වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්යය කොටස

ආදරණීය ෆිදෙල්…
August 26, 2020
සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය
September 9, 2020
Show all

වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්යය කොටස

ප්‍රෙඩ්රික් එංගල්ස්

සියලු ධනයේ මූලාශ්‍රය ශ්‍රමය බව දේශපාලන ආර්ථිකවේදියෝ පවසත්. ශ්‍රමය විසින් ධනය බවට පරිවර්තනය කෙරෙන ද්‍රව්‍ය සපයන ස්වභාවධර්මය හැරුණු විට ශ්‍රමය සැබවින්ම එවැනි මූලාශ්‍රයකි. එහෙත් ශ්‍රමය එයටත් වඩා අපරිමිතය. සකලවිධ මානව පැවැත්මේ ප්‍රථම ප්‍රධාන පදනම ශ්‍රමයය. එය කොතරම් දුරට බලපාන්නේදයත්, ශ්‍රමය විසින් මිනිසා බිහි කරන ලදැයි අප විසින් කිව යුතුව ඇත. මීට අවුරුදු ලක්ෂ ගණනකට පෙර තවමත් නියත ලෙස තීරණය නොකළ හැකි යුගයක, භූවිද්‍යාඥයන් විසින් තෘතීක යුගය ලෙස නම් කරන ලද යුගයේ අවසාන භාගයේදී පමණ එක්තරා නිවර්තන කලාපයක – සමහර විට දැන් ඉන්දියානු සාගරයට ගිලී ඇති ප්‍රදේශයක විශේෂයෙන් උසස් ලෙස වර්ධනය වුණු මානව කල්ප වානරයන් වර්ගයක් බිහිවුණහයි සිතිය හැකිය. අපේ මේ පූර්වජයින් ගැන ඩාවින් දළ විස්තරයක් අපට දී ඇත. උන්ගේ ශරීර මයිල්වලින් ගහනව පැවති අතර උන්ගේ කන් උල් හැඩයක් ගෙන තිබිණි. යටි රැවුල සහිත උහු, රුක් මත වාසය කළහ.2 රුක් නැගීම නිසා අත්වල සහ පාදවලට විවිධ කාර්යයන් පැවරිණි. උන්ගේ ජීවන පරිචය විසින් සමතලා බිම්වල සංචරණයට හේතු වීමේදී ඇවිදින විට අත් භාවිතා කිරීම ක්‍රමයෙන් හීන වී යැයිද, එනිසා උන් වඩාත් සෘජු ඉරියව්වක් ගත්හයිද සිතිය හැකිය. වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ තීරණාත්මක පියවර මෙය විය. අද ජීවත් වන සියලු මානව කල්ප වානරයන්ට සෘජු ලෙස සිටගෙන ඔබ මොබ යා හැකි වුවද, එය ඉතා අදක්ෂ නුහුරු ආකාරයකට පමණකි. උන්ගේ සාමාන්‍ය ඉරියව්ව අර්ධ ඍජු එකක් වන අතර ඒ සඳහා උහු ඉදිරිපස ගාත් භාවිතා කරති. ඉදිරිපස ගාත්වල ඇඟිලිවලින් වැඩි හරියක මැද පුරුක් මහ පොළොවට තද කොට තබා ඇති අතර පසුපස සන්ධි මඳක් ඉස්සී ඇත. සංචරණයේදී උහු දිගැති අත් (පූර්ව සන්ධි) අතරින් සිරුර ඉදිරියට යවති. අබ්බගාතයෙක් කිහිලිකරුවල ආධාරයෙන් ඉදිරියට යන සැටි එය සිහි කරවයි. පොදුවේ වානරයන් අතර අද සතර පයේ සිට දෙපා දක්වා සංචරණය වන සැටි පෙන්වන සියලු පරිවර්තන අවධි දැකිය හැකිය. එහෙත් දෙපයින් යාමට උන් ඉදිරිපත් වන්නේ ඉතා විරල අවස්ථාවල නොකරම බැරි දෙයක් හැටියට පමණකි.


මයිල්වලින් ගහන අපේ පූර්වජයන්ගේ ඍජු ඉරියව්ව ප්‍රථමයෙන් රීතියක් බවටත්, අනතුරුව අවශ්‍යතාවයක් බවටත් පත් විණි නම්, කල්යත්, යත්ම දෑත්වලට වඩා වැඩියෙන් වැඩකටයුතු පැවරුණු බවට පූර්ව නිගමනයක් කළ හැකිය. වැඩවලදී අත්වල සහ පාවල ක්‍රියාකාරීත්වය විභේදනය වීමක් දැනටමත් වානරයන් අතර පවතී. යට සටහන් කළ පරිදි ගස් නැගීමේදී අත් පාදවලට වඩා වෙනත් ආකාරයකට පාවිච්චි කරනු ලැබේ. වානරයන් අත් පාවිච්චි කරන්නේ, ක්ෂිරපායී ගණයට අයත් පූර්ව ගාත් පාවිච්චි කරන ආකාරයට ආහාර එකතු කිරීමට සහ අල්ලා ගැනීමටය. බොහෝ වානරයෝ අත්වල දක්ෂතාවයෙන් කූඩු සාදති. නැත්නම්, චිම්පන්සියා මෙන් කාලගුණයෙන් ආරක්ෂා වීම සඳහා ගස් අතු එකිනෙකට ගොතා පියසි සාදා ගනිති. සතුරන්ගෙන් බේරීම සඳහා උන් දඬු ගන්නේද අත්වල ආධාරයෙනි. උන් තම සතුරනට ගෙඩි සහ ගල් කැටවලින් ගසන්නේද අත්වලිනි. මිනිසාගේ බලපෑමට පත් වූ පසු උහු මිනිසාගෙන් කරගන්නා සමහර සරල ක්‍රියාවන් සඳහා අත් යොදා ගනිති. මිනිසාට ඉතා කිට්ටු මානව කල්ප වානරයන්ගේ නොදියුණු අත්වල සහ වසර ලක්ෂ ගණනක ශ්‍රමය විසින් අති උසස් වර්ධනය වුණු ලෙස මිනිස් අත්වල ඇති අති මහත් වෙනස පෙනෙන්නේ මෙහිදීය. මිනිස් සහ වානර අත් සෑදී ඇති ඇට හා මාංශපේශීන්වල සංඛ්‍යාවද එහි අනුපිළිවෙළද එක සමාන වුවද, මානව කල්ප වානරයන්ගේ අත්වලට කිසිදාක කළ නොහැකි ක්‍රියාවන් පහත් අවධියේ සිටින ම්ලේච්ඡයාට කළ හැකිය. ඉතාම රළු ගල් පිහිය වුව වානර අත්වලට සෑදිය නොහැකිය. වානරයාගේ සිට මිනිසා දක්වා පරිණාමයට අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ මුහුණ පා සිටි අපේ ආදි පූර්වජයාට කළ හැකි වූ මුල්ම ක්‍රියාවන් ඉතා සරල ඒවා විය. වඩාත් වැඩි සත්ව තත්වයක් දක්වා ප්‍රතිගමනයක් පෙන්නුම් කරන අති පහත් ම්ලේච්ඡයන් වුවද, ඔවුන් තුළ කායික දිරාපත් වීම එකවර ඇති වුණද, ඔවුන් මේ පරිණාම අවධියේ සිටි වානරයන්ට වඩා බොහෝ උසස් විය. මිනිස් අත්වලින් ප්‍රථම ගල් පතුර පිහියක් ලෙස සාදා ගැනීමට පෙර, අප දන්නා ඓතිහාසික යුග සහිත කාලයකට සම කරන විට, ඉතා නොවැදගත් කාලයක් ගෙවිණැයි සිතිය හැකිය. එහෙත් තීරණාත්මක පියවර ගෙන තිබිණි. අත නිදහස් විය. එනිසා හස්තමය දක්ෂතාවයත්, වඩාත් වැඩි නම්‍යතාවයකුත් ලබා ගත් අතර එය පරපුරෙන් පරපුරට වැඩි විය. එනයින් අත ශ්‍රමයේ ඉන්ද්‍රියය පමණක් නොව, එය ශ්‍රමයේ ඵලයද වන්නේය. ශ්‍රමයට පින් සිදු වන්නට, වඩ වඩාත් අලුත් ක්‍රියා මෙහෙයුම්වලට හුරු පුරුදු වීමට පින් සිදු වන්නට, මේ හේතුව නිසා විශේෂ වර්ධනයක් ලබන මාංශ පේශීන්වලට හා බන්ධනවලටද ඊටත් වඩා වැඩි කාලයක් ගත වී වර්ධනය ලබන හස්තියේ අස්ථිවලටද පින්සිදු වන්නට, මිනිසාගේ හස්තය අංග සම්පූර්ණත්වයේ කොතරම් උසස් තත්වයකට පත්වීද යත්, හාස්කමකින් මෙන්. රපායෙල්ගේ චිත්‍ර, තෝර්වාල්ඞ්සෙන්ගේ මූර්ති ශිල්පය, පගනීනිගේ සංගීතය නිර්මාණය කිරීමට හස්තය සමත් විය.
එහෙත් හස්තය හුදෙකලාව පැවතුණේ නැත. එය අඛණ්ඩ ඉතා උසස් සංකේන්ද්‍ර ඉන්ද්‍රියයක කොටසක් පමණි. හස්තයට ප්‍රයෝජනවත් දේ වූදේ එය සේවය කරන මුළුමහත් ශරීරයටම ප්‍රයෝජනවත් විය.


