සංස්කෘතිය හා සමාජවාදය

සමාජවාදය – මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම
August 20, 2020
ආදරණීය ෆිදෙල්…
August 26, 2020
Show all

සංස්කෘතිය හා සමාජවාදය

සංස්කෘතියට අර්ථකතනයක්

‘මිනිසා සංස්කෘතික සත්වයෙකිය’ යන්න සමාජය පිළිගත් පොදු මතය වේ. මිහිතලයේ වෙසෙන ජීවීන් අතුරින් සංස්කෘතියක් ගොඩනගාගත්, සංස්කෘතික සම්බන්ධතා තුළ ජීවත්වන, එකම සත්වයා වන්නේ මිනිසාය. සංස්කෘතියක් ගොඩනගා ගැනීම, සත්ව ලෝකයෙන් වෙනස් මඟක් ගත් මිනිසා ලද ඓතිහාසික ජයග්‍රහණයකි. එහෙත් වර්තමානයේදී මිනිසා එක්කෝ අතීත සංස්කෘතික ලක්ෂණවල සිරකරුවෙක් බවට පත්ව තිබේ. නැතිනම් සංස්කෘතික පිරිහීමක ගොදුරු බවට පත්ව තිබේ. මේ නිසා වත්මන් සමාජය තුළ සංස්කෘතික පිරිහීමක් ගැන, මානුෂීය සබඳතා
බිඳවැටීමක් ගැන, දෝෂාරෝපණයන්ද කම්පාවීම්ද විලාපයන්ද සමාජය තුළින්ම ඇසෙන්නට පටන්ගෙන තිබේ. සංස්කෘතික පරිහානියක් තිබේනම් (සත්‍ය ලෙසම එවැන්නක් තිබේ.) ඉන් කියවෙන්නේ, එකී සමාජයද පරිහානියට පත්ව ඇති බවය. එවැනි තත්වයක් මානව වර්ගයාගේ
පැවැත්මට වාසිදායක වන්නේ නැත. එය මානව වර්ගයාගේ ඉදිරි ගමනට මෙන්ම පැවැත්මටද ඉමහත් හානි පමුණුවනු ඇත. එබැවින් කළ යුතු වන්නේ මේ පිළිබඳව එකිනෙකාට දොස් පවරා ගැනීම, හඬා වැලපීම හෝ සාප කිරීම නොව මෙම තත්වය වෙනස් කිරීමට දැනුවත්ව මැදිහත් වීමය. සංස්කෘතිය පිළිබඳවත් සංස්කෘතිය හා සමාජය පිළිබඳවත් අධ්‍යයනයක් අවශ්‍යවන්නේ ඒ සඳහාය. සංස්කෘතිය පිළිබඳව සමාජය තුළ පවතින අසම්පූර්ණ හා වැරදි අවබෝධයන් වෙනුවට නිවැරදි හා පුළුල් අවබෝධයක් ගොඩනැගිය යුතුය. මේ උත්සාහය ඒ සඳහාය.

සංස්කෘතිය යනු කුමක්ද?

සංස්කෘතිය පිළිබඳ සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ අසම්පූර්ණ මත රැසකි. එබැවින් සංස්කෘතිය යනු කුමක්දැයි නිවැරදිව හා අංග සම්පූර්ණ ලෙස නිර්වචනය කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. බර්නට් ටේලර් (Burnett Taylor) නම් සමාජ විද්‍යාඥයා ඔහුගේ ප්‍රාථමික සංස්කෘතිය (primitive culture) නම් කෘතියේ සංස්කෘතිය නිර්වචනය කර ඇත්තේ මෙසේය.

“සංස්කෘතිය යනු මිනිසා විසින් කිසියම් සමාජයක සාමාජිකයෙකු වශයෙන් දිවි ගෙවන විට අත්පත් කර ගන්නා සංකීර්ණ ඇවතුම් පැවතුම් සම්භාරයකි. එය ඇදහිලි ක්‍රම, කලා ශිල්ප, නීති රීති, චාරිත්‍ර වාරිත්‍ර, සුසිරිත් යන මේ සියල්ලන්ගෙන්ම සැදුම් ලත් සංකීර්ණ සත්තාවකි.” (උපුටා ගැනීම- සංස්කෘතිය හා ගොඞ්සිල්ලාකරණය- ආරියවංශ රණවීර) ඉහත නිර්වචනය අසම්පූර්ණ එකකි. එබැවින් එය නිවැරදි නොවේ. එහිදී සංස්කෘතිය ලෙස සැලකිල්ලට ගෙන ඇත්තේ මිනිස් සමාජයේ පවතින සමාජ විඥ්ඥානයට අයත් කරුණු පමණි. ද්‍රව්‍යමය සාධක අමතක කර තිබේ. මේ අතර විකිපීඩියා විශ්වකෝෂයේ සංස්කෘතිය විග්‍රහ කර ඇත්තේ මෙසේය. “සාමාන්‍යයෙන් සංස්කෘතිය යනුවෙන් හඳුන්වන්නේ මානව ක්‍රියාකාරකම් රටා සහ එහි ක්‍රියාකාරකම්වලට සුවිශේෂත්වයක් ලබා දෙන සංකේත ව්‍යුහවලටය. සංස්කෘතිය පිළිබඳ වෙනත් නිර්වචනවලින් පිළිබිඹු වන්නේ මානව ක්‍රියාකාරකම් තේරුම් ගැනීමේ න්‍යායාත්මක පදනම්වල වෙනස්කම්ය. නැතහොත් මානව ක්‍රියාකාරකම් ඇතිවීම සඳහා වූ නිර්ණායකවල වෙනස්කම්ය. පොදුවේ සංස්කෘතිය යන වදනින් අර්ථ දැක්වෙන්නේ පුද්ගලයෙකුගේ, කණ්ඩායමක හෝ සමාජයක සියලු බුද්ධිමය ෂ්පාදනයන්ය. එයට තාක්ෂණය, කලාව, විද්‍යාව මෙන්ම තෝරාගන්නා ලද බුද්ධිමය ඒකකවල සදාචාරාත්මක පද්ධති හා පුරුදුද ඇතුළත්වේ. විශේෂයෙන් මානව ක්‍රියාකාරකම්වල වෙනස් බල ප්‍රදේශවලදී ඊට වඩාත් නියත විස්තරාත්මක අරුත් හිමිවේ.”


මෙම නිර්වචනය බර්නට් ටේලර්ගේ නිර්වචනයට වඩා පොහොසත්ය. සංස්කෘතියේ බොහෝ කරුණු ඒ තුළ ගැබ්ව ඇත. එහෙත් කරුණු විසීරී තිබෙන නිසාත් සංස්කෘතියේ සමස්ත අඩංගුව එක එල්ලේ නිරවුල්ව නොපැවසෙන නිසාත් වටහා ගැනීම තරමක් අසීරුය. සංස්කෘතිය පිළිබඳ වඩාත් නිවැරදි හා මාක්ස්වාදී විග්‍රහයක් මත පදනම්වූ නිර්වචනයක් ලෙස ලියොන් ට්‍රොට්ස්කිගේ මෙම අදහස ගතහැක. ඒ

“මිනිසාගේ සමස්ත ඉතිසාය තුළදී සොබාදහම විසින් දෙන ලද දෙයට පටහැණිව මිනිසා විසින් නිර්මාණය කරන ලද, උගන්නා ලද හා ජයග්‍රහණය කරන ලද සියල්ල සංස්කෘතිය වේ.”

යන්නය. මාක්ස්වාදී දෘෂ්ටියට අනුව සරලව ගත් විට

“සිය ඉතිහාසය තුළ මිනිසා විසින් අත්කරගන්නා ලද සියලුම අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වටිනාකම්වල එකතුව සංස්කෘතිය වේ.”

යනුවෙන් පැවසිය හැක. ඒ අනුව සංස්කෘතිය යනු සාමාන්‍යයෙන් සලකන පරිදි මිනිසාගේ අධ්‍යාත්මික පාර්ශවය පමණක් නොව මිනිසා විසින් නිමවන ලද ද්‍රව්‍යමය සියල්ලද සංස්කෘතියට අයත් වේ. ට්‍රොට්ස්කි පැවසූ පරිදිම සොබාදහම හෙවත් ප්‍රකෘතිය ලබාදුන් දේට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය සියල්ල සංස්කෘතියට අයත් වේ. නිෂ්පාදන ක්‍රියාවලියේ සරලම අවදියේ මිනිසා නිපදවූ උපකරණ වන පොල්ල, හෙල්ල, දුන්න හා ඊ තලයේ සිට නූතන යන්ත්‍ර සූත්‍ර දක්වාත් අතීතයේ ඉදිකළ කුඩා ගෘහයේ සිට නූතන මහා ඉදිකිරීම් දක්වාත් චිත්‍ර, මූර්ති, කැටයම් ආදී ද්‍රව්‍යමය සියල්ලත් සිරිත් විරිත්, ආචාර ධර්ම, නීති රීති, සිතුම් පැතුම්, කෙළි සෙල්ලම්, මතවාද ආදී සියලු දේත් සමස්තයක් ලෙස සංස්කෘතියට අයත් වේ. එබැවින් සංස්කෘතිය වටහා ගත යුත්තේ එවැනි පුළුල් හා සංයුක්ත පදනමක සිටය. මේ අනුව පැරණි ගල්ලෙන් චිත්‍රද ලංකාවේ පැරණි වැව් හා දාගැබ්ද සීගිරියද චීනයේ චීන මහා ප්‍රාකාරයද ප්‍රංශයේ අයිෆල් කුළුණද මිසරයේ පිරමීඩද ලතින් අමරිකාවේ පැරණි ඉන්කා, මායා ශිෂ්ටාරවල නටඹුන්ද ඉතාලියේ පීසාහි ඇලවෙන කුළුණද ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ප්‍රතිමාවද නූතන දැවැන්ත ගොඩනැගිලි, ඉදිකිරීම්, මංමාවත් හා යන්ත්‍ර සූත්‍රද ඇතුළත්වන සියලුම ද්‍රව්‍යමය දේවල් සංස්කෘතියට අයත්ය. එපමණක් නොවේ, සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය, නත්තල, වෙසක් උත්සවය, හජ්ජි උත්සවය, මහා ශිවරාත්‍රී උත්සවය, විවාහ උත්සව, උපන්දින උත්සව, ආදී සියලු උත්සවද, ඒහා බැඳුණු සියලු සිරිත් විරිත්, නැටුම් ගැයුම්, කෙළි සෙල්ලම්ද කලා ශිල්පද මතවාදී ක්‍ෂේත්‍රයට අයත් සියල්ලද සංස්කෘතියට අයත්වේ. පොදුවේ ගත්විට

සංස්කෘතිය යනු මිනිසාගේ සමාජ ශ්‍රම ක්‍රියාකාරීත්වය මගින් නිපදවූ දේය. එනම්, මිනිසා සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී නිපදවන ලද හා අත්කර ගන්නා ලද සියලු ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික වටිනාකම්ය.

