වර්තමාන ලාංකේය චිත්‍රපට යථාර්ථයේ පැතිකඩක්

How a Hollywood spy film brainwashes us
March 10, 2017
අමරණීය මතකයක් ගැන…
March 10, 2017
Show all

වර්තමාන ලාංකේය චිත්‍රපට යථාර්ථයේ පැතිකඩක්

– ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි –

1947 ඇරැඹුණු ලාංකේය කතානාද සිනමාවට දැනට වසර 69කි. මේ සප්ත දශකය පුරා අප සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් වෘතාන්ත චිත්‍රපට 1,400ක් පමණ බිහි කර ඇත. මේ වකවානු තුළ චිත්‍රපට කර්මාන්තය, චිත්‍රපට සංස්කෘතිය යන පාර්ශ්ව දෙකම සුවිශාල වෙනස්කම් රැසක් පසු කොට පැමිණ ඇත. එය චිත්‍රපට කර්මාන්තය, නිර්මාණයේ ගුණාත්මක භාවය, ඛෙදාහැරීම, ජාත්‍යන්තර අවධානය, චිත්‍රපට ප්‍රදර්ශනයේ මාදිලිවල ඇති වූ වෙනස්කම්, චිත්‍රපට රසිකයාගේ චිත්‍රපට බැලීමේ පුරුද්ද, ඊට ඇති අවකාශය හා නව ප්‍රවණතා, පුහුණු පාඨමාලා, කෙටි චිත්‍රපට ප්‍රවණතා, ජංගම දුරකථන චිත්‍රපට ප්‍රවේශ, සිනමා හල් වැසී සුපිරි වෙළෙඳ සල් විවෘත වීම, චිත්‍රපට සංස්ථාව අකර්මණ්‍ය වුව ද, මහජන මුදල් නසමින් පවත්වාගෙන යාම, චිත්‍රපට රසිකයා මිය ගොස් පාරිභෝගිකයා අධිනිශ්චය වීම බඳු තේමා රැසක පැතිරී ගොස් ඇත.
අද අප පසු කරමින් සිටින්නේ ලාංකික සිනමාවේ තාක‍ෂණ ධනවාදී අවධියකි. චිත්‍රපටය පිළිබඳ සම්භාව්‍ය මතවාද වෙනස් වෙමින්, රසිකයා පාරිභෝගිකයකුට ඌනනය වෙමින් පවතී. මේ ඉසව්වේ දී රසිකයා
පාරිභෝගිකයකු වීම සාර්ථක කර්මාන්ත ව්‍යුහ පවතින බටහිරදී ද වෙනසක් නැත. එහෙත්, එම පරිසරයේ ව්‍යාපාර හා කර්මාන්ත. නිශ්චිත දර්ශකවල ස්ථාපිතව ඇත. රසිකයා ද විමතියකින් තොරව සවිඥානික පරිභෝජනයක යෙදී සිටී. දළදාවේ බලමහිමයෙන් හෝ ශ්‍රී මහා බෝධියේ ආනුභාවයෙන් හෝ චිත්‍රපට තැනීම, එය දෘෂ්ටිවාදයක් තෙක් මුසාවෙන්, රැවටීමෙන් ප්‍රගුණ කරවා රසිකයා බිය ගන්වා අතීතකාමයක නිද්‍රාගත කිරීම අඩු තරමින් ඒවායේ නැත.

‘පත්තිනි‘ චිත්‍රපටය දින 50 පසු කළ බව අද (2016.06.23) පෝස්ටර්වල දුටුවෙමි. ‘සක්කාරං‘ තවත් පැත්තකින් ය. ‘ආදරණීය කතාව‘ තවත් පැත්තකින් ය. ඒවායේ අතරමැද සීමිත දින ගණනකට පමණක් තෙරපෙමින් සිටි ‘ඇගේ ඇස අග‘ ‘ගැලවී‘ ගොසිනි. එහෙත්, එම සීමිත දින කිහිපය තුළ ‘ඇගේ ඇස අග‘ නැරඹූ ප්‍රේක‍ෂක-විචාරක පිරිස එම චිත්‍රපටය වෙනුවෙන් දක්වා ඇති ප්‍රතිචාරය ඉමහත් ය.
සියලූ ම අද්‍යතන චිත්‍රපට විචාරකයන් පාහේ එම චිත්‍රපටය වෙනුවෙන් දීර්ඝ වින්දන සටහන් විචාර ලිපි ලියූහ. ප්‍රශස්ත නිර්මාණය බාධක මැද වුවත්, ජනතා ආකර්ෂණය ලබයි. එහෙත්, එය ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොවේ. බණ්ඩාරවෙල දී අප මිත්‍ර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා අපූරු ආකාරයකට එම චිත්‍රපටය නරඹා ඇත. සිනමා හලෙන් දන්වා ඇත්තේ, එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නම්, 10-12ක් වත් පිරිස සිටිය යුතු බවයි. සිටියේ දෙතුන් දෙනෙකු පමණි. ඉතිරි පිරිසට ද තනිව ම ටිකට් ගත් ලසන්ත චිත්‍රපටය ප්‍රදර්ශනය කරවාගෙන ඇත. මේ අපූරු ප්‍රේක‍ෂක වාර්තාවකි. කිරි අම්මලාගේ සිට දරුවන් තෙක් පුළුල් ප්‍රේක‍ෂකාගාරයක් මඟින් පත්තිනි ‘හවුස් ෆුල්‘ වීම කෙරේ අපට ඇත්තේ ද මැදහත් සිතකි. කෙසේ හෝ මේ ලාංකේය රසික ප්‍රජාව ය.

