ශිෂ්ටාචාර බිහිවීම හා ඉතිහාසය

Left – 2019 January / March
March 18, 2019
සංස්කෘතික මිනිසා සහ සංස්කෘතිය
March 18, 2019
Show all

ශිෂ්ටාචාර බිහිවීම හා ඉතිහාසය

ඉතිහාසයේ කතාව 07

ඉතිහාසයේ ගමන්මඟ නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනයට අනුව බෙදා වෙන් කරන ඇමෙරිකානු ජාතික ලෙවිස් මෝර්ගන් හා එම උගැන්වීම තවදුරටත් සංවර්ධනය කළ එංගල්ස්, මානව ඉතිහාසය ම්ලේච්ඡත්වය, අශිෂ්ටත්වය හා සභ්‍යත්වය ලෙස යුග තුනකට බෙදා තිබේ. මින් ම්ලේච්ඡත්වය හා අශිෂ්ටත්වය යන යුග දෙකම අයත් වන්නේ ප්‍රාග් ඉතිහාසයට හෙවත් ප්‍රාථමික සාමූහික ක්‍රමය පැවති කාලයටය. සභ්‍යත්වය යනුවෙන් ඔවුන් සඳහන් කරන්නේ පංති සමාජය බිහිවීමත් සමග ඇරඹි යුගයයි.

කෙසේ වෙතත් ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ ජීවත්වූ ආදී ජන සමූහයා පංති සමාජය වෙත පැමිණියේ එක් රැයකින් හෝ සරල ගමන් මඟක් තුළ නොවේ. එය දිගු කලක් තිස්සේ වර්ධනයවූ සංකීර්ණ ක්‍රියාවලියක් විය. එක්තරා ආකාරයක සමාජ සබඳතා වෙනුවට ඊට මුළුමනින්ම වෙනස් හා ප්‍රතිවිරුද්ධ සමාජ සබඳතා නිර්මාණය වීමේ විප්ලවය ඉතාම සංකීර්ණ වූවක් විය.

එසේම පංති සමාජය හා රජය ලොව බිහිවූයේ හැම තැනම  එකවිටම නොවේ. සංවර්ධනයේ වඩා දියුණු හා ඉදිරියට ගිය තැන්වලින් බිහිවූ මෙම සමාජය, ආක්‍රමණ හා යටත් කර ගැනීම් මගින් ලොව අන් ප්‍රදේශවලටද පැතිරිණි. එසේ වුවත් ඊට මේ වනතෙක් හසු නොවූ භූමි භාගයන්ද සැඟවී තිබිණි. සමහර ගෝත්‍රික ජනයා මීට උදාහරණය.

ශිෂ්ටාචාරවල කථාව

පංති සමාජය බිහිවූ යුරෝපයේ ප්‍රථම හා ප්‍රධාන රටවල් වූයේ ග්‍රීසිය, රෝමය, ජර්මනිය යන ප්‍රදේශයන්ය. ඊට අමතරව ඉන්දියාවේ, චීනයේ හා ලතින් අමෙරිකානු ප්‍රදේශවලද මෙම පරිවර්තනය සිදුවිය. ක්‍රි.පූ. 06වැනි සියවස වන විට මේ බොහෝ රටවල්වල රජය බිහිවී රාජ්‍යයන් ගොඩනැගී තිබෙනු ඉතිහාසය තුළ දැකිය හැකිය. එහෙත් ඊට පෙර සිටම පංති සමාජය කරා යන ශිෂ්ටාචාර කිහිපයක්ම ලෝකයේ සමහර තැන්වල තිබුණි. “ශිෂ්ටාචාර” ලෙස හඳුන්වන මෙම ජනාවාසවල විශේෂය වූයේ නිෂ්පාදනය වඩාත් දියුණුවීම සමග එම විශේෂ ප්‍රදේශ අන් ප්‍රදේශවලට ඉහළින් නැගී සිටීමය. ලොව ප්‍රධානම ශිෂ්ටාචාර කිහිපය අපට හමුවන්නේ ගංගා ආශ්‍රිතවය. ඊට හේතුව  කෘෂිකර්මාන්තයේදීත් සත්ව පාලනයේදීත් ප්‍රවාහනයේදීත් ගංගාවන් ඉතාම වැදගත් පාරිසරික මූලාශ්‍රයක් වීමය.