සංස්කෘතියේ බිහිවීම

සංස්කෘතිය පිළිබඳ කරන අධ්‍යයනයකදී මානව සංස්කෘතියේ බිහිවීම හා එහි ඓතිහාසික විකාශනය වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. මානව සංස්කෘතිය බිහිවූයේ කෙසේද? එය කාගේ නිර්මාණයක්ද? එය අහඹු සිදුවීම් වල ප්‍රතිඵලයතක්ද? එය දෙවියන්ගේ හෝ වෙනත් අදෘශ්‍යමාන
බලවේගයක නිර්මාණයක්ද? එහි සැබෑ පදනම කුමක්ද? ලෝකය තුළ පවතින සංස්කෘතික විවිධත්වයට හේතු කවරේද? යන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම අප විසින් කළ යුතුය.
ලෝකය තුළ පවතින්නේ එක සමාන සංස්කෘතික ලක්ෂණයන් නොවන බවත් සංස්කෘතික විවිධත්වයක් පවතින බවත් පැහැදිලි කරුණකි. මෙම විවිධත්වය ලොව එක් එක් රටවල් අතර මෙන්ම එකම රටේ ඒ ඒ කාලවලට අනුවත් වෙන්ස් වී ඇති බව දැකිය හැක. මෙම වෙනස්කම්වලට හේතුවන කරුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඒ සඳහා විවිධ හේතු රැසක්
තිබුණද ප්‍රධාන සාධක දෙකක් බලපාන බවය.

එම සාධක දෙක නම්

  1. එක් එක් රටවල ඒ ඒ කාලවලදී පවතින සමාජ සංවර්ධනයේ මට්ටම හෙවත් නිෂ්පාදන උපකරණයන්ගේ දියුණුවේ මට්ටම
  2. විවිධ රටවල පවතින භූගෝලීය වෙනස්කම්ය
Cultural Differences Around the World That Will Surprise You

සංස්කෘතියේ විවිධත්වය

ඒකත්වය තුළ සංස්කෘතිය යනු එක් ප්‍රපංචයකි. සමස්ත මානව වර්ගයා විසින්ම ගොඩනැගූ දෙයකි. එහෙත් එය ලොව පුරාම පවතින්නේ සමානව එකම ආකාරයෙන් නොවේ. ලොව විවිධ රටවල, විවිධ කලාපවල, විවිධ ප්‍රදේශවල මෙන්ම විවිධ කාලවලට අනුවද සංස්කෘතික විවිධත්වයක් පවතී. ඒ අනුව සංස්කෘතිය යනු විවිධත්වයේ ඒකත්වයකි. එසේම ඒකත්වයේ විවිධත්වයකි. සංස්කෘතියේ වටිනාකමත් එහි අලංකාරයත් එහි සජීවී බවත් පවතින්නේ, එම විවිධත්වය තුළය; එකී විවිධත්වය ඒකත්වයක පැවතීම තුළය. එසේම එය මෙම විවිධත්වය සහිතව ඓතිහාසිකව පරිණාමයද වේ. ඒ අනුව සංස්කෘතිය විවිධ වර්ණයන්ගෙන් විවිධ රටාවන්ට අනුව අඳිනු ලබමින් පවතින නිමනොකළ සිතුවමක් බඳු වේ. පෙර ලිපියේද සඳහන් කළ පරිදි සංස්කෘතියේ විවිධත්වයට හේතුවන ප්‍රධාන සාධන දෙකක් තිබේ. එකක් නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනයේ මට්ටම හෙවත් ඒ ඒ සමාජක්‍රමවල සංවර්ධනයේ මට්ටම වන අතර අනෙක විවිධ රටවල හා විවිධ භූ කලාපවල පවතින භූගෝලීය වෙනස්කම් වේ.
සංස්කෘතියේ වෙනස්කම් පවතින්නේ විවිධ රටවල් අතර පමණක් නොවේ. එකම රට තුළ වුවද කාලයෙන් කාලයට සංස්කෘතියේ වෙනස්කම් සිදුව තිබේ. එම වෙනස්කම් තීරණය කරන බලවේගය කුමක්ද? එය අන්කිසිවක් නොව ඒ ඒ කාලවල පැවති නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනයේ මට්ටම හෙවත් සමාජක්‍රමවල සංවර්ධනයේ මට්ටම වේ. ඕනෑම රටක් තුළ වර්තමානයේ පවතින සංස්කෘතිය අතීතයේ එම රටෙහි පැවති සංස්කෘතියට වඩා වෙනස්ය. ඓතිහාසිකව අභාවයට නොගිය ඇතැම් සංස්කෘතික ලක්ෂණ තවමත් ශේෂවී තිබුණද ප්‍රධාන ලක්ෂණවලින් අතීත සංස්කෘතියට වඩා වර්තමාන සංස්කෘතිය වෙනස්ය. ප්‍රාථමික සාමූහික
සමාජයේ, වහල්හිමි හෝ ආසියාතික සමාජයේ පැවති සංස්කෘතියට වඩා වත්මන් ධනවාදී සමාජයේ සංස්කෘතිය වෙනස්බව ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට වුවද පෙනේ. මෙය උදාහරණ කීපයකින් තේරුම්ගත හැක. මිනිසුන්ගේ ඇඳුම දෙස බලමු. වර්තමානයේ කපුවලින්, ලොම්වලින්, සේදනූල්වලින්, කෘත්‍රිම රෙදි වර්ගවලින් වටිනා හා අගනා හැඩති ඇඳුම් මසා අඳින ජනතාව ප්‍රාථමික සමාජයේ විලිවසා ගත්තේ සත්ව හම්වලින්, ගස්වල කොලවලින් හා පට්ටාවලිනි. එය එසේ වන්නේ අද නිෂ්පාදන උපකරණ හා ඇඳුම් මැසීමේ තාක්ෂණය දියුණුව තිබීමෙත් අතීතයේ නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු මට්ටමක තිබීමේත් වෙනස විසිනි. වර්තමානයේ සිය
නිවස්න ලෙස සුවපහසු, නවීන, මන්දිර තනා ගන්නා මිනිසා අතීතයේ ගල් ගුහාවක හෝ අතු පැලක ජීවත්වීමේ වෙනස විසින්ද පෙන්වන්නේ මෙයයි. අතීතයේ ජීවත්වූ මිනිසා සිය හැඟීම් හා අත්දැකීම් ගල්ලෙනක බිත්ති මත සිතුවම් කළේය. ඒ, එකල චිත්‍ර ඇඳීම සඳහා කැන්වස් හා පින්සල් නොවූ නිසාය. පසුව නිෂ්පාදන උපකරණ දියුණුවූ විට කැන්වසය මත පින්සලෙන් ඇඳීමේ චිත්‍ර ශිල්පය වර්ධනය විය. වර්තමානයේ චිත්‍ර ඇඳීමට පරිගණකයද යොදා ගනී. ඉන් පෙන්වන්නේද එයයි. මිනිසුන්ගේ හා සමාජයේ සිරිත්-විරිත්, ආචාරධර්ම, ගති පැවතුම්, සාහිත්‍ය කලා හා
ක්‍රීඩා පවා මෙම නිෂ්පාදනයේ මට්ටම අනුව හා නිෂ්පාදන රටාවන්ට අනුව සකස් වන බවත් ඊට අනුවම ඒවා කලින් කලට වෙනස්වන බවත් ඉතා පැහැදිලිය.


උදාහරණයක් ලෙස ලංකාව ගත්විට, ලංකාවේ අතීත සංස්කෘතිය ගොඩනැගුණේ එකල පැවති ආසියාතික නිෂ්පාදන රටාව සහිත සමාජයට අනුරූපී කෘෂිකාර්මික නිෂ්පාදනයත් ඒ මත ගොඩනැගුනු සරල ජීවන රටාව හා ඒ හා බැඳුණු ඉදිකිරීම්, සිරිත් විරිත්, ආචාරධර්මත් මගිනි. ලංකාවේ අතීත සංස්කෘතියේ දායාද ලෙස අදටත් පවතින යෝධ වැව් හා ඇල මාර්ග, එදා පැවති නිෂ්පාදන ක්‍රමය හා බැඳී තිබේ. එකල පැවති, දැනට ඉතිරිව ඇති ඉදිකිරීම් ගඩොලින් හා කළුගලින් නිමවන ලද ඒවාය. වර්තමාන ඉදිකිරීම් හා ඒවා අතර ප්‍රධාන වෙනස පවතින්නේ එදා හා අද අතර වන විද්‍යාවේ, තාක්ෂණයේ හා නිෂ්පාදන උපකරණයන්ගේ වර්ධනයේ මට්ටම විසිනි. සිරිත් විරිත් හා ආචාරධර්මද ඊට අනුව වෙනස්වී ඇත. කාර්මික යන්ත්‍ර සූත්‍ර හා උපකරණ නොතිබුණ අතීතයේ කෘෂිකර්මාන්තයට සාමූහික ශ්‍රමය අවශ්‍ය විය. එදා පැවති බොහෝ සිරිත් විරිත් මෙන්ම කෙළි සෙල්ලම් පවා ඊට අනුව සකස්විය. එහෙත් අද කාර්මීකරණය හා යන්ත්‍ර සූත්‍ර නිසා කෘෂිකර්මාන්තයට පවා විශාල ශ්‍රම සාමූහිකත්වයක් අනවශ්‍යවී තිබේ. එවිට සාමූහිකත්වය මත ගොඩනැගී තිබූ බොහෝ සිරිත් විරිත් හා ක්‍රීඩා පවා වෙනස්වේ. අතීත සිංහල අවුරුදු උත්සවය හා වර්තමානයේ එම උත්සවයේ අංග ලක්ෂණ අතර පවතින වෙනස මගින්ද මෙය තේරුම් ගත හැක. මේ සියල්ලෙන් තහවුරු වන්නේ සමාජ සංවර්ධනයට අනුව එකම රටක වුවද සංස්කෘතිය වෙනස්වන බව හා වෙනස්ව ඇති බවය. ලොව සංස්කෘතික විවිධත්වයට බලපාන අනෙක් ප්‍රධාන හේතුව භූගෝලීය පරිසරයේ ඇති වෙනස්කම් වේ. එහිදී විවිධ කලාපවල පැවති ස්වභාවික සම්පත්වල වෙනස්කම් මෙන්ම ඒ ඒ කලාපවල පවතින දේශගුණික වෙනස්කම්ද මෙම වෙනසට හේතු විය. ලොව සංස්කෘතියේ එක් ලක්ෂණයක් වන ඇඳුම් පැළඳුම්වල අතීතයේ තිබූ වෙනසට ඉහත සාධක දෙකම බලපා තිබේ. ශීත ප්‍රදේශවල ජීවත්වූ මිනිසාට ශීතලෙන් ආරක්ෂාවීම සඳහා මුළු සිරුරම වැසෙනසේ ඇඳුම් ඇඳීම අවශ්‍ය වූ අතර ඝර්ම කලාපීය රටවල ජනයාට එලෙස අවශ්‍ය නොවීය. මේ අනුව ශීත රටවල ජනයා මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් කීපයක් අඳින විට ඝර්ම කලාපීය රටවල ජනයා කෙටි රෙදි කඩකින් සිය විලි වසා ගත්හ. එහිදී ඇඳුම් සඳහා පාවිච්චි කළ අමුද්‍රව්‍යද ඒ ඒ ප්‍රදේශවලින් සොයාගත හැකි දේවලට අනුව වෙනස් විය. ආහාර ගැනීමේ සංස්කෘතියේ ඇති වෙනස්කම් මගින්ද මෙය තේරුම් ගත හැක. ශීත රටවල ජනතාවට නිතර ජලය
පාවිච්චි කිරීම අපහසු කාර්යයක් විය. ඒ අනුව එම රටවල ජනයා ආහාර ගැනීමේදී අත සේදීමේ වුවමනාවෙන් මිදීම සඳහා ඒ සඳහා උපකරණයක් පාවිච්චි කළහ. බටහිරදී එය හැන්ද හා ගෑරුප්පුව වූ අතර පෙරදිගදී එය උණ පතුරු දෙකක් විය. බටහිර ජනයා මුලදී හැන්ද හා ගෑරුප්පුව තනාගත්තේ ලීවලිනි. පසුව ලෝහ සොයා ගැනීමත් සමග ලෝහවලින් තනා ගන්නා ලදී. පෙරදිග උණ ගස බහුලව තිබූ නිසා ඔවුන් විසින් උණ පතුරුම යොදා ගන්නා ලදී. එහෙත් ඝර්ම කලාපීය රටවල ආහාර ගැනීම කළේ අතිනි. ඒ අත සේදීම ගැටලුවක් නොවූ නිසාය. නිවාස හා ඉදිකිරීම්වලදීද වෙනත් බොහෝ සිරිත් විරිත්වලදීද භූගෝලීය පරිසරය විසින් කළ වෙනස දැකිය හැක. එහෙත් වර්තමානයේ වෙළඳපොළ පුළුල් වීම, නිෂ්පාදනය සර්ව භෞමික වීම හා ලාභය වෙනුවෙන් භාණ්ඩ නිපදවා වෙළඳ ප්‍රචාරණය සිදුකිරීම මෙන්ම විවිධ සංස්කෘතික ලක්ෂණ හුවමාරු වීම නිසාද, අවිද්‍යාත්මක අනුකරණයන් නිසාද මේ බොහෝ ලක්ෂණ ලොව පුරා හුවමාරු වී තිබේ.

