සාහිත්‍යකරුවාගේ තෝතැන්න සමාජවාදයයි

 

සාහිත්‍යය එහි මුඛ්‍ය පරමාර්ථයෙන් උත්කර්ෂයට නැඟුණේ සමාජවාදී සමාජ වටපිටාවකදීය. එකී කරුණ විමසා බැලීමට සාහිත්‍යයේ සැබෑ අයිතිකරුවන් කවුරුන්ද සහ සාහිත්‍යයේ සමාජ කාර්යභාරය කුමක්දැයි මෙන්ම සමාජවාදය යනු කුමක්ද යන්නත් පිළිබඳව සැකෙවින් දැක්වීම අවශ්‍යය.

මිනිසා ආදි කාලීන වානරයාගෙන් ව්‍යුත්පන්න වූ මුල්ම යුගයේදී ඔහු ඉතාම ප්‍රාථමික මට්ටමේ සාමාජීය සත්වයකු විය. අනෙක් සතුන්ට සාපේක්ෂව දියුණු වුවත් ඔහු දියුණු මානවයකු වීමට ශතවර්ෂ ගණනාවක් සොබාදහම හා පොරබැදීය. මිනිසා එකී ඉතාම ප්‍රාථමික මට්ටමේදීත් ඔහුගේ මොළයෙහි වූ විශේෂත්වය නිසාම සොබාදහම සෞන්දර්යාත්මකව දැකීමේ විශේෂ හැකියාවක් ඔහු සතුවිය. එකට වාසය කළ තම ගණයේ සගයින් සමග එක්ව දැඩි වෙහෙසක් දරා සතෙක් මරාගෙන සියලූ දෙනා ඒකරාශිවී ආහාර කොටගත් පසු ඔහුට ලැබුණු විවේකයේ නොයෙක් ශබ්ද හුවා දක්වමින් සතුටු වන්නටත්, ඔහු අත් විඳි දේ ලෙන් බිත්ති මත සිතුවම්කරන්නටත් ඔහු උත්සුක විය. කලාවේ ආරම්භය මෙය වූ අතර කලාකරුවෝද රසිකයෝද කලාවේ අධිපතියෝද ඔවුහු වූහ.

පසුව එළැඹි යුගවලදී සැවොම වෙහෙස වී සැවොම භුක්තිවිඳින ක්‍රමය වෙනුවට බහුතරයක් දෙනා නිමාවක් නොමැතිව වෙහෙසවී සොච්චමක් භුක්ති විඳින අතර කිසිදු වෙහෙස නොවී මහා වස්තු සම්භාරයක් අත්පත් කරගත් සුළුතරයක් සහිත සහ එකී සුළුතරය විසින් සියලූදෙනා පාලනය කරන ක්‍රමයන් වෙත සමාජය වෙනස් විය. සෞන්දර්යය ඉපදුණත් එය රස විඳින්නට පීඩිත බහුතරයකට නොලැබි අතර ශ‍්‍රමයේ සෞන්දර්යය කලාව බවට පත්වීම වළකා සියලූ දෙයින් ආඪ්‍ය සුළුතරයම කලාවේ ආධිපත්‍යයත් දැරීය. කලාකෘති නිමවන වෙනමම කලාකරුවන් බිහිවිය. කලාව අධිපති පන්තියේ රසවින්දනය උදෙසාම විය. පන්ති සමාජයේදී කලාවේ පැවැත්ම එලෙස ඇරඹිණි.

එසේම මෙම පන්ති සමාජයේ දී සමාජයේ වූ දියුණුවත් සමඟ භාෂාවේ දියුණුව, ලේඛන කලාවේ දියුණුව, විෂයයක් ලෙස කලාවේ දියුණුව හා කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර දියුණුවද සමඟ කලාවේ එක් මාධ්‍යයක් ලෙස සාහිත්‍යයද දියුණු වූ අතර ඉතා ප්‍රබල තත්වයකටද පත්විය. එහෙත් පොදුවේ කලාව අධිපති පන්තියට නතුව පැවති හෙයින් සාහිත්‍යයටද කලා මාධ්‍යයක් ලෙස එම ඉරණමම අත්විය.

