ස්වෛරීත්වය විකිණීමට තිබේ!

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අරගලය
April 27, 2017
ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම
April 27, 2017
Show all

ස්වෛරීත්වය විකිණීමට තිබේ!

”සුද්දන් මෙහි එන විට ඉඩම් අප අතේ ය. බයිබලය උන් අතේ ය.
අද, බයිබලය අප අතේ ය. ඉඩම් උන් අතේ ය.”
අප්‍රිකානු පිරුළක්

අප්‍රිකාවේ යළි යටත් විජිත කරණය හා ඉඩම් කොල්ලය
2007 හා 2008 වසරවල දී පුපුරා ගිය ලෝක ආහාර අර්බුදය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සිට ඊජිප්තුවේ කයිරෝව දක්වාත් සෙනගාලයේ සිට හයිටි දක්වාත් ජනතා උද්ඝෝෂණ ඇති කළ අතර ඒවායේ ආණ්ඩු එම උද්ඝෝෂණ මඟින් සොලවා දමන ලදී. ධනවාදය සිය සෑම අර්බුදයක් ම නව වටයකින් ශ්‍රමය සුරා කෑමට හා ස්වාභාවික සම්පත් කොල්ලකෑමට යොදා ගන්නා බැවින් මෙම ආහාර අර්බුදය ද අධිරාජ්‍යවාදී රටවල ආණ්ඩුත්, අධිරාජ්‍යවාදී රටවලට අයත් ‘බහුජාතික’ සමාගමුත් සිය සෑදල පිටට නැගී රේන්ස් පටි අතට ගෙන, කොල්ලකෑමේ නව ක‍්‍රමවේදයන් ගෙන් පුරවා ගත් හිස් එක එල්ලයකට ගෙන, නව මංකොල්ලකාරී මෙහෙයුමකට යොමු කරන ලදී. ප‍්‍රධානම ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීමේ දී ගෙවිය යුතු අපනයන බදු ක්‍ෂණිකව ඉහළ දැමුණු අතර එමගින් ආහාර නිපදවන රටින් පිට වෙනත් රටවලට ආහාර අපනයනය කිරීම උපරිම වශයෙන් සීමා කරන ලදී.
අප්‍රිකාව, මෙයට පෙරම අප්‍රිකානු ආණ්ඩුවලත්, ජනතාවන්ගේ නොසැලකිල්ල නිසාත්, අධිරාජ්‍යවාදී මැදිහත් වීම් නිසාත්, සිය මහද්වීපයේ වැසියන්ට ආහාර නිෂ්පාදනය කරනවා වෙනුවට විදෙස් රටවල ”දැව වගාවක්” බවට පත් වෙමින් තිබූ අතර ලෝක ආහාර අර්බුදය සමඟ ඇති වූ ඉහත සඳහන් තත්වය මත එය ඉතාම දුර්දාන්ත ඛේදවාචී ස්වරූපයකින් යළි වේගවත් වී තිබේ. අප්‍රිකාව නැවත යටත්විජිතකරණයට ලක් වී ඇති අතර එය සිදු කරන්නේ ආයුධවලින් නොව ”සිය කැමැත්තෙන් ම ය”; ඒ තම මහද්වීපයේ සශ්‍රීක කෘෂිකාර්මික ඉඩම් විකුණා දමන අප්‍රිකානු පාලකයන් මඟිනි. (යටත්විජිතකරණයට ප්‍රධානතම රූපකයන් වන්නේ, ඉඩම් කොල්ලයයි) 99 අවුරුදු බදු හා 999 අවුරුදු බදු යටතේ යටත් විජිත පාලකයන් විසින් 19 වන හා 20 වන ශතවර්ෂයේ මුලදී බටහිර සමාගම් හා පුරවැසියන්ට හෙක්ටයාර් මිලියන ගණන් වන ඉතාම සරුසාර ඉඩම් ලබා දීමෙන් පසු ඉතිරි වී ඇති ඉඩම් වර්තමානයේදී නව ඉඩම් කොල්ලයට ගොදුරු කර තිබේ. 99 අවුරුදු හා 999 අවුරුදු බදු ක‍්‍රමය යනු කුමක් ද? එනම් ශතවර්ෂයක් හෝ සහස්‍රකයත් දක්වා පවතින එනම් පරම්පරා 3 1/2 ක් හෝ පරම්පරා 34 ක් (පරම්පරාවක් යනු සාමාන්‍යයෙන් වසර 30 කි) පවත්නා බදු ක‍්‍රමය කි.
අප්‍රිකානු මහද්වීපය තුළ මහා ඉඩම් කොල්ලයක් සිදු කෙරෙමින් තිබේ. එය 2006-2009 වසරවල දී පමණක් අප්‍රිකාවේ වගා කළ හැකි ඉඩම් හෙක්ටයාර් මිලියන 36-49ක් පමණ බහුජාතික සමාගම් විසින් කුණු කොල්ලයට හෝ එම රටවල පාලකයන්ට සන්තෝසම් ලබා දී හෝ අත් කර ගෙන ඇත.
ලෝකයේ වර්තමානයේ සිදු වන මහා පරිමාණ ඉඩම් කොල්ලය ප්‍රධාන ප්‍රවණතා 03ක් ඔස්සේ සිදුවේ.
1. ආහාර, ජෛව ඉන්ධන හා වාණිජ භෝග සඳහා ඉඩම් ලබාගැනීම
2. පතල් කර්මාන්තය සඳහා
3. ඉඩම් සමපේක්ෂණය, (විශාල ලාභ ලැබීමේ අරමුණින් යුතු ඉඩම් සූදුව)
ලෝක බැංකු වාර්තා අනුව 2008 ඔක්තෝබර් සිට 2009 අගෝස්තු දක්වා මාස 10 තුළ ලොව කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් මිලියන 46ක් මහා පරිමාණ සමාගම් මගින් මිල දී ගෙන ඇත. එසේ වුවද ලෝක ඉඩම් අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සමුළු වාර්තා අනුව එම අගය හෙක්ටයාර් මිලියන 82කි. මෙම ඉඩම් ගනුදෙනුවලින්,
50% ක් – හෙක්ටයාර් 40000 (අක්කර ලක්‍ෂය)
25% ක් – හෙක්ටයාර් ලක්‍ෂ 2 (අක්කර ලක්‍ෂ 5)
25% ක් හෙක්ටයාර් 10,000 (අක්කර 25,000) ප්‍රමාණයේ ඒවා ද වේ.
ඒවායින් 37% ක් ආහාර නිෂ්පාදනයට ද, 21% වාණිජ භෝග (Cash crop) සඳහා ද, 21% – ජෛව ඉන්ධන සඳහා ද වෙන් වූ ව්‍යාපෘති වේ.
පසුගිය දශකයේ දී බහුජාතික සමාගම් විසින් අක්කර මිලියන 560ක් අප්‍රිකාව, ලතින් ඇමරිකාව, අපරදිග ආසියාව යන කලාපවලින් ජෛව ඉන්ධන හා කැණීම් සඳහා යොදා ගෙන ඇත. මෙම ඉඩම් මීට පෙර ආහාර නිෂ්පාදනයට යොදා ගත් ඒවා ය.
මෙහි විශාලත්වය කොපමණ ද කිව හොත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, හා අයර්ලන්තයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයට වඩා විශාලයි.