යුරෝපයේ ජනයා සීතලෙන් ආරක්ෂා වීම සඳහා සකස් කරගත් ටයි, කෝට් සහිත ඇඳුම් කට්ටලය ලංකාව වැනි රටවලදී ද සමහරු දහදිය ගලන මහා දවාලේත් ඇඳගෙන යාම වැනි නොගැලපීම් තිබුණද පොදුවේ ගත්විට ලොව සංස්කෘතික විවිධත්වය සඳහා භූගෝලීය වෙනස්කම් බලපා
ඇති බව පැහැදිලිය.

සංස්කෘතිය මිනිසා විසින් ගොඩනැගූ දෙයක් නිසාම එහි පදනම වන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියයි. එනම් මිනිස් ශ්‍රමයයි. සංස්කෘතිය තුළ පවතින ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික සෑම දෙයක්ම හා සෑම ලක්ෂණයක්ම නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳී පවතින හා ඒ මගින් නිර්මාණය වූ ඒවාය. ලොව දැවැන්ත නිර්මාණ, ඉදිකිරීම්, යන්ත්‍ර සූත්‍ර ආදී සියලු භෞතික හා ද්‍රව්‍යමය නිර්මාණ නිෂ්පාදනය වෙනුවෙන් හෝ නිෂ්පාදනයේ ප්‍රතිඵල ලෙස නිර්මාණය වූ ඒවාය. සංස්කෘතියට අයත් ද්‍රව්‍යමය දේවල් පමණක් නොව, එහි අධ්‍යාත්මික පාර්ශවය නියෝජනය කරන සිරිත් විරිත්, ආචාරධර්ම හා කෙළි සෙල්ලම් පවා නිෂ්පාදන ක්‍රියාවලිය හා බැඳී පවතී. එනිසා සිය නොදන්නාකම හා අවිද්‍යාව නිසා ගොඩනගාගත් ආගම් පවා ඒ මොහොතේ පැවති නිෂ්පාදන රටාව හා බැඳී තිබේ.

කෘෂිකර්මාන්තය සිය ප්‍රධාන නිෂ්පාදන ක්‍රමය බවට පත්වූ හා ඒ සඳහා ගවයින් යොදාගත් රටවල එම තත්වයට අනුව බිහිවූ ආගම්ද අවිහිංසාවාදී ඒවා විය. ඉන්දියාවේ ගවයා වන්දනාවටද පාත්‍රවිය. ලංකාවේද අතීතයේ ගවමස් කෑම නොකරන ලදී. එය පිළිකුල් කටයුතු දෙයක් විය. එහෙත් කෘෂිකර්මාන්තයට ඉඩක් නොවූ, සත්ව පාලනය ප්‍රධාන යැපීම් මාධ්‍යය වූ රටවල බිහිවූ හෝ පැතිරගිය ආගම් අවිහිංසාවාදී වූයේ නැත. ප්‍රධාන ආහාරය මස් වූ විට සතුන් ඇතිකිරීමත් සතුන් මැරීමත් අවශ්‍ය විය. එම ප්‍රදේශවල සංස්කෘතික ලක්ෂණ බිහිවූයේ ඊට අනුරූපවය. ලංකාවේ ප්‍රධාන සංස්කෘතික උත්සවය වූ අලුත් අවුරුදු උත්සවය ආසියාතික සමාජය තුළ හා මෑත කාලය තෙක් පැවති ලක්ෂණවලින් පෙන්නුම් කරන්නේද එය ලංකාවේ පැවති කෘෂිකාර්මික රටාවත් සමග බැඳී තිබූ බවය. එම උත්සවය හා බැඳුණු සියලු කෑම බීම සහල් පිටි, පැණි හා තෙල්වලින් සැකසූ ඒවා විය. සිරිත් විරිත් බොහොමයක් කෘෂිකර්මාන්තය හා බැඳී තිබුණි. කෙළි සෙල්ලම්ද එසේය. බොහෝ විට ක්‍රීඩා පිටිය වූයේ කමතය. ඒ වනවිට ගොයම් කපා පාගා අස්වනු ගෙට ගෙන අවසන්ය.
ක්‍රීඩා සියල්ලම සාමූහික ක්‍රීඩාය. ඒ, එවකට පැවති නිෂ්පාදන ක්‍රමය සාමූහිකත්වය මත පදනම් වූ නිසාය. වර්තමානය වනවිට මෙම ලක්ෂණ බොහොමයක් වෙනස්වී ඇත්තේ, ධනේශ්වර නිෂ්පාදන රටාවන්ට අනුවය. ලංකාවේ විවාහ ක්‍රම තුළ අතීතයේ පැවති එකගෙයි කෑම ලෙස හැඳින්වූ, පිරිමි සහෝදරයින් දෙදෙනෙක් සිටින නිවසකට එක් කාන්තාවක් දෙදෙනාගේම බිරිඳ ලෙස ගෙන ඒමේ ක්‍රමය පවා නිෂ්පාදන අවශ්‍යතා හෙවත් ඉඩම් බෙදීයාම වැළැක්වීම වෙනුවෙන් බිහිවූ ක්‍රමයක් විය. මේ සියලු උදාහරණ හා සාධකවලින් තහවුරු වන කරුණු වන්නේ, සංස්කෘතිය විවිධත්වයක පවතින බවත්, එම විවිධත්වයට ඒ ඒ යුගයේ පැවති නිෂ්පාදන උපකරණවල සංවර්ධනයේ මට්ටම හෙවත් සමාජ ක්‍රමයේ වෙනස හා භූගෝලීය පරිසරයේ වෙනස්කම් බලපාන බවත් සංස්කෘතිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ, මිනිස් ශ්‍රමය මත ගොඩනැගෙන බවත්ය. එසේම සංස්කෘතිය එක තැන නොරඳන ඓතිහාසිකව වෙනස්වන ප්‍රපංචයක්ද වේ.

‘පිරිසිදු සංස්කෘතියේ’ මිත්‍යාව

ඈත කඳු මුදුනකින් ආරම්භවන ගඟක් ගලා යන්නේ, සරල රේඛීය ගමන් මඟක නොවේ. එය කුඩා දිය සීරාවක් ලෙස ආරම්භවී විවිධ හැඩ ගනිමින් අතරමඟ තැනින් තැන හමුවන දිය පහරවල්ද එක්කර ගනිමින් මහා නදියක් බවට පත්ව ගලා යයි. අතරමඟ හමුවන දිය දහරාවන්ගෙන් පෝෂණය වෙමින් එම ජලයද එකතුකර ගනිමින් නිතිපතා අලුත්වෙමින් ගලා ගියද ඒ තුළ ආරම්භක දිය දහරේ ජලයද තිබේ. සංස්කෘතියද එවැනි දෙයකි. ඊට ඇත්තේද එවන් ගමනකි. ගලායන ගඟකට අලුත් පිරිසිදු ජලය මෙන්ම රොඩු බොඩු හා අපද්‍රව්‍යද එක් වන්නාක් මෙන් සංස්කෘතිය පරිණාමය වෙමින් යන ගමනේදී ඊට නැවුම් හොඳ දේ මෙන්ම නරක දේවල්ද එකතුවේ. සංස්කෘතිය යනු එකතැන පවතින ඝනීභූත දෙයක් නොව නිතිපතා වෙනස්වන ගතික ප්‍රපංචයකි. එහිදී එය නව දේ එකතුකර ගන්නා අතරම අතීතයෙන් උරුමවූ පැරණි දේද ඒ තුළ රඳවා ගනී. එසේම අලුත් තත්වයට නොගැලපෙන පැරණි සමහර දේ අභාවයට යවමින්
වර්ධනය වේ. ඒ අනුව සංස්කෘතිය යනු අතීත ශ්‍රී විභූතිය පමණක් නොවන්නා සේම අතීතයෙන් තොර වර්තමානයද නොවේ. එය අතීතය තමා තුළම ගැබ්කරගත් වර්තමානය වේ. ලොව අන් සෑම ප්‍රපංචයක් මෙන්ම සංස්කෘතියද වර්ධනය වන්නේ නව දේ එකතුකර ගනිමින්, පැරණී දේ ඒ තුළ රඳවාගනිමින් හා නොගැලපෙන සමහර දේ අභාවයටද යවමිනි. එබැවින් සංස්කෘතිය යනු අලුත්ම දෙයක් නොවන්නා සේම පැරණි දෙයද නොවේ. ‘අති පිරිසිදු සංස්කෘතියක්’ පිළිබඳව හෝ අතීත සංස්කෘතියක ශ්‍රී විභූතිය ගැන හඬා වැලපෙන්නේ, මෙම සත්‍යය වටහා නොගත් අයය. මෙය නිවැරදිව වටහාගත යුත්තේ ඒ නිසාය. සංස්කෘතියේ මෙම වර්ධනයේ ස්වභාවය එක් භෞතික උදාහරණයකින් තේරුම් ගත හැක. වර්තමාන සමාජයේ බහුලව පාවිච්චිකරන මෙවලමක්වූ මෝටර් රථය ගැන හිතන්න. වර්තමානයේ විවිධ අංගෝපාංගවලින් සමන්විත අති නවීන, අති සුඛෝපභෝගී වේගවත් මෝටර් රථයේ ආරම්භය අපට හමුවන්නේ කවදාද? එය ක්‍රි:පූ: තුන් දාහේ පමණ රෝදය සොයාගැනීම දක්වා ඈතට දිවේ. සැබැවින්ම මෝටර් රථයේ ආරම්භය පටන් ගන්නේ, රෝදය සොයාගැනීමත් සමගය. රෝදය, කරත්තය බවට පරිණාමය විය. එය පසුව මගීන් ගෙනයන වර්ගයේ කරත්තයක් බවට පත්විය. ආරම්භයේ රෝද දෙකේ කරත්තයක් වූ එය පසුව රෝද හතරේ කරත්තයක් විය. එය මුලදී අදින ලද්දේ, මිනිස් බලයෙන් හෝ ඇතුන්, අශ්වයින්, ගොනුන් වැනි සතුන්ගේ බලයෙනි. යුරෝපයේ අශ්ව කෝච්චිය නිර්මාණය වූයේත් ලංකාව වැනි රටවල ගොන් කරත්තය හා තිරික්කලය නිර්මාණය වූයේත් ඒ අනුවය. පසුව මෙයට සතුන්ගේ හෝ මිනිස් බලය වෙනුවට වාෂ්ප බලය එක් විය. ඉන්පසු ඩීසල් හා පෙට්‍රල් ඉංජින් සහිත නවීන මෝටර් රථ දක්වා මෙය දියුණු විය. රෝදය කරත්තය බවට පත්වී පසුව එය ඉතාම නවීන මෝටර් රථය බවට විවිධ නිර්මාණ එකතුවෙමින් වර්ධනය වෙද්දී රෝදය අභාවයට ගියේ නැත. නවීන මොටර් රථය තුළද රෝදය අඩංගුවී පවතී. රෝදය තුළ සිදුව ඇති එකම වෙනස නම් ආරම්භයේ තිබූ ලී රෝදය වෙනුවට දැන් ලෝහ හා රබර් එක්වූ රෝදයක් බවට එය වර්ධනය වීමය. ස්කෘතියද වර්ධනය වී ඇත්තේ එසේය.

