ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස

ප්‍රකෘතිය වටහා ගැනීමේ මාවත්
February 20, 2020
පෙනුමේ හා හරයේ වෙනස
February 20, 2020
Show all

ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස

දැනුම සමාජය හා චින්තනය

09

සමස්ත ප්‍රකෘතියත් එහි සිදුවන සිදුවීම් හා ක්‍රියාකාරකමුත් නිවැරදිව වටහා ගැනීමට අත්‍යාවශ්‍ය වන අධ්‍යයනයේ පොදු ආකාර 6ක් ගැන මාක්ස්වාදය උගන්වයි. ඒවා මෙසේය,

  1. විශ්වීයත්වය, විශේෂිතය සමඟ හුදකලාව
  2. අඩංගුව හා ආකාරය
  3. හරය හා පෙනුම
  4. හේතුව හා ඵලය
  5. අනිවාර්යය හා අහම්බය
  6. හැකියාව හා තාත්විකත්වය

එම ආකාර හය වේ. යමක් නිවැරදිව වටහා ගැනීමේදී ඒ දෙස මෙම ආකාර හය මගින්ම හෝ ඉන් කිහිපයක් මගින් බැලීමෙන් අදාළ දෙය පිළිබඳ වඩාත් නිවැරදි දැනුමක් ඇතිකර ගැනීමට හැකිවේ. අපගේ චින්තනය තුළ වන දැනුම සත්‍ය වන්නේ එවිටය. නැතිනම් අපේ චින්තනය සාවද්‍ය වේ. මෙම කරුණු එකින් එක බැලීමෙන් ඉන් අදහස් වන දේ තේරුම් ගැනීමටත් එම ක්‍රමවේදය හරහා ලෝකය අවබෝධ කර ගැනීමට පුරුදුවීමටත් අයෙකුට හැකි වේ.

විශ්වීයත්වය, විශේෂිතය සමඟ හුදකලාව

මෙම ආකාරය මගින් උගන්වනු ලබන්නේ එක් අතකින් අප දැනුම ඇතිකර ගන්නා අකාරයත් අනෙක් අතින් ලෝකය තුළ දේවල් පවතින ආකාරයත්ය. අප අවට සිදුවන දේ හෝ අප අවට පවතින අපගේ පංචේන්ද්‍රියයන් මගින් ග්‍රහණය කරගන්නා දේවල් ‘දැනුම’  දක්වා සංවර්ධනය වන්නේ මෙම රටාව අනුවය. කිසියම් කෙනෙක් හැම විටම කිසියම් වස්තුවක් ක්‍රියාකාරකමක් හෝ සිදුවීමක් සංජානනය කරයි. නැතිනම් පංචේන්ද්‍රියයන් මගින් ග්‍රහණය කර ගනී. එහිදී ලබාගන්නා මුල් සංවේදනය හුදකලාව හෙවත් තනි එකක් වේ. ඉන්පසු වහාම එහි පොදු ලක්‍ෂණ සහිත පොදු සංකල්පය ඇතිකර ගනී. එය විශ්වීයත්වය වේ. නැතිනම් පොදු දැනුම වේ. ඉන් පසු අදාළ දෙය පිළිබඳ විශේෂ දැනුම සඳහා අධ්‍යයනය කිරීම හා තර්ක කිරීම අවශ්‍ය වේ. විශේෂ කරුණු හෝ අදාල වස්තුව අනෙක් වස්තුන්ගෙන් වෙනස්වන ආකාරය හෙවත් එහි විශේෂ යමෙක් තේරුම් ගන්නේ අධ්‍යයනය ක්‍රියාවලියක් මගිනි.

