සමාජවාදය ජාතික ප්‍රශ්නය නිරාකරණය කළ හැටි !

Cuba supports fight against racism, discrimination and xenophobia
February 6, 2017
What is to be Done?
February 6, 2017
Show all

සමාජවාදය ජාතික ප්‍රශ්නය නිරාකරණය කළ හැටි !

”සමාජවාදී විප්ලවය පොදු ජන අප්‍රසාදයේ නිමක් නැති දොළ – කඳුරු ඒකාස්ථ කර ගන්නා මහෝඝයකි. එය ‘සියලූ ම පීඩිත සහ අප‍්‍රසන්න වූ ජනතාවන්ගේ’ පොදු ජන අරගලයේ උච්ච අවස්ථාව ය. යටත් විජිතවල පීඩිත ජනතාවන්ගේ අරගලය ද එයට ඇතුළත් ය. වාස්තවික වශයෙන් මෙම ව්‍යාපාර සියල්ල ම ධනපති ක්‍රමයට විරුද්ධව කරන විරෝධය පෑමක් වේ. එම ව්‍යාපාරවල වාස්තවික හරය එළි දක්වා, ඒවා එක ම පීල්ලකට යොමු කිරීම විප්ලවවාදී නිර්ධන පන්තියේ කර්තව්‍යයයි.
රුසියාවේ 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවය, සාර් වාදයෙන් පීඩිත ජාතීන්ට නිදහස ගෙන ආවේ ය. ඒ හැම ජාතියකට ම තම අනාගතය සකස් කර ගැනීමේ අයිතිය ගෙන දුන්නේ ය.
තුන්වැනි කොටස අදාළ වන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් පසු කාලයට ය. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවලට අනුකූලව එම ප්‍රශ්නය විසඳන ලද ආකාරය එම කොටසෙන් පෙනේ. සාර් පාලනය රෝපණය කළ ජාතික සතුරුකම් හා වෛරය අහෝසි කර දැමීම පිණිස පූර්වාශ්‍යතාවයන් නිර්මාණය කළ ආකාරයත් සෝවියට් සංගමයේ විවිධ ජාතීන් අතර මිත්‍රත්වය ඇති කළ, ශක්තිමත් කළ හා ඔරොත්තු දෙන තත්වයට පත් කළ ආකාරයත් එයින් පෙනේ.
සාර් වාදය යටතේ රුසියාවේ ජනතාව, වරප්‍රසාද හිමි සහ පීඩිත යන කොටස් දෙකකට බෙදිනි. දැන් සත්‍යමය හා සම්පූර්ණ සමානාත්මතා පදනමක් මත ඔවුන් අතර සම්බන්ධකම් නැවත ගොඩනැඟීම අවශ්‍ය විය. ලෙනින්ගේ ජාතික ප‍්‍රතිපත්තියේ මුල්ගල වූයේ එයයි. ඒ අනුව ඔහු ඊනියා ’ස්වතන්ත‍්‍රකරණ’ යෝජනා ක්‍රමයට විරුද්ධ විය. එම යෝජනා ක්‍රමයේ අරමුණ වූයේ සියලූ ම සෝවියට් සමූහාණ්ඩු ස්වතන්ත්‍ර ඒකක වශයෙන් රුසියානු සමූහාණ්ඩුව තුළට ගෙන ඒමයි. ඊට ප‍්‍රතිකූල වශයෙන් ලෙනින් බල කර කියා සිටියේ සම්පූර්ණ සමානාත්මතාවය පදනම් කර ගෙන සෝවියට් සමූහාණ්ඩුවල ස්වේච්ඡා සමාගමයක් ඇති කළ යුතු බවයි. සෝවියට් සමාජවාදී ජනරජ සංගමය පිහිටුවීමට මඟ හෙළි කළේ ඔහුගේ එම ප්‍රතිපත්තියයි. එය සමාජවාදී සමාජය ගොඩනැඟීමට එකඟ වූ සමාන ජාතීන්ගේ සහෝදර සන්ධානයකි. මෙම සංගමයට කොකේසියා, මධ්‍යම ආසියා, කසකස්ථාන්, වොල්ගා පෙදෙසේ මුස්ලිම්වරුන් යන ජනතාවන් සහ වෙනත් ජනතාවන් ද එකතු වූහ.”
ලෙනින් පෙර දිග ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාර,
පිටු 16-17

”කලින් සාර් පාලකයන් විසින් පැහැර ගනු ලැබ තිබූ අගනා සංස්කෘතික හා ඓතිහාසික වස්තු යළිත් එම ජනතාවන්ට දීමට සෝවියට් රජය කටයුතු සම්පාදනය කළේය.
”මුස්ලිම් බැතිමතුන්ගේ ඉල්ලීම් පිළිගත් සෝවියට් රජය පෙත්රොග‍්‍රාද් (දැන් ලෙනින්ග‍්‍රාද්) නගරයේ රඳවා ගනු ලැබ තිබූ ඔස්මාන්ගේ ‘ශුද්ධ කුරානය’ යළි මුස්ලිම් බැතිමතුන්ට ලැබෙන්නට සලස්වන්නට තීරණය කළේ ය. 1918 මුල දී සෝවියට් රජය ඔරෙන්බර්ග් නගරයේ තිබූ ජනතා මන්දිරයත්, කැරවන් – සේරායි මුස්ලිම් දේවස්ථානයත් බෂ්කීරියානු ජනතාවට පවරා දුන්නේ ය.
”1917 නොවැම්බර් මාසයේ අග දී සෝවියට් රජය ‘රුසියාවේ සහ පෙර දිග වැඩ කරන සියලූ මුස්ලිම් බැතිමතුන්ට’ යන මැයින් යුත් ආයාචනය නිකුත් කළේ ය. කලින් යටත් විජිත ලෙස පැවති රටවල ජනතාවන් පීඩනයට පත් කිරිමේ සාර් වාදී පිළිවෙත නිමාවට පත් කරන ලද බැව් එම ආයාචනය තුළින් අවධාරණය කරනු ලැබී ය. ’මෙම මොහොතේ පටන් ඔබේ සම්ප‍්‍රාදයයන්, ජාතික හා සංස්කෘතික ආයතන නිදහස් බැව් ප්‍රකාශයට පත් කෙරේ. කිසිදු බාධාවකින් තොරව ඔබේ ජන ජීවිතය ගොඩ නංවනු මැනවි.’ යනුවෙන් එම ආයාචනයේ සඳහන් විය.
එක් එක් ජනවර්ගයේ විශේෂිත ලක්‍ෂණ සැලකිල්ලට භාජනය කරන ලද බැව් විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. ජාතික කොටස්වල කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව අධ්‍යාපනය, මුදල්, දුම්රිය මාර්ග සහ වෙනත් දෑ පිළිබඳව කිසිදු ජනවර්ගයකට බලපාන තීරණයක් ගත නොහැකි විය.
ජනවර්ගවල කටයුතු පිළිබඳව ජාතික කොමිසම් සභා දෙපාර්තමේන්තු ස්ථාපනය කරන ලදී. 1919 ගිම්හාන සමය වන විට ජාතික කොටස් පිළිබඳ කොමිසාර් මණ්ඩල හතක් ස්ථාපනය කොට තිබිණි.
සමාජවාදය න්‍යාය හා ව්‍යවහාරය – පිටු 31-32

ජාතික ගැටලුව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රබලම ම සාධකයක් වී දශක පහකට ආසන්නය. ජාතික ප්‍රශ්නය පිළිබඳ දේශපාලන ලියැවිලි හා සටහන් මිලියන ගණනක් මෙම කාලය තුළ ලියැවී ඇත. මෙම ලියැවිලි මිලියන ගණන හරයෙන් ගත් විට කොටස් දෙකකට ප‍්‍රධාන වශයෙන් වෙන් කළ හැක. එනම්, ධනේශ්වර පන්තියේ විසඳුම් හා නිර්ධන පන්තියේ විසඳුම් යනුවෙනි. එසේ වුව ද, අප රටේ ජාතික ප්‍රශ්නයේ කේන්ද්‍රීය සාකච්ඡාව පසු ගිය දශක කිහිපය තුළ වර්ධනය වී ඇත්තේ, බලය බෙදීමේ විසඳුම් හා රාජ්‍යයේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේ විසඳුම් ලෙස වර්ග දෙකකට ය. ධනපති පන්තියේ දෘෂ්ටියෙන් මේ වර්ග දෙකේ ම ‘විසඳුම්’ යෝජනා වී ඇති අතර ම, වාමාංශික යැයි කියා ගන්නා විවිධ කොටස්වලින් ද මෙම දෙවර්ගයේ ම විසඳුම් ඉදිරිපත් වී තිබේ. අප මෙම ලිපියෙන් උත්සාහ කළේ ප‍්‍රධාන වශයෙන් ම සමාජවාදී සෝවියට් සංගමය තුළ ජාතික ප්‍රශ්නය විසඳූ ආකාරය පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීමයි; ජාතික ප්‍රශ්නයට නිර්ධන පන්තියේ විසඳුම සෝවියට් සංගමය අත් කර ගත් ප‍්‍රතිඵල හරහා නිස්සාරණය කර ගැනීම ය. එය තවත් තහවුරු කිරීමට තවත් සමාජවාදී රාජ්‍යයන් දෙකක අත්දැකීම් ද කෙටියෙන් මෙම ලිපියට එකතු කර තිබේ.
ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ ධනේශ්වර පරිපාලන ඒකක – ඒකීය හෝ බලය බෙදීම් මඟින් ද නැතහොත්, පුළුල් සමාජවාදී සමාජ – ආර්ථික ප්‍රතිපත්ති මත ඒ ඒ රටට සුදුසු පරිපාලන ඒකක සමඟ ද යන්න මෙම අත්දැකීම් හරහා සොයා බලමු.

