“සලුව” විසිකර “හෙලුව” වර්ණ ගැන්වීමේ සංස්කෘතික වෙළඳාම්

තාක්ෂණය හා සංස්කෘතිය
December 20, 2019
අධ්‍යාපනය – මානව පැවැත්මේ හා ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අඛණ්ඩ සාධකය
December 26, 2019
Show all

“සලුව” විසිකර “හෙලුව” වර්ණ ගැන්වීමේ සංස්කෘතික වෙළඳාම්

            නූතන යුගයේ ප්‍රධානතම සාධාරණ අරගලය මිනිස්කම සොයා යෑමයි. මිනිස් ප්‍රාණියාගෙන් මනුෂ්‍යත්වය ඉවත් වන ප්‍රමාණයටම එම අරගලයේ අත්‍යාවශ්‍යතාවය ද ඉහළ යයි. “සංස්කෘතික මිනිසා සොයා යෑම” යනුවෙන් විදග්ධ භාෂාවෙන් කියවෙන්නේ මෙයයි. මිනිස් සත්වයා උසස් මිනිස් ගුනාංග අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය  සංස්කෘතික ගොඩනැංවීම ලෙසින් හඳුන්වයි. උපකරණ හා තාක්ෂණ භාවිතයේ දියුණු මට්ටමට ප්‍රතිපක්ෂව මිනිස්බව කඩාවැටීමේ ඛේදවාචකය නූතන ධනවාදය සිසාරා අත්දකිමින් තිබේ. ඉන් කම්පිතසංවේදී කතිකාවන් හි පැන නැඟෙන ප්‍රශ්න ගනනාවකි. ඉන් කිහිපයක් වන්නේ මේ සංස්කෘතික කඩාවැටීමට හේතුව කුමක්ද? එම අභියෝගය මානව සමාජය ජයගනු ඇතිද? මානව සමාජ ප්‍රගමනයේ අනාගතය කුමක්ද? යනාදි යයි.

            “සංස්කෘතිය” යනු සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පෙන්නුම් කරන සංකල්පයකි. එය විසින් නිශ්චිත සමාජ ආර්ථික ක්‍රමයක දී මානව සමාජය අත්පත් කරගන්නා ජීවන මට්ටම හා ස්වභාවය පෙන්නුම් කරයි. පංති සමාජයන්ගේ අවසාන හෙවත් ඉහළම සමාජක්‍රමය ධනවාදය වනවා මෙන්ම එය සමාජවාදයට පෙර පවතින දියුණුතම සමාජ ආර්ථික ක්‍රමයයි. මිනිසා මෙතෙක් පැවැති සමාජ තත්වයන්ට සාපේක්ෂ උසස් සංස්කෘතික මට්ටමකට පත්වීම දක්නට ලැබෙන්නේද ධනවාදය තුලයි. සමාජවාදී සංස්කෘතිය ගොඩනැඟෙන්නේ ධනවාදී සංස්කෘතියේ විප්ලවීය වර්ධනයක් ලෙසිනි. සමාජවාදී සංස්කෘතිය විසින් ධනවාදී සංස්කෘතිය මඟහැර යන්නේ නැත. නමුත් ධනවාදයේ නූතන අවධියේ පුළුල් වන සංස්කෘතික කඩාවැටීම සමාජ සංවර්ධන මූලධර්මයන්ට පටහැනිද යන ප්‍රවාදාත්මක ප්‍රතිවාදය විසඳාලිය යුතුය. එනිසා ධනවාදයේ ඉහළම අවධිය වන අධිරාජ්‍යවාදී අවධියේ එනම් සමාජවාදයේ හිමිදිරියේ එළිපත්තේ සිට සමාජය අත්විඳින මෙම සංස්කෘතික ඛේදවාචකය කියවා ගතයුත්තේ කෙසේද යන්න පිළිබඳව සංවාදයකට පිවිසීම අපගේ පරමාර්ථයයි.

            “හෙලුව” යන්න ඇඳුම් ඇඳීම යන අර්ථය ගැන්වෙන “සේලය” හෙවත් “සෙලුව” යන්නෙහි පද පෙරළියකි. එහෙත් මිනිසා ඇඳුම් භාවිතය ආරම්භ කළේ “හෙලුව” වසා ගැනීමට නොවේ. විවිධ ස්වභාවික පීඩාවන්ගේ බලපෑමෙන් සිරුර ආරක්ෂා වනු පිණිසය. එය සංස්කෘතික පුරුද්දක් වූ පසු නිරුවත්වීමේ අකමැත්ත හෙවත් විලි ලැජ්ජාව ඇති විය. මෙම සංස්කෘතික පුරුද්ද බිඳ දැමීමේ නුහුරුව විලි බිය ලෙස හැඳින්වේ. මෙය තම සංස්කෘතික පුරුද්දට එරෙහිව යාම සඳහා වන සමාජ බියයි. මෙලෙස වූ සංස්කෘතික වර්ධනය අතිශය උමතුවක් බවට පත් වන්නේ විසි වන සියවසට පෙර පැවැති වැඩවසම් අත්තනෝමතිකත්වය තුළය. එම සමාජයේ බලවත් වූයේ රදළයින් සහ පූජකයින්ය. රජු දෙවියන්ගේ නියෝජිතයා ලෙස සැළකිනි. ජනතාවගේ සංස්කෘතික අංග පාලනය කළේ “ආගමික පොලිසිය” විසින්ය. විවාහය, ලිංගික ආශාවන්, කාන්තා සිරුර සහ කාන්තා ඇඳුම් ආදිය එහි නීතියට යටත් විය. බොලට දක්වා වන ගවුම සහ හිස් වැසුම සහිත ඇඳුම මෙම වික්ටෝරියානු සංස්කෘතියේ පරම බලහත්කාරයකි. එම සංස්කෘතියෙන් යුරෝපය මිදෙන්නේ ධනවාදය සමඟය. ඒ කෘතිම නිරුවත හෝ අඩනිරුවත තුලින් නොවේ. නිදහස් ඇඳුම් විලාසිතාවන්ගෙනි. වෙළඳ ආධිපත්‍ය හරහා ධනවාදී ලාභය හඹායාමේ උමතුව උච්චතම අවස්ථාවට පැමිණි ධනවාදයේ නූතන අවධියේ පච්චය (Tattoo) හෙවත් සම මත චිත්‍ර ලෙස වර්ණ ගැන්වීම වෙළඳාමකි. (ආදි මිනිසා ඇඟලුම් භාවිතයට පෙර සිටම සිරුර වර්ණ ගැන්වීම ආරම්භ කොට තිබුණේය.)මෙලෙස ධනවාදය තුළ ශරීරය නිරුවත් කිරීම වෙළඳාමකි. සිරුර සරසන වත්මන් විලාසිතා යනු ධනේශ්වර වෙළඳපොලේ ලාභ සිතුවිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය තුල නිර්මාණය වන වෙළඳ භාණ්ඩයන්ය. අනාගත මිනිසා ස්වභාවික සංස්කෘතික වර්ධනයන් තුල තම චර්මය නිරාවරණයේ හෝ ආවරණයේ සීමා සහ ආකාරයන් තීරණය කරනු ඇත. එය සංස්කෘතික ගොඩනැගීමක් වනවා වෙනුවට වෙළඳාම විසින් සංස්කෘතික නිරුවත් කිරීමකට පෙළඹවීම හා ගොදුරුවීම සංස්කෘතික පිරිහීමකි. අපගේ තර්කනය මෙම මාවත ඔස්සේ ඉදිරියට ගොඩනගන්නෙමු.