එකී පන්ති සමාජයේ එනම් වැඩවසම් සමාජයේදී මෙන්ම ධනේශ්වර ක්‍රමයේදීද සමාජයේ සාතිශය බහුතරයක් දෙනා අත්විඳින කටුකත්වය, සමාජ ක්‍රමවල ගොරහැඩි හා ක්‍රෑරතර බව රුඩිකල් සහිත්‍යකරුවෝ සිය නිර්මාණවලින් ප්‍රතිනිර්මාණය කරන්නට වූහ. මෙය එම සමාජ ක්‍රමයන්ගේ හිමිකරුවන්ට තර්ජනයක්, අනතුරු හැඟවීමක් විය. ඒ නිසා ඔවුන් එවැනි නිර්මාණවලට පමණක් නොව පොදුවේ සාහිත්‍ය පොතපත පරිශීලනය කිරීම මෙන්ම ඒ වෙත ජනතාව ආකර්ෂණය වීම සඳහා ඇති ඉඩ කඩද අහුරා දමනු ලැබිණි. පාලක පන්තියේ මෙන්ම එම සමාජ ක්‍රමයන්හි ගුණ වයන, සමාජයේ සත්‍යය යටපත් කර පුද්ගල චින්තාවන් වෙනතක යොමු කර පන්ති පීඩනය සමහන් කරන නිර්මාණයන් ඔසවා තැබීමට පාලකයන් කටයුතු කළා මෙන්ම වර්තමානයේද එසේ කරමින්ද සිටිති.

පුද්ගල වුවමනාවන් පසෙක තබා සාමූහිකත්වය ඉස්මතුවීම වැළැක්වීමටත් සමාජ අර්බුදයන් නොදැක සියලූ අර්බුද තමාගේ නොහැකියාවන් ලෙස ලඝු කරන්නට පෙළඹවීමටත්, විචාරවත් ජනතාවක් බිහිවීම වැළැක්වීමටත්, සාහිත්‍යය ජනතාවගෙන් ඈත් කර, ජනතාවගේ සාහිත්‍ය රසාස්වාදනය මොටකර දැමීමටත් ඔවුහු කටයුතු කරති.

“සාහිත්‍යය කන්නද?” යි ප්‍රශ්න කරන්නේ එවැනි පාලකයින්ය.

සමාජවාදී සමාජ ක්‍රමයකදී සියලූ දෙනා නිෂ්පාදනයට හවුල්වී සාධාරණව සියලූ දෙනාම භුක්ති විඳින සමාජ වට පිටාවක් ගොඩ නැගෙයි. ඒ සමාජයේදී ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වයත්, නොමිනිස්කම වෙනුවට මිනිස්කමත් ඔප්නැංවෙයි. බහුතරයක් දෙනා යටපත් කර පාලනය කරනු ලබන සුළුතරයක් නියෝජනය කරන පාලක පන්තියක් නැත. සහෝදරත්වය, දයාර්ද්‍ර බව ඉස්මතුවෙයි.

සාහිත්‍යයට, කලාවට මිනිස් සිත් සතන් ආමන්ත්‍රණය කිරීමේ සුවිශේෂී බලයක් තිබේ. උදාහරණයක් ලෙස වචන දහස් ගණනකින් පැය කිහිපයක් විස්තර කරමින් යමක් ගැන ඒත්තු ගන්වනවාට වඩා, වචන කිහිපයක් එක්කාසුකර ලියූ කවි පදයකින් මහා ලොකු අදහසක් බොහෝ පිරිසකට සිත්තුළට කාවදින ලෙස ඉතාමත්  සංවේදී ලෙස අදහස් ප්‍රකාශකිරීමේ හැකියාව කවියාට ඇත. සංගීතය, චිත්‍ර, මූර්ති, සිනමාව ආදී විවිධ කලා මාධ්‍යයන් අතරින් සාහිත්‍යය ඉතා ප්‍රභල කලා මාධ්‍යයක් වන්නේ එබැවිනි.

මිනිස්  සමාජය මහා නරකාදියට ඇද දැමූ මේ සමාජ විෂමතාවය පිටු දැක සියලූ දෙනාටම සතුටින්, මිනිසුන් ලෙස ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය කිරීමේ පණිවුඩය ජනතාව අතරට ගෙනයාමට මෙන්ම එකී සමාජය ගොඩ නැගීමේ රාජ්‍ය බලය නිර්ධන පන්තියට ලබාගත් පසු මිනිසත්කම සාමූහිකත්වය  පරිත්‍යාගශීලීත්වය පරාර්ථකාමීත්වය සහිත මිනිසුන් ගොඩ නැගීමේ ප්‍රබලම මෙවලමක් වන්නේද සාහිත්‍යයයි.

චීනයේ සමාජවාදය ගොඩනැගීමේ පුරෝගාමී මිනිසා වූ මා ඕ සේතුං මෙසේ පැවසීය.