මෙය දෙයාකාරයකට සිදුවිය. ප්‍රථමයෙන්ම ඩාවින් ප්‍රකාශ කළ පරිදි වැඩීමේ සහසම්බන්ධ නියාමය නිසා ශරීරයට වාසි සිදුවිය. මෙම නියමය අනුව, ඓන්ද්‍රීය සත්වයෙකුගේ වෙන්වූ කොටස්වල විශේෂිත රූපිකයන් බැලූ බැල්මට ඒවා සමග කොහෙත්ම සම්බන්ධ නැති කොටස් සමග සමහර රූපිකයන් අනුව සම්බන්ධ වී ඇත. එනයින් සෛල න්‍යෂ්ටිකය රහිත රක්ත රුධිර සෛල ඇති, හිස ප්‍රථම කශේරුකාවට සන්ධාන (කන්දක) දෙකක් මගින් සම්බන්ධ වී ඇති සත්තුද විශේෂයක් රහිතව තම පැටවුනට සස්තන ග්‍රන්ථිවලින් කිරි දෙති. එමෙන්ම දෙබලට බෙදුණු කුර ඇති ක්ෂිරපායී සතුන්ට බහුරෝමාන්තක උදරයක් ඇත. සමහර රූපාකාරයන් වෙනස් වීමත් සමගම ශරීරයේ වෙනත් කොටස්වල රූපාකාරයන්ද වෙනස් වෙයි. එසේ වුවද අපට ඒ ගැන නියම හේතු දැක්වීමට නොහැකිය. නිල් පැහැති ඇස් ඇති පූර්ණ සුදු පැහැති බළල්ලු නිතරම නැතිනම් නිතර පාහේ බිහිරන් වෙති. ක්‍රමයෙන් වැඩිවෙන අංග සම්පූර්ණත්වය සහිත හස්තයද එයත් සමග එකට පාද ඍජු ඉරියව්වට සරිලන සේ අනුවර්තනය වීමද සත්තකින්ම එවැනි සහ සම්බන්ධයක් නිසා එය ශරීරයේ අනිත් කොටස් මත ප්‍රතිචාරයක් දැක්විය. කෙසේ වුවද මේ ගැන පොදු ලෙස ගෙනහැර දැක්වීමට වඩා යමක් කීමට තරම් මේ බලපෑම තවම අන්වේෂණය කර නැත.
ශරීරයේ අනිකුත් අවයවයන් මත හස්තයේ වර්ධනය විසින් ඇති කරනු ලබන සෘජු, ඔප්පුකොට පෙන්විය හැකි බලපෑම වඩා වැදගත්ය. අපේ වානර පූර්වජයා රැළවැසි සතෙකු බව අපි යට පැවසූයෙමු. රැළවැසි නොවන ක්‍ෂණික පූර්වජයින්, සතුන් අතරින් අති සමාජීය සත්වයා වන මිනිසාගේ පැවැත්ම බලාපොරොත්තුවීම කොහෙත්ම කළ නොහැක්කකි. හස්තයේ සංවර්ධනය සමගත්, ශ්‍රමය සමගත් ස්වභාව ධර්මය මෙල්ල කිරීම ආරම්භ විය. සෑම ඉදිරි ගමනක් සමගම මිනිසාගේ ක්ෂිතිජය පුළුල් විය. ස්වභාවික වස්තූන්වල මෙතෙක් නොදත් ගුණයන් මිනිසා නොකඩවා සොයා ගන්නට පටන් ගත්තේය. අනිත් අතින් ශ්‍රමය වර්ධන වීම විසින් අපේ සමාජයේ සාමාජිකයන් අනෝන්‍ය ආධාරය සහ එක්සත් ක්‍රියාකාරීත්වය මගින් වඩාත් ලංවීමක් සහ මෙම එක්සත් ක්‍රියාකාරීත්වය වාසි සහගත බව හැමදෙනාටම පැහැදිලි කරවීමක් ඇති කළේය.

කෙටියෙන් කියතොත් මිනිසා බවට පරිවර්තනය වෙමින් සිටි මේ සත්වයාට එකිනෙකා අමතා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති විය. අවශ්‍යතාවය විසින් ඉන්ද්‍රිය බිහි කෙරිණි. වානරයාගේ නොදියුණු ස්වරාලය සෙමෙන් වුවද, ස්ථිර ලෙස ශබ්ද නිසි ලෙස හැසිරවීම මගින් නිත්‍ය වශයෙන්ම වඩාත් වර්ධනය වූ ශබ්ද හැසිරවීමක් දක්වා පරිණාමනය විය. කටේ ඇති ඉන්ද්‍රියයන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් වඩාත් පැහැදිලි ලෙස ශබ්ද උසුරුවා වචන හඬ නැගීමට ඔහු සමත් විය. භාෂාවේ මූලාරම්භය ඇති වූයේ ශ්‍රම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයෙනැයි විස්තර කිරීම, එකම නිවැරදි දෙය බව, අනික් සතුන් සමග සංසන්දනය කිරීමේදී ඔප්පු වෙයි. සතුන් අතරින් ඉතාම වර්ධනය වූ සතුන්ගේ අල්ප සංඛ්‍යාවට පවා එකිනෙකාට යම් යම් දේ දන්වා සිටීමේදී කතාව අවශ්‍ය වන්නේ නැත. ස්වභාවික තත්වයන්හිදී මිනිස් භාෂණය අනුව කතා කිරීමට සහ එය අවබෝධ කර ගැනීමට නොහැකි නිසා සතුන්ට පාඩුවක් නොහැඟෙයි. මිනිසුන් විසින් සතුන් හීලෑ කිරීමෙන් පසු තත්වය හාත්පසින්ම වෙනස් විය. මිනිසාගේ ඇසුරෙහි සිටින බල්ලාට සහ අශ්වයාට ශබ්ද වෙන්කොට ඕනෑම බසකින් හඬනගා කතා කිරීම උන්ගේ සංකල්පන පරිමාව අනුව හඳුනාගත හැකිය. එපමණක් නොව, මේ සතුන් මිනිසා කෙරෙහි ඇල්මක් දැක්වීමට සහ කෘතඥතාව පෙන්වීමට ආදියට සමත්ය. එහෙත් මේ ගතිගුණ උන්ට ඉස්සර සුපුරුදු ඒවා නොවීය. මෙවැනි සතුන් සමග බොහෝ සම්බන්ධකම් ඇති කර ගත් මිනිසුන් උන්ට කතා කිරීමට නොහැකි වීම පාඩුවක් ලෙස දැන් සලකනු නොඅනුමානය. එසේ වුවද, අවාසනාවකට මෙන් උන්ගේ ශබ්ද ශ්‍රවණ ඉන්ද්‍රියයන් සහ ස්වරාල ආදිය වෙනත් දිශාවකට යොමු වූ විශේෂිතයක් දරන බැවින් එයට නිසි පිළියම් කළ නොහැකිය. කතා කිරීමට අවශ්‍ය ඉන්ද්‍රියයන් තිබෙන තැන්වල මේ පාඩුව එක්තරා සීමා තුළ වුවද අහෝසි වෙයි. පක්ෂීන්ගේ මුඛ ඉන්ද්‍රීයයන් මිනිසාගේ මුඛ ඉන්ද්‍රියනට වඩා හාත්පසින්ම වෙනස් වුවද, කතා කිරීම උගෙනීමෙහි සමත් එකම සතා පක්ෂියා පමණකි. පක්ෂීන් අතුරින් අප්‍රසන්න කටහඬක් ඇති ගිරවා අන් සියලු පක්ෂීන්ට වඩා හොඳින් කතා කරයි. ගිරවා උගේ කටින් පිට කරන වචන අවබෝධකර ගැනීමට අසමත්ය යන ප්‍රකාශයට විරුද්ධ නොවෙත්වා. මිනිසා සමඟ කතා කිරීමට ආශාවක් දක්වන ගිරවා ඌ දන්නා වචන සියල්ල කියමින් පැය ගණනක් වුවද කතා කිරීමෙහි දක්ෂය. එහෙත් උගේ සංකල්පයේ පරිමාව අනුව ඌ කියන දේ අවබෝධ කර ගැනීමට ද ඌ සමත්ය. ගිරවාට තේරුම් යන පරිදි පරුෂ වචනයක් ඌට ගැන්වූවොත් (නිවර්තන කලාපික රටවලින් එන නාවිකයන්ගේ ඉතාම ජනප්‍රිය විනෝදයකි.) ඌට සරදම් කළ විට ඌ ඒ වචන පාවිච්චි කරන සැටි දන්නා බව පෙන්වයි. එවිට ඌ බර්ලිනයේ එළවළු වෙළෙන්දියකට නොදෙවෙනි සේ ඒ පරුෂ වචන කතා කරනු ඇත. රස කෑම ඉල්ලා සිටීමේදීද ඌ එලෙසම හැසිරෙනු ඇත. ප්‍රථමයෙන් ශ්‍රමයද, ඉන් අනතුරුව සහ එයත් සමග පැහැදිලි කතාවද යන මේ දේවලින් ලබා ගත් උත්තේජනයන් නිසා වානරයාගේ මොළේ ක්‍රමයෙන් මිනිසාගේ මොළය දක්වා විපරිමාණයට භාජනයට වූ අතර මිනිස් මොළය වානරයාගේ මොළයට වඩා විශාල වී අංගසම්පූර්ණ බවට පත්විය. මොළය වර්ධනය වීමත් සමගම එහි ළඟම අවිවන සංවේදීතාවයන් දියුණු විය. කතාවේ ක්‍රමානුකූල වර්ධනයත් සමගම එයට අනුරූපව ශ්‍රවණ ඉන්ද්‍රීයයන් සියුම් වන්නේ යම්සේද, සමස්තයක් වශයෙන් මොළය වර්ධනය වීමත් සමඟ සංවේදීතාවයන්ද සියුම් විය. රාජාලියාට මිනිසාට වඩා දුර පෙනුණද, රාජාලි ඇසට වඩා මිනිස් ඇස බොහෝ දේ වෙන් කොට හඳුනා ගනියි. බල්ලාගේ ආඝ්‍රාන ශක්තිය මිනිසාට වඩා තීව්‍ර නමුදු, මිනිසාට මෙන් දේවල ලක්ෂණ වෙන් වශයෙන් හඳුනාගත හැකි ගඳ-සුවඳ සියයකින් කොටසක්වත් බල්ලාට වෙන්කොට හඳුනාගත නොහැකිය. ස්පර්ශ සංවේදීතාවය වානරයාට ඉතාම රළු පහත් තත්වයකින් දැනෙන නමුදු, ශ්‍රමයේ මාධ්‍යයෙන් හස්තයේ වර්ධනයත් සමග මිනිසා එය ලබාගෙන ඇත. මොළය වර්ධනය වීමේදී සහ එහි සංවේදීතාවයන්ගේ වැඩි වීමේදී, සවිඥානයේ පැහැදිලිතාවය වැඩි වීමේදීත්, වියුක්තිකරණයේ සහ විනිශ්චයේ බලය වැඩි වීමේදීත් බලපෑ ශ්‍රමයේ සහ කතාවේ ප්‍රතිචාරය මේ දෙකට තව තවත් වර්ධනය වීමට නව ආවේගයන් ලබා දුන්නේය. මිනිසා අවසානයේදී වානරයාගෙන් කැපී වෙන්වී පෙනී සිටීමට පටන්ගත් විටදී මෙම වර්ධනය එහි අවසානයට පැමිණියේ නැත. එහෙත් එය සමස්තයක් ලෙස තවදුරටත් වර්ධනය විය. එම වර්ධනයේ අංශකය හා දිශානතිය විවිධ මිනිසුන් අතර විවිධ කාලවලදී වෙනස් විය. එය එක් හෝ තවත් තැනක තාවකාලික ප්‍රතිගමනයකට පවා භාජනය විය. එක් පසෙකින් එය අලුත් ආවේගයන් ලබා ගනිමින්ද, අනික් පසින් එය මිනිසා සම්පූර්ණ වීමත් සමග ක්‍රියාකාරීවූ සමාජයත් සමග මේ තවත් දුර වර්ධනය ඉතා බලසම්පන්න ලෙස ප්‍රගමනය විය. ගස් නගින වඳුරන්ගේ සිට මිනිසා දක්වා පරිණාමය වීමට මිනිසාගේ ජීවිතයේ එක් තත්පරයකට වඩා වැදගත් නොවන පෘථිවියේ ඉතිහාසය අනුව බලන විට★ නිසැක ලෙසින්ම වසර ලක්ෂ ගණනක් ගෙවී ගියේය.
එහෙත් කෙසේ වුවද එය අවසානයේදී ඇති විය. වානර රංචුවක් සහ මිනිස් සමාජය අතර විශේෂ ලක්ෂණයක් ලෙස අපි යළිත් දකින්නේ මොනවාද? ශ්‍රමයය. භූගෝලීය කොන්දේසි අනුව සහ අසල්වැසි රැළෙහි ප්‍රතිරෝධනය අනුව වානර රැළ තමාට වෙන්වී ඇති ප්‍රදේශයේ ආහාර කා දැමීමෙහි සමත් වූහ. එය වෙනත් ප්‍රදේශවලට යාමටත් ආහාර සඳහා සටන් කිරීමටත් ඉදිරිපත් විය. එහෙත් ඒ වානරයන්ට ස්වභාවධර්මය විසින් දුන් දේ හැර වෙනත් දේ ලබා ගැනීමට දක්ෂතාවයක් නොතිබිණි. උන් කළ එකම දේ අවිඥාතම උන්ගේ අසූචිවලින් ඒ පෙදෙසේ පස සරු කිරීමය. ආහාර ලබා ගත හැකි සියලු පෙදෙස් වානරයන් සතුවූ ඉක්බිතිව, උන්ගේ තවත් දුර වැඩීම නතර විය. වානරයන්ගේ සංඛ්‍යාව වැඩිම වුණොත් එකතැන නැවතීමකට සීමා විය. එහෙත් සියලු සත්තු ආහාර විශාල වශයෙන් විනාශ කරති. එපමණක් නොව සියලු ආහාර බීජ අවස්ථාවේදීම විනාශ කරලීම උන්ගේ සිරිතකි. වෘකයා දඩයක්කාරයා මෙන් නොව, ලබන වසරේ පැටවු ලබා දෙන ගැහැණු සතා වුවද මරාගෙන කයි. ග්‍රීසියේ එළුවෝ ළා තණවලට වැඩීමට ඉඩ නොදී ඒවා සියල්ල කා දැමීම නිසා රටේ කඳුකරය තණරහිත විය. සතුන්ගේ මේ “විලෝපකාරී ආර්ථිකය” නිසා
උන්ට සුපුරුදු ආහාර හැර වෙනත් ආහාරවලට අනුවර්තන වීමට බලකෙරේ. එනිසා උන්ගේ වර්ගවල ක්‍රමානුකූල විපරිණාමයක්ද හට ගනී. මේ නිසා උන්ගේ රුධිරයේ රසායනික සම්මිශ්‍රණයද වෙනස් වී මුළු මහත් කායික සංස්ථීතියද ක්‍රමානුකූල වෙනස් වීමකට පත්වේ. අනුවර්තනයට හසු නොවූ වර්ග වඳවෙති. මේ විලෝපකාරී ආර්ථිකය වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තන වීමේදී අති බලවත් සේවයක් කළ බවට සැක නැත. බුද්ධිය සහ අනුවර්තනය අනුව අන් සියලු වානරයන්ට වඩා උසස් වානර වර්ගයකට, මේ විලෝපකාරී ආර්ථිකය ආහාර සඳහා ගන්නා වූ පැළැටිවල සංඛ්‍යා වැඩිකරවීමටත් සහ පැළෑටිවල ආහාරය සඳහා සුදුසු වූ කොටස් වැඩි වැඩියෙන්
පරිභෝජනය සඳහා ගැනීමටත් බල කළා විය යුතුය. මේ හේතුව නිසා ආහාර වඩාත් විවිධාකාර විය. එයත් සමගම ශරීරය තුළට වදින පෝෂ්‍යදායක හරයද විවිධ විය. මිනිසා දක්වා විපරිණාමයට මුහුණ පෑමේදී මේ හරයේ ඇති රසායනික පූර්වාවයවය වැදගත් විය. එහෙත් මේවා සියල්ල වචනයේ නියම අරුතින් ශ්‍රමය නොවීය. ශ්‍රමය ආරම්භ වූයේ උපකරණ සෑදීමත් සමගය. ප්‍රාග් ඓතිහාසික මිනිසුන් විසින් අපට දායාද කොට ගිය ආදිතම උපකරණ අනුවද ආදී ඓතිහාසීය
ජනතාවගේ ජීවන රටාව අනුවද එමෙන්ම සමකාලීන ම්ලේච්ඡයන්ගේ අවි අනුවද අපට සොයා ගතහැකි ඉතාම ආදිකාලීන උපකරණ මොනවාද? ඒවා දඩයම් කිරීමේ සහ මාළු බෑමේ උපකරණය. මේ උපකරණ මෙන්ම අවි හැටියටද ගැනිණි. එහෙත් සතුන් දඩයම් කිරීම සහ මාළු ඇල්ලීමත් සමගම සම්පූර්ණ එළවළු ආහාරයේ සිට සමගාමී ලෙස මස් භාවිතා කිරීමද ආරම්භ විය. වානරයාගේ සිට මිනිසා දක්වා විපරිණාමය වීමේදී මෙයද ඉතා වැදගත් පියවරක් විය. ශරීරයේ පරිවෘත්තියට අවශ්‍ය සියලු පෝෂ්‍ය ගුණයන් සාදා පිළියෙල කළ ආකාරයෙන් මස් ආහාරයෙහි අඩංගුය. ආහාර දිරවීමට වුවමනා කාල සීමාව කෙටි වීමෙන් සහ පැළෑටි ජීවිතයට සමානුරූපික
වර්ධ්‍ය ශාරීරික ක්‍රියාදාමයන්ද කෙටි කරයි. ඒ අනුව නියම සත්ව ජීවිතයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශනය කිරීම පිණිස වඩාත් වැඩි කාලයක් ද්‍රව්‍යයත් ආයාසයත් ඉතිරි විය. වැඩී එන මිනිසා වඩ වඩාත් පැළෑටි ලෝකයෙන් ඈත්වත්ම ඔහු අනික් සතුන්ට වඩා උසස් වීමට පටන් ගත්තේය. කැලෑ බළලා සහ බල්ලා මිනිසා ළඟින්ම ශාක සහ මාංශ ආහාරවලට පුරුදුවීමත් සමගම මිනිසාගේ මෙහෙකරුවන් බවට පත්වූවක් මෙන්ම වැඩී එන මිනිසා ශාක ආහාරයත් සමගම මාංශ ආහාරයට අනුවර්තනය වීම නිසා ශරීර ශක්තිය සහ ස්වාධීනත්වය ලබා ගත්තේය. මාංශ ආහාරය මොළයේ වැඩීමට විශාල ආධාරයක් විය. දැන් මොළේ පෝෂණයට හා වර්ධනයට අවශ්‍ය වඩාත් වැඩි ජීව
පදාර්ථ ලබා ගත් අතර මොළය පරපුරෙන් පරපුරට වඩාත් යහතින් වර්ධනය විය. එළවළු පමණක් ආහාර කොට ගත් මිනිසුන්ට සියලු ගරු කිරීම් කෙරෙන අතර මාංශ ආහාරයෙන් තොරව, මිනිසා ඇති නොවීය. මාංශ භක්ෂණය නිසා අප දන්නා සියලු ජාතීන් අතර එක් හෝ තවත් විධියකින් මිනීමස් කෑමට (ස්වජාතී භක්ෂණයට) මඟ පෑදිණි නම්, (බර්ලින්වරුන්ගේ පූර්වජයෝ වූ වෙලෙටාබි, නැතිනම්, විලිසියානුන් සිය දෙමාපියන්ගේ සිරුරු ආහාරයට ගැනීම 10වැනි
ශත වර්ෂය දක්වා සිරිතක් කර ගත්හ) දැන් අපට එවැනි දේ ගැන කිසිදු සම්බන්ධකමක් නැතිය.
මාංශ භක්ෂණය තීරණාත්මක වැදගත්කමක් ඇති නව ජයග්‍රහණවලට මග පෑදීය. එනම්, ගින්දර පාවිච්චි කිරීම සහ සතුන් හීලෑ කිරීමය. ගින්දර නිසා ආහාර ජීර්ණය වීම තවත් කෙටි විය. එය අර්ධ ලෙස ජීර්ණය වූ ආහාර මුඛයට ලබා දුන් බැවිනි. සතුන් හීලෑ කිරීම නිසා මස් ආහාර වශයෙන් ලබා ගැනීම සුලභ කළ අතර දඩයම් කිරීමට අමතරව නිතිපතා මාංශ ලබා ගැනීමේ නව මූලාශ්‍රයක් ලබා දුන්නේය. එපමණක් නොව, එය කිරි සහ කිරි ආහාර සපයා දුන්නේය. මෙය මස් සහ එහි සංයුති මෙන්ම වටනා විය. එනයින් මේ ජයග්‍රහණයන් දෙකම මිනිසාගේ නිදහසට නව මාධ්‍යයන් විය.
මිනිසාගේ සහ සමාජයේ සංවර්ධනය සඳහා එයින් ඇතිවූ අනියම් බලපෑම් කෙතරම් වැදගත් වුවද ඒවා, ගැන සවිස්තර ලෙස සටහන් කිරීමට අපට නොහැකිය. එය අපේ තේමාවෙන් ඉවත් වීමක් වන බැවිනි.