ධනවාදී සංස්කෘතික ගොඩනැගිල්ලේ පාදම

            මානව සමාජය අත්තනෝමතික වැඩවසම් ක්‍රමය බිඳ දමා පිවිසෙන්නේ ධනේශ්වර සමාජ ආර්ථිකයකටයි. ඒ හා සමගාමීව දැවැන්ත සංස්කෘතික පරිණාමයන් සිද්ධ විය. වැඩවසම් බලහත්කාරය විසින් විද්‍යාවද තාක්ෂණික ප්‍රගමනයද බුද්ධිමය වර්ධනයද බාධා කර තිබුණි. එහෙත් වෙළඳාම යන්න මහා පොදු සාධකය කොටගෙන ආරම්භ වන ධනපති ක්‍රමය විසින් වැඩවසම් බාධාවන් සියල්ල ඒ උදෙසා නිදහස් කළේය. කාර්මික විප්ලවය යනු එහි තාක්ෂණික ගමන් මඟෙ හි පළමු සන්ධිස්ථානය යයි.

            වැඩවසම් හස්තකර්මාන්තයේ භාවිත වූයේ සරල යන්ත්‍රහෙවත් ආයුධවේ. එහෙත් ධනවාදී කර්මාන්තය බිහිවන්නේ සංකීර්ණ යන්ත්‍ර හෙවත් සංකීර්ණ ආයුධයන්ගෙනි. මේ සියල්ල සරල උපකරණ වල චාලනය වර්ධනය කොට යාන්ත්‍රීක කරණය කළ සංකීර්ණ උපකරණයන්ය. මෙම තාක්ෂණික මෙවලම් විසින් ධනේශ්වර නිෂ්පාදන කර්මාන්තයන්ගේ කාර්යක්ෂමතාවයත්, ඵලදායිතාවයත් තීව්ර කළේය. මෙය ධනේශ්වර වෙළඳපොල ඉල්ලුම සපුරාලීමේ දැවැන්ත අවශ්‍යතාවය විසඳූ ආකාරයයි. මෙම ප්‍රයත්නයට ගත් සමාජ වෙහෙස විසින් විද්‍යාව, තාක්ෂණය මෙන්මසමාජයේ භෞතික පහසුකම් වර්ධනය විය. මෙම නව සොයාගැනීම් සහ ඉදිකිරීම් විසින් සමාජ ජීවිතය දැවැන්ත වෙනසකට ලක් කළේය. එම තත්වය මහා සංස්කෘතික ගොඩනැඟීමකට හේතු විය.

“එක් අවස්ථාවකදී නිෂ්පාදිතය මුළුමනින් ම සාදනු ලබන්නේ තනි යන්ත්‍රයකිනි. එම යන්ත්‍රය කලින් එක් හස්තකර්මාන්තකරුවකු තම ආයුධයෙන් කළ විවිධ මෙහෙයුම් සියල්ල ඉටුකරයි. නිදසුනක් වශයෙන් වියන්නකු තම අලුවෙන් කළ විවිධ මෙහෙයුම් සියල්ල ඉටු කරයි. නැතහොත් එම යන්ත්‍රය හස්ත කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු වෙන් වෙන්ව හෝ නිමවුම් කර්මාන්ත පද්ධතියක සාමාජිකයන් ලෙස අනුගාමීව කළ සියළු මෙහෙයුම් ඉටු කරයි.”

(මාක්ස් ප්‍රාග්ධනය – පිටුව 5 දෙවන පොත – සිංහල සංස්කරණය ජයතිලකද සිල්වා)

            කාර්මික විප්ලවයේ නිතරඟ හිමිකරු වන්නේ එංගලන්තයයි. එය හුදු අහම්බයක් නොවේ. එහි වූ සමාජ ආර්ථික තත්වයේ වාසිය විසින් කාර්මික විප්ලවය පැන නගින්නේ එංගලන්තයේය. එයට බලපානු ලබන සුවිශේෂිතා අතරින් ප්‍රධානතම එක වන්නේ වෙළඳාමයි. ඇමරිකාව, ඉන්දියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා ඔවුහු වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනඟා තිබුණහ. ලෝක වෙළඳ ඉල්ලුම සපුරාලීමේ අවශ්‍යතාවය පැනනැගුනේ එංගලන්ත ප්‍රාග්ධනයටයි. එවකට ප්‍රංශය පුළුල් වෙළඳාමක නිරත වුවද ප්‍රාග්ධන සමුච්චයේ හැකියාව පැවතියේ එංගලන්තයේය. ව්‍යවසායන්හි යෙදෙන පුළුල් පංතියක් සිටීමද එංගලන්තයට වාසි විය. මේ සියල්ල හරහා “හිරු නොබසින අධිරාජ්‍ය” ලෙස ඔවුනගේ වෙළඳ ලෝකය පුළුල් කළහැකි බිමක් විය. ධනවාදී සංස්කෘතිය ලොව වටා පිම්මේ ගෙනයාමට ඔවුනට හැකි විය. 18 වන සියවසේ දෙවන භාගය හා 19 වන සියවසේ දෙවන භාගයසැසඳීමේදී මෙය මනාව ස්ඵුටවේ.