සෝවියට් සංගමය ජාතික ප්‍රශ්නය විසඳූ හැටි :
‘ජාතීන්ගේ සිරගෙය’ ලෙස සැලකූ රුසියානු අධිරාජ්‍යය තුළ සමාජවාදී විප්ලවය සිදු කිරීමේත්, එය සාර්ථකව ගොඩනැඟීමේත් මුල් ගලක් වූයේ ජාතික ප්‍රශ්නය පිළිබඳ සෝවියට් ප‍්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ගයන් ය. ලෙනින්වාදී ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග උඩින් පහළ වූ ඒවා නොවූ අතර, මාක්ස්වාදයේ හා සමාජ සංවර්ධනයේ මූලික නියාමයන්ට අනුකූලව සකස් කරන ලද, රුසියානු සංදර්භයට නිර්මාණශීලී ව ගැළපූ, අත්දැකීම් මඟින් පෝෂණය වූ ඒවා විය. 1903 තරම් අතීතයේ දී රුසියානු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂය විසින් රුසියානු අධිරාජ්‍යයේ තිබූ ජාතික ප්‍රශ්නයට කම්කරු පන්තියේ ප‍්‍රතිපත්තිය ලේඛන ගත කළේ මෙසේ ය:
”ධනපති පන්තිය අද කම්කරුවන්ට බිය වෙති. එනිසා එය පුරිෂ්කේවිච්ලා සහ ප්‍රතිගාමීන් සමඟ සන්ධානයක් ඇති කර ගනිමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාවා දෙයි. ජාතීන් පීඩනයට පත් කිරීම නැතහොත්, ජාතීන් අතර අසමාන අයිතිවාසිකම් සඳහා පක්‍ෂ වෙයි. ජාතිවාදී සටන් පාඨ මඟින් කම්කරුවන් දූෂණය කරයි.
”අපේ කාලයේ දී ජාතීන්ගේ නියම නිදහස සහ සියලූ ම ජාතිවලට අයත් කම්කරුවන්ගේ සමඟිය සඳහා පක්‍ෂවාදීව කටයුතු කරන්නේ නිර්ධන පන්තිය පමණකි.
”විවිධ ජාතීන් එකතු වී සාමයෙන් සහ නිදහස් ලෙස ජීවත් විය හැකි වන්නේ නැතහොත්, වෙන් වී වෙන් වෙන් රාජ්‍යයන් (පිහිටුවීම ඔවුන්ට වඩාත් සුදුසු නම්) පිහිටුවා ගත හැකි වන්නේ කම්කරු පන්තිය විසින් පවත්වා ගෙන යන පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද යටතේ පමණකි. කිසි ම ජාතියකට හෝ කිසි ම භාෂාවකට වරප්‍රසාද නො තිබිය යුතු ය! සුළු ජාතියක් සම්බන්ධයෙන් අල්පමාත්‍ර වශයෙන් හෝ පීඩනයක් නොවන යන්තමින් හෝ අසාධාරණයක් නොවන සේ කටයුතු කළ යුතු ය. කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපත්ති එසේ ය.”
ලෙනින් පෙර දිග ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාරය, පිටු 90-91
එමගින් රුසියාව විසින් යටත් කර ගෙන තිබූ යුක්රේනය, බෙලෝරුසියාව වැනි නැගෙනහිර යුරෝපා ජාතීන් ද, එස්තෝනියානු, ලැට්වියා, ලිතුවේනියා, පින්ලන්තය වැනි බෝල්ටික් ජාතීන් ද, තජික්, කිර්ගීස්, උස්බෙක් ආදී මධ්‍යම ආසියානු ප්‍රදේශවල ද, ඈත පෙර දිග සයිබීරියාව වැනි ප්‍රදේශවල ද ජීවත් වූ කෝටි සංඛ්‍යාත පීඩිත ජනයා හා පීඩිත ජාතීන් බොල්ෂෙවික් පක්‍ෂය සමඟ එක් වූ අතර, 1917 සමාජවාදී විප්ලවයෙන් පසුව බොල්ෂෙවික්වරුන් සමඟ මිත්‍රශීලී ප්‍රතිපත්තියකින් කටයුතු කිරීම අරඹන ලදී. එසේ වුව ද, ස්වයංතීරණ අයිතිය හෙවත් වෙන් වීමේ හෝ එක් වීමේ අයිතිය ප්‍රදානය කොට තිබූ, දියුණු කොමියුනිස්ට් පක්‍ෂයක් හෝ දියුණු ජාතික විමුක්ති ව්‍යාපාර (ධනපති පන්තියේ නායකත්වයෙන් යුත්) හෝ නො තිබූ මෙම රටවල ජනතාව සමාජවාදී සෝවියට් සංගමය තුළ තබා ගනිමින්, සමාන අයිතීන් ගෙන් යුත් ස්වාධීන රාජ්‍යයන්ගේ සංගමයක් ලෙස සෝවියට් දේශය ගොඩනැඟීම වරද්දා ගැනීම්, අතපසු වීම්, ඉක්මන් වීම්, පසුබට වීම් ආදී දහසකුත් එකක් අත්දැකීම්වලින් යුත් ක්‍රියාවලියක් විය. මෙම ජාතීන් පමණක් නොව රුසියාව තුළම පවා ජීවත් වූ සිය ගණන් ජාතික, ආගමික, භාෂාමය,
වාර්ගිකමය (උදා : කොරියානුවන්) වෙනස්කම් සහිත ජනතාව එක සමාන අයිතීන් භුක්ති විඳින, එක හා සමාන පුරවැසියන් බවට පත් කිරීම දැවැන්ත සමාජ ඉංජිනේරුමය කර්තව්‍යයක් විය. මෙම අධ්‍යයනය කිරීමට පළමුව 1917 සමාජවාදී විප්ලවයට පෙර රුසියානු අධිරාජ්‍යයේ ජාතික, ආගමික, ගෝත්‍රික ජන සංයුතිය හා පරිපාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු.

සාර් රුසියානු අධිරාජ්‍යය :
සාර් රුසියාව ඒකීය රාජ්‍යයක් වූ අතර, එය නිල වශයෙන් පිළිගනු ලැබුවේ රුසියානු ජාතිකත්වය පමණි. රුසියාව තුළ ජීවත් වූ අනෙක් ජාතික, වාර්ගික කණ්ඩායම් ‘විදේශිකයන්’ සලකනු ලැබී ය (රුසියානු වචනය Inoradtsy). එනම්, එම ජන කොටස්වලට කිසිදු දේශපාලන අයිතිවාසිකමක් නො දීමත්, එම ජන කොටස් විවිධ තාඩන, පීඩනවලට ලක් කිරීමත්, එම ජන කොටස් අයිති ප්‍රදේශවල ඛනිජ, දැව හා ඉඩම් වැනි සම්පත් රුසියානු අධිරාජ්‍යයේ ප්‍රයෝජනය පිණිස බලයෙන් ලබා ගැනීමත් පොදු ලක්‍ෂණය විය. බොහෝ ජාතිකත්වයන්ට තම ජාතික භාෂා මාධ්‍යයෙන් පොත් පත් පළ කිරීමට හෝ පාසල් ආරම්භ කිරීමට හෝ හැකියාවක් නොතිබිණි.
19 වැනි ශතවර්ෂය අවසන් වන විට සාර් රුසියාව කෝටි 13ක (මිලියන 128.2ක) ජනගහනයකින් යුත් (1897 ජන සංගණනයට අනුව) වර්ග කිලෝ මීටර් මිලියන 22.5 ක විශාලත්වයෙන් යුත් භූමියක් විය. එහි ආසන්න වශයෙන් කෝටි 13ක ජනගහනයෙන් කෝටි 6.5ක් පමණ රුසියානුවන් විය. මෙම ජාතිකත්වයන් රාශියකින් යුත් අධිරාජ්‍යය යුද්ධ, යටත්විජිතකරණ, රදල හා නැඟී ගෙන එන ව්‍යාපාරික පැලැන්තිය හා යටත් විජිතවල පදිංචි වූ සාර් හමුදාවේ විශ්‍රාමික යුද නිලධාරීන් විසින් විශාල ඉඩම් ප්‍රදේශ සංවර්ධනය කිරීම ආදිය මඟින් ගොඩ නැඟුණි. රුසියානු අධිරාජ්‍යයේ ප‍්‍රධාන
වාර්ගික කණ්ඩායම වූයේ, නැගෙනහිර ස්ලාව්වරුන් ය. රුසියානු, යුක්රේනියානු හා බෙලොරුසියානුවරු මෙම ජනවර්ගයට අයත් විය. පින්ලන්ත බෝල්ටික්වරු, ටර්කික් ( Turkic) ඇතුළු වෙනත් ස්ලාව් නොවන ජන වර්ග ද අතීතයේ පටන් ම රුසියාවේ ජීවත් විය. 16 වැනි ශතවර්ෂයේ දී වොල්ගා ප්‍රදේශ ඈඳා ගැනීම හා සයිබීරියාව යටත් කර ගැනීමෙන් පසු මෙම
වාර්ගික සංයුතිය තවත් වෙනස් හා විවිධ විය. එමෙන් ම 17වැනි ශතවර්ෂයේ සිට 19වැනි ශතවර්ෂය දක්වා කාලය තුළ දී යුක්රේනය, නැගෙනහිර සයිබීරියාව හා මධ්‍යම ආසියාව ඈඳා ගැනීමත් සමඟ ආසියානු, අරාබි හා මධ්‍යධරණි ප්‍රදේශවල ජන වර්ග ද, ඉවෙනික්, නෙන්ත්සි, බනිති වැනි ගෝත්‍රික ජන කොටස් ද රුසියානු අධිරාජ්‍යයට එක් විය. විදේශිකයන් ලෙස සැලකූ මොවුන්ගේ සංස්කෘතීන් තහනම් කෙරුණු අතර ඔවුන්ට විශාල බදු හා දඩ නියම කරන ලදී. ඔවුන් රුසියානු ජාතිකත්වය සමඟ බලහත්කාරයෙන් අනුකලනය කිරීම සාර් අධිරාජ්‍යයේ ජාතික ප්‍රශ්නය පිළිබඳ ප‍්‍රතිපත්තිය වූයේ ය.
ශතවර්ෂ ගණනාවක රුසියානු කරණය හා ස්වකීය සංස්කෘතික අනන්‍යතා මර්දනය වීම නිසාවෙන් ද, අනෙකුත් බොහෝ යටත් විජිත හිමි රටවල් මෙන් නොව රුසියානු යටත් විජිත, රුසියානු මහා රාජ්‍යයට කිට්ටුව හා ඒකාබද්ධව පැවැතීම නිසා ද බොහෝ ඈඳා ගත් හා යටත් කර ගත් ප්‍රදේශ එසේ කරන විට ධනේශ්වර ජාතීන් බවට වර්ධනය නොවී තිබීම නිසා ද මෙම පීඩිත ජන කොටස් රුසියානු සංස්කෘතිය හා දේශපාලන ක‍්‍රමය සමඟ එකට වෙලී මිශ්‍ර වී තිබිණි.
එමෙන් ම අනෙක් අතට පැවති දැවැන්ත මර්දනය හා ජාතික පීඩනය නිසා ද පසුකාලීන ව ඈඳා ගත් සමහර ප්‍රදේශවලට ස්වයංපාලනය හා සංස්කෘතික අයිතිවාසිකම් ලබා දීම් මඟින් සිය දේශපාලන, සංස්කෘතික අයිතීන් ගැන උත්තේජනයක් ලැබීම විසින් ද 19වැනි සියවස අග දී යුරෝපයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ධනේශ්වර ව්‍යාපාරවල බලපෑම විසින් ද සාර් රුසියාවේ සමහර ප්‍රදේශවල 1870-1915 කාලය තුළ ජාතික ව්‍යාපාර ආරම්භ වීම දැකිය හැක. (උදා : පෝලන්ත ජාතික විමුක්ති ව්‍යාපාරය)
1917 බොල්ෂෙවික් විප්ලවයට පෙර රුසියානු අධිරාජ්‍යයේ ජන සංයුතිය 1897 දී කරන ලද ජන සංගණනයෙන් හෙළි වේ. මෙම ජන සංගණනය ලෙනින් සහෝදරයා විසින් ද සිය ප්‍රතිපත්ති හා ලේඛන සකස් කර ගැනීමේ දී බහුල වශයෙන් භාවිත කරන ලද්දකි.