මිනිසා ආහාරයට සුදුසු හැම දෙයක්ම පරිභෝජනය කිරීමට ඉගෙන ගත් පරිදිම, ඔහු ඕනෑම දේශගුණයක ජීවත් වීමටද ඉගෙන ගත්තේය. ලෝකයේ ජීවත්විය හැකි හැම පරිසරයකම වාසය කිරීමට පටන්ගත් මිනිසා ස්වශක්තියෙන් එසේ කළ හැකි එකම සත්වයා විය. සියලු දේශගුණයන් යටතේ ජීවත් වීමට පුරුදු වූ අනික් සත්තු හීලෑ සතුන් සහ පරපෝෂිතයන් පණුවන් ආදීන්- මිනිසා කැටුව යමින් එලෙස ජීවත් වූහ. මිනිසා තමන්ගේ මුල් ජන්ම භූමිය වන උණුසුම් දේශගුණයේ සිට වසර ගිම්හානය සහ ශීත කාලය ලෙස බෙදුණු ශීත ප්‍රදේශවල වාසය කිරීමට පැමිණීමත් සමග අලුත් අවශ්‍යතාවයන් පැන නැගිණි. ශීත හා තෙතමනයෙන් ආරක්ෂා වීම සඳහා නිවාස සහ ඇඳුම් අවශ්‍ය විය. එනිසා තවදුරටත් මිනිසා සතුන්ගෙන් වෙන් කර වන ක්‍රියාකාරීත්වයේ නව රූපාකාරයන්ද ශ්‍රම ක්ෂේත්‍රයන්ද ඇති විය. අත්වලත්, කතා කිරීමේ ඉන්ද්‍රියවලත්, මොළයෙහිත් සංයුක්ත ක්‍රියාකාරීත්වය නිසා එක් එක් මිනිසෙකුගේ පමණක් නොව, සමාජයේද වඩ වඩාත් සියුම් ක්‍රියාකාරීත්වයන් සපුරාලීමට මිනිසා සමත් විය. වඩ වඩාත් උසස් පරමාර්ථයන් සඳහා වැඩ කිරීමට මිනිහාට හැකි විය. එක් එක් පරම්පරාවක වැඩ විවිධ, වඩාත් අංග සම්පූර්ණ සහ වඩාත් නානාවිධ විය. දඩයම් කිරීම, සත්ව පාලනයට ගොවිතැනද එකතු විය. ඊළඟට නූල් කැටීම, රෙදි විවීම, ලෝහ වැඩ, වලං සෑදීම, ගංඟා සහ මුහුදු තරණය ඇති විය. වෙළඳාම සහ කර්මාන්තයත් සමග කලාව හා විද්‍යාව අවසානයේදී බිහි විය. ගෝත්‍ර ජාතීන් සහ රාජ්‍යයන් බවට පරිවර්තනය විය. නීතිය හා දේශපාලනය පැන නැගිණි. එයත් සමග මිනිස් සංකල්පනයෙහි මිනිස් සත්තාවේ අත්භූත ප්‍රතිබිම්භයක් හෙවත් ආගම ඇති විය. ප්‍රථමයෙන්ම මනසෙහි ඇති වන නිෂ්පාදිතයන් හැටියට ගැනෙන සහ මිනිස් සමාජයන් මත බලපාන දේ ලෙස ගැනෙන මේ සියලු ප්‍රතිරූපයන් ඉදිරියේ ශ්‍රමකාමී හස්තය විසින් නිපදවන ලද වඩාත් සරල දේ පසුතලයට ඇද වැටිණි. මෙය වඩාත් මෙසේ වූයේ ශ්‍රමය සැලසුම් ගත කළ මිනිස් බුද්ධිය සමාජ සංවර්ධනයේ ඉතා ඈත අවධියකදී (නිදසුනක් වශයෙන්, එවකටත් ආදි කාලීන පවුලේදී) තම හස්තය නොව, පිටස්තර හස්තයන් ලවා තමා අදහස් කළ වැඩ කරවා ගැනීමට හැකියාව ලබා ගැනීම නිසාය. සභ්‍යත්වයේ සීඝ්‍ර ඉදිරි ගමන ලැබූ සියලු ජයග්‍රහණ මිනිස් බුද්ධියටත්, මොළයේ වර්ධනයටත් අයත් බව කියුවෝය. මිනිසා තම ක්‍රියාවන් ස්වකීය අවශ්‍යතාවයන් නිසා නොව, ස්වකීය බුද්ධිය නිසා හට ගත් බව කීමට පුරුදුව සිටී. (මේවා කෙසේ හෝ බුද්ධියෙහි පිළිබිඹුවී හට ගනී) අතර විශේෂයෙන්ම අති පුරාතන ලෝකයේ විනාශයෙන් ඉක්බිතිව, මිනිසාගේ සිත කෙරෙහි තදින් බලපෑ විඥානවාදී ජගත් දර්ශනය කල්යත්ම පැනනැංගේය. මේ විඥානවාදී ජගත් දර්ශනය කොතරම් දුරට බලපාතිදයත්,
ප්‍රකෘති විද්‍යාවන්ගේ ඉතාම ද්‍රව්‍යවාදී ගුරුකුලය වන ඩාවින්වාදය පවා මිනිසාගේ සම්භවය පිළිබඳව තවමත් පැහැදිලි සංකල්පයක් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටියි. මන්දයත් එය විඥානවාදී දෘෂ්ටිමය බලපෑම යටතේ සිටින නිසා ශ්‍රමය ඉටුකළ ක්‍රියා කොටස පිළිනොගන්නා බැවිනි.
අප විසින් යට සටහන් කළ පරිදි, සත්තුද, මිනිසා මෙන් පුළුල් ලෙස නොවුවද, උන්ගේ ක්‍රියාකාරීත්වය අනුව පරිසරය වෙනස් කරති. අනිත් අතට මේ වෙනස් වීම් ඒවා ඇති කළ අය මත බලපායි. ස්වභාවධර්මයෙහි කිසිවක් හුදෙකලාව ඇති නොවේ. එක් ප්‍රපංචයක් අනිකක් මත ක්‍රියාකාරී වන අතර එය ආපස්සට ක්‍රියාකාරි වෙයි. වැඩිමනත් මේ බහුපාශ්වීය ක්‍රියාකාරීත්ව සහ අන්තර් ක්‍රියාකාරීත්වය අමතක වීම නිසා ඉතා සරල දේ සුපැහැදිලිව දැකීමට අපේ ප්‍රකෘති විද්‍යාඥයෝ අසමත් වෙති.