            කාර්මික විප්ලවය හරහා සංස්කෘතික වර්ධනය වේගවත් ගතිකත්වයක් බවට පත්වේ. ධනපති ප්‍රාග්ධනය මේ සියල්ල යළි වෙළඳ භාන්ඩ බවට පත්කොට ලාභ උපයන ලදි. යන්ත්‍රවල ශක්‍යතාවය මැනීමේ මුල් ඒකකය අශ්ව බල (කි.ග්රෑම් 75ක බරක් තත්පරයක දී මීටරයක දුරක් ඇදගෙන යාහැකි බලය)විය. පසුව මෙය 18 සියවසේදීම වොට් නම් ජාත්‍යන්තර ඒකකයකින් මැනිමට තරම් ප්‍රබල යන්ත්‍ර බිහිවිය. මේ මඟින් ඵලදායිකත්වය වැඩි වුවද ශ්‍රමිකයාට යහපතක් නොවීය. එහෙත් මිනිස් ජීවිතය පහසු කරන නිෂ්පාදනයන් බිහිවීමට මඟ පෑදුනි.ධනේශ්වර සමාජ සංස්කෘතියේ මහත් ප්‍රගමනයකට මෙය හේතු විය. නිර්ධන පංතිය බිහිවීමත්, ඔවුන් සංවිධානය වීමට කර්මාන්තය දායකවීමත්, නිර්ධන පංතික සංස්කෘතියක් බිහිවීමත් පංතිමය අර්ථයෙන් සංස්කෘතික ප්‍රගමනයට හේතු විය.විවිධ කාලයන් හි විවිධ කාර්මික විප්ලවයන් විසින් දැවැන්ත සංස්කෘතික උත්තේජනයක් ඇති කරන ලදි. ඒ අනුව මූල්‍ය කෘෂිකර්මාන්තය 1600 – 1740,කාර්මික විප්ලවය 19780 – 1840, තාක්ෂණික විප්ලවය නැතිනම් දෙවන කාර්මික විප්ලවය 1870 – 1920, විද්‍යාත්මක තාක්ෂණික විප්ලවය 1940 – 1970, සහ සන්නිවේදන සහ විදුලි සන්දේශ විප්ලවය 1975 – වර්තමානයදක්වා (1970 සිට තෙවන කාර්මික විප්ලවය හෙවත් ඩිජිටල් විප්ලවය) ආදී වශයෙන් තාක්ෂණික පරම්පරාගනනාවක් ඔස්සේ සමාජ සම්බන්ධතා වෙනස් නොවුනද ඒවා පවත්නා ආකාරයන්ගේ වෙනස්කම් සිදුවිය. අතීත සමාජයේ කම්කරුවාද, නූතන කම්කරුවාද සංස්කෘතික ආකාරයන් දෙකක් ලෙස ප්‍රකටවේ. එහෙත් මේ දෙදෙනාම “සූරාකෑමට ලක්වීම” නැමති හරයෙන් සමානය.

“නිරතුරුවම නිෂ්පාදන උපකරණ වල විප්ලවීය වෙනසක් ඇති නොකර එමගින් නිෂ්පාදන සම්බන්ධකම් වලට සහ ඒ සමඟම සමාජයේ මුළු මහත් සම්බන්ධකම් වල ද විප්ලවීය වෙනසක් ඇති නොකර ධනපති පංතියට පැවතිය නොහැකිය.”

(කොමියුනිස්ට් ප්‍රකාශනය, මාක්ස් – එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 1 පිටු 48, 49, 1982 ප්‍රගති ප්‍රකාශන, මොස්කව්)

සංස්කෘතික ඵලදාවේ ධනවාදී පංගුව

            සම්ප්‍රදායිකකෘෂිකර්මය මූළික වූ පැරැණි ආර්ථිකය බැහැර කොට කාර්මිකකරණයට ලෝකය හුරුකරන්නට කාර්මික විප්ලවය සමත් විය. ඉන් පොදුවේ මානව සමාජ ජීවිතය පහසු කරන නිෂ්පාදනයන් බිහිවිය. දැවැන්ත යාන්ත්‍රික නිෂ්පාදනාගාර හෙවත් කර්මාන්ත බිහිවිය. කර්මාන්ත කේන්ද්‍රීයව පොදු ප්‍රවාහන, පොදු සෞඛ්‍යය, පොදු අධ්‍යාපනය, පොදු සන්නිවේදනය, ආදිය විසින් වැඩවසම් බණ්ඩාරගම හෝ ආසියාතික රාජකාරිය තුල හෝ ප්‍රාදේශීයව, හුදකලාව සිරව සිටි වැඩකරන පංතිය ජාතික හා එම සීමාවන් ඉක්මවා යමින් ජාත්‍යන්තර ප්‍රපංචයක් බවට පත්විය. එපමණක් නොව ඔවුන් ප්‍රාදේශීය පාළකයින්ගේ සූරාකෑමට ලක්ව සිටි තත්වයෙන් වෙනස්ව ධනවාදයේ නග්න, අසීමාන්තික සහ අනුකම්පා විරහිත ජාත්‍යන්තර සූරාකැමකට ලක්විය.එසේ නොවන්නට “සකළ දේශවාසී නිර්ධනයිනි එක්වව් ” යන පීඩිත බලය මුළුගන්වන ආදර්ශපාඨයක් බිහිවන්නේ නැත. ඒ හරහා ගොඩනැඟෙන පීඩකයාට එරෙහි නිර්ධන පංතික සංස්කෘතිය ගොඩනැඟෙන්නේ ද නැත.

