සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්යය කොටස
August 27, 2020
සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 9, 2020
Show all

සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය

01 – පරිච්ඡේදය

සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් දශක දෙකකට පසු

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමාජ සංවර්ධන ඉතිහාසයේ නව සමාජ ආර්ථික ක්‍රමයක උදාව සනිටුහන් කළේය. ඉන් ඇරැඹි ගමන් මඟ මානව ඉතිහාසයේ සුවිශේෂී පියවරයන් පෙළක් ලෙසින් ජාතීන් ගණනාවකගේ විමුක්තිය උදෙසා වන මාවත විවර කරන ලදී. එවන් වූ ප්‍රගතිශීලී සමාජ පරිවර්තන ක්‍රියාවලිය රුසියාව, නැගෙනහිර යුරෝපය, චීනය, ඉන්දු චීනය, ලතින් ඇමරිකාව, කැරිබියානු කලාපය ආදී වශයෙන් පෘථිවි තලය සිසාරා පැතිර යන්නට විය. එම විප්ලවීය ක්‍රියාදාමය නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියේ සිත්සතන් උද්දාමයටද, බලාපොරොත්තු සහගත සහ ධෛර්යමත් බවටද පත් කරන්නක් විය. මානව සංවර්ධන ඉතිහාසයේ සුවිශේෂ වූ කාර්යභාරයක් වෙනුවෙන් උරදුන් මෙම ඓතිහාසික ක්‍රියාවලිය අධිරාජ්‍යවාදී ලෝකය බියෙන් සලිත කරවන්නක් වීම පුදුම සහගත දෙයක් නොවේ. ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය එහි පදනමින්ම බිඳවට්ටන ද්‍රව්‍යමය බලවේගය වන නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතිය කුමන ආකාරයේ බලවේගයක් දැයි මොනවට පෙන්වාලූයේ එම විප්ලවයන්හිදීය. ඉන් නොනැවතී රුසියන් විප්ලවයට ඓතිහාසික වශයෙන් තවත් සුවිශේෂී ස්ථානයක් හිමිවිය. එය නම් නිර්ධන පංති රාජ්‍ය බලය හා සමාජවාදය ගොඩනැගීමේ පළමු අත්දැකීම රුසියන් සමාජවාදී සමාජ විප්ලවය බවට පත්වීමය. රුසියන් විප්ලවයේ නියමු කාර්යභාරය ඉටු කළ ලෙනින් නැවත නැවතත් සඳහන් කළ පරිදි ලෝක සමාජවාදී විප්ලවයේ පූර්ව අත්දැකීම් සහිත ගුරුවරයා බවට එය නිතතින්ම පත්වූයේය. ඒ හා සබැඳෙමින් ඉන් පසුව බිහිවූ සමාජවාදී රාජ්‍ය පද්ධතිය ලෝක සමාජවාදී විප්ලවයට නවමු ආශ්වාදයක් මෙන්ම නවමු අත්දැකීම් සම්භාරයක්ද විය. එතැන් පටන් පංති සටන් ඉතිහාසයේ අවසාන පංති සටන වන නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර වන අරගලය යල් පැනගිය හෙවත් කල් ඉකුත්වූ ධනවාදී ලෝකය හා නවමු බිහිවෙමින් පවතින සමාජවාදී ලෝකය අතර ගැටුමක් ලෙස විද්‍යාමාන වන්නට විය.

