සංස්කෘතිය පිළිබඳ සාවද්‍ය කියවීම්

Red Power – 2019 April
May 6, 2019
ඉතිහාසය තුළ ‘පවුල’ බිහිවූ හැටි
May 10, 2019
Show all

සංස්කෘතිය පිළිබඳ සාවද්‍ය කියවීම්

  • සංස්කෘතියක් කෞතුකාගාරවල සංරක්‍ෂිත කළ හැකිද?
  • සතුන්ට සංස්කෘතියක් තිබේද? සංස්කෘතියක් නැති මිනිසුන් සිටීද?
  • හොඳම සංස්කෘතිය ඇත්තේ අතීතයේද?
  • දියුණු සංස්කෘතීන් සහ නොදියුණු සංස්කෘතීන් ලෙස සංස්කෘතිය බෙදිය හැකිද?
  • සංස්කෘතික විවිධත්වය යනු සංස්කෘතික උස් පහත්කමක්ද?
  • ලොව විශිෂ්ටතම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියද?
  • සංස්කෘතිය වෙනස් වීම සංස්කෘතික පිරිහීමක්ද? සංස්කෘතීන් මිශ්‍රවීම පිරිහීමක්ද?
  • ‘අති පිරිසිදු’ සංස්කෘතියක් ඇති නූතන ජාතීන් සිටිතිද?
  • බටහිර සංස්කෘතිය අප සංස්කෘතිය වනසයිද?
  • සංස්කෘතිය සහජාසයක්ද? උගැන්මක්ද?
  • පොදු මානව සංස්කෘතියක්ද? පංති සංස්කෘතියක්ද?

සංස්කෘතිය යන්නෙන් ඔබට කුමක් අදහස් වේද? මේ සඳහා පිළිතුරු රාශියක් ඇති බව නම් නිසැකය. එක් එක් පිළිතුරක් මත සිට සංස්කෘතිය යන්න විග්‍රහ කිරීමේදී පැමිණිය හැකි නිගමනයන්ද රාශියක් වේ. එබැවින් අප විසින් යම් නිර්වචනයක් මත පදනම් නොවී සංස්කෘතියෙහි හරි වැරදි බැලීමට ගියහොත් නිසැකවම එය සාරසංග්‍රහවාදයක් වනු ඇත. එනිසා ආරම්භයේදීම සංස්කෘතිය යනු කුමක් දැයි යන්නට අපගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

කාලය දිගේ ආපසු ගමන් කළහොත් අනෙක් සත්ව රංචු සහ මිනිස් රංචුද වැඩි වෙනසකින් තොරව සොබාදහමේම කොටස් ලෙස ජීවත්වන යුගයක් අපට හමු වෙනු ඇත. මෙම සත්ව රංචූ තමා අවට පරිසරය සමඟ විවිධ සබඳතා පැවැත්වූ අතර (ආහාර, ජලය, වාතය, වාසස්ථාන, ආරක්ෂාව සපයා ගැනීම සඳහා) රංචුවක් වශයෙන් ඔවුහු එකිනෙකා අතරද සබඳතා පැවැත්වූහ. එහෙත් ඒ සියල්ලෙහිම සීමාව සොබාදහම විසින් නියම කොට දෙන ලද සීමාවම විය.

 වේයෝ රැසක් එක්ව තුඹසක් බඳිති – එය සාමූහික කටයුත්තක් බැවින් වේයෝ සමූහයක් ලෙස කටයුතු කරන අතර ජීවත්වීමට සරිලන වාසස්ථානයක්ද ඉදි කරති.

මී මැස්සෝ රැසක් එක්ව මී වදයක් බඳිති – එය විශ්මිත නිමැවුමකි. එපමණක්ද මල්වලින් පැණි ගෙනවිත් ඉතා දිගු කාලයක් වුවත් නරක් නොවී පවතින ලෙස සකස් කරන ලද පැණි ලෙස ඒවා ගබඩා කෙරෙති. ඉතා කුඩා කුහුඹුවන්, කුරුමිණියන්, මකුළුවන් වැනි සතුන්ගේ සිට ඉතා විශාල අලි, කොටි, සිංහයන්, වානරයන් ආදී සතුන් දක්වාම පරික්‍ෂා කළහොත් අපට මෙවැනි බොහෝ දේ නිරීක්‍ෂණය කළ හැකිය. එහෙත් මේ සියල්ලෙහි සුවිශේෂත්වය වන්නේ, සොබාදහමින් මේ සතුන්ට පිරිනමන ලද සීමාව දශමයකින් හෝ ඉක්මවීමට මේ සතුන් අසමත් වීමය.

මී මැස්සාට මී වද බැදීම සහ පැණි රැස්කිරීම හැර අන් කාරියක් කිරීමට කිසිවිට නොහැකි විය. සොබාදහමින් ඌට දී ඇති දේ එපමණය. මකුළුවාට දැල් විවීම හැර අන් කාරියක් කිරීමට නොහැකිය.  මීයාට ගුල් හෑරීම හැර තුඹස් බැඳීමට කිසිවිටෙක නොහැකිය.

එබැවින් මී මැස්න්ගේ, මකුළුවාගේ, වේයන්ගේ පරම්පරාවන් වසර ලක්‍ෂ ගණන් පසු පසට නිරීක්‍ෂණය කළද අපට අද හමුවන මී මැසි රංචුවට, මකුළුවාට, වේයාට වෙනස්ව කටයුතු සිදු කළ මී මැස්සෙක්, වේයෙක් හෝ මකුළුවෙකු සොයා ගැනීමට නොහැකි වනු ඇත.

නමුත් අනෙකුත් සතුන් සමගම ගමන් ඇරඹූ මිනිසා අද සිටින්නේ කොතැනද? ඔහු ක්‍ෂණයක් පාසා සොබාදහමින් ඔහුට දෙන ලද සීමා ඉක්මවා යමින් සිටී.

එම්. ඉලීන් සහ වයි. සෙගාල් නම් ලේඛකයින්  දෙදෙනා විසින් රචිත “මිනිසා යෝධයෙකු වූයේ කෙසේද?” (M. Ilyn,Y.Segal – How man become a Giant ) නම් කෘතියේ ආම්භක සටහනක මෙසේ සටහන් වෙයි.