1917 සමාජවාදී විප්ලවය හා ජාතික ප්‍රශ්නය පිළිබඳ නව ප්‍රවේශය
1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් දින කිහිපයකට පසු 1917 නොවැම්බර් 15 වැනි දින සෝවියට් රජය විසින් ”රුසියානු ජනතාවන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනය” (The Declaration of Rights of the Peoples of Russia) ප්‍රකාශයට පත් කළ අතර, එමගින් ;
1. රුසියාවේ සියලූ ජනතාවන්ගේ සමානත්වය හා ස්වාධිපත්‍යය
2. ස්වයං තීරණයට ඇති අයිතිවාසිකම
3. ජන වර්ගවල නිදහස් සංවර්ධනයට ඇති අයිතිය තහවුරු කළේ ය.
එමෙන් ම බොල්ෂෙවික් පාලනය මූලික වශයෙන් එහි මුල් කාලයේ දී රුසියානු නොවන ජාතිකත්වයන් හා ඈඳා ගෙන තිබූ ජාතීන්ගේ ස්වයං වර්ධනය, ජාතියක් වශයෙන් එහි භෞමික, සංස්කෘතික, සමාජීය සංවර්ධනය තදින් අවධාරණය කළ අතර, ලෙනින් සහෝදරයා 1920 – 22 කාලය තුළ ලියන ලද ලේඛන රාශියක ම මේ ප‍්‍රතිපත්තිය මනාව සඳහන් වේ. ”මොස්කව් විශාල කරනවාට වඩා අනිකුත් සෝවියට් ජනරජවල අගනුවරවල් විශාල ලෙස ගොඩනඟන්න” යන ස්ටාලින්ගේ ප්‍රකාශය තුළ එය ගැබ් වේ. (සෝවියට් පාලනය ස්ථාපිත කළ ‘ජාතීන්ගේ කොමිසාර් මණ්ඩලයේ සභාපතිවරයා ඔහු විය. ඔහු ජෝර්ජියානුවකු වූ නමුදු ජෝර්ජියානු ජාතිකවාදයට උග්‍ර ලෙස විරුද්ධ විය. ඔහුගේ මෙම ”උග්‍ර” විරෝධය ද ලෙනින් විවේචනය කළේ ය.) ලෙනින් – පෙර දිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර 376-377 පිටු
1917 සමාජවාදී විප්ලවයෙන් පසුව විප්ලවීය ආණ්ඩුව 1917 දෙසැම්බරයේ දී යුක්රේනයට ද, පෝලන්තයට ද පින්ලන්තයටද ස්වාධීනත්වය ප්‍රදානය කරන ලදී. 1918 අගභාගයේ දී ලිතුවේනියාවට, ලැට්වියාවට හා එස්තෝනියාවට ද එම අයිතිය ප්‍රදානය කරන ලදී. කුඩා කුඩා රාජ්‍යයන් නිර්මාණය කිරීම මාක්ස්වාදයේ හා බොල්ෂෙවික් ප‍්‍රතිපත්තිය නොවූව ද, ජාතීන් හා ජාතිකත්වයන් රාශියක කොමියුනිස්ට්වරුන්, ප්‍රගතිශීලීන් ඒකරාශී වී ගොඩ නැඟුණු සමාජවාදී සෝවියට් සංගමය හා රුසියානු කොමියුනිස්ට් පක්‍ෂය තම දිගු කාලීන ප‍්‍රතිපත්තිය වූ ස්වයං තීරණය සඳහා ජාතීන් සතු වූ අයිතිය යන ප‍්‍රතිපත්තිය පැහැර හැරීමට කටයුතු නොකළේය. නමුත්, ඒකාබද්ධ ප‍්‍රබලම සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය මඟින් ද, පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු හා සිවිල් යුද්ධයෙන් පසු රටේ ආර්ථිකය ගොඩ නැංවීමෙන් පසුව හා සෝවියට් බලය ශක්තිමත් කර ගැනීමෙන් පසු සමාජවාදී ෆෙඩරල් ප්‍රතිපත්ති මත යුක්රේනය, ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාව සමාජවාදී සෝවියට් සංගමය සමඟ නැවත සිය ස්වයං තීරණ අයිතිය මත එක් වන ලදී. සමාජවාදී සෝවියට් සංගමය ජාතික ප්‍රශ්නය විසඳීමේ දී රුසියානු අධිරාජ්‍යය විසින් ඈඳා ගත් ස්වාධීන ජාතීන්ගේ හා රුසියාව තුළ ම වූ විවිධ ජාතිකත්වයන් හා ආගමික, ගෝත්‍රික, භාෂාමය කණ්ඩායම්වල දේශපාලන, සංස්කෘතික ගැටලූ විසඳුවේ 1917 රුසියානු ජනතාවන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ මූලධර්ම මත ය. එනම්, සමානාත්මතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ පදනම මතය. එමෙන් ම ජාතික, සංස්කෘතික, ආධ්‍යාත්මික අයිතීන් ආරක්‍ෂා කෙරෙන පදනම මත ය. එසේ වුව ද, සෝවියට් සංගමය තුළ ජාතික ප්‍රශ්නය විසඳන ලද්දේ බලය බෙදීමෙන් හෝ ජාතිකත්වය හා ආගමික ප‍්‍රජාවන්ට වෙනම ප්‍රදේශ වෙන් කර ස්වයංපාලන බලතල ලබා දීමෙන් හෝ නොවේ. එය අයිස් කන්දක මුදුන් කොටස පමණක් විය. එම ස්වයංපාලන බලතල හා ස්වයං තීරණ අයිතිය එම ජනතාවන්ට සමානත්වය හා දේශපාලන නිදහස පිළිබඳ හැඟීමක් ඇති කරන ලද නමුත්, ජාතික අසමඟිතාවන් දුරලන ලද්දේ – ජාතීන් හා ජාතිකත්වයන් අතර යුග ගණනාවක් ගොඩ නැඟී තිබූ වෛරය හා සැකය දුරු කරන ලද්දේ – සමාජවාදී ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග විසින් බව සෝවියට් විරෝධී උගතුන් පවා පිළිගනු ලබන්නෙකි.