මෙලෙස 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් ආරම්භවූ සමාජවාදය 1980 වන විට සමාජවාදී රාජ්‍ය පද්ධතියක් ලෙස වර්ධනය වී තිබුණේය. පළමුව 1917 රුසියානු සමාජවාදී සමාජ විප්ලවයෙන් පසුව සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය(USSR) (සෝවියට් දේශය) පිහිටුවනු ලැබීය. පසුව සෝවියට් දේශයේ මඟ පෙන්වීම ලබමින් සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිහිවිය. එම සමාජවාදී රාජ්‍ය පද්ධතියට අයත් රාජ්‍යයන් වූයේ සෝවියට් දේශය(1917 ඔක්තෝබර්), මොංගෝලියාව(1924), යුගෝස්ලාවියාව(1943), ඇල්බේනියාව(1944), පෝලන්තය(1945), නැගෙනහිර ජර්මනිය(1945), උතුරු කොරියාව(1945), බල්ගේරියාව(1946), රුමේනියාව(1947), චෙකොස්ලොවැකියාව(1948 – 1950), හංගේරියාව(1949), චීනය(1949), කියුබාව(1959), දකුණු යේමනය(1967), ඉතියෝපියාව(1974), වියට්නාමය(1945 – 1975), ලාඕසය(1975), ඇෆ්ගනිස්ථානය(1978), කම්පූචියාව(1979), නිකරගුවාව(1979), ග්‍රෙනෙඩාව(1979) යන රටවල්ය. සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවට මුළු මහත් පෘථිවි තලයේ භූමි ප්‍රමාණයෙන් හයෙන් එකක් අයත් විය. මේ අතර සමාජවාදී චීනය ලෝක ජනගහනයෙන් ඉහළම අගය දරන රටයි. ඒ අනුව අනෙකුත් සමාජවාදී රටවල්ද ඇතුළත්ව භූමි ප්‍රමාණය සහ ජනගහනය අනුව සමාජවාදී රාජ්‍ය පද්ධතිය සුවිසල් එකක් විය. එපමණක් නොව එල්සැල්වදෝරය, ගුවතමාලාව, චිලිය, ග්‍රෙනෙඩාව, බොලිවියාව වැනි එවකට පැවැති ධනවාදී රටවල් අතරින් බොහෝමයක විප්ලවීය අරගලයන් ඇවිලෙමින් තිබිණ. ධනවාදී ලෝකය තුළ පවතින අනෙකුත් ධනවාදී රටවල් බොහොමයක ප්‍රබල කොමියුනිස්ට් පක්ෂ පැවතුණේය. මේ අතරට හුදු අධිරාජ්‍ය විරෝධී රටවල්ද එක්වූ පසුව කොමියුනිස්ට්වාදින් ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී කඳවුර පුළුල් සහ ප්‍රබල එකක් විය.