මෙය උදාහරණයකින් පැහැදිලි කර ගන්නේ නම් මෙසේය. කෙනෙක් ගසක අත්තක වසා සිටින කුරුල්ලෙකු  දැක්කේ යයි සිතන්න. එම කුරුල්ලා හුදකලා වස්තුවක් වේ. හුදකලාව හෙවත් තනි එක ලෙස හඳුන්වන්නේ එයයි.  ඒ වහාම ඒ ‘කුරුල්ලෙක්’ යන පොදු සංකල්පයට අදාල පුද්ගලයා එළඹේ. එය පොදු දැනුම හෙවත් විශ්වීයත්වය වේ. එහිදී කුරුල්ලන්ගේ පොදු ලක්‍ෂණ පමණක් සැලකිල්ලට ලක්වේ. එහෙත්  මෙම කුරුල්ලා කුමන වර්ගයේද යන්න තේරුම් ගැනීමට, ඒ ගැන වැඩි දැනුමක් ලැබීමට ප්‍රජානනය හෙවත් අධ්‍යයනය හා තාර්කික ක්‍රියාවලියක් අවශ්‍ය වේ. පොදුවේ කුරුලු යන පොදු වර්ගය තුළ මේ කුරුල්ලා කවුද යන්න වටහා ගැනීම  විශේෂිතයට ළංවීමක් වේ. එවිට එම කුරුල්ලාගේ විශේෂ ලක්‍ෂණ වටහා ගන්නා අතර කුරුල්ලන්ට පොදුව් අදාළ පොදු ලක්‍ෂණ මෙන්ම මෙම කුරුල්ලා කුමන වර්ගයේද යන්නට අදාළ විශේෂ ලක්‍ෂණ අපේ චින්තනය තුළ පරාවර්තනය වේ. මෙය මිනිසා, පොත, ගස, සර්පයා, එළවළු, පළතුරු ආදී සියලු දේට අදාළය. ඒ අනුව කෙනෙක්ගේ චින්තනය තුළ දැනුම නිර්මාණය වන ක්‍රමය වන්නේ ජීවමාන සංජානනය හෙවත් යම් දෙයක් (හුදකලාව) සංජානනය කිරීම ඒ පිළිබඳ පොදු සංකල්පය (විශ්වීයත්වය) ඇතිකරගැනීම හා ඉන්පසු අධ්‍යයනය ක්‍රියාවලිය මගින් එහි විශේෂ ලක්‍ෂණ (විශේෂිතය) අවබෝධ කර ගැනීම නැමති රටාවට අනුව වේ.

ප්‍රකෘතිය පවතින හැටි

ප්‍රකෘතිය හෙවත් අප අවට ලෝකය පවතින්නේ හුදකලා වස්තූන් ලෙසම නොවේ. එසේත් නැත්නම් පොදු තනි ලෝකයක් ලෙසටත් නොවේ. එය පවතින්නේ විවිධත්වයේ ඒකත්වයක් ලෙසය. එසේම ඒකත්වය තුළ විවිධත්වයක් ලෙසය. ලෝකය තේරුම් ගත හැක්කේ එසේය. එහිදී ඕනෑම තනි තනි සිදුවීමක් තනි වස්තුවක් ‘හුදකලාව’ ලෙස සැලකේ. ඒ අතර එම වර්ගයේ විශේෂ ලක්‍ෂණ ඇති වස්තු ‘විශේෂය’ ලෙස සැලකෙන අතර එහි ඇති පොදු ලක්‍ෂණ සහිත සියල්ල පොදු දෙය හෙවත් ‘විශ්වීයත්වය’ වේ.

උදාහරණයක් ලෙස කැලෑව යන සංකල්පය ගනිමු. කැලෑවක් යනු ගස් වැල්වල එකතුවකි. අධ්‍යයනයේදී කැලෑව යනු පොදු දෙය හෙවත් විශ්වීයත්වයයි. එම කැලෑවේ ඕනෑම  තනි ගසක් හෝ තනි වැලක් ‘හුදකලාව’ නියෝජනය කරයි. ඊළඟට  එහි ඇති විවිධ ගස් වර්ග එනම් පොල්, දෙල්, කිතුල්, ආදී වර්ග ‘විශේෂිතය’ නියෝජනය කරයි. මෙය බැලූ බැල්මට සරල වුවද චින්තනය තුළ සත්‍යමය දැනුම ගොඩ නැගීමේදී මෙම වෙනස්කම් ඉතාම  තීරණාත්මක වේ. අප පළතුරු ගැන කතා කරමු. පළතුරු යනු පොදු සංකල්පයකි. එනම් එය යමක පැවත්මේ විශ්වීයත්වය නියෝජනය කරයි. එහෙත් පළතුරු යන පොදු සංකල්පය සැදී තිබෙන්නේ විශේෂිතයන්ගෙනි.  ඒවා නම් අඹ, පේර, අන්නාසි, පේර, දෙළුම්, නාරං, දොඩම්, ඇපල් ආදී ලෙසය. ඉන්ද තනි ගෙඩියක් ගත් විට එය ‘හුදකලාව’ නියෝජනය කරයි. මෙම උදාහරණය ලෝකයේ සමාජ ක්‍රම හා සසඳා බලන විට විට තවමත් මෙහි පොදු දෙය ලෙස පවතින්නේ ධනවාදී සමාජ ක්‍රමය වේ. ඒ අතර සමාජවාදී රටවල් විශේෂය වේ. ඉන් එක් රටක් වෙනම ගත් කල එය හුදකලාව වේ.

