රෝසා ලක්ෂම්බර්ග්

රෝසා ලක්ෂම්බර්ග් මරා දමා අදට සියවසක් සපුරයි.
January 16, 2019
අධ්‍යාපනය FAQs
January 17, 2019
Show all

රෝසා ලක්ෂම්බර්ග්

2019 ජනවාරි 15 කියන්නේ රෝසා ලක්ෂම්බර්ග් ඝාතනය වී අවුරුදු 100ක් නිමා වෙන  දිනය යි.

ඇත්තට මේ රෝසා ලක්ෂම්බර්ග් කියන්නේ කවුද? සමාජවාදයේ පරම හතුරා ද? නැතිනම් සමාජවාදයේ අද්විතීය වීරවරිය ද? රෝසා ලක්ෂම්බර්ග් ගැන කියවෙන විට, සොයා බලන විට මට හමුවන්නේ මේ අන්ත දෙකටම වඩා වෙනස් ඉතාමත් සංකීර්ණ , රසවත්, දක්ෂ, අතිශයින්ම මානුෂික චරිතයකි. – ගැහැණියකි.
රෝසා ලක්ෂම්බර්ග් උපත ලබන්නේ 1871 මාර්තු 05 දී පෝලන්තයේ දී ය. ඇ 1919 දී ඝාතනය වෙන විට දී ඇයගේ වයස අවුරුදු 48ක් වූවා පමණි. නමුත්, එම කෙටි කාලය තුල ඇය සමාජවාදය මත තබා ඇති සළකුණ ඉමහත් ය. ඇගේ ජීවන කතාව අදටත් අපගේ අවධානය ගනී. ඇගේ ලිපි සහ බුද්ධීමය දායකත්වය අදටත් වටී. ඇය මෙසේ අපි අතර අවුරුදු 100කට පසුව වුව ද ජීවත්වීමට තුඩු දෙන චරිත ලක්ෂණ ඇය කුඩා කල සිටම දක්නට ලැබිණි. රෝසා ලක්ෂම්බර්ග් බරපතල අසනීපයකට ගොදුරු වන විට ඇය අවුරුදු 5 කුඩා දැරිවියකි. ඇය අවුරුද්දක කාලයක් රෝගාතුරව, ඇඳකට කොටු වී සිටියා ය. එම රෝගී තත්වයේ එක් ප්‍රතිඵලයක් වශයෙන් ඇගේ එක් කකුලක් අනෙක් කකුලට වඩා ‌කෙටි විය.  පසු කාලවළදී ඇගේ හතුරන්ට, විශේෂයෙන් හමුදාවට සහ පොලිසියට, ඇයව සෙනගක් මැදින් පහසුවෙන් හඳුනාගත හැකිවීමට මෙම කායික වෙනස උපකාර විය. කුඩා කළ සිටම ඇයට වේදනාව අමුතු අත්දැකීමක් නොවීය. මෙය ඇයට අනිවාර්යයෙන්ම ඇගේ දේශපාලන ජීවිතයට මුහුණ දීමේ දී ශක්තියක් වන්ට ඇත.
ඇගේ එඩිතර බවත්, ඇගේ මානවවාදී දෘෂ්ඨියත්, අවුරුදු 17 වන තරුණ වියේදි පවා දැක ගත හැකි විය. ඇගේ පාසල් මිතුරියකට, පාසල අතහැර යාමට පෙර දුන් ඡායාරූපයක් පිටුපස, ඇය මෙසේ ලියයි.

මගේ පරමාදර්ශය වන්නේ, මට කාටත් සාමයෙන්, ආදරය කළ හැකි ලෝකයක්. එම ලෝකය ලබා ගැනීමට නම් සමහර විට වෛර කිරීමට ද මට ඉගෙන ගැනීමට සිදු වෙනු ඇත.

ඇගේ පරමාදර්ශි එම ලෝකය ලබා ගැනීමට වෛර කිරීමට ඉගෙන ගන්න සූදානම්ව සිටි රෝසා ලක්ෂම්බර්ග්‌ගේ ජීවිතය දෙස බලන විට අපට වෛරය හොඳින් දැක ගත හැක. නමුත් ඒ රෝසා ලක්ෂම්බර්ග් අන් අයට වෛර කරන අවස්ථා නොව; ඇයට වෛරය අත් විඳීමට සිදු වූ අවස්ථා ය. ඇයව ඝාතනය කිරීම එම වෛරයේ උපරිමයයි.  එකල සමාජවාදී සහ කොමියුනිස්ට් දේශපාලන තුළ ඇය විශේෂයෙන්ම ප්‍රබල පිරිමින්ගේ වෛරයට නිතර භාජනය විය. ඇගේ මරණයෙන් එය අවසන් වූයේ ද නැත. ජෝෂප් ස්ටාලින්ගේ මැදිහත්වීම තුළින්, ඇය පිළිබඳ සමාජවාදී ඉතිහාසයේ ඍණාත්මක වාර්තාවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනෙක් වෙහෙසුනහ.

