මොළය පාවිච්චි කිරීම

දැනුම යනු කුමක්ද?
February 20, 2020
‘දැනුම’ තුළ පවතින සියල්ල සත්‍යයද?
February 20, 2020
Show all

මොළය පාවිච්චි කිරීම

දැනුම සමාජය හා චින්තනය

03

දැනුම නැමැති ක්‍රියාවලිය මිනිස් මොළය පදනම් කර ගනිමින් සිදුවන බව පැහැදිලි සත්‍යයකි. දැනුම ලෙස මිනිස් මොළයේ පිළිබිඹු වන්නේ, ප්‍රකෘතිය හෙවත් සොබාදහම නිසා දැනුමේ විෂයමූල පදනම ප්‍රකෘතිය වේ. එහෙත් එම ප්‍රකෘතිය හා එහි නියාම අරමුණු සහගත ලෙස පරාවර්තනය කර ගැනීමේ හැකියාව හෙවත් හඳුනා ගැනීම, මතක තබා ගැනීම හා තර්කනයේ හැකියාව ඇත්තේ, මිනිස් මොළය තුළ පමණි. මිනිස් සිරුරේ ඇති විශේෂිතම ඉන්ද්‍රිය වන්නේ, මිනිස් මොළයයි.

සිතන ද්‍රව්‍යය

      මොළය යනු අද්භූත වස්තුවක් නොව ද්‍රව්‍යමය දෙයකි. එය ද්‍රව්‍යයේ සංවර්ධනයේ දියුණුතම අවස්ථාව වේ. ද්‍රව්‍යයේ, පරිණාමයේ හා වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස සත්ව පරිණාමයේ එක් අවස්ථාවක මිනිසා බිහි විය. මානව පරිණාමයේදී මොළයද පරිණාමය වී මිනිස් මොළය දක්වා වර්ධනය විය. එය ඉතා දියුණු ඉන්ද්‍රියකි. මෙම ඉතාම දියුණු ඉන්ද්‍රිය මිනිසා තුළ පවතී. ඒ අනුව මිනිස් මොළය යනු සරල ද්‍රව්‍ය ‘සිතන ද්‍රව්‍ය’ දක්වා සංවර්ධනය වීමකි. පොදුවේ ගත් විට මිනිස් මොළය ද්‍රව්‍යමය වස්තුවකි. මිනිස් මොළය සෑදී තිබෙන්නේ සෛලවලිනි. එම විශේෂ සෛල නිව්රෝන ලෙස හඳුන්වනු ලැබේ. සාමාන්‍ය මිනිස් මොළයක් රාත්තල් තුනක් (03) පමණ බර වන අතර, එය සෑදී ඇති නිව්රෝන ප්‍රමාණය, නවතම ගණන බැලීම්වලට අනුව බිලියන අසූ හයක් පමණ වේ. මොළයේ හැකියාව විශ්මයජනකය. මොළය තුළ සිදුවන රසායනික ක්‍රියා මගින් හඳුනාගැනීම, මතක තබා ගැනීම, ශරීරය පවත්වාගෙන යාම, සිතිවිලි ඇතිකර ගැනීම, හා තර්කනය ආදී සියල්ල සිදු වේ. ඒවා කිසියම් අත්භූත බලයක හෝ දෙවියන්ගේ ක්‍රියාවක් නොව මොළය නම් ඉන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය වේ. සාමාන්‍යයෙන් ස්නායු පද්ධතිය සම්බන්ධ කර ගනිමින් මොළය තොරතුරු සන්නිවේදනය  කරන අතර, මොළයේ තොරතුරු සන්නිවේදන වේගය, පැයට සැතපුම් 260ක් පමණ යයි පැවසේ. දිනකට මොළය තුළ බිහිවන සිතිවිලි ප්‍රමාණය 50,000ක් පමණ වේ. එහි සිදුවන රසායනික ප්‍රතික්‍රියා ප්‍රමාණය තත්පරයට ලක්ෂයක් පමණ බව සොයාගෙන තිබේ. මොළයට මිනිස් සිරුරේ සිතන ඉන්ද්‍රිය බවට පත්වීමට හැකිවී තිබෙන්නේ එහි ඇති මෙම  සුවිශේෂී ලක්ෂණ හා ක්‍රියාකාරිත්වය නිසාය .

