හැකියාව හා තාත්විකත්වය

අනිවාර්යය හා අහම්බය
February 24, 2020
සාවද්‍ය පරාවර්තනයේ හේතු
February 24, 2020
Show all

හැකියාව හා තාත්විකත්වය

දැනුම සමාජය හා චින්තනය

13

අප කථාකරමින් සිටින්නේ අප අවටවන සියලු දේ නිවැරදිව තේරුම් ගැනීමේදී, ප්‍රකෘතිය නිවැරදිව වටහා ගැනීමේදී ඒ වෙත ප්‍රවේශ විය යුතු අධ්‍යයන මාවත් පිළිබඳවය. එවැනි තවත් එක් මාර්ගයක් හෙවත් ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාරයන්ගෙන් එකක් වන්නේ හැකියාව හා තාත්විකත්වයය.

අප අවට වන සොබාදහම තුළ, අප ජීවත්වන සමාජය තුළ, අප තුළ යම් යම් දේ නිර්මාණය කිරීමේ, බිහිකිරීමේ හැකියාව තිබේ. උදාහරණ ලෙස ඵලයක් බිහිකිරීමේ හැකියාව මලකට තිබේ. දරුවෙක් බිහිකිරීමේ හැකියාව ලිංගිකව පරිණතවූ කාන්තාවකට තිබේ. එසේම පැළයක් බිහිකිරීමේ හැකියාව බීජයකට තිබේ. අප “හැකියාව” ලෙස හඳුනා ගන්නේ එයයි. එම හැකියාව මගින් ඵලයක්, දරුවෙක් හා පැලයක් බිහිවීම “තාත්විකත්වය” ලෙස හැඳින්වේ.

හැකියාව යථාර්ථයක් වීමට නම්

යම් වස්තුවක් තුළ පවතින ගුණයන් විසින් තවත් දෙයක් බිහිකිරීම සඳහා ඒ තුළ වන ශක්තියට අප හැකියාව යයි කියමු. එහෙත් මෙහිදී හැකියාව තිබූ පමණින් එය තාත්විකත්වයක් බවට පත්වන්නේ නැත. එයට තවත් සාධක ගණනාවක් සැපිරිය යුතුව තිබේ. දරුවෙක් ලැබීමට කාන්තාවක් සතුව තිබෙන හැකියාව තාත්විකත්වයක් වන්නේ ඇය පුරුෂයෙකු සමග එක්වන්නේ නම් පමණි. පැළයක් බිහිකිරීමට බීජයකට ඇති හැකියාව යථාර්ථයක් වන්නේද එය සරු පසක රෝපණය කරන්නේ නම් පමණි. ඉන් කියවෙන්නේ කුමක්ද? ප්‍රපංච තුළ විවිධ දේ බිහිකිරීමේ හැකියාව තිබූ පමණින් ඒවා තාත්විකත්වයක් නොවන බවත් ඒ සඳහා තවත් සාධක ගණනාවක් සැපිරිය යුතු බවත්ය.

මෙය සමාජයට සම්බන්ධකර බලන විටද තේරුම් ගත හැකිය. වර්තමානයේ අප ජීවත්වන්නේ ධනවාදී සමාජයක් තුළය. මෙය ඉතාම අසාධාරණ සමාජයකි. මෙය වෙනස්කොට මීට වඩා යහපත්, සාධාරණ සමාජවාදී සමාජයක් බිහිකර ගැනීමට අපට අවශ්‍ය වී තිබේ. ඒ සඳහා හැකියාව තිබේද? සැබැවින්ම නව සමාජයක් බිහිකිරීමේ හැකියාව ධනවාදී සමාජය තුළ තිබේ. එහෙත් ඒ හැකියාව තිබූ පමණින් නව සමාජයක් බිහිවන්නේ නැත. ඊට තවත් සාධක සැපිරිය යුතුය. එනම් ඒ සඳහා අවස්ථාව එළඹිය යුතුය. ඊට ජනතාව සවිඥානිකව මැදිහත්විය යුතුය. ඒ සඳහා නායකත්වය ගැනීමට නිවැරදි හා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුය. එකී සාධක සියල්ල සම්පූර්ණ වන්නේ නම් නව සමාජයක් බිහිකිරීමේ හැකියාව ධනවාදී සමාජය තුළ තිබේ. ‘දුරෙයි ෂන්මුගම්’ නම් ඉන්දියානු විප්ලවාදී කවියා මෙය සිය කවියක කවි පදයකින් සටහන් කර තිබුණේ මෙසේය.