ස්වයංතීරණය, ස්වයං පාලනය හා සෝවියට් සංගමයේ පරිපාලන ප්‍රදේශ :
සෝවියට් සංගමය තුළ බල ප්‍රදේශ ඇති කිරීම ජාතික ප්‍රශ්නය හා සම්පූර්ණයෙන් සම්බන්ධව නැත. ජාතික හා ජාතිකත්වය සාධකය මත මෙන් ම සංවර්ධන, පරිපාලන කාර්යක්‍ෂමතාවය පදනම් කර ගෙන ද පාලන ප්‍රදේශ ස්ථාපිත කරන ලදී. සෝවියට් දේශය තුළ තිබූ (1989 වන විට) විවිධ ජාතික භෞමික බල ප්‍රදේශ ගණන 53 කි. ඒවා නම් ;

1. සමාජවාදී සෝවියට් ජනරජ Soviet Socialist Republics (S. S. R.)
2. ස්වයං පාලිත සමාජවාදී සෝවියට් ජනරජ Autonomous Soviet Socialist Republics (A. S. S. R.)
3. ස්වයංපාලන ප්‍රාන්ත Autonomuos Provinces – OBLASTS (A. R.)
4.ස්වයං පාලිත ජාතික බල ප්‍රදේශ Autonomous National Territories – Okrugi (A. N. T.)
ස්වයං තීරණ අයිතිය හිමි ජනරජ (S. S. R.) ද, ස්වයංපාලන බලතල හිමි ජනරජ (A. S. S. R.) ද, ස්වයංපාලන ප්‍රාන්ත ද (A. R. – OBLASTS රුසියානු වචනය) හා ස්වයං පාලිත ජාතික බල ප්‍රදේශ (A. N. T. – Okrugi රුසියානු වචනය) වලට ද අමතරව විවිධ ජාතික, ආගමික, භාෂාමය කණ්ඩායම්වලට ද විශේෂ බලතල සහිතව ස්ථාපිත කරන ලද ස්වයං පාලිත දිස්ත්‍රික්ක (ජනගහනය 10,000 සිට 50,000 දක්වා) සිය ගණනක් ද, ජනගහනය 500 සිට 5,000 දක්වා වූ කණ්ඩායම්වලට ස්වයංපාලන නගර හා ජනපද දහස් සංඛ්‍යාවක් ද සමාජවාදී සෝවියට් සංගමය තුළ ස්ථාපිත කර තිබිණි.

ස්වයංපාලන ජනරජ හා ප්‍රදේශ ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය
නිල වශයෙන් සමාජවාදී සෝවියට් ජනරජ සංගමය (Union of Soviet Socialist Republics – U. S. S. R.) පිහිටුවනු ලද්දේ 1922 දී ය. එහි දී ස්වයං තීරණ අයිතිය හිමි ජනරජ S.S.R 15 ක් 1917ත් 1940ත් අතර පිහිටුවනු ලදී. ආසන්න වශයෙන් 1936 පමණ වන තෙක් ම මෙම ජනරජවල භෞමික සීමා වෙනස් කිරීම්, එක් කිරීම් කරන ලද අතර, මේ සියල්ල ” Korenizatsiya” යනුවෙන් හඳුන්වන ලද ”ස්වදේශ කරණ වැඩපිළිවෙළ” මඟින් ක්‍රියාත්මක විය. මෙම ජනරජ 15න් විශාලතම හා ජාතික හා ජනවාර්ගික අතින් සංකීර්ණතම ජනරජය වූයේ රුසියාවයි. එම නිසා රුසියානු ජනරජය එය තුළ ම ෆෙඩරල් ජනරජයක් ලෙස ස්ථාපිත කරන ලදී. එනම්, රුසියානු සෝවියට් සමාජවාදී ෆෙඩරල් ජනරජය (Russian Soviet Socialist Federal Republic – R.S.S.F.R) යනුවෙනි. එනම්, සෝවියට් ෆෙඩරේෂණය තුළ තවත් ෆෙඩරේෂනයක් ලෙස රුසියානු ෆෙඩරේෂනය ස්ථාපිත කරන ලදී. රුසියානු සෝවියට් සමාජවාදී ෆෙඩරල් ජනරජය 1920 කාලය තුළ දී ස්වයං පාලිත සෝවියට් සමාජවාදී ජනරජ (A.S.S.R.) හා ස්වයං පාලිත ප්‍රාන්ත (OBLASTS) 30 කට පමණ වෙන් කරන ලද අතර, ඒවා බොහොමයක් අද දක්වා ම පවතී. මීට අමතරව ස්වයංපාලන දිස්ත්‍රික්ක, නගර හා ජනපද දහස් ගණනක් රුසියානු සෝවියට් සමාජවාදී ෆෙඩරල් ජනරජය (R.S.S.F.R) තුළ ස්ථාපිත කරන ලදී. මුලින් R.S.S.F.R තුළ ම තිබූ ස්වයං පාලිත ජනරජ සමහරක් පූර්ණ ස්වයං තීරණ අයිතිය සහිත ජනරජ බවට පත් කරන ලදී. 1936 දී කසකස්තානය හා කිර්ගීස්තානය යන A.S.S.R දෙක රුසියානු S.S.R වලින් වෙන් කර ස්වාධීන S.S.R 02ක් ලෙස ස්ථාපිත කරන ලද අතර, මෝල්දාවියානු A.S.S.R 1940 දී රුසියානු S.S.R යෙන් ඉවත් කර වෙනම S.S.R. බවට පත්කරන ලදී. එමෙන්ම ක්‍රිමියානු ස්වයං පාලිත A.S.S.R. 1945 දීත්, වොල්ගා ජර්මන් ස්වයංපාලන A.S.S.R. 1941දීත් රුසියානු S.S.R. යට ඈඳා ගන්නා ලදී.
සෝවියට් සංගමය පිහිටුවීමෙන් පසු 1926 දී පවත්වන ලද ප්‍රථම ජන සංගණනයේ දී ජාතිකත්වයන් 176ක් හඳුනා ගන්නා ලදී. සත්‍ය වශයෙන් ම මෙම සංගණනය ජාතීන්, ජාතිකත්වය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම් අනුව ජන කණ්ඩායම් හඳුනා ගැනීමට උත්සාහ කරන ලදී. එනම්, ජාතියක් යනු ස්වකීය භූමි ප්‍රදේශයක්, පොදු භාෂාවක්, පොදු ජාතික මානසිකත්වයක්, පොදු ආර්ථිකයක් සහිත කොටසක් ලෙස නිර්වචනය කෙරේ. එසේ වුව ද, සංගණනයේ දී ජනතාවන්ට මෙම ජාතීන් හෝ ජාතිකත්වය යන අදහස් තේරුම් නො ගොස් තිබිණි. මන්ද යත්, බොහෝ ජන කණ්ඩායම් ධනේශ්වර ජාතික රාජ්‍යයක් ගොඩනඟා ගෙන නො තිබීමත් සියවස් හතරක් පමණ ම රුසියානු අධිරාජ්‍යය යටතේ ජිවත් වීම නිසාත් තමන් වෙනස් ජාතියකට වඩා තම ආගම, භාෂාව, ජීවන රටාව මත තමන් වෙන් කොට හඳුනා ගැනීමට පුරුදු වි සිටි නිසාත් ය. එම නිසා ඉස්ලාම් ආගම අදහන අය ජාතිය ලෙස සඳහන් කර තිබුණේ ”මුස්ලිම්” යනුවෙනි. සමහර ගෝත්‍රික ජනයා තම ගෝත්‍රයේ නම ජාතිය ලෙස සලකා තිබිණි. ඒ අනුව විවිධ ජාතිකයන් 176 ක් (190 ක් ලෙස ද සමහර ලේඛනවල සඳහන් වේ.) හඳුනා ගත් අතර, පසුව විද්‍යාත්මක හා ප්‍රායෝගික පරීක්‍ෂණ හා නිගමන අනුව ජාතීන් හා ජාතිකත්වයන්
69ක් ප‍්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නා ලදී, (එක ම යුදෙව් ජාතිකත්වය ජාතිකත්වයන් හතරක් ලෙස ද, ජෝර්ජියානුවන් ජාතිකත්වය පහක් ලෙස ද සංගණනයේ දී වාර්තා කර තිබිණි.) මෙම වෙන් වෙන් ජාතිකත්වයන් 69න් 16ක් ජාතීන් ලෙසත් එනම්, ස්වයං තීරණ බලතල සහිත S.S.R. ලෙසත්, රුසියානු S.S.R. තුළ අනෙකුත් ජාතිකත්වයන් 23 ක් සඳහා ස්වයං පාලිත සෝවියට් සමාජවාදී ජනරජ – A.S.S.R 18ක් හා ස්වයංපාලන ප්‍රාන්ත – OBLASTS පහක් ද, උස්බෙක් S.S.R. තුළ එක් ස්වයං පාලිත A.S.S.R. ද, අසර්බයිජාන් S.S.R. තුළ එක් ස්වයං පාලිත A.S.S.R. ද, තජිකිස්තාන්.S.S.R. තුළ එක් ස්වයං පාලිත A.S.S.R. යක් ද, ජෝර්ජියානු S.S.R. තුළ ස්වයං පාලිත A.S.S.R. තුනක් ද ලෙස ස්ථාපිත කරන ලදී.