අපට ජනප්‍රිය  දේශපාලන කතිකාව තුළ අසන්නට ලැබෙන්නේ රෝසා ලක්ෂම්බර්ග් සහ ලෙනින් අතර තිබුණු බරපතල මතවාදී ගැටුම් පිළිබඳ පමණ ය. ඔවුන් අතර මතවාදීව දැඩි වෙනස්කම් තිබුණු නමුත් එකිනෙකා පිළිබඳ විශාල ගෞරවයක් ද තිබිණි. විටෙක, ලෙනින් ඇය බැලීමට පැමිණි අවස්ථාවක, ඇයගේ සුරතල් බල්ලා වූ “මිමි”සමග සෙල්ලම් කළ බව රෝසා ලක්ෂම්බර්ග්ගේ පෞද්ගලික ලිපියක සඳහන් වී ඇත. ඇගේ ඝාතනයෙන් පසු ලෙනින් රෝසා ගැන හඳුන්වන්නේ කවදත් උඩින්ම පියාසර කරන “රාජාලියෙකු” ලෙස ය. මතවාදීව මොන වෙනස්කම් තිබුණ ද, ඇගේ බුද්ධිමය දායකත්වය ලෝකයේ අනාගත කොමියුනිස්ට් පාක්ෂිකයන් සදා කල් අමතක නොකරන බව ලෙනින් කියා සිටියේ ය.

එසේ නම්, රෝසා ලක්ෂම්බර්ග් මෙතරම් මතබේදාත්මක වාර්තා සමාජවාදී ඉතිහාසය තුල අදටත් පවතින්නේ මන්ද?
ඇයව කෲර ලෙස ජර්මනියේ කොමියුනිස් පක්ෂයේ ඇගේ සමීපතම සගයා ව කාල් ලිබ්කින්ච් (Karl Liebknecht) සමග ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අණ සහ අනුමැතිය ඇතුව ඝාතනයට ලක් වන්නේ ඇයි?

රෝසා ලක්ෂම්බර්ග්ගේ දේශපාලනය තුළ ඇය පෙනී සිටි ස්ථාවරයන් ගැන අවධානය යොමු කරන විට අපට මෙය තේරුම් ගත හැක. ඇය කවදත් ජාතිවාදයට එරෙහි විය. නිලධාරිවාදයට එරෙහි විය. ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් පෙනී සිටියා ය. ඇයට සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය  අතර පරස්පරතාවයක් තිබුණේ නැත. ඇය පෙනී සිටියේ ජනතාව මත විශ්වාසය තැබූ, ජනතා විඥානය අවදි කරමින් ජනතාව සංවිධානය කිරීමට මුල් තැන දුන් දේශපාලන ව්‍යාපාරයක්  වෙනුවෙනි. ජාති බේද, ජාතික රාජ්‍ය අභිබවා පීඩිත ජනතාව එකමුතු කිරීම ඇගේ ඉලක්කය විය. එම නිසා ඇය යුද්ධයට විරූද්ධ විය. පළවෙනි ලෝක යුද්ධයට විරුද්ධ වීම නිසා ඇය අත්අඩංගුවට ගැනිණි. නමුත් එයින් ඇය සැළුනේ නැත. ඇගේ එකම කණගාටුව කනස්සල්ල වූයේ ඇය සිරගතවීම නිසා ඇගේ ආදරණීය මිමීගේ රැවරණය ය.

ජාතිවාදයට, නිලධාරිවාදයට, යුද්ධයට, ඒකාධිපතිවාදයට ඇය විරුද්ධ වන්නේ ජාතිකවාදී සමාජවාදය (Nationalist Socialism) සහ නට්සි (Nazi) මතවාදයේ මුල් බීජ ස්ථාපිත වෙමින් යන කාලයක බව අප අමතක නොකළ යුතුයි. ඇගේ ඝාතනයට හේතු වන්නේ ද මෙම කරුණුය . ඒ වෙන විට ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රතිසංස්කරණවාදී සහ ජාතිවාදී තැනකට තල්ලුු වෙමින් සිටි කාලයකි. තවද, ඇය ප්‍රබල පිරිමින්ට එරෙහිව මතවාදීවත්, දේශපාලනිකවත් නැගී සිටි කාන්තාවකි. ඇය වෙත එල්ල වූ වෛරය ගැන එම නිසා අප පුදුම නොවිය යුතුය.