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර අතර ප්‍රධානතම ශිෂ්ටාචාර වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මොසපොතේමියාව (දෙගමැදි ශිෂ්ටාචාරය), ඊජිප්තුවේ නයිල් නිම්නය ශිෂ්ටාචාරය, හොවැංහෝ ශිෂ්ටාචාරය (චීනය) මධ්‍යම ඇමෙරිකාවේ ඉන්කා-මායා ශිෂ්ටාචාර වේ. මින්, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉන්දියාවේ ඉන්දු ගඟේ අතු ගංගා පහ ආශ්‍රිතව පැවති එකකි. (අතීතයේ කලෙක පන්ජාබ් නමින් හැඳින්වූ මේ ප්‍රදේශයේ විශාල භූමි භාගයක් වර්තමාන පාකිස්ථානයට හිමිය.) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන ස්ථාන දෙකක් පැවතිණි. ඒ මොහෙන්දජාරෝ හා හරප්පාය. මෙම ශිෂ්ටාචාරය පැවතියේ ක්‍රි.පූ. 3300-1300 අතර බව පැවසේ. මෙහි ඉතාම සංවර්ධිත නගර ගොඩනඟා තිබූ බවට සාක්ෂි තිබේ. එහි මව් දෙවඟන ඇදහීම කර ඇති අතර, ඒ අනුව එහි මාතෘ මූලික සමාජ ලක්ෂණ හඳුනාගත හැක. ලෝකඩ යුගය ලෙස හඳුන්වන කාලයේ පැවති මෙහි රජයක ලකුණු නැතත් කිසියම් සමාජ සංවිධානයක ලකුණු තිබෙන බව පෙනේ. මෙය පංති සමාජයේ ලක්ෂණ ඇතිවීමට අවශ්‍ය ආර්ථිකමය හේතු සම්පූර්ණ වෙමින් පැවති තත්වයක් බව සිතිය හැක.

උතුරු අප්‍රිකාවේ නයිල් නිම්න ශිෂ්ටාචාරයද (වර්තමාන ඊජිප්තුව) ක්‍රි.පූ. 3100 පමණ කාලයේ පැවති දියුණු ශිෂ්ටාචාරයකි. පසුකලෙක මෙහි රජය ඇතිවූ අතර පාරාවෝ රජවරු හා පිරමීඩ අපට හමුවන්නේ මෙහිදීය. මෙම ප්‍රදේශය දියුණු වීමටද නයිල් ගං මිටියාවතේ සරු පස බලපෑ බව පෙනේ.

ප්‍රථම නිති පද්ධතිය

ලොව ශිෂ්ටාචාර අතර තවත් විශේෂ එකක් වූයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයයි. වර්තමාන ඉරාකය හා කුවේටය අයත් ප්‍රදේශවල පැවති මෙය දෙගංමැදි ශිෂ්ටාචාරය ලෙසද හැඳින්විණි. ඒ, ඉරාකය හරහා ගලා බසින යුප්‍රටීස් හා ටයිග්‍රීස් නම් ගංගා දෙක අතර මෙය බිහිවී තිබීම නිසාය. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයද පැවතී ඇත්තේ ක්‍රි.පූ. 4000 – 3000ක් අතරය. නිෂ්පාදනයේ පෙරළියක් ඇති කිරීමට සමත්වූ රෝදය නිර්මාණය වීම ඊජිප්තුව හා මෙසපොතේමියාව යන ශිෂ්ටාචාර ආශ්‍රිතව සිදුවී ඇත්තේද ක්‍රි.පූ. 3000දී පමණ බැව් පැවසේ.

කෙසේ වෙතත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේම කොටසක පැවති බැබිලෝනියාව රජය බිහිවීමේ උදාහරණයක් අපට පවසයි. ඉතිහාසමය කරුණුවලට අනුව ක්‍රි.පූ. 2335-2154 කාලයේ බැබිලෝනියාව අක්කාඩියන් (Akkadian Babylonia) අධිරාජ්‍ය පැවති කාලය ලෙස හඳුන්වා ඇත. ඉන් කියැවෙන්නේ ක්‍රි.පූ. 20වැනි සියවස වන විට රජය බිහිවීම ඇරඹ තිබූ බවය. මෙහි තවත් විශේෂයක් තිබේ. ඒ ලොව පැරණිම නීති පද්ධතිය ලෙස සැලකෙන මැටි පුවරුවක සටහන් කොට තිබූ හමුරාබිගේ නීති පද්ධතිය බැබිලෝනියාවෙන් හමුවී තීබීමය. ඇසට-ඇස, දතට-දත නීතිය එහි පැවති නීතියකි. බැබිලෝනියාවේ හමුරාබි නම් පාලකයාගේ පාලනය පැවතී ඇත්තේ ක්‍රි.පූ. 1792-1752 කාලයේය.