තම රටට හෝ තම වර්ගයාට ආවේණික වූ සුපිරිසිදු සංස්කෘතියක් ගැන කතාකරන මිනිසුන් තවමත් බොහෝ රටවල දැකිය හැකිය. මෙය ගෝත්‍රවාදී, වර්ගවාදී හා ජාතිවාදී මනෝභාවයන් විසින් පවත්වාගෙන යන්නකි. එය සමාජ සංවර්ධනයේ දෘෂ්ටියට අනුව ප්‍රතිගාමි මනෝභාවයකි. වර්තමානය වන විට ලොව කිසිම රටක හෝ ජන කණ්ඩායමක සුපිරිසිදු සංස්කෘතියක් තිබිය නොහැක. ලොව විවිධ රටවලට, එක් එක් ජන කණ්ඩායම්වලට ආවේණික වූ හෝ අනන්‍යවූ සංස්කෘතික ලක්ෂණ තිබෙන බව සත්‍යය. එහෙත් තමන්ගේම වූ පිරිසිදු සංස්කෘතීන් තිබිය නොහැක. ලොව සෑම තැනකම සංස්කෘතීන් වර්ධනය වන්නේ, විවිධ සංස්කෘතීන්ගෙන් ආභාසය
ලබමින්, විවිධ සංස්කෘතීන්ගෙන් විවිධ ලක්ෂණ උකහා ගනිමිනි. ලංකාව උදාහරණයක් ලෙස ගත්විට ලංකාවේ පවතින්නේ, ඊට අනන්‍යවූ සංස්කෘතියකි. එහෙත් එය අති පිරිසිදු සිංහල සංස්කෘතියක් හෝ වෙනත් ජාතියක සංස්කෘතියක් නොවේ. එය විවිධ සංස්කෘතික ලක්ෂණ මිශ්‍රවීමෙන් තැනුණු එකකි. දැනට ලංකාවේ පවතින සංස්කෘතික ලක්ෂණ බොහොමයක ආරම්භය අපට දැකගත හැක්කේ, ක්‍රි:පූ: 6වන සියවසේ ලංකාවට පැමිණී ඉන්දු-යුරෝපීයන් විසින් නිර්මාණය කළ ඒවා ලෙසය. ලංකාවට බුදුදහම පැමිණියේද ඉන්දියාවෙනි. ඉන්පසු ඊට අනුරූපී ඉදිකිරීම්, කලා ශිල්ප ආදිය සහිත සංස්කෘතික ලක්ෂණ ඇතිවිය. පසු කලෙක දකුණු ඉන්දියානු ආක්‍රමණ මගිනුත් ලංකාවේ රජවරු ඉන්දීය රාජ කුමාරියන් සරණපාවා ගැනීම නිසාත් හින්දු ආගම හා එහි සංස්කෘතික ලක්ෂණ ලංකාවේ සංස්කෘතියට එක්විය. බුදු දහම අදේවවාදී ආගමක් වුවද පන්සල් තුළම දේවාල බිහිවී හින්දු දෙවිවරු ඒවා තුළ පදිංචි වූහ. මෙලෙසම මුස්ලිම් ජනතාව සමග ඉස්ලාම් ආගම හා ඒහා බැඳුණු සංස්කෘතික ලක්ෂණද රටේ පොදු සංස්කෘතියට එක්විය. පසු කලෙක සිදුවූ යුරෝපීය ආක්‍රමණ හා ලංකාව යුරෝපීයයන්ට යටත්ව ගෙවුණු කාලය තුළ කතෝලික හා ක්‍රිස්තියානි ආගම හා බටහිර සංස්කෘතික ලක්ෂණ රට තුළ තහවුරු විය. ඉන් පසුවද විවිධ හේතුමත විවිධ සංස්කෘතික ලක්ෂණ ලංකාවේ සංස්කෘතිය තුළට ඇතුල්ව තිබෙන අතර වර්තමාන ලාංකේය සංස්කෘතිය යනු කවුරුන් කැමති වුවත් අකමැති වුවත් මේ සියලු ලක්ෂණ එකතුවීමෙන් සැදුම්ලත් එකක් වේ. සත්‍යය එයයි. ඒ අනුව සුපිරිසිදු සංස්කෘතීන් සෙවීම විහිළුවක් වේ.
අනෙක් අතට සංස්කෘතියක වටිනාකම වැඩිවන්නේද එය හුදකලාව වර්ධනය නොවී පවතින විට නොව එය විවිධ සංස්කෘතීන් හා මිශ්‍ර වෙමින් ඒවායින් පෝෂණය වෙමින් වර්ධනය වන විටය.
රටක සංවර්ධනය යනු සංස්කෘතියේ සංවර්ධනයද වේ. එහෙත් ජාතිවාදී, ආගම්වාදී හා ගෝත්‍රවාදී මනෝභාවයන් සහිත මිනිස්සු, තම සංස්කෘතිය ඉතාම උතුම් යයිද එය අති පිරිසිදු යයිද එය මිශ්‍ර නොකළ යුතු යයිද එයට අන් අය යටත්විය යුතු යයිද සිතා උමතුවෙන් මෙන් කරන හැසිරීම් මගින් පොදුවේ මානව සමාජයටත් සංස්කෘතියටත් ඉමහත් හානි කරති. දෙවන ලෝක යුද්ධයේදී අධිරාජ්‍යවාදීන් අතර ලෝකය බෙදා ගැනීමේ අරමුණට අමතරව ජර්මන් ජාතිවාදයද තිබිණි. ආර්යයන් ලොවම පාලනය කළ යුතු බවත් ආර්ය සංස්කෘතිය ලොව පාලනය කරන සංස්කෘතිය විය යුතු බවත් හිට්ලර්ගේ ඉගැන්වීම විය. ලොව සියලුම ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදී යුද්ධ හා ගැටුම් තුළ ඉහත සංකල්පය දැකිය හැක. යුගෝස්ලාවියාව බිඳී ගොස් බොස්නියානු යුද්ධය ඇතිවූ විට ඒ තුළද මෙම අමානුෂිකත්වය දැකිය හැකි විය. ජාතිවාදී සර්බියානුවන් බොස්නියානු මුස්ලිම් කාන්තාවන් සිය ගණන් සමුහ දූෂණයන්ට ලක්කොට තිබූ අතර එහි අරමුණ වී තිබුණේ සර්බියානු දරුවන් බිහිකිරීමය. අප්‍රිකාවේ ගෝත්‍ර අතර සිදුවන මරාගැනීම්ද මීට උදාහරණ වේ. අන් අයගේ සංස්කෘතීන් පහත් කොට සැලකීම, වෙනත් සංස්කෘතීන් හා මිශ්‍ර වීමේ අකමැත්ත හා තම සංස්කෘතිය පමණක් උසස් යයි සිතා එය අන් අය මත පැටවීමට ක්‍රියා කිරීම ඉතාම හානිකර උමතුවකි. ලොව කිසිම තැනක සුපිරිසිදු, මිශ්‍ර නොවූ, සංස්කෘතියක් නොමැති බවත් සංස්කෘතිය
යනු කාලය තුළ මෙන්ම විවිධ සංස්කෘතීන්ගෙන් ආභාසය ලබමින් සංවර්ධනය වන හා එසේ විය යුතු එකක් බවත් වටහාගත යුත්තේ ඒ නිසාය. විශේෂයෙන් වත්මන් ධනවාදී යුගයේදී පිරිසිදු සංස්කෘතීන් ගැන කථාකිරීම හාස්‍යයටම කරුණකි. ධනේශ්වර වෙළඳ භාණ්ඩ, තොරතුරු තාක්ෂණය, සියලු සංස්කෘතික සීමා අභිබවා ගොස් තිබියදී හා තවදුරටත් පැතිරෙද්දී පිරිසිදු සංස්කෘතීන්ට තවදුරටත් ඉඩක් නැත. මාක්ස් හා එංගල්ස් සිය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය තුළ මෙම අදහස මෙසේ සඳහන්කර තිබේ.

“සියලු නිෂ්පාදන උපකරණවල සීඝ්‍ර දියුණුව මගින්ද, ඉමහත් ලෙස පහසුවන ප්‍රවාහන හා පණීවුඩ මාර්ග මගින්ද, ධනපති පංතිය අති ම්ලේච්ඡ ජාතීන් ඇතුළු සියලු ජාතීන් සභ්‍යත්වය වෙතට ඇද ගනී. ධනපති භාණ්ඩවල ලාභ මිල මහා කාලතුවක්කුවලට සමානය. මෙය පාවිච්චි කරමින් ධනපති පංතිය සියලු චීන මහා ප්‍රාකාර බිඳ දමයි. ම්ලේච්ඡයින් තුළ විදේශිකයන් කෙරෙහි ඇතිවන මුරණ්ඩු ද්වේශ සහගත වෛරය මෙල්ල කරයි. වඳවී යාමේ භීතිය ඉදිරියේ ඉන් මිදෙනු පිණීස ධනවාදී නිෂ්පාදන ක්‍රමය පිළිගන්නා ලෙස එය ලොව සියලු ජාතීන්ට බලකර සිටි.”


කෙසේ වෙතත් මින් අදහස් වන්නේ, සංස්කෘතික ආක්‍රමණ පිළිගත යුතු බව හෝ සංස්කෘතික පිරිහීම් දරා සිටිය යුතු බව නොවේ. එහිදී සංස්කෘතික ආක්‍රමණ හා පරිහානි යනු මොනවාදැයි නිවැරදිව වටහා ගත යුතුය.

සංස්කෘතික ආක්‍රමණ

ලොව කිසිදු තැනක සුපිරිසිදු සංස්කෘතියක් තිබිය නොහැකි බවත් වෙළඳාම, සංචාරය, විවාහ වැනි මානව සබඳතා මගින් විවිධ සංස්කෘතික ලක්ෂණ එකිනෙකා හා හුවමාරු වන බවත් අපි සාකච්ඡා කළෙමු. එය සංස්කෘතියේ විවිධත්වයට, එහි පැවැත්මට, එහි වර්ධනයට මෙන්ම එහි පිරිපුන් බවටද අවශ්‍යය. එහෙත් ඒ අතර එක් සංස්කෘතියක් බලහත්කාරයෙන් අන් අය මත පටවන සංස්කෘතික ආක්‍රමණයන්ද දැකිය හැක. විවිධ සංස්කෘතීන් ස්වභාවික අවශ්‍යතා මත සංයෝගවීම, මිශ්‍රවීම පිළිගතහැකි වුවත් බලහත්කාරී ආක්‍රමණ පිළිගැනීමට හෝ අනුමත කිරීමට නොහැක.