ග්‍රීසියේ කැළෑවල ප්‍රතිජනනය එළුවන් වළක්වාලූ සැටි අප දුටිමු. සෙන්ට් හෙලේනා දූපතට පැමිණි මුල් වැසියන් ගෙනෙන ලද එළුවන් සහ ඌරන් විසින් එහි තිබූ සියලු පැළෑටි කා දැමූ නිසා පසු කාලෙක නාවිකයන් සහ ජනපදවාසීන් ගෙනා අලුත් පැළෑටි වර්ග රෝපණය කරන ලදී. එහෙත් සතුන් පරිසරය මත සදාකාලික බලපෑමක් ඇති කරන්නේ හිතාමතා නොව, අහම්බෙන් මෙනි. මිනිසා සතුන්ගෙන් ඈත් වන තරමට, කෙසේ වුවද, කලින් සිතා ගත් අරමුණක් අනුව, නියත ක්‍රියාකාරී මෙහෙයවීමක් අනුව ස්වභාවධර්මය මත වැඩි බලපෑමක් ඇති කරයි. සත්තු උන් කරන දේ නොදැන යම්කිසි පෙදෙසක ශාක ලෝක විනාශ කරති. එහෙත් මිනිසා එවැනි විනාශයක් කරන්නේ බෝගවලට බිම් ලබා ගැනීමටය. නැතිනම්, රෝපණය කරන ප්‍රමාණයට වඩා බොහෝ වාරයක් වැඩියෙන් ඵලදාව ලබා ගත හැකි ගස් හා මිදි සඳහාය.