“… ඔහුගේ දෙපාවලට දිනකට මයිල දහසක මඟ වුවත් ගෙවාලිය හැකිය. ඔහුගේ පියාපත්වලට මොනම කුරුල්ලෙකුටවත් ළං නොවිය හැකි වළාරොදින් ඔබ්බට ඔහු ගෙන යා හැකිය. ඔහුගේ වරල් කවර මසෙකුගේවත් වරලට වඩා ශක්තිමත්ය. ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකී. ඔහුගේ කන් ලොව තවත් කෙළවරක කතා කරන දේ අසයි. මහා කඳු විනිවිද යන්නට තරම් ඔහු ශක්තිමත්ය. හෙතෙම ඇද හැලෙන දිය ඇලි අහස් කුස අතරමඟ නතර කරයි. ඔහු මහා වන වගා කරමින්ද, මුහුදු යා කරමින්ද, කාන්තාරවලට ජලය ගෙන යමින්ද, මිහිකත් මුහුණතට නව හැඩ-වැඩක් දෙමින් සිටී.  මේ යෝධයා කවරෙක්ද? ඒ අන් කිසිවෙක් නොව ‘මිනිසා’යි…”

දැන් අපි අනෙකුත් සතුන් සහ මිනිසා අතර වෙනස කුමක්ද යන්න සනිටුහන් කළෙමු. එනම් අනෙකුත් සතුන් සොබාදහම විසින් දෙන ලද සීමාවන් තුළ සොබාදහමේම කොටසක් ලෙස රැඳී සිටින අතර මිනිසා සොබාදහම විසින් තමන්ට දෙන ලද සීමා ඉක්මවා යමින් තම සීමා පුළුල් කරගනිමින් සිටී. (කෙසේ වෙතත් මෙයින් අදහස් වන්නේ මිනිසාට සොබාදහමින් මිදී යා හැකිය යන්න නොවේ.) නැවතත් අවධාරණය කර පවසන්නේ නම් මිනිසාද සොබාදහමේ කොටසක් වන නමුත් ඔහු සොබාදහම විසින් තමා වෙත දෙන ලද සීමා ඉක්මවා යමින් සිටින්නෙකි. ඉලින් සහ සෙගාල් කාව්‍යමය භාෂාවකින් පවසන්නේ මෙයයි.

ඒ අනුව අපගේ තේරුම්ගැනීම වන්නේ සොබාදහමින් දෙන ලද සීමාව ඉක්මවා මිනිසා විසින් පුළුල් කරගන්නා ලද තම සීමාව “සංස්කෘතිය” යනුයි. මිනිසා ක්‍ෂේත්‍ර දෙකක් ඔස්සේ තම සීමාව වර්ධනය කර ගනී. එක් අතකින් ඔහුට ස්වභාවයෙන් හිමි වූ ශාරීරික ස්වභාවය සහ හැකියාව තම උපකරණ, යන්ත්‍ර සූත්‍ර ආදිය මඟින් පුළුල් කරමින් මිනිසා සහ සොබාදහම අතර අන්තර් ක්‍රියාව පුළුල් සහ වෙනත් එකක් බවට පත්කර ගනී. ඒ පුළුල් කර ගැනීමේ ක්‍රියාව තුළම ඔහු මිනිසුන් – මිනිසුන් අතර වූ අන්තර් සම්බන්ධය ද පුළුල් කරමින් සහ වෙනස් කරගනිමින් සිටී. මානව වර්ගයාගේ චින්තනමය හැකියාව, සවිඥානිකත්වය වඩ වඩා පුළුල් සංකීර්ණ එකක් බවට පත්වන්නේද මේ ක්‍රියාවලිය තුළමය.

මේ අනුව මානව සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදනය සහ සවිඥානිකත්වයත්, සංස්කෘතියත් එකිනෙකින් වෙන් කළ නොහැකි ප්‍රවාහයක් වන්නේය.

1927 “සංස්කෘතිය හා සමාජවාදය” නම් ප්‍රසිද්ධ ලියවිල්ල මඟින් ලියොන් ට්‍රොට්ස්කි සංස්කෘතිය පිළිබඳ මාක්ස්වාදී දැක්මකින් යුත් ඉහත අදහස ඉතා නිරවුල් ලෙස ඉදිරිපත් කළේය. දැන් අපට මෙම පදනම මත සිට “සංස්කෘතිය” නම් ප්‍රපංචය කියවිය හැකිය. අපගේ නිර්වචනයට සාපේක්‍ෂව එහි හරි වැරදි බැලිය හැකිය. දැන් අපි නැවතත් මේ ලිපිය ආරම්භයේදී ඇසූ ප්‍රශ්නය අසමු. “සංස්කෘතිය යන්නෙන් ඔබට කුමක් අදහස් වේද?” මේ පිළිබඳ අධ්‍යයනය කළ උගතුන්, බුද්ධිමතුන් විවිධ පිළිතුරු දීමට ඉඩ ඇතත් පොදු ජනයා බොහෝ විට “අපේ සංස්කෘතිය” යනුවෙන් හඳුනා ගන්නේ පෞරාණික නටඹුන්, ගැමි සිරිත් විරිත්, කලාව ආදියයි. බොහෝ දෙනෙක්ගේ සිහියට නැගෙන්නේ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ නටඹුන් නගරයන්ය. අනුරාධපුරයත්, පොළොන්නරුව සහ මහනුවරත් යා කරමින් ගොඩ නැගෙන ත්‍රිකෝණය “සංස්කෘතික ත්‍රිකෝණය” යනුවෙන් හැඳින්වෙන්නේත් මේ ඌණීත තේරුම් ගැනීම නිසාම විය යුතුය.

සත්තකින්ම “මිනිස්” යන ඇඟවුමෙන්, නිෂ්පාදනීය සත්වයෙකු, සවිඥානික සත්වයෙකු සහ සංස්කෘතික සත්වයෙකු යන සියලු ඇඟවීම් එකවිට සිදු කෙරේ. එබැවින් සංස්කෘතිය යන්න පැත්තකින් තබා “මිනිස්” භාවයක් ගැන කතා කළ නොහැකිය.  එනම් සංස්කෘතියක් නැති මිනිසුන් නොමැතිය.

නමුත් සංස්කෘතියක් නැති මිනිසුන්, නැතිනම් අසංස්කෘතික මිනිසුන් යන ව්‍යවහාරය අපට නිතර අසන්නට ලැබේ. මෙය බොහෝ විට ව්‍යවහාර වන්නේ ඉහළ සංස්කෘතික මට්ටමක් නියෝජනය කරන සමාජයක් පහළ සංස්කෘතික මට්ටමක් නියෝජනය කරන සමාජයක් හා මිනිසුන් හැඳින්වීමට සහ සංස්කෘතික විවිධත්වයන් ඉසිලීමට අසමත් මිනිසුන් එකිනෙකා විවේචනය කර ගැනීමටත් හෙළා දැකීමටත්ය.