මේ සියල්ල තුලින්ම අපට මතු වී පෙන්නුම් කරන්නේ අතිශය මානවවාදී, චරිතයකි. ඇය ආදරය, මානුෂීීය සම්බන්ධතා, ලිංගිකත්වය , ප්‍රතික්ෂේප කළේ නැත. ඇගේ සටන වූයේත් ජර්මානු සමාජවාදී ප්‍රජතන්ත්‍රවාදී පක්ෂය වඩාත් මානවවාදී තැනකට ගෙන යාමට ය. ඇය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයෙන් ද බලාපොරොත්තු වුණේ මෙය ය. දේශපාලනය සඳහා ‌හෝ දේශපාලනය නිසා ‌හෝ ආදරයවත්, මානුෂීය සම්බන්ධතාවත් පසෙක දැමීමට ඇය කැමති වූයේ නැත.

විටෙක ඇගේ දීර්ඝකාලීන පෙම්වතා වූ ලියෝ ජෝගිශ් ( Leo Jogiches) වෙත ඔහු ඇයට ලියූ ලිපි තුළ ඇති සීතල බවට බැන වදී:

ඔබේ ලිපිවල ඇත්තේ වැඩ කරන ජනතාව ගැන පමණය! මා ගැනත් කුමක් හෝ ලස්සන දෙයක් කියන්න. !

ඒ සියළු දේම කමක් නෑ. නමුත් ඒ අතරම මනුෂ්‍යත්වය ගැන, පුද්ගලයා ගැන, ආත්මය ගැනත් කියනවනම්. නමුත් ඔබගෙන් ඒ පිළිබඳ මුකුත්ම නැත. ඔබට මා සමග බෙදා ගන්න ඇත්තටම කිසිවක්ම නැද්ද?

එක විදිහකට, අපට විශේෂයෙන්ම පිරිමි මනසකින්, මෙයට නරුම ප්‍රතිචාරයක් ද දක්වන්න පුළුවන්. එනම් මේ සාමාන්‍ය “ගැහැණු” කතාවක් / ප්‍රශ්නයක් ලෙස. ගැහැණුන්ට දේශපාලනයටත් හැඟීම් සම්බන්ධ නොකර සිටීමට බැරි බව ඔප්පු වන බව කියා මෙය ප්‍රතික්ෂේප කළ හැක. නමුත් මා හිතන විදිහට නම් අපට දේශපාලනයේ අද නැතිවෙලාම ඇත්තේ රෝසා ලක්ෂම්බර්ග් ඉල්ලා සිටි දෙයයි. එනම් හැඟීම්, ආදරය, මනුෂ්‍යත්වය, මානවවාදය. අද දේශපාලනය සීතල, දූෂිත, බලපොරයක් සඳහා මෙවලමක් ලෙස භාවිතා වන ප්‍රචන්ඩකාරී දෙයක් බවට පත් වී ඇත. දේශපාලයේ අද අපට දකින්න ලැබෙන්නේ පිරිමින් අතර ගේම්  පමණි. කාන්තාවන් එක්කෝ එයට අනුගත විය යුතුයි.  නැතිනම් ප්‍රේක්ෂකයන් නැතහොත් ආභරණ බවට පත් විය යුතුය.

රෝසා ලක්ෂම්බර්ග්‌ගේ දේශපාලනයේ මුල් තැන දී තිබුණේ මානවවාදයට ය. ඇය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නේත්, යුද්ධයට විරුද්ධ වෙන්නේත් නිලධාරීවාදයට විරුද්ධ වන්නේ ඇගේ මානව දයාව  නිසාවෙනි. ඇය ජීවිතය අගය කළා. ජීවිතයේ ලස්සන දුටුවාය . ජීවිතය වැළඳ ගත්තා ය. ඇය සීතල චරිතයක් නොවීය.
ඇගෙන් අපට අදත් ඉගෙන ගත හැකි දේ බොහොමයක් ඇති ලෙස මට හැඟේ. ලෙනින්, රෝසා ලක්ෂම්බර්ග් ගැන කියූ දේ ඉතාමත්ම නිවැරදිය. ඇය අපට උඩින් නිදහසින් සහ සතුටින් පියාසර කරන දැවැන්ත රාජාලියෙකි.

නිදහස යනු රජයකට හෝ පක්ෂ සාමාජිකයින්ට පමණක් අයිති දෙයක් නොවේ. එය එසේ නම්, එය සැබෑ නිදහස නොව. නිදහස යනු සැම විටම විසම්මුතියට, වෙනස් විදිහට හිතන අයට ඇති ඉඩය. නිදහස වරප්‍රසාදයක් වන්නේ නම්, දේශපාලන නිදහස් අර්ථය කඩා වැටෙනු ඇත.
රෝසා ලක්ෂම්බර්ග්.
9

ආචාර්‍ය හරිනි අමරසූරිය

ජ්‍යෙෂ්ඨ කථිකාචාරිිිනීී
සමාජ විද්‍යා අධ්‍යන අංශය
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය