොවිණි.
  • 1645දී ලන්ඩන් හි දී රාජකීය විද්‍යා සංගමය ද, ඊ ළඟට ප්‍රංශ විද්‍යා ඇකඩමිය ද, ඉතාලියේ ඩෙල් සිමෙන්ටෝ ඇකමිය ද ආරම්භ විය. මේවා අනුගමනය කරමින්, ලොව පුරා තවත් සංගම් ආරම්භ වූ අතර, එය සිදු වූයේ ද මර්දනය මධ්‍යයේ ය. උදාහරණයක් ලෙස සිර අඩස්සියේ සිටි මහා විද්‍යාඥ ගැලීලියෝ මිය ගියේ 1642 දී වන අතර, ඔහුගේ මෘත ශරීරය පවුලේ සුසාන භූමියේ තැන්පත් කිරීම තහනම් කළ පල්ලිය එම සොහොන මත කිසිවක් ලිවීම ද තහනම් කළේ ය.
  • මර්දනයට අමතරව අල්ලස ද යොදා ගත් පල්ලිය ඉතාලියේ පෙලාරෙන්ටයින් විද්‍යා ඇකඩමියට සහාය දුන් ලියෝපෝල්ඞ් ඩි ටෙඩිසි කුමාරයාගේ සහාය ඉන් ඉවත් කිරීම සඳහා අල්ලසක් ලෙස ඔහුට කාදිනල් තනතුරක් ලබාදෙන ලදී.
  • 17 වැනි සියවස මැද දී විද්‍යාඥ ෆ්‍රැන්සිස්කෝ රෙස් විසින් කුඩා කෘමීන් ඇතුළු සතුන් දෙවියන් විසින් නොමවන ලද බවත්, එමෙන් ම ජලය හා අපද්‍රව්‍යවලින් ඕපපාතිකව ද බිහි නොවන බවත්, මෙම සෑම ජීවියකු ම බිජුවටින් පැවත එන බවත් ඔප්පු කළේ ය.
  • එංගලන්තයේ ස්වභාව විද්‍යාඥ ජෝන් රේ ද මෙම සොයා ගැනීම ම කළ නමුත්, පල්ලියේ මැදිහත් වීම නිසා ඔහු “ඒ ඒ සත්ත්ව වර්ගවල අභිවෘද්ධිය හා ඒ ඒ ප්‍රදේශයන්ට ගැලපෙන අයුරින් සත්ත්වයන් හැඩ ගැසීමෙන් දෙවියන් වහන්සේගේ ඥාන මහිමය හෙළි වන බව ‘දෙවියන්ගේ ඥාන මහිමය’ නම් පොතේ 1671දී ලියා පළ කළේ ය.
  • කොලොම්බස්, වස්කෝ ද ගාමා, මැගලන්, ඇමෙරිනෝ වෙස්පුචී ඇතුළු දේශගවේෂකයන්ගේ තොරතුරුවලින් ද, ලොව විවිධ ප්‍රදේශවල විශේෂ සත්ත්ව හා මානව ප්‍රභේද ගැන පැහැදිලි කෙරිණි. මෙය දේවධර්මයට මරු පහරක් විය. ශාන්ත පෝල්ගේ ඉගැන්වීම් අනුව වසර දහස් ඟණනක් තිස්සේ ස්ථාපිත කර තිබූ පටු දේවධර්මය සියලු ම රටවල ප්‍රචාරය කළ බවට වූ ව්‍යාපාරයට ද මෙමඟින් පහර වැදිණි. පසුව කොලොම්බස්ගේ චාරිකා සඳහා අනුග්‍රහය ලබා දීම පවා පල්ලිය මැදිහත් වී නතර කෙරිණි.
  • 1667දී ඒබ්‍රහම් මිල්ස් විසින් රචනා කළ ‘ජීවිතයේ සම්භවය හා මිනිසාගේ සංක්‍රමණය’ නම් ග්‍රන්ථය මඟින් එක් එක් ප්‍රදේශවල හමු වූ සත්ත්වයන් ඒ ඒ ප්‍රදේශවල ආරම්භ වූ සත්ත්වයන් බව සාධනය කළේ ය. නමුත්, බිය විසින් ඔහු එම මතය සාධාරණය කළේ හීබෲ බයිබලයේ සඳහන් “පෘථිවියේ සහ ජලයේ ජීවින් බිහි කළ හැකි ය.” වැකිය උපුටා දක්වමිනි.
  • මෙම විද්‍යාඥයාට එරෙහිව ප්‍රබලව කටයුතු කළ ක්‍රිස්තියානි ප්‍රබලයන් වූයේ රෝමානු කතෝලික පල්ලියේ කාදිනල් වයිස්මාන්, ඇංග්ලිකානු නිකායේ ඩීන් බක්ලන්ඞ්, ස්කොට්ලන්ත පල්ලියේ හියුමිලර් වැනි අයයි.
  • අවිද්‍යාත්මක චින්තයට එරෙහිව ප්‍රෞඪ, එඩිතර අභියෝගයක් කළේ අප කලින් ද සාකච්ඡා කළ පරිදි පියෝර්දානෝ බෲනෝ ය. ඔහු තමාගේ කුරිරු ඉරණම දැක දැක විද්‍යාව වෙනුවෙන් … දිවි පිදුවේ ය. එය අනාගත විද්‍යාඥයන්ට විශාල ශක්තියක් විය.
  • ඊ ළඟට පල්ලියේ උදහසට ලක් වූයේ රෙනේ ඩෙතර්ට්සින් ය. ඔහු ද විද්‍යාත්මක චින්තනය වෙනුවෙන් කටයුතු කිරීම නිසා අනවරත ගර්හාවට, පීඩාවට, තහංචිවලට ලක් වූයේ ය. ඔහුගේ කෘති තහනම් කළේ ය.
  • විද්‍යාත්මක චින්තනය වෙනුවෙන් කටයුතු කළ ලිබ්නිට්ස් ඕස්ටි්‍රයාවේ වියානාහි විද්‍යා ඇකඩමියක් ආරම්භ කිරීමට දරන ලද උත්සාහය 1712දී ‘ජේසුයිට් නිකායේ’ බලධාරීන් විසින් තහනම් කළේ ය.
  • මේ යුගයේ ම සිටි බෙනඩික්ට් ස්පිනේසා, හියුමි හා එම්මානුවෙල් කාන්ට් යන අයට ද පල්ලියේ දැඩි බලපෑම එල්ල විය.
  • 18 වැනි සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ ජීවත් වූ ස්වාභාවික විද්‍යාඥයකු වූ බෙකෙයිස් ඩි මයිලෝ සත්ත්ව පරිණාමය පිළිබඳ නූතන මතයට බොහෝ සමාන සංකල්පයක් ඉදිරිපත් කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමනට මුහුණපෑමට සිදු වූ පීඩාවන්ගෙන් ගැලවීමට ඔහු තම ග්‍රන්ථය ලීවේ ආරූඪ නමකිනි. එම ග්‍රන්ථය ඔහුගේ ජීවිත කාලය තුළ පළ කිරීමට බැරි විය
  • ඔහු සතුන් කෙමෙන් වෙනස්වීම්වලට බඳුන් වන බවත්, මෙය සිදු වන්නේ පූර්වගාමීන්ගේ අංගයන් සංශෝධනය වීමෙන් බව ඔහු ප්‍රකාශ කළේ ය.
  • 18 වැනි සියවස මැද දී ස්වාභාව විද්‍යාඥයකු වූ ලීනියස් විසින් ශාකවල ලිංගික ප්‍රජනනය පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ ය. මිනිසුන්ගේ ලිංගික ක්‍රියා වැරැදි දෙයක් ලෙස සැලැකු පල්ලියට ශාකවල ලිංගික ක්‍රියා පිළිබඳ මතය විශාල හිසරදයක් විය.
  • 18 වැනි සියවසේ ජීවීන්ගේ උපත හා පෘථිවියේ උපත සහ වර්ධනය ගැන දිගුකාලීන පර්යේෂණයක යෙදී සිටි විද්‍යාඥයකු වූ පවුන් විසින් කළ සොයා ගැනීම් අඩංගු ග්‍රන්ථයක් පළ කළ අතර, එයට පල්ලියෙන් එල්ල වූ බලපෑම නිසා තම ග්‍රන්ථයේ ඇති පෘථිවියේ බිහි වීම හා මෝසස්ගේ කතා පුවතට විරුද්ධ සියලු කරුණු ඉල්ලා අස් කර ගන්නා බව වෙන ම ප්‍රකාශයක් අච්චු ගසා බෙදාහැරීමෙන් සිදු කළේ ය.
  • පරිණාමය පිළිබඳ මතය බාධක මැද ප්‍රචාරය කළ විද්වතුන් වූයේ එංගලන්තයේ ඉරාස්ටස්, ඩාවින්, ප්‍රංශයේ මෝපටියා, ස්විට්සර්ලන්තයේ ඔතෙර්, ජර්මනියේ ගොතේ වැනි අය ය.
  • මී ළඟට පරිණාමවාදය පිළිබඳ වැදගත් ම මතය ඉදිරිපත් කළේ ප්‍රංශයේ ලමාර්ක් ය. පසුව මෙම මතය ව්‍යාප්ත කි්රීමට පෙරමුණ ගත් කූවියර් නම් ප්‍රබල ජීව විද්‍යාඥයාට රාජ්‍යයේ බලපෑම මත තම විද්‍යාත්මක චින්තනය අත්හැරීමට සිදු විය.
  • 1831දී එංගලන්තයේ ආචාර්ය වෙල්ස් මිනිස් වර්ගයාගේ විවිධත්වය ස්වාභාවික වරණය තුළින් සිදු වන බව පෙන්වා දුන්නේ ය. මේ වන විට මැවුම්වාදයට එරෙහි විද්‍යාත්මක මතය හොඳින් තහවුරු වී තිබුණ ද, පල්ලිය මඟින් මර්දනය හා යටපත් කිරීම් කරමින් සිටියේ ය.

චාල්ස් ඩාවින් හා පරිණාමවාදය:

            1854 ජුලි 01 වැනිදා ලන්ඩන් ලිනියස් සමාජයේ රැස්වීමකට පර්යේෂණ පත්‍ර දෙකක් ඉදිරිපත් කළේ ය. ඒ චාල්ස් ඩාවින් හා ඇල්ප්‍රඞ් රසල් වෙල්ස් විසිනි. එමඟින් ස්වාභාවික වරණය මඟින් පරිණාමය සිදු වන බව සනාථ කළේ ය. මෙය මැවුම්වාදයටත්, මැවූ දින පටන් ම සතුන් වෙනසක් නොමැතිව සිටින්නේ ය යන්නටත් විශාල ප්‍රහාරයක් විය.

1831 සිට වසර පහක් බීගල් නැවේ සංචාරවලින් මෙම නිගමනවලට පැමිණ සිටි ඔහු 1844 දී මෙම අදහස ප්‍රංශයේ ජෝසප් හූකර් විද්‍යාඥයාට සැල කර සිටි අතර, බිය හා වෙනත් හේතු නිසා වසර 15ක් ම එය ඉදිරිපත් නොකර සිටියේ ය. මෙය මැවුම්වාදයට අවසාන මාරක ප්‍රහාරය ලබා දුන් අතර, කෘතිය වේගයෙන් විවිධ භාෂාවලට පරිවර්තනය වී අලෙවි වී ගියේ ය. එමෙන් ම පල්ලියේ බලපෑම නිසා මර්දනය වී තිබුණු පරිණාමවාදය පිළිබඳ සංකල්පය ස්වභාව විද්‍යාඥයන් වන ස්පෙන්සර්, වොලස්, මින්සෙල්, ටයිලර් ආදීන්ගෙන් තවත් වර්ධනය විය.

මේ සමඟ පරිණාමවාදයට එරෙහි පල්ලියේ යෝධ ප්‍රහාරය ආරම්භ කෙරිණි. පළමු විශාල ප්‍රහාරය ඔක්ස්ෆර්ඞ්හි ඇංග්ලිකානු පල්ලියෙන් ආරම්භ වී යුරෝපයේ ද, ඇමෙරිකාවේ ද ප්‍රබල මට්ටමට පත් විය.

  • ඩාවින් මිනිසකු බවත්
  • මිනිසා වඳුරෙකුගෙන් පැවත එන්නේ යැයි විශ්වාස කිරීම මිනිසාට කරන අවමන් කිරීමක් බවත්,
  • ඩාවින් පවසන පරිදි මිනිසුන්, වඳුරන්, බෙල්ලන්, … ඇතුළු හැම සතෙකු ම වර්ධනය වූයේ එක ම බීජයකින් නම්, එක් එක් සතුන්ගේ මාංශ වෙනස් වන්නේ කෙසේ ද?

            ආදී වශයෙන් මත පළ කෙරිණි.

1863දී ඩාවින්වාදයට පක්‍ෂව :

  1. භූ විද්‍යාඥයකු වූ චාර්ලිස් ලිසාල් ‘මිනිස් වර්ගයාගේ ඉතිහාසය’ කෘතිය පළ කරමින්,
  2. විද්‍යාඥ හක්ස්ලිගේ ‘සොබාදහමේ මිනිසාට හිමි ස්ථානය’ නම් ග්‍රන්ථය ද පළ විය.
  • ඩාවින් වයිනිට් 1871දී ‘මිනිසාගේ සම්භවය’ නමින් කෘතියක් රචනා කරන ලදී.

  • 1870න් පසු ඩාවින්වාදයට ප්‍රහාරය එල්ල කරනවාත් සමඟ ම ඩාවින්වාදය හා දේවධර්මවාදය අතර සම්මුති විග්‍රහයක් ඇති කිරීම සුදුසු බව දේවධර්ම ආචාර්යවරුන්ට පෙනී ගිය හෙයින්, ඒ ව්‍යාපාරය අරඹන ලදී.
  • ඒ අනුව ඩාවින් මිය ගිය විට ඔහුගේ මෘත ශරීරය එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ මිහිදන් කිරීම එම සම්මුතිය සඳහා ගත් ප්‍රබල පියවරක් විය.
  • කෙසේ වුව ද, රෝමානු කතෝලික රටවලට වඩා ප්‍රෙතෙස්තන්ත හා නව ආගමික ප්‍රතිසංස්කරණ බලවත් වූ රටවල (ඇමෙරිකාව) ඩාවින් විරෝධය උපරිම විය.

ඒ අනුව;

  1. කේම්බ්‍රිජ්ජ්හි ටි්‍රනිටි විද්‍යාලයේ පුස්තකාලයේ ඩාවින්ගේ ‘ජීවීන්ගේ සම්භවය’ කෘතියේ පිටපතක් තැන්පත් කිරීම ප්‍රතික්‍ෂේප කළේ ය.
  2. ඩාවින්වාදය පිළිගත් සියලු ම සරසවි ආචාර්යවරුන් ඇමෙරිකාවේ බේරුට් විශ්වවිද්‍යාලය විසින් ඉවත් කරන ලදී.
  3. වැන්ඩර්බිල්ට්හි ටෙනීස් සරසවියේ ප්‍රවීණ ආචාර්යවරයකු වූ ආචාර්ය විනිසෙල් ඩාවින්වාදය පිළිගැනීම නිසා සේවයෙන් පහ කරන ලදී.
  4. 1828දී ස්පාඤ්ඤ විද්‍යාඥයකු වූ ආචාර්ය විලී මරාන්ගේ කැනරි දූපත්වල සත්ත්ව පරිණාමවාදයේ ක්‍රියාවලිය ගැන ලියූ කෘතිය බිෂොප්තුමා විසින් තහනම් කර විකුණා ඇති සියලු ම ග්‍රන්ථ පල්ලියට භාර දෙන ලෙස නියෝග කළ අතර, ආචාර්යවරයා එම නිකායෙන් නෙරපනු ලැබී ය.

භූ විද්‍යාව හා පෘථිවියේ හැඩරුව පිළිබඳ විද්‍යාවේ අරගලය:

දේව ධර්මයට අනුව ස්ථාපිත  මතය වූයේ,

  1. “දෙවියන් වහන්සේ පළමුව විශ්වයේ වහළය ලෙස ස්වර්ගය මවා දෙදිනක් එය අහසේ පා වෙන්නට සැලැස්වූහ. දින තුනකට පසුව පෘථිවය මව් අහසට යටින් තැන්පත් කළහ.” -16 වැනි සියවසේ දේවධර්ම ග්‍රන්ථ
  2. පෘථිවිය චතුරස්‍රාකාර බව:

            “එහි වහළය වූ අහස ඝන ලෝහමය තලයක් විය. එම ලෝහමය තලය පෘථිවියේ සිව් කොණින් ඉහළට නැඟුණු යෝධ      කුළුණු හතරක් මත රඳා පවතී. ස්වර්ගය දරා සිටි ජලතලය එම ලෝහ අහස් තලයට ඉහළින් පිහිටියේ ය. ලෝහ තලයට             යටින් ලොවට ආලෝකය ලබා දීම සඳහා ඉර, හඳ, තරු එල්ලා තිබිණි. අහස් තලයේ තැන තැන වූ කවුළුවලින් දෙවියන්        විසින් ජලය පහළ ලොවට එවා වර්ෂාව ඇති කරනු ලැබේ.” මෙවැනි චිත්‍ර විශාල දේවස්ථානවල තිබේ.

                                                                                                                        -හීබෲ බයිබලය.

ලෝකයේ විශාලත්වය:

දිගින් දින 400ක ගමන් දුරකින් ද, පළලින් දින 200ක ගමන් දුරකින් ද වේ. මෙම චතුරස්‍ර පෘථිවිය මහා සාගර හතරකින් වට වී තිබිණි. මෙම මුහුදුවලට ඔබ්බෙන් ඉහළට නැඟුණු යෝධ තාප්ප හතර මත ස්වර්ගය පිහිටා ඇති තලය වේ.

                                                                                                                        -දේවධර්ම ග්‍රන්ථ …

පෘථිවියේ මාධ්‍යය ජෙරුසලම බව:

ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගසන ලද්දේ ද, පසුව ආදම් හා ඒවා විෂ සහිත ගෙඩි කෑ ගස තිබුණේ ද ජෙරුසෙලමේ එක ම ස්ථානයක ය.

පෘථිවිය ගෝලාකාර නම්, ප්‍රතිවිරුද්ධ දිශාවල ඇති දේශවල ජීවත් වන්නවුන් පෘථිවියෙන් ඉවතට ඇද නොවැටෙන්නේ ඇයි?

4 වැනි සියවසේ සිටි ප්‍රබල ක්‍රිස්තියානි උගතකු වූ ශාන්ත ඔගස්ටීනු පෘථිවියේ ගෝලාකාර බව පිළිගත්තේ ය. එසේ වුව ද, ප්‍රතිවිරුද්ධ දිශාවල ඇති දේශවල මිනිසුන් සිටිය නොහැකි බව ඔහු කීවේ ය. එය එසේ වූයේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනයේ දී උන් වහන්සේ අහසින් බැසි ආකාරය දැක ගන්නට ඔවුනට අවස්ථාවක් නොලැබෙන බැවින්, එය විය නොහැකි බව ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ ය.

මිථ්‍යාවට එරෙහි භූවිද්‍යාවේ අරගලය:

  • ජනප්‍රවාදවල පෘථිවිය ගෝලාකාර බවට කරුණු ඉදිරිපත් වී තිබීම.
  • පෘථිවිය ගෝලාකාර බව ප්‍රකාශ කළ ප්‍රකට දාර්ශනිකයන් වූයේ ඇරිස්ටෝටල්, පයිතගොරස්, ප්ලේටෝ යන අයයි. නමුත්. මෙම මතය ඉදිරියට වර්ධනය නොවූයේ ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේ සිට දේවධර්ම ආයතනවලට පිටුපෑමට වූ බිය විසිනි.
  • වසර 1,300කට පමණ පසු ඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩි්‍රයාවේ ක්ලෙමන්ට් හා ඔරිගන් ද, ඇල්බට් අධිරාජයා, ප්‍රකට ක්‍රිස්තියානි උගතකු වූ ශාන්ත තෝමස් ඇක්වයිනාස්, ඩාන්ටේ විසින් ද පෘථිවිය ගෝලාකාර බව පිළිගත්හ.
  • නමුත්, පෘථිවිය පැතලි බවට වන මතය තව දුරටත් මුල් බැසගෙන තිබිණි.
  • හය වැනි සියවසේ ගාසාහි සිටි ප්‍රොතේපියස් හා ශාන්ත ඉයදෝර් පෘථිවිය ගෝලාකාර බව ප්‍රකාශ කළ නමුත්, ප්‍රතිවිරුද්ධ දිශාවල ඇති රටවල ජීවීන් සිටින න පිළිනොගත්තේ පල්ලියේ බලපෑම නිසාවෙනි.
  • අට වැනි සියවසේ දී පාපී ජනතාව ද මැදිහත් වී ප්‍රතිවිරුද්ධ දිශාවල මිනිසුන් නැත යන මතය තහවුරු කිරීමට කටයුතු කළෙන් වසර 500ක් යන තෙක් එම මතය නැවත ඉස්මතු වූයේ නැත.
  • 1316දී ප්‍රතිවිරුද්ධ දේශවල මිනිසුන් සිටින බවට මත ප්‍රකාශ කිරීම නිසා අබානෝ පීටර් ධර්මාධිකරණයෙන් වරදකරු වූ අතර, පුළුස්සා දැමීමෙන් බේරුණේ අහම්බෙනි.
  • 1327දී බොලොඤ්ඤාවේ මහාචාර්ය සෙකෝ ඩි ඇස්කෙලි මන්ත්‍රකරුවකු ලෙස චෝදනා කොට ප්ලෝරන්ස්හි දී පණපිටින් පුළුස්සා මරා දමන ලදී. ඊට අමතරව පීසාහි තැටිගේ සැන්ටෝ පූජාසනයේ බිත්තිවල මහාචාර්ය ඇස්කෙලි අපායේ ගින්නෙන් දැවෙන හැටි චිත්‍රණය කරවූයේ ය.
  • ලෝකය ගෝලාකාර බව හා වෙනත් දේශවල මිනිසුන් සිටින බව අත්දුටු කොලොම්බියාව පල්ලියට නිර්දය ලෙස පහර දුන්නේ ය.
  • පෘතුගාලයේ කූමි බිෂොප්තුමාගේ චිත්‍ර නිර්දය අපහාසයට ලක් කළේ ය.
  • ස්පාඤ්ඤයේ බිස්කූන් ශාන්ත ඔගස්ටීනුගේ, ශාන්ත පොලිගේ උද්ධෘත හා තීන්තවලින් ඔහුට පහර දුන්නේ ය.

                        1519දී භූවිද්‍යාව විශිෂ්ඨ ජයග්‍රහණයක් කළේ ය. එනම්, මැගලන්ගේ සුප්‍රකට වාර්තාව මඟින් මෙම චාරිකාව මඟින් ලෝකය ගෝලාකාර බවත්, ප්‍රතිදේශවාසීන් තමනට මුණගැසුණු බවත් ඔහු ප්‍රකාශ කළේ ය. එහෙත්, ලෝකය ගෝලාකාර බව පිළිගැනීමට වියතුන්ට තවත් වසර 200ක් ගිය අතර, ඔවුන් මැගලන් ප්‍රතික්‍ෂේප කළේ ය.

                        අවසානයේ ප්‍රංශ ක්‍ෂේත්‍ර විද්‍යාඥයන් විසින් සමක හා ධ්‍රැව ප්‍රදේශවල අතර අංශක සංඛ්‍යාව මැනීමෙන් මෙන් ම ඔරලෝසුවේ බට්ටා පැද්දීමේ ක්‍රමවේදයෙන් ද ලොවෙහි ගෝලාකාර බව ඔප්පු කළේ ය.

                        ඉන්පසු දේශගවේෂණයට තිබූ බාධා ඉවත්ව ගියෙන් මිෂනාරීවරුන් ද දේශගවේෂණයෙහි යෙදී ප්‍රතිද්ශවල මිනිසුන් සිටින බව ඔප්පු කළේ ය.

ආගම හා විද්‍යාව අතර අරගලය