මානව සමාජයේ ඉතිහාසය තුළ දේපළ මත පංති සමාජය බිහිවූදා සිට එය පිරී පවතින්නේ, ආක්‍රමණවලිනි. දේපළ හා භූමිය අත්පත්කරගැනීම සඳහා සිදුකළ මෙම බොහෝ ආක්‍රමණවල මතුපිටින් ආගමික හා සංස්කෘතික වුවමනාවන් සම්බන්ධකර තිබීම නිතර දැකිය හැකිවිය. එමගින් ආක්‍රමණයේ සැබෑ වුවමනාව හා අරමුණ සඟවා තබන ලදී. අනෙක් අතට රටවල් හා ජනතාව යටත් කොට දිගුකලක් පවත්වාගෙන යාම සඳහා යටත් කරගන්නා ලද එම රට සංස්කෘතික වශයෙන්ද යටත්කර ගැනීම වඩාත් ඵලදායක විය. ලොව සෑම ආක්‍රමණයක් සමගම සංස්කෘතික
ආක්‍රමණයක්ද සිදුව තිබෙන්නේ ඒ අනුවය. අතීතයේ රෝම අධිරාජ්‍යය පැවති සමයේ රෝමය විසින් යටත්කරගත් රටවල රෝම සංස්කෘතිය තහවුරු කිරීමට රෝමානුවෝ පියවර ගත්හ. එම යටත් රටවල රෝම ඇදහිලි, රෝම සිරිත් විරිත්, ආදිය බලහත්කාරයෙන් තහවුරු කරමින් රෝමයට බැඳුණු, ඊට ගරුකරන පරාධීන ජනතාවක් බිහිකිරීමට හිතාමතාම කටයුතු කරන ලදී. ඉන්පසු ශුද්ධවූ රෝම අධිරාජ්‍යය පැවති කාලයේ එය පවත්වාගෙන යනු ලැබුවේ කතෝලික ආගම මගින් පල්ලිය විසිනි. ස්පාඤ්ඤය විසින් දකුණු ඇමරිකානු රටවල් ආක්‍රමණය කළ අවස්ථාවේදීද මෙය දැකිය හැකි විය. එහිදී ඔවුහු සිය ස්පාඤ්ඤ භාෂාවත් සිය ආගමත් ඇතුළු ස්පාඤ්ඤ සංස්කෘතිය වර්තමානයේ ලතින් ඇමරිකාව ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශවල බලහත්කාරය මගින් තහවුරු කළහ. වර්තමානයේ මෙම කලාපය තුළ ජීවත්වන ජනතාව එකම භාෂාවක් කතාකරන එකම සංස්කෘතියක් සහිත ජනතාවක් වීම එක් අර්ථයකින් වාසිදායක වුවත් එය සිදුකළ බලහත්කාරය අමතක කළ නොහැක.
අතීතයේ මෝගල් අධිරාජ්‍යය විසින් ඉන්දියාවේ ප්‍රදේශ රැසක් යටත් කළ විටද මෙම සංස්කෘතික ආක්‍රමණය සිදුවිය. ටජ්මහල් වැනි අගනා සංස්කෘතික සිහිවටන මෙන්ම ආගමික ගැටුම් සඳහා වූ බීජද එහි දායාදයන් විය. අතීතයේ දකුණු ඉන්දියානු රාජ්‍යයන් විසින් මෙන්ම පසුව පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුරෝපීයන් විසින් ලංකාව ආක්‍රමණය කළ විට හා යටත් කරගත් විටද මෙම සංස්කෘතික බලහත්කාරය හෙවත් ආක්‍රමණ සිදුවිය. ඒවා විසින් ඉතිහාසයේ අචේතනික ක්‍රියා ලෙස සිදුවුණු සමහර සාධනීය ලක්ෂණ ඇතුවාක් මෙන්ම බරපතළ ගැටලුද බිහිවී තිබේ. ආගමික වෙනස්කම්, ජාතිකත්ව වෙනස්කම් මගින් ජනතාව බෙදා පාලනය කිරීමට අවශ්‍ය සරු පස නිර්මාණය කිරීම මීට උදාහරණ වේ. කෙසේ වෙතත් ලෝකය පුරාම පංති සමාජය ආරම්භවූ දා සිට සංස්කෘතික ආක්‍රමණ සිදුව ඇති බවත් සමාජය මෙන්ම ලොව සංස්කෘතියද වර්ධනය වී ඇත්තේ ආක්‍රමණවල බලපෑමද සහිතව බවත් ඉතා පැහැදිලිය. ලොව සංස්කෘතික ආක්‍රමණ සිදුවන්නේ ඍජු ආක්‍රමණ ලෙස පමණක්ම නොවේ. සියුම් ලෙස හා වක්‍රලෙස සිදුකරන සංස්කෘතික ආක්‍රමණද තිබේ. මේවා එක්වර හඳුනාගැනීමද අපහසුය. ස්වභාවිකව සිදුවන සංස්කෘතික ලක්ෂණ හුවමාරුවීම හා මෙම සියුම් සංස්කෘතික ආක්‍රමණ අතර ඇති වෙනස හඳුනාගැනීමට අපහසු තරම් ඒවා සැඟව ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම යටත්විජිත යුගය අවසන්වී නව යටත්විජිත යුගය ආරම්භවීමෙන් පසු කාලයේ හා වර්තමාන ගෝලීයකරණ රටාව තුළ මෙම සංස්කෘතික ආක්‍රමණ
සැඟව ක්‍රියාත්මක වේ. ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ අධිරාජ්‍යවාදී බලවේග විසින් ඔවුන්ගේ අධිරාජ්‍යවාදී වුවමනා වෙනුවෙනි. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරන ආකාරය දෙස බැලූවිට මෙය හඳුනාගත හැකිය. එක්සත් ජනපදය ලොව සුපිරිම රාජ්‍යය බවත්
එහි පවතින සමාජය ලොව දියුණුම සමාජය බවත් එය ලොව ජනතාවට උදව්කරන රට බවත් යුක්තිය වෙනුවන් පෙනීසිටින රට බවත් පරිධියේ රටවල ජනතාවගේ සිත්තුළ තහවුරු කිරීම සඳහා එක්සත් ජනපදය සියුම්ව කටයුතු කරමින් සිටී. ලොව මත තම ආර්ථික හා දේශපාලන ආධිපත්‍යය තහවුරු කොට පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදයට එය අවශ්‍ය වේ. එක්සත් ජනපදයට ගරුකරන හා එයට පරාධීන මනසක් ඇති මිනිසුන් බිහිකිරීම එහි අරමුණ වේ. මේ සඳහා එක්සත් ජනපදය බහුලව යොදාගන්නේ සංස්කෘතික ආක්‍රමණයයි. ඇමරිකානු ලාංඡනය සහිතව එන ඊනියා ආධාර මගින්, හොලිවුඞ් සිනමාවේ චිත්‍රපට මගින්, ඇමරිකානු ලාංඡනය සහිත ඇඳුම් පැලඳුම් මගින් හා තවත් විවිධ උපක්‍රම මගින් ඔවුහු මෙය ඉටුකරගනිති. ඇමරිකා එක්සත් ජනපදය ගොඩනගන ලද්දේ යුද්ධ විසිනි. එය පවත්වාගෙන යන්නේ කොල්ලකෑම, යුද්ධ හා කාමය මගිනි. මෙම සංස්කෘතිය උත්කර්ෂයට නැංවීම හා එයට ගරුකරන මානසිකත්වයක් ජනතාව තුළ තහවුරු කිරීම සඳහා එක්සත් ජනපදය යොදා ගන්නේ හොලිවුඞ් සිනමාවය. කව්බෝයි චිත්‍රපට හා යුදමය චිත්‍රපට මීට හොඳම උදාහරණයයි. වියට්නාම් යුද්ධයේදී පුංචි වියට්නාමයට පැරදුණු එක්සත් ජනපදය සිය ලැජ්ජාව මකා ගත්තේත් ලොව තුළ තම ප්‍රබලත්වයේ ප්‍රතිරූපය රැක ගැනීමට උත්සාහ කළේත් සෙලුලොයිඞ් පටය තුළින් ‘රැම්බෝ’ නම් බොරු වීරයා නිර්මාණය කරමිනි. ඒ සංස්කෘතික බලපෑමේසියුම් ස්වරූපයයි.
සියුම් සංස්කෘතික ආක්‍රමණ ඇඳුම් පැලඳුම් විලාසිතා මෙන්ම ආහාර පාන විලාසිතා මගින්ද රටවල් තුළට, ජනතාවගේ මනස් තුළට කඩාවදී. ඩෙනිම්, කොකා කෝලා හා මැක්ඩොනල්ඞ් මීට හොඳම උදාහරණ වේ. මේ මගින් එක් අතකින් දැවැන්ත බහුජාතික හා පාරජාතික සමාගම්වල භාණ්ඩ මිලදී ගන්නා එම භාණ්ඩවලට වහල්වූ පිරිසක් නිර්මාණය කරන අතරම අනෙක් අතින් ඒවා මගින් උප සංස්කෘතීන්ද බිහිකරමින් අධිරාජ්‍යවාදී රටවලට මනසින් බැඳුණු ජනතාවක් නිර්මාණය කරගනී. ඒ සඳහා වර්තමානයේ ඉතාම දියුණු තත්වයට පත්ව තිබෙන වෙළඳ ප්‍රචාරණ කලාව හා ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගනී. මෙය කොතරම් සියුම්ව හා ප්‍රබලව සිදුකරන්නේද යත් එයට ගොදුරුවන්නා ඒබව දන්නේද නැත. උඩ බලාගෙන බීගෙන බීගෙන යා හැකි තැඹිලි ගෙඩිය බටයකින් බොන අතරම කාබන්ඩයොක්සයිඞ් වායුව පුරවා ඇති කොකා කෝලා බෝතලය උඩබලාගෙන කටේ තියාගෙන බොන්නේත් අලුතින්ම මිලදී ගත් ඩෙනිම් කලිසම හමයනතුරු අතුල්ලා අඳින්නේත් මෙම උප සංස්කෘතියට අන්ධ ලෙස ගොදුරුවීම නිසාය. මෙයින් අදහස්වන්නේ ලොව ජනතාව සම්ප්‍රදායන්ට කොටුවී ලිං මැඩියන්සේ සිටිය යුතුය යන්න නොවේ. ජනතාව ලොව නිර්මාණය වන නව තාක්ෂණය පාවිච්චි කළ යුතුය. නව විලාසිතා අනුගමනය කළ යුතුය.
නව ආහාර පාන භුක්තිවිඳිය යුතුය. එහෙත් ඒ අතරම රටකට ජනතාවකට ගැලපෙන නොගැලපෙන දේ පිළිබඳව තෝරා බේරා ගැනීමට සමත්විය යුතුය. ලොව සතර දෙසින් එන නව දේවල්වලට විවෘතවිය යුතු අතරම ඒ හරහා ඒවාට සැඟව එන නරකදේ හඳුනාගෙන ඒවා බැහැර කිරීමටද සමත් විය යුතුය. මානව සමාජයේ සාමූහික පැවැත්මට හානි කරන අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ වුවමනා ඉටුකරන සංස්කෘතික ආක්‍රමණ ගැන අවබෝධයෙන් සිටිය යුත්තේ ඒ නිසාය.
නව යටත්විජිතවාදය හා ඊනියා ගෝලීකරණය තුළ අධිරාජ්‍යවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනීමේදී එනම් ලොව පරිධියේ රටවල් අවනත කරගෙන සූරාකෑමේදී සංස්කෘතික ආක්‍රමණය බලවත්ම අවිය බවට පත්ව තිබේ. රටක් හා ජනතාවක් අවනතකර තබා ගැනීමේදී එම ජනතාව අවි බලයෙන් අවනත කර ගන්නවාට වඩා සංස්කෘතිකමය ලෙස අවනත කර ගැනීම වඩා වාසිදායක හා ප්‍රතිඵලදායක බව අධිරාජ්‍යවාදීහු භාවිතයෙන්ම තේරුම් ගෙන සිටිති. ඒ අනුව තම යුදමය, දේශපාලන හා වෙළඳ වුවමනා වෙනුවෙන් සංස්කෘතික ලක්ෂණ උපයෝගී කර ගැනීමත් උප
සංස්කෘතීන් ඇති කිරීමත් සිදුකරති. නිදහස් මනසකින් සිතන මිනිසෙක්ට වඩා අධිරාජ්‍යවාදී මනසකින් සිතන එහෙත් ඒ බව නොදන්නා මිනිසෙක් නිර්මාණය කර ගැනීම අධිරාජ්‍යවාදීන්ට හැම අතින්ම වාසිදායකය. සියුම් සංස්කෘතික ආක්‍රමණයන් මගින් ඔවුන් ඉටු කරගන්නේ එයය. එය සමාජ සංවර්ධනයට හා සමාජ ප්‍රගතියට බාධා කරන්නකි. සංස්කෘතික ආක්‍රමණ පිළිබඳව වැටහීමකින් සිටිය යුත්තේත් එය පරාජය කිරීමට කටයුතු කළ යුත්තේත් ඒ නිසාය.
සංස්කෘතිය පිළිබඳ සංවාදයේදී නිතරම අසන්නට ලැබෙන තවත් කරුණක් වන්නේ, සංස්කෘතික පරිහානියයි. සංස්කෘතික පරිහානිය යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමද අත්‍යාවශ්‍ය වේ.