දැන් අප හමුවේ තවත් ප්‍රශ්නයක් පැන නගී. ඉහළ සංස්කෘතික මට්ටමක් ඇති සමාජයක් හා පහළ සංස්කෘතික මට්ටමක් ඇති සමාජයක් ලෙස අප යම් යම් සමාජ සංස්කෘතීන් වර්ගීකරණය කරන්නේ කෙසේද?, එසේ කළ හැකි ද යන්නයි.  පැහැදිලිව පෙනෙන උදාහරණයක් මඟින් අප මෙම ගැටලුව දෙස බලමු.

ඉතාම හුදකලා වුූ ගෝත්‍රයන් තුළ පවා සංගීතය පිළිබඳ යම් අදහසක් පැවතීම නිසා සංගීතය සෑම මානව සමාජයකටම පොදු කරුණක් වශයෙන් ගත හැකිය.

ස්වභාවිකව ඇතිවන ශබ්ද සහ රිද්මයන්ද මිනිසාගේ නිෂ්පාදන ක්‍රියාකාරිත්වය තුළ ඇතිවන ශබ්දයන් සහ රිද්මයන්ද මිනිසුන්ගේ සංගීත විඥානය වැඩීමට හේතු වන්නට ඇත. ප්‍රාථමික සංගීතයේ මූලික ලක්‍ෂණයක් වන්නේ එහි රිද්මය ප්‍රමුඛ වීමය. ප්‍රථමයෙන් ඔහු අත්පුඩි ගසමින් සහ තමන්ගේ බඩට රිද්මයානුකූලව තට්ටු කරමින්ම රිද්මය ලබාගත් අතර පසුව රිද්මය ලබා ගත හැකි ලී කැබලි සත්ව ඇටකටු ආදී උපකරණ කරා ගමන් කළේය. ලංකාවේ වැදි ජනයාගේ සංගීතය මීට උදාහරණය. ඔවුන්ගේ ස්වර විඥානය ඉතා දුර්වලය. බෙරය යනු රිද්මය ඉපදවීම සඳහා මිනිසා සාදාගත් පැරණිතම සංගීත භාණ්ඩවලින් එකකි. ඒ අනුව රිද්මය සහ බෙරය සංගීතයේ මූලිකම අවස්ථාවක් නියෝජනය කරන අතර වයලීනය, පියානෝව හෝ ඕගනය සංගීතයේ වර්ධිත අවස්ථාවක් නියෝජනය කරයි. බෙරය ඕගනයට වඩා දියුණු සංගීත භාණ්ඩයකැයි සංගීතය ගැන දන්නා කිසිවෙකු තර්ක නොකරනු ඇතැයි අපි සිතමු. (එහෙත් ලංකාවේ බෙරවලට ගැසීමට ලොව කිසිදු සංගීත භාණ්ඩයක් නැතැයි තර්ක කරනවුන් අපට හමු නොවනවා නොවේ.) කෙසේ වෙතත් ඉහත කරුණු පදනම් කර ගනිමින් අපට යම් සමාජයක සංස්කෘතික වර්ධනයේ පහළ මට්ටමක් හෝ ඉහළ මට්ටමක් සනිටුහන් කළ හැකිය.

ගල් මෙවලම් වෙනුවට ලෝහ මෙවලම් භාවිතා කරන සමාජයක් දියුණු සංස්කෘතියක් ඇති සමාජයක් ලෙස ගත හැකිය. ලී නගුල වෙනුවට ලෝහ නගුල භාවිතා කරන සමාජයක් දියුණු සංස්කෘතියක් ඇති සමාජයක් ලෙස ගත හැකිය.

ඒ අනුව යම් සමාජයක් විසින් වර්ධනය කර ඇති තාක්‍ෂණය හා උපකරණ යම් සංස්කෘතියක උස් පහත් බව මැනීම සඳහා වන ප්‍රධාන සාධකයක් ලෙස ගත හැක. එනම් ද්‍රව්‍යමය සංස්කෘතියේ මට්ටමයි. ද්‍රව්‍යමය සංස්කෘතිය හා සමගාමීව ආධ්‍යාත්මික සංස්කෘතියද ගමන් කරයි. මානව සමාජයේ ආරම්භක යුගයේ පැවති මිනිස් කණ්ඩායම් සාමාජිකයින් 20ක 30ක පමණ කුඩා ඒකකයකට සීමා විය. නමුත් මිනිසුන් නව තාක්‍ෂණය සහ උපකරණ දියුණු කරමින් ද්‍රව්‍යමය සංස්කෘතියේ නව වර්ධනයන් අත්පත් කර ගැනීමත් සමගම මේ කුඩා කණ්ඩායම් වඩා විශාල ජන රාශීන් කරා ගමන් කළේය. අපි ගණ-ගෝත්‍ර වශයෙන් හඳුනාගන්නේ මානව සමාජයේ මුල්ම ජන රාශියන්ය. පසුව එම කුඩා ගෝත්‍රද වඩා විශාල ඒවා බවට පත් වූ අතර පසුව ජාතිකත්වයන්, ජාතීන් වශයෙන් වඩා පුළුල් ජන සමූහයන් නැතිනම් සමාජයන් බවට පත්වීය. මෙසේ මිනිස් සමාජය ප්‍රමාණාත්මකව වර්ධනය වෙද්දී ඔවුන් අතර වන සම්බන්ධතාවන්ද ක්‍රමිකව සංකීර්ණ වන්නට විය. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පුළුල් වන්නට විය. තාක්‍ෂණය හා සමඟ බැඳී ආ දැනුමත් සමඟ වඩා සංවේදී සත්වයෙකු වූ මිනිසා තම සමාජ සම්බන්ධතාවයන්ගේ පුළුල් වීමත් සමඟම වඩ වඩා දියුණු ආධ්‍යාත්මික සංස්කෘතියක්ද අත්පත් කරගත්තේය. ඒ අනුව ගෝත්‍රික සමාජයක් සංස්කෘතික වර්ධනයේ පහළ අවධියක් නියෝජනය කරන අතර අද අපට හමුවන ජාතීන් යනු සංස්කෘතික වර්ධනයේ ඉහළ මට්ටමකි. තේරුම් ගැනීම සඳහා දෙකකට බෙදුවද ද්‍රව්‍යමය සංස්කෘතිය සහ ආධ්‍යාත්මික සංස්කෘතිය එකිනෙකින් වෙන් කළ නොහැකි අවියෝජනීය දෙයක් බව තේරුම්ගත යුතුය. දියුණු ද්‍රව්‍යමය සංස්කෘතියක් නැති තැන දියුණු ආධ්‍යාත්මික සංස්කෘතියක් තිබිය නොහැක. වඩා දියුණු සංස්කෘතිකාංගයන් අත්විඳීමට – උසස් කලාව, සංගීතය, සාහිත්‍ය, නිවාස, ඇඳුම් පැළඳුම්, ආහාර – නොලැබෙන මිනිසුන් ගොරහැඬියන් වනු ඇත. මුලදී එය සමාජ සංවර්ධනයේ ගැටලුවක් වූ අතර දැන් එය පංති ප්‍රශ්නයකි.