ගස් නොදැක කැලෑව දැකීම

ලෝකයේ පැවැත්මේ මෙම ස්වරූපය වටහා ගත නොහැකි වුවහොත් ලෝකය අවබෝධ කර ගැනීමේදී  බරපතළ වැරදි සිදුවේ. ධනවාදී අධ්‍යාපන ක්‍රමය තුළ හා තර්කන ක්‍රමය තුළ මෙම වැරදි වටහා ගැනීම නිතර සිදුවේ. පොදුවේ ගත්විට ලෝකය පවතින්නේ, පොදු දේවල් හා ඒ තුළ වන විශේෂයන් ලෙසය. ලෝකය මේ ආකාර දෙකෙන්ම තේරුම් ගත යුතුය. පොදු දේවල් තුළ විශේෂයක් නොදැකීම මෙන්ම විශේෂයන් පොදු දේවල් ලෙස දැකීමද වැරදිය. කැලය දකින තැනැත්තා ඒ තුළ ගස්ද දැකිය යුතු අතර එම ගස්වල විශේෂයන්ද දැකිය යුතුය. ගස් නොදැක කැලය පමණක් දැකීම යනු වැරදි දැනුමක් ඇතිකර ගැනීමකි. එස්ම තනි ගසක් යනු කැලයක් නොවන බවද තේරුම් ගත යුතුය. කැලය නිර්මාණය වී ඇත්තේ තනි තනි ගස්වලින් හා විවිධ වර්ගයේ ගස්වැල් විශේෂයන්ගෙන් වන අතර කැලය නම් පොදු දෙය හෙවත් විශ්වීයත්වයන් ගස් නම් විශේෂ හා තනි ගසක් ලෙස එය තේරුම් ගත යුතුය.

මෙහිදී සිදුවිය හැකි වටහා ගැනීමේ වැරදි ක්‍රමය මෙලෙස තේරුම්ගත හැකිය. කිසියම් කැලෑවකට යමෙක් ඇතුල්වන විට ඔහු මුලින්ම ගසක් හෝ ගස් කිහිපයක් දකී. ඔහු මුලින්ම ඈතදීම දකින ගස අඹ ගසක් ලෙස සිතමු. එම ගස දැකීම සමඟ ඔහු මේ කැලෑවම අඹ කැලෑවක් ලෙස උපකල්පනය කළහොත් එය ඔහුගේ චින්තනය තුළ දැනුම වැරදියට පර්ාවර්තනය වීමක් වේ. මේ කැලෑවක් බවත් එය සැදී තිබෙන්නේ විවිධ ගස් වැල් වර්ගවලින් බවත් අඹ යනු එහි එක් විශේෂයක් යනුවෙනුත් වටහා ගත්විට එය නිවැරදි වේ. මෙහි අනෙක් පැත්තද තිබේ. යමෙක් කැලෑව දුටුවද ඒ තුළ වන විශේෂයන් ලෙස අඹ ගස් දැකීමට අසමත් නම් එම දැනුමද සත්‍ය නොවේ. කැලෑව දකින තැනැන්තා එහි ඇති ගස්ද දැකිය යුත්තේ ඒ නිසාය.