සංස්කෘතික පරිහාණිය

සංස්කෘතිය පිළිබඳව කරන කතාබහේදී වඩාත්ම විවාදාත්මක කරුණ වන්නේ, සංස්කෘතික පරිහාණිය යනු කුමක්ද යන කරුණය. සංස්කෘතික පරිහාණියක් පිළිබඳ නිතර නිතර කතාකරන බොහෝ දෙනා සංස්කෘතික පරිහාණිය වටහාගෙන සිටින්නේ, නිවැරදි ලෙස නොවේ. සමාජයේ
පවතින පොදු මතයට අනුව සංස්කෘතික පරිහාණිය යනු අතීතයේ පැවති, තමන් අගය කළ සමහර සිරිත් විරිත්, ආචාරධර්ම හා සම්ප්‍රදායන් වෙනස්ව තිබීමය. “දැන් කාලෙ ඉස්සර වගේ නොවෙයි.” “ඒ කාලෙ මෙහෙම නැහැ.” ආදී ලෙස ප්‍රකාශ වන්නේ මෙම අදහසය. පොදුවේ මිනිසුන් බොහෝ දෙනා ගතානුගතික වන අතර ඔවුන් තුළ අතීතකාමයද පවතී. මේ නිසා බොහෝ වැඩිහිටියෝ වර්තමානයට වඩා අතීතය අගය කිරීමට පෙළඹෙති. මෙකී මනෝභාවය තුළින් සංස්කෘතිය දෙස බලන විට අතීතයේ පැවති දේ වර්තමානයේ වෙනස්වී තිබීම සංස්කෘතික පරිහානියක් ලෙස සරලව අර්ථ ගැන්වේ. එය නිවැරදි නැත. සංස්කෘතික පරිහානියක් යනු කුමක්දැයි නිවැරදිව හඳුනාගත යුත්තේ ඒ නිසාය.


මානව සමාජය සංවර්ධනය වන්නේ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දෙසටය. එය ආපසු ගමන්කරන්නේ නැත. එලෙස ආපසු ගමන්කරවිය හැකිද නොවේ. මෙය සංස්කෘතිය සම්බන්ධයෙන්ද පොදුය. එහෙත් ලංකාවේ ඊනියා දේශප්‍රේමයක් හා ඊනියා ජාතික වාදයක් කරපින්නාගත් සමහර දේශපාලන හා සමාජ සංවිධාන ලාංකේය සමාජය ආපසු අතීතයට ගෙනයාමට කතාකරති. එහිදී ඔවුන් මේ සඳහා සාධකයක් ලෙස සංස්කෘතික පරිහාණිය යොදා ගනිති. අතීතයේ පැවතුණායයි කියන සංස්කෘතික ශ්‍රී විභූතිය වෙත යාමට ඒ අනුව ආරාධනා කරති. එහෙත් මෙය කළ හැක්කක් නොවේ. කළ යුත්තක්ද නොවේ. සමාජය ගමන්කළ යුත්තේ ආපස්සට නොව ඉදිරියටය. වර්තමානයේ ලොව පුරා මෙන්ම අපේ රට තුළද සංස්කෘතික පරිහානියක් පවතින බව සත්‍යයකි. එහෙත් ඊට විසඳුම වන්නේ අතීතය වර්ණනා කරමින් ඒ දෙසට යාම නොව අතීතයේ පැවති වර්තමානයට මෙන්ම අනාගතයටද ගැලපෙන වටිනාකම් උකහා ගනිමින්, රැක ගනිමින්, නව දේ එකතුකර ගනිමින්, නොගැලපෙන දේ බැහැර කරමින් අනාගතය වෙතට වර්ධනය වීමය. සමාජ සංවර්ධනයේ නියාමයන්ට අනුව පොදුවේ ගත්විට අලුත් දේ පැරණි දේට වඩා දියුණුය.
සමාජයට සංවර්ධනය විය හැක්කේ පැරණි, නොගැලපෙන, යල්පැන ගියදේ බැහැර කිරීමත් නව ගැලපෙන හා දියුණු දේ එකතුකර ගැනීමත් මගින් පමණි. මෙය සංස්කෘතියටද පොදුය. සංස්කෘතික පරිහානියක් යනු මානව සමාජයේ පැවැත්මට, එහි සංවර්ධනයට, මිනිසාගේ සාමූහික ක්‍රියාකාරිත්වයට සේවය කළ යුතු සංස්කෘතික ලක්ෂණ ඒ වෙනුවට ඒවාට බාධා කිරීමය. හානි සිදු කිරීමය. කිසියම් සමාජයක සමාජ ක්‍රමය අර්බුදයට ගොස් එය පරිහාණියට පත්වනවිට එම පරිහානිය සංස්කෘතිය තුළින්ද ප්‍රකාශයට පත්වේ. වර්තමානයේ ලොව බොහෝ රටවල මෙන්ම අපේ රටේද පවතින්නේ එයයි. අප සංස්කෘතික පරිහානියක් ලෙස හඳුනාගන්නා බොහෝ කරුණු අතර පරිහානිය පෙන්වන සැබෑ කරුණු වෙන්කොට හඳුනා ගතයුතුය. මානව සමාජයේ සමගියට, සාමූහිකත්වයට හානි කරමින් මිනිසුන් අතර ආගමික, ජාතිකත්ව, වාර්ගික, ගෝත්‍රික ගැටුම් අවුළුවාලන්නේනම් ඒ සඳහා මිනිසුන් පෙළඹෙන්නේ නම් එය සංස්කෘතික පරිහානිය පෙන්වන
ලක්ෂණයක් වේ. සමාජයක් ලෙස මිනිසුන් දරුවන්ට ආදරය, කරුණාව නොදක්වන්නේ නම්, ඔවුනට හොඳම දේ ලබා නොදෙන්නේ නම්, තම තමන්ගේ දරුවන් ගැන මිස පොදුවේ දරුවන් ගැන නොසිතන්නේ නම් එය සංස්කෘතික පරිහානිය පෙන්වන තවත් ලක්ෂණයක් වේ. එසේම සමාජයක් පොදුවේ වැඩිහිටියන් ගැන අවධානය යෙමු නොකරන්නේ නම්, ඔවුන් රැකබලා නොගන්නේ නම්, ඔවුන් කරදරයක් බවට පත්කොට ඔවුනගෙන් මිදීමට උත්සහ කරන්නේ නම්, එම තත්වය මැදට විවිධ වෙළෙන්දන් හා රක්ෂණ නියෝජිතයන් කඩාපැන පවුලේ මානව සබඳතා මුදල් හා ලාභ වෙනුවෙන් බිඳ දමන්නේ නම් එයද සංස්කෘතික පරිහානිය පෙන්වන තවත් ලක්ෂණයක් වේ. සමාජයක් තුළ කාන්තාවන්ගේ ගරුත්වය කෙළෙසා ඔවුන් වෙළඳ භාණ්ඩ බවට පත්කොට වෙළඳ අරමුණු වෙනුවෙන් යොදාගන්නේ නම්, ඔවුන් පීඩාවට හා හිරිහැරයට පත් කරන්නේ නම් ඒ මගින්ද ප්‍රකාශ වන්නේ සංස්කෘතික පරිහානියේ ලක්ෂණයන්ය. එකිනෙකාට උදව් කළ යුතු, සාමූහිකව කටයුතු කළ යුතු මිනිසා එකිනෙකා සමග තරඟ කරන සතුරු ආකල්ප සහිත තනි මිනිසෙක් ලෙස හැසිරීම විසින් ප්‍රකාශ වන්නේද සංස්කෘතික පරිහානියේ ලක්ෂණයන්ය. පොදුවේ ගත්විට මානව සමාජයේ පොදු සාමූහික පැවැත්මට, මානවවාදී ගුණයන්ට, සමාජයේ ඉදිරි ගමනට බාධාකරන හා හානි කරන ලක්ෂණ සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රකාශයට පත්වීම සංස්කෘතික පරිහානියක් ලෙස දැකිය හැක. සංස්කෘතික පරිහානියක හේතු පවතින්නේ තනි තනි මිනිසා තුළ නොවේ. එය තනි තනි මිනිසාගේ පිරිහීමක් ලෙස අර්ථ ගැන්වීම නිවැරදි නොවේ. මෙය පැහැදිලිවම සමාජ ක්‍රමයක අර්බුදය හා පිරිහීම සමග බැඳී පවතී. වර්තමානයේ සංස්කෘතික පිරිහීමේ සැබෑ හේතුව සොයන ඕනෑම කෙනෙක්ට ධනපති ක්‍රමයේ අර්බුදය මගහැර ගොස් එය සෙවිය නොහැක. වත්මන් සංස්කෘතික පරිහානිය යනු ඉතාම පැහැදිලිව ධනවාදයේ අර්බුදයේ හා පරිහානියේ ප්‍රකාශනය මිස අන් යමක් නොවේ. හුදු ලාභ ලැබීම එකම අරමුණ කරගත්, ඒ වෙනුවෙන් වෙළඳ භාණ්ඩ නිපදවන හා වෙළඳපොළ හසුරුවන ධනවාදය, සියල්ල ලාභ ලැබීමේ අරමුණට යටකොට තිබේ.