මිනිසා පලදායී පැළෑටි සහ හීලෑ සතුන් එක් රටක සිට තවත් රටකට ගෙනගොස් එමගින් මුළු මහද්වීපවල ශාක හා සත්ව සංහතිය වෙනස් කෙරෙයි. එපමණක්ද නොවේ. මිනිසා මෙහෙයවන කෘත්‍රිම අභිජනනය නිසා පැළෑටි සහ සතුන් කොතරම් වෙනස් වන්නේද යත්, එය හඳුනා ගැනීම පවා ලෙහෙසි නොවේ. අපේ ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගවල මූල වල් ධාන්‍ය සෙවීම පවා දැන් කළ නොහැකි දෙයකි. අප විසින් අභිජනනය කරන ලද, එකිනෙකට බෙහෙවින් වෙනස් බල්ලන් ඇති වූයේ කිනම් වල් සතෙකුගෙන්ද, නැතිනම්, එවැනිම විවිධත්වයක් දක්වන අශ්වයන් ඇති වූයේ කිනම් අශ්වයෙකුන්ද යන්න ගැන තවමත් මතභේදයක් පවතී. සත්තු සැලැස්මානුගතව සහ සිතාමතා ක්‍රියා නොකරතියි අපි නොකියමු. එයට ප්‍රතිපක්ෂව ප්‍රාක් ප්ලාස්මය, ජීවමය ඇල්බියුමය පවතින සහ ක්‍රියාකාරී වන සෑමතැනම සැලැස්මානුගත ක්‍රියාකාරිත්වයක් පවතී. එනම්, ඉතාම සරල වුවද නියත බාහිර උත්තේජනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් නියත ක්‍රියාකාරිත්වයක් ඇති කෙරෙයි. ස්නායු සෛලය පමණක් නොව, කිසිදු සෛලයක් නොමැති තැන්වල පවා එවැනි ප්‍රතික්‍රියා ඇති වේ. කෘමිභක්ෂණ පැළෑටි සිය ගොදුරු අල්ලා ගැනීම එක්තරා සැලැස්මානුගත ක්‍රියාකාරිත්වයක් වුවද, ඒවා කරනු ලබන්නේ විඥාතව නොවේ. සතුන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනයට සමානුපාතිකව විඥාත, සැලසුම්ගත ක්‍රියාකාරිත්වයක් ඇති වන අතරම ක්ෂිරපායී සතුන් අතර එය සෑහෙන තරම් උසස් තත්වයට එළැඹේ. එංගලන්තයේ හිවල් දඩයමේ යෙදෙන විට හිවලා ඌ ලුහුබඳින්නන්ගෙන් බේරීම සඳහා ප්‍රදේශය ගැන උගේ ඉතා උසස් දැනුම ඉතා දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගන්නා සැටි කෙනෙකුට වටහාගත හැකිය. පා සටහන් ඉව ඇල්ලීම විනාශ කරනු වස් හිවලා පාවිච්චි කළ හැකි හැම වාසියක්ම පාවිච්චි කරයි. මිනිසා ඇසුරු කරන නිසා වඩාත් උසස් හීලෑ සතුන් ළමයින් මෙන්ම කපටිකම්වල යෙදෙන සැටි අප නිරීක්ෂණය කරමු. මව් කුස තුළ මිනිස් කළල රූපයේ සංවර්ධිත ඉතිහාසය, අවුරුදු කෝටි ගණනක් තිස්සේ පණුවාගේ පටන් අපේ සත්ව පූර්වජයන්ගේ කායික පරිණාමය සටහන් කෙරෙන සංක්ෂිප්ත පුනරාවර්තනයක් පමණකි. ඒ අනුව මිනිස් ළදරුවාගේ මානසික වර්ධනද අපේ සත්ව පූර්වජයන්ගේ, යටත් පිරිසෙන්, මෑත සතුන්ගේ මානසික වර්ධනයේ සංක්ෂිප්තයක් පමණකි. එහෙත් සියලු සතුන්ගේ සියලු සැලසුම් ගත ක්‍රියාකාරිත්වයන් ස්වභාධර්මය මත උන්ගේ අභිමතයේ සටහන් තැබීමට සමත් නොවීය. මෙය කිරීම මිනිසාට පැවරිණි. කෙටියෙන් පවසතොත්, සතා ඌ අවට පරිසරය පාවිච්චි
කරනවා පමණකි. උගේ පැවතීම විසින් වෙනස් කෙරෙනවා පමණකි. එහෙත් මිනිසා එය වෙනස් කිරීම මගින් තමාගේ අවශ්‍යතාවයන්ට එය උපයෝගී කර ගනියි. එය මත ආධිපත්‍යය උසුළයි. මිනිසා සහ අනිකුත් සතුන් අතර ඇති අවසාන මූලික වෙනස මෙයය.

යළිත් මේ වෙනස ඇති කරන්නේ ශ්‍රමය විසිනි. ස්වභාවධර්මය අභිබවා මිනිසා ලබා ගත් ජයග්‍රහණයන් ගැන අපි එතරම් මුළාවට පත් නොවෙමු. ඒ හැම ජයග්‍රහණයකදීම එය අපෙන් පළි ගනියි. ඒ හැම ජයග්‍රහණයකදීම, ප්‍රථම කොටම අපට අප බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබේ. එහෙත් දෙවනුව සහ තෙවනුව, බලාපොරොත්තු රහිත විපාකයන් ලබා දෙන බැවින් නිතර පාහේ මුල් ජයග්‍රහණය අහෝසි කෙරේ. මෙසපොතේමියාවේ, ග්‍රීසියේ සහ සුළු ආසියාවේ හා අනිකුත් පෙදෙස්වල මිනිස්සු වගාවට බිම් සකස් කිරීම පිණිස කැලෑ එළිකළහ. එහෙත් ඔවුහු ඒ රටවල කාන්තාරවලට ඉඩ සලසමින් කැලෑද, තෙතමනය එක්තැන්වීමේ ස්ථානද විනාශකර දැමූහ. ඉතාලි ජාතිකයෝ ඇල්පයින් කඳුවල දකුණු දිග බෑවුමේ ඇති ඉතා සැලකිලිමත් ලෙස උතුරදිග බෑවුම රැක ගනිමින්, -පයින් ගස් කපා දැමූ විට එමගින් තම ප්‍රදේශයේ කඳුකර සත්ව වගාව මුලිනුපුටා දමන බව නොදැන සිටියහ. එසේ කිරීමෙන් අවුරුද්දේ වැඩි කොටසක කඳුකර උල්පත් ජලය තමනට නැති කර ගන්නා බවද මේ නිසා වැහිකාලවලදී අතිමහත් ජලකඳක්, තැනිතලා භූමියට ඇද වැටෙන බවද ඔවුහු ඊටත් වඩා අඩුවෙන් දැන සිටියහ. පිටි සහිත නාලවලින් යුත් අර්තාපල් යුරෝපයේ බෝ කළ මිනිසුන් එයින් කන්ඨමාලා රෝගය සෑදෙන දැන සිටියේ නැත. එනයින් අප ස්වභාවධර්මය මැඩ නැගීසිටින හැම වාරයකදීම, පිටරටවල ජනතාව මැඩ ජයග්‍රහණ ලබන පරිදි ජය නොලබන බවත්, ස්වභාවධර්මයට පරිබාහිරව සිටින බලයක් ලෙස එය නොමඩින බවත්, එයට ප්‍රතිපක්ෂව අප ස්වභාවධර්මය තුළ අපේ ශරීරය, රුධිරය සහ මොළය එයට අයත් බවත් අනිත් සතුන්ට වඩා වෙනස්ව, ස්වභාවධර්මයේ නියමයන් හඳුනාගෙන එයට නිසිලෙස ව්‍යවහාරයට යෙදවීමට හැකියාව ඇති නිසා ඒ සියලු ජයග්‍රහණ රඳා පවතින බවත් එය අපට මතක් කරයි.