මෙම කරුණුවලින්ද තහවුරු වන්නේ, ලොව නිෂ්පාදන බලවේග දියුණු වූ, ඒ සඳහා පාරිසරික සාධක තිබූ ස්ථාන ආශ්‍රිතව එම යුගයට සාපේක්ෂ දියුණු මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගී තිබූ බවත් ක්‍රි.පූ. 300 පමණ වන විට බොහෝ තැන්වල මේවා පැවති බවත් රජය බිහිවීම එම සමහර ස්ථානද පදනම් කර ගෙන සිදුවූ බවත්ය. ඒ අනුව ඉපැරණි ශිෂ්ටාචාර යනු අහම්බයක් නොව නිෂ්පාදන බලවේග සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පැන නැගුන ඒවා බව පැහැදිලිය. මේ හැම තැනකම සැලැස්මක් සහිත නගර හා ඉදිකිරීම් තිබූ බවට සාක්ෂි තිබේ.

ලිඛිත ඉතිහාසය ඇරඹීම

ලොව ලිඛිත ඉතිහාසය හෙවත් ලේඛන ගත ඉතිහාසය ආරම්භ වන්නේ, පංති සමාජය බිහිවීමත් සමගය. සැබැවින්ම පංති සමාජය තුළ ඉතිහාසය ලේඛන ගත කළ අය සියලුම දෙනා රජවරුන් හෝ පාලකයන් සෙවණේ සිටි ඔවුන්ගෙන් යැපුණු අය වෙති. ඒ නිසාම ඉතිහාසය ලියනු ලැබුයේ පාලක පංතීන් කේන්ද්‍ර කරගත් ඔවුන් හා ඔවුන්ගේ වික්‍රමයන් ගැන කියැවෙන, ඔවුන් වීරයන් ලෙස උත්කර්ෂයට නංවන ආකාරයෙනි. එම ඉතිහාසය තුළ වැඩකරන ජනයා හා පීඩිත පංතිය නොසලකා හරිනු ලැබ තිබේ. එබැවින් ලොව වර්තමානයේ පවතින ලිඛිත හා අනුමත ඉතිහාසය යනු සත්‍ය කරුණුත්, අනුමාන කරුණුත්, අතිශයෝක්තීන්ද අසත්‍ය කරුණුද එකතුකර ගොඩනංවන ලද ප්‍රබන්ධයක් බව පැහැදිලිය. ලොව අනුමත නිල ඉතිහාසය ප්‍රවේසමෙන් පරිහරණය කළ යුත්තේ මේ නිසාය.

දේපළ පෞද්ගලික වීම පිළිබඳ, රජය බිහිවීම පිළිබඳ ආගම් බිහිවීම හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ, යුද්ධ හා ආක්‍රමණ පිළිබඳ ඉතිහාසය තුළ ඇති  තොරතුරු හා ජයග්‍රහණයන් බොහෝ විට මිථ්‍යාවන් සමග සම්බන්ධ වූ හා පක්ෂග්‍රාහී ඒවා වේ. කොටින්ම ලොව පවතින නිල ඉතිහාසය පාලක පංතීන්ගේ ඉතිහාසයකි; ප්‍රබන්ධයකි. ඉතිහාසය නිවැරදිව තේරුම් ගත යුතු වන්නේ ඒ නිසාය.

ඉතිහාසයේ මහා සිදුවීම්වලට යටින්, එම සිදුවීම් හා පෙරළිවලට හේතුකාරක වන පොදු සාධකයන් හා ක්‍රියාදාමයක් තිබේ. ඉතිහාසයේ සංවර්ධනයේ දයලෙක්තිකය වන මෙය වටහා ගැනීම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමේදී අත්‍යාවශ්‍ය වේ. මෙම ලිපි මාලාව ආරම්භයේදීම එම කරුණු සඳහන් කරනු ලැබුවේද එකී දාර්ශනික පදනම නොමැතිව ඉතිහාසයේ සිදුවීම් තේරුම් ගැනීම නිවැරදිව කළ නොහැකි නිසාය. කෙසේ වුවත් ඉතිහාසය තුළ ආගම, කලාව, දර්ශනය, විද්‍යාව ආදිය බිහිවූ අයුරු මීළඟට කතා කරමු.