මැඩගස්කරය
ලෝක ආහාර අර්බුදය නිසා ඉතිහාසයේ කිසි දා නොවූ විරු අයුරින් ඉහළ ගිය සහල් හා තිරිඟු පිටිවලට එරෙහිව, සිය සමස්ත ආදායමෙන් 2/3ක් දෛනික ආහාර වේල පිරිමසා ගැනීමට වියදම් කිරීමට සිදු වී තිබෙන නාගරික දුප්පත් ජනයාගේ උද්ඝෝෂණ විසින් 2009 දී මැඩගස්කරයේ ජනාධිපති රවාලෝමනානාගේ ආණ්ඩුව පෙරළා දැමිණි. ඒ ඩිස්නි පවුලට (Disney) අයත් සාමාජිකයෙකුගෙන් තම පුද්ගලික පාවිච්චිය සඳහා රාජ්‍ය අරමුදල් යොදවා ජනාධිපතිවරයා විසින් පුද්ගලික ජෙට් යානාවක් මිල දී ගැනීම නිසා නොවේ. ඒ, ජනාධිපති රවාලෝමනානා විසින් හෙක්ටයාර් මිලියන 1.3ක් එනම් අක්කර 3,250,000 ක් (එනම් මැඩගස්කරයේ වගා කළ හැකි ඉඩම්වලින් 50%ක්, බෙල්ජියම් රාජ්‍යයෙන් අඩක් පමණ ප‍්‍රමාණයක්) දකුණු කොරියාවේ ඩායිවූ (Daewoo) සමාගමට අවුරුදු 99කට බඩ ඉරිඟු හා ෆාම් ඔයිල් වගා කිරීමටත් එම සම්පූර්ණ කාලය තුළම එම සම්පූර්ණ අස්වැන්න දකුණු කොරියාවට පැටවීමට අවසර ලබා දීමත් නිසා ය. ඩායිවූ සමාගම කිසිදු මුදලක් මැඩගස්කර් ආණ්ඩුවට නො ගෙවූ අතර ඒ වෙනුවට මැඩගස්කරයේ යටිතල පහසුකම් දියුණු කරන බවට ද ”එම ඉඩම්වල වගා කිරීම මගින් මැඩගස්කර වැසියන්ට රැකියා ලැබෙනු ඇති බවට ද” වූ පොරොන්දුවක් ඩායිවූ සමාගම විසින් ලබා දී තිබුණි. ක්‍රමයක් ලෙසට මෙම ගනුදෙනු ජනතාවට වසන් කර තිබුණි. මෙම කුප‍්‍රකට ගනුදෙනුව බ්‍රිතාන්‍යයේ London Financial Times පුවත්පත මඟින් හෙළි කිරීමත් සමඟම මැඩගස්කරය තුළ ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ අතර කෝපාන්විත ජනයාගේ හා හමුදා මැදිහත් වීමක් ද මත මැඩගස්කර ආණ්ඩුව පෙරළා දැමුණු අතර ආහාර අර්බුදය හා ඉඩම් කොල්ලයට එරෙහි ජනතා සටන් නිසා ලොව බිඳ වැටුණු පළමු ආණ්ඩුව මෙය වේ.
2008 සැප්තැම්බරයේ සිට මේ දක්වා ධනවත් රටවල් සහ බහුජාතික සමාගම් විසින් කරන ලද ඉහත ආකාරයේ මහා පරිමාණ ඉඩම් කොල්ලයන් 100කට අධික සංඛ්‍යාවක් සිදු වී ඇත. බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ උපදේශකයකු වන මාර්ක් වෙස්ටන් ඉහත ඉඩම් ගනුදෙනුව පදනම් කර ගෙන මෙසේ කියයි. (චීන විරෝධි දේශපාලනය ද පදනම් කර ගෙන ඇත.)
”හිතන්න, ආර්ථිකය බිඳවැටීම නිසා බංකොලොත් වූ බ්‍රිතාන්‍යය ආණ්ඩුව සිය විදේශ විනිමය පිපාසය නිසා ඉතාම ලඝු සාකච්ඡාවක් මඟින් වෙල්ස්හි සියලූම ඉඩම් චීනයට වසර 99කට විකුණා, එහි දැනට වාසය කරනු සියලූම බ්‍රිතාන්‍යයන් ඒ ප්‍රදේශවලින් ඉවත් කර ඒ වෙනුවට චීන කම්කරුවන් පදිංචි කරවා, එම ප්‍රදේශය අති දැවැන්ත වී වගාවක් බවට පත් කර ඉදිරි වසර 99 තුළ දී එහි නිපදවන සහල් චීනයට යවන්නේ යයි කියා. හිතන්න, එම ප්‍රදේශවලින් ඉවත් කළ වෙල්ස්හි ජනතාව හෝ බ්‍රිතාන්‍යයේ සෙසු පුරවැසියන් මේ ගනුදෙනුව මගින් තමන්ට ලැබෙන්නේ මොනවා දැයි නො දන්නා අතර ඒ වෙනුවට නව ඉඩම් හිමියා විසින් ‘වරායන් කිහිපයක් නවීකරණය කිරීම හෝ නව රැකියා අවස්ථා නිර්මාණය වනු ඇත’ යන රැවටිලිකාර බස්වලට අසු වනු ඇති කියා.
ඉන් පසුව වසර කිහිපයකට පසු දිගින් දිගටම පවතින ආර්ථික අවපාතයන්, කඩා ගෙන වැටෙන පවුමත් හමුවේ බ්‍රිතාන්‍යයට විදෙස් රටවලින් ඇති තරම් ආහාර ආනයනය කිරීමට නොහැකි වේ යැයි සිතන්න. තෙල් මිල අධික ලෙස ඉහළ නැඟීම නිසා හෝ පාරිසරික විනාශයන් නිසා ලොව විශාලතම ධාන්‍ය නිෂ්පාදකයන් ධාන්‍ය මිල සාමාන්‍ය බ්‍රිතාන්‍යය ජාතිකයන්ට මිල දී ගැනීමට නොහැකි තරමේ ඉහළ නැංවුවා යයි සිතන්න. තම අල්ලපු වැටේ සිට මුළු වෙල් යායේ ම නිෂ්පාදනය අඛණ්ඩව චීනයට පටවද්දී, තමන්ට අවශ්‍ය මූලික ආහාර මිල දී ගැනීමට නොහැකිව සා ගින්දරෙන් පසු වන බ්‍රිතාන්‍යයන් කුමක් කරනු ඇත්ද? ඔවුන් තම කෘෂිකාර්මික ඉඩම්වලින් හරි අඩක් පිටතට විකුණු බ්‍රිතාන්‍යය ආණ්ඩුවට දොස් පැවරීමෙන් නො නැවතී, තමන්ට හිමි වී තිබූ ඉඩම් නැවත ලබා ගැනීමට ප්‍රචණ්ඩකාරී සැලසුම් සකස් කරනු ඇත….”