මෙලෙස කෙනෙක් පළතුරු කෑවා යයි කියන විට පළතුරු මොන රසදැයි ඇසුවොත් ඔහු විමතියට පත්වේ. ඒ පළතුරු යනු පොදු සංකල්පයක් වන නිසාය. අප පළතුරු කෑවා යයි කියන්නෙ පළතුරු නැමති පොදු සංකල්පයට අයත් අඹ, කෙසෙල්, අන්නාසි, දොඩම් වැඩි දේවල් අනුභව කර තිබෙන නිසාය. ඒ නිසා ඔබ පළතුරු අනුභව කර නැති බවත් අනුභව කර ඇත්තේ අඹ, කෙසෙල්, , පැපොල් ආදී වර්ග බවත් කියා තර්ක කිරීමටද කෙනෙකුට හැකිය. එය වැරදි තර්කයක් වුවත් එවැනි තර්කයක් තිබේ. ඉන් පැහැදිලි වන්නේද ඒකත්වය සෑදී ඇත්තේ විවිධත්වය මගින් බවය.

මිනිසුන් වටහා ගැනීමේදී

පොදු දේ හා විශේෂය වැරදි ලෙස වටහා ගැනීමෙන් සිදුවිය හැකි හානි තේරුම් ගැනීමට මිනිසා වෙතම හැරෙමු. මිනිසුන් තේරුම් ගැනීමේදී බොහෝ විට බොහෝ දෙනා වරද්දා ගන්නා බව පොදු සත්‍යයකි. මිනිසුන් තුළ හොඳ හා නරක ගතිගුණ යන වර්ග දෙකම තිබේ. සමහරුන් තුළ හොඳ වැඩියෙන් හා නරක අඩුවෙනුත් සමහරුන් තුළ නරක වැඩියෙන් හා හොඳ අඩුවෙනුත් තිබිය හැක. එහෙත් හොඳම හා නරකම ලෙස මිනිසුන් පැතලි, කළු, සුදු ලෙස වර්ග කළ නොහැක. දැන් ගැටලුව ඇතිවන්නේ කෙසේද? අපට කෙනෙක් මුණ ගැසුණු විට අප මුලින්ම ඔහුගේ හොඳක් දුටු වහාම මේ ‘හොඳ මිනිහෙකි’ යනුවෙන් අවසන් නිගමනයක් දීම හෝ අපට කෙනෙක් හමුවුණ විට අප මුලින්ම ඔහුගේ නරකක් දුටු නිසා මේ ‘නරක මිනිහෙක්’ යනුවෙන් අවසන් නිගමනයක් දීම හරිද? නැත. අපේ බොහෝ දෙනා මෙම වැරැද්ද කරති. කෙනෙක් තුළ හොඳ, නරක දෙකම පවතින බවත් ඒවයේ ප්‍රමාණය අඩු වැඩි විය හැකි බවත් තේරුම් ගෙන ඔහු ගැන කරන දිගු අධ්‍යයනයකින් නිගමනකට එන්නේ නම් එය නිවැරදි වේ. නැතිනම් අපි මුලාවට පත්වෙමු. බොහෝ විට තරුණ තරුණියන් එකිනෙකාට    රැවටී තම ජීවිත පවා අවදානමට ලක්කර ගන්නේ මෙලෙස පොදු දෙය හා විශේෂ සහිතව යමක් වටහා ගැනීමට උත්සාහ නොකිරීම නිසාය. හොඳ සංවිධානයක් තුළ විශේෂයක් ලෙස නරක මිනිසුන් මෙන්ම වැරදි සංවිධානයක් තුළ විශේෂයක් ලෙස හොඳ මිනිසුන් සිටිය හැක. අප ඒ අනුව හොඳ මිනිසෙක් සිටි පමණින් එම සංවිධානයම ‘හොඳ’ යයි හෝ නරක මිනිසෙක් හමුවූ නිසා එම සංවිධානයම නරකයි හෝ යනුවෙන් වැරදි නිගමනයකට ආ යුතු නැත. එහි පොදු දෙය කුමක්ද? විශේෂය කුමක්ද යනුවෙන් වෙන් වෙන්ව තේරුම් ගැනීමට හැකියාව තිබිය යුතුය.

මේ අනුව ප්‍රකෘතියත් අප අවට සමාජය හා මිනිසාත් නිවැරදිව වටහා ගැනීමේදී මෙම රටාව හෙවත් ආකාරය  අප වැදගත් වේ.

Next : – පෙනුමේ හා හරයේ වෙනස