“අහස පමණක් මදවේ

වැසි වැටෙන්නට නම්…

පොළොව මත ක්‍රියාවලියක් ඇත…”

හැකියාව හා නොහැකියාව

යමක් බිහිකිරීම සඳහා යම් වස්තුවක්, පුද්ගලයෙක් හෝ සමාජයක් තුළ තිබෙන හැකියාව තාත්විකත්වයක් බවට පත් නොවුණහොත් සිදුවන්නේ කුමක්ද? මෙය තරමක් සංකීර්ණ ප්‍රශ්නයකි. අපද ඇතුළත් ප්‍රකෘතිය තුළ, අපේ සමාජය තුළ ඇති සමහර ප්‍රපංච හෝ වස්තු තුළ පවතින මෙම හැකියාව නියමිත කලකදී අදාළ සාධක සපිරි තාත්විකත්වයක් බවට පත් නොවුණහොත් පසුව එය නොහැකියාවක් බවට පත් වන්නේය. මෙය ඉහත උදාහරණවලින්ම වටහාගත හැක. ඵලයක් බිහිකිරීමට මලකට ඇති හැකියාව තාත්විකත්වයක් වන්නේ එම මල පරාගණය වුවහොත් පමණි. එසේ නොවුව හොත් නිශ්චිත කලකට පසු එම හැකියාව නොහැකියාවක්වී මල පරවී යයි. දරුවෙක් බිහිකිරීමට කාන්තාවක් සතු හැකියාව ද එසේය. නියමිත වයස් කාලය තුළ ඇය පිරිමියෙකු සමග සම්බන්ධ නොවුන හොත් ඇය තුළ පැවැති දරුවන් හැදීමේ හැකියාව නොහැකියාවක් වේ.

මෙය තවත් උදාහරණවලින්ද තේරුම් ගත හැක. නිශ්චිත ඖෂධයකට නිශ්චිත රෝගයක් සුවකිරීමේ හැකියාව තිබේ. එම හැකියාව තාත්විකත්වයක් වන්නේ එම ඖෂධය නියමිත වෙලාවට නියමිත මාත්‍රාවෙන් නියමිත කාලයක් පාවිච්චි කළහොත්ය. ඕනෑම ඖෂධයක් කල් ඉකුත්වන කාල සීමාවක් පවතින අතර කල් ඉකුත්වීමත් සමග රෝග සුව කිරීම සඳහා එය සතුව තිබූ හැකියාව අහෝසි වී නොහැකියාවක් බවට පත්වේ. මේ අනුව බොහෝ වස්තු හා ප්‍රපංච තුළ වන හැකියාව අදාළ සාධක සම්පූර්ණවී තාත්විකත්වයක් බවට අදාළ කාල වකවානු තුළ පත් නොවුන හොත් එය නොහැකියාවක් බවට පත්වේ. ඒ නිසා එවැනි වස්තු හඳුනාගෙන ඉන් ලබාගත යුතු ඵල ලබාගැනීමට නම් ඒවා නොහැකියාවක් බවට පත්වීමට පෙර ඉන් ඵල ලබා ගැනීම කළ යුතුවේ.

අහෝසි නොවන හැකියාවන්

යම් වස්තුවක් හෝ සමාජය සතුව ඇති යමක් බිහිකිරීමේ හැකියාව පසු කලෙක නොහැකියාවක් වීම හැම ප්‍රපංචයකටම පොදු වන්නේ නැත. සමහර සමාජමය ප්‍රපංචවලදී එම හැකියාව යථාර්ථයක් වනතුරු දිගටම පවතී. සමාජවාදී සමාජයක් බිහිකිරීම සඳහා ධනවාදය තුළ ඇති හැකියාව එවැන්නකි. එය කිසිවිට නොහැකියාවක් වන්නේ නැත. එබැවින් අදාළ සාධක පෙළ ගැසුණු ඕනෑම මොහොතක තාත්විකත්වයක් බවට පත් වීමට ඉඩ තබාගෙන එම හැකියාව ධනවාදය පවතින තුරු ඒ තුළ පවතී.