            ධනවාදී සංස්කෘතික ඉදිකිරීම් විසින් මානව දැනුමද පොදු පහසුකමක් බවට පත්කොට තිබේ. වත්මන් ාසටසඒක තාක්ෂණික වර්ධනයන් විසින් සහ අන්තර්ජාල පහසුකම් විසින් දැනුම යනු හඹා යායුතු දෙයක් මිස සිඟමනක් නොවන තත්වයට පත්ව තිබේ. සමස්ත ලෝකයම එකම සංවාද මණ්ඩපයකට ගෙන එන්නට ධනවාදී තාක්ෂණික දියුණුව සමත්ව ඇත. ඒ ඔස්සේ සන්නිවේදනය හෙවත් අදහස් හුවමාරුවද විප්ලවීය වෙනසකට ලක්ව තිබේ. මිනිස් ජීවිතයේ පරම අරමුණ “සතුට” නම් ඒ සඳහා උපරිම ක්‍රම සකසා තිබේ. තමන් කැමැති නිහඬ වින්දනයේ සිට ත්‍රාසය මුසු වින්දනය දක්වා විවිධ තලයන්ගේ පැතිරි විවිධාකාර සතුටු උයන් සහ ්ාඩැබඑමරු ච්රන ධනවාදය අපට ලබාදී ඇත. මෙය ක්‍රීඩා කේෂත්‍රයටදපොදුය. නුදුරු අනාගතයේ දී අභ්‍යාවකාශ චාරිකා අත්දැකීම් ලැබීමේ ඉඩ ප්‍රස්ථා ද විවර වන ලකුනු දක්නට ඇත.

            ලෙඩරෝග වැළැක්වීම උදෙසා නැනෝ තාක්ෂණය ආදී නූතන තාක්ෂනික ජයග්‍රහනයන් උපයෝගිකරගනිමින් මිනිසා අභ්‍යාවකාශය, මුහුදු පතුල සහ පොළෝ ගර්භයට අමතරව මිනිස් සිරුර තුල වෛද්‍යමය ගවේශන චාරිකාවන්ට ද සමත්ව ඇත.නැනෝතාක්ෂණය හරහා ක්ෂුද්‍ර ලෝකයත් අභ්‍යාවකාශ තාක්ෂණය හරහා මහේක්ෂක ලෝකයත් දිනීමට මිනිසා සමත්ව තිබේ. මෙම සියල්ල බුක්ති විදීමේ විෂමතාවය ධනයේ හැකියාව මත තීරණයවීම සංස්කෘතියට අයත් කාර්යයක් නොවේ. එය සමාජ සංවර්ධනයේ දී විසඳිය යුතු දේශපාලන ගැටළුවකි.

අභ්‍යාවකාශයෙන් සංස්කෘතික පාතාලයට

“ඔබ ඇඳ සිටින ඇඳුම මෙන්ම ඔබ වාඩිවී සිටින පොළව ද විදුලි ලිප මත තිබෙන උපකරණ හා විදුලි ලිප ද නිවසේ බිම ද ඔබගේ කාමරයේ බිත්ති ද එහි බුමුතුරුණු ද විදුලි පහන් සහ සුවිචයන් දබිත්ති මතින් යන විදුලි වයරයන් ද ඔබගේ ජංගම දුරකතනය ද පිටත ඇති මාර්ගය ද ඔබ පදවන කාරය හා එහි ටයර්, ලෝහ, වීදුරු, රෙදි හා බැටරි ගුවන්යානා, අහස සිඹින ගොඩනැඟිලි, යුද ටැංකි සහ මිසයිල යන මේ සියල්ල වරක් පොළොව යට තිබූ ඛණිජ හා ලෝහයන් ය. ඒවා මහ පොපොළොවෙන් හැර නැව් ගත කොට ලොව වටා යවා වෙනස් කොට හා එකලස් කොට නැවත නැව් මඟින් ඔබගේ වෙළඳපොළට පැමිනෙන්නේය. ඔබගේ කමිසය පොලියෙස්ටර් ද? පොලියෙස්ටර් යනු ප්ලාස්ටික් ය. ප්ලාස්ටික් යනු තෙල් ය. තෙල් යනු ඩයිනොසර්ලා ය. ගස් ය.පැල ය. සකල විධ ආර්ථිකය ම නැඟී ආවේ මහ පොළවේ කොටසක් ලෙසය. විටෙක ඒ පොළොවේ වැළලී තිබුණේය. විටෙක එය පොළොවෙන් වැඩුණේය. එසේ නැතිනම් අප විසින් එය වෙනස් කිරීමට පෙර ජීවිතයක් වූවේ ය. එහෙත්, ඒ සියල්ල දැන් හැකි ඉක්මනින් අවසන් වෙමින් යන්නේ ය.”

(විකිලීස් හෝරාව – මහින්ද පතිරණ පිටුව 370 වෙනත් ලේඛනයකින් ඔහු විසින් උපුටා පළකරන ලද්දකි)

            ධනේශ්වර සංස්කෘතික බිඳවැටීමේ කතන්දරයේ පසුවදන ඉහත උපුටනයෙන් ආසන්න ලෙස කියවේ. එයට එක් කළ යුතු වැදගත්ම දෙය මෙම ඉහත සඳහන් සියල්ලෙහි පරිවර්තකයා සහ නිමවුම්කරුවා මානව ශ්‍රමය යන්නය. කෙසේ වුවද නූතන ධනේශ්වර සංස්කෘතික ඛේදවාචකය ඉහත උපුටනයෙන් ප්‍රකාශයට පත්වේ. ධනවාදී සියළු සංස්කෘතික වටිනාකම් එහි උච්චතම අවස්ථාවෙන් පසු කඩාවැටෙමින් පවතී. ඉහත උපුටාගැනීම පරිසර විනාශය හා සෘජුව අදාළ වුවද සමස්ත ධනවාදී සංස්කෘතික බිඳවැටීම් වලට නිදර්ශනයකි. මිනිසා බිහිවන්නේ පරිසරයෙනි. ඔහු මිනිසකු වන්නේ පරිසර අභියෝග ජයගන්නා නිසාවෙනි. පරිසරය හා සතුරු ප්‍රතිවිරෝධයක සිට කටයුතු කිරීම මිනිස්කම නොවේ. ධනවාදී සංස්කෘතික බිඳවැටීම කෙතරම් බියකරුද යත්, ධනවාදී මිනිසා කිසිදු පාලනයින් තොරව තමන් පය ගසා සිටින පරිසරය සවිඥාණකව හා අවිඥාකව වනසමින් සිටී. ඒ ලාභ තොග ගොඩනඟන ප්‍රාග්ධන බලයන් යටතේය. අහසද, පොලවද, ජලයද දූෂිත කරමින් ධනවාදය තමන් පයගසා සිටින පොළව තමන්ට ද හොරෙන් බිඳ දමමින් තිබේ.ඒ හරහා පළමුව ස්වභාවික පරිසරයද දෙවනුව මිනිස් සමාජයද මිනිසා විසින්ම අහෝසිකරනු ඇත. ඉන් ඔබ්බට ශිෂ්ටාචාරය විනාශවී භෞතික වශයෙන් පමණක් සංස්කෘතික නටබුන් ඉතිරි වනු ඇත. මිනිස් වර්ගයා තවදුරටත් නොමැති ලොවක ඒ දෙය වුව කා වෙනුවෙන්ද?