★★★

“ලොව අති විශිෂ්ටතම සංස්කෘතිය අපේ සංස්කෘතියයි.” බොහෝ සමාජයන් තමන්ගේ සංස්කෘතිය ගැන මෙවැනි අදහස් දරයි. ශ්‍රී ලංකාව තුළ ගතහොත් මෙහි ජීවත්වන සිංහල බෞද්ධ ජනයා ලොව විශිෂ්ටතම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි කීමට රුචි වෙති. ඒ අනුව දෙමළ-හින්දු හෝ කතෝලික ජනයාගේද, සිංහලම වුවත් කතෝලික ජනයාගේද, මුස්ලිම් ජනයාගේද සංස්කෘතිය සමඟ සැසඳීමේදී සිංහල-බෞද්ධ සංස්කෘතිය වඩා ඉහළ තැනක ස්ථාන ගත කෙරේ. මේ සැසඳීම ලෝකයේ අනෙකුත් සංස්කෘතීන් සමගද කෙරෙන අතර ඒවායින්ද ඉහළම තැන ස්ථානගත වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. යම් සංස්කෘතියක් උසස් හෝ පහත් යැයි හඳුනා ගැනීමට උපකාරී වන යම් මානයක් අපි ඔබට ලබා දුනිමු. ඒ අනුව පරීක්‍ෂා කළහොත් විවිධ සංස්කෘතීන්හි විවිධ පාර්ශ්වයන් තුළ විවිධ වර්ධනයන් දැකගත හැකිවනු ඇත. උදාහරණයක් ලෙස සංගීතය යන ක්‍ෂේත්‍රයම ගතහොත්, සිංහල බෞද්ධ සංස්කෘතියේ සංගීත සංස්කෘතියේ වර්ධනය බෙරයේ රිද්මය සහ හොරණෑවේ ස්වර කීපය අතර සිරවී ඇතැයි සිතිය හැක. සිංහලයින්ගේ වාරි කර්මාන්තය ඔවුන් විශිෂ්ටත්වය අත්පත් කරගත් ක්‍ෂේත්‍රයක් ලෙස සැලකිය හැක. සලකා බලන සෑම අතකින්ම විශිෂ්ටතම සංස්කෘතිය ඇත්තේ තමන්ට යැයි සිතීම සංස්කෘතිය පිළිබඳ අතිශය වැරදි කියවීමකි. මෙම චින්තනයේ එක් කෙළවරකට ගිය පසු, ලෝකයේ ඕනෑම තැනක අත්පත් කරගත් යම් ජයග්‍රහණයන්, ඊට පෙර තම ජාතිය විසින් අත්පත් කරගෙන ඇතැයි සිතීම සහ ඔප්පු කිරීමට උත්සහ කිරීම දක්වා දුරදිග යයි. බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනු බවත්, ක්ෂේක්‍ෂ්පියර් ලංකාවේ ඉපදුණු බවත්, රාවණා අහසට නොව අභ්‍යවකාශයටම ගිය බවත් කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නැතිවම ඔවුන් පිළිගනී.

මේ වැරදි අදහස් හිස තුළ රුවාගත් අයට තම සංස්කෘතියේ අඩුපාඩුකම් දැක ගැනීමට සහ ඒවා වෙනස් කර ගැනීමට ඇති හැකියාව අහිමි වන අතර අනෙකුත් සංස්කෘතීන්හි ඇති විශිෂ්ට ලක්‍ෂණ තම සංස්කෘතිය තුළට ඇද ගැනීමටද නොහැකි වනු ඇත.

ගෙවල්වල එකතුවන පැරණි භාණ්ඩ ඉවත දැමීමට අකමැති ස්වභාවයක් ලාංකිකයන් බොහොමයක් තුළම ඇත. ඔවුන් ඒවා විවිධාකාර හේතු කියමින් ගෙවල් තුළ ගොඩගසා තබා ගනිති. අරපරෙස්සම, පසුව අවශ්‍ය වීමේ හැකියාව වැනි විවිධ දේ හේතු වශයෙන් දක්වති. මීට සාපේක්‍ෂව ජපනුන්, ඇමරිකානුවන්, ඕස්ටේ්‍රලියානුවන් ආදීන් තම පැරණි අනවශ්‍ය භාණ්ඩ විකුණා දැමීම හෝ ඉවත දැමීම කරති. එම ඉවත දමන රූපවාහිනී, පරිගණක, වාහන, ඇඳුම් ආදිය ලාංකිකයෝ මෙහි ගෙන එති.

සංස්කෘතිය සම්බන්ධයෙන් ද ලාංකිකයන්ගේ හැසිරීම මෙබඳුය. ඔවුන් තම සංස්කෘතියේ ඉවත දැමිය යුතු පැරණි බොහෝ දේ ඉවත නොදමා තබාගෙන සිටිති. සමහර විට සංස්කෘතිය රැකීම යනුවෙන් ඔවුන් කරන්නේ මේ පැරණි කසිකබල් ආරක්‍ෂා කිරීමය. එපමණක්ද? ඔවුන් වෙනත් සංස්කෘතීන්ගේ ඉවත දමන සමහර දේ ද කර පින්නා මහා අනර්ඝ දේ ලෙස මෙහි ගෙන එති.

චීනුන් විද්‍යා තාක්‍ෂණික ඥානය භාවිතා කරමින් සඳෙහි දුර කොණට ගොඩ බසින විට ලාංකිකයින් සිතන්නේ ඒ ෆෙන්ග්ෂුයි (Feng Shui) බලයෙන් සිදු කරන ලද පෙළහරක් බවයි. ලංකාවේ ඕනෑම නගරයකින් ඔබට ෆෙන්ග්ෂුයි සඳහා අවශ්‍ය අඩුවැඩිය මිලදීගත හැක. චීනුන්ගේ විද්‍යාව හා තාක්‍ෂණය වෙනුවට ලාංකිකයින් ඔවුන්ගේ ෆෙන්ග්ෂුයි කරගසා ගනිති.