භාවිතය තුළින් දැනුම

       මිනිසා හැම විටම භාවිතය තුළින් දැනුම ලබා ගන්නා අයෙකි. මිනිසාගේ දැනුම බිහිවන්නේ පාසල් හෝ අධ්‍යාපන ආයතන තුළ පමණක් නොවේ. ඔහු භාවිතය මගින්, අත්දැකීම් මගින් දැනුම ලබා ගනී. එම හැකියාව මිනිස් මොළය සතු වේ. ඈත අතීතයේ ප්‍රාථමික සාමූහික සමාජය පැවති අවධියේ පාසල් අධ්‍යාපනයක් නොතිබූ අතර, මිනිසා සිය නිෂ්පාදන ක්‍රියාවලියේ භාවිතාව මගින් දැනුම ලබාගන්නා ලදී ඔහු එම දැනුම පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කළේය. මුලදී අංග චලනයෙන්ද පසුව භාෂාව මගින් වාචිකවද මෙම දැනුම බෙදා ගත් අතර, පසුව අංග සම්පූර්ණ භාෂාවක් නිර්මාණය වීමත් සමඟ, ලේඛන කලාව ඇරඹීමත් සමඟ, අධ්‍යාපන ආයතන ඇරඹීමත් සමඟ, දැනුම ලබා දීම හා ලබා ගැනීම, අධ්‍යාපන ක්‍රියාවලියක් බවට පත්විය. අධ්‍යාපන ආයතන මගින්, විධිමත් අධ්‍යාපන ක්‍රමයක් මගින්, දැනුම ලබා නොගත් අය පවා භාවිතය තුළ තමන් නියැලෙන ක්‍ෂේත්‍රයේ දැනුම ලබා ගන්නා බව අපි දනිමු. උදාහරණයක් ලෙස ගොවිතැන් කරන අය තම භාවිතය මගින් ලබා ඇති දැනුම සමහර විට පොතෙන් කෘෂිකර්මාන්තය ඉගෙන ගත් අයගේ දැනුම අභිබවා සිටී. ධීවර කාර්මිකයන්ද එසේය. ඉන් අදහස් කරන්නේ පොත පතෙන් ලබන විද්‍යාත්මක දැනුම වැඩක් නැති බව නොවේ. එය දැනුමේ වඩා දියුණු ක්‍රමයකි. එහෙත් මිනිසා තම භාවිතයෙන්ද ඉගෙන ගන්නා බවත් එය සිදු වන්නේත් මොළය හා පංචේන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයෙන් බවත් අවබෝධ කරගත යුතුය.

තර්කයද? අනුභූතියද?

          දැනුම සඳහා මිනිස් මොළය තුළ ප්‍රකෘතිය පරාවර්තනය විය යුතුය. ප්‍රකෘතිය මිනිස් මොළය තුළ පරාවර්තනය වන්නේ, පංචේන්ද්‍රියයන් මගිනි. අප ප්‍රකෘතිය සංජානනය කරන්නේ, පංචේන්ද්‍රියයන් මගිනි. එලෙස පංචේන්ද්‍රියයන් මගින් අප ලබා ගන්නා සංජානනයන් මොළය තුළ පරාවර්තනය වේ. එය අනුභූතිය ලෙස හැඳින්වේ. එහෙත් දැනුම සම්පූර්ණ වීමට පංචේන්ද්‍රියයන් මගින් ලැබෙන තොරතුරු පමණක් ප්‍රමාණවත් නොවේ. එයට තර්කනය අවශයයි. වඩාත් වැඩි දැනුමක් සඳහා විද්‍යාත්මක හා තාක්‍ෂණික උපකරණ අවශ්‍යය. ඒ අනුව දැනුම ගොඩනැගෙන්නේ ඉන්ද්‍රීයගෝචර දැනුම හා තාර්කික දැනුම එකට ක්‍රියාකාරී වීමෙනි. දැනුමේ දයලෙක්තිකය වන්නේ එයයි. එනම් ඉන්ද්‍රියගෝචර දැනුම හා තාර්කික දැනුමය.