රුසියානු සමාජවාදී ෆෙඩරල් ජනරජය තුළ ස්වයං පාලිත ජනරජ: ජාතික අසමානතාවයන් දුරලීම
බොහෝ ෆෙඩරල්වාදීන් විසින් සමාජවාදීන් ජාතික ප්‍රශ්නය විසඳන ලද්දේ ජාතිකත්වය පදනමින් ප්‍රදේශ වෙන් කර දේශපාලන බලය බෙදීමෙන් යැයි පවසන්නට යොදා ගන්නා උදාහරණය ඉහත කරුණු ය. එසේ වුව ද, සෝවියට් සංගමයේ සමූහාණ්ඩු, පළාත්, දිස්ත්‍රික්ක හා ස්වයංපාලන ප්‍රදේශ වෙන් කිරීමේ එක ම හෝ අති ප්‍රධානතම නිර්ණායකය වූයේ ජාතික හෝ ආගමික ජන සංයුතිය නොවේ. වැදගත් ම කරුණ නම්, සෝවියට් සංගමය ජාතික ප්‍රශ්නය – එනම්, ජාතික අනුකලනය හා සැකය, වෛරය දුරු කිරීම කරන ලද්දේ සමාජවාදී සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රතිපත්තිවලින් වීම ය. තමන් වෙන ම ජාතිකත්වයන් හෝ වෙන ම ජාතියක් ලෙස පවා නොසැලැකූ ජන කණ්ඩායම්වලට වෙන ම දේශපාලන බල ප්‍රදේශයක් ලබා දී, පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක් ලබා දී, තමන්ගේ ම ජාතිකත්වයෙන් අගමැතිවරයෙක් සහ ඇමැතිවරුන් පත් කර ගැනීමට සැලැස්වීමෙන් සරල පරිපාලන ක්‍රමවලින් පමණක් සෝවියට් දේශය ජාතික ප්‍රශ්නය නො විසඳන ලදී. ඉහත ආකාරයට ජනරජ හා ස්වයංපාලන ප්‍රදේශ නම් කළ ද, අසීමිත තරම් යැයි කිව හැකි සංකීර්ණ ආකාරයන්ට විවිධ ජාතිකත්වයන් හා ජාතීන් සෝවියට් සංගමයේ බටහිර සිට නැගෙනහිර දක්වා මිශ්‍ර වී වාසය කළේ ය. සමඟි වී හා අන්‍ය සංස්කෘතීන් ගරු කිරීමට හුරු වන්නේ නැතිව ජාතික, ආගමික, වාර්ගික පදනමින් ජනරජ හෝ පළාත් හෝ දිස්ත්‍රික් හෝ නගර වෙන් කිරීම කිසි සේත් කළ නොහැකි විය. උදාහරණයක් ලෙස උස්බෙකිස්තානය හා තජිකිස්තානය යන ජනරජ දෙක නිර්මාණයේ දී බුකාරා, සමර්කාන්ද් නගර හා සුඛාන්දර්යා ප්‍රාන්තය පිළිබඳ ගැටලූ මතු විය. මෙම නගර දෙක හා ප්‍රාන්තය තුළ විශාල ලෙස තජික් ජාතිකයන් (බහුතරයට ආසන්න ව) ජීවත් වූ නමුත්, ඒවා තජිකිස්තානයට ඇතුළු කිරීම ඓතිහාසික දේශපාලන, ආර්ථික හේතු නිසා නොහැකි විය. තජික් බහුතරයකින් යුත් නගර දෙකක් හා ප්‍රාන්තයක් උස්බෙකිස්තානය තුළ ම තැබීමට සෝවියට් බලධාරීහු කටයුතු කළහ.
සෝවියට් සංගමය ජාතික ප්‍රශ්නය විසඳීමේ එක් ප‍්‍රධාන අරමුණක් ඉලක්ක කර ගෙන ය. එනම්, ”සෝවියට් මිනිසෙක්” නිර්මාණය කිරීම අරමුණු කර ගෙන ය. 1917 නොවැම්බර් මස 15 වැනි දින අනුමත කළ රුසියානු ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ මූලධර්ම වෙතත්, වරින් වර ඒ අනුව යමින් සෝවියට් පාලනය නිකුත් කළ උපදෙස් හා නියෝග මතත් පදනම්ව නිදහස් ජාතීන් ගෙන් එක් වී සෑදෙන නව සෝවියට් ජාතියක්, සෝවියට් මිනිසෙක් නිම වීම අරමුණු කර ගත් ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සකස් කරන ලදී. සියල්ල සෝවියට් කරණය අරමුණු කර ගෙන ක්‍රියාත්මක විය.

img

ඒ අනුව ;
1. සියලූ ම ජාතීන්ට හා ජාතිකත්වයන් සමාන අයිතීන් ලබා දෙන ලදී.
2. එම ප්‍රදේශ පාලනය අදාළ ජාතියේ හෝ ජාතිකත්වය අයට ම පවරන ලදී.
3. නව ජාතික භාෂා නිර්මාණය කරන ලදී.
4. ලිඛිත භාෂා නැති ජාතීන්ට ලිඛිත භාෂා නිම වන ලදී.
5. සෑම ජාතියකට ම ජාතිකත්වයකටම අදාළ ගුරුවරුන් පුහුණු කරන ලද අතර, ස්වභාෂා මාධ්‍ය පාසල් ආරම්භ කරන ලදී.
6. සෑම ජාතියකට ම ජාතිකත්වයකටම ප‍්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ඇති කරන ලදී.
7.සෑම ජාතියකට ම ජාතිකත්වයකටම ම අදාළ බුද්ධිමතුන්ට හා වෘත්තිකයන්ට ජාතික වෘත්තීය ආයතන ඇති කරන ලදී.
8. සෑම ජාතියකට හා ජාතිකත්වයකටම අදාළ ජාතික ආයතන එනම්, ජාතික විද්‍යා ආයතන, ජාතික නාට්‍ය ශාලා හා නාට්‍ය පාසල්, සිනමා ශාලා හා සිනමා පාසල්, සංගීත පාසල්, ජාතික පර්යේෂණාගාර, කෘෂි විද්‍යා පරීක්ෂණාගාර ඇතුළු ජාතික රාජ්‍යයකට අදාළ (වෙන ම හමුදාවක් හා තානාපති සේවයක් හැර) සියල්ල ඇති කරන ලදී.
9.ස්වභාෂා මුද්‍රණාල හා ලේඛකයන් උනන්දු කරන ලද අතර, පොත් පත් ලක්‍ෂ ගණන් බෙදා හරින ලදී.
10. ස්වදේශික උගතුන්ට, බුද්ධිමතුන්ට, සමාජ නායකයන්ට පක්‍ෂයේ හා ආණ්ඩුවේ තනතුරුවලට පත් වීමට ඉහළ ම සහාය ලබා දෙන ලද අතර, සෝවියට් සමූහාණ්ඩුව තුළ ම ඉහළ තනතුරු ලබා දෙන ලදී. සමහර අවස්ථාවල ඉහළ තනතුරු දැරූ (පක්‍ෂයේ, ආණ්ඩුවේ හා සමූහාණ්ඩුවේ ප‍්‍රධාන ආයතනවල) පුද්ගලයන්ගේ ජාතිකත්වය අනුව ප්‍රතිශතය එම ජාතිකත්වය සෝවියට් සංගමය තුළ දැරූ ජාතිකත්වය ප්‍රතිශතයට වඩා වැඩි විය.
11. සෝවියට් සමූහාණ්ඩුව තුළ තිබූ සරසවි, ජාතික පර්යේෂණ ආයතන, සංස්කෘතික හා ක්‍රීඩා ආයතනවලට සිසුන් තෝරා ගැනීමේ දී පසුගාමී හා දුර්වල ජාතීන්ට හා ජාතිකත්වයන් විශේෂ කෝටා ක්‍රම සකසා තිබිණි.
12. අතිශය පසුගාමී එඩේර හා යැපුම් කෘෂිකාර්මික ප්‍රදේශවල දුම්රිය මාර්ග, මහා මාර්ග හා දැවැන්ත කර්මාන්ත ශාලා ස්ථාපිත කෙරිණි.
13. සෝවියට් සංගමය තුළ සිටින සෑම ජාතික, ආගමික, භාෂාමය ජන කණ්ඩායමක් ම සමාන ය, එකයි යන අදහස දිගින් දිගට ම පාසල්, සරසවි, ජනමාධ්‍ය, චිත්‍රපට, නාට්‍ය, සංගීත වැඩසටහන්, දේශපාලන සාකච්ඡා ආදිය හරහා දිනපතා ම ජනතාවට ඒත්තු ගැන්විණි.
14. සියලූ ම ආකාරයේ ලොකු සහ කුඩා ජාතිවාදී, ආගම්වාදී අන්‍ය ජාතිකත්වයන් හා ජන කොටස් හෙළා දකින, පීඩාවට පත් කරවන දේශපාලන ක්‍රියාකාරකම්, ඒවා කුමන ආකාරයෙන් ගත්ත ද තහනම් ව තිබූ අතර මැඬ පවත්වන ලදී.
15. බුද්ධිමතුන්ගේ, වෘත්තිකයන්ගේ, ක්‍රීඩකයින්ගේ, කලාකරුවන්ගේ, සිසුන්ගේ, කම්කරුවන්ගේ දසදහස් ගණනින් වූ ඒකාබද්ධ වැඩමුළු, සම්මන්ත්‍රණ, හුවමාරු වැඩසටහන් හරහා මිත්‍රත්වය, අවබෝධය ඇති කිරීම හා සැකය දුරු කිරීම කරන ලදී.
16. ළමුන්ගේ සංවර්ධනය හා නව පරපුර ජාතිවාදී, ආගම්වාදී බලපෑමෙන් මුදා ගැනීමට මුළු සෝවියට් සංගමය පුරා ම එක ම ගුණාත්මක වැඩපිළිවෙළක් පෙර පාසල් අවධියේ සිට සරසවි දක්වා ම ක‍්‍රියාත්මකව කරන ලදී.
17. 1939 – 45 දෙවන ලෝක යුද්ධය ද, මහා දේශප්‍රේමී යුද්ධය (The Great Patriotic War) තුළ දී සෝවියට් සංගමයේ විවිධ ජාතීන්ට හා ජාතිකත්වයන් හා ජන කොටස්වල සොල්දාදුවෝ හා ගොවීහු එක ම සේනාංකවල, එක ම යුද අගල්වල සොහොයුරන් සේ යුද වැදුණ හ. දෙවන ලෝක යුද්ධයේ දී මිය ගිය මිලියන 20 ක් වූ සෝවියට් වැසියන් මේ සියලූ ම ජාතිකත්වයන් අයත් මිනිස්සු හා ගැහැණු වූහ. ෆැසිස්ට්වාදයෙන් මිනිස් වර්ගයා ගලවා ගැනීමේ අමිල මෙහෙයුම ජයග්‍රාහීව නිම කළ මෙම ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන්ගේ එම ක්‍රියාව හරහා සෝවියට් සංගමය පුරා විසිරී සිටි සිය ගණන් ජාතික, ආගමික කණ්ඩායම් එක ආධ්‍යාත්මයකට, එක මානසිකත්වයකට ගොනු කළේ ය. ඒ රතු කොඩිය හා සෝවියට් මානසිකත්වයයි.
18. දියුණු සමාජවාදී ජනරජවල කෘෂිකාර්මික හා කාර්මික ජයග්‍රහණවලට උදව්වෙන් පසුගාමී ජනරජවල ආර්ථිකයන් දියුණු කරන ලදී.

මේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප‍්‍රතිපත්තිය නිසා පූර්ව විප්ලව සමයේ යටත් විජිත හා පීඩිත ජාතීන්ට හා ජාතිකත්වයන් අයත් ජනතාවට සියවස් ගණනක් රුසියාව හා රුසියානුවන් පිළිබඳව තිබූ සැකය, වෛරය දුරු වී ගියේ ය. නිවැරදි ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසා එම ජනරජවල පොදු ජන ජීවිතය පිමිවලින් වර්ධනය විය. උදාහරණයක් ලෙස 1954 – 1989 යන 30 අවුරුදු කාලය තුළ විශේෂයෙන් රුසියානු නොවන ජාතීන්ගේ හා ජාතිකත්‍වයන්ගේ ජනගහනය වේගයෙන් වර්ධනය විය.
රුසියානු හා බෝල්ටික් නොවන ජාතිකත්‍වයන්ගේ, ජාතීන්ගේ ජනගහන වර්ධනය වේගයෙන් වැඩි වූ අතර ම, ඔවුන්ගේ බුද්ධිමය, ක්‍රීඩාමය, සංස්කෘතිකමය, විද්‍යාත්මක ක්ෂේත්‍රයන්ගේ වර්ධනය ද මීට නො දෙවැනි විය. අද ද (ධනවාදී රටක් වීමෙන් පසුවත්) ලොව ඉහළ ම ක්‍රීඩා කුශලතා පෙන්වන කසකස්තානය, උස්බෙකිස්තානය වැනි රටවල එම ක්‍රීඩා පදනම සකස් කෙරුණේ සෝවියට් ක්‍රියා පිළිවෙත තුළිනි. එමෙන් ම ලොව හොඳ ම අධ්‍යාපන ක‍්‍රමය, ලොව විශාලතම රට, ලොව සුපිරිතම හමුදාව (ජර්මනිය පැදවීමෙන් පසු), ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා සහ අභ්‍යවකාශ තාක්‍ෂණයේ පුරෝගාමී රට, ලොව විශිෂ්ඨතම කලා, ක්‍රීඩා හැකියාවන් ගෙන් යුත් රට හා ලොව බොහෝ ජාතීන්ගේ පැසසුමට ලක් වූ රට වීම නිසාත්, සාර් යුගයට සාපේක්‍ෂව අධ්‍යාපන, සෞඛ්‍යය, රැකියා, නිවාස, විශ්‍රාම වැටුප්, සංස්කෘතිය, භුක්ති විඳීමේ නිදහස ඇතුළු ලොව වෙනත් කිසිදු රටක නො තිබූ සමාජ, ආර්ථික අයිතීන් ලැබීම නිසාත් සෝවියට් සංගමයේ සියලූම ජනතාවෝ සෝවියට් වැසියන් වීම පිළිබඳ සතුටු වූ අතර, එම නිසාමත් ඔවුන් සෝවියට් සංගමය තුළ සෝවියට්වරුන් බවට පත් වෙමින් තිබිණි. 1960 – 70 පමණ වන විට ජාතික හා ජාතිකත්වය පදනමින් ජනරජ හා පළාත් වෙන් කර තිබුණ ද, විවිධ ජාතික හා ආගමික කණ්ඩායම්වලට අයත් ජනතාව මිශ්‍ර වීම අතිශය සුලබ වී තිබිණි. උදාහරණ ලෙස 1960-80 කාලයේ සෝවියට් සංගමයේ සිදු වූ සෑම විවාහ හතරකින් ම එකක් (සියයට 25 ක්) ජාතීන් හෝ ජාතිකත්වයන් අතර සිදු වූ විවාහයක් විය. සෝවියට් සංගමය තුළ ජාතික ප්‍රශ්නය නිරාකුල කිරීම සම්පූර්ණයෙන් ම සමාජවාදී සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විය. විවිධ ධනේශ්වර පොතේ ගුරුන් කියන්නාක් මෙන් ”ෆෙඩරල් කරණයේ” හෝ ”වාර්ගික ජාතික අනන්‍යතාවයෙන් වර්ධනය කිරීමේ” (Ethno Nationalism) හෝ ප්‍රතිඵලයක් නොවේ. මේ සමස්ත ක්‍රියාවලිය තුළ සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය තුළ ද ජනරජ සඳහා වෙන වෙන ම පළමු ලේකම් වරුන්ගෙන් යුත් මධ්‍යම කාරක සභාවක් ද තිබූ අතර, සියලූ ම ජනරජවල පක්‍ෂ ප‍්‍රධානීන්ගෙන් හා නියෝජිතයන්ගෙන් සමන්විත සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ මධ්‍යම කාරක සභාවක් ද, එම මධ්‍යම කාරක සභාව තුළ විවිධ ප්‍රදේශවලට වෙන ම අනු කමිටු ද පත් කර තිබූ අතර, එමගින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම, අධීක්‍ෂණය හා ප්‍රතිපත්ති සම්පාදනයට උපදෙස් දීමට හැකියාවක් අත්පත් කර ගෙන තිබිණි. මේ නිසා පෘථිවියෙන් හයෙන් එකක් තුළ වසර 70 ක් පුරා ජාතික, වාර්ගික ගැටුම් නොපැවැතිණි ! (සෝවියට් සංගමය පෘථිවියේ භූමියෙන් 1/6කි.)
වත්මන් ධනේශ්වර රුසියාව තුළ ද සියයට 99ක් ම ඇත්තේ, 1920 ගණන්වල ඇති කරන ලද ස්වයං පාලිත ප‍්‍රදේශම ය. එසේ වුවද, 1991 සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් හා විනාශ කිරීමෙන් පසුව රුසියාව තුළ විවිධ ජාතික, ආගමික ගැටුම් නිර්මාණය වී තිබේ. ඉන් ප‍්‍රධාන එකක් වනුයේ, චෙච්නියානු අර්බුදයයි. ආර්මේනියානුවන් හා ඇසරිස් (Armenia and Azeris) ගැටලුව තවත් එකකි. පොදුවේ මධ්‍යම ආසියානු රුසියානු ප්‍රදේශවල ජාතිකත්වය ගැටුම් ඇති වෙමින් තිබේ. පැරණි බලය බෙදීමේ ඒකක, බලතල එලෙස ම තිබිය දී නව ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා මතු වන්නේ ඇයි ? ධනේශ්වර උගතකු, මහාචාර්යවරයකු, ලේඛකයකු හා What is to be done? – Philosophical Talks නම් R. T. (රුසියානු ටෙලිවිෂනය) රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු වන විට්ලි ට්‍රේට්ටාකොව් මෑතක දී R.T. රූපවාහිනී සංවාදයක දී මෙසේ කියා සිටියේ ය :
”යමකු කැමති වුව ද, අකැමැති වුව ද, අපේ නූතන ඉතිහාසය තුළ ජාතික ප්‍රශ්නය විසඳීමේ දී එක ම සාර්ථක මොඩලය සමාජවාදී සෝවියට් සංගමයේ ක්‍රමවේදය බව කිව යුතු ය. සෝවියට් සංගමය විසින් සෝවියට් ජනතාව නම් ප්‍රපංචයක් හඳුන්වා දෙන ලදී. සියලූ ම ජනතාව එමගින් නියෝජනය විය. සැබැවින් ම එම සෝවියට් ප‍්‍රතිපත්තිය හරියට ම වැඩ කළේය. සෝවියට් සමාජයේ කිසිවකු ඔබ රුසියානු හෝ රුසියානු නොවන කෙනෙකු වුව ද, කිසිවකු තම දුක්ගැහැට ගැන මැසිවිලි නොකීවේය. සෝවියට් ප්‍රජාව ඔවුන්ට කැමති ඕනෑ ම තැනක පදිංචි වූයේ ය. ජීවත් වූයේ ය. ආර්මේනියන්වරු හා ඇසිරිස්වරු නිතර ම එකිනෙකා හා විවාහ විය. අසර්බයිජානයේ අගනුවර වූ බාකුවල හා අනෙකුත් කොකේසියන් ප්‍රදේශවල ආර්මේනියන්වරු පදිංචි වූහ. එය සිදු කළේ කෙසේ ද? අඛණ්ඩ හා නො නිමි මතවාදී හා දේශපාලන ක්‍රියාවලිය විසිනි. සෑම ජන කොටසක් ම සමාන හා හොඳ බවත්, වැදගත් ම දේ ජනතාවන් අතර මිත්‍රත්වය බවත් ජනතාවගේ සිත්සතන් තුළට දිනපතා ම සෑම සිදුවීමක් ම, කරුණක් ම, උදාහරණයක් ම හරහා කාවද්දනු ලැබීම මඟිනි.”
පැරණි බලය බෙදීමේ ඒකක, බලතල, ව්‍යවස්ථා එලෙස ම තිබිය දී රුසියානු ධනේශ්වර රාජ්‍යය තුළ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති වන්නේ ඇයි ද යන්නට හේතුව ඉහත පිළිතුරේ නිසියාකාරව ගැබ් ව තිබේ. බොල්ෂෙවික් විප්ලවයත්, බොල්ෂෙවික් ජයග්‍රහණත්, සමාජවාදයත් පාවා දුන් ද්‍රෝහියකු හා ධනේශ්වර ඒකාධිපතියකු වන වත්මන් රුසියානු ජනාධිපති පුටින් රුසියාවේ වත්මන් ජාතික ප්‍රශ්න හමුවේ අසරණ වී ඇති තරම කොතරම් ද කිව හොත්, ”මෑතක දී මතු වී ආ ජාතික ප්‍රශ්නවලට පිළිතුර සෝවියට් සංගමයේ ප්‍රතිපත්ති ක‍්‍රියාත්මකව කිරීම යැ “යි කීමට තරම් බිත්තියට හේත්තු වී තිබේ.
සමාජවාදී සෝවියට් සංගමය තුළ ජාතික ප්‍රශ්නය විසඳීමේ දී එම සියලූ ගැටලූ, සැකයන්, අනවබෝධයන් එක රැයින් දුරු නොවූ බව ද මෙහි ලා කිව යුතු ය. සමාජවාදී සෝවියට් සංගමය ලෙස අප ලියන විට ඉන් අදහස් වන්නේ, පෘථිවියෙන් හයෙන් එකක් තරම් විශාල ප්‍රදේශයක ජාතික ගැටලුව විසඳීම ගැන බව කිව යුතු ය. ජාතික වෙනස්කම් පමණක් නොව ජන වාර්ගික වෙනස්කම් පවා තිබූ, වෙන් වී යාමේ අයිතිය සහිත රාජ්‍යයන් 16ක තනි සංගමයක් ගැන බවත්, අඛණ්ඩ අධිරාජ්‍යවාදී උසි ගැන්වීම, ජාතිවාදී උඩ ගෙඩි දීම මැද ජාතික ප්‍රශ්නය විසඳීමක් ගැන බවත් මෙහි ලා සඳහන් කළ යුතු ය. 1917 නොවැම්බර් මස 02 වැනි දින සිට 1936 පමණ වන විට දශක දෙකක් තුළ සෝවියට් සංගමය එතරම් සංකීර්ණතා, විවිධත්වයන් සහිත රටක ජාතික ප්‍රශ්නය විසඳීම සමාජවාදී ප්‍රතිපත්තිවල හැකියාව හා බලය පිළිබඳ ප්‍රතිමූර්තියකි.
සෝවියට් දේශය තුළ ද ජාතික ප්‍රශ්නය විසඳීමේ දී දෙවන ලෝක යුද්ධ සමයේ දී කොරියානු හා ජර්මානු ජන කණ්ඩායම් පූර්ණ සාධාරණ සැලැකීමකට ලක් නොවූ බවට චෝදනා තිබේ. එසේ වූයේ, විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධයේ දී යුද්ධය හා සාගතය නිසා රුසියාවට පැමිණි කොරියානු ජනයා ජපාන හමුදා සමඟ ඒකාබද්ධ වීමට තිබූ ඉඩකඩ තුළ හා ජපාන ඔත්තු සේවා කොරියානුවන් ලෙස වෙස් වළා ගෙන ක‍්‍රියාත්මකව වීමේත් වොල්ගා ප‍්‍රදේශයේ වූ ජර්මන් ජනතාව ජර්මන් නාසි හමුදා සමඟ එක් වීමේත් ඉඩකඩ තුළ ය. මේ නිසා මෙම ජන කොටස්වලට වෙනම ප්‍රදේශවල පදිංචි වීමට සිදු විය. කොරියානු ජන කොටස් ජපාන සීමාවෙන් ඈත කසකස්තානය, උස්බෙකිස්තානය වැනි ප්‍රදේශවල ඉඩම් ලබා දී පදිංචි කෙරුණු අතර එහි කොරියානු භාෂා පාසල්, කොරියානු භාෂා ගුරුවරුන් පුහුණු කරන ගුරු විද්‍යාල, කොරියානු භාෂා සඟරා, පුවත් පත් ආදිය පවා ස්ථාපිත කරන ලදී. අද ද මෙම රටවල සැලකිය යුතු කොරියානු ජනතාවක් වෙසෙති. ජර්මන් ජාතික කොටස් රුසියාවේ උතුරු ප්‍රදේශවලට සංක්‍රමණය විය.
කෙසේ වුවද සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ වූ න්‍යායික පීලි පැනීම් හා ධනේශ්වර මතවාදී බලපෑම් නිසාත් ජාතික ගැටලුව විසඳීම සඳහා වූ මාක්ස් ලෙනින්වාදී ප්‍රතිපත්ති හා උපක්‍රමවල අත්හැරීම් හා දියාරු වීම් සිදු විය. ජාතික ප්‍රශ්නයට අදාළ ගැටලූ සමාජවාදී පාලනයේ අවසන් කාලය තුළ මතු වීම සිදු විය.
මිනිස් ඉතිහාසය අත්දුටු දවැන්තම ජාතික අනුකලන ඉංජිනේරුමය කාර්යය වූයේ, සමාජවාදී සෝවියට් සංගමයේ ජාතික ප්‍රශ්නය නිරාකුල කිරීමේ ක්‍රියාවලිය බව නිසැක ලෙස සඳහන් කළ හැක. පෘථිවියෙන් 1/6ක, තිස් කෝටියක් ජනතාවක් වෙන් වී යාමේ අයිතිය සහිත රාජ්‍යයන් 16 ක්, සමහර විට ඉන්දියාව, මහා බ්‍රිතාන්‍ය තරම් විශාල ස්වයං පාලිත ජනරජ 29 ක් හා ස්වයං පාලිත ප්‍රාන්ත තවත් විශාල සංඛ්‍යාවක්, ජාතික, ආගමික, භාෂාමය කණ්ඩායම් සිය ගණනක් අතර අවම වශයෙන් 1936-1991 දක්වා වසර 65 ක් ජාතික, ආගමික ගැටුම් නැතිව පවත්වා ගෙන යාම ජාතික ප්‍රශ්නය විසඳීමේ ලෙනින්වාදී සමාජවාදී ප්‍රතිපත්තිවල සාර්ථක භාවය පිළිබඳ ජීවමාන සාක්‍ෂියකි.