ලාංකිකයින් අති විශිෂ්ට යැයි සිතමින් කරගසාගෙන සිටින සංස්කෘතිකාංගයන්ගෙන් රාශියක් යල් පැන ගිය පැරණි භාණ්ඩ මෙනි. ලංකාවේ ලිංගික සංස්කෘතිය මේ සඳහා පෙන්විය හැකි හොඳම උදාහරණයකි. රාජකීය ජීවිතයකට වඩා ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කළ  04වැනි විලියම් රජුගෙන් පසු 1837 එංගලන්තයේ කිරුළ හිමි වූයේ වික්ටෝරියා රැජිනටයි. අවුරුදු 63ක් කිරුළ දැරූ ඇයගේ කාලය තුළ ඇය තම රාජකීය ජීවන රටාව සහමුලින්ම වෙනස් කළාය. එය 04වැනි විලියම් රජුගේ ජීවන රටාවේ ප්‍රතිපක්‍ෂය විය. ඇයට බි්‍රතාන්‍ය වැසියන්ගේ ජීවිතාදර්ශය වීමට අවශ්‍ය විය. ඒ සඳහා ඇයම ආදර්ශයක් ලෙස පෙනී සිටියාය. පෞද්ගලික ජීවිතයේදී මෙන්ම පොදු ජීවිතයේදීද සෑම සියලු හැසිරීමක්ම ඇයගේ හැසිරීම් හා ශික්‍ෂාවන් අනුව හැඩ ගැසිණි. හැසිරීම පමණක් නොව ඇඳුම් පැළඳුම් පිළිබඳවද ඉතා තදින් සලකා බලන ලදී. ඊට පිටින් සිදුවන ඕනෑම දෙයක් අශිෂ්ට දේ ලෙස සැලකුවාය. ලිංගික කරුණු ගැන සාකච්ඡා කිරීම සහමුලින්ම සීමා කෙරුණු අතර පොදු පරිශ්‍රයන් තුළ ප්‍රේමය හෝ ලැදියාව ප්‍රකාශ වන හැසිරීමක් අශෝභන සේ ඇය විසින් සලකන ලදී. මෙම සංස්කෘතිය ආදර්ශයක් ලෙස ගනු ලැබු වේ එංගලන්තයේ මධ්‍යම හා ඉහළ පාංතිකයින්ය. අලුතින් විවාහ වූ මෙම මධ්‍යම හා ඉහළ පාංතික කාන්තාවන් බහුතරයක් විවාහ දිවියට ඇතුළත්වන විට ලිංගික කරුණු පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව (්ඉිදකමඑැ ෂටබදර්බජැ) සිටි බව සමාජ ඉතිහාසඥයෝ පවසති.

පොදු ජනයාගේ ජීවිතයෙන් හා සංස්කෘතියෙන්, රාජකීය ජීවිතය හා සංස්කෘතිය වෙන් කිරීමේ අධිපතිවාදීභාවයෙන් මතු වූ, සංස්කෘතික සිරගෙයක් වූ වික්ටෝරියානු සංස්කෘතිය එංගලන්ත වැසියන් කුණු කූඩයට විසි කර දමා බොහෝ කල්ය. එහෙත් අවාසනාවකට ලාංකිකයින්ගේ සංස්කෘතික පරමාදර්ශයන් තුළ තවමත් ඇත්තේ මෙම වික්ටෝරියානු සංස්කෘතික පරමාදර්ශයන්ය. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි සිතන්නේ මෙම කුණු කන්දල්ද පිරුණු සංස්කෘතියටයි. එය ලාංකිකයින්ගේ ඓතිහාසික උරුමයක් නොවේ.

ලාංකිකයින්ගේ ඓතිහාසික උරුමය තුළ ස්ත්‍රී සිරුරේ හො පුරුෂ සිරුරේ අසිරිය, සෞන්දර්යය පිළිබඳ කතාබහ කිරීම, ලිංගික සබඳතා පිළිබඳ කතාබහ කිරීම අසභ්‍ය දේ වූයේ නැත. කොටින්ම කිවහොත් බෞද්ධ භික්‍ෂුවකටවත් එහි සීමා කඩයිම් නොවීය. භික්ෂූන් විසින් රචිත පැරණි සංදේශ කාව්‍ය ඊට නිදසුන් සපයයි.

ලිංගිකත්වය සහ ඒ මත පදනම් වූ සමාජභාවය පිළිබඳ ලාංකේය සංස්කෘතික මනස නව විද්‍යාව මඟින් ඒ පිළිබඳ සොයාගෙන ඇති නව දැනුමෙන් අලුත් වී නොමැත. පුරුෂයා ඉහළින්මද ස්ත්‍රීය ඊට පහළින්ද, ස්ත්‍රී පුරුෂභාවයන්ට අයත් නොවන ලිංගිකයන්

පහළින්මද තැබීම ලාංකේය සංස්කෘතියේ ස්වභාවයයි. එහෙත් ලොව බොහෝ සමාජයන් මේ ලිංගිකවිවිධත්වය සහ සමාජභාවයන්ගේ සංකීර්ණත්වය පිළිගනිමින් ඇත. මේ සියල්ලන්ම වෙනස්කම් තිබියදීම සමාන අවශ්‍යතා ඇති අයවලුන් ලෙස පිළිගනිමින් සිටිති.

ලංකාව ඉතා ඉහළ ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් සහිත රටක් බවට පත්ව ඇත්තේ ඇයි? ඒ අපගේ ලිංගික සංස්කෘතිය සිර කරන ලද එකක් වීම නිසාය. සාපේක්‍ෂව ලිංගික නිදහස වැඩි රටවල් තුළ සිදුවන ලිංගික අපරාධ ප්‍රමාණය මීට වඩා අඩුය. ලිංගික දේ රහස් සහ අසභ්‍ය ලෙස සලකන අපේ සංස්කෘතිය අති අමානුෂික කම් රාශියකට ඉඩකඩ විවර කරයි. කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය තවමත් අප සමාජය සලිත කරවන ප්‍රශ්නයකි.

ගෝත්‍රික සමාජයේ සිට පැවත එන ගස්ගල් වැඳීම, ඉර-හඳ වැඳීම, යක්‍ෂයින් – ප්‍රේතයින් – භූතයින් සමඟ, මළගිය ආත්ම සමඟ ගනුදෙනු කිරීම ලාංකේය සංස්කෘතිය තුළ කෙතරම් ප්‍රබලද? කුලය අප සංස්කාතිය තුළ කෙතරම් ප්‍රබලද? ඒ සියල්ල තිබියෙදී අපගේ සංස්කෘතිය විශිෂ්ටතම සංස්කෘතියකැයි සිතීම කෙතරම් වැරදි නිගමනයක්ද?