“මීට පෙර පැවති සියළු යුග වලට වඩා ධනපති යුගය වෙනස් බව පෙන්වන්නේ නිෂ්පාදනයෙහි ඇති වන නිරන්තර විප්ලවීය වෙනස්වීමත්, සියළු සමාජ තත්වයන්ගේ අනවරත බාධාකිරීමත්, සදාකාළික අස්ථීරතාවය සහ කැළඹීමත් විසිනි. තහවුරු වු සහ සවි වු සියළු සම්බන්ධකම් සහ ඒවා සමඟ ඇති පෞරාණික, පූජණීය සහ අවිචාරක හැඟීම් සහ ස්ථාවරයන් ඉවත ලා ඇත. අභිනවයෙන් සකස් වන සියළු සම්බන්ධකම්, ඒවා තහවුරුවීමටත් පෙර යල්පනී. ඝන වු සෑම දෙයක්ම වාතය බවට පරිවර්තනය වෙයි. ශුද්ධ වූ සෑම දෙයක්ම කෙළෙසේ. අවසානයේදී මිනිසාට තම ජීවිතය අරබයා සැබෑ තත්වයනට, තම වර්ගයා සමඟ ඇති සබඳතාවයන්ට අගති රහිතව මුහුණ දීමට සිදුවේ.”

(කොමියුනිස්ට් ප්‍රකාශනය, මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 1 පිටුව 49, 1982 ප්‍රගති ප්‍රකාශන, මොස්කව්)