මේ ආකාරයේ ‘පොරොන්දුවලට’ අප්‍රිකානු ජනතාව සතු ඉඩම් විශාල ප්‍රමාණයෙන් විදේශිකයන්ට විකිණීම මේ මොහොතේ සෑම මිනිත්තුවක ම සිදුවේ. නමුත් අවාසනාව නම් බොහෝ ජනයා මෙම ඉඩම් කොල්ලය පැරදවීමට එක්සත් ක්‍රියාකාරී බලවේගයන් ලෙස සංවිධානය වී නොමැත වීම ය. ඒ වෙනුවට ඔවුන් ‘කාරුණික’ විදේශ ‘දානපතියන්’ විසින් අහසින් ගෙනත් දමන ධාන්‍ය ඇට කිහිපයක් ලබාගැනීම සඳහා එකා පසු පස එකා දණ ගසමින් සිටින අතර තවත් පිරිසක් ‘ජනරාල්වරුන්ගේ’ ප‍්‍රමාණය දෙගුණ කරමින් ‘ට්‍රිලියන ගණන්’ වූ කණ්ඩායම් ප්‍රමාණයකට වෙන් වී එකිනෙකා සමඟ සටන් කරමින් සිටිති.
අප්‍රිකාවේ සිදු වන ඉඩම් කොල්ලය වෙළඳපොළ ආර්ථිකයේ පාප් වහන්සේ ලෙස සැලකෙන Financial Times පුවත්පත පවා හඳුන්වා තිබුණේ, විශේෂයෙන්ම දකුණු කොරියාවේ Daewoo සමාගම විසින් මැඩගස්කරයේ වගා කළ හැකි භූමියෙන් අඩක් ‘පොරොන්දුවකට’ යටත් ව 99 අවුරුද්දකට ගැනීම, ”පුළුල් සංකල්පයක් විළිලැජ්ජා නැති අයුරින් කෑදර ලෙස ගසා කෑමක්” ලෙස හඳුන්වමිනි. අප්‍රිකාව තුළ සිදු වන නව ආකාරයක යටත් විජිත කරණයක් වන මෙය ලොව ධනවත් රටවල් විසින් දුප්පත් රටවල්වල ස්වාභාවික සම්පත් (අමුද්‍රව්‍ය) කොල්ලකෑමේ වැඩපිළිවෙළේ ම දිගුවකි. තම රටේ ජනතාවට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය තම රටේ නිපදවා ගත නොහැකි ධනවත් රාජ්‍යයන්, තම රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීම සඳහා වෙනත් රටවල කෘෂිකාර්මික ඉඩම් තම රටේ ස්වෛරී ඉඩම් හා බොහෝ දුරට සමාන බලයක් හා අයිතියක් සහිත ව භාවිත කිරීම මේ යටතේ සිදු වෙයි. මීට වසර 1500 කට පමණ පෙර තම රටවල ශුෂ්ක වැලි සහිත බිම තුළ ආහාර නිෂ්පාදනය කිරීම කළ නොහැකි බව තේරුම් ගත් අරාබි අධිරාජ්‍යයන් (විශේෂයෙන් ඊජිප්තුව) අප්‍රිකානු භූමිය යටත් කර එය තම ධාන්‍යාගාරය කර ගත්තාක් මෙන් වත්මන් ධනවත් රටවල් එයම වසර 1500 කට පසුව නැවතත් අප්‍රිකාව තුළ සිදු කරමින් සිටියි. මෙම ඉඩම් කොල්ලයෙ දී අරාබි රටවල් ඉදිරියෙන් සිටියි. ලෝක තෙල් සම්පතින් 45%ක් හිමි බහරේන්, සෞදි අරාබිය, කුවේට්, ඕමාන්, කටාර් යන රාජ්‍යවලින් ඊජිප්තුව, ඉතියෝපියාව, සැමිබියාව, උගන්ඩාව පමණක් නොව කාම්බෝජය, බ‍්‍රසීලය, කසකස්තානය, යුක්‍රේන් සහ රුසියාව වැනි රටවල ද කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගෙන ඇත. බෙදීමට කලින් අප්‍රිකාවේ විශාලතම රට වූ සුඩානයේ ලොව වඩාත් ම ආහාර හිඟතාවයෙන් හා මන්ද පෝෂණයෙන් පෙලෙන ජනතාව වෙසෙන ප්‍රදේශවලින් දකුණු කොරියාව හෙක්ටයාර් 960,000ක් ද, තවත් එවැනි ම ධනවත් රටවල් 6ක් ඉහත මට්ටමේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් ද අයත් කර ගෙන ඇත. මේ අතර සෞදි අරාබිය විසින් ටැන්සානියාවේ හෙක්ටයාර් ලක්‍ෂ 5ක් අත් පත් කර ගෙන ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම විසින් පකිස්ථානයේ හෙක්ටයාර් 324,000 ක ඉඩම් ප‍්‍රමාණයක් අත් පත් කර ගෙන ඇත. ඊට අමතරව චීනය, ඉන්දියාව, දකුණු කොරියාව වැනි අධික ම ජනගහනයක් සහිත රටවලින් ද අප්‍රිකානු කෘෂිකාර්මික ඉඩම් තම රටවල ආහාර අවශ්‍යතා වෙනුවෙන් අත්පත් කර ගෙන තිබේ. මෑතක දී ඉන්දියානු ආණ්ඩුව විසින් ඉතියෝපියානු භාණ්ඩ ඉන්දියානු වෙළඳපොළට එවීමට පනවා තිබූ බදු අඩු කළ අතර ඒ අතර ඉන්දියානු සමාගම් 80 කට විශේෂයෙන්ම ඉතියෝපියාවේ හා කෙන්යාවේ කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 350,000ක් මිල දී ගැනීමට ඉන්දියානු ආණ්ඩුවෙන් මුදල් පහසුකම් සලසා දුනි. ඉතියෝපියාවට ලබා දුන් බදු සහනයට හිලව් වශයෙන් ලොව වැඩිම සාගතය සහිත රට වන ඉතියෝපියාවේ කෘෂි ඉඩම් මිල දී ගැනීමට, ඉන්දියාවට දොර හැරීමට ඉතියෝපියාවට සිදු විය. ඉන්දියානු සමාගම් විසින් කෙන්යාවේ හෙක්ටයාර් ලක්‍ෂ ගණනක් කෘෂි ඉඩම් අල්ලා ගනිද්දී ම, කෙන්යාවේ ජීවත් වන අප්‍රිකානු ජන කණ්ඩායම් එකිනෙකාගේ තොල් කපා දමමින් ද තමාගේ ම පොලිසියෙන් හා හමුදාවෙන් වෙඩි කමින් ද පල්ලිවල යාඥා කරමින් සිටියදීම කාන්තාවන්, දරුවන් පුළුස්සා ද මරන්නේ ද ඉඩම් ගැටලූ නිසා වීම කුමන සරදමක් ද? Gallmanì, Briatores, සහ Bransons ඇතුළු යුරෝපා ප‍්‍රකෝටිපතියන් සයිප්‍රසය මෙන් තුන් ගුණයක් තරම් විශාල වූ (සයිප්‍රසය ව.කි. 7254) පුද්ගලික වතු යායන්ට හිමිකම් කියන්නේ ද මෙම කෙන්යාවේම ය. බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයා සහ ඔහුගේ බිරිඳ සෑම වසරකට ම වරක් ‘Hplleywood in the bush’ යනුවෙන් හඳුන්වන පුද්ගලික රාජ්‍ය බඳු අති විශාල වතුයායේ පෙම් කිරීමට පැමිණෙන්නේ ද, ලොව ”සුපිරි තරු” ලෙස හැඟෙන කලාකරුවන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් පුද්ගලික රාජ්‍ය බඳු විශාල ප්‍රදේශ අත්පත් කර ගෙන සිටින්නේ ද ස්වදේශික අප්‍රිකානු කෙන්යානුවන් 75%ක් තක්කාලි පැලයක් හිටවීමට බිම් අඟලක් හෝ නැතිව සිටින මෙම කෙන්යාවේම ය.
කටාර් රාජ්‍ය සහ කෙන්යාව අතර මෑතක දී අත්සන් කෙරෙනු ගිවිසුමකින් කෙන්යාවේ හෙක්ටයාර් 40,000ක් (අක්කර 100000ක්) කටාර් රාජ්‍යයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා (කටාර් හි වගා කර ඇති භූමි ප‍්‍රමාණය 1%කි) ලබා දී තිබේ. ඒ එසේ කර ඇත්තේ කෙන්යාවේ ජනගහනයෙන් 1/3ක් ආහාර හිඟයෙන් පීඩා විඳිද්දී ය. කෙන්යානු ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට අවශ්‍ය විසඳුම් නොමැති කෙන්යානු ජනාධිපති (ධනේශ්වර පාලනය) කිබාකි විසින් මෙම ඉඩම් ගනුදෙනුවට විරුද්ධව පැන නැගුණු ජනතා විරෝධතා හදිසි නීතිය යොදා මර්දනය කළ අතර එසැණින්ම කෙන්යාවේ උග්‍ර ආහාර හිඟය සඳහා ජාත්‍යන්තර සහනාධාර ඉල්ලා ආයාචනා කරමින් ජාත්‍යන්තර සංවිධානවලට යමින් සිඟමින් ඉල්ලීම ද ආරම්භ කළේය.
කෙන්යාවේ ඉඩම් අර්බුදය හා ආහාර අර්බුදය ධනපති ක්‍රමයේ අර්බුදයක් මෙන් ම යටත් විජිත කරණයේ සෘජු ප්‍රතිඵලයකි. 1905 දී බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත් විජිතයක් වූ කෙන්යාව තුළ බ්‍රිතාන්‍ය ජාතිකයන් පදිංචි කිරීම හා ආයෝජනය දිරි ගැන්වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය ජාතිකයන් 10,000ක් සඳහා කෙන්යාවේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයෙන් 25%ක් වෙන් කරන ලදී. White Highlands යනුවෙන් හඳුන්වන ලබන මෙම සශ්‍රීක ඉඩම්වල සම්ප්‍රදායික ව ජීවත් වූ ජනයා ලක්‍ෂ ගණනින් ඉවත් කළ අතර එම ඉඩම් අවුරුදු 99ට හා අවුරුදු 999ට බ්‍රිතාන්‍යයන් (බොහෝ ඒවා වසර 999ට) බදු දෙන ලදී. අක්කර ලක්‍ෂ ගණන් විශාල පුද්ගලික වතු යායන් බිහි වූ අතර සාම්ප්‍රදායික කෘෂිකර්මය හා සත්ව පාලනය කළ ස්වදේශික ජනයා බිම් අඟලක දු නැති අය බවට පත් විය. (එම ජනයාට වන්දි නොලැබුණි. මන්ද යත් අප්‍රිකානු ඉඩම් අයිතිය සම්ප්‍රදායික ක්‍රම හා රටාවන් මගින් පරපුරෙන් පරපුරට හිමි වුවක් මිස වෙළඳ භාණ්ඩයක් නොවී තිබු බැවිනි. 1840 දී හා 1847 දී ලංකාවේ මඩු බිම් පනත මගින් ලාංකේය ජනයා ඉඩම්වලින් පලවා හැරියේ මේ ආකාරයට ය. අවුරුදු 1000ක් පවත්නා බදු කොන්දේසි මත, එක පවුමක් හෝ ස්වදේශිකයන්ට නො ගෙවා ගත් අක්කර මිලියන ගණන් තබා ගත් බ්‍රිතාන්‍ය පවුල් හා සමාගම් අත අද ද එම ඉඩම් රැඳි තිබේ. 1960 ගණන්වල කෙන්යාවේ ”මාවෝ මාවෝ” ව්‍යාපාරය ආරම්භ වූයේ ද මෙම ඉඩම් කොල්ලයට එරෙහිව ය. මෙම ව්‍යාපාරය සමාජවාදය මත පදනම් වූ විප්ලවවාදී ව්‍යාපාරයක් නොවූ හෙයින් එම සටනින් අවශ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි විය. වර්ෂ 2010 දී කෙන්යානු පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් වසර 999 බදු කාලය වසර 99 දක්වා පමණක් අඩු කරන ලදී. කෙන්යානුවන්ට තවත් වසර 100ක් තම ඉඩම් අයිතිය සඳහා බලා සිටීමට සිදුවේ.
කටාර් රාජ්‍යයට, තම පුරවැසියන් සඳහා කෙන්යාවේ වගා කළ හැකි නම්, කෙන්යාවට, කෙන්යානුවන් සඳහා, කෙන්යාවේ ඉඩම් තුළ වගා කළ නොහැකි වන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් පැන නැගී… කටාර් රාජ්‍යයට අක්කර ලක්‍ෂයක භූමියක් Tana river delta (ටානා ගංඟාවේ ඩෙල්ටාව) වෙන් ලබා දී ඇති අතර මෙම ප්‍රදේශය අතිශය සරුසාර, පිරිසිදු ජලය ඇති තරම් ඇති භූමි භාගයකි. මේ වන විට එම භූමියේ කෙන්යානුවන් 150,000ක් පමණ ගොවිතැන් කටයුතු හා සත්ව පාලන කටයුතු කරන අතර ගවයන් 60,000ක් පමණ මෙම ප්‍රදේශයේ ඇති කරනු ලබයි. අතිශය සංවේදී පාරිසරික කලාපයක් ද වන මෙම ප්‍රදේශය තුළ ඇති පාරිසරික පද්ධතිය, සැවානා බිම්, වගුරු බිම් හා වනාන්තර විනාශ කිරීමට එරෙහිව පරිසරවේදීන් හා විවිධ කණ්ඩායම් විසින් උද්ඝෝෂණය කරනු ලබන අතර ජන කණ්ඩායම් අතරින් සන්නද්ධ ප‍්‍රතික‍්‍රියාවන්ද ඇති වී තිබේ. එය සන්නද්ධ ගැටුමක් බවට පත් වූ විට බටහිර ජනමාධ්‍ය විසින් ”යුධවාදී අප්‍රිකානු ගෝත්‍රිකයන්ගේ සටනක්” ලෙස මිස තම ඉඩම් හා පාරම්පරික වාස භූමි විදේශ රටක් වන කටාර් රාජ්‍යයට විකිණීමට එරෙහිව අරගල කරනු ජනතාවගේ සටනක් ලෙස නම් නො කරනු ඇත.
උගන්ඩාව
උගන්ඩාවේ ගොවි පවුල් 400ක් පමණ එනම් 2000ක පමණ ජනතාවක් උගන්ඩා හමුදාව යොදවා 2001 දී පලවා හැරි අතර එමගින් ජර්මන් කෝපි සමාගමක් වූ Neumann Kaffee Gruppe වෙත එම ඉඩම් ලබා දෙන ලදී. මෙය සංවර්ධන රටවල් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (OECD) නම් අධිරාජ්‍යවාදී සංවිධානයේ බහු ජාතික සමාගම්වලට අනුගමනය කිරීමට පළ කර ඇති රෙගුලාසිවලට ද විරුද්ධ ය. 2001 අගෝස්තු 24 උගන්ඩා ජනාධිපති Musexeni හා Neumann Kaffee Gruppe අධිපති Michael R. Neumann එක්ව අදාළ සමාගමේ කෝපි වගා ව්‍යාපාරය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. එම ඉඩම්වලින් පලවා හැරි ජනතාවට අද වන තෙක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති අතර තමන්ට අවශ්‍ය ආහාර මිල දී ගැනීමට හෝ දරුවන් පාසල් යැවීමට අවශ්‍ය මුදල් වෙන් කිරීමට හෝ නොහැකිව සිටී.

මොසැම්බික්
මොසැම්බික් රාජ්‍යය මෑතක දී ඇමරිකන් ඩොලර් බිලියන 2ක ගිවිසුමක් චීනය සමඟ අත්සන් කළ අතර ඒ අනුව චීන ජාතිකයන් 10000ක් සඳහා මොසැම්බික්හි ඉඩම් ලබා දේ. ඊට අමතරව ඇමරිකන් ඩොලර් මිලියන 3ක යුධ ආධාර චීනය මඟින් මොසැම්බික් රාජ්‍යයට ලබා දෙනු ඇත. 99 අවුරුදු හෝ 999 අවුරුදු හෝ බදු මගින් මොසැම්බික් රාජ්‍යය තුළ චීන ප්‍රාන්තයක් එක් පැත්තකින් ගොඩනැගෙන අතර අනිත් පසින් ඉඩම් අහිමි, මන්දපෝෂණයෙන් පෙලෙන මොසැම්බික් ජාතිකයන් එකිනෙකා මරා ගන්නා තත්වයකට ද පත් වනු ඇත.

කොලොම්බියාව
කොලොම්බියාව ලතින් ඇමරිකාවේ අධිරාජ්‍යවාදී ග්‍රහණයට තදින් නතු වූ රාජ්‍යයකි. කොළොම්බියානු භූ විද්‍යා සේවයේ වාර්තාවකට අනුව බහුජාතික සමාගම් 18ක් කොලොම්බියාවේ අක්කර මිලියන 12ක කැණීම් අයිතිය සහිත ව කැණීම් කරනු ලබයි.
1. Anglo Gold Ashanthi and Mineros SA යන සමාගම් දෙකට පමණක් අක්කර මිලියන 7ක් ද
2. Eco Oro සහ Levhat යන සමාගම් අක්කර ලක්‍ෂය බැගින්
3. තෙල් කැණීම් සමාගම් සඳහා දී ඇති ඉඩම් ප‍්‍රමාණය අක්කර මිලියන 90ක් ද වේ.
කොලොම්බියාව තුළ ආහාර නිෂ්පාදන බහුජාතික සමාගම්වල භූමිකාව බිය ගෙන දෙන සුළු ය.
1. Cargill ලොව විශාලතම කෘෂි ව්‍යාපාරය සංගතය – අක්කර 220,000ක් කොලොම්බියාවේ Meta දිස්ත්‍රික්කයෙන් මිල දී ගැනීම.
2. Merhay ඊශ්‍රායල සමාගම අක්කර 25,000ක් එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය උක් වැවීමට මිල දී ගැනීම.
3. ජෛව ඉන්ධන නිපදවීමට බහුජාතික සමාගම්වලට විකුණා ඇති ඉඩම් ප‍්‍රමාණය අක්කර 280,000 කි.
4. දැව වගා සඳහා බහුජාතික සමාගම්වලට විකුණා ඇති ඉඩම් ප‍්‍රමාණය අක්කර 250,000කි.
ලැයිස්තුව තව දිගු ය. බ්‍රිතාන්‍ය ආයෝජන සමාගමක් වන Investment Management සමාගම දුගී මලාවි රාජ්‍යයේ සරුසාර කෘෂිකාර්මික ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් ද, ඇමරිකා එක්සත් ජනපද බැංකු කරුවෙකු වන Philippe Heilbery විසින් දකුණු සුඩාන පුද්ගලික හමුදා අධිපතියෙකුගේ ද සහාය ඇතිව දකුණු සුඩානයේ වර්ග කි. මී. 4000ක් තරම් විශාල කෘෂිකාර්මික ඉඩම් ප‍්‍රමාණයක් ද, Brazzaville ප්‍රදේශයේ හෙක්ටයාර් මිලියන 10ක් (අක්කර මිලියන 25ක්) සුදු දකුණු අප්‍රිකානුවන් කිහිප දෙනෙකුට විකුණා තිබේ. මීට අමතරව බහුජාතික මූල්‍ය දැවැන්තයන් වන Blackstone Group, Goldman and Sachs සහ Dexion Capital යන සමාගම් ද අප්‍රිකාවේ කෘෂිකාර්මික ඉඩම්වල ආයෝජනය කර ඇත. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන අප්‍රිකාව තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දිගු කලක් මැදිහත් වෙමින් තිබෙන අතර 2008 ලෝක ආහාර අර්බුදයෙන් පසු අනෙකුත් විශාල ආර්ථිකයන් සහිත රටවල් හා මැද ආදායම් ලබන රටවල් ද අප්‍රිකාව තුළ තම රටවල ආහාර අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් බිලියන ගණන් පොම්ප කරමින් සිටී. මෙම සියලූම ආයෝජකයන් මීට පෙර තම ආයෝජන සිදු කළේ අතරමැදියන් හරහා වන අතර මේ වන විට ඒවා අතරමැදියන් ඉවත් කරමින් තමන් ම සෘජුව ම කෘෂි ව්‍යාපාර සඳහා මැදිහත් වෙමින් තිබේ.