★★★

ලොව පුරා විවිධ සමාජයන්හි ඇත්තේ විවිධ සංස්කෘතීන් බව අප දනිමු. මෙය සංස්කෘතික විවිධත්වය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඓතිහාසික සංවර්ධනයේ ස්වභාවය, පාරිසරික, භූගෝලීය හේතු ආදී විවිධ කරුණු නිසා සංස්කෘතික විවිධත්වය ඇති වේ. විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමඟම සංස්කෘතීන් තුළ වූ දුරස්ථභාවය අද වන විට තුනී වී යමින් පවතී. නිසැකවම එය ජගත් සංස්කෘතියක් දක්වාම ගමන් කරනු ඇත. එහෙත් මේ සංස්කෘතික විවිධත්වය සහමුලින්ම පහව නොයනු ඇත. සංස්කෘතික විවිධත්වය සංස්කෘතික උස්පහත්කම් වශයෙන් සැලකීමට සමහරෙක් හුරු වී ඇත. එකිනෙකාට ආචාර සමාචාර කිරීමේ විදි ලොව පුරා විවිධය. තැනක අතට අත දෙයි, තැනක සිප වැළඳගනී, ජපනුන් හිස නමා ආචාර කරති, ඉන්දියානුවෝ සහ ලාංකිකයෝ දෑත් එකතුකොට ආචාර කරති. මේ එකක් අනෙකට වඩා උස් හෝ පහත් යයි සිතීම නිවැරදි නොවේ. මේවා තේරුම් ගත යුත්තේ වෙනස්කම් නැතිනම් විවිධත්වයන් ලෙසය. එය සංස්කෘතියේ ස්වභාවයකි.

★★★

තමන්ගේ සංස්කෘතිය රැකගැනීම බොහෝ දෙනෙක් වගකීමක් ලෙස ගනිති. එය පරිහානියට යා නොදී රැකගත යුතු බව නැවත නැවතත් අසන්නට ලැබෙන කරුණකි. සංස්කෘතිය ආරක්‍ෂා කිරීම යන ලේබලය යටතේ සිදුකෙරෙන කටයුතු ඔබට සිහිපත් කළ හැකිද?

සිංහල – දෙමළ අවුරුදු සංක්‍රාන්ති සමය “අපේ සංස්කෘතිය රැකීම” යන්න නිතර කියැවෙන කාලයකි.  ආහාර පිසීම සඳහා දැන් ගෑස් ලිප් හෝ විදුලි උපකරණ භාවිතයට ලාංකිකයෝ බොහොමයක් හුරුවී සිටිති. එහෙත් නව අවුරුද්දට ආහාර පිසීම සඳහා ඔවුහු දර ලිපක් සකසති. නිවස තුළටම ජල නල පහසුකම් ඇති නමුත් එදිනට ළිඳකින් කළයට වතුර ගෙන එති. මේ ආදී වශයෙන් අතීතයේ රැඳී සිටීමේ ආශාව, කැමැත්ත සංස්කෘතිය රැකීමද ? ලංකාවේ පාසල් කිහිපයක සහ දහම් පාසල්වල ළමුන්ට ඔවුන්ගේ හුරුපුරුදු ඇඳුම් වන කලිසම්-ෂර්ට් වෙනුවට ජාතික ඇඳුම් ඇඳීමට නියම කර ඇත. එයද සංස්කෘතිය රැකීම යටතේ ලේබල් වී ඇත.

සංස්කෘතියෙහි ස්වභාවය නම් වෙනස්වීමයි. වෙනස් වන තත්වයන් යටතේ වෙනස් වෙමින් වැඩෙමින් ඉදිරියට යාමට නොහැකි සංස්කෘතියක්, සමාජයක් වේ නම් එය සංවර්ධනය වී ඉදිරියට යන සංස්කෘතියක් හෝ සමාජයක් නොවනු ඇත.

වී වගාව කේන්‍ද්‍ර කරගත් කෘෂිකාර්මික සමාජයක් වූ ලාංකේය ගොවියෝ මුලදී තම දෙපයින් මැඩ හෝ ලී කඳක ගසා ගොයම් ගසින් වී ඇටය වෙන් කර ගත්තෝය. පසු කලෙක ඒ සඳහා ගවයන් භාවිතා කරන ලදී. ඊටත් පසුව ගොයම් පෑගීම සඳහාම සකසන යන්ත්‍රයක් කමතට ගෙන ගොස් මේ කාරිය කළහ. වර්තමානයේ කුඹුරටම බසින යන්ත්‍රයක් ගොයම් ගසින් වී ඇට වෙන් කොට ගොයම් ගස සිහිනිවට ලියා ක්‍ෂේත්‍රය තුළම තැන්පත් කොට ගෝනිවලට පුරවන ලද වී ඇට පමණක් ගොවියා අතට පත් කරයි. මෙය සංස්කෘතික පිරිහීමක්ද?

එලෙස පවසන අයද සිටිති. කමත, දැතිගොයියා, බෝල අත්ත නැතිවීම ගැන ඔවුන් සංවේගයට පත්ව සිටිති. දවස පුරා ගිනි අව්වේ ගොයම් කැපීමත්, රාත්‍රී කාලයේ මී හරකුන් ලවා එළිවන තෙක් ගොයම් පෑගීමත්, කමතට ගෙන එන ආහාර එහි සිටම ගැනීමත් තරම් සුන්දර අත්දැකීම් නොමැති බවත් ඔවුහු පවසති. ඇත්තම තත්ත්වය නම් එය ඉතා දුෂ්කර, වෙහෙසකර සහ පීඩාකාරී කටයුත්තක් වීමය. අතීතය ස්මරණය කිරීම, කෙනෙකුට සතුට ගෙන දෙන කාරණයක් විය හැකි වුවත් අතීතයේ නතර වීමට කිසිවෙකුටත් නොහැකිය. සංස්කෘතිය රැකීම යන ලේබලය යටතේ අතීතයෙහි රැඳීමට සමාජයට අණ කිරීම සංස්කෘතිය රැකිමක් නොවන අතර එය නොකළ හැකි කාරියකි.