එහෙත් 90 දශකය මුල් වකවානුව වන විට අභ්‍යන්තර හා බාහිර හේතු රැසක් නිසා සමාජවාදී කඳවුරේ රටවල් බොහොමයක් බිඳ වැටුණි. චීනය, කියුබාව, වියට්නාමය, උතුරු කොරියාව, ලාඕසය වැනි රටවල් කිහිපයක් පමණක් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින, තමන් සමාජවාදී යැයි පිළිගන්නා රටවල් ලෙස නොවැටී සිටීමට සමත් විය. එසේ නමුදු සමාජවාදී කඳවුර බිඳවැටීමත්, ඒ සමඟ ඇතිවූ “සමාජවාදය තවදුරටත් යථාර්ථයක් නොවේය” යන මතයත් විසින් කළ බලපෑම නිසා ලෝකයේ එවකට පැවැති බොහෝ කොමියුනිස්ට් පක්ෂ පසු බෑමකට ලක්වී තම පක්ෂ නාමයෙන් ‘කොමියුනිස්ට්’ යන්න පවා ඉවත් කරගන්නා ලදී. ඒවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත් විය. උදාහරණයක් වශයෙන් සලකා බලන විට නිකරගුවාවේ ඩැනියල් ඔටේගාගේ නායකත්වයෙන් යුත් සමාජවාදී පාලනය 1992 දී ධනේශ්වර පන්නයේ මැතිවරණ ආකෘතියට පසුබැසීම නිසා පරාජයට පත් විය. ඔවුනට නිර්ධන පංති පාලනය අත්හරින්නට සිදුවිය. ඉන් පසුව ධනේශ්වරය නියෝජනය කරමින් වයලේටා චැමරෝ බලයට පත්විය. වර්තමානයේදී මැතිවරණය හරහාම ඩැනියල් ඔටේගා යළි බලයට පත්ව ඇතත් පෙර තිබු විප්ලවකාරීත්වය සහිත සමාජවාදී බලය යළි ගොඩනැගීමට ඔවුනට හැකිවී නැත. එපමණක් නොව ඇෆ්ඝනිස්තානය වැනි සෝවියට් දේශයේ ආරක්ෂාව හා අනුග්‍රහය යටතේ පැවැති රටවල් හුදකලා විය. ඉන් නොනැවත සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ රුසියාවේ දී හා පිටතදී ප්‍රතිගාමිත්වය විසින් ලෙනින්ගේ පිළිරූ පවා අපහාසාත්මක ලෙස කඩා බිඳ දමන ලදී. ප්‍රතිගාමිත්වය ලෙනින්ගේ අනුරුව සහිත කේක් කපමින් ධනවාදයේ විජයග්‍රහණය සැමැරුවේය. සමාජවාදයට එරෙහිව නැගී සිටි (සමාජවාදය පාවා දුන්) රුසියාවේ යෙල්ට්සින්, පෝලන්තයේ ලෙක් වැලේසා වැන්නෝ ධනවාදී මාධ්‍ය ලෝකයේ වීරයෝ බවට පත් වූහ. සමාජවාදය මිත්‍යාවක් බවත් එය අසාර්ථක බවත්, ධනවාදය සදාකාලික බවටත් ප්‍රකාශ නිකුත් විය. ලෝක බල තුලනය වෙනස්වී ඒක ධ්‍රැවිය ලෝකයක් නිර්මාණය වූ අතර එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීහු එහි නායකත්වය දැරූහ.
එනමුත් සමාජවාදී කඳවුර බිඳවැටීමෙන් දශක දෙකක් ගතවීමටත් පෙර යළි අධිරාජ්‍යවාදයේ අර්බුදය සමහන් කළ නොහැකි සේ ප්‍රකාශයට පත්විය. සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු අධිරාජ්‍යවාදය ගයමින් සිටියේ ධනවාදයේ හංස ගීතය බව වත්මන් අර්බුදය විසින් මනාව තහවුරු කර දක්වයි. නැවත වතාවක් 2008 වර්ෂයෙන් පැන නැගි ධනවාදයේ අර්බුදය සමාජ ක්‍රමයක් ලෙස එහි නිමාව සංඥා කරමින් පවතී. ඇමරිකාව, බි්‍රතාන්‍ය, ප්‍රංශය වැනි අධිරාජ්‍යවාදයේ මර්මස්ථානවලින්ම අර්බුදය ඔඩුදුවා ඇත. සමාජවාදී කඳවුර බිඳවැටීමත් සමඟම, ගෝලීය ලිබරල් ධනවාදයට න්‍යායික මග පෙන්වීම කළ “මානව දෘෂ්ටිවාදී පරිණාමයේ අවසානයක් ” හා “ලිබරල් ධනවාදයේ සදාතනික විශ්වීකරණයක් ” පිළිබඳව ඊනියා මත සකස්කළ ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ විග්‍රහයන් නැවත කණපිට පෙරළෙමින් පවතී. ලෝක ගෝලයේ ඇමරිකානු බල ආධිපත්‍යය සාධාරණීකරණය කරමින් හා දිරිමත් කරමින් න්‍යාය හා මතවාද සකස් කළ සැමුවෙල්
හන්ටින්ග්ටන්ගේ අභිප්‍රායන්ද බොඳව යන සිහින බවට පත්වෙමින් තිබේ. සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු ඉතිරිව පවතින සමාජවාදී රටවල් අතළොස්ස අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රබලතම කුමන්ත්‍රණ හමුවේ බොහෝ දුෂ්කරතා ජයගනිමින් එහෙත් ධනවාදයට විකල්පයක් වෙමින් සිටීමට තරම් සමත්ව තිබේ. මාක්ස් ලෙනින්වාදයේ දෘෂ්ටිකෝණයෙන් බලන විට එම රටවල විශාල අඩුපාඩුකම් සහ දුර්වලතා තිබේ. එහෙත් ඒවා තම තමන්ට ආවේණිකවූ සමාජවාදී පාලනයන් පවත්වාගෙන යමින් පවතී. සමාජවාදී රටවල් අතර දැනට තිබෙන විශාලතම හා ප්‍රබලම රට වන මහජන චීනය, පෙර ප්‍රබලව පැවති, එහෙත් වර්තමානයෙහි දුබල වෙමින් පවතින ඇමරිකාව වැනි අධිරාජ්‍යවාදී ආර්ථිකයන් හා තරග කරමින් ලොව ප්‍රබල ස්ථානයකට පත්ව ඇත. එය ධනවාදී විචාරකයන්ගේ වචනයෙන්ම මෙසේ ප්‍රකාශයට පත්විය.

“සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමෙන් ලද ප්‍රතිඵලවලට සමානව රජයක සමස්ත ආකෘතිය හා ආර්ථිකය කඩා වැටී තිබේ. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා දණ ගසා සිටින අතර, චීන ගගනගාමීන් අභ්‍යාවකශයේ ඇවිදීම කෙතරම් සංකේතාත්මක අවස්ථාවක්ද ?”
ජෝන් ග්‍රේ (දේශපාලනය පිළිබඳ දාර්ශනික)


“චීන ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇවිදිද්දී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් දණ බිම ඇනගෙන සිටීම කෙතරම් අපූරු සරදමක්ද ?”
පෝල් රෙනා්ල්ඞ්ස් (බීබීසී සේවය) 2008 ඔක්තෝබර් 01


මේ අතර සමාජවාදී උතුරු කොරියාව ලෝකයේ හතරවන ස්ථානයේ පවතින ප්‍රබල සන්නද්ධ හමුදාවකට හිමිකම් කියමින් අධිරාජ්‍යවාදය හා මුහුණට මුහුණලා සිටගෙන සිටියි. කියුබාව, ඇමරිකා එක්සත් ජනපදය විසින් අතපොවන මානයේ (කිලෝමීටර් 150ක දුරින් සිටිමින්) වුවද කෙළින් සිටගෙන සමාජවාදයේ අභිමානය මේ යැයි ලොවට විදහා පෙන්වයි. සමාජවාදී වියට්නාමයද නිහඬව නමුත් සමාජවාදී ආර්ථිකය පදනම් කොට ගනිමින් රට කෙමෙන් ඉහළට නැගිටුවාලමින් පවතී. ලාඕසය පවා ධනවාදී කුණාටු හමුවේ සමාජවාදය වෙනුවෙන් නොසැලී ඉන්නට තරම් සමත්ව සිටී.

මෙලෙස ඉතිරි වූ සමාජවාදී රටවල් දිරියෙන් හා අභිමානයෙන් පවතිද්දී අධිරාජ්‍යවාදයේ නියමු රටවල් ප්‍රමුඛ සමස්ත ධනවාදී ලෝකයම මින් පෙර සිදුවූවාටත් වඩා ගැඹුරු ආර්ථික අර්බුදයකින් පෙළමින් පවතී. පිටතින් මූල්‍ය ප්‍රාග්ධනය කෘත්‍රිම ලෙස පොම්ප කරමින් කොටස් වෙළඳපොළ, මූල්‍ය වෙළඳපොළ රැක ගැනීමට අධිරාජ්‍යවාදීන් කොතෙක් වෙර දැරුවද ධනවාදයේ කඩාවැටීම අවසන් වන ස්ථානයක් පෙනෙන තෙක් මානයේ දක්නට නැත. ධනේශ්වර ආර්ථික විශේෂඥයෝ මෙම අර්බුදය තව පරම්පරා ගණනාවක් යන තෙක්ම නොවිසදෙනු ඇතැයි මැසිවිලි නගති.

“ධනවාදයේ කොටසක් වන ගෝලීයකරණය උරුමය හා සම්ප්‍රදාය විනාශ කරනවා පමණක් නොව ඇදහිය නොහැකි ලෙස අස්ථාවර වෙයි. එය ක්‍රියාත්මක වන්නේ අර්බුදයන් මාලාවක් අතරිනි. එසේම මෙම අර්බුදය මෙම සුවිශේෂී යුගයේ අවසානය සනිටුහන් කිරීමක් ලෙස සැලකිය හැකිය. ”
(ඉතිහාසඥ එරික් හොබ්ස්බෝවිම්)