‘ඇගේ ඇස අග‘ දැන් ‘සිනමාස් ඔෆ් ශ්‍රී ලංකා‘ (Cinemas of Sri Lanka) වෙබ් අඩවියට මුදා හැර ඇත. එය නැරඹීමට ඔබ ඔබේ ක්‍රෙඩිට් පත හරහා ගෙවීමක් කළ යුතු ය. ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටය ඇතුළු සිංහල චිත්‍රපට එකක් හෝ දෙකක් පමණක් මේ ගෙවීම් කර නැරඹිය යුතු අන්තර්ජාල අඩවියේ දැකිය හැකි ය. එක් අතකට ලසන්ත ද සිල්වාට අවාසනාවන්ත ලෙස බණ්ඩාරවෙල දී වැය වූ මුදලට අඩු මුදලකට අන්තර්ජාලයෙන් එම චිත්‍රපලටය සිය විවේකී ස්ථානයක  දී නැරඹීමේ පහසුකම දැන් ඇත. එහෙත්, එය රිදී තිර අත්දැකීම නොවේ. රිදී තිර මාධ්‍යය එක ම මාධ්‍යය වූ යුගයට ආයුබෝවන් කියවෙමින් ඇත.
කෞෂල්‍යා ප්‍රනාන්දු නම් වෘත්තීය මට්ටමින් ඉහළ ප්‍රමිතියක් පළ කරන රංගවේදිනිය ‘දෙරණ‘ හා ‘සාක්‘ සම්මාන දෙක ම දිනා ගැනීම තවත් කඩඉමකි. විශිෂ්ට රංග පරාසය හා කෞශල්‍යය තවමත් ගෞරවනීයත්වය ලැබීම සතුටකි.

තරුණ පිරිස කෙටි චිත්‍රපට සහ සිය ප්‍රථම චිත්‍රපටය සමඟ එළිපත්ත මත සිටිති. ඩෙන්සිල් පෙරේරාගේ ‘ත්‍රීවීල් ඩයරි‘, මලිත් හෑගොඩගේ ‘දැකලා පුරුදු කෙනෙක් එනතුරු අපි බලා සිටිමු‘, සරත් ධර්මසිරිගේ ‘සූවිසි විවරණ උසස් අපේක‍ෂාවකි‘ මේ සියල්ල නැවත කියා සිටින්නේ තාක‍ෂණ ධනවාදී යුගයක වුව නිර්මාණ අවංකභාවය සහ ප්‍රතීක ජීවන දෘෂ්ටිය යන සාධක තවමත් ආයු වළඳන බවය. ජැක්සන් ඇන්තනීලාට ඇඩ්‍රස් නැති වීම හා හඳගමලා බාධක මැද හෝ නැඟී සිටීම පිටුපස කලාකරුවාගේ දෘෂ්ටිය සහ දේශපාලන සුජාතභාවය දෙස ද, ප්‍රේක‍ෂකයා දෑස් දල්වා සිටින බවට ඉහළ සාක‍ෂ්‍යයකි.

මේ රජය ද කිසිදු විමතියක් හෝ චකිතයක් නැතිව ලෙස්ටර් පීරිස් රවටා ඇත. සංරක‍ෂණගාරය දැන් සිහිනයක් නොව අපහාසයක් දක්වා දිගේලි වී ඇත. දළුගම සරස්වතී චිත්‍රාගාරයේ තිබූ චිත්‍රපට සොච්චමේ ඉරණම ද දැන් විසැඳී ඇත. සංරක‍ෂණයට චිත්‍රපට නොහොත් ‘ඔබ්ජෙක්ට්ස්‘ (objects) නැති නිසා අපට මැසිවිලි කිව නොහැක. නවතම චිත්‍රපට සෙලියුලොයිඩ් මඟින් නොව ‘චිප්‘ එකක ඇති නිසා නැවත සංරක‍ෂණ කතාව කරළියට නොයේ. මේ නම් අපූරු විසැඳුමකි.

කෙසේ හෝ වංශ කතා හා ජාතිකවාදී, යුදවාදී රැල්ල යටපත්ව ඇත. ඊට දේශපාලන දේහයේ රැලි සුළං ද අදාළ විය හැකි ය. විශාල චිත්‍රපට ශාලා වැසෙන අතර, මාලබේ ‘ස්කයි ලයිට්‘ (Sky Light) සහ මහරගම ඇමිටි (AmityLight) වැනි සිනමා ශාලා ගැන බලාපොරොත්තු තැබිය හැකි ය. මේ කරුණු එකිනෙකට පුදුම ලෙස පරස්පරතා පළ කරයි. එම පරස්පරය මේ මොහොතේ ලාංකේය සිනමා යථාවයි.