★★★

සංස්කෘතිය වෙනස් වන ප්‍රධාන ආකාර දෙකක් වෙයි. එක් ආකාරයක් වනුයේ එම සංස්කෘතිය තුළම ඇතිවන ගතිකත්වයන් විසින් එය වෙනස්වීමය. අනෙක් ආකාරය නම් වෙනස් සංස්කෘතීන්ගේ ඇති විවිධ සංස්කෘතික ලක්‍ෂණ තම සංස්කෘතිය තුළට ඈඳා ගැනීමය.

විශිෂ්ටතම දේවල් පැවතියේ අතීතයේ යැයි විශ්වාස කරමින් අපගේ සංස්කෘතික උරුමය සොයා අතීතයට පිය මැනීමට යෝජනා කරන ඊනියා සංස්කෘතික ප්‍රේමීන්ගේ ඊළඟ ප්‍රවාදය වනුයේ පිරිසිදු සංස්කෘතියක් යන්නය. සම්මිශ්‍රණය නොවූ, එකිනෙක සංස්කෘතීන්ගෙන් හුවමාරු කිරීම් කර නොගත් සංස්කෘතියක් වී නම් ඒ මානව සමාජයේ ආරම්භක අවධියේ පමණක් විය යුතුය. මුළු මහත් මානව සමාජයම එකිනෙකා හා බැඳුණු, ගනුදෙනු කරමින් සිටින මේ යුගයේ එය කිසිසේත්ම යථාර්ථයක් නොවේ. විවිධ සංස්කෘතීන්ගෙන් යහපත් දේ උකහා ගැනීමට සහ ස්වීකරණය කරගැනීමට හැකිකම යම් සංස්කෘතියක් විශිෂ්ටත්වයට පත්වීමට හේතුවක් වන අතර එසේ නොවීම සංස්කෘතියක පිරිහීමට හේතුවක් වේ.

උදාහරණයක් වශයෙන් සිංහල භාෂාව ගතහොත් එය ලොව විවිධ භාෂා රාශියකින් තම ශබ්දකෝෂය පොහොසත් කරගත් සහ පොහොසත් කර ගැනීමට ඉඩ ඇති භාෂාවක් නිසා සජීවී භාෂාවක් ලෙස පවතී. සංස්කෘතිය වැනසෙන්නේ යැයි පවසා ඊට ඉඩ නොදුනි නම් කුමක් සිදුවනු ඇත්ද? පරිහරණයට අපහසු සහ ප්‍රමාණවත් නොවන අනෙක් උපකරණ මෙන් සිංහල භාෂාව නම් උපකරණයද අතහැර දමනු ඇත. 2000 වසර වන විට ලොව පුරා භාෂා 7000 ක් පමණ භාවිතා වෙමින් පැවති බව ඇස්තමේන්තු කර ඇති අතර 2050 වන විට ඉන් 90% පමණ අතුරුදහන් වනු ඇතැයි විකිපීඩියා වෙබ් අඩවිය පවසයි.

අප තේරුම් ගත යුත්තේ සංස්කෘතියක් වෙනස්වීම හෝ සම්මිශ්‍රණය වීම සංස්කෘතික පරිහානියක් නොවන බවය. එය එහි ගති ස්වභාවයයි. පිරිසිදු සංස්කෘතියක්, පිරිසිදු ජාතියක් පිළිබඳ මිථ්‍යාව ජාතිවාදය සහ අධිපතිවාදය සමඟ එක්ව ගමන් ගන්නා ගමන් සගයින්ය.

★★★

බටහිර සංස්කෘතික ආක්‍රමණයන් පිළිබඳ ලාංකිකයින් තුළ ඉතා විශාල බියක් පවතී. මෙයට යථාවාදී හේතුවක් තිබේ. ලොව ආධිපත්‍යට පත් වූ ගෝත්‍ර වේවා, ජාතීන් වේවා, දුර්වල ගෝත්‍ර ජාතීන් මත තම ආධිපත්‍ය පතුරුවාලීය. එම මැදිහත් වීම් යුද-දේශපාලන මැදිහත්වීම්වලින් යටපත් කිරීමට සීමා වූයේ නැත. ඒවා සංස්කෘතික ආක්‍රමණයන් වශයෙන්ද පැමිණියේය.

අධිපති ජාතීන්ගේ භාෂාව, ආගම, සිරිත්විරිත්, නීති ආදිය පරාධීන ජාතීන් මත බලහත්කාරයෙන් පැටවනු ලැබිණි. මේ හේතුවෙන් සංස්කෘතිය පිළිබඳ තේරුම්ගැනීම ලාංකිකයන් තුළ වැරදි අන්ත දෙකකට ගමන් කොට ඇත. පළමුව අධිපති ජාතියට අයත් සියලු සංස්කෘතිකාංගයන් කිසිදු විචාරයකින් තොරව උසස් කොට සැලකීම සහ බාර ගැනීමය. මෙය ආධිපත්‍යයට ලක්වීමේ, පරාධීන බවේ ලක්‍ෂණයකි. මෙහි අනෙක් අන්තය නම් බටහිරින් පැමිණෙන සියල්ල කුමන්ත්‍රණයක් සේ සලකා බැහැර කිරීමය. බැලූ බැල්මට එහි අධිරාජ්‍ය විරෝධී, සටන්කාමී සහ ප්‍රගතිශීලී බවත් පෙනෙන්නට තිබුණද හරයාත්මකව ගත් කල එයද අවිචාරාත්මක වැරදි කියවීමකි. ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, මූලික මිනිස් අයිතිවාසිකම්, ස්ත්‍රී විමුක්තිය ආදී සියල්ලම බටහිර කුමන්ත්‍රණ බවට පත් වන්නේ මේ සන්දර්භය තුළය.

★★★

සොබාදහම විසින් සලකුණු කරන ලද සීමාවන් ඉක්මවා මිනිසා විසින් අත්පත් කරගත් සියල්ල සංස්කෘතිය යැයි අපි පැවසූවෙමු. එය එක් තනි මිනිසෙකුගේ හෝ එක් සමාජයක ජයග්‍රහණයක් හෝ හැකියාවක් නොවේ. එය මුළුමහත් මානව සමාජයේම එකතු කිරීම්වල ඵලයක් වේ. එහෙත් මානව සමාජය එක්රැස් කරන ලද සංස්කෘතියේ අනගිතම ඵලයන් භුක්ති විඳීමට මානව සමාජයේ සෑම සියලු දෙනාටම සමාන ඉඩකඩක් නොමැත. දේපළ අයිතියත් සමඟම ඇති වූ පංති බෙදීම් මානව සමාජය පීඩක හා පීඩිත පංති වශයෙන් වෙන් කළේය.