එවන් එක් ආයෝජකයෙක් වන බ්‍රිතාන්‍යයේ Cru Investment සමාගමේ ප්‍රකාශක ඩන්කන් නැමැත්තාට අනුව,
”අප්‍රිකාව ලොව ප‍්‍රධානම ආහාර නිෂ්පාදකයෙක් බවට පත් කළ හැක. ඇය සතුව විශාල ශ්‍රම බලකායක් ඇති අතර ඇගේ පස සාරවත් ය. එමෙන්ම ඇය සතුව ඇති තරම් ජලය සහ හිරු එළිය තිබේ” මෙම පුද්ගලයන් අප්‍රිකාව ගැන බොහෝ දේ කීව ද අප්‍රිකාවේ මිලියන ගණන් ජනතාව බඩගින්නෙන් හා ලෙඩ රෝගවලින් මියයන බවත් එම දසලක්‍ෂ ගණන් මරණ පිරිසිදු වතුර ස්වල්පයක් වත් ඇත්නම් වළක්වා ගත හැකි බවත් නො කියන්නේ ඇයි?
තවත් අප්‍රිකානු කෘෂි ව්‍යාපාර ආයෝජකයකු මෙන් ම එක්සත් ජනපදයේ බැංකු කරුවකු වන Philippe Heilbery ගෙන් ඇමරිකානු මාධ්‍ය විසින් දකුණු සුඩානයේ ආයෝජනය කර ඇති ඔහුගේ ව්‍යාපාරවලට ඇතිවිය හැකි දේශපාලන හා නීතිමය බාධා ගැන විමසු විට ඔහු පැසවුවේ ”දැනට දකුණු සුඩානයේ ආයෝජනය කිරීම මඟින් ගෙන ඇති අවදානම වෙනුවෙන් ඉදිරියේ දී එම ආයෝජන මෙන් කිහිප ගුණයකින් තමාට ගෙවනු ඇති බවත් ඉදිරි වර්ෂ කිහිපය තුළ දී අප්‍රිකානු රාජ්‍ය කිහිපයක් ම බෙදී යනු ඇති නිසා තමා එසේ සිතන බවත් ය”.
(Phillippe සුඩානය ඇතුළු අප්‍රිකානු රටවල් බෙදී යනු ඇතැයි පවසන්නේ සුඩානය බෙදා වෙන් කිරීමේ මූලික සැලසුම් ප්‍රසිද්ධියට පත්වීමට ද පෙර ය.)
අප්‍රිකාව තුළ සිදු කරන අධිරාජ්‍යවාදී ආර්ථික ව්‍යාපෘති හා අප්‍රිකාව තුළ සිදු කරනු අධිරාජ්‍යවාදී දේශපාලන යුධ මැදිහත් වීම් කෙතරම් එකිනෙක අතිනත අල්ලා ගෙන යන්නේ දැයි මෙම ප්‍රකාශයෙන් ම සනාථ වේ. අප්‍රිකාවේ ඉඩම් කොල්ලය සිදු කරන්නේ, අධිරාජ්‍යවාදී රටවලට හා ධනවත් රටවලට අවශ්‍ය ආහාර නිපදවීම පමණක් නොවේ. මෑතක දී යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කළ කාන්තාර මඟින් බලශක්තිය නිපදවීමේ තාක්‍ෂණය පිළිබඳ ප්‍රකාශනය මඟින් දක්වා ඇති සංකල්පය මෙසේ ය.
”ඉදිරි දශකවල දී මානව සංහතියේ පැවැත්මට බාධා වන ගෝලීය පරිමාණයේ අභියෝගයන් කිහිපයක් වර්ධනය වනු ඇත. මානව වර්ගයාට දේශගුණික වෙනස් වීම්, ජනගහන වර්ධනය ආදිය මඟිනුත්, ජලය සහ බලශක්තිය සඳහා ඇති වන විශාල ඉල්ලූම විසිනුත් ආර්ථික ප්‍රසාරණයට බාධා වනු ඇත. DESERTEC ‍ සංකල්පය මේවාට විසඳුම් සපයනු ඇත.
මෙම DESERTEC සංකල්පය යටතේ බලශක්තිය නිපදවන්නේ මූලික වශයෙන් මේ අයුරිනි. එනම් ගල් අඟුරු-තාප බලාගාරයක පරිද්දෙනි. වෙනසකට ඇත්තේ එක් රැස් කර ගනු ලැබූ සූර්ය බල ශක්තිය මෙහි දී යොදා ගනු ලබන්නේ ගල් අඟුරු බලාගාරයක දී මෙන් ගල් අඟුරු දහනයට නොව වාෂ්ප නිපදවීමට ය. විශාල දර්පණ රාශියක් එකක ආලෝකය තව එකකට පරාවර්තනය වනු අයුරින් හා තාපය ඒකරාශි වන අයුරින් සකස් කරයි. (උත්තල කාචයන් හරහා ආලෝකය එක් තැනකට නාභි ගත කරන්නක් මෙන්) මෙම තාක්‍ෂණයේ ඇති ප්‍රධාන වාසියක් නම් හිරුගේ තාපයෙන් කොටසක් තාපය ගබඩා කරන ටැංකි තුළ දහවල් කාලයේ දී ගබඩා කළ හැකි වීමත් රාත්‍රියට හෝ වැඩි ඉල්ලූමක් ඇති අවස්ථාවල දී එම ගබඩා කරන ලද තාපය යොදා ගෙන වාෂ්ප ජනක යන්ත්‍ර ක්‍රියා කරවා විදුලිය නිපදවා ගත හැකි වීමත් ය. මෙම තාක්‍ෂණය යටතේ, යළි යළිත් යොදා ගත හැකි හා පාලනය කරන ලද බලශක්තිය අවශ්‍යතාවය අනුව සැපිරිය හැක.”
යුරෝපා සංගමයේ Desertec Concept පත්‍රිකාව