       ඉන්ද්‍රීයගෝචර දැනුම මගින් අප වෙත ලැබෙන්නේ ප්‍රකෘතියේ අදාළ වස්තූන්ගේ සියලු ගුණයන්ගේ ලක්‍ෂණ නොව ඉන් කිහිපයක් පමණි. ඒ නිසා ඉන්ද්‍රියන් මගින් ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නැත. තාර්කික දැනුම අවශ්‍ය වන්නේ, විද්‍යාත්මක දැනුම අවශ්‍ය වන්නේත්, විද්‍යාත්මක උපකරණ අවශ්‍ය වන්නේත් පංචේන්ද්‍රයයන්ගේ මෙම සීමාසහිත බව අභිබවා යාමටය. අප කලින්ද සඳහන්කර ඇති පරිදි අපගේ පංචේන්ද්‍රියයන්ගේ හැකියාව සීමිතය. අපට ශබ්ද ඇසිය හැක. එහෙත් අපේ ශ්‍රවණ ඉන්ද්‍රිය වන කණට හසු කරගත හැක්කේ සීමිත පරාසයක ශබ්ද සංඛ්‍යාත පමණි. අපේ ඇසට ඉතාම දුර තිබෙන වස්තු මෙන්ම ඉතා කුඩා වස්තු දැකිය නොහැක. උපකරණ අවශ්‍ය වන්නේ, එම සීමාකම් මඟ හරවා ගැනීම සඳහාය. ශබ්ද තරංග හසුකර ගන්නා උපකරණ මඟින්, දුරදක්න හා කුඩා දේ ලොකු කර පෙන්වන අන්වීක්ෂ උපකරණ මගින් අප කරන්නේ, අපේ පංචේන්ද්‍රියයන්ගේ සීමාකම් අභිබවා යාමය. එම උපකරණ මිනිසා විසින් නිපදවා ගත් ඒවා වන අතර, එය කළ හැකිවූයේ මිනිස් මොළයේ ඇති තර්කනයේ හා නිර්මාණශීලීභාවයේ ගුණය හෙවත් හැකියාව නිසාය.

       මිනිසාගේ ආඝ්‍රාණ ඉන්ද්‍රිය හෙවත් නාසය පවා දුර්වලය. මිනිසාට ආඝ්‍රාණය කළ නොහැකිදේ ආඝ්‍රාණය කිරීමේ හැකියාව සතුන්ට තිබේ. එය ඉව ලෙස හඳුන්වමු. සොරුන් ඇල්ලීමට, මත් ද්‍රව්‍ය සෙවීමට සුනඛයින් වැනි සතුන් යොදා ගනී. මේ සඳහා උපකරණද සෑදිය හැක. පොදුවේ ගත්කළ අප තේරුම් ගත යුත්තේ, අපේ මනස තුළ දැනුම ආරම්භ වන්නේ ඉන්ද්‍රීයගෝචර දැනුමෙන් වුවත්, එම දැනුම සම්පූර්ණ වන්නේ, තාර්කික දැනුමද සමගම යන්නය. තාර්කික දැනුම යනු මුළුමණින්ම මිනිස් මොළයේ හපන්කමකි.

        දැනුම සම්බන්ධ ප්‍රශ්නයේදී සමහරවිට දැනුමේ මෙම පැති දෙක එක්ව වටහා නොගෙන එක්පැත්තක් පමණක් පිළිගත් අය හමුවී තිබේ. ඉන්ද්‍රිය ගෝචර දැනුම පමණක් පිළිගන්නා තර්කනය නොපිළිගන්නා අය අනුභූතිවාදීන් ලෙසද, ඉන්ද්‍රීයගෝචර දැනුම පිළිනොගන්නා තර්කනය පමණක් පිළිගන්නා අය බුද්ධිවාදීන් ලෙසද හඳුන්වා තිබේ. අනුභූතිවාදීන්ට අනුව යමක් විශ්වාස කළ හැක්කේ, ඒවා සිය පංචේන්ද්‍රියයන්ට ග්‍රහණය වන්නේ නම් පමණි. තර්ක වැඩක් නැත. ඒවා බොරුය. බුද්ධිවාදීන්ට අනුව පිළිගත හැක්කේ තර්කය, පමණි. “ඉන්ද්‍රියගෝචර දැනුම වැරදිය. වතුර වීදුරුවක දැමූ පැන්සල අපට පෙනෙන්නේ, නැමී ඇති ලෙසය. එය සත්‍යය නොවේ. එබැවින් ‘ඇස’ අප රවටා ඇත. ඉන්ද්‍රියයන් මත විශ්වාසය තැබිය නොහැක.” ඒ බුද්ධිවාදීන්ගේ තර්කයයි.

        එහෙත් මෙම අන්ත දෙකම වැරදිය. දැනුම යනු ඉන්ද්‍රියගෝචර දැනුමේත්, තාර්කික දැනුමේත් එකතුවකි. එකක් නැතිව අනෙක නොපවතී.