එමෙන්ම ඇත්ත වශයෙන්ම, ගෙවී යන සෑම දවසක් පාසාම මෙම නියාම ගැන අපට වඩාත් හොඳ වැටහීමක් ලැබෙන අතර ස්භාවධර්මයේ සම්ප්‍රදායික පිළිවෙතට අත පෙවීම නිසා වඩාත් ක්ෂණික සහ වඩාත් ඈත විපාක ගැන සංජානනය කිරීමටද අපි ඉගෙන ගතිමු. විශේෂයෙන්ම අද්‍යතන ශතවර්ෂයේ අති ප්‍රබල ප්‍රගමනයෙන් ඉක්බිතිව, යටත් පිරිසෙන් අපේ දෛනික නිෂ්පාදන ක්‍රියාකාරිත්වයේදී පවා, වඩ වඩාත් ඈත ස්වභාවික විපාකයන් සාක්ෂාත් කර ගැනීමටත්, එනිසාම ඒවා පාලනය කිරීමටත් තත්වයක අපි සිටිමු. එහෙත් මේ ප්‍රගමනය වැඩිවන ප්‍රමාණයට මිනිසුන්ගෙන් වඩාත් වැඩි සංඛ්‍යාවක් ස්වභාවධර්මය හඳුනාගන්නවා පමණක් නොව, එයත් සමග ඒකීය වෙති. යුරෝපයේ ආචීර්ණ කල්පික පුරාණ සමයේ වැටීමත් සහ කිතුණු සමය එහි උපරිම වර්ධනයත් ලැබූ පසු ඇතිවූ සිත සහ ද්‍රව්‍යය අතරත්, මිනිසා සහ ස්භාවධර්මය අතරත්, ආත්මය සහ ශරීරය අතරත් ඇතැයි කියන භේදය නැමැති මෙම තේරුම් විරහිත අස්වාභාවික සංකල්පය වලංගු වේ. නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපේ ක්‍රියාකාරීත්වය නිසා වඩාත් ඈත ඇතිවිය හැකි ස්වාභාවික විපාක ගැන ගණන් බැලීමට ඉගෙන ගැනීම සඳහා අපට වසර දහස් ගණනක් ගත විය. මේ ක්‍රියාවන් නිසා ඇති විය හැකි සමාජයීය විපාක ගැන සලකා බැලීම වඩාත් අසීරුය.


අර්තාපල් වැවීම පැතිරයාමත් සමගම කණ්ඨමාලා රෝගය පැතිරයාම ගැන අපි මතක් කළෙමු. එහෙත් රටවල් බොහෝ ගණනක පොදු ජනතාව අර්තාපල් ආහාර වශයෙන් ගෙන ජීවත් වීම නිසා ඔවුන්ගේ ජීවන තත්වයට වූ හානියත්, 1847දී අර්තාපල් වසංගත රෝගය නිසා එය පමණක් ආහාර වශයෙන් ගත් දස ලක්ෂයක් අයිරීෂ් ජාතිකයන් මරුමුවට පත්වීමත් සහ විසි ලක්ෂයක් අයිරිෂ් ජාතිකයන් රටහැර සාගර තරණයෙහි යෙදීමත් කණ්ඨමාලා රෝගය සමග සංසන්දනය
කරන්නේ කෙසේද? අරාබි ජාතිකයන් ස්ප්‍රිත්තු ආසවනය කිරීමට ඉගෙන ගත් විට, එවකට සෙසු ලෝකය නොදැන සිටි ඇමරිකා මහද්වීපයේ ආදි වැසියන් විනාශ කර දැමීම සඳහා එය ප්‍රධාන අවියක් බට පත් වෙතියි ඔවුහු සිහිනෙකින්වත් නොසිතූහ. කොළොම්බස් ඇමරිකාව සොයා ගත් විට, එසේ කිරීමෙන් යුරෝපයේ බොහෝ කලකට පෙර නවත්වා දමා තිබුණු වහල් වෙළඳාමට නව පණක් දෙන ලෙස නිග්‍රෝ වහල් වෙළඳාමට පදනමක් දමතියි ඔහු කිසි ලෙසකින්වත් නොසිතුවේය. වාෂ්ප බලයෙන් ක්‍රියාකාරී වන යන්ත්‍රයක් සෑදීම සඳහා 17 වැනි සහ 18 වැනි ශත වර්ෂවලදී වෙහෙසුණු මිනිස්සු, ලෝකයේ සමාජීය සබඳතාවයන් අන් හැම දේකටම වඩා විප්ලවවාදී බවට පත් කරවන උපකරණයක් සාදන බව කිසි දිනක නොසිතූහ. විශේෂයෙන්ම යුරෝපයේ අල්පතරයක් අත ධනය සංකේන්ද්‍රගත කොට ඇති මහත් බහුතරය නිර්ධනීන් බවට පත් කොට මේ උපකරණය ප්‍රථමයෙන් ධනපති පංතියට සමාජීය සහ දේශපාලන බලය ලබා දෙනු ඇත.