“සියයක් මල් පිපෙන්නට හා සියයක් චින්තා ගුරුකුල ගැටෙන්නට ඉඩදීම අපේ දේශයේ කලාවන්ගේ වර්ධනය හා විද්‍යාවන්ගේ ප්‍රගතියද සමාජවාදී සංස්කෘතියක සමෘධියද ඉදිරියට මෙහෙයවීම සඳහා ප්‍රතිපත්තිය වේ. කලාවෙහි එකිනෙකට වෙනස් ආකාර හා ශෛලී නිදහසේ වර්ධනය විය යුතුය. විද්‍යාවේ එකිනෙකට වෙනස් ගුරුකුල නිදහසේ ගැටිය යුතුය. එක්තරා කලා ශෛලියක් හෝ චිත්තා ගුරුකුලයක් බලෙන් ඉගැන්වීම පිණිසද, අනිකක් තහනම් කිරීම පිණිසද පරිපාලන පියවර යෙදුවහොත් එය කලාවේත් විද්‍යාවේත් වැඞීමට හානිවේ. කලාවන්හි හා විද්‍යාවන්හි හරි වැරදි පිළිබඳ ප්‍රශ්නය, කලාත්මක හා විද්‍යාත්මක කවයන් තුළ කරන සාකච්ඡාවන් මඟින්ද මේ ක්ෂේත්‍රයෙහි සිදුකරන ප්‍රායෝගික වැඩ මගින්ද බේරුම් කළ යුතුය.”

සෝවියට් දේශයේ සමාජවාදය ශක්තිමත්ව ස්ථාපිත වූ පසු නිර්මාණය වූ ‘සෝවියට් මිනිසා’ මහාගත්කරු මක්සිම් ගෝර්කි තම සාහිත්‍ය නිර්මාණ තුළින් සිහින මැවූ මිනිසාගේ ගුණාත්මයෙන් යුක්ත විය. ඔහු මෙසේ ලීවේය.

“මම අධිෂ්ඨාන ශක්තියෙන් යුතු මිනිසෙකු වෙනුවෙන් පෙනී සිටියෙමි. නමුත් දැන් මගේ සිහිනය සැබෑවී ඇත. අපි ශක්තිමත් නිර්භිත මිනිසකු දකිමින් සිටිමු. මා සිහින මැවූ ඒ මිනිසා සජීවීව වැඩකරමින් දැවැන්ත දේවල් සිදුකරමින් සිටී”

සමාජවාදයේදී, මිනිසාගේ මෙන්ම මිනිස් සමාජයේ සංවර්ධනයත් ඒ සඳහා සාහිත්‍ය හා කලාව යොදවා ගතයුතු ආකාරය පිළිබඳව ඇත්තේ කිනම් පන්නයේ බලාපොරොත්තුවක්ද යන්න මෙයින් ඉතා හොඳින් පැහැදිලි වේ.

සමාජවාදී විප්ලවයෙන් පසු නව මිනිසකු ගොඩ නැගීමේ ආදර්ශය ප්‍රායෝගිකව හොඳින්ම සිදුවූයේ සමාජවාදී සෝවියට් දේශයේය. සාහිත්‍යයත් කලාවත් කෙතරම් දුරට මේ උත්තුංග කාර්යය සඳහා යොදවාගත්තේද යන්න සෝවියට් දේශයේ සාහිත්‍යය පිළිබඳව විමසා බැලීමෙන් පෙනේ.

සමාජවාදය ගොඩනඟන විට සියලූම රටවල පාහේ අධ්‍යාපන ක්‍රමය, අධ්‍යාපන මට්ටම හා සාක්ෂරතාවය තිබුණේ ඉතා පහත් අඩියකය. ඒ සෑම රටකම සෑම දෙනාගේම ඉගෙනීමේ අයිතිය තහවුරු කිරීම, ප්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනය අනිවාර්ය කිරීම හා අධ්‍යාපන ක්‍රමයේ සිදුකරන මූලික වෙනස්කම් මගින් මෙන්ම පොදුවේ යහපත් ආර්ථිකයක් හා සමාජීය තත්වයන්ගේ සිදුකරන  ගුණාත්මක වෙනස්කම් නිසා විශේෂයෙන්ම නව පරපුරේ දැවැන්ත අධ්‍යාපන සංවර්ධනයක් සිදුවේ. පොදුවේ සාහිත්‍ය නඟා සිටුවීමට මෙය මහත් රුකුලක් සපයයි.