සමාජයක් තුළ ඇගයීමට ලක්ව තිබූ මානව සබඳතා සියල්ල විනාශ කොට ධනපති වෙළඳපොළට ගැළපෙන වෙළඳ භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹුන ආත්මාර්ථකාමී මිනිසෙකු නිර්මානය කරනු ලැබූයේ, ධනවාදය විසිනි. වත්මන් සංස්කෘතික අර්බුදයේ මූලය පවතින්නේ එහිය. මාක්ස් හා එංගල්ස් සිය ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේ මේ ස්වභාවය ගැන පැහැදිලි කළේ මෙසේය.

“ධනපති පංතිය ආධිපත්‍යය ලැබූ හැම තැනකම, සියලු රදළවාදී, පීතෘ මූලික, පරමාදර්ශී(චාන් ගැමි ජීවිත) සබඳකම් විනාශ කළේය. ‘ස්වභාවික ස්වාමිවරුන්ට’ මිනිසා බැඳ තිබුණු අනේක විධ රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පංතිය, මිනිසකු හා මිනිසකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස ‘මුදල් ගෙවීම හැර’ වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකළේය. ආගමික භක්තියද, ධීර-වීර උනන්දුවද, අවරසිකවාදී අනුරක්තතාවයද අරභයා වූ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම් නැමැති අයිස් වතුරේ ගිල්වා දමන ලදී. ”


“මෙතෙක් ගරුත්වයට භාජනය වූ, ගෞරව පූර්වක විස්මයකින් යුතුව සැලකූ හැම වෘත්තියකම තිබූ ප්‍රභා මණ්ඩලය ධනපති පංතිය විසින් ඉවත් කෙරිණි. එය වෛද්‍යවරයා, නීතිවේදියා, පූජකයා, කවියා, විද්‍යා කටයුතුවල නිරතවන්නා ආදී හැම කෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයන්
බවට පත් කළේය.”

“ධනපති පංතිය පවුලේ සිත් ගන්නා සුළු- අනුරක්තතාවයේ ආකල්ප බිඳ දමා එය හුදු මුදල් පිලිබඳ ආකල්පයක් දක්වා පහත හෙළීය.”

ධනවාදය වෙළඳාම වෙනුවන්, ලාභ ලැබීම වෙනුවෙන් මානව සබඳතා බිඳ දැමුවේ කෙසේද යන්න ඉහත උපුටා ගැනීම්වලින් හොඳින් පැහැදිලි වේ. ධනවාදය කල් යත් යත්ම, සමාජ ක්‍රමයක් ලෙස එය අර්බුදයෙන් අර්බුදයට පත් වත්ම එහි හැසිරීම වඩාත් නග්න හා වඩාත් ක්‍රෑර විය. එම නග්නත්වය හා ක්‍රෑරත්වය විශාල පිරිහීමක් ලෙස ප්‍රකාශයට පත්වූයේ සංස්කෘතික ක්ෂෙත්‍රයේය. වර්තමානයේ සංස්කෘතික පිරිහීම යනු එයයි. වර්තමානයේ බස්රථවල ගමන් ගන්නා මගීන් බසයට ගොඩවන ගැබිනි මවකට හෝ වැඩිහිටියෙකුට අසුනක් ලබා නොදීම සංස්කෘතික පිරිහීමට උදාහරණයක් ලෙස බොහෝවිට මතුකෙරේ. අතීතයේ එක්තරා කලෙක එලෙස අසුන ලබාදුන් මගියා වර්තමානයේ මෙතරම් ආත්මාර්ථකාමියෙකු වූයේ කෙසේද? සැබවින්ම මෙය ඔහුගේ පෞද්ගලික වරදක් නොවේ. ධනවාදය තුළ මගී ප්‍රවාහන සේවයේ අර්බුදය විසින් මගියා පත්කර ඇති තත්වයයි. බසයක අසුනක් ලබා ගැනීම රටක් අල්ලාගන්නා යුද්ධයක් දිනීම තරම් දුෂ්කර හා වෙහෙසකර වූ විට එලෙස අමාරුවෙන් ‘දිනාගත්’ අසුන තව කෙනෙකුට පරිත්‍යාග කිරීමට මගියා අකමැති වීම අරුමයක් නොවේ.

මෙයට විසඳුම තිබෙන්නේ මගීන්ට දොස්කීම තුළ හෝ ඔවුනට සදාචාරය පිළිබඳ පාඩමක් කියාදීම තුළ නොව, සෑම මගියෙකුටම ආසනයක වාඩිවී යාමට හැකිවනසේ ප්‍රවාහන සේවය පුළුල් කිරීම හා ක්‍රමවත් කිරීම තුළය. එහෙත් සේවය වෙනුවට ලාභ ලැබීම අරමුණු කරගත් කර්මාන්තයක් බවටත් තරඟයක් බවටත් ප්‍රවාහනය පත්කර තිබෙන ධනවාදය තුළ එය ඉටුවන්නේ නැත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ, කලා ක්ෂේත්‍රයේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ආදී සෑම ක්ෂේත්‍රයකම ඇති, සංස්කෘතික පිරිහීම් ලෙස ප්‍රකාශයට පත්වන මේ සියලු පිරිහීම්වල මූලය පවතින්නේ අන් තැනක නොව ලාභය එකම හා අවසාන අරමුණ බවට පත්කර ඇති ධනපති ක්‍රමයේ අර්බුදයේමය.
මිනිසාගේ පරිභෝජන භාණ්ඩ වෙළඳ භාණ්ඩ බවට පත්කළේ ධනවාදය විසිනි. සියල්ල විකිණීම සඳහා පුරුදු කළේ ධනවාදය විසිනි. මුදල් ඉපැයීම හා ලාභ ලැබීම ජීවිතයේ එකම පරමාර්ථය බවට පත්කළේද ධනවාදය විසිනි. ධනවාදය අවසානයේ නිර්මාණය කොට ඇත්තේ නරුම සමාජයකි. නරුමයා යනු කවුදැයි නිර්වචනය කරන බටහිර දාර්ශනිකයෙක් හා ලේඛකයෙක් වූ, ඔස්කා වයිල්ඞ් පවසන්නේ, ‘නරුමයා යනු සියලු දේවල මිල දන්නා එහෙත් වටිනාකම නොදන්න පුද්ගලයා’ බවයි. ඔවුහු පුරාවස්තුවල මිල දනිති. එහෙත් වටිනාකම නොදනිති. ඒ නිසා ‘නිධන්’
සෙවීමට පුරාවස්තු වනසති. නැතිනම් ඒවා විකුණති. ඔවුහු වටිනා ගස්වල මිල දනිති. එහෙත් වනාන්තරවල වටිනාකම නොදනිති. එබැවින් පරිසරය වනසති. ඔවුහු මිනිස් අවශ්‍යතාවල මිල ගණන් දනිති. එහෙත් මිනිසුන්ගේ හා සමාජයේ වටිනාකම නොදනිති. එවැනි මිනිසුන් අපට හමු වන්නේ ධනවාදය තුළය. ධනවාදය තුළ සංස්කෘතික පිරිහීමක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ මෙයයි. එබැවින් මේ වනවිට අර්බුදයට ගොස් යල්පැන ඇති ධනවාදය වෙනස් කිරීමෙන් තොරව වත්මන් සංස්කෘතික පිරිහීම වෙනස් කළ නොහැක. මානව සංහතිය එක්කෝ සමාජවාදය කරා පෙරට නැතිනම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක අවදියකට එළඹ ඇතැයි එංගල්ස් පැවසූ වදන්වලින්ද තහවුරු වන්නේ මෙයයි.

සමාජවාදය හා නිර්ධන පංති සංස්කෘතිය

මේ මොහොතේ සංස්කෘතික පරිහානියක් ලෙසින් ප්‍රකාශයට පත්ව ඇත්තේ ධනවාදයේ පොදු අර්බුදය බව හොඳින්ම පැහැදිලිය. එබැවින් ධනවාදය පවතිද්දී එය වෙනස් නොකොට සංස්කෘතික පරිහානියෙන් මිදිය නොහැක. ඒ අනුව සංස්කෘතිය එය මුහුණ දී ඇති පරිහානියෙන් මුදා සංස්කෘතික දියුණුවක් කරා රැගෙන යා හැක්කේ ධනවාදය පරදා ගොඩනගනු ලබන නව සමාජයකදීය. එනම් අනාගත කොමියුනිස්ට් සමාජයේ සංක්‍රමණීය අවදිය ලෙස ගොඩනගන සමාජවාදී සමාජයේදීය. සමාජවාදය තුළ සංස්කෘතිය වර්ධනය වන්නේ කෙසේද යන්න පිළිබඳවත් එයට නිර්ධන පංති සංස්කෘතියේ ඇති සම්බන්ධය පිළිබඳවත් නිර්ධන පංති සංස්කෘතිය යනු කුමක්ද යන්න පිළිබඳවත් පැහැදිලි කර ගැනීම මෙහිදී ඉතාම වැදගත් වේ. ඒ, සමාජවාදය තුළ සංස්කෘතිය ගොඩනගනු ලබන්නේ නිර්ධන පංතියේ නායකත්වයෙන් වන නිසාත් එය නිර්ධන පංති ස්කෘතියේ මූලධර්ම පදනම් කර ගනිමින් ගොඩනැගෙන නිසාත්ය.

නිර්ධන පංති සංස්කෘතිය යනු දිළින්දන්ගේ සංස්කෘතිය නොවේ. නිර්ධන පංති සංස්කෘතිය ගොඩනැගෙන්නේ දිළින්දන්ගේ දෘෂ්ටියට අනුවද නොවේ. ධනවාදය තුළ දුප්පතුන්ගේ දෘෂ්ටිය යනු නිර්ධන පංති දෘෂ්ටිය නොව පාලක ධනපති පංතිය විසින් ඔවුන් මත පටවන ලද ධනපති පංති හා සුළු ධනපති පංති දෘෂ්ටියමය. ධනවාදය තුළ නිර්ධන පංති ජනයාගේ සිතුම් පැතුම්, සදාචාරයන් හා මතවාදයන් ධනවාදය විසින් ඔවුන් මත රෝපණය කරන ලද ඒවාය. එවා නිර්ධන පංතියට අයත් ඒවා නොවේ. ඒ තුළ ඇත්තේ ආත්මාර්ථකාමිත්වය, ගතානුගතිකත්වය, මිත්‍යව, පරාධීනත්වය, තනිවම දියුණුවීම පිළිබඳ සිහින වැනි ධනවාදී සංකල්ප හා සිතිවිලිය. එහෙත් නිර්ධන පංති සංස්කෘතිය යනු අනාගත දියුණු සමාජය නියෝජනය කරන සමාජ දෘෂ්ටිය වූ නිර්ධන පංති දෘෂ්ටිය මත පදනම්ව ගොඩනැගෙන සංස්කෘතික ලක්ෂණවලින් සමන්විත එකක් වේ. නිර්ධන පංතිය යනු ධනවාදයේ කාර්මික නිෂ්පාදනය විසින් බිහිකරන ලද හා ධනවාදී නිෂ්පාදනය තුළ වර්ධනය වන අනාගතය නියෝජනය කරන දියුණුතම පංතිය වේ. ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේ මාක්ස් හා එංගල්ස් ඒ පිළිබඳව මෙසේ ලිවීය.

“ධනපති පංතියට විරුද්ධව මුහුණට මුහුණලා නැගී සිටින සියලු පංතීන් අතුරෙන්, නිර්ධන පංතිය පමණක් අද නියම විප්ලවවාදී පංතිය වේ. නවීන මහා කර්මාන්තයේ සංවර්ධනය නිසා ඉතිරි සියලු පංතීහු දිරාපත් වීමකට හසුව අවසානයේදී විනාශ වී යති. නිර්ධන පංතිය එහි ස්වකීයම වූත්, අවශ්‍යවූත් ඵලය වේ.”

එම දියුණු පංතිය විසින් ගොඩනගන දියුණු සමාජය සමාජවාදය වන අතර ඒ තුළ ගොඩනැගෙන සංස්කෘතිය පදනම් වන්නේ එම දියුණු පංතියේ සංස්කෘතිය වන නිර්ධන පංති සංස්කෘතිය මතය. සමාජවාදී සංස්කෘතිය ගොඩනගන නිර්ධන පංති දෘෂ්ටියේ ප්‍රධාන ලක්ෂණය වන්නේ එය සියලු අතීත සමාජයන් ගේ හා වත්මන් ධනවාදයේ නිර්මාණ හා ජයග්‍රහණ අත්හැර දමනවා වෙනුවට, ඒවා විනාශ කරනවා වෙනුවට එම සියලු අතීත ජයග්‍රහණ හා වටිනාකම් නව සමාජය ගොඩනැගීමට යොදා ගැනීමය. මේ පිළිබඳව ‘නිර්ධන පංති සංස්කෘතිය ගැන’ නම් සිය ලිපියේ ලෙනින් මෙසේ සඳහන් කරයි.

“විප්ලවවාදී නිර්ධන පංතියේ දෘෂ්ටිය වශයෙන් මාක්ස්වාදය මුළු ලෝකයම සඳහා ඓතිහාසික වැදගත්කමක් දිනා ගත්තේ, ධනපති යුගයේ අගනා ජයග්‍රහණයන් කිසිවක් ඉවත ලීමෙන් නොව, ඊට හාත්පසින්ම ප්‍රතිකූල ලෙසින් මිනිස් චින්තනයේ හා සංස්කෘතියේ අවුරුදු දෙදහසකට අධික සංවර්ධනයේ ඇති වටිනා දේ සියල්ලක්ම ස්වීකර ගැනීමෙන් හා යළි හැඩගසා ගැනීමෙනි. නියම නිර්ධන පංති සංස්කෘතියක් සකස්කර ගැනීම ලෙසට පිළිගත හැක්කේ, සෑම ආකාරයකම සූරාකෑමට විරුද්ධව කරන අරගලයේ අවසාන අවධිය වන නිර්ධන පංති ආඥාදායකත්වයේ ව්‍යවහාරික අත්දැකීමෙන් පණ පෙවී මෙම පදනම මත හා මෙම දිසාවට ලක්කොට තවදුරටත් කරන වැඩ කටයුතු පමණකි.” (ලෙනින් තෝරාගත් කෘති, 11වෙළුම -78 පිටුව)


ඒ අනුව සමාජවාදය ගොඩනගන නිර්ධන පංතිය අතීත සංස්කෘතික වටිනාකම් කිසිවක් විනාශ කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා නව සමාජය නිර්මාණය කිරීමට යොදා ගන්නවා ඇත. නිර්ධන පංති සංස්කෘතිය සමන්විත වන අනෙක් ලක්ෂණ නම්, සාමූහිකත්වය, ප්‍රගතිගාමී චින්තනය, පටු පෞද්ගලික වුවමනාවන් අභිබවා පොදු සමාජයීය වුවමනාවන් පෙරට ගැනීම, නිර්මාණශීලිත්වය හා නවීනත්වය, මානව ප්‍රේමය, අදීනත්වය, සමානත්වය, ලාභය සඳහා නිපදවීම වෙනුවට මිනිස් අවශ්‍යතා සඳහා නිපදවීම, පරිසර හිතකාමී චින්තනය ආදී ලක්ෂණවලින් සමන්විත නව මිනිසෙක් තනන දෘෂ්ටියයි. ධනේශ්වර සංස්කෘතිය මිත්‍යාව හා අවිද්‍යාව පවත්වාගෙන යද්දී නිර්ධන පංති සංස්කෘතිය විද්‍යාව හා නවීන දැනුම මත පදනම් වේ. ධනේශ්වර සංස්කෘතිය ලාභ ලැබීම හා පරිභෝජනවාදය මත පදනම් වෙද්දී, නිර්ධන පංති සංස්කෘතිය සමාජමය අවශ්‍යතාවයන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීම මත පදනම් වේ. ධනේශ්වර සංස්කෘතිය තනි තනි මිනිසුන්ගේ ජයග්‍රහණ මත පදනම් වෙද්දී නිර්ධන පංති සංස්කෘතිය පොදු සමාජීය ජයග්‍රහණ මත පදනම් වේ. ධනේශ්වර සංස්කෘතිය ප්‍රතිගාමීත්වය මත පදනම් වෙද්දී නිර්ධන පංති සංස්කෘතිය ප්‍රගතිගාමීත්වය මත පදනම් වේ. නිර්ධන පංති සංස්කෘතියේ වෙනස එයයි. ධනවාදී සමාජය තුළදී නිර්ධන පංති සංස්කෘතිය පොදු නිර්ධන පංති ජනයා තුළ පවතින්නේ නැත. ධනවාදය තුළ එය පවතින්නේ නිර්ධන පංති විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරයක් තුළය. නිර්ධන පංතියේ සවිඥ්ඥානික කොටස් මාක්ස්වාදී දෘෂ්ටියට අනුව ගොඩනගමින් විප්ලවකාරී ව්‍යාපාරය විසින් සිය ව්‍යාපාරය තුළ නිර්ධන පංති සංස්කෘතිය ඉහත ලක්ෂණ සහිතව පවත්වාගෙන යා යුතුය. ඉන්පසු බලයට පැමිණි නිර්ධන පංතිය විසින් එම සංස්කෘතිය මත පදනම්ව සමාජවාදය තුළ සමාජවාදී සංස්කෘතිය ගොඩනගනු ලැබේ. නිර්ධන පංති ව්‍යාපාරයක් තුළ නිර්ධන පංති සංස්කෘතිය පවත්වාගෙන යාම පහසු කටයුත්තක් නොවේ. මන්ද ධනවාදී සමාජ වටපිටාව හා එහි සංස්කෘතික ලක්ෂණත්, මිනිසුන්ගේ පුරුද්දේ බලයත්, විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධවන අය ධනවාදය තුළ ඉපිද, එහිම හැදී වැඩුනු අය වීමත් යන කරුණු ඊට බරපතළ බාධා ඇතිකරන බැවිනි. එහෙත් නිර්ධන පංති විප්ලවකාරී ව්‍යාපාරයක් අනිවාරණීය ලෙසම තම දේශපාලන ව්‍යාපාරය තුළ නිර්ධන පංති සංස්කෘතිය ගොඩනැගිය යුතුය; එය පවත්වාගෙන යා යුතුය.
ධනවාදය තුළ නිර්ධන පංති ව්‍යාපාරයක් විසින් නිර්ධන පංති සංස්කෘතියක් පවත්වාගෙන යාමේදී මුහුණ දෙන බරපතළ සංකීර්ණතාවක් තිබේ. ධනවාදය තුළ පවතින සංස්කෘතියට අයත් බොහෝ සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සදාචාරයන් නිවැරදි හෝ රැකිය යුතු ඒවා නොවේ. එහෙත් ඒ සියල්ල ධනවාදය තුළදී, ධනවාදය පවතිද්දී බිඳදැමිය හැකි හෝ බිඳ දැමිය යුතුද නොවේ. එවිට විප්ලවවාදී ව්‍යාපාරයකට සිදුවන්නේ ධනවාදය තුළ පවතින නොගැලපෙන හා වැරදි සංස්කෘතික ලක්ෂණවල වැරැද්ද වටහාගනිමින්ම එහෙත් ධනවාදය තුළ ඒවා බිඳදැමීමේන් වියහැකි හානියද වටහා ගනිමින් අවබෝධය සහිතව ඒ හා කටයුතු කිරීමය. සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය පරාජය නොකර, එය වෙනස් නොකර එය පවතිද්දීම සංස්කෘතියේ ඇති ධනවාදී ලක්ෂණ සියල්ල පැරදවීමට හෝ වෙනස් කිරීමට නොහැක. එසේ උත්සාහ කිරීම මෝඩකමක් වනු ඇත. එහෙත් ධනවාදය තුළදීම වෙනස් කළ හැකි සමහර සංස්කෘතික ලක්ෂණ වෙනස් කිරීමද කළ යුතුය. කෙසේ වෙතත් මෙය සමාජය සමග, ජනතාවගේ හුරුපුරුදු හා විශ්වාසයන් සමග බැඳී ඇති බැවින් ඒ පිළිබඳව කරන කටයුතු ඉතාම පරිස්සමෙන් කළ යුතුවේ.
උදාහරණයක් ලෙස වත්මන් සමාජය වසා පැතිර තිබෙන අවිද්‍යාව හා මිත්‍යා විශ්වාස පිළිබඳ සිතන්න. ඒවා මානව සමාජයේ ඉදිරි ගමනට මහා බාධා බවට පත්ව තිබේ. එහෙත් ධනවාදය සිය පැවැත්ම වෙනුවෙන් ඒවා පතුරුවා හරී, ඒවා ආරක්ෂා කරයි. ඒවා ධනේශ්වර සංස්කෘතියේ
විශාල කොටසක් නියෝජනය කරයි. වර්තමානයේ රූපවාහිනී නාලිකා හා එෆ් එම් නාලිකා එකිනෙකා හා තරඟ වදිමින් ලග්න පලාපල හා සිහින පලාපල කියාදීම දෙස බැලූවිට පවා මෙය පෙනේ. 21වන සියවස තුළ මේවා හාස්‍යයට කරුණු වුවත් ඒවා පවතී. එහෙත් ඒවා විශ්වාස
කරමින් ඒවාට ඇබ්බැහිවූ මිනිසුන් හාස්‍යයට ලක්කිරීමෙන් හෝ ඊට බැන වැදීමෙන් මෙය විසඳිය නොහැක. සිදුවිය යුත්තේ මිනිසුන් ගේ ජීවිතයේ මූලික වුවමනාවන් සපුරාලිය හැකි නිෂ්පාදන ක්‍රමයක් සහිත සමාජයක් බිහිකිරීමය. එලෙස තමන්ගේ හෙට දවස තහවුරු කරන සමාජයක් තිබෙන විට මිනිසුන්ට ග්‍රහලෝක වෙත තම ඉරණම බාරදීමට අවශ්‍ය වන්නේ නැත. ඒ සමගම විද්‍යාවේ දැනුම හා අධ්‍යාපනය සමාජය වෙත ලබා දෙන්නේ නම් හා, රූපවාහිනී නාලිකා හා එෆ් එම් නාලිකා ලග්න පලාපල වෙනුවට සමාජය වෙත විද්‍යාවේ දැනුම ගෙනයාම සඳහා යොදවන්නේ නම් එම තත්වය පහසුවෙන් වෙනස් වෙනු ඇත. කෙසේ වෙතත් සමාජවාදය තුළ ගොඩනැගෙන සමාජවාදී සංස්කෘතිය ධනවාදී සංස්කෘතියට වඩා හැම අතින්ම දියුණු ප්‍රතිවිරෝධතා අවම වූ සංස්කෘතියක් වේ.