අප මෙම කරුණු වටහා ගත යුත්තේ ඇයි? මානව සමාජයේ සංවර්ධනයේදී අප අවට දේවල් සිදුවන මෙම යාන්ත්‍රණය හෙවත් මෙම ආකාරය වටහා ගත්විට අපට සවිඥානිකව මැදිහත්වී හොඳ ඵල ලබාගැනීමට මෙන්ම නරක ඵල බිහිවීම වැළක්වීමටද පුළුවන. දැනටත් අපේ ජීවිතයේ බොහෝ කටයුතුවලදී අප මෙය න්‍යායක් ලෙස නොදැන වුවත් භාවිතාවට නගමින් සිටී. කෘෂිකර්මාන්තයේදී වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා මල් කෘත්‍රිම ලෙස පරාගණය කිරීම ඊට නිදසුනකි. සාමාන්‍යයෙන් මල්වලින් ඵල හට ගැනීමට එම මල් පරාගණය විය යුතුය. ස්වාභාවිකව එය සිදුවන්නේ කෘමීන්ගෙනි. එහෙත් කෘමීන් වඳවීමත් වගාවකදී විශාල මල් ප්‍රමාණයක් පරාගණය කල යුතු වීමත් නිසා දැන් ගොවියා මැදිහත්වී පරාගණය කිරීමේ කාර්ය තමන් විසින් ඉටුකොට ඵලදාව වැඩිකර ගනී. ඒ ඉහත සත්‍යයට අනුවය. හොඳ වර්ගයෙ සතුන් බිහිකර ගැනීම සඳහා සිදු කරන කෘත්‍රිම සිංචනයද ඊට උදාහරණයකි.

මෙය අනෙක් පැත්තටද ගත හැක. වළ දමා තිබෙන බිම් බෝම්බයක් මත යමක් ගැටුන හොත් එය පුපුරා යාමේ හැකියාව තිබේ. එසේ පුපුරා යාම අනතුරුදායකය. එවිට මිනිසා සවිඥානිකව මැදිහත්වී බිම් බෝම්බය තුළ වන පුපුරායාමේ හැකියාව අහෝසිකිරීමට එය නිශ්ක්‍රීය කරනු ලැබේ. ජලය පිරුණු භාජන තැන තැන තිබීම ඩෙංගු මදුරුවා බිහිවීමට හේතුවේ. ඩෙංගු මදුරුවා තුළ පැටවුන් බෝකිරීමේ හැකියාව අහෝසි කිරීමට අප කළ යුත්තේ මදුරු පැටව් බිහිකිරීමට අවශ්‍ය අනෙක් සාධක ඉවත් කිරීමය. වතුර පිරුණු භාජන එළිමහනේ නොතබන ලෙස පවසන්නේ ඒ අනුවය.

මෙම කරුණුවලින් අපට පැහැදිලි වන්නේ අප අවට සමාජයත්, වටපිටාවත්, එහි සිදුවන දේවලුත් තේරුම් ගැනීමේදී හැකියාව හා තාත්විකත්වය නැමැති ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාරය වටහා ගැනීමද වැදගත් වන බවය. එය වටහා ගත් විට තමන්ට අවශ්‍ය ඵල ලබා ගැනීමටත් අනවශ්‍ය ඵල බිහිවීම වැළැක්වීමටත් සවිඥානිකව මැදිහත් වීමට මිනිසාට හැකිවේ. එසේම අප අවට සිදුවන දේවල් පිළිබඳ මිත්‍යාවන්ගෙන් මිදීමටත් මිත්‍යා විශ්වාස පසුපස හඹායාමේන් වැළකී සිටීමටත් මිනිසාට පුළුවන.

එසේම සමාජය වෙනස් කිරිමේදී ඒ සඳහා වන හැකියාව ධනවාදය තුළම පවතින නිසා විශ්වාසයෙන් යුතුව ඊට මැදිහත් වීමට ද පුළුවන. ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාර සියල්ල විමසා බැලූ අපි තවදුරටත් මේ පිළිබඳව විමසා බලමු.

Next : – සාවද්‍ය පරාවර්තනයේ හේතු