අනෙකුත් සමාජවාදී රටවල ජාතික ගැටලුව නිරාකරණය කිරීම :
සමාජවාදී චීනය, සමාජවාදී යුගෝස්ලාවියාව (1945-90) සමාජවාදී ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මත ජාතික ප්‍රශ්නය විසª රටවල් ය.

සමාජවාදී චීනය
චීනය තුළ සමාජවාදී පාලනය පිළිබඳ විවිධ ගැටලූ මතු කළ ද, ජාතිකත්වයන් 56කින් යුත් මිලියන 1,350 ක් ජීවත් වන චීනයේ ජාතික, ආගමික, වාර්ගික ගැටුම් අවම මට්ටමක පවතී. චීනය ද සෑම ජාතිකත්වයකටම සමාන අයිතිවාසිකම් පිළිගන්නා හා ක‍්‍රියාත්මකව කරන ජාතික අනුකලන ක්‍රියාමාර්ග සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාවට නැඟීමට උත්සාහ කරන සැලකිය යුතු සාර්ථක භාවයක් අත් කර ගෙන තිබෙන රටකි. සෝවියට් සංගමයේ මෙන් නොව ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන ලොව වගා කළ හැකි භූමියෙන් සියයට හතක් පමණක් තිබෙන ජනගහනයට සාපේක්‍ෂව ‘සම්පත් අඩු’ චීනය තුළ ජාතික – ආගමික ගැටලූ ඇති වීමේ සමාජ, ආර්ථික ඉඩකඩ ඉතා වැඩිය. එමෙන්ම ඓතිහාසික හේතු මත ද චීනයේ යටත් විජිත හාම්පුතුන් හයක් පමණ (ඉංග්‍රීසි, ප්‍රංශ, පෘතුගාල, රුසියානු, ජපාන, නෙදර්ලන්ත) ඇති කරන ලද බෙදා වෙන් කිරීමේ පාලනයේ විෂ ද සහිත ජනතාවන් අතර ගැටුම් ඇති කිරීම පහසුයි. නමුත්, චීනය ද සර්ව සම නොවුවද, සෝවියට් සංගමය අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවලට සමාන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි.

1. ප්‍රාන්ත 28 ක් හා ස්වයංපාලන ප්‍රදේශ (ප්‍රාන්ත හා සමාන බලතල ඇත.) පහක් හා විශේෂ පරිපාලන ඒකක දෙකක් චීනය තුළ තිබේ. මෙම ස්වයංපාලන ප්‍රදේශ විශේෂයෙන් ම ජාතිකත්වය අනන්‍යතා අනුව ස්ථාපිත කළ ඒවා ය. (උදා : Xinjiang, Tibet) ඒවායේ පාලනයට විශේෂ දේශපාලන, සංස්කෘතික බලතල තිබේ. මීට අමතරව ස්වයංපාලන දිස්ත්‍රික්ක සිය ගණනක්, ස්වයංපාලන නගර දහස් ගණනක් ස්ථාපිත කර ඇත.

2. පසුගාමී හා දුෂ්කර ප්‍රදේශ හා ජාතිකත්වයන් ජීවත් වන ප්‍රදේශවලට මධ්‍යම ආණ්ඩුවෙන් විශේෂ අයවැය ප්‍රදාන ලබා දීම. විශේෂ කාර්මික, කෘෂිකාර්මික මහා පරිමාණ යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීම.

3. එම ප්‍රදේශවලට තුන් ගුණයක ආයෝජන සහන ලබා දීම

4. සෑම නගර සභාවකට ම තම සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම, ස්ථාපිත කිරීම සඳහා රූපවාහිනී නාලිකා පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දීම

5. බහුතර ජාතිකත්වය වන ‘හැන්’ ජාතිකත්වයට හැර අන් සියලූම ජාතිකත්වයන් දරුවන් කැමති ප‍්‍රමාණයක් හැදීමේ අවස්ථාව ලබා දීම

6. සෑම කුඩා ජාතික කණ්ඩායමකට එම ජාතිකත්වය සරසවි, අධ්‍යාපන ආයතන, පර්යේෂණ ආයතන, කලාකාර ඇති කර තිබීම

7. කොමියුනිස්ට් පක්‍ෂය හා පාර්ලිමේන්තුව තුළ කුඩා ආගමික ජාතික කණ්ඩායම්වලට නිශ්චිත ස්ථිර නියෝජනයන් තහවුරු කර තිබීම

8. අඛණ්ඩව දේශපාලන, අධ්‍යාපන ක්‍රමවේද මඟින් ජාතිකත්වයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම

9. මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් මුළු මහත් චීනය පුරා ම විකාශනය වන CCTV නාලිකා 10 කට ආසන්න සංඛ්‍යාවක් කුඩා ජාතිකත්‍වයන්ගේ සංස්කෘතීන් ව්‍යාප්ත කිරීම සඳහා පවත්වා ගෙන යාම ආදිය කර ගෙන යනු ලැබේ.