            මානව සබඳතා වියමන යනු මිනිස් සමාජයයි. එහි කේන්ද්‍රගත ලක්ෂ්‍යය පවුල් ඒකකයයි. ධනේශ්වර සංස්කෘතිය තුල වන පවුල නම් ප්‍රපංචයේ වන ආර්ථික බැඳීම අධ්‍යාත්මික බැඳීමකින් ප්‍රකට විය. එය නැවත සමාජ සංස්කෘතික ප්‍රාකශනයක් බවට පත් විය. ක්‍රමයෙන් පවුලේ සාමාජික සංඛ්‍යාව වැටුප් ශ්‍රමික ජීවිතයට පහසු වන සේ හැකිලී යන්නට විය. පවුලේ එක් එක් සාමාජිකයා ධනපති ආර්ථික හා සමාජ දේහය විසින් ගොදුරු කරගන්නා ප්‍රමාණයට මිනිස් ජීවිත කොටුකල, අතාර්කික අධ්‍යාත්මයන් තුළසිරගත විය. මව, පියා සහ දූදරුවන් අතර මානව සබඳතා දුරස් වෙමින් ඒවාද හුදකලා ආර්ථික සබඳතා බවට පත්විය. මෙහි ප්‍රතිඵලය රැකියාවට හෝ පාඨමාලා හැදෑරීමට ගොස් වෙහෙසව රාත්‍රී නිවසට එන පවුලේ සාමාජිකයෝ ආත්මාර්තකාමී, අලස සහ හුදකලා රැයක් ගෙවා අළුයම නිවස නැමැති නවාතැනින් බැහැරවීමයි. යම් හෝ මානව බැඳීමක් පවතින්නේ නම් එය මුළුතැන් ගෙය තුළ ප්‍රධාන යන්ත්‍රය වන අම්මා සමඟය. එයද මෙම සජීවී අචේතනික යන්ත්‍රය තමනට ප්‍රයෝජනවත් වන ප්‍රමාණයටය. ලිංගික සබඳතා පවා ඒනැ්අ්හවෙතින් රැගෙන විත් ගිලදමනියදරඑැ්එි එකට ි්මජැ තවරා ගන්නාක් වැනි එහෙත් අචේතනික, අධ්‍යාත්මික බැඳීමෙන් තොර, දෛනික ජීවිතේ තවත් එක් කටයුත්තක් පමණි. එවන් පසුබිමක බිරිඳ යනු පිරිමියාගේ ඕනෑ එපාකම් ඉටුකරන ස්වයංක්‍රීය සජීවී උපකරණයක් පමණකි. තවදඇය විටෙක පිරිමියාගේ ආඩම්බරය ද විටෙක අවමානය ද වේ. ධනේශ්වර විවාහ අවස්ථාව සතුටකට වඩා ප්‍රදර්ශනයකි. එය ධනේශ්වර වෙළඳපොළ විසින් නිර්මිත විවාහ මංගලෝත්සව කර්මාන්තයේ වෙළඳාමකි. වත්මන් ධනේශ්වර පවුල තුල පියා පවා ගැහැනු දරුවන්ට අධ්‍යාත්මික සම්බන්ධතාවයක් නොව අනාරක්ෂාවකි. දරුවෝ යනු දෙමාපියන්ට අනුව වදයකි. හිරිහැරයකි. නූතන දරුවා යනු තම ආත්මාර්තකාමී පරාජිත අතීත අභිලාෂයන් දිනාගැනීම උදෙසා දෙමාපියන් විසින් කරනු ලබන ආයෝජනයකි. එය දරුවාගේ සපත්තුව “කැඩපතක් ” සේ චදකසිය කොට අවසන තම පරාජිත මුහුණ පමණක් ඉන් දැක බලා ගන්නාක් වැනි අසාර්ථක ව්‍යායාමයකි.දරුවා යනුදෙමාපිය නොතිත් ආශාවන්ගේ ගොදුරක් පමණකි. මෙමසංස්කෘතික බිඳවැටීම සමාජය නම් මහා විශ්වයට ගිය පසු ආත්මාර්ථයක් පමණක් නොව අපරාධ රැල්ලකි.ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, ඝාතනයන් මෙම තත්වය විසින් ජාතක කරනු ලබන ප්‍රතිඵලයන්ය. ඉන් නොනැවත සමාජ ජීවිතයේ එදිනෙදා කටුයුතු සහ හැසිරීම් වලදී, අතිශය ආත්මාර්තකාමිත්වය විසින් තමන් හැර අන් සමාජයක් නැතැයි යන හැඟීමෙන් හැසිරීම සමාජ ව්‍යාධියක්ව ඇත. මෙය මනාව ප්‍රකට වන ස්ථානයකි වාහන සංස්කෘතිය. පෞද්ගලික වාහන මිලදී ගැනීම වත්මන් සමාජයේ අව්‍යතාවයකට වඩා තරඟකාරිත්වයකි. මහ මඟ වාහන ධාවනය මාරාන්තික තරඟයකි. ඉන් අහිමි වන මිනිස් ජීවිත පිළිබඳ ක්ෂනික කම්පනයක් මිස මානවවාදී හැඟීමක් නැත. මීට ප්‍රතිපක්ෂව අතිශය ආත්මාර්ථකාමීව, ආරක්ෂණවාදීව අනෙකාගේ ගමන නොසළකා මහ මඟ බඩගෑමේ මධ්‍යම පංතික (රියදුරු) මානසිකත්වයද නුතනයේ එවන් සංස්කෘතියකි. අල්ලස, දූෂණය ආදිය නීති පොතේ කෙලෙස සටහන් වුවද ඒවා මානව සමාජයේ සාමූහික ගිවිසුමකි. අල්ලස් ගැනීමේ හා දීමේ මානසිකත්වය ක්ෂුද්‍ර සමාජ විශ්වයේ සිට මහේක්ෂක සමාජ විශ්වය දක්වා පැතිරි මහා සංස්කෘතියකි. එය කඩකිරීම අධ්‍යාත්මික පසුතැවිල්ලක් ලෙස ගැනීම මිස එම වරද සිදුකිරීම බඳව හෘඳය සාක්ෂිය ප්‍රශ්න කරන්නේ නැත. මානව ගරුත්වය යැයි යමක් ධනවාදයේ නූතන යුගයේ ඉතිරිවන්නේ නැත. සියල්ල ආත්මාර්ථය තුල මිදී සිරවී ඇති තත්වයක අනෙකාගේ අවස්ථාව, අනෙකාගේ ජීවිතය, අනෙකාගේ අයිතිය මෙන්ම ගරුත්වය සැළකෙන්නේ නැත. තම ගරුත්වයද, ජීවිතයද සහ අයිතිය පවා නිරන්තර කටුව තුල සැඟවෙන්නට උත්සුක වන ආත්මාර්ථකාමී ගොළුබෙළි මානසිකත්වයක ගිල්වා ඇති සමාජයක තමන්, තමන් නොවන මිනිසෙකුට අනෙකෙකු ගැන සංවේදීතාවයක් තිබිය නොහැකිය. එබැවින් ධනවාදයේ අවසන් පියවරේ ජීවත් වන අප අත්දකින්නේ, ඇසුරුකරන්නේ, ගනුදෙනු කරන්නේ ධනවාදයේ අතිශය ලාභ උවමනාව වෙනුවෙන් ගොදුරු බවට පත් මිනිස් භාණ්ඩ මිස මනුෂ්‍යත්වය නොවේ. මේ ධනවාදී සංස්කෘතික බිඳවැටීමේ ඛේදවාචකයයි. එබැවින් වෛද්‍ය විශේෂඥයාද, අධ්‍යාපන විශේෂඥයාද, යුක්තිය පසිඳලන්නාද, මාර්ගෝපදේශකයාද, ආරක්ෂකයාද, ගැලවුම්කරුවාද යන මෙම සමාජ භූමිකා සියල්ල හුදකලා අහඹු අවස්ථා හැර ඉහත ඉරණමට ගොඳුරුව අවසන්ය.

            අධ්‍යාපනය, ක්‍රීඩා ආදී මිනිස් අත්‍යාවශ්‍යතා සියල්ල තුලම මෙම සමාජ කඩාවැටීම හෙවත් සංස්කෘතික ඇදවැටීම එක ලෙස දැකිය හැකිය. මින් මිඳුණු සමාජ ආයතන හෝ සමාජ ක්‍රියාකාරිත්වයක් වත්මනෙ හි දක්නට නැත. එබැවින් “කරවිලේ වැටුණු පනුවා” මෙන් මේ තිත්ත රසය භුක්ති විඳිනු මිස මෙයට අනුගත වනු මිස අන්මඟක් මෙහි ගොදුරු බවට පත්වූවන්ට නොවැටහේ. ඉන් එහා යමක් වටහා ගන්නට උත්සාහ කිරීම පවා බියකරු දෙයක් සේ සිතයි. එම වහල් මානසිකත්වය පවා මෙම සංස්කෘතික බිඳවැටීමේ ඵලයයි.