තර්කයේ ගුණ අගුණ

        දැනුම පිළිබඳ ක්‍රියාවලියේදී විද්‍යාත්මක නොවන වියුක්ත තර්කනය සැම විටම සත්‍යය මතුකරන්නේ නැත. වියුක්ත තර්කනයට ඇත්ත, නැත්ත කිරීමටද, නැත්ත ඇත්ත කිරීමටද, පුළුවන. දොරක් අඩක් වසා තැබීම සමානයි අඩක් විවෘතව තැබීම නම්, දොර මුළුමනින්ම වසා තැබීම සමානයි, එය මුළුමණින්ම විවෘතව තැබීම යනුවෙන් තර්ක කළ හැකිය. ඒවා කුතර්කයන්ය. සත්‍යයෙන් තොරය. ජීවමාන තර්ක නොවේ. අධිකරණයේදී නීතිවේදීන් එවැනි තර්ක මගින් අපරාධකරුවන් නිදහස් කර තිබුණ අවස්ථා අපේ ඉතිහාසයේ ඇත. එබැවින් තර්කය හැම විටම සත්‍යය නොවේ. එහෙත් තර්කය දැනුමේදී ඉතාම වැදගත්ය. නිවැරදි විද්‍යාත්මක තර්කනයක් මිනිසාට අවශ්‍ය වේ. එසේ නොවූ විට තර්කනයෙන් තොරව ඕනෑම අසත්‍යයක් පිළිගන්නා පිරිසක් නිර්මාණය වේ.

         ධනවාදය තුළ බොහෝ විට මිනිසුගෙන් තර්කනය ඉවත් කෙරේ. කියන දේ පිළිගන්නා මිනිස් ප්‍රජාවක්ද, පොත කටපාඩම් කරන සිසු පරපුරක්ද, ධනවාදය නිර්මාණය කර ඇත. සිංහල ජනයාගේ ලේ ‘සිංහ’ලේ යයි සමහරුන් තුළ වන පිළිගැනීම, එවැනි තර්කනයකින් තොරව පිළිගැනීම ගැන එක් උදාහරණයක් පමණක් වේ. එවැනි අය නිදහස් මනසක් ඇති අය නොව වහලුන් වැනි අයය. පාසල් අධ්‍යාපනයේදී විද්‍යා විෂයන් උගෙන ගනිද්දී පරිණාමවාදය ගැන, ජීවයේ සම්භවය ගැන ඉගෙන ගන්නා සිසුවා එහිදීම ආගම පාඩමේදී ලෝකය දෙවියන්ගේ මැවීමක් බව ඉගෙන ගන්නා අතර, එම දැනුමෙහි ඇති ප්‍රතිවිරෝධය ගැන තර්ක නොකර දෙකම පාඩම් කරනු දැකිය හැක. ඒ, විභාගය සමත් වීම සඳහාය. අතාර්කික අධ්‍යාපනයේ ස්වභාවය එයයි. සමාජය දුප්පත් හා පොහොසත් ලෙස ගොඩවල් දෙකකට බෙදී තිබෙන්නේ සූරාකෑම හෝ සමාජ සම්පත් සාධාරණව බෙදී නොයාම නිසා යයි සිතනවා වෙනුවට, එය පෙර කළ පිං පව්වල, ග්‍රහ තාරකාවල බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සිතන අය වැඩිපුර සිටීම විසින් ධනවාදයේ අතාර්කික අධ්‍යාපනයේ තරම මැනගත හැක. දැනුම සැබෑ දැනුමක් වීමට නම්, එය ඉන්ද්‍රියගෝචර දැනුමට සීමා නොවී තර්කය තුළින්ද වටහා ගත යුතුය. අත්දැකීමෙන් ඉගෙන ගත යුතුය. දැනුම යනු පොත්පත්වල සඳහන් හෝ කිසියම් පිරිසකගේ පැවැත්මට අදාළ අසත්‍යයන් තොගයක් අතාර්කිකව පිළිගැනීම නොවේ. එබැවින් දැනුම ලබා දීමේ හා දැනුම ලබා ගැනීමේ විධිමත් ක්‍රමය වන අධ්‍යාපනය, තාර්කික අධ්‍යාපනයක් බවට පත්කළ යුතුව තිබේ.

      මෙයින් පෙනෙන්නේ මිනිසා සතුව පවතින දැනුම හැමවිටම සත්‍යය විය නොහැකි බවය. එසේනම් මිනිසාගේ දැනුම සත්‍යය බවට පත් විය යුතුය. සත්‍යය යනු කුමක්ද යන්න වටහා ගැනීම මෙහිදී ඉතා වැදගත්ය.

Next: – ‘දැනුම’ තුළ පවතින සියල්ල සත්‍යයද?