චීනය තුළ ගැටලූ ලෙස ඇති වී ඇති ජාතික ප්‍රශ්නයක් වන්නේ Xinjiang ස්වයංපාලන ප‍්‍රදේශයේ ඇති උයිගර් ජනවර්ග ගැටලුව හා ටිබෙට් ගැටලූවයි. ටිබෙට් ගැටලුවට සියයට සියයක ම පාහේ අධිරාජ්‍යවාදී උසි ගැන්වීම මත ටිබෙටයේ ඉතා සුළු පිරිසක ගේ දායකත්වයෙන් සිදු කරන අරගලයක් මිස ටිබෙට් ජාතික අරගලයක් නොවේ. උයිගර් ජනවර්ග ගැටලුව තුළ චීන සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමේ දී ඇති වූ ගැටලූ මෙන් ම බටහිර උසි ගැන්වීම් ද බලපා ඇත. නමුත්, උයිගර් ගැටලුව ද උයිගර් ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරන්නක් නොවේ.
මෙහි ලා සැලකිය යුතු තවත් කරුණක් තිබේ. මිලියන 1,200ක ජනගහනයක් සිටින අසල්වැසි ධනේශ්වර ඉන්දියාවේ (ශ්‍රී ලංකාවට හා කලාපයේ බොහෝ රටවල ජාතික ප්‍රශ්නවලට විසඳුම් සපයන) ජාතික ගැටලුවේ තත්ත්වයයි. මිලියන 1,200ක් සිටින ඉන්දියාව ජාතික අනුකලනය පැත්තෙන් බැලූ විට සම්පූර්ණයෙන් අසාර්ථක රාජ්‍යයකි. ධනේශ්වර ඉන්දියාව තුළ වාර්ගික, ජාතික, ආගමික, කුල, ග්‍රෝත්‍රික ගැටුම් ඔඩු දුවා ඇත්තේ වසරකට දසදහස් ගණන් ජනයා ඝාතනය වන මට්ටමක ය. චීනය ද අධික ජනගහනය සහිත ජාතිකත්වයන් 56ක් සිටින විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ ජීවන රටා
අනුගමනය කරන ජනතාවක් වෙසෙන රටකි. නමුත්, චීනය සාධාරණ වශයෙන් ජාතික ප්‍රශ්නය විසඳා ඇති ජාතික, ආගමික ගැටුම් අවම (හෝ නැති) රටක් ලෙස පිළිගැනේ. චීනයේ ද ජාතික අනුකලනය කාර්යය සාර්ථක වී ඇත්තේ, සමාජවාදී ප්‍රතිපත්ති මත ආරම්භ කරන ක්‍රියාවලින් වසර 60 ක් තරම් කාලයක් අඛණ්ඩව පවත්වා ගෙන යන බැවිනි.

සමාජවාදී
යුගෝස්ලාවියාව
යුගෝස්ලාවියාව ඓතිහාසික වශයෙන් ශතවර්ෂ ගණනාවක් හා සමාජවාදී යුගෝස්ලාවියාව නිර්මාණය වූ 1948 වසරට පෙර වසරේ පවා එකිනෙකා සමූලඝාතනය කර ගත් ජාතික, ආගමික කණ්ඩායම් එකතු කර ගොඩනැඟුවකි. 1939-45 දෙවන ලෝක යුද සමයේ දී නාසි හමුදා සමඟ එක්ව ක්‍රොඒෂියාවේ හා වෙනත් යුගෝස්ලාවියාවට පසුව අයත් වූ ප්‍රදේශවල සිදු කළ ජාතිවාදී, ආගම්වාදී සංහාරයන් නිසා මිය ගිය පිරිස ලක්‍ෂ 17ක් ලෙස පිළිගැනුණ ද, සැබෑ අගය ලක්‍ෂ 25ට අධික ය. 1948 මාර්ෂල් ටිටෝගේ නායකත්වයෙන් සර්බියාව, ක්‍රොඒෂියාව, බොස්නියා හර්සගෝවිනා, මැසිඩෝනියා, ස්ලෝවේනියා හා මොන්ට්‍රිනිගෝ යන රාජ්‍යයන් එක් කර යුගෝස්ලාවියාව බිහි කරන විට ද, ඒ සෑම ජාතියකම අත්වල ලේ තැවරී තිබිණි. එසේ නොවී තිබුණේ, හිට්ලර්ගේ ධනපති නාසි හමුදාවලට විරුද්ධව සටන් කොට ජය ගත් ටිටෝගේ නායකත්වයෙන් යුත් ජාතිවාදී, ආගම්වාදී ලේ නොතැවරුණු විවිධ ජාතීන්ට අයත් යුගෝස්ලාව් කොමියුනිස්ට් ගරිල්ලන් පමණි. එවන් සතුරු භාවයක් තිබූ රාජ්‍යයන් හයක ජනතාව ඒකරාශී කර සෑදුණු යුගෝස්ලාවියාව ද සෝවියට් සංගමයේ මෙන් ම සමාජවාදී ප්‍රතිපත්ති මත ජාතික අනුකලන ක්‍රියාවලින් ආරම්භ කරන ලදී. 1948 සිට 1960 වන විට යුගෝස්ලාවියාව ජාතික, වාර්ගික ගැටුම්, ගැටලූ නොමැති සාමකාමී රටක් බවට පත් විය. 1991 අධිරාජ්‍යවාදී උසි ගැන්වීම් මත යුගෝස්ලාවියාව කැබලි කර වාර්ගික ගැටුම් උත්සන්න කරන තෙක් ම අවම වශයෙන් වසර 40ක් යුගෝස්ලාවියාව සාමකාමී, ජාතික ගැටලුවලින් තොර රාජ්‍යයක් වූයේ ය. එමෙන් ම ඇය නැගෙනහිර යුරෝපයේ දියුණු ම කාර්මික පදනමක් සහිත රටක් බවට ද, ජනගහනයෙන් උගත් වෘත්තිකයන් වැඩිම රටවල් අතරින් එකක් බවට ද, දිනකට පැය හයක සේවා කාලයක් හඳුන්වා දී ජනතාවගේ සංස්කෘතික, විද්‍යාත්මක ජීවිතයට ඉඩ දුන් රටක් බවට ද පත් විය. යුරෝපා ඉතිහාසය දන්නා ක්‍රෑරම ජාතිවාදී ගැටුම් සිදු කළ ජාතීන් හයක් එක් වී එක්සත් සමාජවාදී යුගෝස්ලාවියාව ගොඩනඟා ජාතික සතුරු භාවය හා අසමානතාව සෑහෙන දුරට තුරන් කිරීමට හැකි වූයේ ද සමාජවාදී ප්‍රතිපත්ති මත තම ජාතික ප්‍රශ්නය විසඳීම නිසාවෙනි.
20 වැනි ශතවර්ෂයේ හෝ 21 වැනි ශතවර්ෂයේ පළමු දශකය තුළ හෝ ජාතික ගැටලුව නො විසඳී තිබූ එක දු ධනේශ්වර රටක හෝ ජාතික ප්‍රශ්නය නිරාකරණය කර නැත. බ්‍රිතාන්‍යයේ අයර්ලන්ත ප්‍රශ්නය, ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රශ්නය, සයිප‍්‍රස් – තුර්කි ප්‍රශ්නය, ඉන්දියානු ජාතික ප්‍රශ්නය, පකිස්තාන ජාතික ප්‍රශ්නය, පිලිපීන, මැලේසියානු, තායිලන්ත ජාතික ප්‍රශ්න හා අප්‍රිකාව ගිල ගෙන ඇති ජාතික ප්‍රශ්න වැල එයට සැපයිය හැකි නිදර්ශනය. ධනවාදය යම් මට්ටමකින් විසඳා තිබූ ජාතික ප්‍රශ්න පවා නැවත අවුළුවන යුගයක අද අපි ජීවත් වෙමු. (උදාහරණ : සුඩානය).
20 වැනි ශතවර්ෂයේ බිහි වූ සෑම සමාජවාදී රටක ලෙනින්වාදී, සමාජවාදී ප්‍රතිපත්ති මත ක‍්‍රියාත්මකව වී තම රටවල ජාතික ප්‍රශ්න විසඳන ලදී. ඒ, හුදු අත්තනෝමතික මධ්‍යගත කරණයෙන් හෝ රටවල් වෙන් කරන දිශාවලට කරන ලද ෆෙඩරල් කරණයෙන් නොවේ. ජාතිකත්වය පදනමින් බලප‍්‍රදේශ පිහිටුවීමෙන් හෝ නොවේ. සැබෑ සමානාත්මතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සියලූ ජන කණ්ඩායම්වලට සහතික කර කම්කරු හා පීඩිත ජනතාවන්ගේ දේශපාලන, සංස්කෘතික, සමාජ මට්ටම් ඉහළට නැංවීම සෘජුව ඉලක්ක කර ගෙන ක‍්‍රියාත්මකව කරන ලද ප්‍රතිපත්ති නිසාවෙනි.
ජාතික සමඟියේ මාවත වැටී ඇත්තේ සමාජවාදය තුළින් පමණි. ඉතිහාසයේ සාක්‍ෂිය එයයි !
බිමල් රත්නායක