එහෙත් පසු කලෙක මේ නිසා ධනපති පංතියත්, නිර්ධන පංතියක් අතර පංති අරගලය පැන නගින අතර එය කෙළවර විය හැක්කේ ධනපති පංතිය බලයෙන් නෙරපා දමා සියලු පංති ප්‍රතිඝතිකතාවයන් අහෝසි කරලීමෙනි. එහෙත් මේ ක්ෂේත්‍රයේද, දීර්ඝ සහ නිතර පාහේ ක්‍රෑර අත්දැකීම්වලින් සහ ඓතිහාසික දත්තයන් එකතු කිරීමෙන් සහ විශ්ලේෂණයට භාජනය කිරීමෙන් අපේ නිෂ්පාදන ක්‍රියාකාරීත්වයේ අනියම් සහ වඩාත් ඈත සාමාජීය විපාක ගැන වඩාත් පැහැදිලි
චිත්‍රයක් ලබා ගැනීමට අපි ඉගෙන ගනිමින් සිටිමු. එමෙන්ම එම විපාක ඵලයන් අපේ ආධිපත්‍යයට සහ තීරණයට යටකරලීමට හැකියාවක් අපි ලබා ගනිමු. මේ ක්‍රම නියාමකයට කෙසේ වතුදු ක්‍රියාවේ යෙදවීමට සාමාන්‍ය දැනීමට වඩා යමක් අවශ්‍ය වේ. මෙතෙක් පැවති නිෂ්පාදන ක්‍රමයේ
පූර්ණ විප්ලවයක්ද, එවැනිම එකවර අපේ සමකාලීන සමාජ පිළිවෙතේ විප්ලවයක්ද අවශ්‍ය වේ.
මෙතෙක් පැවති සියලු නිෂ්පාදන ක්‍රම ශ්‍රමයේ ඵලය ඉතා ක්ෂණික ලෙසත්, සෘජු ලෙසත් ලබා ගැනීම පමණක් අරමුණු කරගෙන සිටියේය. පසුකාලෙක ඇතිවුණ ක්‍රමානුකූල පුනරාවෘත්තය සහ සමුච්ඡය මගින් බලපෑ තවත් දුර විපාක සම්පූර්ණයෙන්ම බැහැර කරන ලදී. එක් අතකින් මූලික සාමූහික ඉඩම් අයිතිය මිනිසාගේ ක්ෂිතිජය තමාට ඉතාම සමීපව පිහිටි දෙයට සීමා වීමකට අනුරූප විය. අනිත් අතින්, මේ ආදී කල්පිත ආර්ථිකයේ ඇති විය හැකි අයහපත් ප්‍රතිඵලවලින් තරමක් දුරට හෝ වළක්වා ගැනීම පිණිස එක්තරා ප්‍රමාණයක ඉඩම් අතිරික්තයක් එය පූර්ව නිගමනය කළේය. මේ ඉඩම් අතිරික්තය අහෝසි වූ විට, පොදු ඉඩම් අයිතියේද පහත වැටීමක් ඇති විය. ඉන්පසු නිෂ්පාදනයේ සියලු උසස් රූපිකයන්, විසින් කෙසේ වතුදු, ජනගහනයේ විවිධ පංතීන්වලට බෙදීමත් සහ එමගින් ආධිපත්‍ය උසුළන සහ පෑගෙන පංතීන් අතර ප්‍රතිඝතිකතාවයක් ඇති කෙරිණි.


එනිසා නිෂ්පාදනයේ ගාමක බලවේගය වූයේ පාලක පංතියේ වුවමනාවන්ය. මන්දයත්, පෑගී සිටින මිනිසුන්ගේ ඉතාම අඩු යැපීම් මාධ්‍යයන් සපයාලීමට පමණක් තවදුරටත් නිෂ්පාදනය සීමා නොවූ
බැවිනි. අද බටහිර යුරෝපයේ පවතින ධනවාදී නිෂ්පාදන ක්‍රමය ඉතා පූර්ණ ලෙස මෙය ක්‍රියාවට යොදවා ඇත. නිෂ්පාදනය සහ හුවමාරුව පාලනය කරන පෞද්ගලික ධනපතියෝ තමන්ගේ ක්‍රියාවල ඉතා ක්ෂණික ප්‍රයෝජනවත් ඵලය ගැන පමණක් බලති. සත්තකින්ම මෙය ප්‍රයෝජනවත් ඵලය වුවද – නිපදවන ලද හෝ හුවමාරු කරගත් හෝ වෙළඳ භාණ්ඩයේ ප්‍රයෝජනවත්භාවය ප්‍රශ්නයක් පමණක් වන හෙයින්-පසුතලයට ඇද වැටේ. එකම උත්තේජනය වනුයේ විකිණීමෙන් ලැබෙන ලාභය පමණි.


ධනපති පංතියේ සමාජයීය විද්‍යාව වන සදාතනික දේශපාලන අර්ථශාස්ත්‍රය ප්‍රධාන වශයෙන් පිරික්සුමට හසු කරගන්නේ කෙළින්ම අදහස් කරන ලද නිෂ්පාදන සහ හුවමාරු ක්ෂේත්‍රයේ
මිනිස් ක්‍රියාකාරීත්වයන්ගේ සාමාජීය විපාකයන් ගැන පමණකි. එය න්‍යායික ප්‍රකාශනයක් වන සමාජීය සංවිධානවලට මෙය පූර්ණ ලෙස අනුරූප වේ. පෞද්ගලික ධනපතීන් ක්ෂණික ලාභය තකා නිෂ්පාදනයෙහි සහ හුවමාරුවෙහි යෙදී සිටින නිසා ඉතාම ළඟ සහ ඉතාම ක්ෂණික ප්‍රතිඵල පමණක් පළමුවෙන්ම සැලකීමට භාජනය කළ යුතුය. පෞද්ගලික නිෂ්පාදකයා හෝ වෙළෙන්දා නිෂ්පාදනය කළ නැතිනම් මිලදී ගත් භාණ්ඩ සාමාන්‍ය සංවෘත ලාභයක් සඳහා අලෙවි කරන තුරු ඔහු සෑහීමකට පත් වන අතර භාණ්ඩයට සහ එය මිලදී ගත්තවුණට පසුවට මොනවා වෙතිදැයි යන්න ගැන ඔහු සොයා නොබලයි. එම ක්‍රියාවන්ගේ ස්වභාවික ඵලයද එවැනිම තත්වයක් ඇති
කරයි. කියුබාවේ කඳුබෑවුම්වල කැලෑවලට ගිනිතබා එම භෂ්මවලින් ඉතා හොඳ පොහොර ලබාගෙන එක් පරපුරකට පමණක් කෝපිවලින් අතිවිශාල ලාභයක් ලබා ගත් ස්පාඤ්ඤ වතුහිමියන් දැක්වූ සැලකිලි මොනවාද? – එම ක්‍රියාවේ විපාකයක් හැටියට ඉන් අනතුරුව ඇති වූ
නිවර්තන වර්ෂාපතනය විසින් කඳුවල ආරක්ෂා විරහිත පස් තට්ටුව සෝදා හැර නග්න පාෂාණ කඳු පමණක් ඉතිරිවීම ගැන ඔවුනට ඇති පාඩුව කුමක්ද? ස්වභාවධර්මය සම්බන්ධයෙනුත්, සමාජය
සම්බන්ධයෙනුත් අද්‍යතන නිෂ්පාදන ක්‍රමය ඉතා ක්ෂණික සහ ඉතා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ගැන පමණක් ප්‍රධාන වශයෙන් සැලකිලි දක්වයි. ඉන් අනතුරුව මේ ක්‍රියාවට සම්බන්ධ වූදේ ඊට හාත්පසින්ම වෙනස් වැඩි වශයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ඈත විපාක ගැන මවිතය ප්‍රකාශ කරති;
වසර දහයකට වරක් ඇති වන කාර්මික චක්‍රය විසින් පෙන්වාදී ඇති පරිදි, සැපයුමේ සහ ඉල්ලුමේ ඇති සංගතිකතාවය ඊට හාත්පසින්ම වෙනස් දෙයක් දක්වා පරිවර්තනය කර ඇත. ජර්මනියේ පවා මේ “විනාශයේ” කුඩා ප්‍රාථමික අත්දැකීමක් දැක ඇත. කෙනෙකුගේ ශ්‍රමය මත පදනම් වී ඇති පෞද්ගලික අයිතිය කම්කරුවන් විසින් අයත්කර ගැනීම රහිතවීම දක්වා අවශ්‍ය ලෙසින්ම වර්ධනය විය යුතුය.

සියලු ධනය ශ්‍රමිකයන් නොවන ජනතාවගේ අත්වල සමුච්ඡ ගතවන අතර; එය (…)★

★ මෙතැනදී අත්පිටපත නවතී – සංස්කාරක

අත්පිටපත අනුව මුද්‍රණය කෙරිණි.
පරිවර්තනය ජර්මන් බසිනි.
1876 එංගල්ස් විසින් ලියන ලදී