තාක්‍ෂණය ද, ක්‍රමවේදය ද, විද්‍යාව ද හොඳ ය. නමුත් ප්‍රශ්නය නම් මේ විසඳීමට යන්නේ කාගේ ප්‍රශ්න ද? අප්‍රිකානුවන්ගේ ද? විය නොහැක. වසර දහස් ගණනක් අප්‍රිකානුවන්ට අයිති ව තිබූ සහරාව අධිරාජ්‍යවාදී රටවල බලශක්ති උවමනාවන් වෙනුවෙන් Desertec Concept සංකල්ප මගින් මිලට ගැනීමට සැරසෙන්නේ එම ආකාරයට ය.

ජීව ඉන්ධන නිෂ්පාදනය
ඉතියෝපියාවේ හා ටැන්සානියාවේ ඉඩම් අක්කර ලක්‍ෂ ගණන් ජර්මානු, බ්‍රිතාන්‍යය හා ඇමරිකා එක්සත් ජනපද සමාගම් විසින් ජීව ඉන්ධන නිපදවීමට මිල දී ගෙන තිබේ. සාගතයට පර්යාය පදයක් වී තිබෙන ඉතියෝපියාව තම ඉඩම් ජෛව ඉන්ධන නිපදවීමට ලබා දීම ගැන කියනු ලබන්නේ එමගින් තමන්ගේ තෙල් ආනයනය මත රඳා පැවතීම හා ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ පහළ යාම නිසා ඇතිවන ගැට‍ළුවලට විසඳුමක් ජෛව ඉන්ධනවලින් ලැබෙනු ඇති බව ය. දැනටමත් ලොව විශාලතම නියඟයට මුහුණ දී තිබෙන ඉතියෝපියාව ජෛව ඉන්ධන නිපදවීම සඳහා ලබා දී ඇති ඉඩම්වලින් 75%ක් ම වනාන්තර වන අතර එම වනාන්තර විනාශ කර වගා කරන ජෛව ඉන්ධන වගාවලින් ජෛව ඉන්ධන නිපදවූ විට ඒවා භාවිතා කිරීමට ඉතියෝපියානුවන් කිසිවෙක් ජීවත් ව සිටිනු ඇති ද යන ප්‍රශ්නය මෙහි ලා පැන නැගේ.
නෝර්වේජියානු ජෛව ඉන්ධන සමාගමක් විසින් ලොව විශාලතම Jatropha වගාව උතුරු ඝානාවේ වනාන්තර හෙළිකර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ, අකුරු ලිවීමට, කියවීමට නොහැකි ගෝත්‍ර ප්‍රධානියකු රවටා ඔහුගේ ඇඟිලි අත්සන මත හෙක්ටයාර් 38,000 ක භූමියක් ඉහත වගාවට ලබා ගැනීම මඟිනි. Jatropha යනු වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නැති ජෛව ඉන්ධන නිපදවීමට උපකාර වන තෙල් සහිත ඇට වර්ගයක් නිපදවන ගසකි. ලෝක ආහාර අර්බුදය සමඟ ලොව ප්‍රධාන කෘෂි නිෂ්පාදන රටවල් තම අපනයන සීමා කළ අතර සියලූම ආහාර ආනයන සහිත රටවලට ආහාර නිෂ්පාදනයේ වැදගත්කම තදින් දැනුණි. තෙල් සල්ලිවල පිහිනන අරාබිවරුන්ට ආහාර හිඟයක දී තමා සතු මුදල් නෝට්ටු තෙල්වල ගල්වා කෑමට නොහැකි බවත් තමා සතු Rolls – Royce රථ තම්බා අනුභව කළ නොහැකි බවත් තම දරුවන්ට පරිඝනක chips කෑමට දිය නොහැකි බවත් අවබෝධ විය. එමෙන්ම මෙම රටවල ආහාර ආනයන වියදම වසර 5ක දී දෙගුණ වී තිබිණ. එසේ නම් පිළිතුර තමා සතුව කෘෂිකාර්මික බිම් තිබීමයි. එය කළ හැක්කේ, තම රටේ ඒවා නොමැති නම් විදෙස් රටවල කෘෂිකාර්මික ඉඩම් හා ගොවිපළවල් තම පාලනයට නතු කර ගැනීමයි. එමගින් තම රටට අවශ්‍ය ආහාර සැපයුම සහතික වනවා මෙන් ම අතරමැදියන්ට ගෙවීමට සිදු වන ආහාර ආනයන මුදල් කැපී යාම නිසා ආහාර ආනයන වියදම 20%කින් පමණ අඩුවේ. බලශක්තියට අදාලව මෙම ප‍්‍රතිපත්තිය ක්‍රියාවට නැගී වසර 100කි. තම බලශක්ති සැපයුම අඛණ්ඩ හා ස්ථාවර කර ගැනීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අංක එකේ විදෙස් ප‍්‍රතිපත්තිය වී ඇති අතර තෙල් ඇති සෑම තැනකම පදිංචි වීම් ද යටත් කිරීම් ද ඒ රටවල ආණ්ඩු තමන්ට උවමනා පරිදි සකස් කර ගැනීම් ද රටවල් බෙදීම ද කුමන්ත්‍රණය ද ඝාතන ආදී ඕනෑම ක්‍රමයකින් ඇමරිකා එක්සත් ජනපදය තම තෙල් සැපයුම ස්ථාවර කර ගැනීමට වෙර දරයි. එම ප‍්‍රතිපත්තියම දැන් ආහාර නිෂ්පාදනයට ද යෙදීම 2008 ලෝක ආහාර අර්බුදය හා ලෝක ආර්ථික අර්බුදය සමඟ ඇරඹි තිබේ. එනම් කෘෂිකාර්මික බිම් ද තෙල් නිධි සහිත බිම් මෙන් ම උපායමාර්ගයක වැදගත්කමක් ඇති දේපළ ඉලක්ක බවට පත්ව තිබේ.