එහෙත් ධනවාදී ආර්ථික විශේෂඥයන් සිතන්නේ, කෙදිනක හෝ ධනවාදයේ අර්බුදය විසදෙන තෙක් උපේක්ෂා සහගතව ලෝකය එකම ස්ථානයක පවතිනු ඇතැයි යන්නය. ඕනෑම සමාජ ක්‍රමයක මෙන්ම ධනවාදී සමාජයේ පැවැත්ම සැකසෙන්නේ, නිෂ්පාදන බලවේගයන් හා නිෂ්පාදන සම්බන්ධතා අතර වන අනුරූපීතාවයෙනි. මෙහි අනුරූපීතාවය බිඳවැටෙන්නේ යම් මොහොතකද එය සමාජයේ ඉදිරි ගමනට බාධාකරයි. නිෂ්පාදනය ඉදිරියට ගෙනයාමට දායක වන සියල්ල නිෂ්පාදන බලවේගයන් වන අතර නිශ්චිත නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ පවත්නා සම්බන්ධතා සියල්ල නිෂ්පාදන සබඳතා යන්නට අයත්වේ. ධනවාදී සමාජ ක්‍රමයෙහි පවතින්නේ ධනවාදී නිෂ්පාදන සබඳතාවන්ය. ධනපතියාගේ ප්‍රාග්ධනය විසින් හසුරුවනු ලබන සබඳතාවන්ය. අනවරතව වර්ධනය වන නිෂ්පාදන බලවේගයන්ට අනුරූපීි වන නිෂ්පාදන සබඳතාවල අත්‍යවශ්‍යතාවය සමාජ සංවර්ධනයේ මූලික මූලධර්මයකි. නිරන්තර වර්ධනය වන නිෂ්පාදන බලවේගයන්ට බාධාවන යල්පැන යන නිෂ්පාදන සබඳතා බිඳ දැමීමේ සහ නව නිෂ්පාදන බලවේගයන්ට අනුරූපීි නව නිෂ්පාදන සබඳතා බිහිකිරීමේ අවශ්‍යතාවය සමාජ විප්ලවයක ස්වරූපයෙන් ප්‍රකාශයට පත්වේ. (යල් පැන ගිය ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය පමණක් මෙම මූලධර්මයෙන් මිදෙන්නේ නැත. ) එම අවශ්‍යතාවය විසින් සමාජ බලවේගයන්ගේ සහභාගිත්වයෙන් හා නිර්ධන පංතියේ නායකත්ව කාර්යභාරය උසුලන පක්ෂය මැදිහත් වීමෙන් කල් ඉකුත් වූ ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය පෙරළා දමයි. එපමණකින් නොනැවතී නව සමාජ සබඳතා සහිත නව සමාජ ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වෙයි. එහෙත් ධනවාදයේ නියමුවන් ලෝකයට ඒත්තු ගන්වන්නට උත්සාහ ගනු ලබන්නේ, ධනවාදයේ සදාකාලික බවය. එම මතය වෙනුවෙන් පෙනී සිටින විවිධ නිර්මාක්ස්වාදී සමාජ ආර්ථික විග්‍රහයන් මේ මොහොතේ සිදුවෙමින් පවතී. ඒවා වදන් හරඹ මිස න්‍යායිකවද ප්‍රායෝගිකවද සාර්ථක විග්‍රහයන් නොවේ. සැබෑව නම් ලෝක ධනවාදයේ පසුබෑම තුළ සමාජවාදී විප්ලවය සඳහා තර්කානුකූල හා විෂය මූලික වටපිටාවක් නිර්මාණය වී තිබීමයි. දැන් අවශ්‍ය වන්නේ ඒ සඳහා මතවාදීමය හා සංවිධානමය නායකත්වයකි.

තවද, සමාජවාදී කඳවුරේ බිඳවැටීමෙන් දශක දෙකක් ගතවීමටත් පෙර 2008 සැප්තැම්බරයේදී එක්සත් ජනපදයෙන් ඇරඹි, ලොව පුරා හමා යමින් තිබෙන ධනවාදයේ විසඳිය නොහැකි අර්බුදය යළි සමාජවාදය වෙත ජනතාවගේ බලාපොරොත්තු දැල්වීමට හේතුවී තිබේ. ධනවාදයේ කඩා වැටීම ඇරඹුණු වසරේ බටහිර රටවල වැඩියෙන්ම අලෙවි වූ පොත් අතර ඉහළින්ම මාක්ස්ගේ ‘දාස් කැපිටාල්’ (ප්‍රාග්ධනය) පොත දක්නට ලැබීමෙන් එය වඩාත් පැහැදිලි වේ. ධනවාදයේ කඩාවැටීම සමාජවාදී පරිවර්තනයකට පෙරවදන බවට පත්ව තිබුණද කලින් පැවැති සමාජවාදී කඳවුර බිඳ දැමීම විසින් සමාජය තුළ තහවුරු වී ඇති විවිධ නිර්මාක්ස්වාදී සහ අවිද්‍යාත්මක මත නූතන සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමට බාධාවක්ද වී තිබේ. එනිසා මේ තීරණාත්මක මොහොතේදී “සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳ වැටුණේ ඇයි?” යන්න පිළිබඳවත්, “සමාජවාදය යනු කුමක්ද? සහ සමාජවාදී විප්ලවය යනු කුමක්ද?” යන කරුණ පිළිබඳවත් විද්‍යාත්මක විධි ක්‍රමයක් මත පිහිටා (මාක්ස් ලෙනින්වාදී දැක්මක් මත පිහිටා) කරගනු ලබන නිවැරදි විග්‍රහයක් අත්‍යවශ්‍ය වන්නේය. මේ ගනු ලබන උත්සාහය ඒ සඳහාය.

“සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය” කෘතිය මෙතනින් කියවන්න – (pdf)