            ඉහත කාරණය පැහැදිළි කිරීම පිනිස කාහටත් සමීප එක් උදාහරණයක් ගෙනහැර පාන්නෙමු. ක්‍රිකට් යනු යනු 13 වන සියවසේ එංගලන්තයේ පැවැති ප්‍රාදේශීය ක්‍රීඩාවක විකරණයකි. වර්තමානයේ එය දැවැන්ත ඔට්ටු කර්මාන්තයකි. ක්‍රීඩාවේ මුල් අරමුණ ක්‍රීඩකයින්ගේ සහ නරඹන්නන්ගේ විනෝදයයි. නමුත් ක්‍රමයෙන් එය විනෝදය විකුනන්නන් අතට පත්විය. මුල් අවධියේ (17 වන සියවසේ) ආරම්භවූ ටෙස්ට් තරඟ සඳහා නිශ්චිත කාල සීමාවක් නොවීය. සමහර විට එය සතියට වඩා වැඩිවූ අවස්ථා විය. එනිසා ටෙස්ට් තරඟවලදී පිතිකරුවන් හා පන්දු යවන්නන් කාලය ගෙන වැඩි පරිණත කමක් සහිතව ක්‍රීඩා කළේය. එහෙත් වර්තමානයේ දී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව එවන් ඉතිහාසයක් අසන්නට වුව ප්‍රේක්ෂකයින් අලස වනු ඇත. සැබවින්ම ධනවාදී වෙළඳ ලෝකයට ගොදුරු වූ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව සැළකිල්ලට ලක් කරන්නේ වේගය පමණි. එබැවින් ඔවුන් ප්‍රේක්ෂකයින් පොළඹවන්නේ  එක්දින තරඟ, විස්සයි විස්ස තරඟ වැනි කෙටි කාලීන (සීමිත ඔවර්) තරඟ වලටය. පන්දු යැවීම නිතිරීති මැද පීඩනයකින් කළ යුතු අතර පහරදෙන්නාට තනතිල්ලේද නීතිරීති වල ද ඉඩකඩ වැඩිය. ඉන් අදහස් වන්නේ තරඟ කාරිත්වය වැඩිකිරීමය. මෙහි දිගුවක් ලෙස රාත්‍රී ක්‍රිකට් බිහිවන්නේ ද මෙම අරමුණෙනි.මහජන චීන සමූහාණ්ඩුවේ ජනතාව ක්‍රිකට් උන්මාදය සඳහා පෙළඹවීම ඉලක්ක කොට ගෙන හොංකොංවල සය සාමාජික ක්‍රිකට් තරඟ පැවැත්වේ. ලෝකයම සම්බන්ධ නොවුනද “ලෝක කුසලාන තරඟ” යනුද මෙම කෘතිම ක්‍රිකට් උන්මාදය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරියට ගෙනෙන ලද්දකි. සියල්ලෙහි ඒකායන අරමුණ වෙළඳාම සහ ලාභයයි. ටිකට් විකිණීම, ආපනශාලා ආදියටද වඩා ඔට්ටු ඇල්ලීම දැවැන්ත ආදායම් හා ලාභ ගෙනදෙයි. රූපවාහිනි නාලිකා හරහා විස්තර ප්‍රචාරයද දැවැන්ත ව්‍යාපාරයකි. රූපවාහිනි තිරය පටු කරමින් එය වටා වෙළඳ දැන්වීම් ඉපිලේ. ඉන් නොනැවත විරාමයන්, වෙලාව බැලීම, විවේක කාලය සහ ඕවරයක් මාරුවන කාලය වැනි අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් වෙළඳ ප්‍රචාරණයේ යෙදේ. ඒ සඳහා දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක්ද අනුග්‍රාහක පිරිසක්ද රැස්කර ගැනීම මාධ්‍යයෙහි අරමුණයි. ඔට්ටු තබන්නෝ ප්‍රචාරණය, තරඟ උණුසුම හා ක්‍රීඩකයින් මිළඳී ගැනිම් තුලින් ඔට්ටු දිනවා ලාභ ලබති. දැන් ක්‍රිකට්,“ක්‍රීඩාව” යන අරුතින් බොහෝ දුරස්ය. සිදුව ඇත්තේ ක්‍රීඩාවක ගුනාංග සියල්ල පසෙකලා තරඟකාරී සතුට විකුනන වෙළඳපොලක් බිහිවීමය. ඉන් ක්‍රීඩා සංස්කෘතිය කොල්ලකාරී සංස්කෘතියකට කඩාවැටී තිබේ.

මෙය සමාජ සංවර්ධන මූලධර්ම වල වැරැදී යාමක්ද?

            මෙම පැනයට පිළිතුරු සෙවිය යුත්තේ දේශපාලන ආර්ථික විද්‍යාව තුළය.

“….ස්වකීය නිෂ්පාදන සම්බන්ධකම්, හුවමාරුව සහ දේපොළ සම්බන්ධකම් සහිත නූතන ධනපති සමාජය, මේ සා විශාල යෝධමය නිෂ්පාදන මාධ්‍යයන් සහ හුවමාරු ක්‍රම බිහිකළ මෙම සමාජය, තමා විසින් ස්වකීය විජ්ජා මන්ත්‍ර බලයෙන් කැඳවන ලද පාතාළ ලෝකයේ භූත බලය තවදුරටත් මෙල්ල කිරීමේ අපොහොසත් වී සිටින මන්ත්‍රකාරයකු වැන්න. අතීත අවුරුදු බොහෝ ගනනක කර්මාන්තයෙහි සහ වාණිජ්‍යයෙහි ඉතිහාසය, අන් කිසිවක් නොව, සමකාලීන නිෂ්පාදන තත්වයනට විරුද්ධව, ධනපති පංතියේ හා එහි පාලන බලයේ පැවැත්මට අවශ්‍ය තත්වයන් වන දේපොළ සබඳතාවයන්ට විරුද්ධව, නූතන නිෂ්පාදන බලවේගයන් කරන කැරළිකාර අරගලයය. කලින් කළ යළි යළිත් පිවිසීම මගින් සෑම වාරයකදීම ඊට කලින් වාරයට වඩා ධනපති ක්‍රමයේ පැවැත්ම තර්ජනයට හසුකර, එහි පැවැත්ම විනිශ්චයට භාජනය කරන වාණිජඅර්බුද ගැන මතක් කිරීම පමණක් ප්‍රමාණවත්ය.”