”කෘෂිකාර්මික බිම් අපේ යුගයේ හොඳම ආයෝජනවලින් එකක් බවට පත් වෙමින් තිබේ”
මූල්‍ය සම්පේක්‍ෂණකරුවෙක් වන ජිම් රෝජ්ර්ස් සහ ජාකොබ් රොක්ස්චයිල්ඞ් සාමිවරයා – 2009 ජුලි

ජල කොල්ලය
මේ අනුව යමින් මූල්‍ය සම්පේක්‍ෂණකරුවන්, ගෝලීය මූල්‍ය ආයතන කෘෂිකාර්මික බිම් තුළ තම ආයෝජනයන් පුළුල් කළ අතර ඒවා ආහාර නිෂ්පාදනය, ජල මුලාශ හා ජල සම්පත් අයිති කර ගැනීම හා ජෛව ඉන්ධන නිෂ්පාදනය ඉලක්ක කර තිබේ. විශාල ඉඩම් අත්පත් කර ගැනීම සමඟම ඉබේම සිදු වන දෙයක් නම් විශාල ජල මූලාශ්‍ර අත්පත් වීමයි. එමෙන්ම අසීමාන්තික ලෙස භූගත ජලය උකහා ගැනීමට ද තාක්‍ෂණය හා ප‍්‍රාග්ධනය සහිත මෙම සමාගම්වලට හැකි ව ඇති අතර එමගින් ස්වදේශික ජනතාවන්ට උග්‍ර ජල හිඟයන්ට මුහුණ දීමට සිදුව තිබේ. බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශ වාර්තාවට අනුව අප්‍රිකාවේ පොළොව යට ඇති ජල උල්පත්වල ඇති ජල ධාරිතාව අප්‍රිකානු මහද්වීපයේ මතුපිට ඇති ප්‍රමාණය මෙන් 100 ගුණයකි. අප්‍රිකාවේ ඉඩම් කොල්ලයේ ඇති තවත් රහසක් වන්නේ මෙම මහා ජල සම්පත විය හැකිය.
”වත්මන් තත්වයන් සහ අප ජලය කළමනාකරණය ආකාරයට ලෝකයේ තෙල් සම්පත අහිමි වීමට බොහෝ කලින් ජලය අවසන් වනු ඇත.”
බ‍්‍රාබෙක් ලෙට්මාක්

ධනේශ්වර නිෂ්පාදන රටාව විසින් ඇති කර තිබෙන ආහාර රටාව මඟින් ද ඉඩම් කොල්ලය මඟින් සිදු වන ජල කොල්ලය තවත් තීව්‍ර කරයි. ලොව මස් පරිභෝජනය (වඩාත් ම වැඩි වන්නේ ධනවත් රටවලිනි) වැඩිවත්ම ඒ සඳහා වැය වන ජලය ප්‍රමාණය ද සැලකිය යුතු වැඩි වීමත් වේ. එනම් ශාක මඟින් නිපදවන කැලරි එකක් සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය මෙන් 10 ගුණයක ජල ප‍්‍රමාණයක් මස්වලින් ලබා දෙන කැලරි 01ක් සඳහා අවශ්‍ය වීමයි. ලොව වඩාත් ම ජලය පරිභෝජනය කරන නැතහොත් ‘පිපාසිත ම’ නිෂ්පාදනය වන්නේ, ජෛව ඩීසල් නිෂ්පාදනයයි. ජෛව ඩීසල් ලීටර් එකක් නිපදවීමට අවශ්‍ය සෝයා නිෂ්පාදනය සඳහා ජලය ලීටර් 9100 ක් ද, ජෛව එතනෝල් ලීටර් එකක් නිපදවීමට අවශ්‍ය ඉරිඟු නිපදවීම සඳහා ජලය ලීටර් 4000ක් ද වැය වේ.
අධිරාජ්‍යවාදය සිය ජීවිතය තුළ මුහුණ දුන් ගැඹුරුතම ආර්ථික අර්බුදය හමුවේ සිය නවීනතම උපාය මාර්ගික දේපළ බවට කෘෂිකාර්මික ඉඩම් පත් කර ගෙන තිබේ. එය අප්‍රිකානු මහද්වීපයේ ඇති දූෂිත, දුර්වල ධනපති පාලකයන් යටත් කිරීමක් ද, දිනා ගැනීමක් ද, අල්ලස්වලට යටත් කිරීමක් ද විවෘතව කර ගෙන යනු ලබන අතර ලොව අනිත් කලාපවල ද එම උපායමාර්ගය මනාව ක්‍රියාත්මක වීම පිළිබඳ ඇති තරම් උදාහරණ අප සතු ය. අප රට තුළ ද සෝමාවතී අභය භූමියේ සශ්‍රීක වැසි ඉඩම් අක්කර දහස් ගණනින් ඇමරිකානු සමාගම්වලට බදු දෙන්නේ ද, ඉහත සඳහන් කටාර් රාජ්‍යයට ම කල්පිටියේ දූපත් 99 අවුරුදු පදනමින් බදු දෙන්නේ ද, ගාල්ල කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් හිල්රිසිඩියා වගාවට සමාගම්වලට ලබා දී දිනකට වතුර ඝන මීටර් 35,000ක් භූගත ජලය ලබාගැනීමට ඉඩ දෙන්නේ ද ඉහත උපාය මාර්ගික අරමුණු අනුව තැනූ මාවතේ ම අප රට ද දක්කන නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. බොහෝ අප්‍රිකානු රටවලට වඩා ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් අප රට තුළ කාලාන්තරයක් තිස්සේ පැවතීම හෙක්ටයාර් ලක්‍ෂ ගණනින් අමු අමුවේ දීමට බාධා කර ඇතත් විවිධ වේශයෙන්, විවිධ පරිමාණයෙන් සිදු වන ඉඩම් හා ජල මූලාශ්‍ර කොල්ලයට එරෙහි සටන අධිරාජ්‍යවාදයට එරෙහි, ධනවාදයට එරෙහි සටනක් පමණක් නොව මුළු මහත් මානව සංහතිය රැක ගැනීමෙ උදෙසා සියලූම මිනිසුන් විසින් කළ යුතු ව ඇති ප්‍රමුඛතම සටනක් වී තිබේ.

ප්‍රධාන මූලාශ්‍රය
1. Akinyi Princess නම් ලේඛිකාවගේ Re-Colanization of Africa Through Buying Agricultural Land-Wealthy Nations and their Multinationals on the Rampage නැමති ලිපියෙනි. www.articlesbase.com
Akinyi Princess 1980 සිට නිදහස් ජනමාධ්‍යවේදි නියක ලෙස කටයුතු කරන්නියකි. Darkest Europe and Africanis Nightmare: A Critical observation of the Neighbour Continents කෘතියේ ද කර්තෘවරියයි.

මූලාශ්‍ර
1. Un Guidlines Use Corporations in African “Land Grab”
2. Sovereighty For sale; Corporate Land Grab in Colombia
3. Land Grabs. Development or Disastoo in the Making-Urban Times
4. Repart: Global Food Security and Sovereignity Threatened by Corporate and Goverment Land Grabs in Poor Countries

නිහාල් වීරසූරිය