තම ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පීඩික පංතීන්ට ජීවිතයේ වැඩිම කාලයක් ගත කරන්නට සිදු වී ඇත. එනිසා ඔවුන්ට පුළුල් සංස්කෘතික අවකාශයක් අත්විඳීමට ඉඩකඩ අහිමි වී ඇත.

හොඳම ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන, කලාව අත්විඳීමේ හැකියාව ඇත්තේ අධිපති පංතීන්ටය. හොඳම අධ්‍යාපන අවස්ථා මෙන්ම සෞඛ්‍යය පහසුකම් අත්විඳිනුයේත් ඔවුන්ය. දෙස් විදෙස් සංචාර, ප්‍රිය සම්භාෂණ  අත්විඳින්නේද ඔවුන්ය. එක් පිරිසක් සංස්කෘතියේ ඵලයන් සිත් සේ භුක්ති විඳිද්දී තවත් පිරිසකට එය අහිමි වීම ඔවුන්ගේ කැමැත්තද? හොඳ සාහිත්‍යය, සංගීතය, කලාව විඳීමට ඉඩ නොලැබෙන සහ හැකියාව නොමැති මිනිසුන් ගොරහැඩියන් බවට පත් වන බව මිනිසුන් අවබෝධ කරගත්තේ බොහෝ කාලයකට පෙර සිටමය. හොඳ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස නැතිකමින්ද මිනිසුන් මෙවැනි ගොරහැඩියන් බවට පත්වන බව කියන්නේ ඔවුන්ට අපහාස කිරීමට නොවේ. නැවතත් අවධාරණය කළ යුත්තේ ඔවුන්ට සංස්කෘතියේ එම ඵලයන් අහිමිව ඇත්තේ දේපළ බෙදී යාමේ විෂමතාවය නිසා බවය. සංක්ෂිප්ත ලෙස කිවහොත් පංති ප්‍රශ්නය නිසාය.

එය ඔවුනගේ කැමැත්ත නොවුණත් එය ඔවුන්ගේ කැමැත්ත බවට පත් කෙරේ. “පිදුරු සවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ” මෙය ගීතයක එක් පදවැලක් පමණක් නොව මතවාදී ප්‍රවාහයකි. පිදුරු සෙවිලි කළ ගොම මැටි ගෑ ගෙයක පන් පැදුරක් එලා නිදා ගැනීම තරම් සැපවත් ජීවිතයක් නැත, සම්බෝල සහ බත්වලට වඩා රසවත් කැමක් නැත, තේ කහටවලට හෝ තැඹිලි ගෙඩියකට වඩා රසවත් බීමක් නැත, බෙර හඬට වඩා මිහිරි සංගීතයක් නැත, කරත්ත කවියට, පාරු කවියට, පිරිතට වඩා විශිෂ්ට ගායනයක් නැත …මේ ලැයිස්තුව ඉතා දිගය. මෙය නම් සංස්කෘතිය පිළිබඳ අතිශය දුෂ්ට මිථ්‍යාවකි.

මෙහිදී සංස්කෘතිය පිළිබඳ තව විශේෂ කරුණක් කිව යුතුය. එනම් සංස්කෘතිය යනු උගැන්මක්, පුහුණුවක් සහ හුරුවක් මිස ජෛව විද්‍යාත්මක හැකියාවක් නොවේය යන්නය. මේ නිසා බෙර හඬට පමණක් හුරු වූ අයෙක්ට පියානෝවක හඬ ඝෝෂාවක් විය හැකිය. ආහාර-පාන හෝ අනෙකුත් ඇවතුම්-පැවතුම් සම්බන්ධයෙන්ද තත්වයද මෙසේමය.

කෙසේ වෙතත් අපට පැවසීමට අවශ්‍ය වූයේ පංතිමය පදනම මත මුළු මහත් මානව සමාජයටම එකසේ සංස්කෘතිය විඳීමට ඉඩ නොලැබෙන බවය. එමෙන්ම සංස්කෘතිය පිළිබඳ වැරදි මතවාදයන් මගින් එය වසා දමන බවය.

පංතිමය අවශ්‍යතාවයන් මත පංති සමාජයේ අධිපති පංතීන් සංස්කෘතිය පිළිබඳ ඉහත කී ආකාරයේ වැරදි මතවාදයන් ගොඩනගන අතරම ව්‍යාජ සංස්කෘතීන්ද ගොඩනංවයි. ලංකාවේත්, ලෝකයේත් විශේෂයෙන්ම මධ්‍යම පංතිය ගොදුරු වී ඇති අධිපරිභෝජනවාදය එසේ ගොඩනගන ලද ව්‍යාජ සංස්කෘතියකි. කලකට පෙර ලොව පුරාම මධ්‍යම පංතිය හඳුනාගත්තේ උසස් කලාවන් රස විඳින, දියුණු සංස්කෘතික පරාසයක් තුළ සැරිසැරිය හැකි පිරිසක් ලෙසය. නමුත් අද ඔවුනගේ ජීවිත පරමාදර්ශය භාණ්ඩ පරිභෝජනය මෝස්තරයෙන් වැසී ගොස් ඇත. කෙළවරක් නැතිව කෑම බීමත්, භාණ්ඩ මිලදී ගැනීමත් සංස්කෘතික ජීවිතයේ විකෘතියකි. එහෙත් නව ලිබරල් ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය එම සංස්කෘතියයි.

සංස්කෘතිය යනු අතිශය විවාදිත මාතෘකාවක් බව බොහෝ දෙනෙක් ආරම්භයේදී පවසති. පාරිසරික හේතූන්, සමාජයීය-පංතිමය හේතූන්, ඓතිහාසික සංවර්ධනයේ මට්ටම් පදනම් කොට ගනිමින් හැඩගැන්වී

ඇති රාශියක් වූ සංස්කෘතීන්ද, ඒවා නැවත නැවත සම්මිශ්‍රණය වීමෙන් ගොඩනැගුණු සංස්කෘතීන්ද විටෙක එකිනෙකට සමගාමීවද – විටෙක පරස්පරවද යන සංස්කෘතික ලක්‍ෂණයන් ද හේතුවෙන් මෙය සංකීර්ණ විෂයක් වී ඇති අතර එනිසාම විවාදිත වූවක්ද වී ඇත. අප උත්සහ කර ඇත්තේ අපගේ දැක්මට සාපේක්‍ෂව සංස්කෘතිය පිළිබඳ හරි වැරදි බැලීමකටය. එනිසා නිසැකවම මෙම අදහස් විවාදාත්මක වනු ඇත.

Left
2019 January – March