අප අත්විඳින ධනේශ්වර ක්‍රමයේදී සාතිශය බහුතරයක් ඉතා වෙහෙස වී වැඩකරති. ඒ සොච්චම් වැටුපකටය. අනෙකෙකුගේ ලාභය තර කිරීමට අපි දවසේ වැඩි හරියක් වැඩ කරමු. එහෙත් සමාජවාදයේදී එසේ වෙනත් අයෙකු වෙනුවෙන් වැඩ කළ යුතු නැත. ආර්ථිකය සමෘද්ධිමත්වත්ම වැඩ කළ යුතු කාලය අඩු වී ජීවිතය විඳීමට ඇති කාලයක් ඉතිරිවෙයි. ඒ කාලය ගත කරන්නට ජනතාව පෙළඹවෙන්නේ, හොඳ චිත්‍රපටි, හොඳ නාට්‍ය, රසවිඳීමට මෙන්ම පොත පත කියවීමටය.

පොදු  යටිතල පහසුකම් සංවර්ධනය, නිවාස, සෞඛ්‍ය සේවයේ, ගමනාගමනයේ  ආදී මූලික අවශ්‍යතා සපුරාලන සියලූ ක්ෂේත්‍රවල සංවර්ධනය නිසා මිනිසුන් ආර්ථික හා සාමාජීය පීඩාවන්ගෙන්

තොර නිදහස් මනසින් ජීවත්වන තත්වයකදී ඔවුන් නිතැතින්ම කලාව සාහිත්‍යය වෙත යොමුවෙනු ඇත.

සැබෑ සමාජ යථාර්ථය සැඟවීමේ වුවමනාව පරයමින් සැබෑ ජීවිතයේ සෞන්දර්යාත්මක බව විදහාපාන්නට සමත් කලාකරුවන්ට නිදහස ලැබෙන අතර සාහිත්‍යය තවදුරටත් වෙළඳ භාණ්ඩයක් නොවීම නිසා පොත් පත් පළකිරීමේදී ඒවායේ මිල පහත වැටෙයි.

සොවියට් රුසියාවේ මොස්කව්හි පිහිටුවා තිබූ ලෙනින් පුස්තකාලය එවක ලෝකයේ තිබූ දැවැන්තම පුස්තකාලය විය. 200කටත් අධික භාෂා ප්‍රමාණයකින් ලියැවුණ දෙස් විදෙස් පොත් මිලියන ගණනක් එහි විය. එකල ලෝකයේ වැඩිම පොත් කියවන ජනතාවක් සිටි රට ලෙසද සෝවියට් දේශය නම් දරා සිටියේය.

2009 වසර චීන ළමා හා තරුණයන්ගේ කියැවීමේ වර්ෂය ලෙස නම්කර තිබියදී ඔවුන්ගේ කියැවීමේ ප්‍රවණතාවය පිළිබඳව සිදුකළ පර්යේෂණයක් මඟින් හෙළිකළ පරිදි චීන පාසැල් සිසුන්ගෙන් සියයට 91ක් පිළිතුරුදී ඇත්තේ කියැවීම ඔවුන්ගේ මූලිකම විනෝදාංශය බවයි. මේ අතරින් තුනෙන් දෙකක් දෛනිකව පොත් කියවන අතර චීන සිසුන්ගෙන් පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් දිනකට පැය පහකට ආසන්න කාලයක් කියැවීම සඳහා යොමුවන බව පැවසේ. සියයකට 40කට අධික ශිෂ්‍යයින් සංඛ්‍යාවක් පවසා තිබුණේ මාස දෙකකට අඩුම තරමින් පොත් 07ක් වත් කියවන බවය.

එවක සමාජවාදී සෝවියට් රුසියාවේ මෙන්ම වත්මන් සමාජවාදී කියුබාවේද පොත් කියවීම ජනතාව ගැවසෙන සෑම තැනකම සුලබ දසුනකි. ලැබෙන සෑම විවේකයකම පොතක් කියැවීම ඔවුන්ගේ විනෝදාංශය බවට පත්ව ඇත්තේ ගොඩනැගුනු සමාජ වටපිටාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