“….සමාජයේ විධානයට යටත් වී තිබෙන නිෂ්පාදන බලවේග ධනවාදී දේපොළ අයිතියේ තත්වයන් වර්ධනය කරලීමට තව දුරටත් තුඩු නොදෙයි. එයට ප්‍රතිපක්ෂව, ඒවා එම තත්වයනට නොසරිලන තරම් බලගතු වේ. මෙම නිෂ්පාදන බලවේගයන්ට දමා ඇති විලංගු බිඳ දැමූ විගස එම නිෂ්පාදන බලවේග මුළුමහත් ධනවාදී සමාජය ඉමහත් අවුලට ඇද හෙළමින් ධනපති දේපළ වල පැවැත්ම අනතුරට පත්කරලයි. ධනපති සමාජයේ තත්වයන් ඒවා විසින් නිපදවූ වස්තු සම්භාරය අඩංගුකර තැබීමට ප්‍රමාණවත් නොවන තරම් පටුය.”

( කොමියුනිස්ට් ප්‍රකාශනය, මාක්ස් – එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 1 පිටුව 51,52, 1982 ප්‍රගති ප්‍රකාශන, මොස්කව්)

            සැබවින්ම මෙම සංස්කෘතික සහ සදාචාරාත්මක කඩාවැටීම විසින් පෙන්වා දෙනු ලබන්නේ සමාජ සංවර්ධනය පිළිබඳව මාක්ස්වාදී දැක්මේ නිරවද්‍යතාවයයි. මේ වන විටත් අපදන්නා පරිදි ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය තාක්ෂනික වර්ධනයේ යෝධ පිමි පැන ඇත. අභාවකාශ තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ජෛව විද්‍යා තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය ආදී විවිධ කේෂ්ත්‍රයන් හි වර්ධනය අති දැවැන්තය. නිෂ්පාදනයේ වේගය, අධ්‍යාපනයේ වේගය සහ අදහස් හුවමාරුවේ වේගය අසීමාන්තිකව ඇත. එහෙත් සමාජ චින්තනය ධනවාදී ගතානුගතික හෝ පසුගාමී වන තත්වයන් තුළ සමාජ සම්බන්ධතාද කල් ඉකුත්ව යයි. දේශපාලන භාෂාවෙන් පවසන්නේ නම් යල්පැන ගොස් තිබේ. එනම් මේ ජවසම්පන්න, දඟකාර, නවීන නිෂ්පාදන බලවේගයන්ගේ තාරුණ්‍යය, දුබල, ඔත්පල හා ගතානුගතිකමහලු සමාජ සම්බන්ධතා පසුකර දිවෙන්නට වෙර දරනු මිස එක්ව ගමන් කරන්නේ නැත. ප්‍රාග්ධන හිමියා ලාබ අනුපාතිකය නොවැටී තබා ගනිමින් ඉදිරියට යන්නට පෞද්ගළික දේපල ක්‍රමයක් තුළයොදන තැත අවසන අර්බුද හා සංස්කෘතික කඩාවැටීම් මිස අන් ඵලයක් නොමැත. මෙම තත්වය තුල සංකීර්ණ තාක්ෂණික උපකරණ නොව සාමාන්‍ය ජනතා පරිහරණයට නිෂ්පාදනය කොට ඇති ිප්රඑචයදබැල ජදපචමඑැර වැනි බහුකාර්ය මෙවලම් පවා සමාජ ජීවිතය තුළ ප්‍රතිවිරෝධතා සහ අර්බුද නිමවයි. අවසන ඒවා සමාජ සෞඛ්‍යයට අහිතකර අසැබි සහ මංමුලා කරවන පරමාදර්ශයන් ජනිත කරයි. ඒ සියල්ලම පෙරලා යළි වෙළඳ භාණ්ඩ බවට පත්වේ. මේ සියල්ලෙන් පැවසෙන්නේ ධනවාදය උපයාගත් නිෂ්පාදන බලවේග “කට්ටලය” දැමීමට තරම් ධනවාදී සමාජ සම්බන්ධතා “උරය” ප්‍රමාණවත් නොවන බවය. උරය පැලී සියල්ල පිටතට එන සංස්කෘතික අර්බුදය නිමවන්නේ එලෙසින්ය. මෙයට වඩා දරාගත හැකි “බහලුමක” අවශ්‍යතාවය මින් පැවසේ.

            එළැඹ තිබෙන අවදිය අනුව මානව සමාජය දෙමංසලකට පැමිණ තිබේ. එක් මඟක් මෙම සීමිත ධනවාදී නිෂ්පාදන සබඳතා නම් ලබු ගෙඩියට මහා ගුදමක පිරවීමට තරම් වන නිෂ්පාදන බලවේග පටවමින් එය අගාධයක ගිල්වා දැමීමයි. ඒ හා සමඟ මානව සමාජයද සිදුවන පරිද්දෙන්ම තවදුරටත් ආර්ථික හා සමාජ සංස්කෘතික වශයෙන් අගාධයට යෑමට ඉඩ හැරීමයි. මිලේච්ඡත්වය වෙත පෙරළා පසුබැසීමයි. ඒ සඳහා කිසිවක් කලයුතු නැත. විය යුත්තේ ධනේශ්වර වෙළඳපොල තුල සැරි සරන ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික වෙළඳ භාණ්ඩ තරඟයට අනුකූලතාවය දැක්වීමයි. ලාභය පසු පස දිවෙන ඒ උදෙසා ඕනෑම අමානුෂික පියවරකට එළැඹෙන පරිභෝජනවාදයට ගොදුරු සොයන ධනේශ්වර සමාජ සංස්කෘතිය අනුමත කිරීමයි.

           අනෙක් මඟ වන්නේ මේ අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වය කරා යෑමයි. ඒ සඳහා මේ අති දැවැන්ත නිෂ්පාදන බළවේග වලට අනුරූපී නැතිනම් සියල්ල ග්‍රහනය කොටගත හැකි දරාගත හැකි පූළුල් සමාජ සම්බන්ධතා සහිත නව සමාජයකට පිවිසීමයි. මෙම සංස්කෘතික කඩාවැටීම විසින් ඉල්ලා සිටින්නේ නව සංස්කෘතික මිනිසකු සහිත එවන් සමාජ ක්‍රමයකි. අතිශය තාර්කික ලෙසම එම සමාජය අන් කවරක් හෝ නොව සමාජවාදයයි.එවන් දියුණු සංස්කෘතියක කළල අවස්ථාව දක්නට හැක්කේ නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංති පක්ෂය තුළය.

ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න (LEFT)

www.left.lk