සෝවියට් දේශයේ පැවති තවත් විශේෂත්වයක් වූයේ, එවක මොස්කව්හි ස්ථාපනය කරනු ලැබූ ඡුරදටරුිිසඩැ ඡුමඉකසියැරි මඟින් විදේශීය භාෂාවන්ගෙන් පොත්පත් පළකර ඉතා අඩු මිල ගණන් යටතේ ඒ ඒ රටට ලබාදීමට කටයුතු කිරීමය. ශී‍්‍ර ලංකාවේද ‘ප්‍රගති ප්‍රකාශන’ ලෙස විශාල පොත් ප්‍රමාණයක් සුලබව තිබූ අතර  එමඟින් මෙරට සාහිත්‍යයට විශේෂයෙන්ම ළමා සාහිත්‍යයට කළ මෙහෙවරෙන් සමාජවාදී සෝවියට් දේශය තම රටේ පමණක් නොව අනෙකුත් රටවල සාහිත්‍ය නඟාසිටුවීමට පිටිවහලක් වූ තරම  මැන ගත හැක.

කෙසේ වුවද ඇතැම් කාල වකවානුවලදී සාහිත්‍යය අනවශ්‍ය ලෙස පාලනය කිරීමට යාම පිළිබඳ විවේචන එල්ලවී තිබූ නමුදු සමාජවාදී සෝවියට් දේශය කලාව පොදු ජනතාවගේ රස වින්දන මාධ්‍යයක් ලෙස මෙන්ම සමාජවාදය ඉදිකිරීමේ හා නව මිනිසා ගොඩනැගීමේ අත්දැකීම් සමාජයට ඥානනය කරන මාධ්‍යයක් ලෙස සංවර්ධනය කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය සහිතවම මැදිහත් විය. ලෝ ප්‍රකට සාහිත්‍යකරුවන් රැසක් වැඩකරන ජනතාව අතරින් බිහිවීමට එය හේතු විය. නිකොලායි ඔස්ත්‍රොව්ස්කි, මිහායිල් ෂොලහොව්, චිංගීස් අයිත්මාතව්, ඇලෙක්සැන්ඩර් සෙරෆිමෝවිච්, කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි ඉන් කිහිප දෙනෙකි.  මිහායිල් ෂොලහෝව් සමාජවාදය තුළ සාහිත්‍යකරණයේ දැක්වූ ප්‍රතිභාව නිසාම 1965දී ඔහුට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබාදීමටද එම ආයතනයට සිදුවිය.

එසේම චිත්‍ර කලාව, නාට්‍ය කලාව, විශේෂයෙන් ඔපෙරා නාට්‍ය සෝවියට් දේශයේ කලාවේ දියුණුවේ උදාහරණ විය. සිනමාවේදීද සෝවියට් දේශය ලෝක සිනමාවට මහා බලපෑමක් කළ බව කවුරුත් පිළිගනිති. සෝවියට් දේශය විසින් නිර්මාණය කරනු ලැබූ මහා සිනමාකරුවන් අතර විශිෂ්ටයන්ද වන්නේ සර්ජි අයිසෙන්ස්ටයින්ය. ඔහු විසින් 1952දී නිර්මාණය කළ නිහඬ චිත්‍රපටයක් වූ Battleship Potemkin නම් චිත්‍රපටය ලොව විශිෂ්ට චිත්‍රපට අතරට පත්විය. සෝවියට් ළමා සාහිත්‍යය ළමා මනස දූෂ්‍ය කරන නූතන ධනවාදී සාහිත්‍යයට දැවැන්ත අභියෝගයක් ලෙස තවමත් පවතින ඉතා විශිෂ්ට සාහිත්‍යයකි. මේ සියල්ලටම හේතු වූයේ සමාජවාදය තුළ කලාකරුවාට තිබූ පහසුකම්, පිළිගැනීම, නිර්මාණකරණයට දැක්වූ රාජ්‍ය අනුග‍්‍රහය මෙන්ම කලාකරුවන් නිවැරදි දෘෂ්ටියක පිහිටා සිටීමද වේ.

සමාජවාදී සමාජයේදී අපේක්ෂා කරන මානව සංවර්ධනයේ දිශානතියද, සැබෑ සාහිත්‍යකරුවා සිහින දකින මානව සංවර්ධනයේ දිශානතියද දෙකක් නොව එකකි. සමාජවාදයේදී ඒවා එකිනෙක අතිපිහිත වේ. එබැවින් පෙර නොවූ දෘෂ්ටියක් සහිතව සමාජවාදයේදී සාහිත්‍යය සංවර්ධනය වෙයි. සමාජවාදී සොවියට් දේශය්දී එතෙක් පැවති යථාර්ථවාදී සාහිත්‍ය රීතිය වෙනුවට සමාජ සත්තා යථාර්ථවාදී රීතිය කරළියට පැමිණියේ ඒ අනුවය.